Skip to main content

රෝහණ විජේවීර සමග ඇසුරට

ජනතා විමුක්ති පෙරමුණට එකතු වීම



1977 මහා මැතිවරණයේදී සමසමාජ පක්ෂයට  සහ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයට වැලේ වැල්  නැති විය. එකම ආසනයක්වත් දිනා   ගැනීමට  ඔවුන්ට නොහැකි විය. ජේ ආර් ජයවර්ධන 6/5 ක ආසන සංක්‍යාවක් ලබා ආණ්ඩුවක් පිහිටුවූ අතර  විපක්ෂ නායක  කම හිමි වුයේ  ෆෙඩරල්  පක්ෂයේ  අමිර්තලින්ගම්ටය.. එයට හේතු වුයේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ආසන  8 ක් පමණක් දිනා   ගැනීම  නිසාය.

එකල මා  ගුරුවරයෙකි.මා සම්බන්ධව  සිටියේ  කොමියුනිස්ට් පක්ෂය සමගය.මිනිසුන් අතර බින්දුවට වැටුණු කොමියුනිස්ට් පක්ෂය සමග තව දුරටත් සම්බන්ධව සිටීමෙන් ඇති පලේ  කුමක්දැයි කල්පනා කරමින් සිටියෙමි. සමාජවාදී  ලංකාවක් පිහිටුවා ගැනීම  සඳහා දැඩි උවමනාවකින් පෙළුණු මා හමුවීමට දිනක් අවුරුදු 22 ක පමණ මිටි හාදයෙක්  ආවේය .ඔහු සමග  කතා  බහ කිරීමෙන් පසු ලංකාවේ  සමාජවාදී විප්ලවය කිරීම සඳහා  ජවිපෙ  සමග සම්බන්ධ වීමට මා  තීරණය  කලෙමි.ඉන්පසු ජවිපෙ  පැවැත්වූ පන්ති පහටද  සම්බන්ධ වූ අතර දින  6 ක් හෝ හතක තිස්සේ තංගල්ලේ   පැවැත්වූ දේශපාලන කඳවුරකටද  සහභාගී වීමි.මාක්ස්වාදය  පිළිබඳව  යම් තරමක අවබෝධයක් ලබා ගැනීමට එම  කඳවුරු අධ්‍යාපනය මට උදව් විය.උදේ  6 ට  ඇරඹෙන  කඳවුර  රාත්‍රී  9 දක්වාම  පැවැත්වෙයි.අලුතෙන් ජවිපෙට  බැඳෙන  කෙනෙකුට  පැය දෙකක් පැවැත්වෙන ජවිපෙ  පන්තිය   කඳවුරට සහභාගී වන අයෙකුට  පැය 14ක් පමණ පැවැත්වෙයි.
 මේ වන විට  මා   ලංකා ගුරු සංගමයේ  සාමාජිකයෙකි. සංගමය  සමග  කිට්ටුවෙන් වැඩ  කරන ලෙස ජවිපෙ  මට උපදෙස්  දුන් බැවින් සංගමය සමග  කැපවීමෙන්  වැඩ  කිරීම  නිසා වැඩි කල් යන්නට  පෙර  මා   ලංකා ගුරු සංගමයේ  මධ්‍යම  කාරක සභාවට තෝරා පත් කර ගැනු  ලැබිණ.

විජේවීර හිරගෙදරින් එලියට 

මට පළමු වරට  රෝහණ විජේවීර මහතා  මුණගැහුනේ අගලවත්ත පැත්තේ  නිවසක පැවැත්වූ ජවිපෙ  ක්‍රියා  \ක්‍රිකයන්ගේ  රැස්වීමකදීය. 1971 කැරැල්ල  නිසා ජවිපෙ  නායකයන්  සිරගත  කොට තිබු අතර  1977 ජේ ආර්. බලයට පැමිණ  විජේවීර ඇතුළු ජවිපෙ  නායකයන් ගණනවක් නිදහස්  කරනු ලැබීය. නිදහස් වීමෙන් පසු  පළමු  ජවිපෙ රැස්වීම පැවැත්වුයේ  කොළඹ නගර සභා  පිටියේය. දේශපාලන  පක්ෂයක් විසින් ලංකාවේ  එහෙත් මෙතෙක්  පවත්වන ලද  ලොකුම   රැස්වීම එය යයි මා   සිතමි. රැස්වීමට අඩුම වශයෙන් පනස් දහසක් වත් සහභාගී වන්නට ඇතැයි යන්න  මගේ  විශ්වාසයයි. රැස්වීම  රාත්‍රී  8 වන තුරු පැවැත්විණ.මුලසුන  දැරුවේ  ලයනල් බෝපගේය..ඔක්තෝබර් විප්ලවය සැමරීම ට පැවැත්වූ එම රැළියේදී අවසන් කථිකයා වූ   විජේවීර , සිය කතාව  පටන් ගනිමින් කීවේ එතැන් සිට එම රැළිය  1971 නැගිටීමෙන් මිය ගිය 30000ක් තරුණ තරුණියන් සිහි කිරීමට පවත්වන බවයි. ලයනල් බෝපගේ ගැන සඳහන්  කළ විජේවීර,   හිරගෙදර සිටියදී බෝපගේ  රැ  නිදිමරමින් හොටු වක්කරමින් (බෝපගේ පීනස්  රෝගයෙන් පෙළුණේය.)  කාල් මාක්ස්ගේ  Das Kapital  කෘතිය  සිංහලට  පරිවර්තනය  කළ බවයි. විජේවීර  සහෝදරයා  සමසමාජ  පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය  පතුරු ගැසූ අතර  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයටද  ඇටි හැලෙන්නට බැන්නේය. එනමුදු   යු එන්පියට බැන්නේ නැති තරම්ය.
විජේවීරව අගලවත්තේදී  හමුවන විට ඔහු පිළිබඳව මා   සිත  තුල වුයේ විශාල පැහැදීමකි.යම් දිනක ඔහු ලංකාවේ  සමාජවාදී පාලනයක් පිහිටවනු ඇතැයි  දැඩි විශ්වාසයක් මා තුල විය.රාජ්‍ය  බලය ලැබ  ගැනීමේ  සන්නද්ධ  අරගලයේදී  ජීවිතය් පුදන්නට වුවද මම සුදානමින් සිටියෙමි. විජේවීර  එම සාකච්චාවේදී  පොලීසියට  අසු නොවී පෝස්ටර් ඇලවිය යුතු ආකාරය පවා  සහභාගිවූ ක්රියකාරිකයනට කියා දුන්නේය. වෙනත් පක්ෂවලට  ප්‍රජාතන්ත්‍රවාදය  නොදිය  යුතු බවත් ඔවුන්ගේ  පෝස්ටර් වසා ජවිපෙ පෝස්ටර් අලවන ලෙස  ඔහු තව දුරටත් උපදෙස් දුන්නේය.

විජේවීරගෙන් ලද ආදර්ශය.

එදින  මා විජේවීරගෙන් ලැබූ එක්තරා  ආදර්ශයක් ජීවිතයට එක් කර  ගතිමි.එය අද දක්වා ම පිළිපදිමි.සාකච්වෙන් පසු  සියලු දෙනා  දිවා ආහාරය  ගත් අතර විජේවීර  ආහාර ගෙන අවසන් කළ විට   ඔහුගේ   පිඟාන  සේදීමට  නිවෙස්  හිමියා   ඉල්ලීය  විජේවීර එය ප්‍රතික්ෂේප  කළේය." කන්න  පුළුවන් නම්   කාපු පිගාන  හෝදන්න  බැරි මොකද" යැයි ඇසු විජේවීර  ඔහු විසින්ම  පිඟන සෝදා නිවෙස් හිමියාට  දුන්නේය.
එම අගනා පාඩම  මම අදත් ක්‍රියාත්මක කරමි.

විජේවීර  හඳුනා ගැනීම.

ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලය තිබුනේ  කොළඹ  2 මැලේ  වීදියේය. සංගමයේ නායකත්වය  ජවිපෙ  සමග  ලඟ  සම්බන්ධකම් පැවැත්වීය. විජේවීර ඇතුළු  නායකයෝ නිතරම පාහේ  සංගමයට  ආ ගියහ.'ගුරු හඬ' නමින් පුවත් පතක් සති පතා  ගුරු සංගමය නිකුත් කළ අතර එය රට පුර ගුරුවරුන්  අතරට ගියේය.එකල ලංකාවේ  බලවත්ම ගුරු සංගමය   වුයේ  එයයි. 'ගුරුහඬ' පත්තරයේ  විදෙස් පුවත් කොලම  ලිව්වේ  මා විසිනි.මොස්කව් හී පළකල NEW TIMES සඟරාව  සති පතා තැපෑලෙන් මා අතට  පැමිණියෙන් එහි පළවූ පුවත්  සංශිප්ත  කොට  'ගුරු හඳට   ලීවෙමි.
එකල  ජවිපෙ නිල පුවත් පත වුයේ 'නියමුවා' ය. නියමුවා පුවත් පතට ලිපි ලිවීම  සඳහා  සාකච්චාවකට  එන්නට  යැයි දිනක් මට  ඇරයුම් ලැබිණ. සාකච්චාව සඳහා මා සමග  සංගමයේ  කීප දෙනෙකුද  ගියහ. එක් අයෙක් වුයේ  ගුරු සංගමයේ  සභාපති වූ  එච්. එන්. ප්‍රනාන්දුය.( විජේවීර  විවාහ වුයේ එච්. එන්. ප්‍රනාන්දුගේ  නැගෙණිය  සමගය.)
සාක්ච්චාව   පැවතුනේ  අංගොඩ  කොහිලවත්තේය. පක්ෂයේ  මුද්‍රනායලය තිබුනේද  එහිය. එහි යන විට  රාත්‍රී  10ට   ආසන්න වී තිබිණ. ජවිපෙ නායකයෙකු වූ  වන්නි ආරච්චි  සමග රෝහණ විජේවීර එහි සිටියේය,

(දෙවන  කොටස මී ළඟ  ලිපියෙන් )
























Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා