Skip to main content

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ





     

මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිරීමෙන් අනතුරුව පස්වරු 1.35 ට නාවික  හමුදා  කඳවුරට  පැමිණෙන  ලෙස නියෝග  කොට  ඔවුන්  පිටව ගිය බව  එම ලිපිය කියවූ ඔබට මතක ඇතැයි සිතමි.

 අද එතැන් සිට .....


නාවික  හමුදා  භටයන් ආපසු  ගිය  පසු පාසලට  යාමට  මා සුදානම් වූවෙමි . පාසැල  තිබෙන්නේ  නිවසේ සිට කිලෝමීටර් දහයක්  පමණ  දුරිනි .නාවික  හමුදා  කඳවුර තිබුණේ  මගේ නිවසත්  පාසලත්  අතර ය. නාවික  හමුදා  කඳවුර කුඩා එකකි මා සිතන  හැටියට එහි  භටයන් 25 ක් වැනි පිරිසකට වඩා  සිටියේ නැත . එය ස්ථානගත  කර තිබුණේ ප්‍රධාන  මාවතට තරමක් ඈතින් වූ නිවෙසකය  එම නිවාස  අයත් වුයේ තජුඩින්ගේ මළසිරුර  සම්බන්ධයෙන් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව  ඉදිරිපත් කළ  ආනන්ද  සමරසේකර මහතාටය . කොලඹ පදිංචිව සිටි ඔහුගේ   ගමේ  නිවසේ කිසිවෙකු සිටියේ නැත 


එකළ  හමුදා  කඳවුරකට  යාම අතිශයින් භයානකය .එහි  ගිය අයෙකුට  නැවත  පණපිටින් ආපසු  පැමිණෙන්නට හැකිවේද  යන්න අතිශයින්ම සැක සහිතය .හමුදා  කඳවුරට ගිය  පසු මා එල්ලා  පහර දෙනු ඇතැයිද , ඇට කටු කඩා දමනු ඇතැයිද අවසානයට රාත්‍රියක  ගංගාවක් අසලට  ගෙන  ගොස් වෙඩි තබා  හෝ පකිස්තානු දුනු පිහියකින්  බෙල්ල  කපා  ගඟට දමනු ඇතැයි මගේ සිත  කියන්නට විය .එහෙත් මේ ඉරණමෙන් ගැලවීමට උපදෙසක් ගැනීමට  හෝ කෙනෙක් සිටියේ  නැත කොමියුනිස්ට් පක්ෂය හා මා  සම්බන්ධවී සිටියද එහි නායකයන්  මා හඳුනන්නේ නැති බැවින්  ඔවුන්ගේ මැදිහත්වීමක්  හෝ කරවා  ගැනීමට  මගක් තිබුනේ  නැත .අද මෙන් දුරකථන  පහසුකම් හෝ මානව අයිතීන් සංවිධාන  හෝ එකල  තිබුනේ  නැත .  එබැවින් කියන්නට  කෙනෙක් සිටියත් හනික සම්බන්ධ  කරගන්නට  මගක් තිබුනේ  නැත .එවැනි  පසුබිමක්  තිබියදී  කඳවුරට  යාමට  මට සිදුවී  තිබුනේ  ආපසු එන්නට  බලාගෙන නොවේ.



 අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතාගේ  සහෝදරයෙකු  මගේ මිතුරෙකු විය .ඔහු ජීවත්වුයේද නාවික හමුදා  කඳවුර අසල නිවසකය. නාවික  හමුදාවෙන්  ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඔහුට  කියන ලෙස දිනක් ඔහු මට  කියා  තිබිණ . මට  තිබු එකම ගැලවුම එය විය . එබැවින්පා සලට  යන අතර තුර  ඔහු හමුවීමට  ගොස්    සිද්ධිය  කීවෙමි .


"මං කොළඹ  යන්න  ලැස්තිවෙන්නේ . මං යන්න  ඉස්සෙල්ල  කෑම්ප් එකට  ගිහින් කියන්නම් .ඔයා නොවරදවාම  කිව්ව වෙලාවටම  කෑම්ප් එකට යන්න " යයි ඔහු මට උපදෙස්  දුන්නේය .


පාසල ඇරෙන්නේ සවස 1.30 ටය. එබැවින් පාසල අවසන් වන තුරු සිට 1.35 ට  කඳවුරට  යාමට  නොහැක . එබැවින් 12.30 ට කෙටි නිවාඩුවක් ගෙන  කඳවුරට  යාමට මා  තීරණය  කළෙමි.  1.35 ට  පිඹුර නාවුක අනුඛණ්ඩය තිබෙන කඳවුරට එන ලෙස  නාවික හමුදාව  මට දන්වා තිබෙන බැවින්  12 .30 ට පාසලෙන් පිටව ගිය   බව සඳහන්  කරමින් ලොග් සටහනක් යොදන  මෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට  කීවෙමි. මා එසේ  ලියෙව්වේ   ජීවිත ආරක්ෂාවට එය  උපකාරයක්  වනු ඇතැයි මා සිතු නිසාය . කඳවුරට  යාමෙන් පසු මා අතුරුදහන් කරනු ලැබුව හොත් මගේ ඉරණම සොයා  ගැනීමට    ලොග් සටහන  උපකාරී වනු ඇත .


සවස 1.20 වන විට  මා  කඳවුරට  ගියෙමි කඳවුරට  හැරෙන  හංදියේ බිරිඳත් සොහොයුරියත් සිටි අතර ඔවුන්ද  මා සමග  නාවික  කඳවුරට  පැමිණියහ  ගේට්ටුවේ  මුරට සිටියේ හැඩි දැඩි නාවුක භටයෙකි. මොහු වැනි  හැඩි දැඩි  භටයන්   පහර දී මගේ ඇට කුඩු කරනු ඇතැයි මා සිත තුළ දැඩි භීතියක් ඒ මොහොතේම ඇති විය .



                                                මාතලේ සමුහ මිනීවල 

"මොකෝ ආවේ? " ඔහු ඇසුවේය.


කාරණාව කීවෙමු .


"එන්න  කිව්වේ එක්කෙනෙකුට නම්  තුන් දෙනෙක් ආවේ මොකටද"  ? ඇසු ඔහු නිවස තුලට  ගොස්  අප  පැමිණ සිටින  බව  දැනුම්  දුන්නේය. ඉන් පසු ගේට්ටුව  විවුර්ත  කළ ඔහු අප තිදෙනාටම ඇතුලට  යන ලෙස  කිවේය .


අප ඇතුලට  යන විට නාවික භටයන් හතර දෙනෙකු  කැරම් ගසමින් සිටියහ .අප දුටු විට  තිදෙනෙකු  නැගිටි අතර අප තිදෙනාට එහි වාඩි වෙන  ලෙස කීහ . කඳවුරේ  ජෙෂ්ට  නිලධාරියා අනිත් පුටුවේ වාඩි වී  සිටි අතර  ඔහු සහ  තවත් නිලධාරියෙකු ප්‍රශ්න අසන්නට පටන් ගත්හ .


 " කවුද  නීල් කියන්නේ ?"


" නීල් කියල  එක්කෙනෙක් නම් ඉන්නවා අපේ ගමේ ."


" කොහොමද  හැඩරුව ?"


" හීනියි ,මිටියි "


 "මොකද මිනිහ  කරන්නේ "?


"රස්සාවක් නම් නැහැ. බෝඩ් එහෙම අඳිනවා "


" JVP කාරයෙක්ද? "


" නැහැ ඒගොල්ලන්ගේ  පවුලේ ඔක්කොම  UNP "


නාවුක නිලධාරියා  ඉන්පසු තවත් නම් කීපයක් කියා  හඳුනවාදැයි ඇසීය .


" ඒ නම් අහලත් නැහැ .අපේ ගමේ අය  නම් නෙවෙයි "


" ඒ ගොල්ලෝ තමයි  කළුතර දිස්ත්රික්කයේ  JVP පන්ති  කරන්නේ " නාවික නිලධාරියා  කිවේය .


" ගුණසේන කියල තියෙන්නේ තමුසේ පවත්වන  පන්ති වලට ආව  කියල " සිටගෙන සිටි හමුදා  නිලධාරියා  මා දෙස  බලා  කිවේය .


                                                     87-89 සමයේ මිය  ගිය ජවිපෙ  කැරලිකරුවන් 


ගුණසේන  යනු අපේ  ගමේ සිටි ,කලින් කොමියුනිස්ට් පක්ෂයේ  සිට පසුව  ජවිපෙ සමග සම්බන්ධකම් පැවැත්වූ   බැංකු සේවකයෙකි . සති දෙකකට  පමණ පෙර  හමුදාව  ඔහු අත් අඩංගුවට  ගෙන තිබුණි. ඔහු කොහේ රඳවා  සිටින්නේදැයි  කවුරුත් දැන සිටියේ නැත .

" මගේ ඉංග්‍රීසි පන්ති වලටද"? මා පෙරලා ඇසීමි.  මා එකළ සවස් වරුවේ ගමේ  නිවසක් කුලියට  ගෙන ඉංග්‍රීසි පංති පවත්වාගෙන  යමින් සිටියෙමි . අසන්නේ  JVP පංති  ගැන  බව  මට වැටහුනද ඒ බව ඇඟවුවේ  නැත .


" නෑ නෑ JVP පංති " නිලධාරීන් දෙදෙනාම එක වරට කීහ .


" ඒක වෙන්න  බැරි දෙයක් . මම  කවදාවත් JVP  පන්ති කරලා  නැහැ "


" ගුණසේන තමුසේ එක්ක  තරහද "? වාඩිවී සිටි  නිලධාරියා  ඇසීය .


" මා එක්ක  අමනාපයක් නම් නැහැ .එයාගේ ළමයි දෙන්නත්  මගේ  පන්තිවලට එවනවා  ඉංග්‍රීසි  ඉගෙන  ගන්න ."


" තමුසේ උගන්වන  ඉස්කෝලේ මොකක්ද " 


"ගිරිකොල කනිෂ්ට විද්‍යාලය ."


" මොකද්ද  ප්‍රින්සිපල්ගේ නම "?


"චන්ද්‍රදාස  කියල එක්කෙනෙක් "


" එයාගේ දේශපාලන  පක්ෂේ මොකක්ද" ?


"UNP "


" තමන් කොමියුනිස්ට් පක්ෂේ " ?


" ඔව් " 


" ඔන්න   ඕකෙන් අයින් වෙලා  තමන්ගේ වැඩක්  බලාගෙන ඉන්නවා  අයිසේ ." කි ප්‍රධාන  නිලධාරියා  නාවික භටයෙකු ලවා අප තිදෙනාට  සීතල කරන  ලද පලතුරු යුෂ වීදුරු තුනක් ගෙන්වා දුන්නේය.


ඇඟට ලේ ඉනුවේ එවිටය .


 සමරසේකර  මහතා  උදෙන්ම  නාවික කඳවුරට  පැමිණ මා  පිළිබඳව  චරිත සහතිකයක් දී තිබීම පණ පිටින් ආපසු ඒමට බෙහෙවීන් හේතුවූ  බවට සැකයක් නැත. 


ඉන් මාස දෙකකට  පසු දිනක රාත්‍රී 9 ට පමණ හමුදා භටයන්  දහ දොළොස්  දෙනෙකු මගේ  නිවසට කඩ  පැන්නෝය.


( ඉතිරි කොටස ඊ ළඟ  ලිපියෙන් ඔබට  කියවිය  හැක .)







Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...