Skip to main content

මා දුටු 87 -89 භීෂණය




     



                භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය .


කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ලංකාව දෙකඩ කොට  ඊළමක්  පිහිටුවීම වැලැක්වීම සඳහා විසඳුමක්  සොයා  ගැනීමට ඉන්දියාව,  ලංකා ආණ්ඩුව සමග 1983 සිට 1987 දක්වාම සාකච්චා  කරනු ලැබීය . එහි ප්‍රතිඵලය වුයේ 1987 ජුලි 29 දින අත්සන් කළ ඉන්දු ලංකා  ගිවිසුමයි. එම ගිවිසුම යටතේ බලය  බෙදා හැරීම සඳහා පළාත් සභා  පිහිටුවීමට නියමිත විය .එමෙන්ම LTTE සංවිධානය  සිය  අවි ආයුධ  ඉන්දියානු  හමුදාවට  භාර දීමට  එකඟ වී අතර  කොටි සංවිධානය  නිරායුධ  කොට  උතුරු නැගෙනහිර සාමය පිහිටුවීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාව උතුරට  ආවේය . LTTE සංවිධානය  නාමිකව සුළු ආයුධ  ප්‍රමාණයක් ඉන්දියානු හමුදාවට  භාර දුන් අතර උතුරේ  ක්‍රියාත්මක වූ සන්නද්ධ  කණ්ඩායම් ගණනාවක්  සටන් නවතා පළාත් සභා  ක්‍රමයට එකඟ වුහ . එහෙත් පළාත් සභා  ක්‍රමය ඊළම පිහිටුවීම වැලක්වීමට  යෙදු උපක්‍රමයක්  බව වටහා  ගත් කොටි සංවිධානය ඉන්දියානු හමුදාවට එරෙහිව සටන් කරන්නට  පටන් ගත්තේය  


                             ඉන්දියානු  සාම සාධක  හමුදා 1987 ජුලි 30 ලංකාවට පැමිණියේය 

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ  කැරැල්ල අරඹා  තිබිණ .හමුදා  කඳවුරු  කීපයකට පහර දී ආයධ  පැහැරගෙන තිබුණු හෙයින් ඒවා  යොදාගනිමින් විරුද්ධ වාදීන්  ඝාතනය  කරමින් සිටියේය.. ඉන්දු ලංකා  ගිවිසුම යටතේ  පිහිටුවන පළාත් සභා සඳහා  තරඟ කරන්නන් මෙන්ම චන්දය දෙන අයද  මරා  දමන  බව ජවිපෙ හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රකාශ  කර තිබුනේය . එමෙන්ම මැතිවරණ කටයුතු වලට සහභාගී වන  නිලධාරින්ද  මරණ බවද   කියා තිබුණි .පළාත් සභා ක්‍රමය  මගින් ඊළම කොටින්ට ලැබෙන   බවත් ලංකාව  කෑලි 8 කට කැඩෙන  බවත් කියා තිබුනේය .


බස්නාහිර  පළාත් සභාවට තරඟ  කරන අය කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ද  විය .කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට සහයෝගය දීම  සඳහා මා  හැකි පමණින් කටයුතු කළෙමි.   .ඔවුන්ගේ අංක ප්‍රචාරය  කිරීම සදහා පාක්ෂිකයන්  සමග එකතුව වාහනයක්   රැගෙන දිස්ත්‍රික්කයේ  බොහෝ  ප්‍රදේශවලට  ගියෙමි . එමෙන්ම ප්‍රචාරක රැස්වීම් සාර්ථක කරගැනීම සඳහාද හැකි පමණ සහයෝගය දුනිමි .  මේ අතර දිනක්   නව සම සමාජ  පක්ෂයේ අපේක්ෂකයෙකු මා  හමුවීමට තනිවම  ආවේය . හොරණ ප්‍රදේශයේ  ගුරුවරයෙකු වූ ඔහු කෙසඟ  සිරුරකින් යුතු අයෙකු විය . ඔහුගේ  මැතිවරණ  කටයුතු සඳහා සහය දෙන  ලෙස මගෙන් ඉල්ලා සිටියේය. කොමියුනිස්ට් පක්ෂයේ  අපේක්ෂකයන් තිදෙනා වෙනුවෙන් මා දැනටමත් සහය දෙන  බැවින්  ඔහුට සහය දීමට  නොහැකි බව කරුණාවෙන්    කීවෙමි . කබල් බයිසිකලයකින් චන්ද  ප්‍රචාරක  කටයුතු කිරීම අතිශයින් භයානක  බැවින්  ප්‍රවේශම් වෙන  ලෙස  මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි . ඔහු මරා දමනු ඇතැයි මා සිත  තුල  බියක්ද එම අවස්ථාවේම ඇතිවිය . ඊට සති කීපයකට  පසු  ජවිපෙ තුවක්කු කරුවන් විසින්  ඔහු අතර මගදී වෙඩි තබා   මරා දමා     තිබුනේය.


ලේක් හවුස්  පුවත් පත්  මිලදී  ගැනීම සහ අලෙවි  කිරීම ජවිපෙ  තහනම් කර  තිබුණි . පාපැදියකින් ලේක්හවුස්  පුවත් පත් අලෙවි කිරීමෙන් තම දරු පවුල  නඩත්තු කළ මිනිසෙකු අගලවත්ත  යටියන  ප්‍රදේශයේ   සිටියේය.. ඔහුට තිබු එකම ආදායම  එය විය..පාසලට  යන අතරතුර  සතියකට  දින දෙක තුනක් Daily News පත්තරය මා  මිලදී  ගත්තේ  ඔහුගෙනි.පත්තර අළෙවිය නවත්තන  ලෙසත් නැතහොත්  මරණයට  මුහුණ දීමට සුදානම් වන ලෙසත්  ඔහුට  ලිපියක් ඒවා  තිබෙන  බව දිනක් ඔහු මා සමග  කීවේය .ටික දිනකට  හෝ  පත්තර අලෙවිය  නවත්තන  ලෙස  මා  ඔහුගේ  ඉල්ලා  සිටියෙමි . වෙනත් ආදායම් මාර්ගයක් නැති බැවින් පත්තර අලෙවිය නතර  කළහොත්     පවුලේ සියලු දෙනාටම බඩගින්නේ  මැරෙන්නට වෙන  බැවින් වෙනත් විකල්පයක් ඔහුට  නැති බව  ඔහු කිවේ දෑසේ  කඳුළු පුරවා  ගෙනය. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවය .ඊට සතියකට  පසු  ඔහුගේ නිවස අසලදී  ඔහු  වෙඩි තබා මරා  දමා   තිබුණු අතර පත්තරවලටද  ගිනි තබා  බයිසිකලය  පැහැරගෙන ගොස් තිබුනේය.

 

මා එකල  ඉගැන්වුවේ  ජවිපෙ  ක්‍රියාකාරීන් දුසිම් දෙක තුනක් සිටි කුඩා  ගමකය . අවට  ගම්මානවල  ජවිපෙ ආධිපත්‍ය  පතුරුවමින්  ජවිපෙ  මුලස්ථානය  පවත්වාගෙන  ගියේ එම  ගමේ සිටය.  එම  ගමේ වැඩි  දෙනෙකු  සමසමාජ  පාක්ෂිකයෝ  වුහ . එහි සිටි  සමසමාජ  පක්ෂයේ  තරුණ  ගුරුවරයෙකු   පළාත් සභා  මැතිවරණයේදී  ජවිපෙ නියෝගය නොපිළිගෙන  මැතිවරණ රාජකාරිවලට  ගියේය. මැතිවරණ රාජකාරි අවසන් කොට නිවසට  පැමිණ වැඩි වෙලාවක් ගත වීමට  පෙර  ජවිපෙ තුවක්කු කරුවෝ  ඔහු සොයාගෙන ආවෝය . ඔවූන්ගෙන් බේරීම සඳහා ඔහු දුවන්නට වූ අතර  තුවක්කු කරුවෝ  ඔහු ලුහුබැඳ  ගියහ . තුවක්කු කරුවන්ට  ඔහු අල්ලා   ගත  නොහැකි විය . ආපසු  නිවසට  නොපැමිණි ඔහු කළුතර ගල්ලස්ස ප්‍රදේශයේ  පදිංචිව  සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ  නිවසට  ගියේය.  ඔහුගේ  මවත් සොහොයුරියත් නිවස අතහැර දමා එහි ගොස්  පදිංචි වුහ . සොහොයුරා  හමුදාවේ  නිලධාරියෙකු වූ බැවින් වඩා  හොඳ ආරක්ෂාවක්  ලැබෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත . ගත වුයේ  මසකි. දිනක් උදැසන   ගල්ලස්සේ  නිවෙසට  ජවිපෙ තුවක්කු කරුවෝ පැමිණියහ .නිවසේ  ඉදිරිපස සිටි එම ගුරුවරයාත් ,ඔහුගේ මවත්, සහෝදරියත් වෙඩි තබා  මරා  දැමුහ .ඔවුන්ගේ  පැරණි නිවස ජවිපෙ විසින් නඩු ඇසීමේ උසාවියක් බවට  පත් කර  ගත් අතර අද  එම නිවාස ගරා වැටෙමින් පවතී .


එම සිද්ධයෙන් පසු එම ගමේ සිටි  ජවිපෙ තුවක්කු කරුවන් මරා  දැමීමට හමුදාව දැඩි උනන්දුවක් දැක්වූයේය . හමුදාව  නිරන්තරයෙන්  ගමට  පැමිණි අතර දිනක්  හමුදාව  දුටු ජවිපෙ  තුවක්කු කරුවන් දුවන්නට  පටන් ගත්හ. හමුදාව  තැබූ වෙඩිවලින් ජවිපෙ  කීප දෙනෙකු මිය ගිය අතර  බියෙන් දුව යමින් සිටි අවුරුදු   එකොළහක  පමණ අපේ පාසලේ  සිසුවෙකුද ජවිපෙ සාමාජිකයෙකු යයි සැක  කොට වෙඩි තැබීම  නිසා මිය ගියේය.. එම සිසුවා නිරන්තරයෙන්ම ඇඟිල්ලක් කටේ  රුවා ගෙන සිටින  පුරුද්දක් තිබු අතර මිය ගස් තිබුණේද ඇඟිල්ල  කටේ  රුවාගෙනය  

පළාත් සභා  මැතිවරණයේදී  මා  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට  සහයෝගය දැක්වූ  බැවින් තුවක්කු කරුවන් මා සොයාගෙන ඒමට  ඉඩ තිබුණි එබැවින්  මා   නිරන්තරයෙන් සිටියේ   ආරක්ෂාව  ගැන වැඩි අවධානයකිනි . පිහි කටුවක් වත් නොතිබුණු මට රාත්‍රී කාලය  ගත  කළේ එළිවෙන තුරු  ඇඟිලි ගනිමිනි . කල්ගත වන  විට සියලුම  මිනිසුන්  රාත්‍රී කාලයට වෛර  කළහ . එයට  හේතුව වුයේ ආණ්ඩුවේ  හමුදා,   ආණ්ඩුවේ සන්නද්ධ  කල්ලි , දේශප්‍රේමී  ජනතා ව්‍යාපාරය  නමින් පෙනී සිටි ජවිපෙ තුවක්කු කරුවෝ නිවෙස්  වලට  බොහෝ විට ආවේ  රාත්‍රී  කාලයේ  වීම නිසාය . එකල  බියෙන් පසු නොවූ  කිසිවෙකු සිටියේ  නැත . එක්සත් ජාතික  පාක්ෂික  පවුල්වල  අය බිය වුයේ  රාත්‍රී  කාලයේ  ජවිපෙ  තුවක්කු කරුවන් පැමිණ  ඔවුන් මරා දමා වීදැයි යන බියෙනි . ශ්‍රීලනිප පවුල්වල  මිනිසුන් ජවිපෙ සහ ආණ්ඩුවේ  හමුදාවලට  බියෙන් ජීවත් වුහ.  .විජය කුමාරතුංගගේ නායකත්වයෙන් වූ  මහජන  පක්ෂයේ අය මෙන්ම  සම සමාජ , කොමියුනිස්ට්  මහජන පක්ෂය සහ නව සම සමාජ  පක්ෂවල අයද  බියට  පත්ව  සිටියේ කොයි පැත්තෙන් වෙඩි උණ්ඩය  පැමිණේද කියාය. ඔවුන්ද රතු පාට   පක්ෂවල  අයවූ බැවින්  ඔවුන් JVP කාරයන් යයි ඇතමෙකු  ආණ්ඩුවේ  හමුදාවලට  ඔත්තු දී  තිබුණි. අනිත් අතින්  ජවිපෙ එම  පක්ෂ  තහනම්  කර  තිබු බැවින් ඔවුන්ගෙන් අනතුරක් වෙනු ඇති  නිරන්තර  බියෙන්  සිටියහ .බොහෝ අය රාත්‍රී  කාලයේ නිවෙස්  වල සිටියේ  නැත . රාත්‍රිය ගත  කළේ  කැලේ  ගල් තලාවලය . දිනක් උපන්   ශ්‍රීලංකා  කාරයෙකු අපගේ  නිවසට  පැමිණි විටෙක  කිවේ " මේ JVP ............ගේ   පුතාල  හින්ද  අපිට  රෑට  ගෙදර  නිදාගන්න වත්   නෑ."


 1987  පැවති පළාත් සභා   මැතිවරණ  රාජකාරි සඳහා මා  කැඳවමින්  මැතිවරණ දෙපාර්තමේන්තුවෙන්  මා වෙත  ලිපියක් ආවේය . මැතිවරණ  රාජකාරි  අනිවාර්ය  කර තිබු බැවින්   යා  යුතුම  විය . ගමේ කිසිවෙකුට  නොදැනෙන  සේ  මැතිවරණ  රාජකාරි සඳහා  යාමට  මා  තීරණය  කළෙමි.  රාජකාරි ස්ථානය වුයේ  ඉත්තාපාන  මහා විද්‍යාලයයි . එය  පිහිටියේ  මතුගම මැතිවරණ  කොට්ඨාශයේ  ඈත  ප්‍රදේශයකය . ලිපිකරුවෙකු ලෙසින්  පත් කර තිබුනෙන් මැතිවරණ දිනයට  පෙර දින දහවල් දෙකට  පමණ  එම චන්ද  මධ්‍යස්ථානය  යාම  ප්‍රමාණවත් විය .මතුගම නගරයෙන් බස් රථයක  නැග මතුගම අලුත්ගම  පාරේ පිහිටි ලෙව්වන්දුව  හන්දියෙන් බැස්සෙමි . ඉත්තෑපාන ට  යායුත්තේ එතනින් ඇරඹෙන වෙනත් පාරකිනි.  ඉත්තෑපානට  යන  බස්  රථයක්  පැමිණෙන්නේ  කීයටදැයි කඩයකට  ගොඩවී  තේ  එකක් බොමින් මුලාලිගෙන් ඇසීමි. 



" අද නම්  තාම  එක  බස් එකක්වත්  ගියේ නැහැ .පාර දිගටම  ජේවීපී  කාරයෝ  ගස්  කපල දාල . දැන් පොලීසිය  ගියා  ගස්  කපන්න . එත් සැහෙන වෙලා  යයි  ඒකටත්. " ඔහු කීය . 

" මහත්තය  කොහෙද  යන්නේ " මුදලාලි  මගෙන් පෙරලා ඇසුවේය .

" මන් යනවා මුදලාලි,  මැතිවරණ  රාජකාරිවලට  ඉත්තෑපාන මහා විද්‍යාලයට " යයි කී විට  මුදලාලිගේ  ඇස් උඩ ගියේය..

'බලාගෙන  මහත්තයා. ඉත්තෑපාන  කියන්නේ  JVP විමානේ." මුදලාලි   කිවේ  මා අසලට  පැමිණ සෙමිනි .


මේ වන විට  මධ්‍යහ්නය ආසන්න වෙමින් තිබුණි . ඉත්තෑපාන   බලා  යන එකම බස්  රථයක්වත්  තවමත් ආවේ  නැත . තව ටික වෙලාවකින් මැතිවරණ රාජකාරි සඳහා  යන වාහන  පැමිණෙනු ඇත .එම වාහනයක නවත්වාගෙන  එහි නැගී    රාජකාරී  ස්ථානයට    යාම  මගේ අපේක්ෂාව විය .


තවත් පැයක්  පමණ  ගත වූ විට  ඈතින් එන ජීප් රථයක්  මා දුටිමි , මැතිවරණ  රාජකාරි  කියා  කොලයක් එහි ඉදිරිපස  වීදුරුවේ අලවා  තිබුණි  .මම වහා  අත දිගු කොට  වාහනය  නවත්තන ලෙස සාඥා  කළෙමි.

වාහනය  නැවත්තු විට   මැතිවරණ  රාජකාරි සඳහා  යන බවත්  බස් රථ  නොමැති බැවින් මා  රැගෙන  යන  ලෙස  ඉල්ලා සිටියෙමි .

"අපි නම් යන්නේ ඔය  ඉස්කෝලෙට නම් නෙවෙයි. එයිට එහා ඉස්කෝලෙකට කොයිකටත් නගින්නකො "  යයි එහි සිටි  චන්ද ස්ථානාධිපතිවරයා  කීය.

තවත්  විනාඩි  45 කින් පමණ  වාහනය  ඉත්තාපන  මහා විද්‍යාලය අසලට  පැමිණි අතර මා   වහනයෙන් බැස්සේ  ඔවුන්ට  ස්තුති  කරමිනි 


වට  පිට  බැලුවිට අවට  මිනිස්  පුළුටක් හෝ නොවීය. පාසල ඉදිරිපිට කඩයක් දෙකක් තිබු  නමුත් ඒවා වසා  තිබුණේය. පාසලේද  කිසිවෙකු නොවීය. ගේට්ටුවද වසා දමා තිබුණි .  පාසලේ බිත්තිවල  ජවිපෙ සටන් පාඨ පොල්ගෙඩි අකුරෙන් ලියා  තිබුණි . චන්දය දෙන අය  ද්‍රෝහීන් බැවින් ඔවුන් මරා දමන බව ට සඳහන්  කරමින් දෙතුන් පොලක  ලියා  තිබුණි . මා සිත  තුළ ඇති වුයේ මහත් බියකි . දේශප්‍රේමියෙකු  පැමිණ  තව  මොහොතකින් මා  මරා  දමනු ඇතැයි මට සිතුණි.


( ඉතිරි කොටස  මී  ළඟ ලිපියේ   පළ කෙරේ .)


බර්ටි රණවීරගේ විසිනි



  



Comments

Popular posts from this blog

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...