
සුගන්ධිකා ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින් ජනප්‍රිය චරිතයක් වී තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව පෙනේ. අධිකරණ ශේෂ්ත්‍රය කොතරම් කුණු වී තිබේ දැයි ඇය හෙළි කිරීම නිසා බොහෝ නීතිඥයන් ඇය සමග උරණ වී තිබේ . ඔවුන්ට සුගන්ධිකා අප්පිරිය වී තිබෙන්නේ ඇය බොරු කීම නිසා නොවේ. ඇත්ත කීම නිසාය . ඇත්ත හෙළි කිරීමෙන් උසාවියේ හංගාගෙන තිබෙන ඇට සැකිලි දැක අධිකරණය කෙරෙහි තිබෙන ගෞරවය මිනිසුන් තුළින් අහෝසි වී යතැයි මෙන්ම නීතිඥ යන් යනු ඩ්රැකියුලාගේ පරම්පරාවෙන් පැවත එන්නන් බවට සැකපහල කරනු ඇතැයි ද බියට පත්වූ බොහෝ නීතිඥයෝ ඇයට දෙස් දෙවොල් කියන්නට පටන්ගෙන තිබේ.
සුගන්ධිකාට පෙර අධිකරණයේ නොපණත් කම් වලට එරෙහිව මෑත කාලයේ සටනට බැස්සේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාය . මේ නිසා නීතිඥ සංගමය මෙන්ම ඇතැම් අධිකරණ නිලධාරීන් ඔහු දෙස බලන්නේ සතුරෙකු ලෙස බව පෙනේ. සුගන්ධිකා මහත්මිය ආපසු එතෙර නොගොස් ලංකාවේ නතරවී සටන දිගට ගෙනියන්නේ නම නාගානන්ද මහතාටද නව පණක් ගෙන සටන ඉදිරියට ගෙන යාමට ශක්තියක් වනු ඇත .
අධිකරණයේ ඇතැමෙකුගේ කැත වැඩ පළමු වරට සමාජයට හෙළි කළේ වික්ටර් අයිවන් මහතා යයි මා සිතමි . දසක දෙකකට පමණ පෙර ඔහු විසින් දිගින් දිගටම රාවය පත්තරය මගින් හෙළිදරව් ගණනාවක් කළත් කැත වැඩ කළ අයට සිදුවූ දෙයක් නැති තරම්ය.
මා මේ ලිපියෙන් කියන්නට යන්නේ විනිසුරුවන් ගැන නොවේ. ඔවුහු තිරය පසුපස සිට කරන දේවල් මා දන්නේ නැත .කෙසේ වෙතත් ඔවුන් හා ඇසුරක් තිබෙන්නේ නම් නඩු තීන්දු තමන්ට උවමනා පරිදි වෙනස් කරගත හැකි බව පසු ගිය කාලයේ ඇසුණු කතා වලින් පැහැදිලිය . සරත් එන් සිල්වා මහතා විසින්ම එය ඔප්පු කළේ සුනාමි ගැහිල්ලට මහින්දව හිරේ යැවීමට පුළුවන් කම තිබුනද තමා එසේ නොකළ බව කිමෙන්ය . හිටපු අග විනිසුරු මොහාන් පීරිස් තමා හමුවට ඇවිත් රැකියාවෙන් ඉවත් නොකරන්නේ නම් ආණ්ඩුවට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබා දිය හැකි බව කිවේයයි කිවේ වත්මන් ජනාධිපතිවරයාමය . ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවේදී කැකිල්ලේ නඩු තීන්දුවක් දී ගෙදර යැව්වේ රාජපක්ෂ මහතාට උවමනා පරිදි නඩු තීන්දු ලිවීමට පසු කාලයේ ඇය අකමැති වූ නිසා බව ප්‍රසිද්ධ කරුණකි .හෝමාගම දිස්ත්‍රික් විනිසුරුවූ සුනිල් අබේසිංහ ඉඩම් නඩු තීන්දුවක් වාසි වන ආකාරයට ලබා දීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ලබා ගැනීමේදී අසුවිම නිසා වැඩ තහනම් කරනු ලැබිණ.මේ විනිසුරුවන්ගේ කැත වැඩ ගැන ලියවී තිබෙන තොම්බුවෙන් කීපයක් පමණි .

Comments