Skip to main content

රෝහණ විජේවීර සමග ඇසුරට

ජනතා විමුක්ති පෙරමුණට එකතු වීම



1977 මහා මැතිවරණයේදී සමසමාජ පක්ෂයට  සහ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයට වැලේ වැල්  නැති විය. එකම ආසනයක්වත් දිනා   ගැනීමට  ඔවුන්ට නොහැකි විය. ජේ ආර් ජයවර්ධන 6/5 ක ආසන සංක්‍යාවක් ලබා ආණ්ඩුවක් පිහිටුවූ අතර  විපක්ෂ නායක  කම හිමි වුයේ  ෆෙඩරල්  පක්ෂයේ  අමිර්තලින්ගම්ටය.. එයට හේතු වුයේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ආසන  8 ක් පමණක් දිනා   ගැනීම  නිසාය.

එකල මා  ගුරුවරයෙකි.මා සම්බන්ධව  සිටියේ  කොමියුනිස්ට් පක්ෂය සමගය.මිනිසුන් අතර බින්දුවට වැටුණු කොමියුනිස්ට් පක්ෂය සමග තව දුරටත් සම්බන්ධව සිටීමෙන් ඇති පලේ  කුමක්දැයි කල්පනා කරමින් සිටියෙමි. සමාජවාදී  ලංකාවක් පිහිටුවා ගැනීම  සඳහා දැඩි උවමනාවකින් පෙළුණු මා හමුවීමට දිනක් අවුරුදු 22 ක පමණ මිටි හාදයෙක්  ආවේය .ඔහු සමග  කතා  බහ කිරීමෙන් පසු ලංකාවේ  සමාජවාදී විප්ලවය කිරීම සඳහා  ජවිපෙ  සමග සම්බන්ධ වීමට මා  තීරණය  කලෙමි.ඉන්පසු ජවිපෙ  පැවැත්වූ පන්ති පහටද  සම්බන්ධ වූ අතර දින  6 ක් හෝ හතක තිස්සේ තංගල්ලේ   පැවැත්වූ දේශපාලන කඳවුරකටද  සහභාගී වීමි.මාක්ස්වාදය  පිළිබඳව  යම් තරමක අවබෝධයක් ලබා ගැනීමට එම  කඳවුරු අධ්‍යාපනය මට උදව් විය.උදේ  6 ට  ඇරඹෙන  කඳවුර  රාත්‍රී  9 දක්වාම  පැවැත්වෙයි.අලුතෙන් ජවිපෙට  බැඳෙන  කෙනෙකුට  පැය දෙකක් පැවැත්වෙන ජවිපෙ  පන්තිය   කඳවුරට සහභාගී වන අයෙකුට  පැය 14ක් පමණ පැවැත්වෙයි.
 මේ වන විට  මා   ලංකා ගුරු සංගමයේ  සාමාජිකයෙකි. සංගමය  සමග  කිට්ටුවෙන් වැඩ  කරන ලෙස ජවිපෙ  මට උපදෙස්  දුන් බැවින් සංගමය සමග  කැපවීමෙන්  වැඩ  කිරීම  නිසා වැඩි කල් යන්නට  පෙර  මා   ලංකා ගුරු සංගමයේ  මධ්‍යම  කාරක සභාවට තෝරා පත් කර ගැනු  ලැබිණ.

විජේවීර හිරගෙදරින් එලියට 

මට පළමු වරට  රෝහණ විජේවීර මහතා  මුණගැහුනේ අගලවත්ත පැත්තේ  නිවසක පැවැත්වූ ජවිපෙ  ක්‍රියා  \ක්‍රිකයන්ගේ  රැස්වීමකදීය. 1971 කැරැල්ල  නිසා ජවිපෙ  නායකයන්  සිරගත  කොට තිබු අතර  1977 ජේ ආර්. බලයට පැමිණ  විජේවීර ඇතුළු ජවිපෙ  නායකයන් ගණනවක් නිදහස්  කරනු ලැබීය. නිදහස් වීමෙන් පසු  පළමු  ජවිපෙ රැස්වීම පැවැත්වුයේ  කොළඹ නගර සභා  පිටියේය. දේශපාලන  පක්ෂයක් විසින් ලංකාවේ  එහෙත් මෙතෙක්  පවත්වන ලද  ලොකුම   රැස්වීම එය යයි මා   සිතමි. රැස්වීමට අඩුම වශයෙන් පනස් දහසක් වත් සහභාගී වන්නට ඇතැයි යන්න  මගේ  විශ්වාසයයි. රැස්වීම  රාත්‍රී  8 වන තුරු පැවැත්විණ.මුලසුන  දැරුවේ  ලයනල් බෝපගේය..ඔක්තෝබර් විප්ලවය සැමරීම ට පැවැත්වූ එම රැළියේදී අවසන් කථිකයා වූ   විජේවීර , සිය කතාව  පටන් ගනිමින් කීවේ එතැන් සිට එම රැළිය  1971 නැගිටීමෙන් මිය ගිය 30000ක් තරුණ තරුණියන් සිහි කිරීමට පවත්වන බවයි. ලයනල් බෝපගේ ගැන සඳහන්  කළ විජේවීර,   හිරගෙදර සිටියදී බෝපගේ  රැ  නිදිමරමින් හොටු වක්කරමින් (බෝපගේ පීනස්  රෝගයෙන් පෙළුණේය.)  කාල් මාක්ස්ගේ  Das Kapital  කෘතිය  සිංහලට  පරිවර්තනය  කළ බවයි. විජේවීර  සහෝදරයා  සමසමාජ  පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය  පතුරු ගැසූ අතර  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයටද  ඇටි හැලෙන්නට බැන්නේය. එනමුදු   යු එන්පියට බැන්නේ නැති තරම්ය.
විජේවීරව අගලවත්තේදී  හමුවන විට ඔහු පිළිබඳව මා   සිත  තුල වුයේ විශාල පැහැදීමකි.යම් දිනක ඔහු ලංකාවේ  සමාජවාදී පාලනයක් පිහිටවනු ඇතැයි  දැඩි විශ්වාසයක් මා තුල විය.රාජ්‍ය  බලය ලැබ  ගැනීමේ  සන්නද්ධ  අරගලයේදී  ජීවිතය් පුදන්නට වුවද මම සුදානමින් සිටියෙමි. විජේවීර  එම සාකච්චාවේදී  පොලීසියට  අසු නොවී පෝස්ටර් ඇලවිය යුතු ආකාරය පවා  සහභාගිවූ ක්රියකාරිකයනට කියා දුන්නේය. වෙනත් පක්ෂවලට  ප්‍රජාතන්ත්‍රවාදය  නොදිය  යුතු බවත් ඔවුන්ගේ  පෝස්ටර් වසා ජවිපෙ පෝස්ටර් අලවන ලෙස  ඔහු තව දුරටත් උපදෙස් දුන්නේය.

විජේවීරගෙන් ලද ආදර්ශය.

එදින  මා විජේවීරගෙන් ලැබූ එක්තරා  ආදර්ශයක් ජීවිතයට එක් කර  ගතිමි.එය අද දක්වා ම පිළිපදිමි.සාකච්වෙන් පසු  සියලු දෙනා  දිවා ආහාරය  ගත් අතර විජේවීර  ආහාර ගෙන අවසන් කළ විට   ඔහුගේ   පිඟාන  සේදීමට  නිවෙස්  හිමියා   ඉල්ලීය  විජේවීර එය ප්‍රතික්ෂේප  කළේය." කන්න  පුළුවන් නම්   කාපු පිගාන  හෝදන්න  බැරි මොකද" යැයි ඇසු විජේවීර  ඔහු විසින්ම  පිඟන සෝදා නිවෙස් හිමියාට  දුන්නේය.
එම අගනා පාඩම  මම අදත් ක්‍රියාත්මක කරමි.

විජේවීර  හඳුනා ගැනීම.

ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලය තිබුනේ  කොළඹ  2 මැලේ  වීදියේය. සංගමයේ නායකත්වය  ජවිපෙ  සමග  ලඟ  සම්බන්ධකම් පැවැත්වීය. විජේවීර ඇතුළු  නායකයෝ නිතරම පාහේ  සංගමයට  ආ ගියහ.'ගුරු හඬ' නමින් පුවත් පතක් සති පතා  ගුරු සංගමය නිකුත් කළ අතර එය රට පුර ගුරුවරුන්  අතරට ගියේය.එකල ලංකාවේ  බලවත්ම ගුරු සංගමය   වුයේ  එයයි. 'ගුරුහඬ' පත්තරයේ  විදෙස් පුවත් කොලම  ලිව්වේ  මා විසිනි.මොස්කව් හී පළකල NEW TIMES සඟරාව  සති පතා තැපෑලෙන් මා අතට  පැමිණියෙන් එහි පළවූ පුවත්  සංශිප්ත  කොට  'ගුරු හඳට   ලීවෙමි.
එකල  ජවිපෙ නිල පුවත් පත වුයේ 'නියමුවා' ය. නියමුවා පුවත් පතට ලිපි ලිවීම  සඳහා  සාකච්චාවකට  එන්නට  යැයි දිනක් මට  ඇරයුම් ලැබිණ. සාකච්චාව සඳහා මා සමග  සංගමයේ  කීප දෙනෙකුද  ගියහ. එක් අයෙක් වුයේ  ගුරු සංගමයේ  සභාපති වූ  එච්. එන්. ප්‍රනාන්දුය.( විජේවීර  විවාහ වුයේ එච්. එන්. ප්‍රනාන්දුගේ  නැගෙණිය  සමගය.)
සාක්ච්චාව   පැවතුනේ  අංගොඩ  කොහිලවත්තේය. පක්ෂයේ  මුද්‍රනායලය තිබුනේද  එහිය. එහි යන විට  රාත්‍රී  10ට   ආසන්න වී තිබිණ. ජවිපෙ නායකයෙකු වූ  වන්නි ආරච්චි  සමග රෝහණ විජේවීර එහි සිටියේය,

(දෙවන  කොටස මී ළඟ  ලිපියෙන් )
























Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...