යාපනයට ගිය දෙවෙනි ගමන.
1980 පසු යලිත් යාපනයට යාමට අවස්ථාවක් උදා වුයේ 2002 දීය. රනිල් වික්‍රමසිංහ මහතා 2002 අගමැති වූ පසු LTTE සංවිධානය සමග යුධ විරාම ගිවිසුමක් අත්සන් කිරීම නිසා උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් දහස් ගණනින් මිනිසුන් දිනපතාම වාගේ ගමන් කළහ. එවක මම ලංකා ගුරු සංගමයේ සභාපති වූ අතර යුධ සමයේ පවා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සංගමයේ යාපනයේ දිස්ත්‍රික් ශාඛාවෙ වාර්ෂික සම්මේලනයට සහභාගී වීම සඳහා මමත් සංගමයේ ප්‍රධාන ලේකම් වූ සී. ජයතුංග සහෝදරයත් සංගමයේ මධ්‍යම කාරක සභාවේ සහෝදරියන් දෙදෙනෙකුත් යාපනයට යාමට තීරණය කළහ.
2002 වසරේ දිනයක යාපනයට යාම සඳහා කොටුව දුම්රිය පොලෙන් රාත්‍රී දුම්රියකට ගොඩ වුනෙමු. වවුනියාවට දුම්රිය ලඟා වන විට පාන්දර 5 ට පමණ විය. එතනින් ඉදිරියට දුම්රිය ගමන් නොකළේ කොටි සංවිධානය දුම්රිය පාර ගලවා තිබුන නිසාය.
ඕමන්ත මුර පොළ.
වවුනියාවේ සිට බසයක නැගී ඕමන්තේට ගියෙමු.එම බස් රථයේ සිටි එකම සිංහල පිරිස අපම පමණි.( අප සමග ගිය එක් ගුරු සහෝදරියක් සිංහල මවකට සහ දෙමල පියෙකුට දාව ඉපදී තිබුණද ඇය දෙමල බස දැන සිටියේ නැත.) ඕමන්ත මුර පොලේ හමුදා භටයන් සහ පොලිස් නිලධාරින් සිටියහ.යාපනයට භාණ්ඩ ගෙන යන ලොරි රැසක් එහි තිබිණ.ඒවා පරීක්ෂා කර අවසන් වන තුරු දින දෙක තුන එහි නවතාගෙන සිටීමට අයිති කරුවන්ට සිදුවී තිබිණ. මුර පොලේ සිටි හමුදා-පොලිස් නිලධාරින් අප සමග සුහදත්වයක් පෙන්වූ නමුත් දෙමල මිනිසුන්ට සුහදත්වයක් පෙන්වුයේ නැත.අපගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු ඉදිරියට යාමට අපට අවසර ලැබුණු පසු පා ගමනින් ඉදිරියට ගියෙමු.මීටර 200ක් පමණ ඈතින් වුයේ LTTE සංවිධානයේ මුර පොලයි.එහි කාර්යාලයේ සේවය කල අය සිවිල් ඇඳුම් ඇඳ සිටියහ තරමක් ඇතින් ආයුධ සන්නද්ධ LTTE පොලිස් භටයන් සිටියහ.අපගේ හැඳිනුම් පත් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ගේ අඩවියට ඇතුළු වීම සඳහා අවසර පත් අප වෙත ලබා දුන්නාහ.
කොටි බස්
කාර්යාලය අසල කොටි බස් රථයක් නවත්තා තිබිණ.පෝලිමේ ගොස් රු 300 බැගින් ගෙවා මුහමාලය දක්වා යාම සඳහා එම බස් රථයට අපි ගොඩ වීමු. සියලු ආසන සම්පුර්ණ වූ පසු බස් රථය පිටත් විය.සිටගෙන යාම් සඳහා එකදු මගියෙක් වත් බස් රථයට නංවා ගත්තේ නැත. බස් රථයේ වාදනය වුයේ ප්‍රභාකරන් වර්ණනා කරන ගීතය.
ඉතා වේගයෙන් බසය ගමන් කල අතර බොහෝ තැන් වනයෙන් වැසී තිබුණි.පාර දෙපස බොහෝ තැන්වල හිස් කබලක පින්තුරය සහිත පුවරු සවිකර තිබිණ. ඒවායේ සඳහන් වුයේ බිම්බෝම්බ වලලා තිබෙන බැවින් පාරෙන් පිටතට පය නොතබන ලෙසය.
පැයකට පසු කඩ මන්ඩියක බස් රථය බස් රථය නැවැත්තුවේ. මගීන්ට තේ බීම සඳහාය. සිංහල පෙදෙස්වල ලෙසම මෙහිද කොල්ලන් කුරුට්ටන් මෙන්ම මහ මිනිසුන්ද විවිධ දේ රැගෙන බසය අසලට විත් ඒවා මගීනට විකිනුහ.එහෙත් බස් රථය තුලට ඔවුන් ආවේ නැත, කොලු පැටියෙකු ගෙනා කිසියම් කුඩා පලතුරු ගෙඩි වගයක් මා මිලදී ගත්තේ පොඩි එකා කෙරෙහි ඇතිවූ අනුකම්පාව නිසාය.
විනාඩි 15 කට පසු බසය යලි ගමන් ඇරඹීය. කැලෑව නැති පෙදෙස්වල තිබු නිවෙස් සියල්ලම වාගේ බෝම්බ සහ කාල තුවක්කු වෙඩි ප්‍රහාර වලින් විනාශ වී තිබින අලාභයක් නොවූ නිවසක් නැති තරම් විය.පාසල් වල පවා බිත්ති වෙඩි උණ්ඩ දහස් ගණනින් වැදීම නිසා සිදුරු වී තිබිණ. ඉදිරියට යන්නට් යන්නට අලාභ හානි අධික විය.කාල තුවක්කු වෙඩි වැදීම නිසා බැලූ බැලූ තල් ගස් දස දහස් ගණනින් දෙකට කැඩී ගොස් තිබිණ.
ඊලාම් රාජ්‍යයට අයත් විවිධ දෙපර්තමෙන්තුද අපට මග දෙපස තැන තැන්වල දැකිය හැකි විය. LTTEභටයන්ද ඔවුන්ගේ පොලීසිද තැන ස්ථාන ගණනාවකදී අපිට දැක ගත හැකි විය.
එලිෆන්ට් පාස් විනාශය.
LTTE විසින් එලිෆන්ට් පාස් යුධ හමුදා කඳවුරට එල්ල කල ප්‍රහාරයේ දරුණු බව වටහා ගැනීමට හැකි වුයේ ඉතිරිව තිබු නටබුන් නිසාය. තව දුරටත් එහි හමුදා කඳවුරක් තිබුනේ නැත ඒ වෙනුවට තිබුනේ විනාශ වී ගිය හමුදා යුධ ටැංකි කීපයක් පමණි.
මුහමලේ මුර පොළ.
තවත් පැයකින් පසු බස් රථය මුහමාලේ LTTE මුරපොලට ලඟා විය. එහිදී LTTE සංවිධානය අප වෙත ලබා දී තිබු අවසර පත්‍රය ඔවුන් අපෙන් ආපසු ඉල්ලා ගත් අතර අපි අනෙකුත් මගීන්ද සමග පා ගමනින් මීටර් 200ක් පමණ ඉදිරියට ගියෙමු.එවිට හමු වුයේ ආණ්ඩුවේ හමුදා මුර පොලයි.එහිදී අපව පරීක්ෂා කිරීමෙන් පසු අසල තිබු යාපනය බලා යන ලංගම බසයකට ගොඩ වූනෙමු.
පැයකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු යාපනයට අප ළඟා වූවෙමු. ඒ වන විට වෙලාව පස්වරු දෙකට පමණ විය.
සංගමයේ දිස්ත්‍රික් සභාපති ත්‍යාගරාජා සහෝදරයා අපව ඉතා සුහදව පිළිගත් අතර ආටා රථවල ( ත්‍රීවීලර්) නැගී ඔහුගේ නිවසට අපි පැමිණියෙමු.සංගමයේ ක්‍රියාකාරී දෙමල ගුරු භවතුන් ගණනාවක් අප හමු වීමට පැමිණි අතර අඳුර වැටෙන තුරුම අපි ඔවුන් සමග කතා බහ කළෙමු. අපගේ පැමිණීම ඔවුන්ට ඉමහත් සතුටක් දෙන සිද්ධියක් විය.
එදින රාත්‍රී භෝජනය සුදානම් කොට තිබුනේ සංගමයේ දිස්ත්රික් ලේකම් ගේ නිවසේය.අපගේ පැමිණීම ඔහුට පමණක් නොව ඔහුගේ බිරිදගේද තරුණ දුවරුන්ගේද සතුටට හේතු වූ බව ඔවුන්ගේ මුහුණු වල තිබු ආලෝකයෙන් සහ සිනහවන් අපට පැහැදිලි විය.
පසුවදා අපි දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී වූ අතර ගුරුවරුන් සහ ගුරුවරියන් රැසක් පැමිණ සිටියහ.පැය දෙකකට අධික කාලයක් රැස්වීම පැවතුන අතර පැමිණ සිටි ගුරුවරු LTTE සංවිධානයට විරුද්ධ බව ඔවුන්ගේ කතා වලින් අපට පැහැදිලි විය.ඇතැමෙකු LTTE සංවිධානයේ ඇතැම් ක්‍රියා ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට තරම්ට ඇතැමෙකු එඩිතර වුහ..
ඔවුනට එතරම් ධයිර්යයක් තිබුනේ කෙසේදැයි අදත් මම කල්පනා කරමි.
Comments
කෝ ????