
රහාෆ් මොහමඩ් අල්ඛනුන්
ඇගේ නම රහෆ් මොහමඩ් අල්ඛනුන් ය. වයස අවුරුදු 18 කි.ඇයට සහෝදර සහෝදරයන් 9 දෙනෙකි .උපන්නේ සවුදි අරාබියේය. සවුදියේ කාන්තාවන්ට නිදහසක් නොමැතිවුයෙන් එයින් මිදී වෙනත් රටකට පැනගොස් නිදහසේ ජීවත් වීමට ඇයට අවශ්‍ය විය . එහෙත් එසේ පැනයාමට මෙයට පෙර උත්සහ කළ තරුණියන්ට සවුදි ගුවන්තොටුපොලකින් පිටවීමට ඉඩ ලැබුනේ නැත . එයට හේතුව සවුදි කාන්තාවන්ට තනියෙන් ගමන් යාමට එහි ඉඩ නැති නිසාය .
පසු ගිය දිනක ඔහුගේ පවුලේ අය ඇයත් සමග කුවේටයේ සංචාරය කළහ. තම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ ඇය ඔස්ට්‍රේලියාවට පැනයාමට ගුවන් ටිකට් පතක් රහසිගතව මිලදී ගත අතර වහාම ගුවන් තොටුපොළට ගිය ඇය බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට යාමට ගුවන් යානයකට ගොඩ වුවාය . ජනවාරි 5 ඇය බැංකොක් ගුවන් තොටුපලට පැමිණි නමුත් එහි සවුදි තානාපතිවරයා ඇගේ ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් ගත් බැවින් ඇයට ඉන් ඉදිරියට ගමන් කිරීමට නොහැකි විය .
තායි බලධාරීන් ඇය තොටුපොළේ හෝටල් කාමරයකැ රැඳවු පසු ඇතුලෙන් අගුලු දාගත් ඇය දොර බලෙන් විවුර්ත කිරීම වැලක්වීමට කාමරයේ තිබු ඇදන් සහ අනෙකුත් ගෘහ භාන්ඩ දොරට හිර කොට , සමාජ මාධ්‍ය මගින් තමන් ට පවුලේ අය කරන හිරිහැර ගැනත්, බලහත්කාරයෙන් ඇය ආපසු යවනු ලැබුවහොත් පවුලේ අය ඇය මරා දමනු ඇති බවත් කියා සිටියාය. එබැවින් ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් බටහිර රටක රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
කාමරය තුලට වී twitter මගින් ලෝකයේ පිහිට ඉල්ලන අයුරු
ඇය ආපසු යැවීමට බැංකොක් බලධාරීන් සුදානමින් සිටියත් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයත්, අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයක් වන Human Rights Watch සංවිධානය ඇයට පිහිට වීමට ඉදිරිපත් වීම නිසා ඇය ආපසු නොයැවීමට තායිලන්තය තීරණය කළේය .
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ නියෝජිතයා සහ තායි බලධාරීන් සමග
ඉන්පසු එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය ඇයට බැංකොක් නගරයේ තවකාලික නවාතැන් සැපයු අතර ඇය පවුලේ අය අත් හැර යාමට හේතු විමසුහ.
ඇය තම කොණ්ඩය කොටට කැපීම නිසා පවුලේ සාමාජිකයන් ඇය කාමරයකට දමා මාස හයක් හිරකර තැබූ බවත් එම කාලය තුල ඇයට කායිකව සහ මානසිකව හිරිහැර කළ බවත් ඉතා සුළු දෙයටත් තමා මරා දමන බවට තම පවුලේ අය තර්ජනය කරන බවත් කියා සිටියාය . තම පවුලේ අය සවුදි අරාබියේ බලවත් පවුලක් බව ඇය කි නමුත් ඔවුන් කවුදැයි ඇය මාධ්‍යවලට හෙළි කොට නැත . ආපසු ගියහොත් නොවරදවාම ඔවුන් ඇයව මරා දමනු ඇතැයි ඇය තව දුරටත් කියා සිටියාය .
ඇය කොහේ ගියත් ඇයව පැහැරගෙන ආපසු ගෙනියන බවට සවුදි බලධාරීන් සහ කුවේට් ගුවන් සේවයේ නිලධාරීන් දැනටමත් තර්ජනය කර ඇති බව වැඩි දුරටත් අල් ඛනුන් කියා තිබේ .
මේ අතර ඇය රැගෙන යාමට ඇගේ පියා බැංකොක් නගරයට පැමිණියත් ඇය මුණගැසීමට තායි බලධාරීන් ඔහුට ඉඩ දුන්නේ නැත .
ඇගේ ඉල්ලීම අනුව ඔස්ට්‍රේලියාව ඇයට සරණාගත තත්වය දිය යුතුද නැද්ද කියා එහි ආණ්ඩුව සාකච්චා කරමින් සිටින අතර තුර කැනඩාව ඇය භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළේය. එය භාරගැනීමට අල් ඛනුන් වහාම කැමැත්ත ප්‍රකාශ කළාය .

Comments