Skip to main content

LTTE නායකයන් හමුවීමට ගිය බිහිසුණු ගමන

LTTE නායකයන්  හමුවීම  සඳහා කිලිනොච්චි ගියෙමු.

ඒ 2004 වසරයි.  එකල මා  ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන  ලේකම්ය. දේශපාලන  පක්ෂයකට  අයත් නොවූ ලංකා  ගූරු  සංගමය  යුද්ධයෙන් නොව  සාකච්චා  මගින් දෙමල මිනිසුන්ගේ  ප්‍රනවලට විසඳුම් සොයාගත  යුතුය  යන ස්ථාවරයේ  සිටි සංගමයකි.  එකල ක්‍රියාත්මක වූ  යුධ විරෝධී පෙරමුණේද  මා  ක්‍රියාකාරීව සිටියේ ඒ නිසාය..මේ වන විට  ආණ්ඩුව සහ LTTE සංවිධානය   සටන් විරාම ගිවිසුමකට එළඹ තිබිණ.නැවතත් යුද්ධයක් ඇතිවීමේ  අවදානමක්  තිබු බැවින් එය වලක්වා ගැනීම සඳහා දෙපාර්ශවයටම  බලපෑම් කිරීමට    යුධ විරෝධී සංවිධානය  තීරණය   කළ  අතර  ඒ  අනුව  කිලිනොච්චියට ගොස්  LTTE  නායකයන් හමුවීමටත් දෙවනුව  ආණ්ඩුවට ආයාචනා  කිරීමටත් සැලසුම් කරනු  ලැබීය.

2004 දිනක අපි කිලිනොච්චි බල ගියෙමු. නියෝජිත  පිරිස 20 කට  ආසන්න විය. නියෝජිත  පිරිසේ  නායකයා වුයේ   කුමාර් රූපසිංහය .මාදම්පාගම අස්සජී හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 3නමක් , එවක  කුරුණෑගල බිෂොප් තුමා,  සවුඛ්‍ය අංශයේ වුර්තීය සමිති  නායකයන් වන , සමන් රත්නප්‍රිය සහ රවී කුමුදේශ්  , හිටපු අමාත්‍ය ඉන්දික  ගුනවර්දන , ඉරිදා ලංකාදීප කර්තෘ දොඹගහවත්ත ,නිළි ස්වර්ණා  මල්ලවාරච්චි , කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු වූ එස්. ආර්. එඩ්වර්ඩ් සහ තවත් කීප දෙනෙකු මෙම නියෝජිත  පිරිසට අයත් වුහ.

උදේ 8 ට  පමණ කොළඹින් පිටත් වූ අපි එදින රාත්‍රිය   ගත  කළේ අනුරාධපුරයේය. දෙවෙනි දින  උදැසන අනුරාධපුරයෙන් පිටත් වූ අපි   දවල් 10 පමණ වන විට ඔමන්ත හමුදා මුරපොල  පසු  කොට  LTTE මුරපොල වෙත  පැමිණියෙමු. එහිදී LTTE සංවිධානයේ  කීප දෙනෙකු අපව සුහදව පිළිගත් අතර  අපගේ  වාහන  ඉදිරිපස  විශේෂ ලේබල අලවනු  ලැබිණ.එම  ලේබල නිසා කිසිදු  පරීක්ෂාවකින් සහ බාධාවකින් තොරව කිලිනොච්චියේ LTTE සාම ලේකම් කාර්යාලය  දක්වා  එක දිගට යාමට අපට  හැකි විය.  අතර මග  තැන තැන්වල  සන්නද්ධ  LTTE  තරුණයන් සහ  තරුණියන්ද  සිටි අතර නොනවත්වා ඉදිරියට යන ලෙස  ඔවුහු අපට සංඥා කළහ.

තමිල් සෙල්වම් හමුවීම. 

සාම ලේකම් කාර්යාලයට ආසන්නයේ  තිබු ගොඩනැගිල්ලකදී තමිල් සෙල්වම්  හමුවීමට  යොදා ගෙන තිබිණ අපි එහි ගොස්  ටික වෙලාවකින් තමිල් සෙල්වම් සිනහ මුසු මුහුණකින්  යුතුව  පැමිණ  අපව  පිළිගත්තේය.තමිල් සෙල්වම් කුඩා පුද්ගලයෙකි, ඔහු ගමන් කරන්නේ  එක් කිහිලි කරුවක් ආධාරයෙනි. එයට හේතුව සටනකදී කකුලකට වෙඩි වැදී   අබ්බගාත විම  නිසාය. LTTE දේශපාලන  අංශයේ  නායකත්වයට ඔහු  පත් කර  තිබු බැවින්  ආණ්ඩුව සමග  පැවති සාම සාකච්චවලදී LTTE නියෝජිත  කණ්ඩායමේ  නායකයා වුයේ  ඔහුය.  නිතර  සිනහමුසු මුහුණකින් සිටින  ඔහු ප්‍රසන්න  මිනිසෙකි. 
  ඉන් පසු  ඔහු අපව  සාකච්චාව  සඳහා   ගොඩනැගිල්ල  තුලට කැඳවාගෙන  ගියේය. අපගේ  අදහස් සිංහල බසින් ඉදිරිපත්  කල අතර LTTE පරිවර්තක  එය  දෙමලටද  තමිල් සෙල්වම් දෙමලෙන් දැක්වූ අදහස්  සිංහලටද  පරිවර්තනය  කරනු  ලැබීය.එක් අවස්ථාවකදී අපි සමග ගිය එඩ්වර්ඩ් සහෝදරයා දෙමල පරිවර්තනයේ ඇතැම්  දෝෂ නිවැරදි  කලේ   බොහෝ  කලකට පෙර  යාපනයේ සිංහල මහා විධයාලයේ .සිංහල උගන්වද්දී දෙමළ බස  ඉගන ගෙන තිබු නිසාය. සමන් රත්නප්‍රිය  සහ රවී කුමුදේශ්  තම කරුණු දැක්වීම් කරන අතර තුර   LTTE   පාලන ප්‍රදේශවල  තිබු රෝහල්වල සේවකයන් හමුවී වුර්තීය සමිති  කටයුතු වලට ඔවුන් සම්බන්ධ  කර  ගැනීමට කැමති බව  කීහ.එයට පිළිතුරු ලෙස  තමිල් සෙල්වම් කීවේ  වුර්තීය  සමිති  කළ හැක්කේ  ස්ථිර  සාමයක් තිබේනම්  පමණක් බවයි.ඉරිදා ලංකාදීප කර්තෘ දොඹගහවත්ත කිසිවක් කතා  නොකළ අතර සම්පුර්ණ  කාලයම  ගත  කලේ අප අතර පැවැත්වුණු සාකච්චාව සටහන් කරගැනීමටය.ඊට සතියකට  පසු අපගේ  සාකච්චාව  පිලිබඳ  ලිපියක් ලංකාදීප පිටුවක් පුරරා  ඔහු  පළකොට තිබිණ.
පැය දෙකකට අධික වෙලාවක්  සාකච්ඡාව  පවතී අතර සාකච්චාව  අවසානයේ  ගැටුම්  නිරාකරණය ගැන  ලියවුනු  ඉංග්‍රීසි පොත්  50 කට  ආසන්න  ප්‍රමාණයක් යුධ විරෝධී පෙරමුණ වෙනුවෙන් කුමාර් රූපසිංහ  මහතා විසින්  තමිල් සෙල්වම්ට පරිත්‍යාග  කළේය.ඉතා  කැමැත්තෙන් ඒවා භාර ගත ඔහු  දිවා ආහාරය සඳහා  අපට  ආරාධනා  කර සිටියේය.
දිවා  ආහාරය සුදානම් කර තිබුනේ  යාබද  ගොඩනැගිල්ලකය.තරු 5 දිවා ආහාරයක් එහි සුදානම් කොට  තිබිණ. එහි සේවකයන් අපට  මහත්සේ  ගරු සරු දක්වමින්  සංග්‍රහ  කළහ.

පුලිදේවන් හමුවීම

දිවා ආහාරයෙන් පසු අපි තමිල් සෙල්ව්ම් සමග සාකච්චා  පැවැත්වූ  ගොඩ නැගිල්ලේ  මිදුලේ  අඹ ගස් සෙවනට පුටු කීපයක් ගෙන්නා  ගෙන විවේකයක් ගතිමු.සවස දෙකට  අපි  පුලිදේවන් හමුවීමට  යොදා ගෙන තිබින.ඔහුගේ  කාර්යාලය වුයේ  අපි විවේක  ගත ස්ථානයට අල්ලපු ඉඩමේය.එය  LTTE සාම ලේකම් කාර්යාලයයි.නොර්වේ  ආණ්ඩුව වෙනුවෙන් එහි නියෝජිත එරික් සෝල්හයිම් LTTE සංවිධානය සමග සාකච්චා පැවතුවේ පුලිදේවන්ගේ  එම කාර්යාලයේදීය.   ආණ්ඩුවෙ කොළඹ සාම ලේකම් කාර්යාලය සමග සම්බන්ධතා  පවත්වා ගෙන  ගියේ LTTE සාම ලේකම් කාර්යාලයේ  ප්‍රධානියවූ පුලිදෙවන්ය.ඔහු  උස මහත පුද්ගලයෙකි.ඔහුගේ  මුහුණේ  රුදුරු ගතියක් තිබුනේ  නම්  නැත.
සවස්වරුවේ  අපි සාම ලේකම් කාර්යාලයේදී ඔහු සමග සාකච්චා  පැවැත්වුයෙමු. LTTE සංවිධානය විසින් අප පිරිසේ  පරිවාර  නිලධාරියා  ලෙස  පත් කර තිබුනේද  පුලිදෙවන්ය.  සාකච්චාව  අවසන් වීමෙන් පසු  ඔවුන්ගේ රණවිරුවන්ගේ ගම්මානයක්  තනන  ස්ථානයකටද  පුලිදේවන් අපව  රැගෙන  ගියේය, එක් තැනකදී මට ඔහුව තනිව  හමු වූ විට ලංකා ගුරු සංගමයේ  ලේකම් ලෙස  සඳහන්  මගේ  සම්බන්ධීකරණ  කාඩ් පත ඔහුට දුන් අතර ඔහුගේ  කාඩ්  පත දෙන්නට දැයි මගෙන් අසා මා   එයට කැමැත්ත  ප්‍රකාශ  කල පසු ඔහු එය ම ඇත  තැබීය.
එදින  රාත්‍රිය  අපට  ගත කිරීම සඳහා  LTTE සංවිධානය  කිලිනොච්චි නගරයේ  හෝටලය වෙන් කර තිබු අතර  පුලිදේවන් අපව  එහි කැඳවා ගෙන  ආවේය.රැ බෝවූ   පසු රාත්‍රී ආහාරය සඳහා  වෙනත් ස්ථානයකට අපිව  LTTE සංවිධානය  කැඳවා ගෙන  ගිය  අතර යලිත් එම ස්ථානයට  පැමිණි  පුලිදේවන්  අපගේ අවශ්‍යතාවයන් සොයා බැලීය.
රාත්‍රී කාලය  හෝටලයේ  ගත  කළ  අතර අපගෙන්  කීප දෙනෙකු  පසුවදා  උදැසන කොළඹ  බලා  පිටත් වීමට තීරණය  කල අතර ඔවුන් සමග මමද එකතු වීමි.එයට පෙර උදේ  ආහාරය ගැනීම සඳහා අපි කිලිනොච්චි  නගරයේ තිබු ආපන ශාලාවකට ගියෙමු. ඇත්තෙන්ම එය විශාල නිවසකි පිරිසිඳු  කම ඉහලින්ම  තිබිණ. එවැනි ආපන ශාලා  පවත්වාගෙන  යන්නේ  LTTE සන්විධානය  බව  අපට දැනගන්නට  ලැබිණ.

යුද්ධය  ඇරඹීම 

යුද්ධය  නැවත ඇතිවීම වැළක්විය  නොහැකිය  යන සිතුවිල්ල මා   තුළ විය. යම් දිනක මේ  නගරය මුළුමනින්ම විනාශ විය  හැකි  නොවේද  යැයි  කල්පනා කරමින් නගරයත් එහි මිනිසුන් දෙසත් මා  බැලුවේ  සංවේගයෙනි.
Thamil Selvan Erik Solheim and Nimal Siripala de Silva


Thamil Selvan before LTTE peace secretariat


Pulidevan

Kilinochchi water tank  after the war.

Thamil Selvan' was killed in 2007 by air force.

Pulidevan was killed in the final,battle in 2009.


End of the war.



















Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...