Skip to main content

පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතුද?







Image result for ATHURALIYE rathana thero

     ජාතික  ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන  හිමි ඉංග්‍රීසියෙන් ඉගැන්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ  කළ  ප්‍රකාශය පිළිබඳව අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන්නන් අතර  සංවාදයක් ඇති වී තිබේ . ඔහු  කියා  සිටියේ ඉංග්‍රීසි  මාධ්‍යයෙන් 1-5 පංතිවල ඉගැන්වීම නවත්වන ලෙසය .


රජයේ පාසල්වල නම් 1-5 පන්තිවලට ඉංග්‍රීසියෙන්  උගන්වන්නේ නැත  .එම  පාසල්වල ප්‍රථමික පංතිවල  ඉගැන්වීමේ මාධ්‍යය එක්කෝ සිංහලය . එක්කෝ දෙමලය. කිසිත් සොයා බලන්නේ නැතිව  රතන හිමියන් පච දේසනා  කරන්නේ මන්ද ? 


රතන හිමියන් තවත් පචයක්  දෙසා බෑවේය  .එනම් ප්‍රාථමික  පන්තිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන්  උගන්වන  එකම රට ලංකාව බවය . සිංගප්පුරුව සහ  පිලිපිනය  පළමු ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි මාධයෙන් උගන්වන රටවල් දෙකකි.  දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ 4 ශ්‍රේණියේ සිට උගන්වන්නේ ඉංග්‍රීසි බසිනි .


ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයය   රටවල් 55 ක් ආවරණය  කරමින්  2013-14  සමයේ  කළ පර්යේෂණයකට අනුව රටවල් 28 ක    රාජ්‍ය අංශයේ පාසල්වල ප්‍රාථමික  පන්තිවල  සිටම ඉංග්‍රීසි  මාධ්‍යයෙන් උගන්වනු ලැබේ. සිංගප්පුරුව සහ  පිලිපීනය එම  පර්යේෂණයට  අදාළ කරගත් රටවල් නොවන බැවින් ඉංග්‍රීසි බස  මව් බස නොවෙන රටවල් 30 ක  ප්‍රාථමික සිසුන්ගේ සිට ඉහලට  ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන බව  තහවුරු වේ. 


තවත් රටවල් රැසක 5 න් ඉහල පන්තිවල  සහ විශ්ව විද්‍යාලවල  උගන්වනු ලබන්නේ ඉංග්‍රීසි බසින් පමණි . එම රටවල් අතර ඉතියෝපියාව ද සිටි .

 

 ඉංග්‍රීසි මාධ්‍යයෙන්  පළමු ශ්‍රේණියේ සිට උගන්වන්නේ ජාත්‍යන්තර පාසල්  සහ  ජාත්‍යන්තර  පාසල් නමින්  හඳුන්වන/නොහඳුන්වන   පුද්ගලික අංශයේ  පාසල්වලය. රතන හිමියන් කියන්නේ එය  නවත්වන්නට  නම්  එය අංක එකේ  මෝඩ කතාවකි. 


එම පාසල්වල විදේශිකයන්ගේ දරුවන්ද ලාංකිකයන්ගේ දරුවන්ද  උගනිති .තම ජාත්‍යන්තර  පාසලේ රටවල් 40 කට අයත් දරුවන් ඉගෙනගන්නා   බව එක් ජාත්‍යන්තර  පාසලක් සඳහන් කර තිබුණේය .එහි  1-5 ළමුන්ට මව් බසින් උගන්වන්නට  නම් භාෂා  40 කින් උගන්වන්නට සිදුවේ . එය  කරන්නට බැරි මගුලක් බැවින් කාටත්  හරියන,  කවුරුත් කැමති ඉංග්‍රීසි බසින් ප්‍රාථමික  පන්තියේ සිට නොව මොන්ටිසෝරියේ සිටම   උගන්වනු ලැබේ .ඇතැම්  පාසල්වලට අවුරුදු දෙකහමාරේ සිටම  දරුවන් ඇතුලත් කරගන්නා  බව ජාත්‍යන්තර  පාසල් පිළිබඳව කරන ලද සොයා  බැලීමෙන් පසු අනාවරණය විය .


ජාත්‍යන්තර  පාසල් වර්ග දෙකක් ලංකාවේ තිබේ .ඉහල මට්ටමේ ජාත්‍යන්තර   පාසල් 25 ක් තිබෙන අතර  TISSL යන ස්වෙච්චා  සංවිධානය  යටතේ  තිබෙන්නේ එම පාසල්ය. මෙරට වසන විදේශිකයන්ගේ දරුවන් යවන්නේ එම පාසල්වලටය ඊට අමතරව දේශපාලනඥයන්ගේ ද ,ඇති හැකි අයගේද   ළමුන් එම පාසල්වල  උගනිති .


   එම පාසල් 25 ට අමතරව ඉංග්‍රීසි බසින්  මුල සිට උගන්වන    පුද්ගලික  පාසල් දෙතුන් සියයක්ද  ලංකාවේ  තිබේ. රතන හිමියන්ට  උවමනා  වී තිබෙන්නේ ඒවායේ  ඉගනගන්නා  ලාංකික දරුවන්ට තම තමන්ගේ මව් බසින් ප්‍රථමික  පංතිවල උගන්වන   ලෙස නීති පනවන්නට  නම් එයට දෙමාපියන් එකඟ වේදැයි ඉතා සැක සහිතය . එම දරුවන්ගේ දෙමාපියන් තම දරුවන් එම  පාසල්වලට  යවන්නේ පළමු ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි  මාධ්‍යයෙන් උගන්වන  නිසාය . තමන් කැමති භාෂාවකින් තම දරුවනට  උගන්වන්නට  දෙමාපියන්ට තිබෙන අයිතිය, දරුවන් නැති රතන හිමියනට නැති බව එම දෙමාපියන් කියනු ඇත .අනිත් අතින් ජාත්‍යන්තර  පාසල් සිය සිසුන් සුදානම් කරන්නේ බ්‍රිතාන්‍ය සහ  ජාත්‍යන්තර විභාගවලටය . එබැවින් එම පාසල්වල ලාංකික දරුවනට මව් බසින් ප්‍රාථමික   පන්තිවලදී ඉගැන්වීමෙන්  තම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වෙන බව එම  පාසල්  නිසැක ලෙසම කියනු ඇත . 


ප්‍රධාන මට්ටමේ ජාත්‍යන්තර පාසල් ඇත්තේ කොළඹ  පමණක් නොවේ කොළඹ අවට මෙන්ම  මහනුවර, ගාල්ල, රත්නපුර, පානදුර, ගම්පහ යන ප්‍රදේශවලද ආරම්භ  කර තිබේ එමෙන්ම  ජාත්‍යන්තර  පාසල් නමින් හෝ වෙනත් නම් වලින් හඳුන්වන   පුද්ගලික පාසල්   දෙතුන් සියයක් රට පුරා පවත්වාගෙන  යති  . මෙය ලියන ලේඛකයා  පදිංචි ප්‍රදේශයට  ආසන්න  නගර වන  හොරණ , මතුගම සහ අලුත්ගම ද  එවැනි පුද්ගලික  පාසල් තිබේ .  එම  පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන් සල්ලි ඇති පදම් විසිකළ  හැකි අයද නොවේ. අපේ ගමේ කුඩා වෙළඳ ව්‍යාපාර  පවත්වාගෙන  යන දෙදෙනෙකුද තම දරුවන් එම  පාසල්වලට යවති. අවුරුදු දෙක තුනකට  පෙර අපේ ගමේ  ළමුන් හය හත් දෙනෙකු හොරණ  ඉංග්‍රීසි මාධ්‍ය  පාසලකට ගියහ. මේ වන විට එම සංඛ්‍යාව වැඩි වී තිබිය හැක .එයින් පැහැදිලිවන කාරණාව නම් ඉංග්‍රීසි  මාධ්‍යයෙන් තම දරුවනට උගන්වා ගන්නට ගම්වල දෙමාපියන්ද උනන්දුවකින් පසුවන බවය 


රජයෙ පාසල්වල නොමිලේ  දරුවනට ඉගනීමට පුළුවන් කම තිබියදී ඇතැම් විටෙක දරන්නට බැරි තරම් මුදලක් වැය  කොට  පුද්ගලික  පාසල්වලට  ළමුන් යවන්නේ පළමු ශ්‍රේණියේ  සිට ඉංග්‍රීසි  මාධ්‍යයෙන්  උගන්වන නිසාය . එම  පාසල්වල ඉගැනීමෙන් පසු තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වනු ඇතැයි එම දෙමාපියන් තුල දැඩි විශ්වාසයක් තිබේ . එබැවින් රතන  හිමියන්ගේ බණ අසන්නට එම දෙමාපියන් සුදානම් වෙනු ඇතැයි සිතන්නට  කරුණු නැත .


   අපේ රටේ දෙමාපියන්ගෙන් අති බහුතරයකට තම දරුවනට හොදින් ඉංග්‍රීසි  ඉගැන්වීමට  ඉතා ඉහල උවමනාවක් තිබේ . ආර්ථක ශක්තියක් තිබේනම් ඔවුහු තම දරුවන් ඉංග්‍රීසි මාධ්‍ය  පාසලකට යවනු නොඅනුමානය . ගම්බද  දෙමාපියන්  ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පෙර- පාසල්වලට තම දරුවන් යැවීමෙන්ම  ඔවුන් තුල තිබෙන  එම උවමනාව වටහා   ගත  හැක . ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසලට  දරුවන්  යවා ඉන්පසු රජයේ පාසලේ පළමු ශ්‍රේණියට මව් බසින් උගන්වන්නට  යවන්නේ කළ හැකි  වෙන මගක් ඔවුන්ට නැති නිසාය. මසකට රුපියල් 500 ක් 1000  අමතරව වියදම් කළ හැකි දෙමාපියන් ප්‍රාථමික ශ්‍රේණිවල සිටම  පුද්ගලික ඉංග්‍රීසි  පංතියකට  තම දරුවන් යවන්නේ පුළුවන් මට්ටමින් තම  දරුවන්ට ඉංග්‍රීසි  උගන්වා  ගන්නටය. 

 

   ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වලට  දරුවන් යවන්නට දෙමාපියන් පෙළඹීමට එක හේතුවක් වන්නේ  රජයේ  පාසල්වලට සාර්ථක ලෙස  ඉංග්‍රීසි ඉගැන්වීමට අසමත් වී තිබීම නිසාය  එයට හේතු රැසක් තිබේ . එම හේතු මෙහි නොලියන්නේ ලිපියේ අරමුණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රථමික ළමුන්ට ඉගැන්වීමෙන්  සිදුවන්නේ යහපතක්ද අයහපතක්ද යන්න සොයා  බැලීම නිසාය . 


 රජයේ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම අසාර්ථක බව  දැන සිටි  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවත් විෂයන් දෙක  තුනක්  ඉගැන්වීම එයට විසඳුමක් බව වරක් කියා සිටියේය. ඔහුගේ පාලන සමයේ   ජාත්‍යන්තර  පාසල් ගණනාවක් ඇරඹුණු   අතර එම පාසල්වල    ඉංග්‍රීසි මාධ්‍යයෙන්  ඉගැන්වීම නිසා  ඒ කෙරෙහි ආකර්ෂණයක් නාගරික දෙමාපියන් තුල ඇතිවිය . ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම ළමුන්ට ඉගැන්වීමට වැඩි උනන්දුවක් දෙමාපියන් තුල ඇතිවූ අතර එහි රශ්නය  අධ්‍යාපන අමාත්යංශය වෙතද ආවේය . මේ  නිසා  තෝරාගත්  රජයේ  පාසල්වල  ඉංග්‍රීසි  මාධ්‍යයෙන් 6 ශ්‍රේණියේ සිට උගන්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය .

 මහින්ද රාජපක්ෂ  මහතා  ජනාධිපති වූ පසු සියලු විෂයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීම නවතා  උපරිම වශයෙන් විෂයන් 5 පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද අනිත් විෂයන් මව් බසින්ද  උගන්වන ලෙස  අධ්‍යාපන අමාත්යංශය චක්‍ර ලේඛයක් නිකුත් කරමින් කියා සිටියේය . ඒ අනුව ඉංග්‍රීසි  මාධ්‍ය වෙනුවට ද්විභාෂා මාධ්‍ය පන්ති එම පාසල්වල ඇරඹින .


මව් බස ඉගැනුම් මාධ්‍ය  වූ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම සමග  ද්විභාෂ මාධ්‍යයෙන් ඉගනගත් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම සංසන්දනය  කළවිට දෙවන කණ්ඩායමේ ඉංග්‍රීසි දැනුම  ඉතා  ඉහල වූ බව  ලේඛකයා ඉතා  හොඳින් දනී . එයට හේතුව මේ  ලේඛකයා රාජ්‍ය සේවයේ යෙදී සිටි සමයේ මතුගම අධ්‍යාපන කලාපයේ  ද්වි භාෂා  පාසල් ව්‍යාපෘතිය  භාරව සිටි අතර ද්වි භාෂා  පාසල් සංඛ්‍යාව 1 සිට 20 දක්වා වැඩි කරන්නට  ඔහුට  හැකි විය එසේ හැකි  වුයේ එම පාසල්වල විදුහල්පති වරු මෙන්ම දෙමාපියන්ද ඒ සඳහා දැක්වූ උනන්දුව නිසාය .



ප්‍රාථමික පංති වල ඉගැන්වීමේ මාධ්‍යය මව් බස වූ විට  ළමුන්  ඉගනීමට වැඩි හපන් කමක් දක්වන බව අධ්‍යාපනඥයන් කියන බව ඇත්තය . ඔවුන් එය ප්‍රකාශ  කරන්නේ සමස්ත කරුණු සලකා බලා මිස ඒ ඒ රටවල සුවිශේෂී තත්වයන් සලකා  බලා  නොවේ.


ලෝකයේ රටවල අධ්‍යාපනය හා සංසන්දනය  කරන විට සිංගප්පුරුවේ අධ්‍යාපනය ඉතා  ඉහල ස්ථානයක තිබේ .  එම රට ජාතික අයවැයෙන් 20% ක් අධ්‍යාපනයට වෙන් කරන අතර ඉගැන්වීමේ මාධ්‍යය  ඉංග්‍රීසි භාෂාවය  . මැලේ චීන දෙමල  ආදී ජනවර්ගයන්ගෙන් එහි පුරවැසියන් සමන්විත වුවත් පළමු ශ්‍රේණියේ සිට ළමුන්ට උගන්වන්නේ ඉංග්‍රීසි බසිනි .ඒ ඒ ජනවර්ගයන්ගේ  භාෂාව සහ සාහිත්‍යය පමණක් මව් බසින් උගන්වනු ලැබේ . ඉංග්‍රීසි බසට  පළමු ස්ථානය දීමට සිංගප්පුරුවේ ආණ්ඩුව  තීරණය  කර තිබෙන්නේ එය ජාත්‍යන්තර ව්‍යාපාර  කටයුතුවල මෙන්ම  විද්යාවේ සහ  තාක්ෂණයේ භාෂාව වන බැවින් යයි විකිපීඩියා විශ්වකෝෂය සඳහන් කරයි .

  

Image result for singapore schools


                                      සිංගප්පුරුවේ පාසලක පන්තිකාමරයක් 



 Image result for primary school in the philippines


                                         පිලිපීනයේ ප්‍රාථමික  පාසලක් 


Image result for primary school in south africa
  

                              දකුණු අප්‍රිකාවේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් 


   රටක ඉගැන්වීමේ මාධ්‍යය තෝරාගැනීමේදී රටේ  ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමට  එය ආධාර විය යුතුය . අපේ රටේ ප්‍රධානම  ප්‍රශ්නය  ජනවර්ග අතර ඇති අසමගියයි . කුඩා සිද්ධියක් ජනවර්ග අතර  ලේ වැගිරීමකට මග  පාදයි .


2014 අලුත්ගම සහ  බේරුවල ප්‍රදේශවල මුස්ලිම් මිනිසුන්ට  පහර දී කෝටි ගනින් දේපොළ  ගිණි  තැබුවේ තරුණ  භික්ෂුවක් සහ මුස්ලිම් තරුණයෙකු  අතර ඇතිවූ බහින්බස් වීමක්  මුල්කොට ගෙනය  .1983 ජූලියේ දෙමල මිනිසුන්ට  පහරදීම අපේ රටේ ඉරණම උඩුයටිකුරු කළේය .1956 සිටම වරින් වර ජනවර්ග ගැටුම් ඇතිවී තිබෙන අතර ඉදිරියේදීද එවැනි ගැටුම් ඇති වීමට  ඉඩ තිබේ. මෙයට ප්‍රධාන හේතුව ජනවර්ග එකිනෙකා අවිශ්වාස  කිරීම සහ ජනවර්ග ගැටුම්  ඇවිලීමට සුදානම් වූ සංවිධාන  ගණනවක් මෙරට තිබීම නිසාය  මෙම අවාසනාවන්ත තත්වය  අවසන් නොවුවහොත් අපේ  රට අවසන් වන්නේ අපාය අද්දරය . 


ජාතින් අතර  ඇති අවිශ්වාසය බොහෝ  දුරකට අවසන් වීමට  නම් ඔවුනොවුන් අතර විශ්වාසයක් , මිත්‍රත්වයක් තිබිය යුතුය.  මිත්‍රත්වයක් ගොඩනැගීමට හොඳම සහ  පහසුම  ස්ථානය පාසලය . ලංකාවේ පාසල්වල සිංහල දෙමල ,මුස්ලිම් දරුවන් සහ  ගුරුවරුන්  මුණගැසෙන ස්ථානයක් නොවේ .  ඔවුනොවුන් තව දුරටත් ඈත්  කිරීම සඳහා සිංහල පාසල් ,දෙමල පාසල් , මුස්ලිම් පාසල් ලෙස පමණක් නොව බෙදීම් තව තව  වැඩි කිරීම සඳහා බෞද්ධ , කතෝලික, හින්දු  සහ ඉස්ලාම් ආගම් පදනම්වූ  පාසල් ද  පිහිටුවාගෙන තිබේ .


පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි වුයේ නම් සියලු ජනවර්ගවලට අයත් සහ  සියලු ආගම්වලට අයත් දරුවන් පාසලේදී හමුවනු ඇත .ඔවුනොවුන් යක්කු හෝ කොටි හෝ  ISIS ත්‍රස්ත  පැටව් හෝ  නොව  මිනිස් පැටව් බව ළමුන් හඳුනාගනු ඇත. අද  පාසල්වල  ලක්ෂ 44 ක් දරුවන්  උගනිති. වසර දහයකට  හෝ 12 කට පසුව  එකිනෙක  ජනවර්ග සමග මිතුරුකම් ගොඩනගා ගත් ලක්ෂ  44 ක් දරුවන්  සමාජයට එක්වීම ජනවර්ග ගැටුම් යලි ඇති නොවීමට ශක්තිමත් පදනමක් සපයනු  ඇත. ජනවර්ග හප්පවා බලයට ඒමට දේශපාලකයනට තිබෙන ඉඩකඩ ඇසිරි යනු ඇත  .


එවැනි ජනවර්ග සමගියකට රතන හිමියන් ද කොටස් කරුවෙකු වන  ජාතිවාදී කොම්පැණි කොහෙත්ම කැමති නැත එවැනි කොම්පැනි කාරයන්ට උවමනා   කරන්නේ  සිංහල බෞද්ධයන්  අවුස්සා  ඔවුන්  අත රාජ්‍ය බලය  හැමදාම තබා  ගැනීමටය  .චම්පිකලාද වීරවංශ ලාද  රාජපක්ෂලාද ආමන්ත්‍රණය  කරන්නේ ද  ඔවුන්ගේ දේශපාලනයේ  පදනම් වී තිබෙන්නේද  ඒ මතය . සජිත් ප්‍රේමදාසද අද ගොඩ එන්නට හදන්නේ එම බලවේගය  හරහා බව පෙනේ .


අපේ රට වැටි තිබෙන ප්‍රපාතයෙන් ගොඩ  ආ හැක්කේ සියලු ජනවර්ග ඒකාබද්ධ  උත්සහයක්  දැරීමෙන්  පමණි  ඒ සඳහා අපේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට  ඉංග්‍රීසි බසින් ඉගැන්වීමෙන්  ජනවර්ග සමගිය ගොඩ නැගීමට  පමණක් නොව ගෝලීය පුරවැසියෙකු බිහිකිරීමටද මගපෑදෙනු ඇත.  අපේ දරුවනට  ලෝකය  ජයගත  හැක්කේ  ගෝලීය පුරවැසියෙකු වීමෙන් පමණි .ගෝලීය පුරවැසියෙකු වීමට සිංහලෙන් හෝ දෙමලෙන් හෝ ඉගැනීමෙන් හැකිවන්නේ  නැත .



Comments

Anonymous said…
රත්න හාමුදුරුවන්ට මොකද්ද තියෙන අයිතිය මේ වගේ දේවල් යෝජනා කරන්න? හාමුදුරුවරු ඕනවට වඩා ගිහියන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න ගිහාම සීමාවක් නෑ. මේක ඒ ගැන honda උදාහරණයක්. ළමයින්ට තමන් කැමති භාෂාවකින් ඉගෙන ගැනීමේ අයිතිය තියෙන්න ඕන. නමුත් ංග්‍රීසියෙන් ඉගෙන ගත්තහම ඒ ළමයට දැනීම ලබාගන්න සීමාරහිත අවස්ථා උදාවෙනවා. සිංහලෙන් ධ්‍යාපනය ලබපු මගේ පරම්පරාවේ අය ංංංග්‍රීසි නොදැනීම නිසා කොයිතරම් අපහසුකම්වලට මුහුණ දෙනවද. අනික තමයි ංග්‍රීසි උගන්වන්න කිසිම සාර්ථක වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නෑ. ලප
Jagath Pathirana said…
ලංකාවේ හැමෝම ඉස්ලාම් දහම වැලඳ ගත්තනම් ජනවාර්ගික අර්බුද නිකම්ම විසදෙනවා නේද?
මම හිතන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමට වඩා රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඉස්ලාමය පැතිරවීමේ වැඩ පිලිවෙලක් ඇරඹීම වඩා ප්‍රගතිශීලී ක්‍රියාවක්.
Jagath Pathirana said…
රතන හාමුදුරුවෝ ප්‍රාඩෝ රථයක් පාවිච්චි කරනවා. නමුත් එය මනසින් අල්ලාගෙන නෑ.
ඹබ උන්වහන්සේගේ වාහනයත් මනසින් අල්ලාගෙන.
ඔබට රතන හිමිට වඩා නිවන දුරයි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...