Tuesday, April 19, 2016

මහින්ද සමග අරලියගහ මන්දිරයේදී




කාල වකවානුව  2005 මුල් සමයයි.. මහින්ද  කල්තියාම  ජනාධිපතිවරණයට  සුදානම් වෙමින් සිටියේය. සති අන්තවලදී දේශපාලන  පක්ෂවල මධ්‍යම  කාරක සභිකයන්  අරලිය  ගහ මන්දිරයට  කැඳවා සාකච්චා  කිරීම ආරම්භ  කර තිබිණ. මා   එකල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම  කාරක සභිකයෙකු වීමි. මහින්ද  හමුවීමට  එන  ලෙස පක්ෂයටද  ආරාධනාවක් ලැබිණ. ඒ අනුව නියමිත  දිනයේ සවස  5 ට පමණ ඩිව් ගුණසේකර ඇතුළු අපි 50 කට ආසන්න පිරිසක්  අරලිය  ගහ මන්දිරයට  ගියෙමු. ඒ වන විට  අරලියගහ මන්දිරය සුන්දර  ස්ථානයකි. පැරණි ගොඩනැගිලි සිත් කලුය. ( මහින්ද  ජනාධිපති වූ පසු අලුතින් විවිධ ගොඩනැගිලි තැනීමෙන් එය අසුන්දර  ස්ථානයක් කලේ  යැයි මම සිතමි.)

1977 දක්වා කැබිනට් රැස්වීම් පැවැත්වූ  ශාලාවේ  දිගු මේසයක් වටා අපි අසුන් ගත්තෙමු. ශාලාවේ කෙළවරක තිබු  නෙස්කැෆේ යන්ත්‍රයෙන් අවශ්‍ය  අයට නෙස් කැෆේ බීමට  පහසුකම් සපයා  තිබිණ.

අපි එහි ගොස්  විනාඩි 15ක් ගතවන විට මහින්ද රාජපක්ෂ  මහතා  පැමිණ  අප පිළිගෙන  සාකච්චාව  ඇරඹීය. අප සමග සිටි  අයට  මහින්දගෙන් ඇසීමට   බොහෝ ප්‍රසන  තිබිණ.  'ඔහු  ජනාධිපති වුව හොත් ජාතික  ප්‍රශ්නයට ඔහු දෙන  විසඳුම කුමක්දැ' යි  අපේ  කණ්ඩායමේ  කිසිවෙකු ඇසීය. "මම  ජනධිපති වූ පසු LTTE සමග සාකච්චා කිරීමට එරික් සෝල්හයිම් අවශ්‍ය  නැහැ. ප්‍රභාකරන් ලංකාවේ  මිනිහෙක්නේ . මන් එයත් එක්ක  කෙලින්ම කතා  කරනවා " . මහින්ද පිළිතුරු දෙමින්  කීය.

ඩිව් විසින්  මා අගමැතිට  හඳුන්වා දීමෙන් පසු මගේ  අදහස්   දැක්වීම කලෙමි..  ළමුන් බඩගින්නේ  පාසලට  පැමිණෙන බවත්  උදැසන රැස්වීමේදී  ඇතැම් ළමුන් බිම ඇද වැටෙන  බවත් එයට හේතුව  ඔවුන් ආහාර  නොගෙන  පාසලට  පැමිණීම  බවත්   ළමුන්ට  දිවා ආහාරයක් දීමට  ආණ්ඩුව  කටයුතු  කළ  යුතු බවත් අගමැතිට  කීමි. එයට  ප්‍රතිචාර දැක්වූ  මහින්ද " ඔයා   දන්නවනේ  ඩිව් . මන් අධ්‍යාපනයට  ඇඟිලි  ගහන්න  කැමති  නැති බව. (අධ්‍යාපනය  භාරව  සිටියේ  චන්ද්‍රිකාය.)  ඒ උනත් මේ  සන්බන්ධයෙන් යෝජනවක් හදල මට එවන්න. අපි ඒක කැබිනට් එකට  ඉදිරිපත් කරමු නේද ඩිව් ! " යැයි මහින්ද  කීය.

මෙම සාකච්චාව පැය දෙකක් පමණ පැවති අතර ඉන්පසු ඇරඹුණේ   සාදයයි. එය  පැවතුනේ  අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පිටුපස කොටසේය. මා නොදන්නා   අරක්කු වර්ගයක්  මේස  උඩ  තබා  තිබුණු අතර කෝකියන් පැමිණ ආප්ප  සහ  කොත්තු සකස්  කර  අපට දුන්හ. මේ  සාදයට මහින්ද  ආවේ  නැත. ඩිව් සහෝදරයා ටිකක් වැඩියෙන් බොනු දුටු අපේ  සහෝදරයෙක් " සහෝදරයා!  ඔච්චර  බොන්න  හොඳ නැහැ නේද? යැයි ඇසීය. එයට පිළිතුරු දුන් ඩිව් " මන් දැන් වයසයි. ඔන්න  ඔහේ  මැරිලා  ගියත් කමක් නැහැ." කීය.

ටික වෙලාවකට  පසු අරලියගහ මන්දිරය  තුලදී යලිත් මහින්ද හමුවිය. ඔහු කලු  පාට ඇඳුමකින් සැරසී සිටි අතර " යමුද ලඟ  පාත  මගුල් ගෙයක් තියෙනවා ? යැයි චන්දසිරි ගජධීර ( එවක චන්ද්‍රිකා ආණ්ඩුවේ  උප  ඇමතිවරයෙකි.) ගෙන් ඇසීය. මේ ඇඳුම  ඇඳගෙන  යන්නේ  කොහොමද? ගජධීර සහෝදරයා ඇසීය.. " ඔන්න ඔහේ  යන්. මටත් තියෙන්නේ මේ  ඇඳුම තමා " යි කී මහින්ද ඔහුවත් ඇදගෙන මගුල් ගෙදර  ගියේය. පැයකින් ආපසු ඔවුන් පැමිණි අතර  මහින්ද  තරමක මත් ගතියකින්  සිටින  බව පෙනින. 

රාත්‍රී 11 ට  පමණ  අපි අරලිය ගහ මන්දිරයෙන් පිටවී ආවෙමු.

එකල  මහින්ද  කෙරේ ඇල්මක් මා  සිත  තුළ   විය . එයට හේතුව  වුයේ  ඔහු වුර්තීය සමිති සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීම නිසාය.කලකට  පෙර කම්කරු ප්‍රඥප්තියක් ගෙන  ඒමට  කටයුතු  කර  තිබුණු හෙයින්ද  කම්කරුවන්ගේ  උද්ඝෝෂණ වලට  ඔහු නොවරදවා  සහභාගී වූ හෙයින්ද  වුර්තීය  සමිති ක්‍රියා  කාරීන් ඔහුට  කැමැත්තක් දැක්වුහ.

LTTE සංවිධානය සිය  පාලන  ප්‍රදේශවල වැසියනට 2005 ජනාධිපතිවරනයේදී   චන්ද  පොලට  යාම තහනම් නොකළේ  නම්  ජනාධිපති වන්නේ මහින්ද  නොව  රනිල්ය.  සාමය  නොව  යුද්ධය ඉල්ලා සිටි LTTE  සංවිධානය  දිගින් දිගටම සටන් විරාමය  කඩ  කිරීම  නිසා මහින්දට යුද්ධය  නොකර  සිටීමට  නොහැකි විය.

මහින්ද මිනිසුන් දිනා ගත හැටි

මහින්ද මිනිසුන්ගේ  හිත  දිනා   ගැනීමට දක්ෂයෙකි.  ඔහු මන්ත්‍රී වරයෙකු වී සිටි සමයේදී පවා  ඔහුගේ  නිවසට  පැමිණෙන සියලු දෙනාටම ආහාර  පිරිනමන  බව  ඔහුගේ  සමීපතමයෙක් වරක් මට  කීය. ජනාධිපති වූ පසු රටේ  හතර දිග්භාගයෙන්ම මිනිසුන්  අරලියගහ  මන්දිරයට කැඳවා  ආණ්ඩුවේ  වියදමින් දන්සල් දී සිය දහස්  ගණනින් මිනිසුන් වශී කර  ගත්තේය. පක්ෂයේ  ලොකු පොඩි  කාටත්  ආණ්ඩුවේ  ව්‍යාපෘති  මගින් හරි හම්බ   කර ගැනීමට ඉඩ දුන්නේය. මහින්ද  පැරදුනු විට මහින්දට වඩා දුක් වුයේ  මේ මිනිස්සුය.

 දෙවන වර  බලයට  පැමිණීමෙන් පසු  උතුරේ ප්‍රශ්නයට වඩාත් සාර්ථක   විසඳුමක් දීමට  මහින්දට  දේශපාලන  හය්ය සහ අවස්ථාව  තිබු   අතර  එය  ඔහු එය   කළේ  නම්  දුරදර්ශී   නායකයෙකු ලෙස  ඔහුගේ  නම ලංකා  ඉතිහාසයේ ලියවෙනු  නොඅනුමානය..














Post a Comment

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ

      මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිර...