Skip to main content

මා දුටු 87-89 භීෂණය -4 කොටස - හමුදාව මහා රෑ නිවසට කඩා වදී





       මෙයට පෙර   ලිව තුන් වන  කොටසේ  මා විස්තර  කළේ දිනක් පාන්දර  නාවුක  හමුදා  භටයන් මගේ  නිවසට  පැමිණ  නිවස   සෝදිසි කොට  නැවතත්  මා  හමුදා  කඳවුරට ගෙන්වා ගෙන  ප්‍රශ්ණ  කළ ආකාරයය. මා  එහි ගියේ මට පහර දී ඇට  කටු කඩා අවසානයේදී පාරක් අසබඩදී රාත්‍රී  කාලයේදී මා  වෙඩි  තබා මරා දමනු ඇතැයි යන භීතියෙනි. නමුත් මා  ජවිපෙ සාමාජිකයෙකු නොවෙන  බව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වටහා ගත්  නිසාදෝ   ඔවුහු  මට ආපසු ඒමට ඉඩ දුන්හ .





                                               (චන්දය දැමීම  නිසා ජවිපෙ කළ දඩයමකි )


රටේ අනෙකුත් සිංහල ප්‍රදේශවල  මෙන්ම  අපේ ගමේ සහ අවට ගම්මාන වල ද 1988 මැද භාගයෙන්  පසු  ජවිපෙ ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබුණි . රාත්‍රී කාළයේ ගමේ  නිවෙස් වලට  ජවිපෙ තුවක්කු කරුවන්  ගොස්  තිබුණු බවට ප්‍රවුර්ති ලැබෙමින් තිබුණි. දිනක් මා  හමුවීමට  පැමිණි  කාන්තාවක් ඉකුත් දින  රාත්‍රියේ  ජවිපෙ තුවක්කු කරුවන්  තම නිවසට  පැමිණි බවත් නිවසේ අල්මාරි ලාච්චු පවා   විවුර්ත කොට සෝදිසි කොට අවසානයේදී හිංසාවක් නොකොට  පිටවී  ගිය බවත්  කීවාය.   අද උදැසන ලාච්චු  විවුර්ත  කොට බැලුවිට එහි තිබු රත්තරන් වළලු (සංඛ්‍යාව මතක නැත ) අතුරු දහන් වී  ඇති බවත් ඒවා  ගෙන  යන්නට ඇත්තේ  රාත්‍රී  කාලයේ  පැමිණි  ජවිපෙ  තුවක්කු කරුවන අතරින්  ලාච්චු ඇවිස්සු අය විය  යුතු බවත් කීවාය. එක වළල්ලක්  තබා ගෙන  අනිත් වළලු  ආපසු  ලබා දෙන  ලෙස  ඉල්ලමින් ජවිපෙට  පණිවිඩයක්  යවන  ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය.


1980 න් පසු ජවිපෙ සමග  මගේ  කිසිදු සම්බන්ධයක් නැති බව  මම ඇයට පැහැදිලි කළෙමි .එබැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු උදව්වක්  කළ  නොහැකි  බව   කි මා   ජවිපෙ ප්‍රාදේශීය සන්නද්ධ  නායකයා සිටින්නේ අසල  ගමක් වූ ගිරිකොල ප්‍රදේශයේ  බැවින්  හැකි නම්  ඔහු හමුවී මේ පිළිබඳව  ඔහුට දන්වන  ලෙස   ඇයට කීවෙමි.


ජවිපෙ ප්‍රාදේශීය  සන්නද්ධ  නායකයා වුයේ   මතුගම   පොළේ එළවලු විකුණු වෙළෙන්දෙකි . ඔහු කලක් පදිංචිව සිටියේ  මගේ නිවස අසල  ගෙයක් කුලියට ගෙනය . එකල  ඔහු ජවිපෙට සම්බන්ධ  බව  කිසිවෙකු දැන සිටියේ  නැත . රාත්‍රී කාළයේදී  නීති විරෝධී ලී ජාවරමක්ද ඔහු කළේය. පොලට  ගිය අවස්ථාවල  ඔහුගෙන් කීප අවස්ථාවක   මා එළවලු මිලදී  ගත් බැවින් ඔහු සහ  මා අතර  දුරස්ථ සම්බන්ධ කමක් තිබුණි. ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බවට  ගමේ  ප්‍රසිද්ධ වුයේ  නාවික  හමුදාව ඔහු අල්ලා  ගැනීමට  දින දෙකක් ඔහුගේ  නිවස වැටලීමෙන් පසුවය . එහෙත් දිවීමේ ශුරයෙකු වූ ඔහුව අල්ලා  ගැනීමට  නොහැකි විය. ඉන්පසු  ඔහු අපේ  ගම අත් හැර  ගිය නමුත් ප්‍රදේශයේ  ජවිපෙ සන්නද්ධ  නායකයා  ලෙස  ක්‍රියා  කාරකම් වල  යෙදුනේය . ඔහුගේ දෙවෙනියා වුයේ පොලිස් කොස්තාපල් වරයෙකි.  පොලිසියේ සේවය සඳහා වාර්තා  කිරීමෙන් වැළකුණු ඔහු ජවිපෙ සන්නද්ධ  ක්‍රියා  කාරකම්වල  නිරත විය . කැරැල්ලේ  පරාජයෙන් පසුව පොලිසිය විසින්  ඔහු අල්ලාගෙන මිනීමැරීම් චෝදනා  මත  අධිකරණයට ඉදිරිපත් කළ අතර  අධිකරණය විසින් ඔහුට  මරණ දඬුවම නියම  කරනු ලැබීය . අවුරුදු 20 කට අධික  කාලයක් සිරගතව  සිටි ඔහු මේ වන විට  නිදහස  ලබා වෙනත් ප්‍රදේශයක  ජීවත් වන  බවට  මෑතකදී  මට දැනගන්නට ලැබිණ . ප්‍රාදේශීය  ජවිපෙ නායකයා අල්ලා  ගැනීමට  කැරැල්ලේ  පරාජයෙන්  පසුවද පොලිසියට  නොහැකි විය .ඔහුද උප නායකයා සමග දුරස්ථ ප්‍රදේශයක  ජීවත් වෙන බවට ආරංචි තිබේ .




 ජවිපෙ විසින් අනෙකුත් බොහෝ දේශපාලන  පක්ෂ  මේවන විට  තහනම්  කොට  තිබු බැවින්  දේශපාලන  පක්ෂ වලින්  ඉවත්වූ බව සඳහන් කරමින් බැනර් දමන  ලෙස  ජවිපෙ අවට  ගම්මානවල දේශපාලන පක්ෂවල   ප්‍රමුඛයනට  නියෝග  කර  තිබුනේය .එම නියෝගය අනුව  කටයුතු නොකළ හොත් මරණය අත්වෙන  බැවින්  දේශපාලන  කටයුතු වලින් ඉවත්වූ බව දන්වමින් අපේ  ගමෙත් අවට  ගම්මානවලත් පාරවල  හරහා එල්ලූ බැනර් සිය  ගානක්  දැකීමට  හැකිවිය . වැඩියෙන්ම එවැනි බැනර් එල්ලා  තිබුනේ  මා එකල ඉගැන්වූ  පාසල තිබු  ගම වූ ගිරිකොලය .මුළු ගමම  ජවිපෙ ආධිපත්‍යයට  යටත් වී  තිබිම එයට  හේතුව  විය .


                                         (ජවිපෙ  විසින්   ගිනි තැබූ  ආණ්ඩුවේ  බස් රථ )


දේශපාලන  පක්ෂකට සම්බන්ධ වුවද,  නැතද , සියල්ලෝම  කාලය  ගත  කළේ බියෙන් සහ සැකයෙනි.රාත්‍රී කාලයේ තම නිවසට එක්කෝ ආණ්ඩුවේ  හමුදා  හෝ ජවිපෙ එනු ඇතැයි බියට පත්ව සිටියහ. අඳුර වැටුණු පසු  බොහෝ රෑ වන තුරු  මා ගත  කළේ මිදුලට වී අන්ධකාරයේය. අද මෙන් වාහන සුලබ නොවූ එකල  වාහනයක් එනු ඇසුණු විට පපුව  තුල ඇතිවන ගින්දර ගැන දන්නේ  එකල සිටි අය පමණි. රාත්‍රී  කාලයේ  නින්දේ සිටියද කිලෝ මීටර  භාගයක්  දුරක සිට  නැගෙන වාහනයේ  හඬ පවා මිනිසුන් ඇහැරවයි. වාහනවල එන්නේ ආණ්ඩුවේ  හමුදා  හෝ මන්ත්‍රීවරු යටතේ  පැවති සන්නද්ධ  කණ්ඩායම්ය  . ජවිපෙ තුවක්කු කරුවන් ට  අඩු වශයෙන් යතුරු  පැදියක්වත් නොතිබුණු  බැවින්  ඔවුන් රාත්‍රී   කාලයේ  සැරිසැරුවේ  පා  ගමනිනි . 



දිනක් රාත්‍රී 8 ට  පමණ  මා  කළුවරේ  මිදුලට වී සිටින විට  නිවස  ඉදිරිපිටින් දිවෙන  පාර දිගේ  කිසියම් වාහනයක්  පැමිණ , මගේ  නිවස  පසු කොට මීටර්  50 ක් පමණ ගොස්  නැවත්වුයේය. ඊළඟ මොහොතේ  මා දුටුවේ  හමුදා  භටයන් යයි සිතිය  හැකි පිරිසක්  මගේ  නිවස දෙසට දුවගෙන එන  අයුරුය .ඔවුන් පැමිණෙන්නේ  මා අල්ලාගෙන  යාමට විය  හැකි  යයි  සිතු  මා නිවස පිටුපස දෙසින් පැනයාම සඳහා දුවන්නට  පටන් ගතිමි. පිටුපස සිටි  නැගණිය  මා දුවනු දැක "මොකෝ " යයි ඇසු විට 'ආමි එක එනවා ." කියමින් වත්ත  පහලට  දුවගොස් කුමුරු  හරහා දුවන්නට  පටන් ගතිමි. කට්ට  කළුවරේ කුඹුරුවල  නියරවල්  දිගේ දිවිය  නොහැකි බව ඔබට සිතා   ගත  හැකි විය  යුතුය. නියරවල් මත  හැරී හැරී දුවන විට  මා කීප වතාවක්ම හොඳින්  වැවී තිබුණු ගොයම් මතට  කඩා වැටුණේය. ඒ හැම විටකම  යලි නැගිට  දුව  ගොස් අක්කර  දෙකක් පමණ  වූ එම  කුඹුරු  යායෙන් එපිටින් වූ රබර් වත්තට  ගොඩවී එහි තිබු විශාල  ගල් පොත්තක්  මත වාඩිවී ගිමන් ඇරියෙමි. එහි සිට  මගේ  නිවසට මීටර් 150 කට වඩා දුර  නැත .



මා සිටි රබර් වත්ත බැවුම් සහිත ඉඩමකි. එය අයත් වුවේ  පන්සලටය .ටික වෙලාවක් මා  එහි සිටින විට ඉඩමේ  ඉහල  පැත්තෙන් වරින් වර 'දඩාස් ' ' දඩාස් ' යනුවෙන් මොනවදෝ වැටෙන  හඬ ඇසෙන්නට  විය. හමුදා  භටයන් පන්සලට ගොස් එහි සිට වත්ත දෙසට විශාල ගල් එවන්නේ   මා එහි සිටිතැයි   සිතා විය  යුතුය යැයි මා  කල්පනා  කළෙමි. මා සිත තුළ වූ භීතිය තව දුරටත් වැඩි විය .



                                  (පවුලේ සාමාජිකයෙකු  හමුදාව  විසින් රැගෙන  යාමෙන් පසු  )


තවත් පැය භාගයක්  ගතවූ  විට  පැමිණි වාහනය ආපසු යන  හඬ මට ඇසුණේය. ඇතැම් විටෙක  හමුදා  භටයන් නොමැතිව වාහනය  ආපසු  යනවා විය  හැකියයි මා  කල්පනා  කළෙමි. වාහනය  ආපසු යන  බව ඇසුණු විට මා  යලි නිවෙසට  ගිය විට මා අල්ලා  ගැනීමට  ඔවුන් නිවෙස අවට සැඟවී සිටිනවා විය හැක . එබැවින් මා  තව දුරටත් ගල්තලාවට වී සිටිමට  තීරණය  කළෙමි.


අපේ ලිඳ  තිබුණේ මා පසු කොට ආ  කුඹුර ආසන්නයේය. හමුදා වාහනය  ගොස් පැය භාගයකට හමාරකට   පසුව   ලිඳට  පැමිණි කිසිවෙකු පනිට්ටුවකින් වතුර  ගනිමින් අනවශ්‍ය පරිදි පනිට්ටුව ලින් ගැට්ටේ කීප වාරයක්  හප්පන  හඬ  මට ඇසුනේය. අනතුර  පහව  ගොස් ඇති බැවින් ආපසු  එන ලෙස මගේ බිරිඳ  කරන සංඥාවක් ලෙස  සැලකු මම සෙමින් සෙමින් ආපසු  නිවසට එන විට බිරිඳත් නැගෙණියත් නිවසේ  පිටුපස දොර අසල සිටි අතර ඉක්මනින් නිවෙස  තුළට  එන  ලෙස කිහ .


"ගියාද?     නිවසට ඇතුළු වෙමින්  බිරිඳගෙන් ඇසිමි.


"'ඔව් ගියා " බිරිඳ  කීවාය .


" මොනවද ඇහුවේ?"  


" ඒ මිනිස්සු  නරක මිනිස්සු  නෙවෙයි . හොඳට  කතා  කළා . "



                                  ( හමුදා අත් අඩංගුවට  පත්වූ  ජවිපෙ සාමාජිකයෙකුගේ  ඉරණම )

        


මා  නිවස පිටුපසින් පැනයනවාත් සමගම හමුදා  භටයන් කීප දෙනෙකු නිවස  පසු පසට  දුව ආ  බව සොහොයුරිය මා සමග කීවාය . මා තවත් මොහොතක් හෝ ප්‍රමාද වී  දිව්වේ  නම්   ඔවුන් මට වෙඩි තබනු සිකුරුය. එදින රාත්‍රියේ එම භට පිරිසම  වෙනත් නිවසක් වැටලීමේදී පැන ගිය අයෙකුට වෙඩි තැබීම  නිසා බොකු බඩවැල් එලියට  පැන දොලක වැටි සිටි බව    පසුදා ආරංචි විය .


" මොනවද ඇහුවේ ?" යලිත් බිරිඳගෙන් ඇසුවෙමි.


" ඔයා  කෝ කියල ඇහුව . මංකිව්වා දැන් හිටිය  කියල . දැන් හිටියනං කෝ  කියල ආයිත් ඇහුව  .මං කිව්වා  සමහරවිට  පංසලට යන්න ඇති පත්තර  බලන්න කියල ".

 (පන්සල තිබෙන්නේ මගේ ගෙවත්තට අල්ලපු වත්තට අල්ලපු වත්තේය .)

" ඉතින් ?" 

ඉතින් නොකිය   ගියේ මොකද  කියල ඇහුව.  නොකිය  යන්නේ  පුතා  පස්සෙන් යන නිසා කියල මන් කිව්වා. ( එකල  ලොකු පුතාගේ වයස අවුරුදු 6 ක් පමණ විය ) ඊට   පස්සේ  මුළු ගේම ඇවිස්සුවා.ඇඳන්  යට  පවා බැලුව . සොල්දරේ  හැංගිලා  ඉන්නවා  නේද  කියල ඇහුව .( එකල  තිබු අපේ  පැරණි නිවසේ  සොල්දරයක් තිබිණ .) මං කිව්වා සැක නම් සොල්දරේට  නැගල බලන්න  කියල. එයිට  පස්සේ  සොල්දරෙටත් නැගල බැලුව. 

" ඊට පස්සේ ?"

"  මං ඇහුව  කොහෙන්ද ආවේ  කියල . කියන්න  මං මහත්තයව එක්කන් එන්නම් එතනට  කියල . නැහැ.  අපි ආයිත් එන්නම්  කියල  ආමි එකෙන් ආපු  ලොක්ක  කිව්වා .  බය වෙන්න දේකුත් නැහැ බොහොම විනීත විදිහට තමා  කතා  කළේ "


 මා සිත තුළ වූ බිය  තරමකින්  පහ වුවද රාත්‍රී  ආහාරය ගැනීමටවත් බඩ  ගින්නක් ඇති වුයේ  නැත. බිය  පත් වූ කළ  කුසගින්න අතුරුදහන්  වන  බව  වැටහුනේ එකලය . කෙසේ වෙතත් ඔවුහු  සැර වැර නොකර  කතා  බහ  කර  තිබුණු නිසා  මගේ සිත  තුල වූ බිය තරමකින්   අඩු විය .එබැවින් ඔවුන් නැවතත්  පැමිණිය  හොත් පැන නොගොස් ඔවුන්ට   මුහුණ දීමට  තීරණය  කළෙමි.  ඔවුන් අසන  ප්‍රශ්න වලට දිය යුතු පිළිතුරුද දින දෙක  තුනකදී මා  තීරණය  කර ගතිමි . මා සපයන  පිළිතුරු අසත්‍ය  ලෙස  ඔවුන්ට වැටහුනහොත්  මා  කුදලාගෙන  යාමට  ඉඩ  තිබුණි. එබැවින් මා   කාලය  ගත  කළේ කිසිදු මානසික සහනයක්  නොමැතිවය .



              

ඉන් සති දෙකකට  පසු දිනක  පාන්දර දෙකට  පමණ හිටි හැටියේ  මා අවදි වුයේ තරමක් දුරින් ඇසුණු වාහනයක   හඬටය . එන්නේ  හමුදා වාහනයක් විය  හැකිය.  ප්‍රධාන දොර අසලින්  පුටුවක් තබා එහි නැග දොරට  ඉහලින් තිබු ලී  කැටයම් කවුළුව  තුළින් පිටත බැලීමි . වාහනය නිවස  පසු කොට  මද දුරක් ගොස්  නවත්වනු ලැබීය. එයින් බැසගත්  හමුදා  භටයෝ මගේ නිවස දෙසට දුවගෙන  එන  බව  දුටු මා වහා  පුටුවෙන් බැස  එය  පැත්තකින්  තබා  නැවතත්  කාමරයට  ගියේ  නිදාගෙන සිටින  බව ඇඟවීමටය . ඊළඟ  මොහොතේ  ඔවුහු  දොරට  තට්ටු කළහ .


"කවුද? "  


"අපි  හමුදාවෙන්. දොර අරින්න ."


නිවාස  තුළද  ,පිටතද  විදුලි පහන් දල්වා  ඉන්පසු දොර විවුර්ත  කොට යන්තමින් පිටත  බැලීමි. දොර දෙපස  බිත්තිවලට හේත්තුවී  හමුදා  භටයන් දෙදෙනෙකු  සිටි අතර දොර  හැර  තබා අඩි කීපයක්  පසු පසට වීමි. ඉන්පසු එක හමුදා  භටයෙක් දොර  ඉදිරිපසට  විත් මගේ  බිරිඳ  අමතා 


'බය වෙන්න එපා  මිස්. අපි  තමා  කලින් දවසෙත් ආවේ " යයි කිවේය.


" මහත්තය ඉන්නවා  කියල සර්ට එන්න  කියන්න ". යයි  ඔහු අනිත් භටයාට  කිවේය .


සන්සුන් බවක්  මා  පෙන්වුවද  මා සිත  තුල ගිණි ඇවිලෙමින් තිබුණි  . කුමකින් කුමක් වෙනු ඇත්ද ? තවත් මොහොතකින්  ඔවුන් මා  හමුදා  රථයේ නංවාගෙන  රැගෙන  යාමට  ඉඩ තිබේ.


විනාඩි දෙක තුනකින් පසු  බර අඩි  තබමින්  හමුදා  ලොක්කා නිවස දෙසට එන  හඬ ඇසුණු අතර ඊළඟ  මොහොතේ ඔහු නිවස  තුළට ආවේය . ඔහු පැළඳ   සිටියේ කැලෑ ඇඳුමකි . ආදී හයක් පමණ උස  පුද්ගලයෙකු වූ ඔහුගේ  මුහුණේ  තිබුණේ රවුද්‍ර බවකි .


මා  පුදුමයෙනුත් පුදුමයට  පත් කරමින්  ඔහු මගේ අතට අත දුන්නේය .


" You are a master teacher ?"


"No.I am just an ordinary  teacher"


Mr. Karunarathna is a master teacher? 


Yes


(කරුණාරත්න  යනු කලින් පැමිණි දින  ඔවුන්ට අතර  මගදී මුණගැසී  ප්‍රශ්න  කරනු ලැබූ  ගුරු උපදේශකයෙකි.)


 "You are an English teacher?" ඔහු ඇසුවේය 


"Yes I am' යයි  මා  පිළිතුරු දුන්නෙමි .


" Okay .Let's sit and talk "


හමුදා  නිලධාරියා කතා  කළේ තරමක් කැඩුණු ඉංග්‍රීසියෙනි . ඔහුට අවශ්‍ය වුවේ අනිකුත්  භටයන්ට ඔහු ඉංග්‍රීසි දන්නා  බව  පෙන්වීමට  බව  මොහොතකින් මට වැටහින . ඒ  බව  නොහඟවා    ඔහුගේ  ගරුත්වය රැක දීමට ඉංග්‍රීසි බසින්ම  පිළිතුරු දුනිමි.


හමුදා  නිලධාරියා අසලින් මා වාඩිවූ පසු  ඔහු ඉංග්‍රීසියෙන්  සිංහලට  මාරුවිය .


" දේශපාලනේ  කරනවද?"


"මෑතක් වෙනකම්ම කොමියුනිස්ට් පක්ෂේ  වැඩ  කළා. මේ දවස්වල ටිකක් වැඩ නවත්තල  ඉන්නේ"


" ඒ මොකද?"


" කොමියුනිස්ට් පක්ෂේ  මිනිස්සුන්ව  JVP කාරයෝ මරනවනේ .ඒ  නිසා පරිස්සම් වෙන්න  ඕන නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්නේ  ." මා  කීවෙමි .


" එදා  අපි එනකොට  ඔයා  හිටියේ නැහැ. කොහෙද  හිටියේ.?"


"ළඟ   පාත  අපේ ඉඩමක්  තියෙනවා .මාසෙකට  කළින්  ඒ ඉඩමේ  රබර් පැල  හිටවනකොට අල්ලපු ඉඩමේ  මිනිහා මායිමකට අරියාදු  කළා .රබර්  පැල රැට ගලවල දානව  කියල මිනිහ  තර්ජනය  කළා. ඒ නිසා  මං අඳුර වැටුනම  ඉඩමට ගිහිල්ල  පැය  තුන  හතරක්  කරුවලේ වාඩි වෙලා  ඉන්නවා.රබර්  පැල  ගලවනවද  බලන්න . එදාත් මං ඉඩමට වෙලා  හිටියේ ."


" කොහෙද ඔය  ඉඩම  තියෙන්නේ ?" නිලධාරියා  නැගිටිමින් ඇසුවේය.


"මේ  පාර දිගේ ආපහු යනකොට  පාලමක්  හම්බ වෙනවා .ඒ පාලම පහු වෙනකොටම දකුණු පැත්තේ  තියෙන  ඉඩම ."


ඇත්ත වශයෙන්ම  මා  ඉඩම සම්බන්ධයෙන්  කි කතාව ඇත්තය . මසකට  පමණ පෙර  එහි රබර්  පැල සිටවන  විට  යාබද  ඉඩම් අයිතිකරු මා සමග  පුංචි පහේ ආරවුලකට ආ   අතර මායිමේ තිබෙන  රබර් පැල  ගලවන  බවට තර්ජනයක් ද කළේය. සත්‍යය සමග බොරුව මිශ්‍ර කොට      හමුදා  නිලධාරියාට මා කිවේ  කලින් දිනයේ    පැන දිව්  බව වසන් කරන්නට  තිබු හොඳම  මග එය වූ නිසාය .


දොර වසාගෙන  නිදා  ගන්නා  ලෙස  කිව්  හමුදා  නිලධාරියා අනෙකුත්  භටයන් සමග යන්නට  ගියේය.


තවත්  මර  උගුලකින්  ගැලවීම ගැන  මහත් සැනසීමක්  ලැබිණ .එහෙත් එය වැඩි  කල්  පැවතුනේ  නැත. ඉන් දින  කීපයකට පසු රාත්‍රී 12 ට  පමණ  ජවිපෙ  තුවක්කු කරුවෝ මගේ  නිවසට ආහ .


( ඒ පිලිබඳ විස්තර  මී  ළඟ  ලිපියේ  පළකෙරේ.)

පි. බර්ටි රණවීරගේ 

ගමගැන 

ගම 

Comments

Kalegana said…
කෝ මහත්තයෝ මේකේ අනිත් කොටස නැ නේ. ගොඩක් ආසාවෙන් කියෙව්වේ කොටස් 4ම. මේ සිද්දි වෙනකොට මට වයස 5යි. එත් මේ වගේ සිදුවීම් අද ඊයේ වගේම මතකයි.දැන් ඉන්න උන්ට හීනෙන්වත් ඒ වගේ අත්දැකීමක් ලබන්න වෙන්නේ නැ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල