"උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස ?"
"නෑ "
"උඹ කොළඹගිහින් තියෙනවද සිරිපාල? "
"නෑ "
"උඹ කොළඹ ගිහින් තියෙනවද පේමදාස? "
"නෑ "
ඒ බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම ඇසු ප්‍රශ්නයි කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්රශ්නය නොඇසුවෙමි .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ
"පලයන් කොල්ලෝ යන්න " යන්නය.
.පන්තියේ එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද තුනේ පන්තිය වන විට මම තුන් හතර වරක් කොළඹ ගොස් ඇවිත් සිටියෙමි .
.කොළඹ යාමට පින පැදුනු හේතුව මෙසේය .
(මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)
අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති මාද විය ඩොනල්ඩ් ස්ටුඩියෝව තුල පින්තුර ගත් හැටිද, කාරයක නැගී ආපසු ආ හැටිද තවමත් මට මතකය .අපේ නිවසේ ශාලයේ තබා තිබුණු කවිච්චියේ අලුත් මනාලිය වාඩිවී සිටි ආකාරය , ලයිට් එන්ජිමක් මගින් මගුල් ගෙදර ආලෝකමත් කර තිබු ආකාරය, ගසක බඳින ලද ස්පීකර් දෙකක් මගින් ග්රැමෆෝන් තැටි ගීත හැතක්මක් හමාරක් දුරට ඇසෙන්නට වාදනය කළ හැටි තවමත් මතකය.
ඉතින් මගුල් උත්සවයෙන් දින කීපයකට පසු මාමා නැන්දාවත් කැඳවාගෙන ආපසු දෙහිවල ගියේය
.
ඉන්පසු වරින් වර අපේ සීයා ඔහුගේ පුතා හෙවත් මගේ මාමා සහ නැන්දා බැලීමට කොළඹ යන අවස්ථාවල මම ද ගියෙමි. ගොස් දවසක් දෙකක් නැවතී ආපසු එන විට "තාත්තේ මේක තියාගන්න " කියා රු .10 නෝට්ටුවක් සීයා අතට දෙයි .
ඒ රු.10, අද නම් රු 10000 කට වඩා වටිනා බව කියන්නට සිදුවේ
සිංහල දෙමල අවුරුද්දක් ආසන්න වන විට අවුරුද්දට අවශ්‍ය බඩු මුට්ටු ගැනීමට අම්මා ගමේ තිබු ලොකුම කඩය වූ මහ කඩයට යන්නේ රු.10ක් පමණක් අරගෙනය කෑම බීම හැදීමට අවශ්‍ය දේ මෙන්ම ගෙදර සිටින සියල්ලන්ටම රෙදි ගැනීමට එම මුදල ප්‍රමාණවත් වේ
එකල ගමේ සිට කොළඹ යාමට වැඩිහිටියෙකුගෙන් අයකරන බස් ගාස්තුව ශත 85 කි. දුර ප්‍රමාණය කිලෝමීටර 100 ක් විතර විය යුතුය බාගේ ටිකෙට් එක ශත 45 කි. පාන්දර 5 ට අපේ හන්දියට එන ලංගම කොළඹ බසයේ කොළඹ යන සියල්ලෝම නැගී යති . ඉඩකඩ ඕනා තරම් තිබේ .
එකල විදුලි බලය අපේ ගමට තබා අහල ගම් හතකට නොව දාහතරකට වත් තිබුනේ නැත. පාන්දර බස් රථය අල්ලාගැනීම සඳහා බොහෝ අය හුළු අත්තක් පත්තු කරගෙන බස් හෝල්ට් එක දක්වා යති .බැටරි බලයෙන් ක්‍රියා කරන විදුලි පන්දමක් තිබුණේ නම් ඒ අපේ ගමෙන්ම අතලොස්සක් දෙනෙකුට පමණි .
කොළඹ බසයේ නැග යනවිට පළමු වරට විදුලිබලයෙන් ආලෝකමත් කරන ලද පහනක් දකින්නට ලැබෙන්නේ සැතපුම් හතරක් ගිය පසු හමුවන අගලවත්ත ටවුමට ආසන්න වන විටය. විදුලි ආලෝකය එකල මනහර දසුනකි .අගලවත්ත පසු කර ටිකක් දුර ගිය විට යලිත් වීදි ලාම්පු අතුරුදහන් වෙයි ආලෝක මත් කරන ලද විදුලි ලාම්පු යලිත් දකින්නට ලැබෙන්නේ මතුගම ටවුම ආසන්න වන විටය
.
මට මතක හැටියට මතුගම නගරය පසු කොට ටික දුරක් යනවිට විදුලි ලාම්පු නැවතත් අන්තරස්දාන වේ . යලිත් ආලෝකමත් කරන ලද වීදි ලාම්පු දකින්නට ලැබෙන්නේ කළුතර නාගොඩ කිට්ටුවන විටය .
(හැම ගැමි නිවෙසකම එකල මෙවැනි කුප්පි ලාම්පු රාත්‍රියට පත්තු කරනු ලැබිණ )
ගමේ බොහෝ නිවෙස්වල රාත්‍රි අඳුර මකන්නට ආලෝකමත් කරනු ලබන්නේ භූමිතෙල් කුප්පි ලාම්පු ය ඇතැම් තැනක චිමිනි ලාම්පුද තිබුනේය අතමිට සරු ගෙවල්වල පෙට්රෝ මැක්ස් ලාම්පු තිබිණ විශේෂයෙන් බීඩි ඔතවන ගෙවල්වල එම ලාම්පු තිබිණ එහි ආලෝකය තියුණුය අන්ධකාරය අතුරුදහන් කරයි .ආලෝකයද සැලකිය යුතු දුරක් විහිදේ.
(අපේ නිවසේ සාලයේ රවුම් මේසය උඩ පත්තු කළේ මෙවැනි ලාම්පුවකි )
කෞතුක වටිනාකමින් යුතු ග්ලෝබ් ලාම්පු තුනක්ද අපේ ගෙදර තිබුණු බව මතකය ඉන් ලාම්පු දෙකක් හොඳ මට්ටමේ තිබුනේය එකක් කැඩී බිම තබා තිබුණු අතර එහි තිබු එල්ලෙන් තුන් හුලස් වීදුරු කැබලි වලින් පලක් නැති දේ කළ හැටි මට මතකය .
මේ ග්ලෝබ් ලාම්පු පත්තු කරන්නේ ඉඳහිටය , ලාම්පුවේ ඉහල කොටස සිවිලිමට සම්බන්ධකර ලාම්පුවේ යට කොටස වැඩිහිටියෙකුගේ හිසේ නොගැවෙන මට්ටමෙන් එල්ලා තිබේ දම්වැල් තුනකින් හෝ හතරකින් සමන්විත මේ ලාම්පුව පත්තු කිරීමට අවශ්‍ය විට ලාම්පුවට තෙල් දමන කොටසේ යටි පැත්තෙ තිබෙන රවුමට ඇඟිල්ල දමා පහලට අදිනු ලැබේ එක අයෙකු එය අල්ලාගෙන සිටියදී වෙනත් අයෙකු චිමිනිය ගලවා අඟල් භාගයක් පමණ පළල තිරය ගිනිකුරක් දල්වා පත්තු කොට චිමිනිය යලි සවි කරයි එය නැවත ඉහලට යාම සඳහා කළ යුත්තේ අත බුරුල් කිරීමයි .දම්වැල් වල ඉහල බරකට සම්බන්ධ කර ඇති බැවින් ඇඟිල්ලෙන් ගිලිහෙන්නට නොදී ඇඟිල්ල ක්‍රමනුකුලව සැහැල්ලු කරන විට එය ඉහලට යයි .
( අපේ ගෙදර තිබුනේ මෙවැනි ග්ලෝබ් ලාම්පු ය )
පසු කාලයේ දෙහිවල මම මින් එක ලාම්පුවක් ඉල්ලගෙන ගිය අතර අනෙක් ලාම්පුව මිත්‍ර විකිනීමට මට සිදුවිය එවැනි අපරාධයක් කිරීමට මට සිදුවුයේ 1980 ජුලි මහා වැඩ වර්ජනට මම යම් පමණක නායකත්වයක් දීම නිසා අවුරුදු තුනයි දින 10ක් මා ගෙදර යැවීමට ජේ ආර් ප්‍රේමදාස ආණ්ඩුව කටයුතු කළ නිසාය . ආර්ථික අමාරුකම් දරා ගැනීම අසීරුවූ එක අවස්ථාවකදී අනෙක් ග්ලෝබ් ලාම්පුව විකුණා මුදලක් සොයාගැනීමට කල්පනා කලෙමි
වාමාංශික දේශපාලන පක්ෂයක්වූ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරා මගේ මිතුරෙකු විය . ඔහු විවාහ වී සිටියේ හිටපු ඇමතිවරයෙකු වූ ටී ,බී සුබසිංහ මහතාගේ දුවක් සමගය මම මේ ලාම්පුව රැගෙන ඔහුගේ කිරුලපන නිවසට ගොස් රු 2000කට එය විකුණා දෙන ලෙස ඉල්ලීමි.
සති දෙකකට පසු ඔහු හමුවන්නට යලි ගියෙමි .ලාම්පුව විකිනීමට නොහැකි වූ බව කි ඔහු රු 2000ක් මගේ අතට දී ලාම්පුව ඔහුගේ නිවසේ තිබෙන බවත් මුදල් අතට ලැබුණු දවසක රු 2000 ආපසු දී ලාම්පුව ආපසු ගෙන යන ලෙසත් නිහාල් කාරුණික ලෙස කියා සිටියේය .
අවුරුදු 3 දින 10 කට පසු යලි මා ගුරුසේවයේ පිහිටවන ලද නමුත් නිහාල් ගෙන් ලාම්පුව ඉල්ලීමට මගේ හිත දුන්නේ නැත
.
යලිත් පුංචි කාලයට ආපසු යමු.
අපේ නිවසේ කුස්සියේ කුප්පි ලාම්පු දෙකක් පත්තු කරන අතර ලද අතර ශාලයේ රවුම් මෙසය උඩ චිමිනි ලාම්පුවක් පත්තු කරනු ලැබිණ සතියකට දෙවරක් චිමිනිය ගලවා රෙදිකැබල්ලකින් එහි රැඳී තිබෙන දැලි ඉතා ප්‍රවේශමෙන් පිස දමා ලාම්පුව දල්වා තිරය අඩු කොට චිමිනිය යලි සවි කරමු මසකට පමණ වරක් වතුරෙන් චිමිනියේ දැලි සෝදා හරිමු එදාට ලාම්පුවේ ආලෝකය වැඩිය .
කාමරයකට යාමට අවශ්‍යවූ විට කුප්පි ලාම්පුවක් රැගෙන යාම කාගේත් සිරිත විය
(මෙවැනි ලන්තෑරුමක් අපේ නිවසේ තිබිණ )
ඊට අමතරව ලන්තෑරුමක් අපේ නිවසේ තිබිණ එහි පරම අයිතිකරු අපේ සීයාය . රෑබෝවුපසු අසල කඩයකට යාමට සිදුවුවහොත් ලන්තරුම පත්තුකරගෙන සීයා කඩේ යයි . මා තරමක් උස මහත්වූ පසු කොල්ලන්ගේ ගෙවල්වල කයිවාරු ගසමින් සිටින විට සීයා ලන්තෑරුම පත්තු කරගෙන මා සොයා එයි .
එකල රාත්‍රී 7 වන විට මුළු ගමම තද අන්ධකාරයේය දුරා වාරයේ තිබෙන නිවෙස්වල කුප්පි ලාම්පුවල එලිය යාන්තමින් දැකිය හැකිය ,රාත්‍රියට යක්කු සිටින බව බොහෝ අය විශ්වාස කළහ අවතාර දුටු අයද එකල බොහෝ සිටියහ . එබැවින් කොහේ හෝ ගොස් අඳුර වැටුණු පසු ගෙදරට ඒමට සිදුවුවහොත් අතර මගදී හොල්මනක් හමුවේ යයි බියෙන් ගැහෙමින් අඩි ඉක්මන් කරමින් ආවෙමි. එසේ එන ගමන් කීපවාරයක් පිටුපස හැරී බලමි. එසේ බලන්නේ අවතාරයක් පිටුපසින් එන්නේ දැයි බැලීමටය වැඩි ආරක්ෂාවට ඉතිපිසෝ ගාථාවද මතුරමි.
මගේ බාලම මල්ලි ,මහින්ද ප්‍රේමලාල් හිසේ පිළිකාවක් සෑදී 1964 දී මියගියෙන් ඔහුගේ තුන්මස් පිංකම වෙනුවෙන් නිවසේ බණක් කීමට යොදාගැනීම නිසා අම්මා දෙල්පාවත්තේ මාර්ටින් මුදලාලිගේ කඩෙන් පෙට්රොමැක්ස් ලාම්පුවක් ගෙන ආවාය .එයට වැයවූ මුදල රු 35ක් විය .
( පෙට්රෝ මැක්ස් ලාම්පුව )
ඒ ලාම්පු ගම්වැසියන් හැඳින්වුයේ පැට්‍රොල් මැක්ස් කියාය
එම ලාම්පුව අවුරුදු 20 කට අධික කාලයක් අපි පාවිච්චි කළෙමු .ලාම්පුවට භූමිතෙල් බෝතලයක් දමා මැන්ටලය අවුළුවා හුලං ගැසූ විට වොට් 100 පැරණි විදුලි බුබුලක ආලෝකයක් මැන්ටලයෙන් විහිදේ . පැයක් හමාරක් ගතවන විට ආලෝකය අඩුවන්නට පටන් ගන්නා බැවින් ලාම්පුවේ පහල කොටසේ තිබෙන පොම්පයෙන් යලිත් හුලං ගැසූ විට නැවතත් පෙරසේම ආලෝකය දෙයි .
.
(අවුරුදු 20 කට අධික කාලයක් අපි පාවිච්චි කළ පෙට්රෝ මැක්ස් ලාම්පුව)
භූමිතෙල් බෝතලයකින් පැය 4කට අධික කාලයක් දීප්තිමත් ආලෝකයක් සැපයීමට එම ලාම්පුව සමත්ය .
එම ලාම්පුව තවමත් අපේ ගෙදර තිබේ එය අලුත්වැඩියා කර ගතහොත් යලිත් ඊට ජීවිතය දිය හැකිය .
පෙට්‍රෝමැක්ස් ලාම්පුව නිවසට ගෙන ඒමට පෙර අපි රාත්‍රී 7, 8 වන විට රෑ කෑම කා 9 වන විට නිදාගන්නෙමු .ශාලයේ මේසය උඩ තිබෙන චිමිනි ලාම්පුව නිවන්නේ නැතිව තිරය අඩු කොට එළිවෙනතුරු පත්තු වීමට ඉඩ හරි . අම්මා පාන්දර 5 වන විට අවදිව තේ හදා උදේට කන්නට කුමක් හෝ ලැස්ති කොට තබා කිරි කපන්නට යයි .අපි 6 න් පසු අවදිවී තිබු දෙයක් කා පාසල් යන්නෙමු . කලින් දිනය වැසි දිනයක් වුයේ නම් අම්ම කිරි කපන්නට යන්නේ නැත එම දිනවල පාසල් යනවිට අම්මා මටත් මල්ලිටත් ශත 5 බැගින් දෙන්නීය .එකල ශත 5 ට මිලදී ගත හැකි දේ තිබිණ බනිස් ගෙඩියක මිල ශත 5ක් විය වඩයක මිලත් එයම විය අයිස් පලමක්ද ශත පහක් විය .සීනිබෝලයක් ශතයක් විය ටොපියක් ශත දෙකක් විය .
රාත්‍රී කාලයේ හොරුන් එතැයි යන සැකයට මිදුලේ කෙළවරක මඩුවක තිබු රබර් ශීට් ඩයමන් ගසන රෝළේ කොටසක් වූ, එය කරකවන අත, ගලවා ගේ තුල තබන්නෙමු .පසුදාට යලි එය සවිකරමු
(අපේ වත්තේ තිබුනේ මෙවැනි ඩයමන් රෝලකි .)
ඩයමන් ගසා ගැනීමට අසල්වාසී මිනිස්සු සහ ගැහැණු 20 ක් 25ක් අපේ නිවසට පස්වරුවේ ආවෝය .එක රබර් ශීට් එකක් ඩයමන් ගැසීමට අය කළ මුදල ශත 2 කි .අම්මා අභ්‍යාශ පොතක රබර් ශීට් ගෙන එන අයගේ නම් ලියා ඒඉදිරියෙන් ඒ ඒ දිනයේ ඩයමන් ගසන ලද ශීට් ගණන සටහන් කරන්නීය . මසකට වරක් හෝ දෙවරක් මිනිස්සු රබර් විකිනිමෙන් පසු ඩයමන් ගාස්තුව අම්මා අතට ගෙනත් දෙති .
එකල ගම් වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ රබර් කිරි වලින් ලැබෙන ආදායමයි රබර් ගස් වලින් ගන්නා කිරිවලට වතුර සහ ඇසිටික් ඇසිඩ් දම මුදවා ශීට් බවට පත් කොට තුනිවෙන්නට තලා ,ඩයමන් රෝල තුලින් යවා කිරිබත් කෑල්ලේ හැඩයට දාර අච්චු ගසා, අව්වේ දමා තෙත හිඳවා, දුම් ගස්සා, වේලා, කඩයට ගෙන ගොස් දුන් විට බර අනුව වෙළෙන්දා රබර් හිමියාට මුදල් දෙයි දුගස්සා වේලන ලද රබර් ශීට් මිල එකල දිනපතාම පුවත්පත්වල RSS 1 ,RSS 2, RSS 3 ආදී ලෙස පලවිය වෙළෙන්දෝ රබර් මිලදී ගන්නේ නොම්මර 3 ට නියම කොට තිබෙන මිලටය .
පෙට්රෝ මැක්ස් ලාම්පුව ගෙන ඒමෙන් පසු රාත්‍රී නින්දට යන වෙලාව තරමක් ප්‍රමාද කරනු ලැබිණ අසල් වැසියෙකු හෝ අසල්වැසි පවුලක් ටික වෙලාවක් කතා බහ කරමින් සිටීමට පැමිණීම ඊට එක හේතුවක් විය අනෙක් කාරණාව නම් ලාම්පුව විසින් දීප්තිමත් ආලෝකයක් සපයන බැවින් අන්ධකාරයට තිබෙන බියද පහව යාමත්, සිත් ආලෝකවත්ව තිබීමත්ය. .
ලාම්පුව නිවන්නේ එහි හුලන් පිට කිරීම සඳහා තිබෙන ඇණය බුරුල් කිරීමෙනි ලාම්පුව තුලට ඇතුල් කරන ලද හුළඟ අඩු වන්නට වන්නට ලාම්පුවේ ආලෝකයද අඩුවී ගොස් විනාඩි යක් දෙකක් තුලදී මුළුමනින්ම නිවී යයි .
අපේ නිවසට විදුලි බලය ලබා ගන්නා තුරුම පෙට්‍රෝමැක්ස් ලාම්පුවද, චිමිණි ලාම්පුවද, ලන්තරුමද, කුප්පි ලාම්පි කීපයක්ද අපට ආලෝකය සැපයු බව කිව යුතුය .
ආලෝකය ලබා දුන්නට ඒ අයට අපගේ බලවත් ස්තුතිය මෙයින් පළකර සිටිමු .
අපේ ගමට විදුලි බලය ලැබුනේ 1980 දශකයේ මුලදීය අපේ නිවසට විදුලිය ලබා ගත්තේ අපේ ලොකු පුතා උපන් 1982 වසරේදීය.
නිවසට විදුලි බලය ලැබීම හත්දවසක් මගුල් කන්නට තරම් සතුට ගෙන ගෙන දෙන කාරණාවක් විය
ඒ අතීතයට නැවත යාමට ඔබට මට සිදුවේද ? බොහෝ දෙනාගේ හිතේ මතුවන එහෙත් නොකියන ප්රශ්නය එයයි.
ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් ණයට ඉල්ලා ලෝකයාට පින්සෙන්ඩු වීම සිදුවී ඇති අතර අධික වියලි කාල ගුණය හේතුවෙන් ජලාස වල ජලය ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ .මේ නිසා සැර විදුලි කප්පාදුවක් ඉදිරියේදී සිදුකිරීමට වෙන බව කරුණු කාරණා දන්නා අය කියති
\එබැවින් පැත්තකට විසිකර දමා තිබෙන පරණ ලාම්පු ,කුප්පි ලාම්පු ආදිය එලියට ගැනීමට කාලය පැමිණ තිබේ .
Comments
පැස්ටෝල් මැක්ස් ලාම්පුවෙ අවුලක් තමයි, අර මැන්ටලේ වටේ යන තඹ බටේ කාදනය වෙලා, කාන්දු වෙන එක. එතකොට අරන් යනවා ගැරේජ් එකකට. බාස් රවුම කපලා වෑල්ඩින් කරනවා.
පැස්ටෝල් මැක්ස් එකට වඩා එලිය අඩු වුනත්, ඇලඩින් ලාම්පුව ඊට වඩා කාර්යක්ෂමයි. මේ රටවලත් අපි වගේම, පරණ තාක්ෂණ පිස්සො ඉන්නවා.
https://www.youtube.com/watch?v=F3rncxf4Or8
ස්තුතියි ඇගයීමට ඔබේ බ්ලොග් රෝලේ එල්ලගත්තටත් ස්තුතියි
මගේ පුංචි කාලයේ විවිධ පැතිකඩ ලියන්න හිතාගෙන ලියපු පලවෙනි එක මේක .ඉදිරියටත් ලියන්න ඉන්නේ
මෙහෙම පරණ විත්ති ලියන්නට හේතුව අනාගතයේ ජිවත්වන්නන්ගේ දැනගැනීම සඳහායි . එමෙන්ම අපි පරණ විත්ති කොතැනක හෝ සටහන් කර නොතිබ්බොත් අපෙන් පසු සදාකාලිකව මැකී යන නිසයි
බොහොම වටිනා අදහසක්. මමත් අපේ පැරණි අයගෙන් සහ පතපොතින් දැණගත් දේ අනුසාරයෙන් "කරත්ත යුගය" ගැන ලියන්න අසාර්ථක උත්සාහයක් ගත්තා, ඒත් මට ඔබට මෙන් ලස්සනට ලියන්න බෑ.
https://frozenlazyowl.blogspot.com/2014/03/blog-post.html
//මගේ පුංචි කාලයේ විවිධ පැතිකඩ ලියන්න හිතාගෙන ලියපු පලවෙනි එක මේක .ඉදිරියටත් ලියන්න ඉන්නේ//
ඒ ලිපිපෙල එනෙතෙක් බලා සිටිමි.🙏👌😊