Skip to main content
තොපිට අපි බස් දෙන්නෙත් නෑ. කාර් ගන්න දෙන්නෙත් නෑ

මාතෘකාවේ තිබෙන්නේ තිබු ආණ්ඩු අපිට දුන් පණිවිඩයත් මේ ආණ්ඩුව අපිට යලිත් දුන් පණිවිඩයයි
ආණ්ඩුව මෙවරත් වාහන බදු වැඩි කළේය තිබුණු ආණ්ඩු සියල්ලමත් එසේම වැඩි කළේය වාහන බදු මදිවාට කාබන් බද්දකුත් මේ ආණ්ඩුවම පැනවූ අතර එහි අයිතිකාරයා ජනාධිපති බව ආණ්ඩුවේ ඇමතියෙක් දෙන්නෙක් කි බැවින් අප සිතුවේ මේ අයවැයෙන් එම බද්ද අහෝසි කර දමනු ඇත කියාය .එය ඉවත් නොකිරීමෙන් රනිල් ආණ්ඩුව එම බද්දේ අයිතිකාරයා බව දැන් අපිට හිතා ගන්නට සිදුවී තිබේ.
වාර්ෂිකව දුම් බද්දක් ගනිද්දී ඊට අමතරව කාබන් බද්දක් අය කිරීම හෙන ගහන අපරාධයක් බව අමුතුවෙන් කිය යුතුද ?
වාහනයක් ලංකාවට ගොඩ බෑ විට අයකරන බද්ද හරි හැටි මා දන්නේ නැති වුවත් වාහනයේ වටිනාකම මෙන් 5 ගුණයක් බව කියනු ලැබේ ,ජපානයේ රු දස ලක්ෂයක් වන මෝටර් රථයක් අප මිලදී ගන්න විට රු.ලක්ෂ 50 ක් ගෙවන්නට අපට සිදුවේ . මේ අය වැයෙන් යලිත් බදු වැඩි කළ බැවින් එය තව දුරටත් වැඩි වේ ලිසිං කර ගන්නේ නම් තවත් ලක්ෂ 10 ක් 15 ක් එයට එකතුවෙයි.
ඉන් පසු එය මෙරට ලියා පදිංචි කිරීමට ගාස්තුවක්ද වාර්ෂිකව ආදායම් බලපත්‍ර ගාස්තුවක්ද ආණ්ඩුව අපේ අයකර ගනී .
දුම් බද්ද සහ කාබන් බද්ද ඊට අමතරවය .
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආනයන බදු නැත.
පුංචි මිනිහාට කලට වෙලාවට සුව පහසුව ගමන් බිමන් යාමට හැකි ප්‍රවාහන සේවයක් තිබේනම් වාහන වලට ඕන තරම් බද්දක් ගසා ගත්තාට අපට කමක් නැත .දිනපතා රැකියාවන්ට සහ වෙනත් කටයුතු සඳහා යන මිනිසුන් විඳින වද වේදනාව දන්නේ ඔවුන්ම පමණි පාන්දර තුනට තුනහමාරට නැගිට උයා පිහාගෙන බොහෝ විට වාඩිවීමට ආසනයක් නැතිව හිටගෙන සැතපුම් ගණන් ඇඹරෙමින්, විසිවෙමින් කාර්යාලයට හෝ වැඩපොළට යන විට ප්‍රබෝධයෙන් යුතුව වැඩ කරන්නට ඔවුන්ට ඇඟට පන නැත .ආපසු නිවෙස බලා එන ගමන ඊටත් වඩා දුෂ්කරය ,බොහෝ අය බසයේ හිරවෙමින් දාඩිය දමමින් හිටගෙනම බොහෝ දුර එති. දුර බැහැර වසන්නෙකු නම් අඩු වශයෙන් බස් රථ දෙකක්වත් නැගී ආයුතුය දෙවන බසය එනතුරු අතරමග රස්තියාදු වෙන්නටද සිදුවේ. රාත්‍රී හත අටට ආපසු නිවෙසට එන අයද සිටිති .රෙදි හෝදන්නට නාන්නට වත් වෙලාවක් නැති තරම්ය .පසුදා පාන්දර තුනට තුනහමාරට යලිත් අවදිවී රැකියාවට යා යුතුය .
තිබුණු ආණ්ඩුත් මේ ආණ්ඩුවත් මිනිස්සුන්ට හරි හමං බස් රථ සේවයක් දුම්රිය සේවයක් ලබා දීමට මුළුමනින්ම අසමත් වී තිබේ.
අපට පහසුවෙන් සහ ඉක්මනින් ගමනක් බිමනක් යන්නට ප්‍රවාහන සේවයක් ලබා නොදී මෝටර් රථ බදු වසරින් වසරින් වසර වැඩි කරමින් තව තව අලුත් බදු වාහන වලට පනවමින් පොඩි මිනිහා ලිසිං කර හෝ පුංචි වාහනයක්වත් ගැනීම වලක්වන්නට ආණ්ඩු කටයුතු කිරීම බලුම බලු වැඩක් හැර වෙන කුමක්ද?
Comments