Skip to main content

ලෝකය හෙල්ලූ කාල් මාක්ස්






        

   කාල් මාක්ස් මෙලොවට පැමිණ  අදට  (2018 -05-05 ) අවුරුදු 200 ක් සම්පුර්ණ වේ .  මේ  ලිපියෙන් මාක්ස්වාදය  පිළිබඳව විග්‍රහයක් කිරීමට අපේක්ෂා නොකරන අතර ඔහුගේ ජීවිත  කතාව සංක්ෂිප ලෙස ලිවිම පමණක් මගේ අරමුණ වේ .මාක්ස්  කවුදැයි අපේ පාඨකයන්ට හඳුන්වා දීම මගේ යුතුකමක් ලෙස මා සලකමි .ධනවතෙකු වීමට අපමණ අවස්ථා සහ හැකියාව තිබු මාක්ස්  , එය මුළුමනින්ම  ප්‍රතික්ෂේප  කොට ඉතා දුක්ඛිත ජීවිත ගතකළ සහ ගත  කරන  ලොව පුරා වැඩකරන මිනිසුන්ගේ  ජීවිත සැපවත් කිරීම සඳහා නව මාවතක් ලොවට පෙන්වා දීමට  ඔහු  සිය ජීවිත  කාලයම  කැප කළේය 



      කාල් මාක්ස් උපන්නේ 1818 මැයි මස පස්වනදා ප්‍රසියාවේ ට්‍රියර් නගරයේ මධ්‍යම පාන්තික පවුලකය . ( ප්‍රසියාව යනු වත්මන්  ජර්මනිය සහ යුරෝපා රටවල් කීපයක කොටස් වලින් තනන  ලද  1932 දක්වා  පැවති රාජ්‍යයකි ) ඔහුගේ මව සහ පියා යුදෙව්වන් වුහ.  පියා වූ හෙන්රිච් මාර්ක්ස් බොහෝ දුරට නිරගමිකයෙකු වූ අතර වෘත්තියෙන්  නීතිඥයෙකු විය .ඔහුට අයත් මිදිවතුද  තිබිණ  .මව, හෙන්රියට් ප්‍රෙස්බුර්ග් නම්  නෙදර්ලන්ත යුදෙව්  කාන්තාවක් වූ අතර  ඇයද ධනවත් ව්‍යාපාරික  පවුලක සාමාජිකාවක් වුවාය .මාර්ක්ස්ට සහෝදර සහෝදරියන් 8 දෙනෙකු සිටි අතර වැඩිමහල් සොයුරා කුඩා කාලයේදී  මිය ගිය  බැවින් මාක්ස්  පවුලේ වැඩිමහල් පිරිමි දරුවා බවට  පත්විය  . කුඩා  කාලයේදී මාක්ස් නිවසේ සිට  අධ්‍යාපනය ලැබූ අතර  1830 දී ට්‍රියර් උසස්  පාසලට ඇතුලත් කරනු ලැබිණ .නිදහස් මත දරන ගුරුවරුන් බහුතරයකින් සමන්විතවූ එම  පාසැලට  ප්‍රසියානු බලධාරීන් විසින්  වරක් පොලිසිය  එවා එහි සිටි ගුරුවරුන් ගණනවක් ඉවත් කරනු  ලැබිය. 



මාර්ක්ස්ගේ වයස අවුරුදු 17 වූ කළ පියා ඔහු බොන් සරසවියට ඇතුළු කළේ  දර්ශනය සහ සාහිත්‍යය  ඉගනීමට මාර්ක්ස්  කැමතිවු බැවිණි. එහෙත්  නිතිය ඉගෙනගන්නා  ලෙස  පියා  ඔහුට බලපෑම් කළේ එය වඩාත්  පලදායි විෂයක් ලෙස ඔහු දුටු නිසාය . මාර්ක්ස් එහිදී කවියන්ගේ සංගමයේ  සහ  බෙබේලාගේ  සංගමයේ  සාමාජිකත්වය  ගත් අතර මුල් කාලයේ විෂයන් සඳහා  ඉහළ ලකුණු ලබා  ගත්තේය . නමුත් පහු  පහු වන්නට විෂයන් සඳහා අඩු ලකුණු  ලබා ගැනීම නිසා එම සරසවියෙන් ඉවත් කොට බර්ලින් විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට පියා වග බලාගත්තේය .



එහිදී නිතිය  ඉගෙනගත් ඔහු දර්ශනය ඉගැනිමටද උනන්දුවිය  දර්ශනය  ඉගෙනගන්නා සිසු  කණ්ඩායම් සමග එකතුව හෙගල්ගේ දර්ශනය පිළිබඳව අධ්‍යයනය  කළහ .හෙගල්ගේ දර්ශනයේ  පාරභෞතික උපකල්පනයන්  විවේචනය  කළ ඔවුහු  එහිවූ  ද්විඝටන ක්‍රමෝපාය පිළිගනිමින්  පවත්නා සමාජය , ආගම් සහ දේශපාලනය දෙස වාම වාම වාදී දෘෂ්ටියක් තුලින් බැලීමට පටන්ගත්හ .



මාක්ස්ගේ පෙම් කවි 


ලිවීමට  ප්‍රිය  කළ මාර්ක්ස් 1836-37 සමයේදී  නවකතා , නාට්‍ය සහ  කවි ලිවිය  .ඒ අතර  ඔහුගේ  පෙම්වතිය වූ ජෙනි වෙස්ට්ෆාලන්ට ලිවූ පෙම් කවි ද විය . ඔහුගේ දුවක් වූ ලෝරා ලෆාර්ග්ට  අනුව  ඔහු කාව්‍ය සංග්‍රහ දෙකක්ද  ගීත එකතුවක්ද   ලියා තිබුණු අතර  'මගේ සදාදරණිය ජෙනි ෆොන් වෙස්ට්ෆාලන් වෙත පිළිගන්වමි 'යනුවෙන් සටහන් කර තිබුණේය. එහෙත් එම කවි සහ ගීත නොගැඹුරු දේ  ලෙස මාර්ක්ස් ඉක්මනින් දුටු අතර ඒවා  යලි සිහිපත් වූ  අවස්ථාවලදී මවත් පියාත් කොක් හඬලා සිනහවූ  බව ලෝරා  කියයි.




Related image

               මාක්ස්ගේ බිරිඳ 


ප්‍රබන්ධ  ලිවිම ඉක්මනින්ම අතහැර දැමු  මාර්ක්ස් ඉංග්‍රීසි සහ ඉතාලි  භාෂා  ඉගනිමත්  කලා කෘතීන් හි ඉතිහාසය සහ ලතින් සම්භාව්‍ය කෘති හැදෑරීමත්  ආරම්භ කළේය . ජර්මන් දර්ශනවාදියෙකු සහ ඉතිහාසඥයෙකු වූ බෘනෝ බවර් සමග එකතුව හෙගල්ගේ කෘතියක්වූ ආගමේ දර්ශනය 1840 දී සංස්කරණය  කළේය . මේ අතර ඔහු සිය ආචාර්ය  උපාධිය සඳහා වූ නිබන්ධනය ද  පිළියෙළ කිරීම ඇරඹිය . ' ඩිමොක්‍රිටස්ගේ දර්ශනයේ සහ  එපිකියුරියස්ගේ දර්ශනය අතර වෙනස ' නම් වූ එම නිබන්ධනය බර්ලින් විශ්ව විද්‍යාලයට  ඉදිරිපත්  කළ විට එහි සිටි පැරණි මත ධාරී ආචාර්යවරු එය  පිළිගත්තේ නැත .එබැවින් මාර්ක්ස් එම නිබන්ධය පර්යේෂණ  කටයුතු පිලිබඳ සරසවියක්වූ ජෙනා විශ්ව විද්‍යාලයට එය  ඉදිරිපත් කළේය . එම සරසවිය 1841 දී  ඔහුට  ආචාර්ය උපාධිය  පිරිනැමුවේය .



 විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු  ලෙස  කටයුතු  කිරීමට මාර්ක්ස් අපේක්ෂා  කළද,  ප්‍රසියානු ආණ්ඩුව එයට ඉඩ දුන්නේ  නැත .එයට හේතුව  වුයේ ඔහු දරන  මතයන්ට ආණ්ඩුව  විරුද්ධ වීමයි  .මේ නිසා  කොලොන් නගරයට ගිය මාර්ක්ස් එහි තිබු රැඩිකල්  පුවත් පතකට ලිවීම ආරම්භ  කළේය මාර්ක්ස්ගේ  ලිපි ගැන අවධානය  යොමු කළ ආණ්ඩුව  එම පුවත්පත  ඉක්මනින්ම තහනම්  කර දැම්මේය .



 ලස්සනම  තරුණිය සමග  විවාහ වීම  


කාල් මාර්ක්ස් 1843 ජුනි 19 දින ළමා  කාලයේ සිට  හඳුනාගෙන සිටි පසුව ප්‍රේමවන්තිය  බවට  පත්වූ ජොහානා බර්තා ජුලී ජෙනි වොන් වෙස්ට්ෆාලන්  සමග  විවාහ විය . ට්‍රියර්   නගරයේ සිටි  ලස්සනම තරුණිය ඇය වූ බව කියනු ලැබේ.  මාක්ස්ට වඩා අවුරුදු 3 කින් වැඩි මහල්වූ ජෙනි ප්‍රසියාවේ ආණ්ඩුවට සම්බන්ධ  ප්‍රභූ   පවුලක තරුණියක් වුවාය . ඇගේ එක සහෝදරයෙක් 1850-58 සමයේ  ප්‍රසියානු ආණ්ඩුවේ අභ්‍යන්තර  කටයුතු ඇමති වරයා විය.  ජෙනි  ඇගේ  මරණය දක්වාම  මාර්ක්ස් ට දැඩි  ලෙස ආදරය  කල අතර  මාක්ස් ද එලෙසම ඇයට ආදරය කළේය .ගෙදර දොර  කටයුතු වලට  පමණක් සිමා  නොවූ ඇය ඔහුගේ දේශපාලන  කටයුතු වලටද පුර්ණ සහය දුන් අතර   ඔහු ලිවූ ලිපි සහ  ග්‍රන්ථවල අත් පිටපත්  වඩා පැහැදිලි අකුරෙන්  ලිවීමද  කළාය.



1843 දී ඔක්තෝම්බර් මාසයේදී මාක්ස්   සිය බිරිඳ සමග අල්ලපු රටවු  ප්‍රංශයට  ගියේ වාම විප්ලවකාරී  පුවත්පතක සම කර්තෘ ධුරය  භාරගැනිමටය එම පුවත්පතට  ඔහු ලිවූ  ලිපි අතර ' යුදෙව් ගැටලුව 'නමැති ලිපිය වැදගත් ලෙස සැලකෙන්නේ  'නිර්ධන  පන්තිය  විප්ලවකාරී  බලවේගයක්'  බව කීම සහ කොමියුනිස්ට්වාදය පිළිබඳව  පළමු වරට  අදහස් ඉදිරිපත් කිරීම  නිසාය .කෙසේ වෙතත්  පුවත්පතේ අනෙක් සම  කර්තෘ සමග ඇතිවූ මත  ගැටුමක් හේතුවෙන් පුවත් පත  පල කිරීම එතනින් නතර විය . එහෙත් මාක්ස් ලිවිම නතර කලේ නැත . එකල පැරිසියේ  සිට  පලකරන ලද 'ඉදිරිමග ' නමැති පුවත් පතට   ලියමින්  සමාජවාදය  පිළිබඳව සිය  මතය එය මගින් පතලකර හැරියේය .


අඹ  යාලුවා මුනගැසීම


කාල් මාක්ස්ගේ  මරණය දක්වා අඹ  යහළුවා  බවට  පත්වූ , ජර්මන් සමාජවාදියෙකු වූ  ෆෙඩ්රික් එංගල්ස් මාක්ස්ට පළමු වරට  මුණගැහුනේ පැරිසියේ තිබු සුප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාගාරයකදී 1844 අගෝස්තු 28 වනදාය . ඔහු විසින් ලියන ලද ' එංගලන්තයේ 1844  කම්කරු පන්තියේ තරාතිරම  ' (The Condition of Working Class in England in 1844) නමැති කෘතිය මාක්ස් ට පෙන්වීය. ඉතිහාසයේ සිදුවෙන අවසාන විප්ලවයේ මෙහෙයවන්නා  කම්කරු පන්තිය  බව එම ග්‍රන්ථය මාක්ස්ට ඒත්තු ගැන්වීය . වැඩි කල්යාමට  පෙර  මාක්ස් සහ එංගල්ස් එකතු වී ග්‍රන්ථයක් ප්‍රකාශයට   පත් කළහ ඒ ' ශුද්ධ  පවුල ' විය .මෙය හෙගල් අනුගාමිකයන් විවේචනය  කිරීම සඳහා  ලියන ලද්දකි .



Image result for frederick engels

                     ෆෙඩ්රික් එංගල්ස් 

    1843-45 සමයේ මාක්ස්, ඇඩම් ස්මිත් ,ඩේවිඩ් රිකාඩෝ ,ජේම්ස් මිල්ස් ආදීන්ගේ කෘතින්ද,  ප්‍රංශ මනෝ රාජික සමාජවාදීන්ගේ කෘතින්ද ,ප්‍රංශ ඉතිහාසයද හැදෑරුවේය.   ඔහු කරන  ලද මෙම හැදැරීම් ද,  ධනේශ්වර ආර්ථිකය  ක්‍රියාත්මක වන ආකාරය  පිළිබඳව  තියුණු  ලෙස අධ්‍යයනය කිරීම නිසාද  මාර්ක්ස්වාදය   නමින් අප හඳුන්වන  දැක්ම   කරා   පැමිණීමට ඔහුට ආධාර විය .  මාක්ස්වාදයේ උල්පත්  ලෙස සැලකෙන්නේ හෙගල්ගේ ද්විඝටනාත්මක  භෞතිකවාදය , ප්‍රංශ සමාජවාදය සහ ඉංග්‍රීසින්ගේ  ආර්ථික විද්‍යාවයි .



1845 දී  ප්‍රංශය අතහැර  බ්‍රසල්ස්  නගරයට  යාමට  මාක්ස්ට සිදුවිය එයට හේතුව වුයේ  ප්‍රන්සයේ  සිට  ඔහු  පලකළ 'ඉදිරිමග ' පත්තරය  නතර  කරන ලෙස ප්‍රසියාවේ රජු ප්‍රංශයෙන් ඉල්ලීම අනුව පුවත් පත තහනම් කිරීමත්  ඔහු ප්‍රංශයෙන් නෙරපා  හැරීමට ප්‍රංශ ආණ්ඩුව  තීරණය  කිරීමත්ය. බෙල්ජියම් ආණ්ඩුව  ඔහුට බ්‍රසල්ස් නගරයේ නැවතීමට  ඉඩ දුන්නේ සමකාලින  දේශපාලනය පිළිබඳව  කිසිවක්  නොලියන්නේ  යයි මාක්ස් පොරොන්දු කරගෙනය .


බ්‍රසල්ස් හි වසන අතර  තුර එංගල්ස්ද එහි පැමිණියේය .ඉන්පසු දෙදෙනාම එකතුව  එංගලන්තයට චාරිකාවක්  ගියේ එකල එහි  පැවතී චාර්ටිස්ට්  ව්‍යාපාරය හැදෑරීමටත් එහි නායකයන් හමුවීමටත්ය මාක්ස් ඒ අතර  ලන්ඩනයේ සහ මැන්චෙස්ටර් නගරයේ  පුස්තකාලවල ට  ගොස් වැඩි දුර අධ්‍යයන  කටයුතු කිරීම සඳහා සම්පත් තිබේදැයි සොයා  බැලුවේය .


එංගල්ස් සහ මාක්ස් එකතුව  බ්‍රසල්හිදී  ' ජර්මානු  මතවාදය ' ( German ideology) නමින් ග්‍රන්ථයක් නිකුත් කළහ .  අයිතිහාසික  භෞතිකවාදය   ගැන  ලියවුන  එය  පළකරන්නට  බලධාරීන්ගෙන් අවසර  ලැබුනේ නැත. එය මුද්‍රණය  කර ප්‍රසිද්ධ  කරන  ලද්දේ  මාක්ස් මියගොස් වසර 44  කට පසුවය .


ඉන්පසු මාක්ස්  ලිවේ  දර්ශනයේ දුගීභාවය (The Poverty of Philosophy )   නම් ග්‍රන්ථයයි . .ඔහු එම නම යොදාගත්තේ  බලධාරීන්ගේ  කතුරට අසු වීම වලක්වා  ගන්නටය. ඇත්තටම එම ග්‍රන්ථය මගින් ඔහු ඉදිරිපත් කළේ විප්ලවාදී නිර්ධනපන්ති ව්‍යාපාරයකට තිබිය  යුතු න්‍යාය සහ  උපක්‍රම ය .





 කොමියුනිස්ට් ප්‍රකාශයේ  පළමු  ජර්මන් මුද්‍රණය


      ලොව   පුරා මාක්ස්වාදීන්ගේ අත් පොත බවට පත්වූ  සුප්‍රසිද්ධ  'කොමියුනිස්ට් ප්‍රකාශනය  මාක්ස් සහ එංගල්ස් එකතුව  ලියා 1848 දී  ප්‍රකාශයට  පත් කළහ  .ඔවුන් එම ලියවිල්ල ලියන ලැබුවේ යුරෝපයේ විප්ලවදින්ගෙන් සමන්විතවූ  කොමියුනිස්ට් සංගමයේ  ඉල්ලීම අනුවය .


බෙල්ජියමෙන් පන්නා දැමීම 


1848 වසරේදී  යුරෝපයේ බොහෝ රටවල ආණ්ඩු විරෝධී කැරලි ඇතිවිය.  මාක්ස්  මෙම කැරලි සඳහා සහාය  ප්‍රකාශ  කල අතර බෙල්ජියමේ කැරලිකරුවන්ට ආයුධ  මිලදී  ගැනීමට  මාක්ස් ආධාර  කලේ  යයි බෙල්ජියන් ආණ්ඩුව මාක්ස්ට චෝදනා  කොට බෙල්ජියමෙන්  පන්නා  දැමුවේය . 1848 කැරැල්ලක්  මගින්  ප්‍රංශයේ රාජාණ්ඩුව  පෙරලා  දමා සමුහාණ්ඩුවක් බලයට පැමිණි තිබු බැවින් බෙල්ජියමෙන්  පන්න දැමු විට  ඔහු ආවේ ප්‍රංශයටය .




මේ වන විට  ප්‍රසියාවේ පාර්ලිමෙන්තුවක් පත්වී  තිබුණෙන්  එහි ගොස් ' ජර්මානු  කමකරුවන්ගේ  සංගමය '  නමින් සංවිධානයක් පිහිටුවා දේශපාලන  කටයුතු ආරම්භ  කළ අතර පුවත් පතක් මුද්‍රණය  කොට බෙදා  හැරියේය . එහෙත් වැඩි කලක්  ඔහුට දේශපාලන  කටයුතු කිරීමට  ඔහුට  ඉඩ  ලැබුනේ නැත . ප්‍රසියාවේ රජු පාර්ලිමේන්තුවේ බලය අහිමි කොට  නව ආණ්ඩුවක් පිහිටුවා විප්ලව කරුවන්  මර්දනය  කළ අතර  මාර්ක් ට රටින් පිටවන  ලෙස  නියෝග  කළේය .ඔහු ආපසු පැරිසියට පැමිණි  විට ප්‍රතිගාමී  පාලනයක් එහි යලි බලය අත්  කර ගෙන තිබුණු  බැවින් ඔහු පැරිසියෙන්  පිටුවහල්  කරනු ලැබුවේය  එබැවින් ඔහු සිය බිරිඳ සහ දරුවන් සමග ලංඩනයට 1849  පැමිණි අතර එතැන් පටන් මරණය දක්වාම සිය බිරිඳ සහ දරුවන් සමග ජීවත් වුයේ  ලන්ඩනයේය .


ලංඩනයේ පදිංචිවීම 


මාක්ස් ලන්ඩනයට  පැමිණි පසු කොමියුනිස්ට් සංගමයේ මුලස්ථානය ද එහි ගෙන අතර ටික දිනකට  පසු එහි බෙදීමක  ලකුණු පහල විය.  කොමියුනිස්ට් සංගමය වහාම  කැරැල්ලක් ඇරඹිය  යුතු බවත් එවිට  යුරෝපය  පුරා අනායාසයෙන්ම  කැරලි ඇතිවෙනු ඇති බවත්  කොමියුනිස්ට් සංගමයේ  පිරිසක්  කිහ .මාක්ස් සහ එංගල්ස් එය අතිධාවනකාරී ක්‍රියාවක්  බව   කි අතර  එය  කොමියුනිස්ට් සංගමය කරන දිවි නසා  ගැනීමක් බව   කියා සිටියහ . අධිෂ්ඨාන සහගත  අතලොස්සක් දෙනෙකුට එක රාත්‍රියකින් සමාජයේ වෙනස්කම් ඇති කළ  නොහැකි බව  මාක්ස් කිය. (ලංකාවේ  71  කැරැල්ල සමග සඳහා  බලන්න .) සමාජයේ  වෙනස්කම් කළ හැක්කේ  සමාජ සංවර්ධනයේ  විවිධ අවස්ථා  පසුකරමින් විප්ලවය  දෙසට  ගමන් කිරීමෙන්  බව  මාක්ස් සහ එංගල්ස්  කිහ .

මේ අවස්ථාවේදී   කොමියුනිස්ට් සංගමය  කළ යුත්තේ  නැගී එන ධනේශ්වර  පංතියේ  ප්‍රගතිශීලි  කොටස් සමග එකතුව රදළ  ප්‍රභූ පංතියට එරෙහිව සටන් කරන  ලෙස  කම්කරු පන්තිය ධයිර්යමත් කිරීම  බවත්  රදළ පාලකයන් වෙනුවට මහජන චන්දයෙන්  තෝරාගනු ලබන නියෝජිතයන්ගේ  ව්‍යවස්ථාපිත පාලනයන් පිහිටවන ලෙස  උද්ඝෝෂණය  කිරීම  බවත් මාක්ස්ගේ කණ්ඩායම කියා සිටියහ . දීර්ඝ  මතවාදී අරගලයක  යෙදීමෙන් අනතුරුව  මාක්ස් ඇතුළු කණ්ඩායමේ මතය  ජයගත් අතර  අනෙක් මතය  ඉදිරිපත් කළ  පිරිස කොමියුනිස්ට් සංගමයෙන්  ඉවත්ව  යන්නට  ගියහ .





මේ අතර මාක්ස් පවුල  ජීවත්වුයේ අධික  දරිද්‍රතාවය  මධ්‍යයේය  ඔහුට දරුවන් 7 දෙනෙකු සිටි නමුත් ඉන් හතර දෙනෙකුම  මියගියේ  ඔවුන් ගතකළ දුක්බර   ජීවිතය  හේතු කොටගෙනය . මේ නිසා තම පවුලේ අය ජීවත් කරවීම සඳහා  මාක්ස් ඇමරිකාවේ සහ  යුරෝපයේ   පුවත් පත්වලට  ලිපි  ලියා  කිසියම් ආදායමක් සෙවීම  ආරම්භ කළේය  1850 සිට 1862  දක්වා  මාක්ස් සැලකිය  යුතු  කාලයක් යෙදෙව්වේ   ඒ සඳහාය.

  ප්‍රාග්ධනය  පළකිරීම



ඒ  අතර  තුර මාක්ස් බ්‍රිතාන්‍ය  කෞතුකාගාරයට  ගොස් එහි තිබු පොත් පත් සහ ලියවිලි අවුරුදු 7 කට අධික  කාලයක් තිස්සේ  කියවමින්  ධනවාදය පිළබඳව  හැදෑරුවේය මාක්ස් විසින් ලියන  ලද වෙළුම් තුනකින්  යුතු ප්‍රාග් ධනය සහ අතිරික්ත ශ්‍රමයේ  න්‍යායන් නමැති ග්‍රන්ථ  ඔහු විසින් ධනවාදය  සම්බන්ධයෙන් කරන ලද  පර්යේෂණයන්ගේ  ප්‍රතිඵලය විය . එම ග්‍රන්ථ මාක්ස්ගේ පර්යේෂණයන්ගේ අග්‍ර ඵලය ලෙස සලකනු ලැබේ .කෙසේ වෙතත් ප්‍රාග්ධනය නමැති කෘතියේ දෙවෙනි සහ  තුන්වන වෙළුම්  ප්‍රකාශයට  පත් කරනු ලැබුවේ මාක්ස්ගේ  මරණයෙන් පසු එංගල්ස් විසිනි .



Image result for das kapital

පළමු  ජාත්‍යන්තරය පිහිටුවීම 


1864 මාක්ස් වැදගත් වැඩකට අතගැසුවේය. ඒ  පළවෙනි   ජාත්‍යන්තරය  පිහිටුවීමය.  එහි අරමුණ වුයේ  ලොව  පුරා සිටින විවිධ වාම  මත දරන්නන්  සහ  කම්කරු සංගම්  ඒකාබද්ධ  කිරීමය . මෙම සංවිධානයේ දීප්තිමත්ම  අවධියේ  සාමාජිකයන්  ලක්ෂ 80  දක්වා එය වර්ධනය විය.  1872 දී මෙම සංවිධානය  කොමියුනිට්වාදීන් සහ අරාජිකවාදීන් ලෙස දෙකට කැඩුණු අතර 1876 දී පළමු ජාත්‍යන්තරය විසුරුවා  හරිනු ලැබිය .



මාක්ස්ගේ අභාවය  


1877 වන විට  මාක්ස්  තදබල ලෙස අසනීප වන්නට  විය. 1849 සිටම අක්මාවේ ආබාධයකින්  පෙළුණු නමුත් විවේක  නොමැතිව නිදිමරමින්  වැඩ කිරීමත්, මුදල් නොමැති කම නිසා  බාල වර්ගයේ සුරුට්ටු  බිමත්,  නුසුදුසු ආහාර   ගැනීමත්  ,මත්පැන්  පානය නිසාත් මාක්ස්ගේ සෞඛ්‍ය  තත්වය දිගින් දිගටම  පිරිහුනේය .  ඔහුගේ බිරිඳ ජෙනි 1881 දෙසැම්බරයේදී මියයාම  අසනීපයෙන් සිටි මාක්ස්  තදබල කම්පනයකට  පත් කළේය . මේ  නිසා  ඔහු පෙළෙමින් සිටි අසනීප   තව තවත්  උග්‍රවූ අතර පෙනහැලි රෝගයක්ද වැලදුනේය. ඉන්පසු පීනස් රෝගයක්ද  ඔහුට  වැළඳුනු අතර  1883 මාර්තු මස 14 වන දින පස්වරු 2.45 ට මාක්ස්  සිය නිවසේදී අවසන්  හෙලුවේය . ඔහු මියයන විට වයස අවුරුදු  64 ක් විය . මාර්තු 17 වනදා ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේදී දුසිමකටත් අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් මාක්ස්ගේ දෙන භූමදානය  කරනු ලැබිය .



Image result for tomb of karl marx

මාක්ස්ගේ මරණයෙන් පසු  ඔහු ඉදිරිපත් කළ  මග  මාක්ස්වාදය ලෙස ලොව පුරා  ප්‍රචලිත විය . පසු  කාලයේ ඔහුගේ ලියවිලි සහ ග්‍රන්ථ  ලෝකයේ භාෂා දහස්  ගණනකට පරිවර්තය  කරනු ලැබූ අතර ඒවායේ පිටපත් කෝටි ගණනක් වූ බවට සැකයක් නැත .ඔහුගේ  මග අනුගමනය   ලක්ෂ  ගණනක්  මිනිසුන් විසින් ධනවාදය  පෙරලා  දමා සමාජවාදය නමින් නව  සමාජක්‍රමයක්  රටවල්  ගණනාවක   බිහි කළහ .


සෝවියට් දේශය ඇතුළු රටවල් ගණනාවක සමාජවාදය අසාර්ථක වී  නැවතත්  ධනවාදී මාවතට  පැමිණීම නිසා මාක්ස්වාදයේ වලංගු භාවය පිළිබඳව  බොහෝ දෙනා විසින් අද ප්‍රශ්න  කරනු ලැබේ ..එහෙත් ධනවාදය කඩා වැටෙමින් තිබෙන  බව  කියන  මාක්ස් වාදීන් පවතින ආර්ථික සහ සමාජ  ප්‍රශ්න වලට  මාක්ස්  හඳුන්වා දුන්  මාවත  හැර වෙනත්  විකල්ප මාවතක්  නැති  බව කියති .


මාක්ස් මියගොස් අවුරුදු 200 ක් ගතවුවද ලොව පුරා සිටින  ලක්ෂ  ගණනක් වූ මාක්ස්වාදීන් තුළ කාල් මාක්ස් තවමත්  ජීවත්වේ .


Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...