ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉංග්‍රීසියෙන් ඉගැන්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිළිබඳව අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන්නන් අතර සංවාදයක් ඇති වී තිබේ . ඔහු කියා සිටියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1-5 පංතිවල ඉගැන්වීම නවත්වන ලෙසය .
රජයේ පාසල්වල නම් 1-5 පන්තිවලට ඉංග්‍රීසියෙන් උගන්වන්නේ නැත .එම පාසල්වල ප්‍රථමික පංතිවල ඉගැන්වීමේ මාධ්‍යය එක්කෝ සිංහලය . එක්කෝ දෙමලය. කිසිත් සොයා බලන්නේ නැතිව රතන හිමියන් පච දේසනා කරන්නේ මන්ද ?
රතන හිමියන් තවත් පචයක් දෙසා බෑවේය .එනම් ප්‍රාථමික පන්තිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන එකම රට ලංකාව බවය . සිංගප්පුරුව සහ පිලිපිනය පළමු ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි මාධයෙන් උගන්වන රටවල් දෙකකි. දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ 4 ශ්‍රේණියේ සිට උගන්වන්නේ ඉංග්‍රීසි බසිනි .
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයය රටවල් 55 ක් ආවරණය කරමින් 2013-14 සමයේ කළ පර්යේෂණයකට අනුව රටවල් 28 ක රාජ්‍ය අංශයේ පාසල්වල ප්‍රාථමික පන්තිවල සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලැබේ. සිංගප්පුරුව සහ පිලිපීනය එම පර්යේෂණයට අදාළ කරගත් රටවල් නොවන බැවින් ඉංග්‍රීසි බස මව් බස නොවෙන රටවල් 30 ක ප්‍රාථමික සිසුන්ගේ සිට ඉහලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන බව තහවුරු වේ.
තවත් රටවල් රැසක 5 න් ඉහල පන්තිවල සහ විශ්ව විද්‍යාලවල උගන්වනු ලබන්නේ ඉංග්‍රීසි බසින් පමණි . එම රටවල් අතර ඉතියෝපියාව ද සිටි .
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමු ශ්‍රේණියේ සිට උගන්වන්නේ ජාත්‍යන්තර පාසල් සහ ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන/නොහඳුන්වන පුද්ගලික අංශයේ පාසල්වලය. රතන හිමියන් කියන්නේ එය නවත්වන්නට නම් එය අංක එකේ මෝඩ කතාවකි.
එම පාසල්වල විදේශිකයන්ගේ දරුවන්ද ලාංකිකයන්ගේ දරුවන්ද උගනිති .තම ජාත්‍යන්තර පාසලේ රටවල් 40 කට අයත් දරුවන් ඉගෙනගන්නා බව එක් ජාත්‍යන්තර පාසලක් සඳහන් කර තිබුණේය .එහි 1-5 ළමුන්ට මව් බසින් උගන්වන්නට නම් භාෂා 40 කින් උගන්වන්නට සිදුවේ . එය කරන්නට බැරි මගුලක් බැවින් කාටත් හරියන, කවුරුත් කැමති ඉංග්‍රීසි බසින් ප්‍රාථමික පන්තියේ සිට නොව මොන්ටිසෝරියේ සිටම උගන්වනු ලැබේ .ඇතැම් පාසල්වලට අවුරුදු දෙකහමාරේ සිටම දරුවන් ඇතුලත් කරගන්නා බව ජාත්‍යන්තර පාසල් පිළිබඳව කරන ලද සොයා බැලීමෙන් පසු අනාවරණය විය .
ජාත්‍යන්තර පාසල් වර්ග දෙකක් ලංකාවේ තිබේ .ඉහල මට්ටමේ ජාත්‍යන්තර පාසල් 25 ක් තිබෙන අතර TISSL යන ස්වෙච්චා සංවිධානය යටතේ තිබෙන්නේ එම පාසල්ය. මෙරට වසන විදේශිකයන්ගේ දරුවන් යවන්නේ එම පාසල්වලටය ඊට අමතරව දේශපාලනඥයන්ගේ ද ,ඇති හැකි අයගේද ළමුන් එම පාසල්වල උගනිති .
එම පාසල් 25 ට අමතරව ඉංග්‍රීසි බසින් මුල සිට උගන්වන පුද්ගලික පාසල් දෙතුන් සියයක්ද ලංකාවේ තිබේ. රතන හිමියන්ට උවමනා වී තිබෙන්නේ ඒවායේ ඉගනගන්නා ලාංකික දරුවන්ට තම තමන්ගේ මව් බසින් ප්‍රථමික පංතිවල උගන්වන ලෙස නීති පනවන්නට නම් එයට දෙමාපියන් එකඟ වේදැයි ඉතා සැක සහිතය . එම දරුවන්ගේ දෙමාපියන් තම දරුවන් එම පාසල්වලට යවන්නේ පළමු ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන නිසාය . තමන් කැමති භාෂාවකින් තම දරුවනට උගන්වන්නට දෙමාපියන්ට තිබෙන අයිතිය, දරුවන් නැති රතන හිමියනට නැති බව එම දෙමාපියන් කියනු ඇත .අනිත් අතින් ජාත්‍යන්තර පාසල් සිය සිසුන් සුදානම් කරන්නේ බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර විභාගවලටය . එබැවින් එම පාසල්වල ලාංකික දරුවනට මව් බසින් ප්‍රාථමික පන්තිවලදී ඉගැන්වීමෙන් තම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වෙන බව එම පාසල් නිසැක ලෙසම කියනු ඇත .
ප්‍රධාන මට්ටමේ ජාත්‍යන්තර පාසල් ඇත්තේ කොළඹ පමණක් නොවේ කොළඹ අවට මෙන්ම මහනුවර, ගාල්ල, රත්නපුර, පානදුර, ගම්පහ යන ප්‍රදේශවලද ආරම්භ කර තිබේ එමෙන්ම ජාත්‍යන්තර පාසල් නමින් හෝ වෙනත් නම් වලින් හඳුන්වන පුද්ගලික පාසල් දෙතුන් සියයක් රට පුරා පවත්වාගෙන යති . මෙය ලියන ලේඛකයා පදිංචි ප්‍රදේශයට ආසන්න නගර වන හොරණ , මතුගම සහ අලුත්ගම ද එවැනි පුද්ගලික පාසල් තිබේ . එම පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන් සල්ලි ඇති පදම් විසිකළ හැකි අයද නොවේ. අපේ ගමේ කුඩා වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන දෙදෙනෙකුද තම දරුවන් එම පාසල්වලට යවති. අවුරුදු දෙක තුනකට පෙර අපේ ගමේ ළමුන් හය හත් දෙනෙකු හොරණ ඉංග්‍රීසි මාධ්‍ය පාසලකට ගියහ. මේ වන විට එම සංඛ්‍යාව වැඩි වී තිබිය හැක .එයින් පැහැදිලිවන කාරණාව නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම දරුවනට උගන්වා ගන්නට ගම්වල දෙමාපියන්ද උනන්දුවකින් පසුවන බවය
රජයෙ පාසල්වල නොමිලේ දරුවනට ඉගනීමට පුළුවන් කම තිබියදී ඇතැම් විටෙක දරන්නට බැරි තරම් මුදලක් වැය කොට පුද්ගලික පාසල්වලට ළමුන් යවන්නේ පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන නිසාය . එම පාසල්වල ඉගැනීමෙන් පසු තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වනු ඇතැයි එම දෙමාපියන් තුල දැඩි විශ්වාසයක් තිබේ . එබැවින් රතන හිමියන්ගේ බණ අසන්නට එම දෙමාපියන් සුදානම් වෙනු ඇතැයි සිතන්නට කරුණු නැත .
අපේ රටේ දෙමාපියන්ගෙන් අති බහුතරයකට තම දරුවනට හොදින් ඉංග්‍රීසි ඉගැන්වීමට ඉතා ඉහල උවමනාවක් තිබේ . ආර්ථක ශක්තියක් තිබේනම් ඔවුහු තම දරුවන් ඉංග්‍රීසි මාධ්‍ය පාසලකට යවනු නොඅනුමානය . ගම්බද දෙමාපියන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පෙර- පාසල්වලට තම දරුවන් යැවීමෙන්ම ඔවුන් තුල තිබෙන එම උවමනාව වටහා ගත හැක . ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසලට දරුවන් යවා ඉන්පසු රජයේ පාසලේ පළමු ශ්‍රේණියට මව් බසින් උගන්වන්නට යවන්නේ කළ හැකි වෙන මගක් ඔවුන්ට නැති නිසාය. මසකට රුපියල් 500 ක් 1000 අමතරව වියදම් කළ හැකි දෙමාපියන් ප්‍රාථමික ශ්‍රේණිවල සිටම පුද්ගලික ඉංග්‍රීසි පංතියකට තම දරුවන් යවන්නේ පුළුවන් මට්ටමින් තම දරුවන්ට ඉංග්‍රීසි උගන්වා ගන්නටය.
ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වලට දරුවන් යවන්නට දෙමාපියන් පෙළඹීමට එක හේතුවක් වන්නේ රජයේ පාසල්වලට සාර්ථක ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට අසමත් වී තිබීම නිසාය එයට හේතු රැසක් තිබේ . එම හේතු මෙහි නොලියන්නේ ලිපියේ අරමුණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රථමික ළමුන්ට ඉගැන්වීමෙන් සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යන්න සොයා බැලීම නිසාය .
රජයේ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම අසාර්ථක බව දැන සිටි ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවත් විෂයන් දෙක තුනක් ඉගැන්වීම එයට විසඳුමක් බව වරක් කියා සිටියේය. ඔහුගේ පාලන සමයේ ජාත්‍යන්තර පාසල් ගණනාවක් ඇරඹුණු අතර එම පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නිසා ඒ කෙරෙහි ආකර්ෂණයක් නාගරික දෙමාපියන් තුල ඇතිවිය . ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම ළමුන්ට ඉගැන්වීමට වැඩි උනන්දුවක් දෙමාපියන් තුල ඇතිවූ අතර එහි රශ්නය අධ්‍යාපන අමාත්යංශය වෙතද ආවේය . මේ නිසා තෝරාගත් රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6 ශ්‍රේණියේ සිට උගන්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය .
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු සියලු විෂයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීම නවතා උපරිම වශයෙන් විෂයන් 5 පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද අනිත් විෂයන් මව් බසින්ද උගන්වන ලෙස අධ්‍යාපන අමාත්යංශය චක්‍ර ලේඛයක් නිකුත් කරමින් කියා සිටියේය . ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවට ද්විභාෂා මාධ්‍ය පන්ති එම පාසල්වල ඇරඹින .
මව් බස ඉගැනුම් මාධ්‍ය වූ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම සමග ද්විභාෂ මාධ්‍යයෙන් ඉගනගත් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම සංසන්දනය කළවිට දෙවන කණ්ඩායමේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහල වූ බව ලේඛකයා ඉතා හොඳින් දනී . එයට හේතුව මේ ලේඛකයා රාජ්‍ය සේවයේ යෙදී සිටි සමයේ මතුගම අධ්‍යාපන කලාපයේ ද්වි භාෂා පාසල් ව්‍යාපෘතිය භාරව සිටි අතර ද්වි භාෂා පාසල් සංඛ්‍යාව 1 සිට 20 දක්වා වැඩි කරන්නට ඔහුට හැකි විය එසේ හැකි වුයේ එම පාසල්වල විදුහල්පති වරු මෙන්ම දෙමාපියන්ද ඒ සඳහා දැක්වූ උනන්දුව නිසාය .
ප්‍රාථමික පංති වල ඉගැන්වීමේ මාධ්‍යය මව් බස වූ විට ළමුන් ඉගනීමට වැඩි හපන් කමක් දක්වන බව අධ්‍යාපනඥයන් කියන බව ඇත්තය . ඔවුන් එය ප්‍රකාශ කරන්නේ සමස්ත කරුණු සලකා බලා මිස ඒ ඒ රටවල සුවිශේෂී තත්වයන් සලකා බලා නොවේ.
ලෝකයේ රටවල අධ්‍යාපනය හා සංසන්දනය කරන විට සිංගප්පුරුවේ අධ්‍යාපනය ඉතා ඉහල ස්ථානයක තිබේ . එම රට ජාතික අයවැයෙන් 20% ක් අධ්‍යාපනයට වෙන් කරන අතර ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි භාෂාවය . මැලේ චීන දෙමල ආදී ජනවර්ගයන්ගෙන් එහි පුරවැසියන් සමන්විත වුවත් පළමු ශ්‍රේණියේ සිට ළමුන්ට උගන්වන්නේ ඉංග්‍රීසි බසිනි .ඒ ඒ ජනවර්ගයන්ගේ භාෂාව සහ සාහිත්‍යය පමණක් මව් බසින් උගන්වනු ලැබේ . ඉංග්‍රීසි බසට පළමු ස්ථානය දීමට සිංගප්පුරුවේ ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ එය ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතුවල මෙන්ම විද්යාවේ සහ තාක්ෂණයේ භාෂාව වන බැවින් යයි විකිපීඩියා විශ්වකෝෂය සඳහන් කරයි .

සිංගප්පුරුවේ පාසලක පන්තිකාමරයක්

පිලිපීනයේ ප්‍රාථමික පාසලක්

Comments
මම හිතන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමට වඩා රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඉස්ලාමය පැතිරවීමේ වැඩ පිලිවෙලක් ඇරඹීම වඩා ප්‍රගතිශීලී ක්‍රියාවක්.
ඹබ උන්වහන්සේගේ වාහනයත් මනසින් අල්ලාගෙන.
ඔබට රතන හිමිට වඩා නිවන දුරයි.