
එන පෙබරවාරි 4 වෙනිදට යෙදෙන ජාතික නිදහස් දිනයේදී ඥානසාරට නිදහස දෙන්නට යන බව ට ආරංචි පැතිරෙමින් පවතී .මේ වන විට අස්ගිරි මල්වතු ඇතුළු සෑම නිකායකම නායක උන්නාන්සේලා එවැනි ඉල්ලීමක් කර ඇති බව කියවේ .එයට අමතරව ආණ්ඩුවේ බුද්ධ සාසන ඇමති ද එම ඉල්ලීමම කළ බව දැනගන්නට ඇත .
ඥානසාර හිරේ ගියේ අවුරුදු හයකටය. චෝදනා හතරකට වැරදි කරු කරමින් අවුරුදු 19 ක බරපතල වැඩ සහිත හිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අවුරුදු හයකින් ගෙවී යන ලෙස 2018 අගෝස්තුවේදී අභියාචනාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නේය .
දඬුවම් කිරීමට හේතු වුයේ හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව කෑගසමින් උසාවියට අපහස කළ බවට අභියාචනාධිකරණය නිගමනය කළ නිසාය . ඥානසාර 2016 දිනක විනිසුරුවරයාට විරුද්ධව උසාවිය තුලදී කෑගැසුවේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලබවට චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට ඇප දීමට මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කිරීම නිසාය .

ඉහත නඩු තීන්දුව දීමට මාස දෙකකට පෙර එනම් 2018 ජුනි මාසයේදී හෝමාගම අධිකරණය ඥානසාරට මාස හයක බරපතල සිරදඬුවමක් නියම කළේය .එයට හේතුව වුයේ ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ භුමිය තුළදී තර්ජනය කිරීමය . එම තීන්දුවට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කළ අතර එය තවමත් විභාග කර නැත .
අවුරුදු හයකට හිරේ ගිය ඥානසාරට නිදහස් කරන්නට සුදානම් වන්නේ මාස හයක් වත් හිර දඩුවම විද නැති අවස්ථාවකය .
ඥානසාරට සමාව දී නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිට පමණය. එය ඔහු කරන්නේ නම් ඒ දේශපාලන වාසියක් බලාගෙන බව අපට නම් හිතේ . ඔහු නිදහස් කළ විට හාමුදුරුවරු සහ බෞද්ධයන් පෝලිමේ ඇවිත් ඔහු යලිත් ජනාධිපති කරනු ඇතැයි ඔහු සිතාගෙන සිටිනවා විය හැක .
නමුත් ඥානසාරගේ බොදු බලය දියවී ඇති සංවිධානයකි . හුදු කල්ලියක් පමණක් වන මෙම සංවිධානය උස්සන්නට දගලන්නේ සිවුරු දාගත් තුන් හතර දෙනෙකු පමණි .
ඥානසාර වීරයෙක් ලෙස පෙනෙන අයගේ චන්දය ලැබෙන්නේ සිරිසේන මහතාට නොව රාජපක්ෂ පවුලේ අයෙකුටය. සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට මහින්ද ඔහුට සහය දෙන බවට ආරංචියක් පැතිරීම නිසා දැනටමත් පොහොට්ටුවේ ප්‍රමුඛයන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන අතර පොහොට්ටු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට ඔවුන් කියා තිබේ . එවැනි පසුබිමක් තුළ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන ඉඩ කඩ වැඩිය .
2014 ජුනි මාසයේදී අලුත්ගම, බේරුවල සහ දර්ගා ටවුමේ ඇතිකළ ගැටුමේදී මුස්ලිම් මිනිසුන් කීප දෙනෙකු මරා දැමු අතර 80 ක් පමණ තුවාල ලැබුහ . ඔවුන්ගේ කඩ සාප්පු සහ නිවෙස් වලට පහර දුන් අතර ඔවුන්ගේ දේපොළ කොල්ල කනු ලැබිණ . එම භීෂණයෙන් අනාථවූ සංඛ්‍යව 8000 කි .එම කෝලාහලය ඇරඹුණේ ඥානසාර විසින් ජුනි 15 වනදා අලුත්ගම රැස්වීමක් පවත්වා මුස්ලිම් විරෝධී කතාවක් පැවැත්වීමෙන් පසුවය ඉන්පසු බොදුබල සේනාවට සම්බන්ධ පිරිස් දර්ගාටවුම හරහා මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලි ගිය අතර පසුව එය දෙපාර්ශවය අතර සටනක් ඇතිවිය කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු මිය ගියහ. මංකොල්ල කෑම් කරන ලද්දේ විශේෂ කාර්ය සාධන පොලිසිය බලා සිටියදීය .

Comments