Skip to main content

මා ආදරය කළ නිළිය



එකල චිත්‍රපටියක් බලන්නට සිනමා  ශාලාවකටම  යා  යුතුය. රුපවානිනිය පැමිණ තිබුනේද  නැත. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටි නැරඹීම තරුණයන්ගේ  ප්‍රධාන  විනෝදාංශයක් විය. ගැලරි ටිකට්ටුවක් ශත 55ක් වූ අතර දෙවන පන්තියේ  ප්‍රවේශ පත්‍රයක් රුපියලකුත් ශත  දහයක් විය. බොහෝ විට ශත  55 ක් ගෙවා  දෙවන  පන්තියේ  භාග ටිකට්ටුවක් මිලදී ගෙන චිත්‍රපටි නැරඹීම මගේ  සිරිත විය.

' හන්තානේ  කතාව ' මා නැරඹුවේ නොමිලේය. පේරාදෙණිය සරසවියට  ගිය විටෙක මගේ  මිත්‍රයෙකු   නුවර  සිනමා  හලකට  මා   හැන්දෑවේ එක්කරගෙන ගොස් 'හන්තානේ  කතාව ' මට පෙන්නුවේය. 'හන්තානේ  කතාව ' සරසවි ජීවිතය පාදක  කරගෙන  ගෙතු අගනා  චිත්‍රපටයකි. එම චිත්‍රපටිය නැරඹීමෙන් ලද  ආශ්වාදය අදත් මගේ  සිතෙන් ගිලිහී නැත. එහි රඟ පැ ස්වර්ණා මල්ලවාරච්චි , විමල් කුමාර් කොස්තා ,සහ  අමරසිරි කළන්සුරිය කෙරෙහි මා   සිත  තුළ  ඇති වුයේ  දැඩි ඇල්මකි. විජය  කුමාරතුංග සහ  ටෝනි රණසිංහ එහි රඟ පෑ නමුත් ඔවුන් දෙදෙනා ගැන ඒ  අවස්ථාවේදී මගේ  සිත  ගියේ  නැත. එම  චිත්‍රපටය  මා  නැරඹුවේ  එක  වතාවක් වුවත් එහි ඇතැම් දර්ශන තවත් මා සිත  තුළ තැන්පත්ව  පවතී.


 ප්‍රතිවිරුද්ධ  සරසවි සිසුන් කණ්ඩායම් දෙකක්  රාත්‍රී  කාලයේ  එකිනෙකාට ගල් ප්‍රහාරයක් එල්ල  කර ගැනීම  එසේ  මතකයේ  තිබෙන  තිබෙන  එක් දසුනක් වන අතර  මතකයේ  තිබෙන  අනිකුත් දසුන් වන්නේ සරසවි සිසුන් පිරිසක් හන්තානේ  කන්ද  නගින  අතර සිදුවන සිද්ධින්ය.  ( චිත්‍රපටියේ දී මේ  අයගේ  චරිතවලට දී තිබු  නම් මට දැන් මතක නැත.)  අනිකුත් අය සමග ස්වර්ණාද  , ටෝනිද  සහ විජයද  හන්තානේ  කන්ද  නගින  අතර ඔවුන් දෙදෙනාම ඇයට ප්‍රේම  කරති. එක් අවස්ථාවකදී ස්වර්ණා  සිප  ගැනීමට විජය මුහුණ  ලංකරන  අතර ඊ ළඟ මොහොතේ කැමරාව  පෙන්නන්නේ  ගම් වැසියෙකු ඔවුන්ට  හු කියන අයුරුය. කලබල වූ මේ දෙදෙනා විග විගහට කන්ද  නගින දර්ශනයක් ඊ  ලඟට පෙන්වයි.

ස්වර්ණා  මල්ලවාරච්චි කෙරෙහි මගේ  සිත  බැඳුනේ ඇගේ  අගනා  රඟපෑම් නිසාය. ඇය රඟපෑ චිත්රපටි සියල්ල  නැරඹීමට මට අවස්ථාවක් නොලැබුනත් ඇතැම් ඒවා නැරඹීමට  හැකිවිය.. සත් සමුදුර  චිත්රපටය ඇය  රඟ පැ තවත් විශිෂ්ට  චිත්‍රපටයකි. සත් සමුදුරේ විශිෂ්ටත්වය  ඇගේ  රඟපෑම් මගින් තව දුරටත් ඉහලට  නැංවුණු බවට කිසිදු   සැකයක් නැත.

Click to enlarge image 12072766_10206375986456475_1611706676994580623_n.jpg


 ස්වර්ණාගේ  සැබෑ රූපකාය  පළමුවරට  මට දකින්නට ලැබුනේ ' කැළණි පාලම ' නාට්‍යයේය. කැළණි පාලම යට  ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය පාදක  කර  ගනිමින් එය නිර්මාණය  කර තිබිණ. එකළ කෙසඟ  ගැහැනියක් වූ ඇය එම  නාට්‍යයේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ බව   මතකය.

ඇගේ  රඟපෑමේ  විශිෂ්ටත්වය  ගැන මා   අමුතුවෙන් කිව  යුතු නැත. හොඳම  නිළිය  ලෙස  36 වතාවක් ඇය  සම්මාන ලැබූ බව  කීම  පමණක් සෑහේ. ඇගේ එම වාර්තාව  අහලකටවත් ඒමට කිසිවෙකු මේ වන තුරු සමත් වී නැත.අනාගතයේදී එවැන්නෙක් බිහිවෙතැයි සිතීමද දුෂ්කරය.

ස්වර්ණා හමුවීම 

ඉතින් මගේ  ප්‍රියතම නිළිය වූ  ස්වර්ණා හමුවීමට මා කිසිසේත් වෙහෙසක් දැරුවේ  නැත .එහෙත් අනපේක්ෂිත  පරිදි 2003 වසරේදී මට ඇය  හමුවූවාය. ඒ කුමාර් රූපසිංහ  මහතා  හමුවීමට ඔහුගේ  කාර්යාලයට ගිය අවස්ථාවකය. වමේ ව්‍යාපාරය වෙනුවෙන් ජීවිතයේ  වැඩි  කාලයක් කැප කළ සහ තවමත් එසේ  කැප වී සිටින S.R එඩ්වර්ඩ්  සහෝදරයා එහි සිටි කාන්තාවක් දෙසට අත දිගු කරමින්  මේ ස්වර්ණා මල්ලවාරච්චි කියමින් ඇයව  මටත් මා  ඇයටත් හඳුන්වා දුන්නේය. මට එය පිළිගැනීමට අපහසු තරම් විය. මා   දැන සිටි ස්වර්ණාට දිගු කොණ්ඩයක් තිබු  නමුත් මේ  කාන්තාව  සිටියේ කොණ්ඩය  කොටට  කපාය.





විශ්මයට  පත් මා ගත්  කටටම ඇසුවේ 'කෝ ඔයාගේ කොන්ඩේ ?" කියාය. එයට  පිළිතුර ලෙස  ඇය කීවේ ශල්‍ය  ක්‍රමයක් කිරීමට සිදුවූ බැවින් කොණ්ඩය කපන්නට  සිදුවූ බවය. "  ඒ  කාලේ ඔයා තමයි මගේ  ජනප්‍රියම  නිළිය  " කියා මා ඇයට කීමි. ඒ අවස්ථාවේ තව දුරටත් කතා  කිරීමට  තරම් විවේකයක් නොතිබූ බැවින් ඇගෙන් වෙන් වුන  නමුත් එතැන් සිට  ඇය සමග  වරින් වර  ඇසුරු කිරීමට මට අවස්ථාව  ලැබුනේ ඇයත් මමත් 'ජාතික  යුධ විරෝධී පෙරමුණ ' ක්‍රියා  කාරී වීම  නිසාය.

කිලිනොච්චියට  ගොස්  කොටි  නායකයන් හමුවීමට මා   ගිය  ගමනට ඇයද  එකතුව  සිටියාය. ආපසු එන  ගමනේදී ඇයත් මාත් භික්ෂුන් වහන්සේලා දෙනමකුත් පැමිණියේ  එක වැන් රථයකය. ඇගේ  ජීවිතයේ පරාජිත  අවස්ථා කෙන්දරයේත් අතේත් ලියවී තිබෙන  බව ඇය අල්ල පෙන්නමින් භික්ෂුන් සමග  කියා සිටියාය. 'කෝ බලන්න ඔයාගේ  අත?" කියමින් මම ඇගේ  ඇඟිලි අල්ලා   ගත් නමුත් ඇය ඉක්මනින් අත ආපසු ඇද ගත්තේ  ලජ්ජවෙනි.

යුධ විරෝධී පෙරමුණ අහෝසි වී යාමෙන් පසු ඇය  මට යලිත් මුණගැසුනේ  නැත. එහෙත් ඒ පෙරමුණ සමග එක්ව  කටයුතු කිරීමේදී අගනා   මිනිසුන් රැසක් මට හමුවිය. ධර්මසිරි බණ්ඩාරනායක, රවී කුමුදේශ්  සහ සමන් රත්නප්රිය  ඒ  අතර වේ. ස්වර්ණා සමග සම්බන්ධකම් දිගටම තබා ගැනීමට  නොහැකි වුවත් ධර්මසිරි, සමන්,, සහ රවී වැන්නන් සමග අදත් හැකි පමණින් සම්බන්ධකම් පවත්වා ගෙන  යමි.

ස්වර්ණාගේ ජීවිතයේ  වැදගත් අවස්ථාවල චායාරුප රැසක් ඔබට මේ පුරුක් වලින් බලාගත  හැක.

http://www.sarasaviya.lk/2009/08/27/_art.asp?fn=sa0908274&pn=05

http://www.mirrorarts.lk/featured/item/1700-the-legend













Comments

මා දන්නා තරමින් ස්වර්ණා "කැළණි පාළම" නාට්‍යයේ උන්නේ නැත...

මා ප්‍රියකරන නිලියන් අතරේ ස්වර්ණා ඉදිරියෙන්ම සිටී.. දඩයමේ ඇගේ රංගනය බොහෝ තාත්විකය.
Aruna Perera said…
මා දන්නා තරමිනුත් ඇය කැලනි පාලමේ රඟපෑවේ නැත. ධර්මසිරිගේ මකරාක්ෂයාහී එලිසාගේ චරතය රඟපෑවා. ඒ චරිතය ඊට පස්සේ රමනි බර්තොලමියුස් කරා. ඊට පස්සේ මීනා කුමාරි කෙරූ බව මතකයි.
ස්වර්ණා කැළණි පාලමේ අදාල චරිතය කළ ස්ථිර නිළිය නොවන්න පුළුවන්. නමුත් මා ඇය එහි රඟපානවා දුටුවේ මතුගම ගාමිණී සිනමා හලේ එම නාට්‍යය පෙන්වූ අවස්තාවෙදීයි
ස්වර්ණා කැළණි පාලමේ අදාල චරිතය කළ ස්ථිර නිළිය නොවන්න පුළුවන්. නමුත් මා ඇය එහි රඟපානවා දුටුවේ මතුගම ගාමිණී සිනමා හලේ එම නාට්‍යය පෙන්වූ අවස්තාවෙදීයි
Aruna Perera said…
ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ මගේ ප්‍රියතම නිලියක්. කලාත්මක හෝ වානිජ හෝ මොන නමින් හඳුන්වන සිනමාපටයක වුවත් ඇය ඇගේ සළකුන තැබුවා. නිර්භීත, ස්වාධීන ගැහැනියක්.
Unknown said…
ස්වර්ණා මල්ලවආරච්චි ගැන ඔය විදිහ මතකයක් මට නැත්තේ මං ඉපදෙන කාලය ඔය කියන කාලයට බොහෝ වෙනස් නිසාය. නමුත් ඔබ ඔය කියන ස්වර්ණා මල්ලවආරච්චි හමුවුණායැයි කියන විට ඒ ස්ථානයේ ම වැඩ කරමින් සිටි කෙනෙකි මමත්. එඩ්වර්ඩ් සහෝදරයා පමණක් නොව කෙලී සහෝදරයා ඇතුළු තවත් බොහොමයක් හිටපු වාමාංශිකයින් හිටපු යැයි තව නම් රැසකින් හැදින්විය හැකි බොහොමයක් දෙනා සමග හිටපු පොඩි කොල්ලා වෙන්න මට වාසනාවක් තිබුණා. ඒ අයගේ අතීතය ගැන හැමෝට ම මහා තරහාවල් සහ විවේචන ඇති. නමුත් කුමාර් රූපසිංහ, වික්ටර් අයිවන්, සුනිල් විජේසිරිවර්ධන ඇතුළු හැම දෙනා හා වැඩ කිරීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ මහා වාසනාවක් ලෙස මා දකින්නේ ඒ මා විශ්ව විද්‍යාලයෙන් පිටවූ සැනින් ලැබූ රැකියාව නිසාය.....

ඒක කොයිතරම් අමුතු අත්දැකීමක් ද කිව්වොත් බොහෝ විට හවසට මං වැඩ ඇරිලා ගියාම අපේ බැචාලා ටික සැදී පැහැදී ඉන්නවා අද හමුවුණ අය කවුද සහ ඔවුන් කියපු කතා කරපු දේවල් ගැන අහන්න... මොකද ඒ චරිත ඒ කාලේ අපිට මහා චරිත.. හැබැයි ඒ මහා චරිත හා වැඩ කරන්න මං වාසනාවන්ත වුණා....... ඒක කෙනෙකුට විකාරයක් විදිහට දකින්නත් හැකියි..... ඒත් ඒ කාලේ කැම්පස් එකෙන් එළියට ආපු ගමන් හිටපු පොඩි කොල්ලාට මාර දෙයක් වුණා....... ඉතින් එතැන ස්වර්ණාත් හිටියා... අපේ හැම රැස්වීමක ම පැත්තකින් ඉදගෙන ඉන්න ඇය දෙස බලා කුමාර් රූපසිංහ ස්වර්ණා.............. කියා ඇදලා යමක් කියන්නට අමතක කරෙත් නැහැ.... ඒවත් අර මං හැමදාම කියනවා වගේ පොඩි පොඩි ඇරියස් ලව් කියලයි මටනං දැනුණේ............
මට ඔබව මතක නම් නැහැ. මා එම ස්ථානයට ආවේ රැස්වීමකට කැඳවීමක් ලැබුණු විට පමණයි. ඒ දිනවල මා ගුරු සංගමයේ වැඩ කල නිසා ප්‍රමුඛත්වය දුන්නේ ගුරු සංගමයේ වැඩවලටයි. දවසක මුණ ගැහෙමු
Unknown said…
මාවනං මතක හිටින්න විදිහක් නැහැ..... මං එතැන හිටපු පොඩිම කොල්ලා...... ඇත්තට ම ඔය වෙලාවේ කුමාර් රූපසිංහගේ සභාපතිකමෙන් ගිය ආයතන දෙකක් තිබුණා. මං හිටියේ ස්වර්ණා මල්ලවආරච්චි හිටපු එකේ නෙමෙයි අනිකේ.. ඒකේ තිබුණා අංශ 7 ක් විතර. මං කැම්පස් අවුට් වුණ ගමන් පොඩි කොල්ලා වුණාට ඒ වෙලාවේ තරුණ අංශයේ ප්‍රධානියා වුණේ මම. ඒක මට හමුවුණ දෙවැනි පළමුවැනි රස්සා ම වුණාට ඒක ලොකු වගකීමක් වුණා. රට පුරා ම බලන්න වුණා. හැබැයි ඒ අවස්ථවක් කරගෙන මට ගොඩක් දේවල් ඉගෙන ගන්නටත් ලැබුණා........

ඒ වෙලාවේ ලංකාවේ හිටපු මහා චරිත බොහොමයක් ප්‍රසිද්ධියේ සහ රහසින් පවා ඔය පිරිස සමග සම්බන්ධ වෙලා හිටියා... අපේ ආයතන දෙකේ ම රැස්වීම් එකට තිබුණා බොහේ අවස්ථාවලදී. ඒ හැම වෙලාවෙම ඔය පිරිස හා වාඩි වෙන්න කතා කරන්න වැඩ කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒත් ඔවුන්ගේ වැඩ ගැන පසු වෙද්දි මට චෝදනා ගොඩක් තිබුණා. ඒවා දරාගන්න බැරි තරමට ආව අවස්ථා තිබුණා. මේ අතර ආණ්ඩුව සමග ඇති වූ සම්බන්ධතාවයේ ගැටලු මත අරමුදල් ප්‍රශ්ණත් ආවා. මේ අතර බොහෝ දෙනෙක් ඉවත් වුණා. මටත් වෙන ආයතනයකින් හොද ඉල්ලුමක් ආවා..... ඉල්ලුමක් කිව්වාට ඒක යාලුවෝ හරහා ලැබුණ අවස්ථාවක්.... ඒ වෙලාවේ තීරණයක් ගන්න වුණා. මං අන්තිමට අස්වෙලා එන වෙලාවේ ඔවුන්ට පුරවලා දුන්න පෝරමයේ සියලු විස්තර මංගාව තාම තියෙනවා.

ඒකේ ප්‍රශ්ණයක් තියෙනවා ඇයි ඔබ ඉවත් වෙන්නේ කියලා. මගේ උත්තරය තමා අපි කතා කරන ජනතා ව්‍යාපාරය මහ පොළවේ හදන්න තරම් කාටවත් වුවමනාවක් නැහැ. ඉතින් මං බස්වල ගිහින් බිම නිදාගෙන සමහර විට වේලක් කාලා හදන්න හදන ව්‍යාපාරය හීනයක් නං මං තවත් මෙතැන ඉදලා වැඩක් නැහැ කියන එකයි.

මොකද එතැන හිටපු හැමෝම සල්ලි පස්සේ ගිය බොරුවක් මවාගෙන කීයක් හරි හම්බකරගෙන පාඩුවේ හිටපු අමුතු පොෂ් සෙට් එකක් විතරයි. ඒක ඒ වෙලාවේ අපේ තිබුණ තරුණ අමාරුවත් එක්ක ගැලපුණේ නැහැ කියාලා මට දැන් තේරෙනවා.... හැබැයි මං එතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....
Aruna Perera said…
ඔබ නිවැරදියි. ස්වර්ණා කැළණි පාලමේ රඟපා තිබෙනවා. පසුව කියවීමකදි මේ බව දැනගන්නට ලැබුනා.
Aruna Perera said…
ඔබ නිවැරදියි. ස්වර්ණා කැළණි පාලමේ රඟපා තිබෙනවා. පසුව කියවීමකදි මේ බව දැනගන්නට ලැබුනා.
Unknown said…
This comment has been removed by the author.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...