Tuesday, May 3, 2016

මා වශී කළ යකඩ සුන්දරියෝ


මීට  අවුරුදු  20 කට පෙර අපේ ගමේ  සිට මතුගම  පාසලකට  ඉගනීමට  ගිය කොලුවෙකු හැම දිනකම  නැග්ගේ  ඔහු  ප්‍රිය  කරන  ලංගම බසයට  විතරය. බස්  හෝල්ට් එකේ සිටින  විට වෙන  බසයක් ආවොත් නගින්නේ  ඔහු  නොවේ.ඉස්කෝලෙට  යාමට පරක්කු  වුවද ඔහුගේ  බසය  එන තුරු  ඔහු කට ඇරගෙන බලා සිටී. පාසැල අවසන් වූ පසු ඔහු නගින්නේද  එම  බසයට  පමණය. එය  එන තුරු බඩගින්නේ  වේලෙමින් බස්  නැවතුම් පොලට  වී  මිතුරන් සමග බස්  ගැන  කියමින් සිටී.

මා  මිත්‍ර  අජිත්  පැරකුම් ඔහුගේ වෙබ් අඩවියේ ( W3 Lanka) ලියා   තිබු 'ලංකා ටකරං බස් ' ලිපිය  කියවූ විට මට හිතුනේ 'බස් පෙරේතයන් ' සැහෙන්න  සිටිනා  බවය. මා පුංචි  කාලයේ  පාසල් ගියේ කකුල් දෙකේ  බස් එකෙන් බැවින් දෝ බස්  කෙරෙහි විශේෂ  ඇල්මක් නම් මට ඇති වුයේ   නැත.ඒ  වෙනුවට  පුංචි සන්දියේ සිටම  මා ආදරය  කළේ  කෝච්චි වලටය. එහෙත් කෝච්චි පාරක් අහල ගම්  හතකවත් තිබුනේ  නැත. කෝච්චියක් දැකීමට  හැතැක්ම 20 දුරින් තිබෙන කළුතරට  යා  යුතු විය. 

'කෝච්චි  ගැන පළමුවෙන් කියෙව්වේ  කුමාරෝදය  පොතෙනි. 'අඟුරු  කකා  වතුර  බිබී කොළඹ දුවන  යකඩ  යකා ' නම් පාඩමක් එහි තිබුණි. එම  පාඩම  කියවන විට සිතේ  ඇති වුනු චමත්කාරය  තවමත් සිහිපත්  කරගත හැකිය. ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තෙක් පළමුවෙන්  කෝච්චියක්  හැදු බව  4  පන්තියේ  ජයවතී  ගුරුතුමිය කියා  දුන්නාය.

දවසක් අපේ  පාසලේ උදැසන රැස්වීමට  පැමිණි පොලිස් ඉනිස්පැක්ටර් කෙනෙක් කතාවක්  පවත්තමින් පාරේ  යායුතු  හැටි  කියා දුන් අතර කෝච්චි  ගැනද කතා  කළේය. අපේ  පැත්තේ  කෝච්චි  පාරවල්  නැත්තේ  කෝච්චි  යාමට  තරම් පොලොව  හය්ය  නැති නිසා  බව ඔහු  කීය.1948න් පසු සිංහල ආණ්ඩු  ගණනාවක් මේ  රට  පාලනය  කළ  නමුත් සුද්දන් හැදු  කෝච්චි  පාරවල් අඟලක්වත් දික් නොකරේ ඒ ඉනිස්පැක්ටර් උන්නැහැගේ  කතාව අසා විය  යුතුය.



 කෝච්චි වල  යාමට  මගේ  පන්තියේ  සිටි  අනෙකුත්  ළමයින්ට නොලැබුණු    වාසනාව මට  උදා වුයේ  අපේ  සීයාට පින්සිද්ද වෙන්නටය. සීයාගේ  පුතෙක් හෙවත් මගේර්  මාමා කෙනෙක්  ඒ  කාලයේ මරදානේ  ඩොනල්ඩ් ස්ටුඩියෝවේ  රැකියාව  කල අතර පදිංචිව  සිටියේ  දෙහිවලය.මාස දෙක  තුනකට වරක් සීයා , මාමා  බැලීමට  යන අතර ඒ  යන හැම වාරයකම  මාවද  කැඳවා ගෙන  යයි. පාන්දර   නැගිට  සීයාට  කමිසය  අන්දවන්නෙත් කෝට් එක හෙවත්  කබාය  අන්දවන්නෙත් මමය. ඒ  ගමන ඉක්මන් කිරීමටය. ගමේ සිට  මතුගමටත්  මතුගම සිට  කළුතරටත්  බසයෙන් යන අපි කළුතර ඉස්ටේමමට  ගොස්  කෝච්චියක් එන තුරු අද මෙන්ම එදත් සැහෙන වෙලාවක් බලා  සිටියෙමු. 'ඩක ඩකස් '   ඩක ඩකස් ' යනුවෙන් හඬ  නගමින්  ඇත සිට දුම්රිය, දුම්රියපොළ වෙත ලංවන විට වේදිකාවේ  අයිනේ සිටින  කවුරුත්   තරමක් පසු  පසට  යන්නේ  කෝච්චිය  ඇඟේ   වදීනු ඇතැයි  යන බය  නිසාය.   කෝච්චියට  නැග්ග  පසු මා  වාඩිවෙන්නේ මුහුද පැත්තට  තිබෙන අසුනක  ජනේලය  අයිනේය. ඩකස් ' ...................ඩකස් ..................ඩකස් ................ඩකස් .............. ඩකස්  ..............ඩකස්    කියා  ගමන අරඹන කෝච්චිය  විනාඩි 5 ක් ගත වන විට ' ඩක ඩකස්'  'ඩක ඩකස්'  'ඩක ඩකස් ' කියා  කැ ගසයි. ඒ මියුරු  හඬට සවන් දෙමින් මුහුදේ ඈත නැව් යන්නේදැයි ඇස් දල්වා ගෙන යමි . දකින්නට නැවක් නැති කළ     ඔලුව  පිටතට දමා   ගෙන  අපිව  ඇදගෙන  යන එන්ජිම දෙස බලා සිටීමි ඒ නිසා මගේ ඇස්වල හිරවූ අඟුරු  කෑලි  අපමණය. ඒවා  ඉවත්  කරගෙන  යලිත් බෙල්ල එලියට  දමා  ගෙන  කෝච්චියේ  ඉදිරිපස දෙසත්  පසු  පස දෙසත් මාරුවෙන්  මාරුවට  බලා  සිටීම හෙන ජොලියක් විය.


එකළ තිබුනේ  අගුරු වලින් දිවූ  කෝච්චිය. පවර් සෙට් ආවේ  ඉන්පසුව  යැයි මම සිතමි. ටික  කලකට පසු කැනඩා දුම්රිය එන්ජින් පැමිණි අතර ඒවා විශ්මිත වුවා සේම සිත් ගන්නා  සුළු විය. ඒවා  යෙදෙව්වේ දුර  ගමන් සඳහාය. අනුරාධපුරයට වරක්ද  සහ  පොලොන්නරුවට  කීප වරක්ද කැනඩා එන්ජින් වලින් ඇදගෙන ගිය  කෝච්චිවල යාමට ගැටවර  විය වන විට මට අවස්ථාව  උදාවී තිබුණි.


 කොටුව දුම්රිය පොලේ සිට කෝච්චියෙන් ඉන්දියාවෙ  ධනුස්කොඩිය දක්වා  යාමටද  මා   පුංචි  කාලයේ හැකි වූ බව  මතකය. දැවැන්ත  කුණාටුවක්  නිසා ඇතිවූ අලාභයන් නිසා එය  අත් හිටවූ බව  මගේ  මතකයි. 

කෝච්චියක නැගී දිගම  ගමන ගියේ 1980 දීය . ඒ තනියම  යාපනයට  ගිය  ගමනය.( ඒ ගැන ලිවූ ලිපිය මේ බ්ලොගයේ  මාර්තු  මස ලිපි ගොනුවට තට්ටුවක් දැමීනෙන් බලාගත  හැක.) .  ඒ වෘත්තීය සමිති වැඩකටය. ආපසු එනකොට කෝච්චියට නැග්ගේ  කන්කසන්තුරෙන් බැවින් ආපසු එන  ගමන වඩාත් දිගු විය .උදේ  6 ට  කොටුවෙ දුම්රිය පොලින් බැස   එදිනම  දවල් 10  කෝච්චියක නැගී මහනුවර ගියෙමි. පසුවදා  ආපසු එනවිට දුම්රිය වැඩවර්ජනයක්  අරඹා තිබුන  බැවින්  ආපසු එන්නට සිදුවුයේ  බස්වල පිහිටෙනි.


රජයේ සේවකයනට නම් දුම්රිය සේවය මහත් අස්වැසිල්ලකි. දුම්රිය දෙපාර්තමේන්තුව  ඔවුන්ට  දෙන  මාසික   සීසන් එකට   ගෙවිය  යුත්තේ ඉතා  සොච්චම් මුදලකි.කොළඹ තිබෙන  රජයේ  කාර්යාල අඩපන නොවී දිව්වේ කෝච්චි දෙපාර්තමෙන්තුවට   පින්සිද්ද වෙන්නට  කියා කිව්වාට වැරද්දක්  නැත.

සුනිල් ආරියරත්න  මහතා ඉස්සර නිපදවූ 'මිනිසා  සහ කපුටා'  චිත්රපටියේද දුම්රියක සිදුවෙන  අමතක නොවන දර්ශනයක් මගේ  මතකයට  නැගේ . කළුතර  කිට්ටුවන විට දුම්රියෙන් බැස  ගන්නට  මගීන් දොරටු අසලට  එක් රොක් වෙන කලබලය   අතරේ දුම්රිය  මගියෙකු ළඟ  සිටින  තරුණියකගේ තනයක්  මිරිකයි. තරුණිය එයට  ප්‍රතිචාර  දක්වන්නේ සෙරෙප්පු ප්‍රහාරයකිනි.

යුද්ධය  ආරම්භ වීමට  පෙර නම් රජයේ  සේවකයෝ තම පවුල් පිටින් කෝච්චිවල  නැගී   අඩු වසයෙන් වසරකට  එක් වරක් හෝ චාරිකා  ගියහ.  එයට  හේතුව අවුරුද්දකට  තුන්  වරක්  ලංකාවේ  ඕනෑම තැනකට දුම්රියෙන්  ගොස්  ආපසු ඒමට බලපත්‍ර  කට්ටල තුනක් ආණ්ඩුව විසින් ඔවුන්ට  දුන් නිසාය. එම වරප්‍රසාදය  අදත්  රජයේ  සේවකයන්ට හිමිය.එහෙත්  රජයේ  සේවකයෝ දැන්නම්  කෝච්චිවල නැගී ඒ  තරම්  චාරිකා යන බවක් පෙනෙන්නට නම් නැත.  යුද්ධයත් සමග  දුම්රිය සේවය  තදින් පිරිහී යාම එයට එක් හේතුවක් විය  යුතුය.


දුම්රියක  ගමන් කිරීමෙන් මා   ලද  ඉතාමත්ම අප්‍රසන්න  අත් දැකීම නම් රාත්‍රී  දුම්රියක   පැය දහයකට ආසන්න  කාලයක්  හිටගෙන  ගමන් කිරීමට  සිදුවීමය.මෙය සිදුවුයේ 2010 වසරේදීය. රජයේ සේවකයන් සඳහා බණ්ඩාරවෙල පැවැත්වූ වැඩ මුළුවකට සහභාගී වීම  සඳහා  පළමු පන්තියේ  ප්‍රවේශ  පත්‍රයක් ලබා  ගෙන කොටුවෙන් රැ  අටට  දුම්රියට ගොඩවූ  මට සිදුවුයේ  පළමු පන්තියේ  ඉඩ නොතිබුණු බැවින්  උදේ  5.30 වන තුරුම  දෙවන පන්තියේ හිටගෙන  යාමටය. අඩු වසයෙන් කඩදාසියක් එලාගෙන බිම වාඩි වීමටවත් ඉඩක් නොතිබුනේ අධික මගීන් සංක්‍යාවක් දුම්රිය  මැදිරියේ  ගමන් කළ  නිසාය. වාඩි වීමට  ආසනයක් ලැබුනේ හපුතලේ  ආසන්න වන විටය.

කෝච්චිවලට ප්‍රිය  කරන මා  අප්‍රසන්න  අත්දැකීමකින් මෙය අවසන්  කරන්නට හොඳ  නැත. එබැවින් කෝච්චි ගමනෙන් මා   ලද  ඉහලම විනෝදය ලැබූ  කතාන්දරය මෙහි සටහන් කළ යුතුමය.


2006 වසරේ දිනක කෝච්චියක් එහෙම පිටින්ම ගෙන  චාරිකාවක්  යාමට අපිට  හැකි විය.  මා  සේවය  කළ   කාර්යාලයේ සුභ සාධක සංගමය විසින් සිය දෙනෙකුගේ  නිදහස් දුම්රිය  කට්ටල  දුම්රිය දෙපාර්තමේන්තුවට  දී  දින තුනක  චාරිකාවක් යාම සඳහා දුම්රියක් වෙන් කර  ගත්  අතර වායු සමනය  කර තිබු    එම  දුම්රියේ අනෙකුත්  පහසුකම්ද  ප්‍රසස්ථ මට්ටමක තිබුණි . දකුණු  කළුතරින්  උදේ  පාන්දර  ගමන ඇරඹු අපි  තැනක හෝ දෙපොලක  හැර අන්  කිසි දුම්රිය  පොලක  නොනවත්වා  අනුරාධපුර  බලා  ගියෙමු. මදු විතෙන්   ගී ගායනා වලින්  විහිලු තලුවලින්  දුම්රිය පිරී ඉතිරී ගොස්  තිබිණ. පසුවදා  උදේ  යලිත්  දුම්රියට  නැගී පොළොන්නරු  යන අතර තුර  දුම්රියේ රියදුරු  අසලට වී  දුම්රිය  පදවන අයුරුද බල සිටීමටද  හැකි විය. කණගාටුවට  කරුණ  නම්  රියදුරු සිටින කොටස තරමක  ගිනි  කබලක් වීමයි. එය වායු  සමනය  කර  නැත්තේ  මන්දැයි රියදුරාගෙන් විමසු විට  ඔහු කීවේ  කලින්  එම කුටියද වායු සමනය  කර තිබුණු  බවත්  දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය  සමිති  විසින්  රියදුරු  කුටිය  වායු සමනය  කර තිබීම  ගැන තදින්   විරුද්ධ වීම නිසා     දුම්රිය  පාලකයන් එම කුටියේ තිබු  වායු සමනය කිරීමේ  යන්තරය  ගලවා  දැමු බවය.(කම්කරු  පන්තියේ සමගියට  ජයවේවා .)

පොළොන්නරුවේ රාත්‍රිය  ගත  කොට පසුදා  උදැසන සිට නටබුන් ද නරඹා  සිද්ධස්ථානද  වැඳ  පුදා යහමින් පින්දහම්ද  කරගෙන සවස  දෙකට  පමණ කෝච්චියට  නගින විට අපේ  කන්තෝරුවේ පියුන්  මහත්තුරු  දෙදෙනා  බෝතල්ද සුදානම් කරගෙන සිටියහ. අපි සමග ගිය  ඇතැමුන් බෝතල්  පාටි  කප්පිත්තෝය. පියන්ලා ලවා  බෝතල් මිලදී ගැනීම සඳහා ආධාර  එකතු  කලේ  ඔවුන්ය. බවලතුන්    හැර අන්  කවුරුත් වාගේ එයටත් සම්මාදම් දුන්  බව  කිව  යුතුය.

චාරිකාව  අවසන් කොට කළුතරින් බසින විට  රාත්‍රී  9 පමණ විය . දුමරිය රියදුරාටත් කාර්ය  මණ්ඩලයටත් තෑගි බෝග  ආදියත් දී යලිත් එවැනි  ගමනක් සුදානම් කරන බව  ඔවුනට සපථ  කොට ඔවුන්ටත් දුම්රියටත් ආයුබෝවන්  කීවෙමු.

එහෙත් එවැනි  විනොදමත් චාරිකාවක්  යාමට යලිත් අවස්ථාවක් අපිට  ලැබුනේ  නැත.

 ආයිත් වරක් යාපනයට දුම්රියෙන්  යාමට සැලසුම්   කරමින් සිටින මට ඊයේ  පෙරේදා  සුබ  ආරංචියක්  ලැබුනේය. එම සුබ  ආරංචිය  නම් කොටුව - යාපනය අතර අන්තර් නගර දුම්රිය සේවයක් ආරම්භ කොට  තිබෙන බවය. ආරන්චියේ  හැටියට එය  කොටුවෙන්  පිටත් වන්නේ  පාන්දර  5.45 ටය .

ළඟදී දිනක එම  දුම්රියේ  යාපනයට  යාමට  ගොස්  පරණ  මිතුරන්ද හමුවී  තල්  රා   චුට්ටකද  රස විඳීමට ඉටා   ගෙන සිටිමි. 

































12 comments:

Pra Jay said...

කෝච්චි ගැන ඇති ආසාව බොහෝ රටවල බොහෝ දෙනෙකුට තියනවනේද?

Premalal Ranaweerage said...

එහෙමද?

jay-c z said...

මාද බෙහෙවින් ප්‍රිය කරන සුන්දර යන්ත්‍රයන් ගැන ලියවුනු හොඳ ලිපියකි.

Manoj Fernando said...

අපේ දුම්රිය සේවය ගොඩ ගන්නම බැරිද ?

රියදුරු කුටිය වායුසමනය කර තිබීම ගැනත් විරෝධය දක්වන වෘත්තිය සමිති හිතනවාද දන්නේ නැහැ රියදුරෙකු වායුසමනය කරන ලද අසුනක සිට කටයුතු කිරීම අනෙකුත් ශ්‍රේණි වලට වෙන අසධාරණයක් කියලා හිටං.

Premalal Ranaweerage said...

Thanks

Premalal Ranaweerage said...

දුම්රිය සේවය ගොඩ ගැනීමට උවමනාවක් තිබේනම් පුළුවන්. ප්‍රශ්නය උවමනාවක් නොමැති කමය.
දුම්රිය සේවයේ වෘත්තීය සමිති සිය ගානක් තිබෙන අතර පෙනෙන හැටියට නම් ඔවුන් එකිනෙකාට ඊර්ශ්‍යා කරති.

Aruna Perera said...

මමත් කෝච්චි ගමනට කැමතිය. ඉස්සර කොච්චර බස් තිබුනත් පුංචි කෝච්චියෙන් ඇවිත් උඩහමුල්ලේ ස්ටේෂමෙන් බැස හයිලෙවල් පාරට පයින් බඩගෑවේ ඔය ආසාවටමය.

මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටිය සුගතපාල සෙනරත් යාපාගේ නේද? ඔහු තමයි හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්හැදුවෙත්. මිනිසා සහ කපුටා ඉන්දියාවේ රජත මයුර සම්මානය ලැබුවා.

නොකී කතා said...

කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, කොළඹ-නුවර නගරාන්තර දුම්රියෙන් උදේ හවා කාලයක් රස්සාවට ගිය හැටිත් සිහි වුණා. කෝච්චියෙ ඇති වෙන්න ගිහින් තිබුණත් කෝච්චි ගමනට මා අදත් කැමතියි.

නොකී කතා said...

කෝච්චි හූ හඬට උදේ පාන්දරි අවදි වුණ පුංචි කාලෙත්, කොළඹ-නුවර නගරාන්තර දුම්රියෙන් උදේ හවා කාලයක් රස්සාවට ගිය හැටිත් සිහි වුණා. කෝච්චියෙ ඇති වෙන්න ගිහින් තිබුණත් කෝච්චි ගමනට මා අදත් කැමතියි.

Premalal Ranaweerage said...

ඔවු. එය සුගතපාල සෙනරත් යාපාගේ .මට මතක තිබුනේ සුනිල් අරියරත්නගේ කියල . සුනිල් ආරියරත්න මහතා පළමුවෙන් හැදුවේ 'සරාගී'කියල කෙටි චිත්‍රපටයක් .

Adrian C said...

This is the very first time I came to read your fantastic blogs.
After reading this I started wondering around my lod memory lanes.....because I was a daily traveller of Train from Galle-Colombo for 3years (6days per week).
I met many awesome characters and great/helpful+powerful people in the train those who can get anything done in the government offices without paying a cent as bribes for the sake of the great friendship....and for valuable recommendation.
Those are unbelievable friendship bonds...I must say.

Thanks for writing these kind of blogs....rather than politics.
Keep up your good work as usual.

==Adrian from Toronto==

Adrian C said...

Correction. ...

*my old memory lanes...

Sorry....buddy...

==Adrian

ISIS සංවිධානය ලංකාවේ කුමන්ත්‍රණයක් අරඹලා ?

                 මුස්ලිම් මීහරක් තරුණයෝ කීප දෙනෙක් පසුගිය දවස්වල හිංගල බහුජ්ජයන්ව අවුස්සගන්න විවිධ දේ කරා .එකක් තමා බුදුපිළිම වලට හ...