
Zookeeper's wife චිත්‍රපටයේ අවස්ථාවක්
යුද්ධයකදී තම පාර්ශවය වැඩියෙන් මිනීමැරීම වීර ක්‍රියාවක් ලෙස සැලකේ. මැරූ සංඛ්‍යාව වැඩිවූ තරමට ඔහුට ලැබෙන පදක්කම් සංඛ්‍යාවද වැඩිය . සැබවින්ම ඔවුහු වීරයෝද?
Zookeeper's wife චිත්‍රපටිය ඔබ නැරඹුව හොත් සැබෑ වීරයන් කවුදැයි ඔබට සොයා ගත හැකිය.
මෙම චිත්‍රපටිය පළමු වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2017 වසරේ මුල් භාගයේදීය .එහෙත් එය නරඹන්නට මට හැකි වුයේ ඉතා මෑතකදීය . සමස්ත චිත්‍රපටියම පාදක වී තිබෙන්නේ සැබෑ කතාවක් පදනම් කොට ගෙනය .
1939 දී හිට්ලර් හමුදාව පෝලන්තයේ අගනුවර වන වෝර්සෝ නගරය ඇතුළුව රටින් අඩකට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගැනීමෙන් පසු එහි සිටි යුදෙව් ජාතිකයන් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් ' වර්සෝ ගෙටෝ' නම්න් හදුන්වන වර්ග කිලෝමීටර් 3.4 ප්‍රමාණයක ප්‍රදේශයක ගාල් කරනු ලබු අතර එයින් පිටතට යාම වෙඩි කෑමට හේතු විය.දිනකට එක අයෙකු ගත හැකි ආහාර ප්‍රමාණය කැලරි 187 කට සීමා කරන ලද බැවින් සියල්ලෝම සිටියේ කුසගින්නේය .ආහාර සොයාගැනීමට රහසිගතව පිටතට ගිය අය ජර්මන් භටයන් විසින් වෙඩි තමා මරනු ලැබිය . පසුව මෙම යුදෙව්වන්ගෙන් වැඩි දෙනෙකු ( අත දරුවාගේ සිට මහල්ලා දක්වා ) වරින් වර වෙනත් කදවුරුවලට ගෙන ගොස් වධ දී හෝ වෙඩි තබා හෝ ගෑස් කාමරවලට යවා හෝ මරා දමන ලදී . හිට්ලර් විසින් අල්ලාගත් රටවල සහ ජර්මනියේ සිටි යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යවක් හිට්ලර් පාලනය විසින් මරා දමනු ලැබිය .

ගෑස් කාමර වලට යැවීමට දුම්රියකට දරුවන් නංවන අවස්ථාවක්
මෙම චිත්‍රපටිය පාදක වී තිබෙන්නේ පෝලන්තයේ ජරමන් පාලන ප්‍රදේශයේ ජීවත්වූ යුදෙව්වන් 300 ක් මරණයෙන් ගලවා ගැනීම සදහා පෝලන්ත වැසියෙකු සහ ඔහුගේ බිරිඳ කරන ලද සාර්ථක වෑයම පිලිබඳවය .
එය වීර ක්‍රියාවක් වන්නේ එසේ ජීවිත බේරා ගැනීම නිසා පමණක් නොවේ . අසුවුවහොත් තමන්ටද නියත ලෙසම ජර්මන් හමුදාව අතින් මරණයට පත්වීමට සිදුවෙන බව දැන දැනම කළ බැවිනි .යුදෙව්වන්ට පලායාමට උදව් කරන අය මරා දමන බවට ඒ වන විට ජර්මන් හමුදාව ප්‍රසිද්ධියට පත් කර තිබුණි . ඇතැම් පෝලන්ත වැසියන් ජර්මන් හමුදාවට යුදෙව්වන් අල්ලා දුන් බැවින් කිසිවෙකුට නොදැනෙන ලෙස යුදෙව් මිනිසුන්ට ආරක්ෂාව ලබා දීම ඉතා දුෂ්කර විය.
යුදෙව්වන්ට උදව් කරන්නන්ට මරණ දඩුවම දෙන බවට ජර්මන් හමුදාව ප්‍රසිද්ධ කළ දැන්වීමකි
Zookeeper's wife චිත්‍රපටියේ පෙළගස්සන සත්‍ය කථාව මෙසේය .
ආචාර්ය ජෑන් සබින්ස්කි වෝර්සෝ නගරයේ සත්ව උද්‍යානයේ ප්‍රධානියාය. ඔහු විද්‍යාඥයෙකි ඔහුගේ බිරිඳ අන්ටෝනිනා සබින්ස්කි හැඩවැඩ කාන්තාවකි .ඔවුන්ට අවුරුදු දහයක පුතෙකුද සිටි
ජර්මන් හමුදාව 1939 සැප්තැම්බර් පළමුදා වෝසෝ නගරයට බෝම්බ දැමු අතර බෝම්බ සත්ව උද්‍යානයට ද වැටීම නිසා බොහෝ සතුන් මිය ගිය අතර ඇතැම් සතුන් පැන ගියහ. .ඉතිරිවුයේ අල්පයකි . ජර්මන් හමුදා පෝලන්තය ආක්‍රමණය කොට ඉන් 48% ක් අල්ලා ගත් අතර සෝවියට් දේශය ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුමක් යටතේ සෝවියට් දේශය පෝලන්තයේ ඉතුරු කොටස අල්ලා ගත්තේය .
ඉන්පසු දිනක ජර්මනියේ බර්ලින් සත්ව උද්‍යානයේ ප්‍රධානියවූ ආචාර්ය ලුට්ස් හෙක්, වෝසෝ සත්ව උද්‍යානය පරික්ශා කිරීමට පැමිණේ . ඔහු සහ වෝසෝ සත්ව උද්‍යානයේ ප්‍රධානියවූ ආචාර්ය ජෑන් සබින්ස්කි ඊට පෙර ජාත්‍යන්තර සමුළුවලදී මුණගැසී තිබුණි .ඔහු ඉතිරිවී සිටි අලියෙක් ඇතුළු සතුන් කීප දෙනෙකු බර්ලින් සත්ව උද්‍යානයට යවයි . දිනක් ඔහු එහි බීමත්ව පැමිණ ඉතිරිවී සිටි සතුන් කීප දෙනෙකුටද වෙඩි තබා මරා දමයි . කෙසේ වෙතත් ජෑන් හමුවීමට ලුට්ස් වරින් වර පැමිණේ .එයට හේතුවුයේ ජෑන් ගේ බිරිඳ වූ අන්ටෝනිනා කෙරෙහි ඔහුගේ සිත ඇදී යාම නිසාය .දිනක් ලුට්ස් හමුවූ ජෑන් තම සත්ව උද්‍යානයේ ඌරන් ඇති කොට ජර්මන් හමුදාවේ ආහාර පිණිස ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරයි .කවලම් නොවූ සතුන් ජනනය කිරීමට උනන්දුවක් දක්වමින් සිටි ලුට්ස් වෝසෝ සත්ව උද්‍යානයේ ඌරන් ඇති කිරීමට අවසර දෙයි .ලුට්ස් විසින් වදවී ගිය බයිසන් ගවයෙකු ජනනය කිරීම සදහා සත්වෝද්‍යානය යොදා ගනී .

ලුට්ස් හෙක් සහ අන්ටෝනිනෝ (චිත්‍රපටියේ )
මේ වන විට හැකි පමණ යුදෙව්වන් මරණයෙන් ගලවා ගැනීම සදහා රහසිගත වැඩ සටහනක් ද වෝර්සෝ යුදෙව් ප්‍රධානින් සහ පෝලන්ත ගරිල්ලා ව්‍යාපාරය ක්‍රියාත්මක කරමින් කරමින් සිටියහ .ඌරන්ට කෑමට දීම සදහා ඉවත දමන ආහාර වෝසෝ ගෙටෝවේ කුණු බක්කි වලින් රැගෙන යාමට ජෑන්ට ලුට්ස් විසින් අවසර දී තිබු බැවින් ඔහු සිය කුණු එකතු කිරීමේ ලොරියෙන් එහි ගොස් ඒවා එකතු කළ අතර වරින් වර යුදෙව්වන් කුණු යට සගවා ගෙන පැමිණ සිය සත්ව උද්‍යානයේ කුඩු වලද පොලොව යට තිබු උමං තුළද සැගවුවේය.
ජෑන් සබින්ස්කිගේ නිවස
ජෑන් ගේ බිරිද මුලදී මෙයට අකමැති වුවත් මරණයෙන් බියට පත්ව සිටි තම මිතුරන් සහ ඔවුන්ගේ දරුවන්ගේ මුහුණු දැකීමෙන් පසු ඇය තම මරණ බිය යටපත් කොට ගෙන තම ස්වාමි පුරුෂයාට යුදෙව්වන් බේරා ගැනීම සදහා උපරිම අයුරෙන් සහය දුන්නාය . ඇතැම් යුදෙව් පවුල් වලට සිය නිවසේ උඩුමහලේ නවාතැන් දුන්නාය . ජර්මන් යුද්ධ භටයන් හෝ ලුට්ස් තම නිවසට එන බව ආරංචි වූ විගස ඇය වහා පියානෝව වෙත ගොස් කිසියම් සංගීත ඛණ්ඩයක් වාදනය කළ අතර එය ඇසුණු විගස සියල්ලෝම වහා සැඟවුනහ . අනතුර පහවූ පසු ඇය වෙනත් සංගීත වාදනයක් කළාය.එවිට සැගවුණු තැනින් පිටතට පැමිණියහ .

ජාන් සබින්ස්කි යුදෙව්වෙකු බේරා ගෙන යන අවස්ථාවක් චිත්‍රපටියේ දැක්වෙන අයුරු
ජර්මන් හමුදා පැමිණ තමන් අල්ලා ගනු ඇතැයි යනුවෙන් ඔවුන් තුල ඇතිවූ බිය කවරේද කියා ඔබට හරියාකාරව වටහා ගත හැක්කේ ඔබ ඒ සමාන අත් දැකීමක් ලබා ඇත්තේ නම් පමණි . සිංහල ප්‍රදේශවල විසු මිනිසුන් 1987-89 සමයේ ඒ හා සමාන බියකින් වසර දෙකකට අධික කාලයක් ගත කළහ .එකළ ඇතැම් මිනිසුන් රාත්‍රී කාලයේ සිටියේ කැලෑවලය .නිවසේ සිටියහොත් එක්කෝ ජවිපෙ තුවක්කු කරුවන් නැතහොත් හමුදා විසින් මරා දමනු ඇතැයි දකුණේ විසු පුරවැසියන්ගෙන් බහුතරය බියට පත්ව සිටියහ . උතුරේ සහ නැගෙනහිර ජනයාද එවැනිම බියකින් යුද සමයේ අවුරුදු 27 ක් ගත කළහ . රාත්‍රිය උදා නොවේවා කියා එකල ප්‍රාර්ථනා නොකළ කෙනෙක් නැති තරම්ය .
යුදෙවන් ගලවා ගැනීමේ ව්‍යාපාරය විසින්, පෝලන්තයේ විවිධ ස්ථානවල සඟවා සිටි යුදෙව්වන් , ආර්ය ජනවර්ගයකට අයත් වන බව සදහන් කරන ලද හොර හැඳිනුම් පත් රහසිගතව මුද්‍රණය කොට ඔවුන් අතට පත් කොට ජර්මන් පාලන ප්‍රදේශයෙන් පිටතට යවනු ලැබිය .

ලුට්ස් සමග තම බිරිද අනියම් සම්බන්ධතාවයක් පවත්වන්නේ යැයි ජෑන් සැක කිරීම නිසා දෙදෙනා අතර අමනාප කම් ද හටගනී එහෙත් එවැන්නක් නැතැයි අන්ටෝනිනා කියන අතර ජෑන් එය පසුව පිළිගනී. මේ අතර තුර ඇය ගැහැණු දරුවෙක්ද බිහිකරයි
1943 දී වෝසෝ ගෙටෝවේ සිටි යුදෙව්වන් එයින් ඉවත්කොට මරා දැමීම සදහා කදවුරු වලට යැවීමට පටන් ගත් විට යුදෙව්වන් විසින් කැරැල්ලක් ගැසූ අතර එය මාසයක් පමණ කාලයක් පැවතුණි .ඒම කැරැල්ලට ජෑන් ද සහභාගිවූ අතර ඔහු ජර්මන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන කදවුරකට යවනු ලබයි .
මේ අතර සෝවියට් හමුදා ආසන්නයට පැමිණීම නිසා ජර්මන් හමුදා පොලනතයෙන් ඉවත්වීම අරඹන අතර ලුට්ස් හමුවීමට යන අන්ටෝනිනෝ තම ස්වාමි පුරුෂයාට සිදුවුයේ කුමක්දැයි අසයි . එහිදී ඇයට බලහත්කාරකම් කරන ඔහු පෝලන්ත කැරලිකාර ව්‍යාපාරයට ඇය සම්බන්ධ බවට ඇයට චෝදනා කරයි .වහා නිවසට එන ඇය ඇගේ නිවසේ සහ සත්වෝද්‍යානයේ සැගවී සිටින අය සත්වෝද්‍යානයේ උමං මගක් දිගේ පිටත් කර යවයි.
ලුට්ස් හමුදා භටයන් සමග එහි පැමිණෙන විට ඔවුන් පිටත් කොට අවසන්ය. ඇගේ කුඩා දරුවාද වෙනත් කාන්තාවක් අත යැවූ නමුත් වැඩි මහල් පිරිමි දරුවා මව තනිකොට යාම ප්‍රතික්ෂේප කරයි . දරුවා මරා දැමීමට ලුට්ස් සුදානම් වන නමුත් අවසානයේ ඔහුටත් මවටත් හානියක් නොකර ලුට්ස් ආපසු යන්නට යයි . අන්ටෝනිනෝ තම දරුවා ත් රැගෙන වෝසෝ නගරයෙන් පිටවී යයි.

සෝවියට් හමුදා වෝසෝ නගරය අල්ලාගැනීමෙන් මාස 4 කට පසු ඇය ආපසු සිය දරුවන් සමග පැමිණ යලිත් ජීවිතය අරඹයි . හිරෙන් නිදහස් වූ ඇගේ ස්වාමි පුරුෂයාද එහි පැමිණ ඔවුන් හා එකතුවෙයි .
ඔවුන් දෙදෙනා විසින් බේරා ගත් යුදෙවන්ගේ සංඛ්‍යාව 300 කි .ඔවුන්ගෙන් දෙදෙනෙකු හැර අන් සියල්ලෝම යුද්ධය අවසන් වන විට ජීවත්ව සිටියහ . දැනගන්නට තිබෙන ආකාරයට එසේ දිවි ගලවාගත් අයගෙන් මේ වන විට ජීවත් වන්නේ එක අයෙකු පමණි ඒ දැන් කැනඩාවේ ජීවත්වන ස්ටෙෆානියා සිට්බෝන්ය .ඇය අන්ටෝනිනාගේ නිවසට මව සමග පැමිණෙන විට ඇගේ වයස මාස 4 ක් පමණි . යුද්ධයෙන් පසු ඔවුන් පෝලන්තයට යලි පැමිණි නමුත් පියා මියයාම නිසා මව සිය දරුවන් සමග ඊශ්‍රයලයට ගිය අතර ස්ටෙෆානියා පසුව කැනඩාවේ පදිංචි වුවාය .

Comments