
චුන් පාන් රැගෙන එන ත්‍රීවීලරය අද උදැසන මට මගහැරුණේය .හේතුව මා නැගිටින්නට පෙර එය ඇවිත් ගිය නිසාය . ඒ නිසා පෘතුගීසි කාරයන් ලංකාවට හඳුන්වා දීමෙන් පසු ලංකාවේ ස්ථිර සාර ලෙස පැලපදියම්වූ පාන් ගෙඩියක් හොයන්නට රුපියල් 100 ක හමාරක පෙට්‍රල් වියදම් කරගෙන ටවුමට යාමට සිදුවිය .පාන් කඩේ පාන් නැත. ඉන්පසු මා ගියේ තම්බි නිෂ්පාදනයක් වන පරාට හොයාගෙනය . පරාට කඩේ සිංහලයෙකුගේ වුවත් පරාට හදන්නේ මුස්ලිම් හාදයෙකි . ඔහු ගජරාමෙට පරාට හදමින් සිටිනු දැකීම හිතට සැනසිල්ලක් දුන්නේය . ඒ බඩගින්න නිවාගත හැකි නිසා නොවේ .ඌ සනීපෙන් සිටින නිසාය .පරාටේ කන්නට ගමේ කොල්ලන් කීපදෙනෙකුද ඇවිත් සිටියෝය . පරාටේ හදන හාදයද බියෙන් සැකයකින් තොරව රාජකාරියේ යෙදෙමින් සිටියේ අපේ ගමේ කොල්ලන් ජාති ආලය නැමති කුඩු ගහන එවුන් නොවන නිසාය .
අපේ ගමට අල්ලපු ගම වෙයන්ගල්ලය .එය අහලපහල තිබෙන එකම මුස්ලිම් ගම්මානයයි. දෙදහසකට ආසන්න ජනගහනයක් එහි සිටි . කුඩලිගම, ගිරිකොල ,මහගම පිඹුර යන සිංහල ගම්මානවලින් වටවී තිබෙන වෙයන්ගල්ලේ මුස්ලිම් මිනිසුන්ට ගහන්නට , මංකොල්ල කන්නට තරම් මන්ධ බුද්ධිකයන් මේ ගම්මාන හතරේම නැති බව මා ලියන්නේ ආඩම්බරයෙනි . අපේ ගම මැදින් මුස්ලිම් මිනිසුන් පනහක් හැටක් දිනපතාම පාහේ යති .කවදත් පාහේ උදැසන දැකිය හැකි දර්ශනයක් වන්නේ අසනිපවූ දරුවන් වඩා ගෙන පිඹුර රෝහල වෙත අපගේ ගම හරහා පා ගමනින් යන දුප්පත් මුස්ලිම් ගැහැනුන්ය . ඔවුන්ට කිසිම දිනක කිසිවෙකු කොලොප්පමක් වත් කර නැති බව සහතික කර මට කිව හැකිය .
පාන්දරින් නැගිටින්නට මට නොහැකි වූ කාරණාව ඊයේ මහා රාත්‍රිය වන තුරු අන්තර්ජාලයට රිංගා 1915 සිදුවූ සිංහල මුස්ලිම් කලකෝලාහලය ගැන විස්තර කියවූ නිසාය. 1915 සිංහල මුස්ලිම් කලකොලහලත් ඊයේ පෙරදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලකොලහලත් අතර විශාල සමානත්වයක් තිබේ .
1915 දී මුස්ලිම් විරෝධී කෝලාහල ඇරඹුනු නුවර කාසල් හිල් වීදිය
1915 මැයි මාසයේ 28 වෙනිදා සිංහල මුස්ලිම් කලකෝලාහල ඇරඹුනේද මහනුවර දිස්ත්‍රික්කයෙනි .ඒ කාලයේ ලංකා මුස්ලිම් සහ ඉන්දියන් මුස්ලිම් ලෙස කොටස් දෙකක් සිටි අතර ගැටුමට මුලික හේතුව වුයේ ඉන්දියානු මුස්ලිම් වරුන්ගේ පල්ලියක් ඉදිරිපිටින් බෞද්ධ පෙරහරක් බෙර ගසමින් යාමට ඉන්දියානු මුස්ලිම් ජාතිකයන් විරුද්ධ වීමය . එය නොසලකා පල්ලිය ඉදිරිපිටින් පෙරහැර යාමට උත්සහ කළ විට පොලිසිය එය ආපසු හරවා යවනු ලැබිය . පල්ලිය අසල සිටි ඉන්දියානු මුස්ලිම් ජාතිකයන් පෙරහරේ ආ අයට හු කියන්නට පටන් ගැනීම නිසා පෙරහරේ පැමිණි පිරිසක් පල්ලියට කඩා වැදී එයට අලාභ හානි කළහ .එහිදී දෙපාර්ශවයේ කීප දෙනෙකුට තුවාල සිදුවිය .
පසුවදා සිංහලයෝ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කීපයකට පහර දුන් අතර මුස්ලිම් ජාතිකයෙකු විසින් වෙඩි තැබීම නිසා සිංහල තරුණයෙකු මරණයට පත් විය . වෙඩි තැබූ පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට නොගැනීම නිසා සිංහලුන් විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දුන් අතර මුස්ලිම් ජාතිකයෝද සිංහල ව්‍යාපාරික ස්ථානවලට පෙරලා පහර දුන්හ . ඉන්පසු සිංහල ජාතිකයෝ කටුගස්තොට සහ මහාය්යාවේ මුස්ලිම් ගොඩනැගිලිවලට පහර දුන්හ .
තත්වය පාලනය කිරීමට කොළඹින් පොලිසිය සහ හමුදාව ගෙන්වන ලද අතර මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත පන්ජාබ් හමුදා බල ඇණියක්ද ඒ අතර විය .

කෝලාහලය දරුණු ලෙස මර්දනය කළ පන්ජාබ් බලඇණිය
ආරම්භයේදීම කැරලි මැඩිමට පොලිසිය උනන්දු නොවීම හේතුකොටගෙන මැයි 31 වනදා කොළඹටද කෝලාහල පැතිරගිය අතර මුස්ලිම් ව්‍යාපාරවලට සිංහල පිරිස් විසින් පහරදෙනු ලැබිණ . ඉන්පසු සබරගමුව, වයඹ ,බස්නාහිර , දකුණ පළාත් වලටද කෝලාහල පැතිරගිය අතර මුස්ලිම් ජාතිකයන් ද පෙරලා පහර දුන්හ . ඇතැම් ස්ථානවලදී දෙමල ජාතිකයන් ද සිංහලුන් සමග එකතුව මුස්ලිම් ජාතිකයනට පහර දී තිබේ.
කැරලි මැඩ පැවැත්වීම සඳහා ජුනි 2 වනදා බ්‍රිතාන්‍ය ආන්ඩු කාරයාවූ රොබර්ට් චාමර්ස් මාර්ෂල් ලෝ නමැති යුධ නීතිය පැනවූ අතර ඒ යටතේ කෝලාහල දරුණු ලෙස බලය යොදා පාලනය කරන ලදී. සිය ගණනක් සිංහල කෝලාහල කරුවන් වෙඩි තබා මරා දමනු ලැබිණ . පතරොම් නාස්ති නොකරන ලෙසත් කැරලි කරුවන්ගේ පපුවටම වෙඩි තබන ලෙසත් කෝලාහල මර්දනය කිරීමට පත් කර සිටි බ්‍රිගේඩියර් මැල්කම් හමුදා භටයනට උපදෙස් දුන් බව කියනු ලැබේ . මැයි 28 වෙනිදා ඇරඹුණු කෝලාහල අවසන් වුයේ ජුනි මාසයේ 8 වෙනිදාය.
ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර යා වූ රොබර්ට් චාමර්ස්
මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලින් පැහැරගන්නා ලද භාණ්ඩ ළඟ තබා ගත් ගම්මානවල මිනිසුන් දහස් ගණනින් අත්අඩංගුවට ගනු ලැබිණ .ඔවුන්ට ඇප නොදී පොලිසි විසින්ම කෙටි නඩු විභාග පවත්වා කස පහර දීම හෝ සිරගත කිරීම යන දඬුවම් දෙනු ලැබිණ .
කෝලාහල වලට අනුබල දෙනු ලැබුවේ යයි රාජද්‍රෝහී චෝදනා නගා සිංහල ජන නායකයන් ගණනාවක්ද අඩංගුවට ගනු ලැබිණ. එසේ අත්අඩංගුවට ගනු ලැබූ අය අතර D.S. සේනානායක , F.R. සේනානායක ,D.B. ජයතිලක , E.A. ගුණසිංහ , අනගාරික ධර්මපාලගේ සහෝදරයන් දෙදෙනුකු සහ බත්තරමුල්ලේ උන්නාන්සේ නමැති භික්ෂුවක්ද විය .
කෝලාහලවලට සම්බන්ධ වීම නිසා යුධ නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබූ අය හමුදා අධිකරණ හමුවට පමුණුවා ඉක්මන් නඩු විභාග පවත්වා ඇතැමෙකු වෙඩි තබා මර දමනු ලැබිය . එහිදී කලකොලාහල කිරීම සඳහා සිංහලයන්ට සහය දුන්නේ යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන සිටි හමුදා කපිතාන්වරයෙකු වූ හෙන්රි පේද්‍රිස් ද යුධ අධිකරණය මගින් මරණ දණ්ඩනය නියම කොට වෙඩි තබා මරා දමන ලදී . කෝලාහලවලට සහය දීම නිසා ,රජයේ ඉහල තනතුරු දැරූ ප්‍රසිද්ධ සිංහලයන් බොහෝ දෙනෙකු එම තනතුරුවලින් නෙරපා හරිනු ලැබිණ . එසේ තනතුරෙන් පහ කරන ලද එක නිලධාරියෙකු වුයේ හුළුගල්ලේ අදිකාරම්ය .චෝදනාව වුයේ ඔහුගේ ප්‍රදේශයේ කෝලාහල ඇතිවූ අවස්ථාවේ ඔහු වෙනත් ප්‍රදේශයක සිටීමය .
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 25 දෙනෙකු කොලහලවලදී මරා දමා තිබුණු අතර 189 දෙනෙකුට තුවාල කර තිබුණි. ජාති ආලයෙන් පෙළුණු පිරිස් කාන්තාවන් 4 දෙනෙකු දුෂණය කර තිබුණි .නිවාස සහ වෙළඳ සල් 4075 කින් භාණ්ඩ මංකොල්ල කා තිබුනු අතර නිවාස සහ වෙළඳසැල් 250 ක් ගිනි තබා පුළුස්සා අමානු ලැබිණ . මුස්ලිම් පල්ලි 17 ක් මුළුමනින්ම ගිනිතබා අළු කරන ලද අතර තවත් මුස්ලිම් පල්ලි 86 කට අලාභ හානි කරන ලද බව නිලවාර්තා සඳහන් කර තිබේ .
බ්‍රිගේඩියර් මැල්කම් විසින් කෝලාහල පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කොමිසාරිස් වරුන් පත් කරන ලද අතර දඬුවම් කිරීමේ බලයද ඔවුන්ට ලබා දුන්නේය ඔවුන් විසින් මුස්ලිම් මිනිසුන්ගේ අහිමිවූ දේපොළ වටිනාකම් තක්සේරු කොට අලාභය ගෙවන ලෙස ඒ ඒ ප්‍රදේශවල සිටි මිනිසුන්ට නියම කරනු ලැබිණ . ඒ සඳහා කලකෝලාහල අරමුදලක් පිහිටුවන ලැබූ අතර එයට මුදල් නොදුන් අය අත්අඩංගුවට ගෙන යුධ අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබිණ .

Comments