Skip to main content

රුපියලකින් කැරැල්ලක් ගැසුවෙමි.

ඉස්සර  මැයි දිනයේ  මම ගෙදර  හිටියොත් ගමේ  අයට ප්‍රශ්නයකි. කොතැනට  ගියත් අසන්නේ "පෙළපාලි ගියේ  නැද්ද ?" කියාය. 

මම පළමු වරට  මැයි දින  පෙළපාලියක් බලන්නට  ගියේ 1970 ය. පුංචි බොරැල්ලට  ගොස් සමගි පෙරමුණේ  පෙළපාලිය එන තුරු බලා  සිටියෙමි. සමගි පෙරමුණ සැදී තිබුනේ ශ්‍රී.ලනිපය සමසමාජ සහ කොමියුනිස්ට් යන පක්ෂ තුනෙනි. පෙළපාලිය එන්නට තිබුනේ බොරැල්ලේ සිටය. යන්නේ  මරදාන  පැත්තටය. හිටිහැටියේම  ඇස් වාට්ටුව පැත්තේ සිට    පුංචි බොරැල්ලට වැටී තිබෙන  පාර දිගේ කාර්පෙළක් ඇවිත් පුංචි බොරැල්ලෙන් මරදාන  පැත්තට හැරෙව්වේය. සමගි පෙරමුණේ  පෙළපාලිය  එන තුරු බලා  සිටි මහා සෙනග මහා හය්යෙන් හු  කියන්නට පටන් ගත්හ. හු කියන්නේ  ඇයිදැයි  විමසු විට ළඟ  සිටි කෙනෙකුගෙන් විමසු විට  ඔහු කීවේ ඒ   ගිය  කාර් පෙලේ හිටියේ  JR ජයවර්දන කියාය. ඔහු ගියේ  UNP පෙළපාලිය අරඹන සුගතදාස ස්ටේඩියම් දෙසටය.

ටික වෙලාවකින්  පෙළපාලිය පුංචි බොරැල්ලට  ආවේය. ඉදිරියෙන් ගමන් කලේ  අනුර බන්ඩාරනායකය. එකල ඔහු ඉතා කඩවසම්  තරුණයෙකි.  අත් ඔසොවා සටන් පාට කියමින්  යන  අනුර දෙස  කවුරුත් බලා සිටියේ  ලංකාවේ අනගත අගමැති වෙන්නේ මේ  තරුණය  නොවේද  කියාය.  එහෙත් අනුරට මැරෙන්නේට  උනේ අගමැති  කම තියා ගැනියෙක්වත්  නැතිවය. අවසාන  කාළයේ කලිසම අන්දන්නට, කමිසය  අඳින්නට  සපත්තු  දාගන්නට  තරමටවත්  ශරීරය  නවන්නට  බැරි වූ බැවින්  ඒවා  කරගන්නට සිදුවුයේ අන් අය  ලවාය.

මැයි පෙළපාලි බැලිල්ල වෙනුවට ඒවාට  සහභාගී වන්නට මා  පටන් ගත්තේ  1974 දීය. ඒ  වන විට  මම ගමේ  කොමියුනිස්ට් පක්ෂයේ  තරුණ සමිතියේ ලේකම් වී සිටියෙමි.  ගමේ  සමිතියේ නම සහිත  ලොකු බැනරයක් මා  විසින් පිළියෙළ  කරගෙන එය රඳවා  ඔසොවා  ගෙන  යාමට දිග  පොලු දෙකකුත් කපා  ගෙන එකල බුලත්සිංහල ආසනයේ  මන්ත්‍රී වූ මංගල මුණසිංහ  මහතා එවන  ලද  ලංගම බස් රථයකට  නැගී   පක්ෂයේ කොල්ලන් කෙල්ලන්  සමග කොළඹට  යනතුරුම  සටන් පාඨ   කියමින් ගියෙමු.කොළඹ  යාම සඳහා  අය කල බස් ගාස්තුව එක් අයෙකුගෙන්   රුපියලකි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව  තමන්ගේ  පෙළපාලියට එන මිනිස්සුන්ට බස්  දුන්නේ නොමිලයේය. එක් එක් අයෙකුගෙන් එකතු  කළ රුපියල වැය  කලේ  සහභාගී වන්නන්ට තේ අරන් දීමටය.

ඒ  කාලයේ  පෙළපාලි  යන්නේ  ගහගන්නටද  ගුටි කන්නටද  බලාගෙනය.පෙළපාලි ගොස් රැ වී  ආපසු එනවිට යුඑන්පී  කාරයෝ අතරමගදී  ගල් මුල්වලින් ගසති. දවල්  කාලයේ  අතර මගදී මුණ  ගැසුනත්  එසේමය.

පෙළපාලිය පටන් ගත් පසු අපි කිව්වේ  අපිට  ඕන සටන් පාඨ   මිසක්  සමගි පෙරමුණේ  පෙළපාලියේ  ශ්‍රී ලංකා  කාරයන් කියන ඒවා නොවේ.

"අපි යන්නේ  කොයි පාරේ ?

මාර්ක්ස් ලෙනින් ගිය  පාරේ 

පිදෙල් කැස්ත්‍රෝ ගිය පාරේ 

චේ ගුවේර  ගිය පාරේ

මාවෝ ලා ගිය  පාරේ 

හෝ චීමින් ගිය  පාරේ 

ගසව් ගසව් කැරලි ගසව් 

කම්හල්වල  කැරලි ගසව් 

පාසල්වල කැරලි ගසව් 

සරසවියේ කැරලි ගසව්

ගසව් ගසව් කැරලි ගසව්

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂයට  ජයවේවා ! 111 

සමගි පෙරමුණට ජයවේවා.! 111 

එක්සත්  ජාතික  පක්ෂය  භංග  වේවා !

ධනපති පන්තිය භංගවේවා !

ගසව් ගසව් කැරලි  ගසව්!

මහපාරේ  කැරලි  ගසව් !

රාළහාමි මේ  අහන්න !

බැටන් පොල්ල අපිට දෙන්න.

නිර්ධන  පන්ති විප්ලවයට  ජයවේවා !

කම්කරු පන්තියට  ජයවේවා!


1977 දක්වා කොමියුනිස්ට් පක්ෂයේ පෙළපාලියේ  ගිය මා  1978 සිට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ පෙලපාලියේය. කිරුලපනෙන් පටන් ගෙන හැව්ලොක් පිටිය දක්වා ඇතැම් අවුරුදු වල පැය  ගානක් අව්වේ  කරවෙමින්ද  ඇතැම් අවුරුදු වල  වැස්සේ  හොඳටම තෙමෙමින්ද  එහෙත් මහත් ආසාවෙන් ජවිපෙ  පෙළපාලිවල අවුරුදු 3 ක්ම ගියෙමි. 1980 ජුලි වැඩ වර්ජනය කඩා කප්පල්  කිරීමට ජවිපෙ  කටයුතු  කිරීම  නිසා ජවිපෙන් අයින් වූ මා 1981  ලංකා  ගුරු සංගමය , රජයේ  ලිපිකරු සංගමය ඇතුළු වුර්තීය සමිති  සංවිධානය  කළ පුංචි මැයි පෙළපාලියක  ගියෙමි. ඉන්පසු 1985 දක්වා  කිසිදු පෙළපාලියට යන්නට  මට කිසිදු ආසාවක් ඇති වුනේ  නැත.

දේශපාලනය  නොකර ගෙදර සිටීමට ගමේ  සිටි කොමියුනිස්ට්  කාරයෙක් මට ඉඩ දුන්නේ  නැත.ඔහුගේ බලවත් පෙරැත්ත  නිසා   මා  1986  දී  නැවතත් කොමියුනිස්ට් පක්ෂයට එකතු වුයෙමි.පටන් ගත්ත  දෙයක් කැපවී කිරීමේ රුදාවක් මට  කවදත් තිබිණ.කොමියුනිස්ට් පක්ෂය විප්ලවකාරී පක්ෂයක් කර ගැනීමට මට  උවමනාවක් තිබිණ. ඒ සඳහා  කැපවීමෙන් වැඩ  කිරීම  නිසා  පක්ෂයේ  ඉහලට  නැගීමට මට  හැකි විය.පක්ෂයේ සම්මේලනයට මා ඉදිරිපත් කළ යෝජනා  පක්ෂ  නායකත්වය සම්මේලනයට ඉදිරිපත්  කර  තිබුනේ දියාරු  කරය. සම්මේලනයේ වේදිකාවට  නැග  නායකයන්ට  මා  ඒ  ගැන  දොස්  කීම නිසා පැමිණ සිටි සම්මේලන නියෝජිතන්ගේ  අවධානයට  මා  ලක්වුණ  අතර එහි අවසාන  ප්‍රතිපලය වුයේ පක්ෂයේ  මධ්‍යම  කාරක සභාවට  බහුතර චන්දයෙන්  මා තේරී පත්වීමය.

ජවිපෙ භීෂණ සමයේ  හැර අන් බොහෝ වසරවල  මා  කොමියුනිස්ට් පක්ෂයේ  පෙළපාලි  ගිය  අතර  අන්තිමට ගියේ 2006  ය. ඒ  කාලය වන විට  මා පක්ෂයේ  නායකයෙක් වී සිටි බැවින් මා යන්නේද  පක්ෂයේ  අනෙකුත්  නායකයන් සමග  ඉදිරියෙන්ය. පෙළපාලිය  පටන් ගත්ත  තැන සිට අවසන් වන තරුම උගුර  බැරැන්ඩි වන තුරම විවිධ ආකාරයේ සටන් පාඨ  කීම මහත් තෘප්තියක් ගෙන දෙන්නක් විය.

2007 සිට මැයි දින  පෙළපාලි   යාම අත් හැරියේ  කොමියුනිස්ට් පක්ෂයෙන් මා ඉවත් වීම නිසාය. විප්ලවකාරී  පක්ෂයක් බවට  එය  පත්  කර ගැනීම සඳහා  අවුරුදු  3  ක් මධ්‍යම  කාරක සභාවේ සිට  වෙහෙසත්  දැරුවත් එය  නිෂ්පලවී ඇති බව  මට වැටහුනේ පක්ෂයේ  ඊ ළඟ සමුළුවට  පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට ඉදිරිපත්  කර තිබු  දියාරු වැඩ පිළිවෙල දුටු විටය.

යලිත් මැයි පෙලපාලි  යාමට  දැන් නම් හිත  දෙන්නේ  නැත.  දැන් මා   ළඟ රතු  කමිසයක් ඇත්තේද  නැත. තිබුණු රතු කමිසය  මීයන් සහ  කාවන් විසින්  කා  දමලාය.  යන්නට පෙළපාලියක්ද  නැත. රතු පාට  කැප් එකක්ද  නැත   කෙසේ වෙතත්  රතු  කමිස ඇඳගෙන රතු කොඩි ඔසොවා  ගෙන මෙවරත් මැයි පෙළපාලි  යන අවංක මිනිස්සුන්ට  ජයවේවා  කියා සුබ පතමි.































Comments

Manoj said…
එහෙම මැයි දින පෙළපාලි යන අය අතරේ අවංක කම්කරුවොත් ඉන්නවාද ?මට නම් හිතෙන්නේ මැයි දින පෙළපාලි යන කම්කරුවෝ නොදැනුවත්ව හෝ කාට හරි පාවිච්චි වෙන බවයි.
Aruna Perera said…
/////// දැන් මා ළඟ රතු කමිසයක් ඇත්තේද නැත. තිබුණු රතු කමිසය මීයන් සහ කාවන් විසින් කා දමලාය. යන්නට පෙළපාලියක්ද නැත. රතු පාට කැප් එකක්ද නැත කෙසේ වෙතත් රතු කමිස ඇඳගෙන රතු කොඩි ඔසොවා ගෙන මෙවරත් මැයි පෙළපාලි යන අවංක මිනිස්සුන්ට ජයවේවා කියා සුබ පතමි.////////////

මේ ලංකාවේ සැබෑ වාමාංශිකයාගේ නළලේ කොටා ඇති ඉරණමද කියා එක වෙලාවකට හිතෙනවා.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...