Skip to main content
මහින්දගේ කතාව සහ චන්ද්‍රිකාගේ කතාව
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විරුද්ධ කාරයෝ රැසකි. මහින්ද ඇයට කැමති නැත.වීරවංස කැමති නැත. ගම්මන්පිල කැමති නැත.හෙළ උරුමය කැමති නැත ජවිපෙ කැමති නැත. පැවිදි හඬ කැමති නැත.නලින්ද සිල්වලා කැමති නැත. ප්‍රභාකරන් කැමති වුවේද නැත.
වරක් මට ඇය හමුවිය . ඒ ජනාධිපති මන්දිරයේදීය. අධ්‍යාපන ප්‍රශ්න පිළිබඳව සාකච්චා කිරීම සඳහා ගුරුසංගම් වලට පැමිණෙන්නැයි ඇය ආරාධනාවක් ඒවා තිබිණ. අපට එන්නට කියා තිබුනේ දහයටය.අපි නියමිත වෙලාවට ගිය නමුත් ඇය අපි හමුවීමට ආවේ හවස එකත් පහු වෙලාය. ඇය එන තුරු බල සිටි අතරවාරයේ එරික් සෝල්හයිම් උඩ තට්ටුවේ සිට පහලට බහිනු දකින්නටද ලැබිණ. ජනාධිපති මන්දිරයේ රස්තියාදු වෙමින් සිටින අතර තුර අපට ෂෝර්ට් ඊට් සංග්‍රහයක් ලැබුණි. යන්තමින් නොවේ. අප්පිරිය වෙන්නට තරම් කන්නටය. අන්තිමට චන්ද්‍රිකා ආවේය. රුපවාහිනි කැමරා අරගෙන ඇගේ මාධ්‍ය අංශයද ආ නමුත් චන්ද්‍රිකා ඔවුන් හරවා යැව්වාය.
ගුරු සංගම් රැසකට ආරාධනා කර තිබු නිසා සියලුම සංගම් වලට කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාවක් නොලැබෙන බව පෙනී ගිය බැවින් දෙතුන් දෙනෙකු කරුණු දැක්වීමෙන් පසු තවත් අයෙකුට කට අරින්නට පෙර මා ගෙන ගිය ගැටළු ඇය ඉදිරියේ දිග ඇරියෙමි. දකුණේ ගුරුවරුන්ගේ මෙන්ම උතුරේ ගුරුවරුන්ගේ ප්‍රශ්නද මා ලංකා ගුරු සංගමය වෙනුවෙන් ඉදිරිපත් කළෙමි.දෙමල ගුරු සංගමය පැමිණ සිටි නමුත් ඔවුන් ප්‍රස්න දෙක තුනක් ඉදිරිපත් කර නිහඬ විය.( පසුවදා දෙමළ පත්තර වලට ඔවුන් කියා තිබුනේ මා ඉදීරිපත් කළ දෙමල ගුරුවරුන්ගේ ප්‍රශ්න ඔවුන් ඉදිරිපත් කළ ලෙසය.) මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිද ඇවිත් තිබු නමුත් වචනයක්වත් කතා කලේ නැත. පැයකට පසු චන්ද්‍රිකා සාකච්චාව අවසන් කොට යාමට නැගිටි විට කුඩා ගුරු සංගමයක් නියෝජනය කළ තරුණ පහේ ගුරුවරයෙක් ආවේග ශීලීව ඇයට බැන වදින්නට විය. හිටගෙනම එම බැනීමට සවන් දුන් ඇය යලිත් සාකච්චාවක් දෙන බව කියමින් ආපසු ගියාය. ෂෝර්ට් ඊට් මේසය වෙත ගිය අපි නැවත වරක් සප්පායම් වී ආපසු ආවෙමු.
මේ ලිපියේ පටන් ගැනීමේදී මා සඳහන් කළ පිරිස් චන්ද්‍රිකාට අකමැති වෙනත් කිසි හේතුවක් නිසා නොව උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදා හරින්නට ඇය කැමති වූ නිසාය. 2002 වසරේදී ඇය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කල අතර ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු භාෂාමය , බහු ආගමික එක්සත් රටක් ලෙස එහි සඳහා කර තිබිණ. පළාත් සභා සඳහා (Regional Councils) වැඩි බල තල ලබා දීමට ද යෝජනා කර තිබු අතර ජනාධිපති ධුරය අවසන් කිරීමටද ප්‍රතිපාදනද එහි තිබිණ. කෙටියෙන් කියතොත් ඇගේ යෝජිත ව්‍යවස්ථාව පැවති ව්‍යවස්ථාව මෙන් සිය ගුණයක් යහපත් විය . එහෙත් එය සම්මත කරන්නට UNP ඉඩ දුන්නේ නැත. එයට හේතුව වුයේ ජනාධිපති ධුරය වහාම අහෝසි නොකොට ඇගේ ධුර කාලය අවසන් වීමෙන් පසු අවසන් වෙන අයුරින් ව්‍යවස්ථාව ලියා තිබුණු නිසාය. චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට පැමිණ එය ඉදිරිපත් කල අතර UNP මන්ත්‍රීවරු එම ව්‍යවස්තාවේ පිටපත් ඉරමින් කැකෝ ගසමින් විරෝධය දැක්වූ අතර ව්‍යවස්ථාව එතනින් අවසන් ගමන් ගියේය.

චන්ද්‍රිකා උතුරට වැඩි බලතල දීමට සුදානම් වීම ගැන දකුණේ 'ඒකීය ' වාදීන් විරුද්ධ වුවා සේම LTTE සංවිධානය කැමති වුයේද නැත.බලය බෙදීමෙන් රට බෙදෙනු ඇතැයි 'ඒකීය වාදීන් ඝෝරනාඩු කළ අතර උතුරට වැඩි බලතල දීමෙන් ඊලාම් රාජ්‍යය පිහිට වීමේ අපේක්ෂාව අහෝසි වී යන බව ප්‍රභාකරන් අවබෝධ කර ගත්තේය. ඊලමට බාධාවක් වූ චන්ද්‍රිකා මරන්නට මරාගෙන මැරෙන කෝටි කෙල්ලෙක් ප්‍රභාකරන් එව්වේ ඒ නිසාය. බෝම්බය පිපිරෙව්වත් ඇසක් පමණක් අහිමි වී ඇයට ජීවිතය බේරා ගැනීමට හැකි විය. ඇය හා එක්වී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මහත් සහයක් දුන් උගතෙකු වූ ද මන්ත්‍රීවරයෙකු වුද නීලම් තිරුචෙල්වම් කොටි විසින් මරා දමනු ලැබිණ. එහෙත් බලය බෙදීමට විරුද්ධවූ කිසිවෙකුගේ මයිල් ගසකටවත් හානි නොකිරීමට ප්‍රභාකරන් වග බලා ගත්තේය.

චන්ද්‍රිකා දේශපාලනයෙන් හරි හම්බු කර ගත් ගැහැනියක් යැයි මා නොසිතමි.එසේ වුවා නම් මහින්ද පස්ස බලන්නේ ඇය එල්ලාය . මහින්දගේ ජාති වාදී ස්ථාවරයට චන්ද්‍රිකා අකමැති වීම නිසා ඇය බලයේ සිටින කාලයේ ඔහු සමග සිටියේ නොහොඳ නෝක්කාඩු කමිනි. දැන් මහින්ද සමග සිටින අය එදා චන්ද්‍රිකාගේ දෙපා ලෙව කැ අය වෙති. ජාතිවාදී මඩ ගොහොරුවෙන් ශ්‍රීලනිපය ගොඩ ගැනීමටද මහත් වෙහෙසක් දැරූ ඇය බලය බෙදා හැරීමෙන් රට බෙදීම වැළක්විය හැකි බව පාක්ෂිකයනට අවබෝධ කිරීම සඳහා වැඩ මුළු රැසක් රට පුරා සංවිධානය කළ අතර එම වැඩ මුළුවලදී බලය බෙදීමේ ආනිසංස ගැන මහා ඉහලින් කතා කළේ ජී එල් පීරිස්ය. පන තියෙන තුරු ශ්‍රීලනිපයේ සභාපති ලෙස ඉන්නා ලෙස චන්ද්‍රිකාට යෝජනා කළේ අද චන්ද්‍රිකාව හම ගහන ශ්‍රී ලංකා කාරයෝමය.
මහින්ද බලයට පැමිණි විගස චන්ද්‍රිකා වටේ කරකැවෙමින් සිටි ශ්‍රී ලංකා ලොක්කෝ මහින්දගේ දෙපා ලෙව කන්නට පටන් ගත් අතර මහින්ද ,ඇගෙන් පලි ගැනීමේ ව්‍යාපෘතිය වහාම දියත් කළේය.. ඇගේ ආරක්ෂාව අඩු කොට කොටින්ගේ ගොදුරක් වීමට මග පෑදුවේය. එන පොට හොඳ නැති බව වටහා ගත් චන්ද්‍රිකා රටින් පිටවී ගිය අතර කොටින්ගේ ගොදුරක් නොවී ඇයට ජීවිතය යලි බේරා ගැනීමට හැකි වුයේ ඒ නිසාය..
චන්ද්‍රිකා දුර්වල කම් නැති ගැහැනියක් නොවේ. කුණුහරුප අසන්නට ඇයට ශක්තියක් නොතිබුණි.මහින්ද ජනාධ්පති වූ පසු එක හුස්මට විනාඩි 20ක් ඇයට කුණුහරුපයෙන් බැන්නේ ඇගේ මේ දුර්වල කම් දන්නා නිසා විය යුතුය. 2001 මහා මැතිවරණයෙන් UNP බලයට පැමිණි ආණ්ඩුවක් පිහිටවූ විට ඇයට සිදු වුයේ UNP ඇමති මණ්ඩල රැස්වීම් වල මුලාසනය දරන්නටය. ඇමති මණ්ඩල රැස්වීම් වලදී ඇතැම් UNP ඇමතිවරු ඇයට තිත්ත කුණු හරුපයෙන් බැන වැදුණු බවත් රැස්වීම් අවසන් කොට නිවසට ගිය පසු තනිවම හඩා වැළපුණු බවත් මගේ මිත්‍රයෙකුට ඇය මෑත කාලයේ කියා තිබුණි.
මා චන්ද්‍රිකා හැඳිනුවද මා වැන්නෙක් සිටින බවක්වත් ඇය දන්නේ නැත. ඉකුත් ජනාධිපති වරණයට අවුරුද්දක් තියා චන්ද්‍රිකාව ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්දට එරෙහිව ඉදිරිපත් කළ යුතු බව සඳහන් කරමින් පුංචි පහේ කැම්පේන් එකක් ද මා ආරම්භ කලෙමි. Colombo Telegraph පත්තරයටද ලිපි කීපයක් ලියමින් පොදු අපේක්ෂයකයා ලෙස ඇය ජනාධිපති වරණයට ඉදිරිපත් කළ යුතු බව සඳහන් කළෙමි. මහාචාර්ය කුමාර් ඩේවිඩ් කැම්පේන් කළේ සෝභිත හිමියන්ටය. මහින්දව යලිත් දිනවන්නට උවමනාව තිබු ආචාර්ය දයාන් ජයතිලක ජ විපෙ නායක අනුර කුමාරව පොදු අපේක්ෂකයා ලෙස ඉදීරිපත් කළ යුතු බව කියමින් Colombo Telegraph පත්තරයටත් තවත් පත්තරවලටත් ලීයමින් මහින්ද විරෝධීන්ට ලනු කවන්නට උත්සහයක් කළේය. එහෙත් ඔහුගේත් කුමාර් ඩේවිඩ්ගේත් යෝජනාවන්හී නිෂ්පල භාවය ගැන මා ලීවෙමි. ඒ අතර මගේ මිත්‍රයෙකු චන්ද්‍රිකා හමුවී පොදු අපේක්ෂක යෝජනාව ඇයට ඉදිරිපත් විට ඇය කියා තිබුනේ තමන් ඉදිරිපත් නොවන බවත් රනිල් පොදු අපේක්ෂකයා ලෙස ඉදීරිපත් කරන බවත්ය. එහෙත් මහින්දට එරෙහිව රනිල්ව ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ යලිත් මහින්දව ජනධිපති කිරීමට අනියම් සහයක් දීම බව අපි දැන සිටියෙමු. චන්ද්‍රිකා වෙනත් ගේමක් යටින් ගෙනියන බව යන්තමින් වත් සිතා ගැනීමට අපිට නොහැකි විය.

මහින්ද වාදීන් චන්ද්‍රිකා සමග බද්ධ වයිරයෙන් සිටින්නේ මහින්ද රජ පුටුවෙන් බැස්සවීමට ප්‍රමුඛ කාර්යයක් ඇය ඉටු කළ නිසාය. අපි චන්ද්‍රිකාට ආදරය කරන්නේද ඒ නිසාමය.
Comments
චන්ද්‍රිකා වේලාවට වැඩ නොකරුවාට විදුලි අර්බුදය පැවති වෙලවේ රටේ වේලාව නම් වෙනස් කෙරුවානේ.