Skip to main content

ගුරු /විදුහල්පති අරගලයට මොකද වෙන්නේ ?

 



      ගුරු/විදුහල්පති ප්‍රශ්නය  ගැන අටුවා ටීකා මෙහි කෙටිය යුතු  නැත. ගුරුවරු සහ විදුහල්පතිවරු ප්‍රශ්නය දනිති  නොදන්නා දෙමාපියනට/මහජනයාට  එය කියා දීම ඔවුන්ගේ වගකීමකි 
දැන් ප්‍රශ්නය  ඉල්ලීම  ලබා ගන්නේ කෙසේද යන්නය. 
දිගටම වර්ජනය කරනවාද ? නැත්තම් දින දෙකක් වර්ජනය කර පාසල් ගොස් සටන ගෙනියනවාද? 
මෙතෙක් වැඩ වර්ජනයක් තිබුනේ නැත  පාසල් දිගටම වසා තිබුනේය තිබුනේ online වර්ජනයක් පමණි 
මේ  21 වනදා ළමුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගිය සතියේ තීරණය කළේය 


ආණ්ඩුවේ මොට්ට දේශපාලකයෝ  ගිය සතියේ සිට ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ වෘතීය සමිති  නායකයනට  මඩ ගසන්නටද , අපහාස කරන්නටද, තර්ජනය කරන්නටද  පටන්ගත් නිසා ප්‍රශ්නය  ගොඩින් බේරා ගැනීමට තිබුණු ඉඩ ඇහිරුනේය .  21 සහ 22 වැඩ වර්ජනය කරන්නට සංගම් තීරණය කළේ ඉහත පසුබිම තුලය 


 21 සහ 22 වැඩ වර්ජනය කරන්නත් 25 වනදා පාසල් ගොස් උගන්වා ඉන්පසු වැටුප් විෂමතාවය විසඳන තෙක්  දිගින් දිගට අරගල කරන්නත් තීරණයක් ගත්තේ ගුරු විදුහල්පති සංගම් සන්ධානය විසිනි .


එම සන්ධානයට වෘත්තීය සමිති 30ක් තිබෙන අතර  විදුහල්පති  සංගම් 11ක්  ද එයට ඇතුලත් වේ .


ඉහත තීරණයට විරුද්ධ සංගම් කීපයක්ද තිබේ. එහෙත් ඒවා බොහෝ දුරට නාම පුවරුවට පමණක් සීමාවූ සංගම් බවට වාර්තා වේ  ඔවුන් කියන්නේ දිගටම වර්ජනය කළ යුතු බවය

   



දිගටම වර්ජනය කළහොත් වර්ජනය  කිරීමට සිදුවන්නේ 200 ට අඩු පාසල්වල ගුරුවරුන්ටය. ළමුන්   200ට වැඩි පාසල් විවෘත කර නැති බැවින් එම පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කොහොමත් සිටින්නේ ගෙවල්වලය . මේ නිසා  වර්ජකයන් මර්දනය කිරීමට ආණ්ඩුව තීරණයක් ගතහොත් වර්ජක ගුරු පිරිස  අඩු පිරිසක් බැවින්   මර්දනය කිරීමටද පහසුය . 


වැටුප් විෂමතාවයන් විසඳන තුරු වැඩ වර්ජනය කරන්නට යෝජනා කිරීම මොලයට නොව හදවතට   කීකරු වීමකි  


ආණ්ඩුව හදිසි නිතිය පනවා තිබේ.

 එසේ කර ඇත්තේ   අවශ්‍ය වුවහොත් වර්ජකයන්,  විරෝධතාකරුවන් මට්ටු කරන්නටය  උදාහරණයක් හැටියට වර්ජනය කරන අයගේ වැටුප් නතර කරන්නට ආණ්ඩුව තීරණය කළහොත් එය ගණන් ගන්නේ නැතිව මාස කියක් වර්ජනයේ සිටින්නට එම ගුරුවරුන්ට ගුරුවරියන්ට  පුලුවන්ද ? 


දීර්ඝ වර්ජනයකට  ගිය විට ආණ්ඩුව උඩ බලාගෙන සිටින්නේ නැත අවම  වශයෙන් වැටුප් ගෙවීම  නවත්වයි උපරිම වශයෙන් රැකියාවෙන් නෙරපයි 

  වැටුප් නොමැතිව මාස කීයක් සිටිය හැකිදැයි  දීර්ඝ වර්ජනයක් කළ යුතු යයි කියන අය කල්පනා  කළ යුතුය ගුරු ශේෂ්ත්රයේ  සිටින අති  බහුතරය ගුරුවරියෝය ඒ අයට දෙමාපියන්ගෙන් ස්වාමි පුරුෂයන් ගෙන් ,තම දු දරුවන්ගෙන්   කෙරෙන බලපෑම් කොපමණ කාලයක් දරා  සිටිය හැකිද ?


මෙය ලියන ලේඛකයා 1980 මහා වැඩ වර්ජනයට සම්බන්ධ වී අවුරුදු 3 දින 10 ක් ගෙදර සිටි අයෙකි . වර්ජනය කරන අය රැකියාවෙන් දොට්ට දමන බව  ජේ ආර් ජයවර්ධන කී විට  විශාල පිරිසක්   වර්ජනය අතහැර නැවත  සේවයට වාර්තා කළහ ඔවුන් නිදහසට කරුණ    ලෙස කියා සිටියේ වර්ජනය නොකළ බවත් සර්පයෙක් දෂ්ට කළ නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවුණු බවත්ය .




 යටත් නොවුන අය සේවයෙන්  නෙරපා දමන ලදී නෙරපා හරින ලද වර්ජක  පිරිස 40000 කි . ජීවත්වීමට මගක් නොමැතිව 50 කට අධික වර්ජක  පිරිසක් දිවීනසා ගත්හ .වෘත්තීය සමිති සතු අරමුදල් දියවී ගියේය. වෘත්තිය   සමිති අඩපන විය  


යලිත් වෘත්තීය සමිතිවලට පණක් ඒමට අවුරුදු 20 කට වඩා ගත විය .


ගුරු වෘත්තීය සමිති කටයුතුවල මෙම ලේඛකයා 80 වර්ජනයට පෙරත් ඉන්පසුවත් යෙදුනේය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සටන් වලට නොව  වෘත්තීය සමිතියකට බඳවා ගැනීම පවා මොනතරම් දුෂ්කර දැයි මේ ලේඛකයා දනී  මගේ විශ්වාසය ගුරුවරුන්ගෙන් අති විශාල පිරිසක් තවමත් කිසිදු ගුරු  සංගමයක  සාමාජිකත්වය ලබාගෙන නැත යන්නය .

 දීර්ඝ සටන් කරන්නට නම් කළ යුතු පළමු දෙය  ගුරුවරු සහ විදුහල්පතිවරු සියල්ලෝම වෘත්තීය    සමිතිවල සාමාජිකත්වය ලබා ගැනීමය  දෙවැනුව සාමාජික මුදල් නොකඩවා ගෙවීමය  තෙවනුව දීරඝ කාලින වර්ජනයකදී සාමාජිකයන්ට මාස් පතා කිසියම් දීමනාවක් ලබා දීමට සංගම් විසින් විශාල  අරමුදලක්  ගොඩ නගා  ගැනීමය හතරවෙනුව  විවිධ ගුරුසටන්වලට සක්‍රියව දායකවීමය  


  වර්ජනය එකම සටන නොවේ  සටන්  කිරීමට තව ඕනා තරම් ක්‍රම තිබේ .සටන් කිරීමේදී තුවාල අඩුවෙන් කර ගැනීමද අවශ්‍යය මෙය රස්සාවත් නැති කරගෙන ජීවිතයත් නැති කරගන්නා සටනක් නොවේ  ඒ අන්තයට යාමට සිදුවන   සටන් යෝජනා කරන්නේ  ගොරක මෝඩයෝ පමණි 

 

වර්ජනය කොට අවුරුදු 3ක් රැකියාව අහිමි කරගත්  ,  එ නිසා  බොහෝ දේ අහිමි කර ගත් අයෙකු ලෙස මගේ යෝජනාව වන්නේ පාසල් ගොස් උගන්වන අතර සටන් කරන ලෙසය තව ටිකක් විස්තර කර කියන්නේ නම්  සතියකට වරක් පාරට බැස ආසන්න නගරයේ  විරෝධතා පෙළපාලියක් පවත්වා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙස ආණ්ඩුවට බල කිරීමය  වරින් වර එක දින වැඩ වර්ජන කිරීම සලකා බැලීමද වටි


  ඉදිරියේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින්  ගුරුවරු න් පාරට බැස සිටීම ආණ්ඩුව චන්දයෙන් පැරදීමට පාර කැපෙන පොටක් වේ එසේ වුවහොත්  ආංඩුව  ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට වඩාත් උනන්දුවෙන බවට සැකයක් නැත 


එයත් වැරදී ගියහොත් ඊලඟ ජනාධිපතිවරණය/මහමැතිවරණය තෙක්ම ගුරු විදුහල්පති විරෝධතා සටන ගෙන යුතුය  එසේ  සටන ගෙනගියහොත්  ඉදිරි ජනාධිපතිවරණයට /මහමැතිවරණයට  පෙර මේ සටන අනිවාර්යයෙන් දිනන බවට කිසිදු සැකයක් නැත .


එසේ නැතිව කිරිපණු අමාරුව හැදුනු අය යෝජනා කරන  දීර්ඝ වැඩ වර්ජන කරන්නට ගිය හොත් වෙන්නේ දෙන්නම් කිවූ 1/9 ත් අහිමි කර ගෙන කට විරුවා පට්ටම් ගහගෙන ගෙදරට වී සිටීමටය 





Comments

Anonymous said…
හමුදාව දම්මලා පාසල් වල පරිපාලනය අත්පත්කරගෙන ඉගැන්වීම් කටයුතු සිදුකරනා මෙන් අප ඉල්ලා සිටිමු.
Anonymous said…
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං
Ajith Dharma. said…
ගුරු අරගලයට පක්ෂයි
පෙර පැවති වෘත්තීය සමිති නායකයින්; වෘත්තීය ක්‍රියාකාරකම් මෙන්ම තම තමන්ගේ සමිතිය මුවාවෙන් කරගෙන ගිය වගක් මා නොබෝදා කියැවූ ලිපියක තිබුනේය. සියළුම ගුරුවරුන් සමිතියට බඳවාගෙන ස්ට්‍රැයික් කරණ්නට සිටියහොත් එය සිදු කරණ්නට වෙන්නේ නාමල් සීයාගේ මුණුබුරාගේ කාලයේදීය!

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා