
බ්‍රිගේඩියර්ගේ බෙලි කැපීමේ අභිරුප රංගනය නිසා ප්‍රීති ප්‍රමෝදයට පත් අය ඔහුගේ වැඩ තහනමට එරෙහිව කඩු කිනිසි අතට ගත්තෝය . චන්ද හිඟයෙන් පෙලෙන ජනාධිපතිවරයාද වහා කඩුව ගෙන විදේශ ඇමති මාරපනට කඩු පාරක් ඇන බ්‍රිගේඩියර්ට යලි ජොබ් එක දී චන්ද ටිකක් එකතු කර ගත්තේය. කොටි ඩයස්පෝරාවට ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කොට ලබා ගැනීමටවත් නොහැකි හමුදාවට එරෙහි ප්‍රචාරයක් බ්‍රිගේඩියර්ගේ අභිරුපන රංගනය නොමිලයේම ලබා දුන්නේය .
ආණ්ඩුවක් බ්‍රිගේඩියර් වරයෙකු තානාපති කාර්යාලයකට පත් කරන්නේ අභිරුපන රංගන කරන්නට නොව ලංකාණ්ඩුව එම තානාපති කාර්යාලය පිහිටි රට සමග කරන ආයුධ මිලදීගැනීම ආදී මිලිටරි කටයුතුවලදී වැදගත් වැඩ කොටසක් ඉටු කරවා ගැනීමටය .එහෙත් තමන්ට පැවරී තිබෙන වැදගත් කාර්යය අමතක කොට 2.50 වැඩ කරන්නට යාම කණගාටු දායකය . 2.50 වැඩ කරගන්නට නම් යැවිය යුත්තේ බ්‍රිගේඩියර් වරයෙකු නොව ඌවේ මහා ඇමතියා වැනි ගොබ්බයන්ය .
බෙල්ල කපා මිනිසුන් මරණ හැටි යුද්ධයට යන සියල්ලන්ටම වාගේ පුහුණු කර තිබෙනවාට සැකයක් නැත . එය හමුදාවද කොටි සංවිධානයද කියා වෙනසක් නැත. ඒ පිළිබඳව මා අසා ඇති කාරණා කීපයක් මෙසේය .
කොටි සංවිධානය කටුනායක ගුවන් තොටුපොළට පහර දීම සඳහා කළ මෙහෙයුමෙදී ඔවුන් එය දියත් කළේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ කොටසක් අල්ලාගෙන එහි සිටය. රහසිගතව ගුවන් හමුදා කඳවුරට ඇතුළුවූ කොටි පමුවෙන්ම කළේ මුරට සිටි ගුවන් භටයකුගේ බෙල්ල කපා මරා දැමීමය .
2000 වසරේ කුප්‍රකට මිරුසුවිල් ඝාතනය හෙවත් අවුරුදු 5 ළමයෙකු ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙකු මරා දමා තිබුනේද බෙලි කපා ය එය හෙළි වුයේ හමුදා කණ්ඩායමක් විසින් අල්ලගෙන මරාදැමීමට යාමේදී එක අයකු පැනගොස් ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරව රතු කුරුසය මැදිහත්වීම නිසාය .අවුරුදු 13 ක් තිස්සේ නඩු අසා හමුදාවේ මාණ්ඩලික සාජන්ට් වරයෙකු වූ සුනිල් රත්නායකට මරණ දඬුවම නියම කරනු ලැබීය .චෝදනා ලැබූ අනෙකුත් හමුදා භටයන් නිදහස් කරනු ලැබීය .

බෙලි කපා මර දැමීම පළමුවරට මා ඇසුවේ 1988-89 සමයේය අල්ලාගත් ජවිපෙ තරුණයන්ගේ බෙලි කපා මරා දමා ගංගාවලට විසි කර දැමුණු බව මිනිසුන් කිහ .ඒ සඳහා විශේෂ පකිස්තාන් පිහිවර්ගයක් හමුදාව සතුව තිබු බවට ප්‍රචාරය විය . යාන්ත්‍රික පකිස්තාන් පිහි බෙල්ල අසලට තබා බොත්තමක් එබූ විට බෙල්ල හනික කැපී වෙන් වන බව ඇතැමෙකු කිහ .
ISIS සංවිධානය බෙලි කැපුවේද යාන්ත්‍රික පිහිවලිනි
W3 Lanka බ්ලොගය ලියන අජිත් පැරකුම් 87-89 සමයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ අතර හමුදාව විසින් ඔහු වසර දෙකකට වඩා කාලයක් හමුදා හිර කඳවුරු දෙක තුනක රඳවා ගෙන සිටියේය . දිනක් හමුදා භටයෙකු කඳවුරේ සිටි ජවිපෙ සැකකරුවෙකුගේ බෙල්ල කපා වැටෙන් එපිටට විසි කොට එය ආපහු රැගෙන එන ලෙස ඔහුට නියෝග කල බව අජිත් තම බ්ලොගයේ ලිවූ ලිපියක සඳහන් කර තිබුනේය.

Comments