Skip to main content

රුපියලකින් කැරැල්ලක් ගැසුවෙමි.

ඉස්සර  මැයි දිනයේ  මම ගෙදර  හිටියොත් ගමේ  අයට ප්‍රශ්නයකි. කොතැනට  ගියත් අසන්නේ "පෙළපාලි ගියේ  නැද්ද ?" කියාය. 

මම පළමු වරට  මැයි දින  පෙළපාලියක් බලන්නට  ගියේ 1970 ය. පුංචි බොරැල්ලට  ගොස් සමගි පෙරමුණේ  පෙළපාලිය එන තුරු බලා  සිටියෙමි. සමගි පෙරමුණ සැදී තිබුනේ ශ්‍රී.ලනිපය සමසමාජ සහ කොමියුනිස්ට් යන පක්ෂ තුනෙනි. පෙළපාලිය එන්නට තිබුනේ බොරැල්ලේ සිටය. යන්නේ  මරදාන  පැත්තටය. හිටිහැටියේම  ඇස් වාට්ටුව පැත්තේ සිට    පුංචි බොරැල්ලට වැටී තිබෙන  පාර දිගේ කාර්පෙළක් ඇවිත් පුංචි බොරැල්ලෙන් මරදාන  පැත්තට හැරෙව්වේය. සමගි පෙරමුණේ  පෙළපාලිය  එන තුරු බලා  සිටි මහා සෙනග මහා හය්යෙන් හු  කියන්නට පටන් ගත්හ. හු කියන්නේ  ඇයිදැයි  විමසු විට ළඟ  සිටි කෙනෙකුගෙන් විමසු විට  ඔහු කීවේ ඒ   ගිය  කාර් පෙලේ හිටියේ  JR ජයවර්දන කියාය. ඔහු ගියේ  UNP පෙළපාලිය අරඹන සුගතදාස ස්ටේඩියම් දෙසටය.

ටික වෙලාවකින්  පෙළපාලිය පුංචි බොරැල්ලට  ආවේය. ඉදිරියෙන් ගමන් කලේ  අනුර බන්ඩාරනායකය. එකල ඔහු ඉතා කඩවසම්  තරුණයෙකි.  අත් ඔසොවා සටන් පාට කියමින්  යන  අනුර දෙස  කවුරුත් බලා සිටියේ  ලංකාවේ අනගත අගමැති වෙන්නේ මේ  තරුණය  නොවේද  කියාය.  එහෙත් අනුරට මැරෙන්නේට  උනේ අගමැති  කම තියා ගැනියෙක්වත්  නැතිවය. අවසාන  කාළයේ කලිසම අන්දන්නට, කමිසය  අඳින්නට  සපත්තු  දාගන්නට  තරමටවත්  ශරීරය  නවන්නට  බැරි වූ බැවින්  ඒවා  කරගන්නට සිදුවුයේ අන් අය  ලවාය.

මැයි පෙළපාලි බැලිල්ල වෙනුවට ඒවාට  සහභාගී වන්නට මා  පටන් ගත්තේ  1974 දීය. ඒ  වන විට  මම ගමේ  කොමියුනිස්ට් පක්ෂයේ  තරුණ සමිතියේ ලේකම් වී සිටියෙමි.  ගමේ  සමිතියේ නම සහිත  ලොකු බැනරයක් මා  විසින් පිළියෙළ  කරගෙන එය රඳවා  ඔසොවා  ගෙන  යාමට දිග  පොලු දෙකකුත් කපා  ගෙන එකල බුලත්සිංහල ආසනයේ  මන්ත්‍රී වූ මංගල මුණසිංහ  මහතා එවන  ලද  ලංගම බස් රථයකට  නැගී   පක්ෂයේ කොල්ලන් කෙල්ලන්  සමග කොළඹට  යනතුරුම  සටන් පාඨ   කියමින් ගියෙමු.කොළඹ  යාම සඳහා  අය කල බස් ගාස්තුව එක් අයෙකුගෙන්   රුපියලකි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව  තමන්ගේ  පෙළපාලියට එන මිනිස්සුන්ට බස්  දුන්නේ නොමිලයේය. එක් එක් අයෙකුගෙන් එකතු  කළ රුපියල වැය  කලේ  සහභාගී වන්නන්ට තේ අරන් දීමටය.

ඒ  කාලයේ  පෙළපාලි  යන්නේ  ගහගන්නටද  ගුටි කන්නටද  බලාගෙනය.පෙළපාලි ගොස් රැ වී  ආපසු එනවිට යුඑන්පී  කාරයෝ අතරමගදී  ගල් මුල්වලින් ගසති. දවල්  කාලයේ  අතර මගදී මුණ  ගැසුනත්  එසේමය.

පෙළපාලිය පටන් ගත් පසු අපි කිව්වේ  අපිට  ඕන සටන් පාඨ   මිසක්  සමගි පෙරමුණේ  පෙළපාලියේ  ශ්‍රී ලංකා  කාරයන් කියන ඒවා නොවේ.

"අපි යන්නේ  කොයි පාරේ ?

මාර්ක්ස් ලෙනින් ගිය  පාරේ 

පිදෙල් කැස්ත්‍රෝ ගිය පාරේ 

චේ ගුවේර  ගිය පාරේ

මාවෝ ලා ගිය  පාරේ 

හෝ චීමින් ගිය  පාරේ 

ගසව් ගසව් කැරලි ගසව් 

කම්හල්වල  කැරලි ගසව් 

පාසල්වල කැරලි ගසව් 

සරසවියේ කැරලි ගසව්

ගසව් ගසව් කැරලි ගසව්

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂයට  ජයවේවා ! 111 

සමගි පෙරමුණට ජයවේවා.! 111 

එක්සත්  ජාතික  පක්ෂය  භංග  වේවා !

ධනපති පන්තිය භංගවේවා !

ගසව් ගසව් කැරලි  ගසව්!

මහපාරේ  කැරලි  ගසව් !

රාළහාමි මේ  අහන්න !

බැටන් පොල්ල අපිට දෙන්න.

නිර්ධන  පන්ති විප්ලවයට  ජයවේවා !

කම්කරු පන්තියට  ජයවේවා!


1977 දක්වා කොමියුනිස්ට් පක්ෂයේ පෙළපාලියේ  ගිය මා  1978 සිට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ පෙලපාලියේය. කිරුලපනෙන් පටන් ගෙන හැව්ලොක් පිටිය දක්වා ඇතැම් අවුරුදු වල පැය  ගානක් අව්වේ  කරවෙමින්ද  ඇතැම් අවුරුදු වල  වැස්සේ  හොඳටම තෙමෙමින්ද  එහෙත් මහත් ආසාවෙන් ජවිපෙ  පෙළපාලිවල අවුරුදු 3 ක්ම ගියෙමි. 1980 ජුලි වැඩ වර්ජනය කඩා කප්පල්  කිරීමට ජවිපෙ  කටයුතු  කිරීම  නිසා ජවිපෙන් අයින් වූ මා 1981  ලංකා  ගුරු සංගමය , රජයේ  ලිපිකරු සංගමය ඇතුළු වුර්තීය සමිති  සංවිධානය  කළ පුංචි මැයි පෙළපාලියක  ගියෙමි. ඉන්පසු 1985 දක්වා  කිසිදු පෙළපාලියට යන්නට  මට කිසිදු ආසාවක් ඇති වුනේ  නැත.

දේශපාලනය  නොකර ගෙදර සිටීමට ගමේ  සිටි කොමියුනිස්ට්  කාරයෙක් මට ඉඩ දුන්නේ  නැත.ඔහුගේ බලවත් පෙරැත්ත  නිසා   මා  1986  දී  නැවතත් කොමියුනිස්ට් පක්ෂයට එකතු වුයෙමි.පටන් ගත්ත  දෙයක් කැපවී කිරීමේ රුදාවක් මට  කවදත් තිබිණ.කොමියුනිස්ට් පක්ෂය විප්ලවකාරී පක්ෂයක් කර ගැනීමට මට  උවමනාවක් තිබිණ. ඒ සඳහා  කැපවීමෙන් වැඩ  කිරීම  නිසා  පක්ෂයේ  ඉහලට  නැගීමට මට  හැකි විය.පක්ෂයේ සම්මේලනයට මා ඉදිරිපත් කළ යෝජනා  පක්ෂ  නායකත්වය සම්මේලනයට ඉදිරිපත්  කර  තිබුනේ දියාරු  කරය. සම්මේලනයේ වේදිකාවට  නැග  නායකයන්ට  මා  ඒ  ගැන  දොස්  කීම නිසා පැමිණ සිටි සම්මේලන නියෝජිතන්ගේ  අවධානයට  මා  ලක්වුණ  අතර එහි අවසාන  ප්‍රතිපලය වුයේ පක්ෂයේ  මධ්‍යම  කාරක සභාවට  බහුතර චන්දයෙන්  මා තේරී පත්වීමය.

ජවිපෙ භීෂණ සමයේ  හැර අන් බොහෝ වසරවල  මා  කොමියුනිස්ට් පක්ෂයේ  පෙළපාලි  ගිය  අතර  අන්තිමට ගියේ 2006  ය. ඒ  කාලය වන විට  මා පක්ෂයේ  නායකයෙක් වී සිටි බැවින් මා යන්නේද  පක්ෂයේ  අනෙකුත්  නායකයන් සමග  ඉදිරියෙන්ය. පෙළපාලිය  පටන් ගත්ත  තැන සිට අවසන් වන තරුම උගුර  බැරැන්ඩි වන තුරම විවිධ ආකාරයේ සටන් පාඨ  කීම මහත් තෘප්තියක් ගෙන දෙන්නක් විය.

2007 සිට මැයි දින  පෙළපාලි   යාම අත් හැරියේ  කොමියුනිස්ට් පක්ෂයෙන් මා ඉවත් වීම නිසාය. විප්ලවකාරී  පක්ෂයක් බවට  එය  පත්  කර ගැනීම සඳහා  අවුරුදු  3  ක් මධ්‍යම  කාරක සභාවේ සිට  වෙහෙසත්  දැරුවත් එය  නිෂ්පලවී ඇති බව  මට වැටහුනේ පක්ෂයේ  ඊ ළඟ සමුළුවට  පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට ඉදිරිපත්  කර තිබු  දියාරු වැඩ පිළිවෙල දුටු විටය.

යලිත් මැයි පෙලපාලි  යාමට  දැන් නම් හිත  දෙන්නේ  නැත.  දැන් මා   ළඟ රතු  කමිසයක් ඇත්තේද  නැත. තිබුණු රතු කමිසය  මීයන් සහ  කාවන් විසින්  කා  දමලාය.  යන්නට පෙළපාලියක්ද  නැත. රතු පාට  කැප් එකක්ද  නැත   කෙසේ වෙතත්  රතු  කමිස ඇඳගෙන රතු කොඩි ඔසොවා  ගෙන මෙවරත් මැයි පෙළපාලි  යන අවංක මිනිස්සුන්ට  ජයවේවා  කියා සුබ පතමි.































Comments

Manoj said…
එහෙම මැයි දින පෙළපාලි යන අය අතරේ අවංක කම්කරුවොත් ඉන්නවාද ?මට නම් හිතෙන්නේ මැයි දින පෙළපාලි යන කම්කරුවෝ නොදැනුවත්ව හෝ කාට හරි පාවිච්චි වෙන බවයි.
Aruna Perera said…
/////// දැන් මා ළඟ රතු කමිසයක් ඇත්තේද නැත. තිබුණු රතු කමිසය මීයන් සහ කාවන් විසින් කා දමලාය. යන්නට පෙළපාලියක්ද නැත. රතු පාට කැප් එකක්ද නැත කෙසේ වෙතත් රතු කමිස ඇඳගෙන රතු කොඩි ඔසොවා ගෙන මෙවරත් මැයි පෙළපාලි යන අවංක මිනිස්සුන්ට ජයවේවා කියා සුබ පතමි.////////////

මේ ලංකාවේ සැබෑ වාමාංශිකයාගේ නළලේ කොටා ඇති ඉරණමද කියා එක වෙලාවකට හිතෙනවා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට