Skip to main content

මා දුටු 87-89 භීෂණය - 2වෙනි කොටස







 පළමු කොටස කෙටියෙන් .

(ජනතා විමුක්ති පෙරමුණ 1987  ඉන්දු ලංකා  ගිවිසුම ට එරෙහි විය .පළාත් සභා වලට  තරඟ  කරන අපේක්ෂකයන් ,චන්ද දායකයන් , සහ මැතිවරණ  රාජකාරි වල යෙදෙන නිලධාරීන් මර දමන  බව කියමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පෝස්ටර් අලවා   තිබුණි.   මැතිවරණ වලට  තරඟ  කරන  ලද්දේ එක්සත් ජාතික  පක්ෂය සහ  වාමාංශික  පක්ෂ  පමණය .මෙය  ලියන  ලියුම් කරු රජයේ රැකියාවක්  කළ  බැවින් මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු ලැබීය. ඔහුට  ලැබී තිබුණු  චන්ද  මධ්‍යස්ථානය මතුගම  මැතිවරණ  කොට්ටාශයේ දුෂ්කර ප්‍රදේශයක  පිහිටි  ඉත්තෑපාන මහා  විද්‍යාලයයි . ඔහු එහි යන විට  කිසිවෙකු සිටියේ  නැත. පාසැල  මෙන්ම අවට  නිවෙස්ද  කඩද  වසා දමා  තිබුණි .මිනිස්  පුළුටක්වත්  අවට දකින්නට  නොලැබිණ .පාසලේ  බිත්ති වල  ජවිපෙ සටන් පාඨ  පොල්ගෙඩි අකුරින්ලියා  තිබුණේ චන්දයට සහභාගී වන අයට  මරණ දඬුවම  ලබා දෙන  බවය   .වටපිටාවේ  තිබුනේ  ඉතා  බිය ජනක ස්වරූපයකි )


දෙවෙනි කොටස

          මා  මුහුණ දී  සිටින්නේ  ඉතාමත් අනතුරු දායක අවස්ථාවකට  බව  ඉක්මනින්ම  පැහැදිලි විය. අවට දන්නා හඳුනන අයෙකුද නැත. ආපසු  යාමටද  මගක් නැත . මැතිවරණ රාජකාරී  මගහැරීය හොත්  මා  ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු ලෙස පොලිසිය  ගණන් හැදිමටද ඉඩ තිබේ. එහෙත්   පාසල ඉදිරිපිටට වී    බලා  සිටීම  නිසා මා  මැතිවරණ  රාජකාරි සඳහා  පැමිණි  නිලධරියෙකු ලෙස සලකා  කොතැනක  හෝ සැඟවී  සිටින  'දේශප්‍රේමියෙකු ' මා වෙත  උණ්ඩයක් හමාරක්  එවීමටද  ඉඩ තිබේ. එබැවින් හොඳම දෙය කොයි අතට  හෝ පාර දිගේ ඇවිද  ගෙන  යාම  බව  තීරණය  කළ  මා  බස්  පාර දිගේ  ඉදිරියට සෙමින් ගමන් කළෙමි.


වැඩි දුරක්  යාමට සිදුවුයේ  නැත .ජීප් රථයක්  මා දෙසට එමින් තිබුණි. එය  පොලිස්  රථයක් බව හඳුනා  ගැනීමට  ඊළඟ  මොහොතේ  මට  හැකිවිය . අප්‍රමාදව  මා  පාර දෙසට අත දැම්මේ එය නවත්වා  ගැනීමටය 


"මොකද්ද  ප්‍රශ්නේ ?"  ජීප් රිය  මා අසල  නතර කළ විට එහි සිටි අයෙකු මගෙන් ඇසුවේය 


එහි සිටි උසස්  පොලිස් නිලධාරියාට කාරණාව  කීවෙමි .


" මහත්තය  තනියම  එහෙ මෙහෙ යන්න   එපා. මේකට  නගින්න .අපි වටයක් ගිහිල්ල  එනකොට  මහත්තයාගේ චන්ද  මධ්‍යස්ථානේ අනිත්  නිලධාරි ඇවිල්ල  තියේවි "


එම  ජීප් රථය  මැතිවරණ රාජකාරි සඳහා යෙදවූ ජංගම පොලිස් රථයකි . චන්ද  මධ්‍යස්ථාන  5 ක් සඳහා එක පොලිස්  රථය  බැගින් යොදවන  අතර  මැතිවරණය අවසන් වන තුරුම එම  පොලිස් මොබයිල් රථය තමන්ට  භාර  චන්ද  මධ්‍යස්ථාන  5 ට මාරුවෙන් මාරුවට   යමින් ඉහල නිලධාරීන්ට වාර්තා සැපයිය යුතුය . මා  ගොඩවුවේ මගේ චන්ද  මධ්‍යස්ථානය ද  භාරව සිටින  ජංගම පොලිස් රථයටය 


ජීප් රථයේ  පොලිස් පරීක්ෂකට  අමතරව  තවත්  පොලිස්  නිලධාරීන්  තුන් දෙනෙකු පමණ සිටියහ . පොලිස් ජීප් රථයට  ප්‍රහාරයක්  එල්ල වෙතැයි  යන සැකයෙන් ඔවුහු  තුවක්කු සුදානම් කරගෙන විමසිල්ලෙන්  සිටියහ. .අප  ගමන් කරන   පාර ආසන්නයේ  තරමක විශාල  පන්සලක්  තිබිණ .


මේ  JVP පන්සලක් " එක පොලිස්  නිලධාරියෙක් කීවේය .අනිත් පොලිස්  නිලධාරිද " ඔව්  ඔව්  JVP පන්සලක් තමා " කියමින්  එය  සනාථ  කළහ .


අනෙකුත් චන්ද  මධ්‍යස්ථාන  4 ට  යන විට නිලධාරීන්  පැමිණ සිටියහ .  ඉන්පසු   මගේ  චන්ද  මධ්‍යස්ථානයට පොලිස් රථය පැමිණෙන විට  එහි අනෙකුත්    මැතිවරණ  නිලධාරින්ද ආරක්ෂාව සඳහා  පත් කොට  තිබු පොලිස් නිලධාරීන් දෙදෙනාද  පැමිණ සිටියහ . ග්‍රාම සේවා  නිලධාරියා විසින්  මැතිවරණ  නිලධාරීන්ට  ආහාර  පාන  , කොට්ට පැදුරු ආදිය සපයමින් ගම සමග සම්බන්ධීකරණ  කටයුතු  කළ යුතු වුවත්  ඔහු පැමිණ සිටියේ නැත .නිසැකවම  ඔහුට  මරණ තර්ජන  තිබෙන්නට ඇත . ඒ සියල්ල සැපයුවේ  ජංගම පොලිස්   රථයේ  සිටි ප්‍රධාන  පොලිස්  නිලධාරියා  විසිනි.


පාසල  ගැන විස්තරයක් කළහොත් ප්‍රදේශයේ තිබු විශාලතම  පාසල වූ  එහි ගොඩනැගිලි  හත අටක් තිබුණි .පාසල් භුමිය  තැනිතලාවක සිට   තරමක උස භූමියක්  කරා  පැතිරී තිබිණ . පාසලේ තැන් තැන්වල  ගස් තිබු බැවින් පාසල භුමිය ප්‍රසන්න විය    චන්ද  මධ්‍යස්ථානය සඳහා අප තෝරා  ගත්තේ  උස් භුමියේ  තිබුණු  දැල් ගැසූ ශාලාවකි.  ගම සහ අවට  ගම්මාන වල  ජවිපෙ  ක්‍රියාකාරිකයන්  සිටි බැවින් ආරක්ෂාව  ගැන  පිළිබඳව විශේෂ සැලකිල්ලකින්  යුතුව  කටයුතු කිරීම අවශ්‍ය විය . දිවා  ආහාරය  ගැනීමෙන් පසු චන්ද පොළ  පෙරහුරුවක්ද  පවත්වා අපි විවේක ගතිමු.  මැතිවරණ රාජකාරි සඳහා ගිය විට මේ විවේකය  යොදා  ගන්නේ ඇඟ රත් කරගන්නටය . බොහෝ විට  නිලධාරීන් පැමිණෙන්නේ බෝතලයක් හමාරක් ගමන් මල්ලේ දමාගෙනය .එසේ  නොවුනහොත්  ග්‍රාම සේවා නිලධාරියා ඒවා  තිබෙන ස්ථානයකට  නිලධාරීන්  කැඳවා  ගෙන  යයි . ග්‍රාම සේවා  නිලධාරියා පැමිණ  නැති බැවින් ඒවා සොයා  ගැනීමට  ද  මගක් නොමැත . එකම නිලධාරියෙක්  පමණක්  බෝතලයක්  ගෙනවිත් තිබුණේය. හත් අට දෙනෙකුගෙන් සමන්විත වූ අප පිරිසට එය කළු ගඟේ  පාලම  යටින් පාවී ගිය පපඩමක්  සේ විය  .  


සවස  5  වන විට තරමක සතුටක් දැනිණ. එයට  හේතුව  වුයේ අවට  තිබුණු චන්ද  මධ්‍යස්ථාන  හත අටක  නිලධාරීන් සමග  පොලිස්  නිලධාරින්ද අප සිටි  පාසලට  පැමිණීමය .දුරස්ථ  චන්ද  මධ්‍යස්ථානවල  තනි වී රාත්‍රී කාලය ගත කිරීම    ඉතා  අනතුරු දායක වූ බැවින්  සියලු දෙනාම  රාත්‍රී කාලයේ    එක ස්ථානයක  නතර  කිරීමට  පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව  තීරණය  කර තිබුණි     .


රාත්‍රිය  උදාවිය. එහෙත් පාසලට  විදුලිය  තිබුනේ  නැත .එබැවින් රාත්‍රී ආහාරය  ගන්නා   තෙක්  ආලෝකය සපයා   ගැනීමට  පොලීසිය විසින් ඉටිපන්දම්  සැපයුවේය .රාත්‍රී ආහාරය සැපයුවේද, කොට්ට සහ  පැදුරු  ගෙනවිත් දුන්නේද  පොලිසිය විසින්මය.


අඳුර වැටී  ටික වෙලාවකින් බෝම්බ  පුපුරන  ශබ්ද   ඇසෙන්නට  විය .සෑම විනාඩි  දහයකට දොළහකට වරක්  හතර අතින්ම  බෝම්බ  පුපුරන්නට  පටන්ගත්තේය . ඇතැම් බෝම්බ පිපිරුවේ ආසන්නයේය .චන්ද දායකයන් සහ නිලධාරීන්  බිය ගැන්වීම සඳහා  'දේශප්‍රේමින්' බෝම්බ   පිපිරවූ බවට සැකයක් නැත . පොලිස් නිලධාරින්  පහළොවක් විස්සක් අවට සිටි බැවින් නිලධාරීන් තුළ විශාල  බියක් ඇති වුයේ  නැත . අප සිටි ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරීන් දෙදෙනා ශාලාවේ  තිබු ඩේස් එකතු  කොට වේදිකාවක්  තනා  එය මතට  පුටු මේස  තබා  මුර  කපොල්ලක්  තැනුවේය  එක පොලිස් නිලධාරියෙක් ඒ මැදින් වාඩිවී  තුවක්කුව පිටතට එල්ල කරගෙන සතුරු ප්‍රහාරයකට  මුහුණ දීම  සුදානම් විය. අනෙක් පොලිසි නිලධාරියා තම වාරය එන  තුරු විවේක  ගත්තේය .



" මහත්තයල  බය නැතිව  නිදාගන්න. ප්‍රශ්නයක් ආවොත් අපි බලාගන්නම් ." මුර සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියා අපට කිවේය .මේ වන විට සියලු ඉටිපන්දම්  නිවා දමා   තිබිණ .මුළු ප්‍රදේශයම  තිත්ත  කලුවරය . නොකඩවාම බෝම්බ  පුපුරන  හඬ ඇසෙන  බැවින් නින්ද  යන්නේද  නැත .  කොයි මොහොතේ  හෝ අප සිටි ශාලාවට  බෝම්බ  ප්‍රහාරයක් එල්ල වෙතයි අප කවුරුත්  සිටියේ  තරම බියකිනි   රෑ එක වෙන තුරුම මට නින්ද  නොගියේ  නොනවත්වාම වරින් වර බෝම්බ  පිපිරුණු නිසාය    .  එලි වෙනතුරුම  නොනිදා සිටිය හොත් පසුදා රාජ  කාරී කිරීම අසීරු වෙනවාට සැකයක් නැත .එබැවින් කෙසේ  හෝ නිදාගත  යුතුය.

  " කමක් නැහැ මන් නිදාගන්නවා.  මැරුනොත් මැරෙන්නේ  නින්දෙම්මනේ "  යයි සිත  හදා  ගත්   විට නොදැනීම නින්ද ආවේය.   


පාන්දර  5 ට  පමණ  කිසිවෙකු  පාසල දෙසට  තැබූ වෙඩිල්ලක් මා අවදි කළේය    .මුණ සෝදාගැනීමට  පාසලේ  ලිඳ අසලට ගිය  මැතිවරණ  නිලධාරියෙකුට ජවිපෙ  තුවක්කු කරුවෙකු විසින් පාසලට  ආසන්නයේ  තිබු කුඩා  කඳු ගැටයක සිට   වෙඩි තබා  තිබුණි . වෙඩිල්ල  ඔහුට නොවැදුනද වෙඩිල්ල  වැදුණු තැන තිබු  ගල් කැටයක් විසිවී අවුත්  ඔහුගේ  පාදයකට වැදී  යන්තමින්  තුවාල වී  තිබුණි.. පොලිසිය වෙඩික්කාරයා සොයා  ගිය  නමුත්   ඔහු පැනගොස්  තිබුණි . 


උදේ  හය වන විට අනෙකුත් චන්ද මධ්‍යස්ථාන  නිලධාරීන්  තම චන්ද  මධ්‍යස්ථාන  බලා  ගිය අතර උදැසන  හතට  ට චන්දය  පටන් ගැනීම සඳහා අපි සුදානම් වූයෙමු.   පක්ෂ තුන හතරක චන්ද  පොළ නියෝජිතයන්  කීප දෙනෙකුද  පැමිණි අතර ඔවුහු  පළමුව තම චන්දය  පාවිච්චි  කළහ . එහෙත් වෙනත් එකම චන්ද දායකයෙකුවත් පැමිණ සිටියේ නැත .   පස්වරු එක වන විට   චන්දය  පාවිච්චි කර   තිබුනේ හත් අට දෙනෙකු  පමණි.එහෙත්  සවස  1  න් පසු  චන්ද දායකයන්  වැඩි වැඩියෙන් එන්නට   පටන් ගත් අතර සවස  4 වන විට අපේ  චන්ද  මධ්‍යස්ථානයට අයත් චන්ද දායකයන්ගෙන් 50 % කට වැඩි පිරිසක්  පැමිණ චන්දය  පාවිච්චි කර තිබිණ  .ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය චන්දය වර්ජනය  කළද  ඔවුන්ගේ  පාක්ෂිකයන්  පැමිණ සම සමාජ , කොමියුනිස්ට් ,මහජන  පක්ෂය ආදී පක්ෂවලට   සිය චන්දය  දුන්හ .


සවස  4.30 වන විට සියලු වැඩ කටයුතු අවසන් කොට  චන්ද  පෙට්ටියටත් රැගෙන මැතිවරණ රාජකාරි සඳහා පැමිණ තිබු   බස්  රථයට  ගොඩ වීමු .අවට චන්ද  මධ්‍යස්ථානවල  චන්ද  පෙට්ටි  රැගෙන නිලධාරින් ඉන්පසු  එහි   පැමිණි අතර ඔවුන්ද   තම චන්ද පෙට්ටි සමග අප සිටි බසයට ආහ. පොලිස් නිලධාරින්ද එම  බස් රථයට  ගොඩ වීමෙන් පසු  බස් රථය  කළුතර කච්චේරිය  බලා  පිටත් විය. පිටුපසින් පොලිස්  රථයක්ද පැමිණෙමින් වැඩි දුරටත් ආරක්ෂාව සැපයුවේය අතර  මග  හන්දිවල  නාවික හමුදා  භටයන් විමසිල්ලෙන්  සිටි අතර ඔවුන් බස් රථයට  ඉක්මනින් යාම සඳහා අවශ්‍ය  සහය දුන්හ .


චන්ද  ගණන් කිරීමේ  රාජකාරි සඳහා  මා යොදවා නොතිබුණෙන්  මතුගම  නගරයේදී    බස් රථයෙන් බැසීමි. එතැන් සිට  තවත් බස් රථයක  නැගී  ගමට  පැමිණි  විට ආරංචි වුයේ  ගමේ චන්ද  පොලට  පැමිණ චන්දය දී  නිවෙස් බලා  යමින් සිටි කීප දෙනෙකුට ජවිපෙ තුවක්කු කරුවන් වෙඩි තබා  තුවාල  කර ඇති බවය. .කරදරයකින් තොරව නිවසට  පැමිණීම පිළිබඳව නිවසේ සියල්ලෝම මහත් සැනසුමක්  ලැබූ බව අමුතුවෙන් කියා  යුතු නොවේ.


පසුදා උදැසන වන  විට චන්ද  ප්‍රතිඵල  ආවේය .එක්සත් ජාතික  පක්ෂය  ජයග්‍රහණය  කොට තිබු අතර  වාමාංශික  පක්ෂද    සැලකිය  යුතු ජයග්‍රහණයක් අත් කරගෙන සිටියහ .චන්දය දෙන අය මරා  දමන  බවට .ජවිපෙ තර්ජනය  කර  තිබුණු මුත් චන්ද දායකයන් විශාල වශයෙන් පැමිණ  චන්දය  පාවිච්චි  කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට  ඉතා වැදගත්  පණිවිඩයක්  මහජනයා දුන්හ. එහෙත් එය වටහා  ගැනීමට  ජවිපෙට අවශ්‍ය වුයේ නැත.


පළාත් සභා චන්දය  පවත්වා  මාස දෙකක්,  තුනක්  පමණ වන විට අපේ  ගම තුළද ජවිපෙ වැඩි වැඩියෙන්  ක්‍රියාත්මක  වන්නට විය . එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ද ග්‍රාමීය  නායකයෙකු ද,   හිටපු ගම් සභිකයෙකු වූ ද සෝමපාල  නමැති අයෙකුගේ   ගමේ හංදියක  දුරකථන  කණුවකට ගැට  ගසා වෙඩි තබා  මරා දමනු ලැබීය.  .ඉන් මසකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ තරුණයෙකු මගේ නිවසට මීටර් 500  පමණ දුරින් පාරේ දී  රාත්‍රී  කාලයේදී වෙඩි තබා ඝාතනය කර   තිබුණි.  තවත් සති දෙක තුනකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ  තවත් ගම වැසියෙකු  මරා දැමනු ලැබිණ  .


කුමන බිහිසුණු  තත්වයක් තිබුණද  රාජකාරිය සඳහා  පාසලට  යාම  කළ යුතු විය. පාසලට මා දිනපතා  ගියේ  පාපැදියකිනි. පාසැල පිහිටි ගම  ජවිපෙ මුලස්ථානයක් විය .මගෙන් ඉගෙන ගන්නා   ඇතැම් සිසුන්ද  ජවිපෙට සම්බන්ධ  බව දැනගන්නට  ලැබුණු  මුත් මා හෝ වෙනත් ගුරුවරයෙකු ඒ  පිළිබඳව  ඔවුන්ගෙන් විමසන්නට   ගියේ  නැත . එසේ  විමසුවේ  නම් ජවිපෙ අප  ඝාතනය  කරනු නිසැකය .


ජවිපෙ විසින් වරින් වර ඇඳිරි නීතියද  පනවනු ලැබීය.  එය දන්වන  ලද්දේ  තැන තැන  ඇලවූ  පෝස්ටර්  මගිනි .ආණ්ඩුවේ  ඇඳිරි නීතිය  පැනවූ විට  නිවෙස් වල අපි  පහන් දැල්වූ නමුත්  ජවිපෙ ඇඳිරි නීතිය  යටතේ  නිවෙස තුළ  ඉටිපන්දමක්  හෝ දැල්වීම තහනම් විය .  ඇඳිරි වැටීමට   පළමුව රාත්‍රී ආහාරය ගෙන නිදිමත එනතුරු සැකයෙන් සහ  බියෙන්  කරුවලේ  කතා බහ  කරමින් සිටීමට සියල්ලන්ටම සිදු විය . කුඩා දරුං සිටින නිවෙස්වල රාත්‍රී කාලයේදී අඩු වශයෙන් ඉටිපන්දමක් වත් දල්වා තැබිය  යුතු වුවත් සිදු වුයේ කට්ට  කරුවලේ භීතියෙන් රාත්‍රිය  ගත කිරීමටය . ඇතැම් දිනෙක ආණ්ඩුවේ ඇඳිරි  නීතිය  ක්‍රියාත්මක වූ අතර තවත් දිනෙක  ජවිපෙ ඇඳිරි නීතිය  පනවනු ලැබිණ . 


1988  වන විට  තත්වය වඩාත් දරුණු වන්නට විය . නාවික  හමුදාවේ  කඳවුරක්  ගමට ආසන්නයේ  පිහිටවනු  ලැබීය .  රාත්‍රී  කාලයේ  නාවික භටයන්   නිවෙස් වටලා  සෝදිසි කරන්නට වුහ . දිනක් පාන්දර 5 ට  පමණ   ඔවුහු   මගේ  නිවසටද ආහ . බිරිඳ සහ නැගෙණිය සිටියේ මුළුතැන්ගෙයි ආහාර  පිසිමිනි . ඔවුන්ට   කියා  පිටුපස  දොර අරවා  ගත්  නාවික භටයන් කීප දෙනෙකු ගේ සෝදිසි  කල අතර දෙදෙනෙකු  මගේ  නිදන    කාමරයට  පැමිණ මගෙන්  ප්‍රශ්න  කීපයක් අසා  ඉදිරිපස දොර විවුර්ත  කරන ලෙස  කීහ. දොර විවුර්ත  කළ විට එහි සිටියේ තුවක්කු  අමෝරාගත් නාවික  භටයන්  දෙදෙනෙකි. 


"එන්න .එන්න ඇතුලට " මම  ඔවුන්ට  කීමී. මා එවැන්නක්  කියනු ඇතැයි ඔවුන් කිසිසේත්  බලාපොරොත්තු වුයේ  නැත .මා බියවනු ඇතැයි නොවරදවාම  ඔවුන් අපේක්ෂා  කළ බව පෙනුණි .


"තමුසේ  දන්නවද අපි මොකද ආවේ කියල " නිවස තුලට එමින් එක්   භටයෙක් තර්ජනාත්මකව  ඇසුවේය.


"මං නම් දන්නේ  නැහැ  ආවේ  මොකද  කියල .හැබැයි  මං JVP  කියල  හිතාගෙන ආවනම් වැරදියි  ."


" නිකං බබා  පාට්  දාන්න  එපා අපිට ".කියමින් ඇතුලට පැමිණි ඔවුහු  කාමරයකට රිංගා අල්මාරි අවුසන්නට පටන්ගත්හ.  . මේ වන විට නිවස  තුළ  නාවික  හමුදා  භටයන්  පස් දෙනෙකි . ඔවුන් අස්සක් මුල්ලක් නෑර අවුස්සමින් සොයන්නට විය .


" මොනවා  මේ පොත්? "   කැලෑ ඇඳුමක්  ඇඳ සිටි  භටයෙකු  මගෙන් ඇසුවේය .


මාක්ස්, එංගල්ස් , සහ ලෙනින්ගේ  පොත් රැසක් ද සමාජවාදය  ගැන ලියන  ලද  පොත් ද  රුසියානු නව  කතා  සහ  කෙටි කතා  පොත් ගොන්නක්ද  මා විසින් ශාලයේ   තිබු  බිත්ති පොත් රාක්කයක  තබා  තිබුණි. එහි තිබු  පොත් සංඛ්‍යාව  500 කට අධිකය . කොමියුනිස්ට් පක්ෂය විසින් ඒවා  මට  ලබා දී තිබුණේ  පුස්තකාලයක් ආරම්භ  කිරීම සඳහාය . කොමියුනිස්ට් පක්ෂය විසින්  වරින් වර  මා වෙත එවන  ලද  මුද්‍රිත  ලිපිද  පොත් රාක්කයේ වෙනම ස්ථානයක  තබා තිබුණි .


"ඔය  කොමියුනිස්ට් පක්ෂෙන්  පුස්තකාලයක් දාන්න  කියල දුන්න  පොත් වගයක් ." ප්‍රශ්නය ඇසු නිලධාරියට මා ඉක්මනින්ම කීමි .  


"දැන් එකෙත් වැඩ  කරන්නේ  නැහැ නේද?"  ඔහු එසේ  ඇසුවේ   කළුතර  පැවැත්වෙන  සරත් මුත්තෙටුගම අනුස්මරණ  රැස්වීමක් සඳහා ඒවා  තිබු  ආරාධනා  පත්‍ර  ගණනවක්  බෙදා  නොහැර  තිබෙනු දුටු නිසා විය  හැක .

"ඔව් මේ දවස්වල වැඩ  කරන එක භයානකයිනේ . ඒ නිසා මේ දවස්වල  වැඩ  නවත්තල තියෙන්නේ."  


 ඉන් අනතුරුව  වෙනත් කිසිවක් නොඇසූ ඔහු නිවසේ  වෙනත් තැන පරික්ෂා  කරන්නන්ට  විය . ඉන්පසු මගේ නිදන  කාමරයට  මා   කැඳවූ කණ්ඩායමේ  ප්‍රධාන  නිලධාරියා  එහිවූ පොත් පත්  හා  ලිපි ගොනු අවුස්සමින් ප්‍රශ්න රැසක් ඇසුවේය . කරන රැකියාව පවුලේ විස්තර . දේශපාලන  කටයුතු  සහ වෙනත් දේ  පිළිබඳව  පැය භාගයකට අධික වෙලාවක් මගෙන් ඇසුවේය.කිසිදු පටලැවිල්ලකින් තොරව   පිළිතුරු  දුනිමි . එම නිලධාරියා  මා  ප්‍රශ්න  කරමින්  සිටින අතර තුර එක භටයෙකුට  නිවසේ  පිටුපස  කොටසක තිබී හමුවූ පිස්තෝලයක්   ගෙනවුත් එම නිලධාරියාට  දුන්නේය .

"මේක  මොනවටද? " නිලධාරියා  මගෙන් ඇසීය .


"ඕක  ලොකු   පුතාගේ සෙල්ලම් පිස්තෝලෙ ."


ඒ වන විට  වැඩිමහලු පුතාගේ වයස අවුරුදු 5 ක්  පමණ විය .


 නාවික  හමුදා  කඳවුරට මා  රැගෙන  ගොස්  පහර දී  යලිත්  මගෙන් ප්‍රශ්න අසනු ඇතැයි  මා සිත  තුල  බියක්ද ඇති වෙමින් තිබුණි. එකල වට  පිට  පැතිරීගිය ආරංචිය වුයේ නාවික  කඳවුරට  ගෙන ගිය  කිසිවෙකු පණ පිටින් ආපසු  පැමිණියේ  නැති බවය . 

" දැන්  ඊළඟට මොකද  කරන්නේ ?"  ප්‍රධාන  නිලධාරියා අවසානයට  ඇසුවේය .

"මන් දැන් ඉස්කෝලේ  යනවා "

 "කීයටද  ඉස්කෝලේ ඇරෙන්නේ ?"

" 1.30 ට . "

 "1.35 ට කැම්ප් එකට එන්න  ඕනේ " කිව්  ඔහු අනෙකුත්  නාවික  හමුදා  නිලධාරීන් සමග  ආපසු  යන්නට  ගියේය  .


( ඉතිරි  කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙන්න )

 

 

 



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල