Tuesday, December 27, 2016

විජේවීරට අභියෝග කළ මස්සිනා

රෝහණ විජේවීර  මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ  පැවැත්මට  1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට  යැවූ  පසු ඔහු  නිදහස්  කර  ගැනීම සඳහා උද්ඝෝෂණය  කළ සංවිධාන  අතර  ලංකා  ගුරු  සංගමයද විය. එහි  නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ  හා සම්බන්ධව  සිටීම  හේතු  කොට  ගෙන  සිරගත  කළ අතර ඔප්පු  කළ  හැකි  චෝදනාවක්  නොවුයෙන් 1973 දී  නිදහස්  කරනු  ලැබීය. ඔහු  සංගමයේ   සභාපති  තනතුරට  තෝරා   පත් කරගනු  ලැබුයේ ඔහු  හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ  හොර  රහසේ  ක්‍රියාත්මක වූ  ජවිපෙ  තම  කටයුතු සඳහා  යොදාගත් කොළඹ මධ්‍යස්ථානය  වුයේ  ලංකා  ගුරු සංගමයේ ප්‍රධාන  කාර්යාලය යි. එවක එය  පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය.


රෝහණ විජේවීර 1977 දී  නිදහස්  කරනු  ලැබීමෙන්  පසු පැවැත්වූ පළමු  ජවිපෙ  රැළියේදී   තම  කතාවේ  මුල්  කොටස වෙන්  කළේ ජවිපෙ  සිරකරුවන්  නිදහස්  කරගැනීම  සඳහා උද්ඝෝෂණය  කළ සංව්ධාන වලට ස්තුති  කිරීමටය. ඔහු  ස්තුති  කළ සංවිධාන අතරට  ලංකා  ගුරු සංගමය  මෙන්ම  ලෝක  පරිමාණයේ  NGO සංවිධානයක් වන ජාත්‍යන්තර  ක්ෂමා සංවිධානයද  විය. 1971 සිරගත කළ සිටි ජවිපෙ කැරලිකරුවන්ගේ සැප දුක්  බැලීමට පැමිණි එකම  ජාත්‍යන්තර සංවිධානයද  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International ) පමණක් විය.


ලංකා  ගුරුසංගමය නිල වශයෙන් කිසිදු දේශපාලන  පක්ෂයකට සම්බන්ධ  නොවුනද එහි ක්‍රියාකාරීන් සියල්ලෝම වමේ  මත දරන්නන්  වුහ . සංගමයේ  සභාපතිවු  H.N. ප්‍රනාන්දු ජවිපෙට පක්ෂපාති වූ අතර ජවිපෙට  හිතවත්  කණ්ඩායමක්ද  එහි  සිටියේය. හිර ගෙදරින් නිදහස්වූ  විජේවීර සහ අනෙකුත් නායකයන් යන එන  තැනක්  බවට ලංකා  ගුරු සංගමයේ කාර්යාලය  පත්වෙමින්  තිබුණි. මේ වන විට සංගම්  කාර්යාලය  කොම්පඥඥවීදියේ මැලේ වීදියට ගෙනවුත්  තිබිණ 


ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව   විසින් 1978 ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත පාර්ලිමේන්තුවට  ගෙන  ආවිට එයට  විරුද්ධව  ජවිපෙ  තමන්ද ඇතුළු දේශපාලන  පක්ෂ 5ක්  එකතු  කොට පෙරමුණක් ගොඩනැගු අතර එහි සාකච්චා  පැවැත්වුයේ ලංකා  ගුරුසංගමයේ ප්‍රධාන  කාර්යාලයේය. විජේවීර  තුළ වාමාංශික පක්ෂ  කෙරෙහි තිබු  විරෝධය  කොතරම්ද  යත් තම්පෝ  සමග  හැර අන්  වමේ  පක්ෂවල  නායකයන් සමග නිල සාකච්චවලට  පෙර  හෝ  පසුව  සුහද කතා  බහ පැවැත්වීම මග  හැරියේය. එහි ආරම්භක  රැළිය හයිඩ් පිටියේ  පැවැත්වූ අතර විජේවීර වේදිකාවට  ගොඩ  නොවී  තමන්ගේ වාරය ආසන්න වෙන තුරුම වේදිකාව ආසන්නයේ වෙනත් අය  සමග කතා  බහ  කරමින් සිටියේය. 


  වම සමග දිගටම හවුලක්  පවත්වාගෙන   යාමට  ජවිපෙට උවමනා  නොවීය.රැස්වීම්  කීපයකින්  පසු ජවිපෙ  එය  නොකැඳවා සිටීම නිසා එය අභාවයට  පත් විය.ජයවර්ධන  ආණ්ඩුවේ මර්දනයට  තමනට  තනියම  මුහුණ  දිය  හැකි  යැයි ඔහු  සිතුවා  විය  හැක .නැතහොත් වම  බලවේගයක් බවට පත්වීම  තමනට අභියෝගයක් වෙනු ඇතයි සිතුවා විය හැක. මෙම  පනත  ක්‍රියාත්මක වීමෙන්  පසු  මුල්සමයේදී    පනත  යොදාගෙන  හමුදා කඳවුරු වල  රඳවා  ගෙන  වද හිංසාවලට  පත්කරනු  ලැබුවේද, මරා  දැමුවේද දෙමල තරුණයන්ය . ජවිපෙ එම  පනතේ  විධි විධාන දෙමල තරුණයනට එරෙහිව යෙදවීමට එරෙහිව හඬක්  නැගුවේ  නැත.

රෝහණ විජේවීර  මහතාට කසාදයක්  කරවා  දෙන්නට පක්ෂයේ  දේශපාලන  මණ්ඩලය  තීන්දු  කළේ 1980ය.  CIA  සංවිධානය විසින්  කිසියම් තරුණියක් ඔහු  හා  හාද  කරනු ඇතැයි  යන  බියක්  මේ වන විට ජවිපෙ  ඉහල පෙලේ  නායකයන්  තුළ ඇතිවී  තිබිණ .එයට  හේතු  තිබෙන්නටද ඇත. විජේවීරගේ අනාගත  බිරිය බවට පත්විය  යුත්තේ  ලංකා ගුරු සංගමයේ  සභාපති එච්. එන් ගේ නැගණිය වූ චිත්රාන්ගනී විය  යුතුයැයි පක්ෂය තීන්දු කරනු  ලැබීය. ඇය ඒ  වන විට උසස්  පෙළ  විභාගයට  ලියා  ප්‍රතිඵල  එනතුරු බල  සිටි  තරුණියක් වූ අතර දේශපාලනය  ගැන  කිසිදු  උනන්දුවක්  දැක්වූ කෙනෙකු  නොවේ. H.N.ගේ  මල්ලි කෙනෙකු වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු වූ  අතර ඔහු මෙම  විවාහ  යෝජනාවට  තදින් කැමති වූ  නමුත් H.N. එයට  විරුද්ධ විය .එයට ප්‍රධානතම  හේතුව  ලෙස  H.N.කියා  සිටියේ  ඇය දේශපාලනය  ගැන  මෙලෝ  හසරක්  නොදන්නා  බැවින්  නොගැලපෙන  බවය. එහෙත් චන්ද්‍ර  ප්‍රනාන්දු මෙම  විවාහය  කළ  යුතුමයි  බළකොට ගෝරි  දැමු  බැවින් අවසානයේදී  මොරටුව  විල්ලොරවත්තේ  නිවසේදී 1980 මාර්තුවේදී විවාහය  සිදු  කරනු ලැබුවේය. විජේවීර විල්ලොරවත්තේ  බින්න  බැසීම  නිසා එච් එන් සිය  බිරිඳගේ මහගෙදර තාවකාලිකව  පදිංචි වූ අතර ඉන්පසුව පානදුරේ  කුලී  නිවසක සිය  බිරිය සමග පදිංචි විය.

1980 ජුලි  මහා වැඩවර්ජනය අවසන් වුයේ 40000ක් රජයේ සේවකයන්ගේ  රැකියා අහිමි වීම  මෙන්ම ජවිපෙ සහ ලංකා  ගුරු  සංගමය අතර  ඉතා  කිට්ටු  සම්බන්ධයද අවසන් වීමෙනි. එයට  හේතු වුයේ 80  ජුලි වර්ජනයට  තමන් උපරිම ලෙස  සහය  දෙන  බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළ  ජවිපෙ වර්ජනයට එකතු නොවන  ලෙස  ජවිපෙට හිතවත් රාජ්‍ය සහ  පවුද්ගලික අංශවල  සේවකයන්ට  රහසිගතව උපදෙස්  දීමය. මෙය  JR  ජයවර්ධන  ආණ්ඩුවට  වර්ජයකයන් ගෙදර  යැවීමට දෙන කදිම සහයෝගයක් වන  බැවින් මෙම  තීරණය වෙනස්  කරණ  ලෙස  H.N.ජවිපෙ නායක හමුවකදී  ඉල්ලා  සිටි  නමුත්  විජේවීර එයට එකඟ  වුයේ  නැත. වර්ජනය  පරාජය වීමෙන්  පසු වමේ වෘත්තීය සමිති නායකයන් අප්‍රසාදයට පත්වනු  වනු ඇතැයි  ගණන් බලා  සිටි විජේවීර එවිට ඒම සමිතිවල  සාමාජිකත්වය  දරන  තම සාමාජිකයන් හරහා ඒවායේ  බලය අල්ලා  ගත  හැකිවනු ඇතැයි පුර්ව  නිගමනයකට එලඹ සිටියේය.


එහෙත් එය එසේ  සිදුවුයේ  නැත. ජවිපෙ  රහසිගතව වර්ජනය බිඳීමට ගෙන  ගිය වැඩ පිළිවෙල ප්‍රසිද්ධ කිරීමට  ලංකා  ගුරු  සංගමය තීරණය  කිරීම  නිසා ජවිපෙ රහසින්  ගෙන  ගිය වැඩ පිලිවෙල වැඩ  කරන  මිනිසුන් දැනගැනීම  නිසා විජේවීරගේ සැලැස්ම කඩා වැටුනේය. ( මේ  පිලිබඳ  වැඩි  විස්තර   සංගමයේ එවක  ප්‍රධාන  ලේකම් වූ චිත්‍රාල් පෙරේරා  විසින්  ලියන ලද 'තවත් එක්  නඩුවක් නොවේ.' යන  කෘතියෙන් කියවීමට  පුළුවන. පානදුර  ආතර්   වී දියෙස්  මාවතේ පිහිටි ' ජන සංසදය '  කාර්යාලයෙන් එම  කෘතිය ලබා   ගත  හැක.)


H.N. මස්සිනා කම නොබලා කළ මේ හෙළිදරව්ව  නිසා  විජේවීරට  යකා  නැග්ගේය. හම්බන්තොට  ගුරු රැස්වීමකට යමින්  සිටියදී මඩ  පාර්සලයකින්  ඔහුට ගැසීමට ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු  උත්සාහ  කල නමුත් ඉලක්කය වැරදීම නිසා එය අසාර්ථක විය. ඊට  පසු  දිනක ඔහු  රාත්‍රී  කාලයේ නිවසට  යමින්  සිටියදී නිවස  අසල  සැඟවී  සිටි  ජවිපෙ ක්‍රියා කාරිකයෙකු මඩ , ගොම අසුචි මිශ්‍ර  පාර්සලයකින් පහර දීම  නිසා H.N. ඉන් නැහැවී ගියේය.


ලංකා  ගුරු සංගමයේ  බලය තමන්ට අයත්  බව කියමින් ජවිපේ ගුරුවරුන්  කීප දෙනෙකු එච්. එන්. ප්‍රනාන්දු ඇතුළු  සංගමයේ  නායකත්වයට එරෙහිව  නඩුවක් පැවරු  නමුත් ජවිපෙ එම  නඩුවෙන්ද  පරාජය වූ  අතර පසු  කාලීනව  ලංකා  ගුරු සේවා සංගමය  නමින් නව  ගුරු  සංගමයක්  පිහිටුවා ගැනීමට අවසානයේදී  ජවිපේ  තීරණය  කළේය.


විල්ලොරවත්තේ නිවසේ  එච්.එන්.ට අයත්  පොත් දහස්  ගණනක් තිබිණ.සියල්ලම වාගේ  දේශපාලන විෂයන්ට අයත් ඒවා ය.   විජේවීර එහි   පදිංචිව  සිටින  බැවින් ඒවා ලබා   ගැනීම  පහසු නොවන  බව එච්  එන්  දෑන  සිටියේය. විජේවීරද  පොත් වලට මහත් රුචියක් දැක්වූ අයෙකු  බැවින් එම  පොත්  ඔහුටද  රන් ආකාරයකි. දිනක් HN හිටිහැටියේම  තම  බිරිඳ  සමග වාහනයක්  රැගෙන එම  පොත්  ගැනීම සඳහා විල්ලොරාවත්තට  ගියේය. ඔහුගේ  බිරිඳ වුයේ  සුසිලා  නමැති ලංකා ( චීන පිළ )කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවකි. ඔහු විජේවීරට  තදින්ම අකමැතිවූ  කෙනෙකි.. එයට හේතුව  වුයේ විජේවීර මහතා චීන පිළේ කොමියුනිස්ට් පක්ෂය කැඩීමට කටයුතු කර  තිබීම  නිසාය.. HN සහ සුසිලා විල්ලෝරාවත්ත නිවසට  යන විට විජේවීරද එහි  සිටියේය. පොත් පත් පෙට්ටි වලට  අහුරන  විට  විජේවීර ඔවුන්ට  ඔරෝවමින් දෙතුන්වතාවක්  ඔවුන් අසලින් ගිය  නමුත් හැකි  පමණ පොත් පෙට්ටිවලට අසුරා  ගත්  ඔවුහු ඒවා  රැගෙන ආපසු  පැමිණියහ.


උතුරේ යුද්ධය වෙනුවෙන්  රජයේ  සේවකයන්ගේ දිනක වැටුප අඩු  කරගැනීමට  ජේ ආර්.ගේ  ආණ්ඩුව   තීරණය  කළ  අතර  යුද්ධයට තබා  සතයක්වත්  නොදෙන  ලෙස රජයේ සේවකයන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද  එච් .එන්   ඉල්ලා සිටියේය.  පියවරක්  පස්සට  ගත්  ජේ.ආර් යුද්ධය සඳහා ස්වෙච්ච්චාවෙන් දිනක වැටුප  පරිත්‍යාග  කරන ලෙස  යලිත්  රජයේ සේවකයන්ගෙන්  ඉල්ලා  සිටියේය. යුද්ධයට එරෙහිව   මතයක් සිංහල  ගුරුවරුන් අතර ගොඩ  නැගීමට  දිගින් දිගටම  ඔහු  කටයුතු  කළ  බැවින් ඔහු  අත්අඩංගුවට  ගැනීමට ජේ  ආර්.ආණ්ඩුව   සුදානම් වෙන  බවට පණිවිඩයක්   ගුරු  සංගමය වෙත ලැබිණ. ජේ ආර්ගේ දැලින් බේරී  යාපනයට  ගිය එච් එන්ට වසරකට අධික  කාලයක් රැකවරණය  සැලසුවේ එහි  ගුරුවරුය.ඔහු  ආපසු  පැමිණියේ තර්ජනය පහව  ගිය  පසුය.


88-89 සමයේ ජවිපෙ බොහෝ 'ද්‍රෝහීන් ' සොයාගෙන ගිය  මුත් එච්. එන්. සොයා ආවේ  නැත. එසේ  වී  නම්  ගෙදර කචල් ඇතිවී  තමන් සිටින  තැන  හෙළිවී තමන්ටද  ගස්  යන්නට වෙනු  ඇතැයි විජේවීර  අනුමාන  කරන්නට ඇත.


දැන්  HN ජීවතුන් අතර නැත .ඔහුගේ  බාල සහෝදරයා වූ සරත් ලන්ඩනයේ  සිට නිවාඩුවකට ලංකාවට  පැමිණි  විට විල්ලොරවත්තේ  නිවස  ආසන්නයේදී  හමුදාව විසින්  පැහැරගෙන  ගොස් අතුරුදහන් කරනු  ලැබිණ. එච්. එන්ගේ මරණයට  ප්‍රධාන හේතුව සිය  බාල සහෝදරයා පැහැරගෙන යාම  නිසා  ඇතිවූ කම්පනය බව  දිනක්  සුසිලා  මා  සමග කියා සිටියාය.පොත්  කීපයක්  ලියා  පලකළ ඇය   අසනීම  වීම  නිසා මෙයට වසර 5 ට පෙර  මියගියාය.  අනෙත් සහෝදරයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු  සිටින්නේ කොහේදැයි මා දන්නේ  නැත.ඇතැම් විටෙක  ලන්ඩනයේ ජීවත්වෙනවා  විය  හැක .  විජේවීරද හමුදාව  භාරයේ  සිටියදී අතුරුදහන් විය. විජේවීරගේ බිරිඳ , දරුවන් කීප දෙනෙකු  සමග වැලිසර නාවික හමුදා  කඳවුරේ ජීවත් වෙති.


 විජේවීර  හැදු ජනතා  විමුක්ති පෙරමුණද , HN තැනු ලංකා ගුරු සංගමයද ජීවමානව   පවතී. එහෙත් දෙමල  ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ   සහ සංගමය  ඉදිරිපත් කරන විසඳුම අතර  පරතරය කිලෝමීටර් දාහකි.




 

Monday, December 5, 2016

මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම




කලකට  පෙර  උඩරට  නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි  කෑහ. අනාදිමත්  කාලයක  සිට  මෑතක් වන  තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක  සිටින සියලු සහෝදරයන්  වෙනුවෙන්  කැන්දාගෙන ආවේ  එකම අඹුවකි.  එක්  සහෝදරයෙකු ඇයගේ සයනය  කොතරම්  සුව  පහසුදැයි  පරීක්ෂා කර   බැලීමට යන්නේ  ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ  කුටියේ දොරෙහි එල්ලා  බව  කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ  තමන්ගේ වැඩක්  බලාගන්නවා  මිස ඒ අහලකටවත්  යන්නේ  නැත. ඔවුන් එහි  ඇතුළුවන්නේ අමුද  ලේන්සුවක්  නැති වෙලාවක්  බලාය. උඩරට  ඇත්තෝ එම  සිරිත   පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී  යාම අඩුකරගන්නටය. මේ  සිරිත  තවමත් ඇතැම් උඩරට  නෝනා  මහත්වරු අනුගමනය  කරන්නේ  දැයි දැනගන්නට  නැත. එසේයැයි වාර්තා  තිබෙතොත්  දන්නා  පාඨකයෝ කොමෙන්ටු ලෙස  ලියත්වා .


මෙය සවුත්තු සිරිතක්  ලෙස  ඇතැමෙකුට  පෙනී  යා   හැක . එසේ  සිතෙන්නේ  අවුරුදු  500කටත් වැඩි  කාලයක සිට  පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසි  ජාතිකයන්  යටතේ  ජීවත්වූ අපි , එක් මිනිහෙකු එක්  ගැහැනියක්  සමග  පමණක් පවුල් කැ  යුතුයයි  ඔවුහු අපට  දේශනා කොට නීති පොතේ ලිව්ව  නිසාය.


  එහෙත් එය සිංහල  සිරිත    කියා  එය අනුගමනය කිරීමට  ඉක්මන්  නොවිය  යුතුය .එසේ වුවහොත්  කැලෑ පත්තර වලටද  හොඳ  කාලයක් උදාවනු  නිසැකය.  හාමුදුරුවරුද  සිවුරු  කරට  ගැනීමට  ඉඩ  තිබේ. එය කාමයෙහි වරදවා  හැසිරීමක් ලෙස  දේශනා කරනු   නොඅනුමානය . එහෙත් පරදේශක්කාර  සිරිත් විරිත්  වලට විරුද්ධ   සිංහ ලේ  ඇත්තන් මේ  ගැන උනන්දු නොවීම තරමක  විමතියකි.


ඒ  පිළිබඳව  තව  දුරටත්  ලිවීම පසු දිනකට  දමා ආණ්ඩුවේ  එක  ගෙයි  කෑම ගැන පොඩ්ඩක්  ලියා දමන්නට  මා  කැමතිය. 2015  ජනවාරි  8 සිට මෛත්රීත් රනිලුත් එක ගෙයි  හවුලේ  කෑමට අපි  කැමැත්ත  දුන්නා පමණක් නොව මඟුල් ගෙදර ක්‍රේප් පටි සහ  බැලුම්බෝල එල්ලන්ටද  ගියෙමු. ඔවුන් එක ගෙයි කමින් කරන  ලද පුංචි  පුංචි  ආකර්ශනීය වැඩ  දැක අප්පුඩි  ගැසුවෙමු. විසිල්  ගැසුවෙමු. එහෙත්  මඟුල පටන්ගත්ත  තැන  සිට  ලෙඩ  දැම්මේ,  කුණු  කතා  කීවේ රාජපක්ෂ  මහතාත් ඔහුගේ වලව්වේ  කෑම  කෑ  කට්ටියත්ය. ඒකාබද්ධ රංචුවක්  හදාගෙන  රටේ  තැන්තැන්වල ඇවිදිමින්  නානාප්‍රකාර කයි  කතන්දර  කියන්නට  පටන්ගත්තේ මඟුල  කඩන්නටය. නැතහොත්  කඩන්නට  යැයි අපි සිතුවෙමු.


මඟුල  කඩන්නට වෙර දරන රාජපක්ෂලා පොළොවේ  ගසන්නට යැයි අපි  මෛත්රීටත්  රනිල්ටත් කීවෙමු.එහෙත් ඒ  වෙනුවට  එක  ගෙයි  කෑමට  රාජපක්ෂව රෑට රෑට ගෙන්න  ගන්නා    බව සමහරු කියන්නට  පටන්  ගත්   නමුත් එය  එක  හෙලාම  පිළිගැනීමට  අපේ  හිත්  ඉඩ  දුන්නේ  නැත. එහෙත්  අපිට  පොඩි සැකයක් ඇති වෙන්නට  පටන්  ගත්තේ  ගෝටා අත් අඩංගුවට  ගැනීම  ගැන මෛත්‍රීට  මල  පැන්න  විටය. වීරවංසගේ  පාස්පෝට් කේස් එක  ගැන  ආණ්ඩුවේ  ඇල්මැරුණු  උවමනාව , එක්නැලිගොඩ අතුරුදහන්  කළ අය  දිගින් දිගට අත් අඩංගුවේ තබා  ගැනීම  ගැන මෛත්‍රී  ගොරවන්නට  පටන් ගැනීම , මහින්දට චීනයේ  යාමට  රනිල් විසින්  පැනලා  පහසුකම් සැපයීම යනාදිය තුන්දෙනාම  රාත්‍රී  කාලයේ  එක  ගෙයි  කනබව ඇත්තක්  යැයි  සිතන්නට  අප  පොලඹවන කරුණු  විය.


රාජපක්ෂව රාත්‍රී කාලයේ දේශපාලන  එක ගෙයි කෑමට  මෛත්රීත් රනිලුත් ටෙලිෆොනේ කෝල් දී  ගෙන්නා  ගන්නා  බව තක්කෙටම  ඔප්පු  වුයේ පොලීසියේ  ලොකුම  මහත්තයා නිසාය. ඒ  නිසා  පුජිත  ජයසුන්දර  මහත්තයාට ' Thank You so much ' කියන්නට මගේ කිසිම දෙගිඩියාවක්  නැත. 


දෙවුන්දර දේවාලයේ  බස්නායක  නිලමේ තමන්  ලඟ  කලින් සිටි  බවත් පසුව රජ්ජුරුවන්  ගාවට  ගිය  බවත්  රනිල්  පාර්ලිමේන්තුවේදී කී බැවින්  ඔහු ගැන දැන් අපි දනිමු. රජ්ජුරුවන්ගේ  කාලයේදී ආණ්ඩුවේ  දේපොළ භාවිතා  කොට  රුපියල්  දස  ලක්ෂ  කීපයක් පිල්ලිගැසීම  නිසා  ඔහු අත් අඩංගුවට ගැනීමට  සුදානම් වෙද්දී එය  වැලක්වීමට හද්ද  යුඑන්පී කාරයෙකු  වන සාගල  රත්නායක ඇමතිවරයා  පොලිස්  ලොක්කාට   මාධ්‍යවේදීන්  ඉදිරියේ දුර කථන ඇමතුමක් දීම මගින්  මෛත්රීගේත්  රනිල්ගෙත් රාජපක්ෂගේත්  රෙදි ගැලවී  ගිය  අතර ඔවුන් තුන්දෙනාම එක  ගෙයි හවුලේ  කන  බව ස්ථිර  ලෙසම එයින්  ස්ථිර  විය.


කෝල් එක  ගැන වහාම පරීක්ෂණයක්  පවත්වන  බව  මෛත්‍රී  ප්‍රසිද්ධ  කලේ මොකුත්  නොදන්නා  තොත්ත  බබෙකු  සේය. මා සිතන  හැටියට මෛත්‍රී  වනාහී  රනිල්ටත් වඩා  දේශපාලන අන්ඩයෙකි. රාජපක්ෂලා  තොන්ඩුවෙන්  බේරා  ගැනීම සඳහා ලොකු  උවමනාවක් මෛත්රීටත් රනිල්ටත්  තිබෙන නමුත්  සිදුවූ  හානිය  අවම  කරගැනීම  සඳහා නිලමේ  ඉක්මනින් අත් අඩංගුවට  ගැනීමටද  ඉඩ  තිබේ.


රාජපක්ෂ  සමයේ චව්රයනට සහ  සුදු වෑන් ත්‍රස්තවාදීන්ට  මේ  ආණ්ඩුව  පැනලා දඬුවම්  කරතැයි බොරු  බලාපොරොත්තු  තබා  ගත යුතු නැත. ඒ වගකීම  පැටවෙන්නේ  ඔබටත්මේ  මටත්   සිවිල් සංවිධානවලටය. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන්  දිගින් දිගට දක්වන  උනන්දුව පැසසුම්  කටයුතු වන අතර  ඔවුන්ගේ අතීතයේ  කළු  පැල්ලම්  සෝදා  ගැනීමටද එය  ඉවහල් වනු ඇත  යන්න  මගේ  විශ්වාසයයි.


රාජපක්ෂ සමග එක ගෙයි  කෑම  නිසා  ඔවුන් තුන්දෙනාටම  දේශපාලන ඒඩ්ස් වැළඳෙන බව කල්තියාම මෙසේ  ලියා තබමු.








Sunday, November 13, 2016

රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද


 රෝහණ විජේවීර මහතා  ඝාතනය  කොට අදට අවුරුදු 27ක්  පිරේ. ඔහු  පිළිබඳව ලියවී  ඇති ග්‍රන්ථ සංඛ්‍යාව  සිය  ගණනක්  බවට  සැකයක්  නැත. ඔහු  පිළිබඳව  ලියවී  ඇති  ලිපි සංඛ්‍යාව  දස  දහස්  ගණනක්  බවටද  කිසිදු  සැකයක්  නැත. ලංකා දේශපාලන වේදිකාවේ  රඟ  පෑ දේශපාලකයන්  අතරින්  වැඩිම සාකච්චාවට  භාජනය වූ පුද්ගලයන් අතර  රෝහණ  විජේවීර ද එක්  අයෙකු  බවට  සැකයක්  නැත.


රෝහණ  විජේවීර  සුවිශේෂ  පුද්ගයෙකු  බව  අමුතුවෙන්  කිව  යුතු  නැත.  ජවිපෙ  සිටි  හොඳම  සංවිධායකයා  මෙන්ම හොඳම  කථිකයාද වුයේ    ඔහුය. බොහෝ  දේශපාලන  පක්ෂවල නායකයනට  එම දක්ෂතා   දෙකම  පිහිටා  තිබුනේ  නැත. පොත  පත  වෙනුවට   යුක්තිය  වෙනුවෙන් තුවක්කුව  අතට  ගැනීමට කුමන හෝ  පීඩනයකට පත්ව  සිටි  බොහෝ  තරුණයන් සුදානම්  කිරීමට  විජේවීරට  හැකි වීම  සුළු  පටු  දක්ෂතාවයක්  නොවේ.


රෝහණ  විජේවීර සිය දැක්ම  වෙනුවෙන්  ඉතා  අවංකව කටයතු  කළේය. ස්ටාලින්  පන්නයේ සමාජවාදී  රාජ්‍යයක් බිහිකිරීම ඔහුගේ අරමුණ වූ  බව  ඔහු  අධ්‍යයන  කිරීමෙන් එළඹ  හැකි  නිගමනයයි . ඒ  සඳහා  ඔහුගේ  කැප  කිරීම  ලංකාවේ  අනෙකුත්  වමේ  පක්ෂ  වල  නායකයන්  හා  සැසඳීමේදී  ඉහලින්ම  තිබු   බවට   කිසිදු දෙගිඩියාවකින් තොරව  සඳහන්  කළ  හැක.. 

එකල  ප්‍රධාන වමේ  පක්ෂ  වූ  සම සමාජ  පක්ෂයේ  සහ  කොමියුනිස්ට්  පක්ෂයේ  නායකයන්ට සමාජවාදී විප්ලවයක්  කිරීමට  කිසිදු  උවමනාවක්  නැති  බවත් , කම්කරු  පන්තිය  පාවා දී ධනේශ්වර  පාර්ලිමේන්තුව  නමැති ඌරු  කොටුවේ ලැගීම  එකම අරමුණ බවත්  කියා  සිටියේය. 1953  හර්තාලය  මගින් රාජ්‍ය  බලය  අත්පත්  කර  ගැනීමට  අනගි අවස්ථාවක්  උදාවූ  බවත් ජනතාව  එම  අවස්ථාවේදී  තව  දුරටත්  සටන්  කිරීමට  සුදානමින්  සිටි  නමුත් වමේ  නායකයන්  සටන්  පාවා  දුන්  බවත් විජේවීර කියා  සිටියේය. ඔහු වමට දැඩි  ලෙස  පහර  දුන්නේ එම  පක්ෂවල  සිට අවංක  පිරිස්  තම  පක්ෂය වෙත  ආකර්ෂණය  කර  ගැනීමට පමණක්ම  නොවේ.එම  පක්ෂ සමග  පුද්ගලික  වෛරයක්ද  විජේවීරට  තිබිණ.


1971 පෙබරවාරි 29  දින  හයිඩ් පිටියේ පැවති  රැළියේදී  ඔහුගේ කතාව  සවන් දීමට  මට අවස්ථාව  ලැබිණ. එම  කතාවේදී  ඔහු වැඩි වශයෙන්ම  පහර  ගැසුවේ  වමේ  ප්‍රධාන  පක්ෂ  දෙකටය. මේ  වන  විට  සිංහල  ජනයා  ජීවත් වූ  ප්‍රදේශවල කැරැල්ලක්  දියත්  කිරීමට ඔහු  පක්ෂය  සුදානම්  කොට  තබා  ගෙන  සිටි  බව  එකල  විවධ  ස්ථානවල  සිදුවූ   කුඩා බෝම්බ  පිපිරීම්  වලින්ද  , පොලීසිය  විසින්  නොකඩවාම   ජවිපෙ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම්  සිදුවීමෙන්ද පෙනී  ගිය  කරුණකි. විජේවීර එම  රැළියේදී කතාව  අවසන්  කළේ  මෙසේය.


"සමහරු  අහනවා  කවදද සමාජවාදී  විප්ලවය  කරන්නේ  කියල . අපි ධනපති  පන්තියට  කියනව "උඹල කවදද මහා  පරිමාණයෙන්  අපිව  මර්දනය  කරන්න  පටන්  ගන්නේ . අන්න  එදාට  සමාජවාදී විප්ලවය   සිද්ද  වෙන  බව  අපි  කියනව.   සහෝදරවරුනි !  රුසියානු  විප්ලවයේදී අවුරෝරා  නැව  සාර්ගේ  සීත මාලිගාවට කාලතුවක්කු  ප්‍රහාරයක් එල්ල  කරලයි විප්ලවය ආරම්හ  කළේ .   විජයබා නැව  ලංකාවේ  අවුරෝරා  නැව වේවායි  මා  කියා  සිටින්නට  කැමතියි. ....කම්කරුවන්ගේද , ගොවියන්ගේද  , සෙබළුන්ගේද තරුණයන්ගේද ශිෂයන්ගේද  සමාජවාදී  විප්ලවයට  ජයවේවා .! "

1971  කැරැල්ල  පරාජයට  පත්  වීමෙන්  පසු දස දහසකට  අධික  රජයට  භාරවූ  අතර  ඔවුහු  නොමග  ගිය  තරුණයන්  ලෙස  නම්  කළ ආණ්ඩුව විද්‍යෝදය  සහ  විද්‍යාලංකාර  විශ්ව  විද්‍යාලවලට  රැඳවුම්  මධ්‍යස්ථාන  බවට  පරිවර්තනය  කොට එහි කොටු  කරනු  ලැබිණ. කැරැල්ලේ  නායකයන් මැගසින් බන්ධනාගාරයේ සිරකරනු  ලැබිණ. ඇතැමෙකු  රැඳවනු  ලැබුවේ  දිවයිනේ වෙනත්  ස්ථානවලය.



එකී  ස්ථානවල  රැඳ වීමෙන්  පසු ජවිපෙ  කල්ලි  කණ්ඩායම්  ගණනකට  බෙදින . බහුතරය  රෝහණ  විජේවීරට  විරුද්ධ  වුහ. විජේවීර  සමග ඉතිරිවූයේ  කුඩා  පිරිසකි. ඉදිරියේදී  පැවත්වීමට  නියමිතව  තිබු  නඩු  විභාගයේදී තමන්  කැරැල්ලක්  නොගැසූ  බවත්  ආයුධ  එකතු  කලේ  මර්දනයට මුහුණ  දීමට  බවත් කීමට  විජේවීර  කණ්ඩායම  තීරණය  කළහ. රාජ්‍ය  බලය  ඇල්ලීමට  තමන්ගේ  කිසිදු  සුදානමක්  නොතිබුණු බවත් කැරැල්ල  දියත්  කලේ  තමන්ට  විරුද්ධ  ලොකු අතුලගේ  කණ්ඩායම  බවත් කීමටද ඔවුහු  තීරණය  කළහ. 

1977 හිර  ගෙදරින් නිදහස්  වීමෙන්  පසු  පක්ෂයට එක්වන  සාමජිකයනටද  විජේවීර  කිව්වේ  එම  කතාවමය. පාක්ෂිකයන්ට  බොරු  කීම  වැරදි  බවට  මතයක්  පක්ෂයේ  ඉහල  මට්ටමේ  ඇති  වූ  අතර  එය අවසන්  වුයේ  එම  මතය  ගෙන ගිය  කෙලී  සේනානායක පක්ෂයෙන්  නෙරපා  හැරීමෙනි.


 විජේවීර හිරගෙදරින් නිදහස්  වීමෙන්  පසු පළමු  රැළිය පවත්වනු ලැබුවේ  කොළඹ  නගර  සභා පිටියේය. එම රැළිය සංවිධානය  කලේ  විජේවීරට  පෙර  හිර  ගෙදරින් නිදහස්  වූ  කෙලී සේනානායක  ඇතුළු  පිරිසකි. එම  රැළිය  බැලීමට  මා  සැතපුම් 50කට   අධික  දුරක්  ගෙවාගෙන  ගියේ  විජේවීර  ගැන  මා   සිත  තුළ   තිබු  භක්තිය  නිසාය. එම  රැළියේදී  විජේවීර   කිව් එක්  කරුණක්  මෙහි  සඳහන් කිරීමට  කැමතිය. " මීට  පස්සේ  අපි  ආයුධ  එකතු  කරන්නේ  නැහැ , බෝම්බ  හදන්නේ  නැහැ . බෝම්බ වලට වැඩිය  භයානක දෙයක්  අපි  හදනවා. ඒ  මිනිස්සු ."


විජේවීරගේ  එම  කතාව මට  ඇල්ලුවේ  නැත. ආයුධ  නොමැතිව  විප්ලවය  කරන්නේ   කෙලෙසද ? ඊට  මසකට  හමාරකට  පමණ  පසු  මට  විජේවීර  හා  කතා  කරන්නට  අවස්ථාව  ලැබුණි. "මොකක්ද  මේ  ආයුධ  එකතු  කරන්නේ  නැති  කතාව" ? මා  ඇසීමි " විජේවීර  දුන්  පිළිතුර  මෙසේය. එකට  හේතුව  මේකයි අපේ පක්ෂෙට  බැඳුණු  අලුත් සහෝදරයෙකු  ගේ ගෙදරට  ගිහින්  පොලිස්  කාරයෙක්  කියල  තියෙනවා -ඔය  ලමයට  ජේවීපී  එකට  යන්න  දෙන්න  එපා. ඔය  ළමය  ලවා  තව  ටික දවසක්  යන  කොට  බෝම්බ  හදවන්න  පටන්  ගනීවි-. ඉතින්  මිනිස්සුන්ගේ  බය  අරින්න  එපැය . ඒ  නිසයි  මන් එහෙම  කිව්වේ."

පහත දැක්වෙන්නේ ලෙනින්ගේ  ප්‍රකාශයකි . එය  මෙසේය. 

"විප්ලවකාරී තත්ත්වයක් මෝරා  නොමැති පරිසරයක් තුළ විප්ලවයක්   සිදු  කළ නොහැක. එපමණක්  නොවේ.  සෑම විප්ලවකාරී  අවස්ථාවක්ම විප්ලවයක්  දක්වා  ගමන් කරන්නේද   නැත..



ලෙනින්ගේ ඉහත ප්‍රකාශය   සමග  1971  අප්‍රේල්  කැරැල්ල  දියත්  කරන  ලද පරිසරය  ගැන  විමසීමේදී  එම අවස්ථාවේ  විප්ලවයක්  දියත්  කරනු  තබා සාර්ථක  පෙළපාලියක්  යාමට  සුදුසු පරිසරයක්වත්   ගොඩ  නැගී  තිබුනේ  නැත. සිරිමා බණ්ඩාරනායක  සම සමාජ  සහ  කොමියුනිස්ට්  පක්ෂ  සමග හවුල්  ආණ්ඩුවක්  ගොඩ  නගා  රට  පාලනය  කරන්නට පටන්ගෙන  මාස  11ක්වත් ගතවී  තිබුනේ  නැත. 71  කැරැල්ලේදී  පොලීසි ආරක්ෂා  කරන්නට ගියේ ආණ්ඩුවට  හිතවත්  මහජනයාය. කොටින්ම කැරැල්ල  ගැන  මිනිස්සු දැන්  ගත්තේ  අප්‍රේල් 6 වනදාය. පැනයන  කැරලි  කරුවන්  අල්ලා දීමට ඉදිරිපත් වුයේද  මහජනයා ය.


 ස්ටාලින් පන්නයේ  සමාජවාදී  රාජ්‍යයක් තමා මැදියම් වයසට  යාමට  පෙර   පිහිටුවීම විජේවීරගේ  අභිප්‍රාය  වූ  අතර  ඔහුගේ  සිහිනය  ඉටු  කර  ගැනීම  සඳහා සුදුසු අවස්ථාව  එන  තුරු  බල  සිටියේය.   13  වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හරහා  ඊට  කදිම අවස්ථාවක්  නිර්මාණය  වී  ඇතැයි විජේවීර නිගමනය  කළේය. පළාත්  සභා  ඊළාම්  රාජ්‍යයක්  නිර්මාණය  වෙන  බව   ප්‍රකාශ  කළ   ජවිපෙ එයට  විරුද්ධව  දියත්  කළ  කැරැල්ලක්  ගැසීමෙන්   මහජනයගේද  සන්නද්ධ  හමුදාවල  සහය  ලැබ  ගත  හැකි වනු ඇතැයි  විජේවීර  උපකල්පනය  කළේය.

1988 වසර  මැතිවරණ  රැසකින්  පිරි වසරක් විය. පළාත් සභා  මැතිවරණ  ගණනවක්  තිබුණු  අතර  නොවැම්බර් මස  ජනාධිපතිවරණය  පැවැත්විණ. මෙම මැතිවරණ  ප්‍රතික්ෂේප  කරන  ලෙස  ජවිපෙ  මහජනයාට  නියෝග  කළ  අතර  එම  නියෝග  කඩ  කරන්නට  මරණ දඩුවම  හිමි වෙන  බව  ප්‍රකශ  කළේය. එහෙත්  චන්ද  දායකයන්  55%ක් අධික  පිරිසක් 88  ජනාධිපතිවරණයේදී චන්දය   පාවිච්චි  කළහ. ඒ අතර  හොර  චන්ද  දැමීම්  විශාල වශයෙන්  සිදුවුයේ යු එන් පී  විරෝධීන්  චන්දය දැමීමට  චන්ද  පොලට  යාමට බියවූ  බැවිනි . අවසානයේදී ජවිපෙට  මරු  කැඳවූ ප්‍රේමදාස    බලයට  පත්වුයේ  ජවිපෙ මරණ  තර්ජනය නිසා  යුඑන්පී  විරෝධීන්  චන්දය  පාවිච්චි  බෙහෙවින් අඩු  වූ  නිසාය.   UNP  කල්ලි  රාත්‍රී  කාලයේ මහපාරවල ජවිපෙ  සටන් පාඨ ලියමින්  තව  දුරටත්  ශ්‍රීලංකා නිදහස්  පාක්ෂිකයන්  බිය  ගන්වුහ. 

ජනාධිපතිවරණයේදී  විපක්ෂයේ අපේක්ෂක  සිරිමා  බණ්ඩාරනායකට  වඩා  රණසිංහ ප්‍රේමදාසට  ලැබුණු  චන්ද සංඛ්‍යාව 279339ක් පමණකි. තුන්වෙනි අපේක්ෂකයවූ ඔසී අබේගුණවර්ධන 235719ක් ලැබීය. විජේවීර  මහතා  ඥාණ වන්තයෙකු   වුයේ  නම් කළ  යුතුව  තිබුණේ  තමන්ගේ  පාක්ෂිකයන්  මුහුණ  දෙමින්  සිටි නියත  මරණයෙන් බේරා  ගැනීම සඳහා  සිරිමා  බණ්ඩාරනායක  මහත්මියට සහය දීමය. JR ගේ  ඒකාධිපති පාලනයෙන් හෙම්බත්වී සිටි මහජනයාට  අවශ්‍යව  තිබුනේ  එක්සත්  ජාතික  පක්ෂ අපේක්ෂකයා පරාජය  කිරීමටය. එහෙත්  මෙම  චන්ද  වර්ජනයට  පින් සිදු වන්නට  R. ප්‍රේමදාස  බලයට  පැමිණි  අතර  උතුරේ  යුද්ධයෙන්ද  දකුණේ  කැරැල්ලෙන්ද   මැදිව  සිටි ප්‍රේමදාස  ජවිපෙ  සමග අවබෝධයක් ඇති  කර  ගෙන  හුස්ම  ගැනීමට  ඉඩක් සලසා  ගැනීමට  උත්සාහයක්ද  දැරුවේය. ඒ  සඳහා  ආරම්භක  පියවරක්  වශයෙන්  අත් අඩංගුවට  ගෙන  සිටි  ජවිපෙ නායකයෙකු  වූ ශාන්ත  බණ්ඩාර ඇතුලු  පිරිසක්  සාමාජිකයන්  රැසක්ද  නිදහස්  කළේය. සාම සාකච්චා  කිරීම සඳහා  ජවිපෙට ආරාධනා  කළේය. එහෙත්  විජේවීර  ප්‍රමුඛ  ජවිපෙ ප්‍රේමදාසගේ ඉල්ලීම  ප්‍රතික්ෂේප  කොට  ගල්කටස්  යුද්ධයේ  නිමග්න  විය.






මාර්ක්ස්වාදීන් ඉතිහාසයෙන් උගනිති. පැරිස් කොමියුනය කඩා වැටීමට හේතු මාක්ස් ලීවේ  සමකාලීන සහ පශ්චාත් විප්ලවාදීනට  ඉගැනීමටය.  1905 අසාර්ථක විප්ලවයෙන්   ඉගෙනගත්  යුතු දෑ ලෙනින්  කීවේය . ලීවේය . එම අත්දැකීම හරහා 1917 දී  බලය  ලබා   ගැනීමට  ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික්  පක්ෂයට  හැකි  විය. 1955  මොන්කාඩා  ප්‍රහාරය අසාර්ථක  වීමෙන්   ඉගෙන  ගත් පාඩම්   පිදෙල් කස්ත්‍රෝට  1959 කියුබාවේ රාජ්‍ය  බලය  ලබා  ගැනීමට ඉවහල්  විය. මහජන සහය  නොමැතිව විප්ලවාදී කණ්ඩායමකට තුවක්කුවේ  බලයෙන්  රාජ්‍ය  බලය  ලබා   ගත  නොහැකි  බව  චේ  ගෙවාරා  බොලීවියාවේදී  මරණය වැලද  ගනිමින්  ලෝකයේ  විප්ලවදීන්ට  කියා  දුන්නේය. එහෙත් විජේවීර  මහතා  71  කැරැල්ල අසාර්ථක  වුයේ ප්‍රධාන  වශයෙන්ම  මහජන සහය  නොමැතිවීම  නිසා  බව  නිගමනය  කිරීමට අසමත්  විය    ඔනෑම  කරුණක්  සම්බන්ධයෙන් සියලු  පැතිකඩ  දෙස  බලා  විග්‍රහ  කර ගැනීමේ හැකියාව  තිබු  රෝහණ විජේවීර  මහතාට  බලය  ලැබ  ගැනීම සඳහා තිබු  හදිසිය  විසින්   යථාර්තය දැකීම  වලක්වනු  ලැබීම නිමා  වුයේ අඩු වශයෙන්  තම  පාක්ෂිකයන් 40000 ට  වේදනාත්මක   මරණ අත්  කර දෙමින්  පමණක්  නොවේ. බහුතරයක්  මිනිස්සුන්ට  සමාජවාදය ද අප්‍රිය  කරවමිනි.

2005  ජනධිපතිවරණය වර්ජනය  කරන  ලෙස  ප්‍රභාකරන්  නියෝග  කිරීම හේතුකොට  ගෙන  මහින්ද  රාජපක්ෂ  බලයට  පැමිණි අතර   සාම සාකච්චා  සඳහා කල  ඉල්ලීම්  ප්‍රභාකරන්  ප්‍රතික්ෂේප  කළේය .2009 දී ප්‍රභාකරන්ට මරණය  උරුම  කර දුන් රාජපක්ෂට  බලයට ඒමට ප්‍රභාගේ  චන්ද වර්ජනය  ප්‍රධානතම  හේතුව  විය .1988  ජනාධිපතිවරනයෙදී නිදහසේ  චන්දය  පාවිච්චි  කිරීමට  විජේවීර  ඉඩ  නොදීමේ  ප්‍රතිපලය  ලෙස  ප්‍රේමදාස  ජනාධිපති  විය. අවසානයේදී  විජේවීර  මැරීමට  නියෝගය  දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට  පැමිනි ප්‍රේමදාසය. 

Friday, September 23, 2016

දොස්තර සංගමයට ස්කෝතුයි.

 

 

දවස්  දහයක් දොළහක් තිස්සේ  GMOA හෙවත් දොස්තර  සංගමයේ  ලොකු මහත්තරු  අම්ම  මුත්තා  කාලේ වත්  නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින  නිසා  බඩ  සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින්   ඔවුන්ට  ඉස්කොතුවක් දී  ගොඩ වෙදකමක්   කරන්නටයි   මා  කල්පනා  කළේ. මා එසේ  ඉස්කෝතුවක් දෙන්නේ  වෙන  කිසිවක්  නිසා  නොව   පාසල්වලට  ළමුන් ඇතුලත්  කිරීම  පිළිබඳව ලොකු  මොළ, පුංචි  මොළ, බුරු මොළ  සහ  කුණු  මොළ  තියන කාගේත් ඔලු  කට්ට  අස්සට   හිතන්න  උගන්වන   සංවාදයක්   GMOA   ලොකු මහත්තුරු ඇති  කළ නිසයි.

 

  අධ්‍යාපනය ගැන  කැක්කුමක් තියෙන අපි වගේ අයගේ  ලේ  කෝප කරන සිද්ධියක්  තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා මීට  මාස  කීපයකට   පෙර   ඇති  කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක්  හා දිවි නසා  ගැනීමේ විගඩමක්  රඟ  පෑවේ  චක්‍රලේඛ  ඉරා දමා  ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලකට  ළමුන්  ඇතුලත්  කරන්න  කියමිනුයි.. ඒ වෙලාවේ  බොහෝ  අය  ඔහු වීරයෙක්  කොට සැලකුවේ. ඔහු වැරදි  බව  කියමින්  මා  ෆේස් බුකියේ  සහ  'සුදුකුකුලා ' හී  ලිව්  විට ලොකු  මොළ , පුංචි  මොළ , කුණු  මොළ  සහ හිස්  කබල අස්සේ   බුරු  මොළ තිබෙන සියල්ලෝම වාගේ මට කුණුහරුප ,උපහාස, අපහාස එව්වේ වැල්  පිටින්  

 

 නමුත් GMOA ලොකු  මහත්තුරු  අධ්‍යාපන  අමාත්‍යංශයට   කඩා වැදී චක්‍රලේඛ පුච්චා  තමන්ගේ දරුවන් ජනප්‍රිය   පාසල්වලට   ඇතුලත් කර  ගන්නට කී විට එය වැරදි බව  කියමින්  පස්  පඩන්ගුවේ  නොබැනන කෙනෙක්  නැහැ. ඒ  කට්ටිය මේ  පාර  වීරයා  කර  ගත්තේ  අකිල විරාජ් වයි.

 

 දොස්තර සංගමය   කලෙත් ' තෙවරප්පෙරුම අංක 2 '  මිසක්  වෙන දෙයක්  නොවෙයි. තෙවරප්පෙරුමට   යට වී  රනිලුත්  මෛත්රීත්   ගත්  තීන්දුව නිසා  තමා දොස්තර සංගමය ඒ  ජාතියේ නාඩගමක්   හරහා  තමන්ගේ  ළමුන්   හොඳ  හොඳ  පාසල්  වලට  දාගන්න   පුළුවන්  කියල  හිතුවේ.

 

කීර්තිමත්   පාසලකට  තම දරුවන්  ඇතුලත් කර ගැනීමට තමා කවුරුත්  උත්සාහ කරන්නේ . නමුත් කාගේත්  මන දොළ පිරවීමට ඉඩක්  නැති  නිසයි    චක්‍ර ලේඛ මගින් විවිධ  සීමා  පැනවීමට  සිදුවී තිබෙන්නේ. පාසල් වල  පළමු ශ්‍රේණියට  ළමුන් ඇතුලත්  කිරීමේ චක්‍රලේඛය  සියයට සියයක් යුක්ති සහගත නැහැ.   මේ  චක්‍ර ලේඛ  හදා  තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට   ඕන විදිහිට  නොවෙයි. සරත් නන්ද සිරි  සිල්වාට  ඕන  හැටියටයි.ඉස්සර ආදී ශිෂ්‍යයන්ගේ දරුවනට වෙන් කර තිබුනේ   15% ක්  පමණයි මගේ  මතකයේ  හැටියට එක තව  ටිකක් අඩු  කරාම  . ආදී ශිෂ්‍ය සංගම් එයට එරෙහිව  උසාවි  ගියා. ඒ  කාලේ අග්‍ර විනිශ්චය කාර  කමේ හිටපු සරත් නන්ද  සිල්වා "ආදී ශිෂ්‍යන්ගේ  ළමුන් 25%ක් පළමු ශ්‍රේණියට  ඇතුලත්  කරනු.' කියල  කැකිල්ලේ  තීන්දුවක්   දුන්න.  එකෙන් සිද්ධ උනේ ආදී ශිෂ්‍ය නොවන  දෙමාපියනට  බරපතල  අවාසියක්. ඇතැම් විටෙක පාසල අවට  සිටින දරුවනටත් තමන්ගේ  නිවස  අසල පාසල   අහිමි වුවේ  සහ  අහිමි  වන්නේ   මේ  නිසයි.

 

   කොහොම  උනත්  අවුරුද්දෙන් අවුරුද්ද  ඩිංග  ඩිංග  ටින්කරින් කර එවන පළමු ශ්‍රේණියට ඇතුලත් කර  ගැනීමේ චක්‍ර  ලේඛය කුණු කුඩයට  දාල අලුත්ම  අලුත් චක්‍ර  ලේඛයක් නිකුත් කරන්න  දැන්  කාලය  ඇවිල්ල තියෙන්නේ.  එයට  හේතවු සුදුස්සන්ට  පාසල් අහිමි වීමට මේ චක්‍ර  ලේඛය හේතු  කාරක   වන  නිසයි. විශේෂයෙන්ම  ආදී  ශිෂයන්ගේ  දරුවනට  25%ක් වෙන් කිරීම නැවැත්විය  යුතුව තිබෙනවා. උදා  හරණයක්  කියනවානම් කොළඹ  ආනන්දයේ  ඉගන  ගත්   ආදී ශිෂ්‍යයා දැන්  පදිංචි  වෙලා  ඉන්නේ  ඔහු  ඉගන  ගත් පාසලට සැතපුම් 200ක්  ඈතින්    උනත්   ඔහුගේ  දරුවන්ට  කොළඹ  ආනන්දයට ඇතුලත්  කර  ගත  හැකියි. එයින් වැඩියෙන්ම   අවාසි වෙන්නේ  ආනන්ද  විද්‍යාලය  ආසන්නයේ   පදිංචිව   සිටින  දරුවෙකුටයි.


  වාර්ෂිකව පුංචි  පුංචි අලුත්වැඩියා  කොට   නිකුත්  කරන  චක්‍ර ලේඛයට  අනුව ආදී ශිෂ්‍ය පදනම (25%) , සහෝදර  පදනම (15%) , පාසලට  ආසන්නව  පදිංචිය (50%) , අධ්‍යාපන ශේෂ්ත්රය (5%) , ස්ථාන මාරු (4%)විදේශවල සිට  පැමිණි (1%)  ලෙස පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර  ගැනීම  සඳහා කෝටා වෙන්  කර තිබෙනවා.  ඉහත  පදනම් මත සම්මුඛ පරීක්ෂණ සහ අභියාචනා මගින්  පළමු ශ්‍රේණියේ  එක්  පන්තියකට ළමුන් 34 දෙනෙකු ඇතුලත් කර  ගන්නා අතර ක්‍රියාන්විත  රාජකාරි  පදනම  යටතේ  ත්‍රිවිද  හමුදා පොලීසිවල අයගේ දරුවන්  5 දෙනෙකු ඇතුලත්  කර  ගැනු  ලබනවා ඒ  අනුව  2017  වසරේදී පළමු ශ්‍රේණියේ එක්  පන්තියකට ඇතුලත් කර  ගන්නා සම්පුර්ණ ශිෂ්‍ය සංඛ්‍යව තිස්  නමයක් වෙනවා. මේ  වසරේ  නම් එක  පන්තියකට සිසුන් 40 ක් ඇතුලත්  කර ගනු  ලැබුවා.

 

 මේ  සියලු  පදනම්  අහෝසි කොට පදිංචිය මත  පමණක් පාසල්වලට  සිසුන් ඇතුලත් කර  ගැනීමට  කාලය  පැමිණිලා තිබෙනවා  යන්න මගේ අදහසයි. මන්ත්‍රී  තුමා , දොස්තර  මහතා,   නඩු  කාර තුමා ,පොලීසියේ  ඉන්ස්පැක්ටර්   මහතා , ප්‍රාදේශීය  ලේකම් තුමා  ආදී  ලොක්කන්ගේ  දරුවන්  ගමේ  කුසුමාවතීගේ දරුවා  සමග  එක  පාසලේ ඉගන  ගන්නට එමගින් අවස්ථාව හිමි  වෙන අතර එවැනි  පසුබිමක් යටතේ එකී  පාසලේ  අධ්‍යාපනයේ  ගුණාත්මක  වර්ධනයක් ඇති  කිරීමට  විදුහල්පති සහ  ගුරුවරුනටද සිදුවෙනු  නොඅනුමානයි.

 

අධ්යාපනයේ සම අවස්ථා අත්පත් කර  ගැනීමටද  එය  මහගු පිටුවහලක් වනු ඇත  යන්න මගේ  විශ්වාසයයි.

Friday, August 5, 2016

පාද යාත්‍රාවෙන් පසු මහින්දගේ සහ රනිල්ගේ පස්ස

 

 

පාද  යාත්‍රාව අවසන්ය.  සංවිධායකයනට අනුව එය අති සාර්ථකය.  පාද  යාත්‍රාවේ  ප්‍රධාන සංවිධායක  මහින්දානන්ද අලුත්ගමගෙට  අනුව  සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ  විස්සකි. ගීතා කුමාරසිංහට අනුව කෝටි දෙකකි. එහෙත් ඩිලාන්  පෙරේරාට සහ මහින්ද අමරවීරට   අනුව  50 දහසකට අඩුය.

පාද  යාත්‍රා  සංවිධායකයන්  මුලින්  කියා  සිටියේ  ලක්ෂ  දහයක් සමග  කොළඹට  පැමිණ ආණ්ඩුව  පෙරලන  බවය.  නායකත්වය  ගත්තේ බැසිල්  රාජපක්ෂය. එය සාර්ථක  කර  ගැනීම  සඳහා ඉහල මට්ටමේ  සාකච්චා දුසිම්  ගණනක්ද ප්‍රාදේශීය  මටටමේ  පාක්ෂික සාකච්චා සිය  ගණනක්ද  පවත්වනු ලැබිණ.. එහෙත් බැසිල්ට පළමුවෙන් රිමාන්ඩ් හිර  ගෙදරටත් දොස්තර  මහත්තුරුන්ගේ  උදව්වෙන්  දෙවනුව මහා රෝහලේ  ගෙවන වාට්ටුවටත්  යාමට සිදුවීම  නිසා එය සංවිධානය කිරීමේ වගකීම අන් අයට  පැවරිණ.

 

එකාබද්ධ විපක්ෂයේ  මුළු  බර  යොදා පා ගමන සංවිධානය  කළද පළමු දිනයේ  එයට සහභාගී වුයේ දස  දහසක් වැනි  පිරිසක්  පමණි .අවසන් දිනයේ  සහභාගිත්වය  15  දහස  ඉක්මවුයේ  නැත.

මෙසේ  වුයේ  ඇයි?

මහින්දට වර්ග දෙකක   මිනිස්සු සිටිති. එක් වර්ගයක් වන්නේ සිංහල  බවුද්ධයන්ට  පමණක් මේ රට  අයිතිය  යන මතය දරන්නන්ය . අනිත්  කණ්ඩායම වන්නේ  ඔහුගේ  පාලන සමයේ ඔහුගේ අනුග්‍රහයෙන් හරි  හම්බු  කර  ගත්   පිරිසය. මහින්ද වනාහී තමන්ගේ  අයට ඕනෑම අයුරකින් හරි හම්බු  කර  ගැනීමට අනුග්‍රහය දුන් අයෙකි. තමන්ගේ  10% තියා  ගැනීමට  අමතක  නොකර  කොන්ත්‍රාත් කරන  ලෙස ඔහු වරක් සමුර්ධි නියාමකයනට  උපදෙස්  දුන්නේය. ඒ  මහින්ද  උදව්  කළ  පුංචි එවුන්ය. ඔහු නිසා  කප්පරක්  ගොඩ  ගසා  මහා  අය මේ දිනවල  රහස්  පොලීසියටද උසාවි වලටද  ගොස්  උත්තර  බඳිමින් සිටිති.

පසු  ගිය  මාස  කීපයේම  මහා ගැම්මකින් සිටි මහින්ද  කණ්ඩායමට  පාද  යාත්‍රාවට ලොකු  පිරිසක් ගෙන්නා  ගැනීමට  නොහැකි වුයේ  අන්   කිසිවක් නිසා  නොව  මෛත්‍රී කළ ප්‍රකාශයක් නිසාය.අවුරුදු  5 ක්  යන තුරු එක්සත්  ජාතික  පක්ෂය සමග  හවුලේ  රට  පාලනය  කරන  බව  කීම  එම  ප්‍රකාශයයි. මෙම  ප්‍රකාශයත් සමග ඒකාබද්ධ විපක්ෂය සමග  සිටි  බහුතරයක්  මිනිස්සු සහ  ගැහැණු බරපතල  මානසික  කඩාවැටීමකට  ලක්වුවාට කිසිදු සැකයක්  නැත.  ඔවුන්  බලාපොරොත්තුව සිටියේ  අවුරුදු දෙකකින් පසු   ශ්‍රී ලංකා + යුඑන්පී හවුල අවසන් වනු  ඇත  කියාය. ඉන්පසු මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඇතිවනු ඇත  යන්න  ඔවුන්ගේ  විශ්වාසය  විය.

 

ස්වභාවයෙන්ම විපක්ෂයේ  සිටින විට ප්‍රධාන  පක්ෂ දෙකේම සාමාජිකයෝ සිටින්නේ වලිග  අකුලාගෙනය.  පාරට  බැස අඬු බඩු කඩා  ගැනීමට  ඔවුන් සුදානම්  නැත. ඔවුන්ගේ  එකම අපේක්ෂාව තමන්ගේ  පක්ෂයේ ආණ්ඩුවක්  පිහිටුවා ගෙන කටු සුප්පු  කිරීමය. 1977  සිට මෙතෙක් ඉතිහාසය හැදෑරීමෙන්  එය  පසක්  කර  ගත  හැකිය.

 

ශ්‍රීලනිපය එක්සත්  කරන්නට මෛත්‍රී දිගින් දිගටම වෑයමක් දරමින් සිටියත් එය  සාර්ථක වන  බවක් පේන්නේ  නැත. එයට  හේතු සෙවීමට වැඩි දුර  යා යුතු  නැත.   ජනවර්ග අතර සමගියක් ඇති  කිරීමට මෛත්‍රී   දරන වැයමට ඔවුන්  කිසිසේත් එකඟ  නැති අතර මෛත්‍රී  යටතේ ඇති  පදම් ගසා  කන්නට ඔවුන්ට  ඉඩක් නොමැති  වීම  අනෙක් හේතුවයි. දැන් කොන්ත්‍රාත්  කරන්නේ  යුඑන්පී  කාරයන්‍ විසිනි. උන් පන්නා  දමා  තමන්ගේ  අතට  කොන්තරාත්තු  ලබා   ගන්න  තුරු   මහින්දගේ කොන්ත්‍රාත් පාක්ෂිකයනට ඉවසීමක්  නැත.

මේ  දිනවල මහින්ද  හවුලේ  කණ්ඩායමේ එකම යෝධ ව්‍යාපෘතිය වී  තිබෙන්නේ  පාද  යාත්‍රාවෙන්  කඩා  වැටුණු  තමන්ගේ පාක්ෂිකයන්ගේ මොරාල් එක  ගොඩ  ගැනීමය. මිලියන් ගණනින් පාද  යාත්‍රාවට   සහභාගී වූ  බවට කෙප්ප දෙසා  බාන්නේ  ඒ  නිසාය.  ඒ සඳහා දිනපතාම වාගේ ප්‍රවුර්ති සාකච්චා  තබන්නේ  ඒ  නිසාය. ගීතා   කුමාරසිංහගේ කෝටි දෙකේ කතාන්දරය ආවේ  ඒ  නිසාය. 


මහින්ද  හිතවාදියෙකු වන ,ලක්ෂ දහයේ අල්ලස්  චෝදනාවකට අසුවූ වලල්ලාවිට  හිටපු ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල ඊයේ  ප්‍රවුර්ත්ගි සාකච්චාවක්  තබා  කියා  සිටියේ පළාත් පාලන චන්දයට වෙනම  පෙරමුණක් ස්ථිර ලෙසම  හදන බවය. එයින් ගම්‍ය වන්නේ  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය කඩා වෙනම පක්ෂයක්  හදන  බව  මිසක් වෙන  යමක් නොවේ. ඉදිරි කාලයේදී විමල් , ගම්මන්පිල , වාසු ,.සමසමාජ පක්ෂයේ මහින්ද  පිළ, කොමියුනිස්ට් පක්ෂයේ මහින්ද  පිළ , ආදීන් එකතුව  ශ්‍රීලනිපයේ  සැලකිය  යුතු  කණ්ඩායමක්ද  කඩ ගෙන මහින්දගේ නායකත්වයෙන් නව පෙරමුණක්  ගොඩ  නැගෙන බව පැහැදිලිය.

 

එවැනි පසුබිමක් තුල  ඉදිරි පළාත් පාලන  මැතිවරණයේදී  වැඩි වාසියක් අත්  කර  ගැනු ඇත්තේ එක්සත්  ජාතික  පක්ෂය බව අටුවා  ටීකා නැතිවම  කිව  හැක. 

 

 


 

Wednesday, July 27, 2016

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

      

 

 

සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.  

 

විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ  

"පිරිමිනිදු පතන 

අවසර  කල රහස්  තැන 

මිස  නොලැබෙන  බැවින 

ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන."

යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසාදැයි මා  දන්නේ  නැත. ඇතැම් විටෙක  ලංකාවේ  පළමු  රැජිණ වූ අනුලා  බිසවගේ කෙරුවාවල්ද   එසේ  ලියන්නට උන්වහන්සේ  පෙළඹවනු ලැබුවා  විය හැක. අනුලා  තමාගේ  ස්වාමියවූ චෝර  නාග  රජුට  වස දුන්නේ මාලිගාවේ  හැඩ වැඩ මුර  භටයෙකු වූ සිව නැමැත්තෙකු සමග  නිදහසේ රමණයේ  යෙදීමට තිබු  උවමනාව  නිසාය . ඉන්පසු  රජවූ කුඩා තිස්ස අනුලා තම භාර්යාව  කර  ගත්  අතර අවුරුදු  තුනකට  පසු අනුලා  ඔහුටද  වස  දී සිංහාසනය අත්පත් කරගත්තාය . වැඩි  කල් නොයා  සිව  නම්වූ තම ද්‍රවිඩ  පෙම්වතා ද වස දී  මරා  දැමු  අනුලා, මාලිගාවේ  සේවයට  පැමිණි කඩවසම් දෙමල වඩු  කාර්මිකයෙකු වූ වටික්ක නැමැත්තා තම ස්වාමි පුරුෂයා  කර  ගත්තාය . අධික  රාගයෙන් පෙළුණු ඇය ස්වාමි  පුරුෂයන් 6 දෙනෙකු  මරා  දැමු අතර ඇගේ අවසන් ස්වාමි පුරුෂයා   වුයේ චෝල දේශයෙන් පැමිණ  සිටි තානාපති වරයෙකු වූ නීල(න් ) ය.

                                                               අනුලා  රැජිණ

රජවරුන්ගේ භාර්යාවන්ගේ නිදන  කාමරවල  හොර වැඩ සිරි ලංකාවට  පමණක් සීමා වී   නැත. තම ස්වාමි පුරුෂයා වූ  රුසියාවේ තුන්වෙනි පීටර් රජු  මරා  දමා   බලයට  පැමිණි කැතරින් බිසවටද පෙම්වතුන් බොහෝ  ගණනාවක්  සිටියේය. තුන්වන පීටර් රජු  ජීවත් සිටි  කාලයේ  පවා ඇයට පෙම්වතෙකු සිටි අතර ඔහුගෙන්   ඇයට දරුවෙක්ද ලැබිණ . එහෙත් තුන්වන පීටර් අධිරාජයා  සිතුවේ දරුවා  ඔහුගේ කියාය.  අනුලා  බිසව මාලිගාවේ මුර භටයන් නිදන  කාමරයට  ගෙන්වා ගත් නමුත්  කැතරින් අධිරාජිනියගේ  පෙම්වතුන් වුයේ ඉහල  පැලැන්තියේ  අයය. බවුද්ධ  කාන්තවක් වූ අනුලා  බිසව තම පෙම්වතුන් වස දී  මර දැම්මද අබවුද්ධ මහා කැතරින් එසේ   කළේ  නැත.   එක් පෙම්වතෙකු   ඉවත්  කොට තවත් පෙම්වතෙකු ලං කර  ගත්තේ  කලින් පෙම්වතාට   ඉහල විශ්‍රාම වැටුපක් සහ දේපොළ  ලබා  දීමෙන් පසුවය. අනිත් අතට අලුත් පෙම්වතෙකු  ඇසුරු  කිරීමට  පටන් ගත්තේ ඉන්න එකා  තවත් ගැහැනියක් සමග හොර මගුලක් පවත්වා ගෙන  යන බව  අසුවූ විටය. 

                                               මහා  කැතරින් අධිරාජනිය 

රාහුල  හිමියන් එසේ  කීවද  ඇතැමෙකුගේ  මතය  වන්නේ වැඩි වශයෙන්ම බහු  ලිංගික සම්බන්ධ  කම් පවත්වනු ලබන්නේ  පිරිමින්  යන්නය. එහෙත් එම  මතය  සත්‍ය දැයි  මා  දන්නේ  නැත.පුරුෂ පක්ෂයේ කැරැට්ටුව සොයා  බැලීමෙන් ඔබට මේ  ගැන නිගමනයකට ඒමට  සහය දීමට මා  කල්පනා  කරමි. 

 

  අරාබි නිසොල්ලාසයට අනුව  පර්සියාවේ අධිරාජයෙකු වූ ශාර්යාර් ගැහැණු ගැන  කලකිරෙන්නේ තම සොහොයුරාගේ  බිරිඳ හොර සැමියෙකු සමග නිදන අයුරු දැකීමෙනි. එය දැක  මාලිගාවට එන ඔහුට  දකින්නට  ලැබෙන්නේ  තමන්ගේ  බිරිඳද වෙනත් අයෙකු සමග රමණයේ  යෙදෙන අයුරුය. සියලුම  ගැහැනුන් එසේ  යැයි සිතන අධි රාජයා සිය  බිරිඳ  මර දමා  ඉන්පසු  සැම  රාත්‍රියක් සඳහාම  කන්‍යාවක් කැඳවා  ගෙන  ඇය  හා  රාත්‍රිය  ගත  කොට  පසුදා  උදේ  ඇය  මරා  දංගෙඩිය වෙත  යවනු  ලබයි. අරාබි නිසොල්ලාසයට  අනුව ඔහුගේ අධිරාජ්‍යයේ  සිටින  සැම කන්‍යාවක්  ඒ  අයුරෙන් මරා  දමා තිබේ.  තම බිරිඳ පහස  ලැබුවේ  වෙනත් එක් අයෙකු සමග  පමණක් වුවද මේ අධි  රාජයා දස  දහස්  ගණනින්  කන්‍යාවන්ගේ  පහස  ලැබීය.

 

  ඉතිහාසය ගැන විපරමෙන් බැලු  විට   පෙනෙන්නේ  පෙරදිග  මෙන්ම අපර දිග  රජවරුන්ද  ඈත  අතීතයේ  සිටම අන්තඃ පුර තබා ගෙන  සිටි  බවය. කිසියම් රුවැති  තරුණියක් දුටු විට ඇය  වහාම තම අන්තඃ පුරයට ගෙන්වා ගැනීම රජවරුන්ගේ  සිරිත  විය. සිය දහස්  ගණනක් තරුණියන් අන්තඃ පුරයේ  සිටි  බැවින්  ඔවුන්ට  යුතුකම් ඉටු  කිරීමට   රජවරුන්ට  හැකිවී   තිබෙන්නේ අවුරුද්දකට  හමාරකට  එක් වරක් පමණය.

උඩරට ඇතැම් රජවරුන්ට යකඩ  දෝලිය  නමින් හැඳින්වූ අනියම් භාර්යාවක් සිටි බව අයිතිහාසික  ලේඛන  තහවුරු  කරයි. කුරුණෑගල පාලනය කල දෙවන  බුවනෙකබාහු රජු , පළමු බුවනෙකබාහු රජුගේ යෝනක  යකඩ  දෝලියගේ  පුත්‍රයා  බව  කුරුණෑගල ලේඛණ වල සඳහන්  වේ. 

භාර්යාවන් රැසක් තබා ගැනීම රජවරුන්ට  පමණක් සීමා වුවක්  නොවේ. අද  මෙන්ම එදාද ධනය, බලය, ප්‍රසිද්ධිය තිබු  කාටත් පාහේ බිරින්දෑවරුන්  බොහෝ  ගණනක් සිටියහ. ඉස්ලාම් ආගමේ ආදී කර්තෘ මොහමඩ්  නබි තුමාට  වරින් වර අවම වසයෙන් භාර්යාවන් 19 දෙනෙකු  සිටි බව කියනු  ලැබේ. ඉස්ලාම් භාක්තිකයනට එක වර  භාර්යාවන් 4 දෙනෙකු  තබා ගැනීමට අවසර දී  තිබෙන්නේ අනියම් භාර්යාවන් තබා ගැනීමට පිරිමින් දක්වන රුචිය නිසා  එම දුසිරිතෙන් තම  භක්තිකයන් ගලවා ගැනීමේ අරමුණෙන් විය  හැක.

 

ඇමරිකානු  ජනාධිපති වරයෙකු වූ ජෝන් කෙනඩි විවාහ වුයේ  රූමත්  කතක් වූ ජැකොලයින්  සමගය. එහෙත් දුසිමකට වැඩි ලිංගික සහකාරියන් ඔහුට  සිටි බව පසු  ගිය  කාලයේ  එළිදරව්  විය .එක් අයෙකු වුයේ  ජනප්‍රිය  නිළියකු වූ  මැරිලින් මොන්රෝය .


                                      ජෝන් කෙනඩි සහ මැරිලින් මොන්රෝ



ප්‍රස්තුත කරුණ සම්බන්ධයෙන් ජෝන් කෙනඩිගෙන් පසු වැඩි ප්‍රසිද්ධියක් ලැබුවේ  ඇමරිකානු   ජනාධිපති වරයෙකු වූ  බිල් ක්ලින්ටන්ය. ධවල  මන්දිරයේ වැඩට  ආ සුරුපි තරුණියක් වූ මොනිකා  ලෙවින්ස්කි සමග  ක්ලින්ටන් ඇති  කර  ගත් රහසිගත සම්බන්ධය ඇමරිකානු දේශපාලනය  හරහා  හමා  ගිය කුණාටුවක් විය.  ඇතැම් දිනක රාත්‍රී  කාලයේ මොනිකා සහ ක්ලින්ටන් ධවල මන්දිරයේ වෙනත් අයට  යාමට  තහනම්වූ තැන්  වලදී  මුණ ගැහුනාහ.  බිල් ක්ලින්ටන් ඇය  සමග  පමණක් නොව වෙනත්  තරුනියන් කීප  දෙනෙකු  සමගද ඕනැවට වඩා කිට්ටු සම්බන්දකම් පවත්වාගෙන  ගිය  බව  දැන් හෙළිවෙමින්  පවතී.

                            බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි

ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන්  ගත  කළ කාන්තවන් ලං කර  ගැනීම සම්බන්ධයෙන් කප් ගසා තිබෙන බව  පෙනෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවලය. ඔහු  ගැන කතන්දර අප්‍රමාණය. ඔහුගේ  නිවසේ  පැවති සාදයකදී  ඔහු සහ ඔහුගේ   මිතුරෙකු  නිවසේ  ප්‍රධාන දොර  අසල සිට උත්සවයට ආරාධනා ලැබූ කාන්තාවන්  පැමිණෙන විට එකිනෙකා පරිහරණය  කළ   කතුන් සංඛ්‍යාව ගනිමින් සිටි අතර  ජෝන්ගේ මිතුරාගේ  බිරිඳ සහ දුවණිය දොරටුවෙන් ඇතුළු වන විට මිතුරා තම   සංඛ්‍යාවට  එකක් එකතු  කළ විට ජෝන් කොතලාවල සිරිමතා ඔහුගේ එකතුවට දෙකක් එකතු  කළ බව  කියනු ලැබේ.

                                         ජෝන් කොතලාවල

 

S.W.R.D. බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ  ඇමතිනියක් වූ විමලා විජේවර්ධන ,කැලණිය පන්සලේ අධිපතියා වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සමග පෙම් කෙලියේ  යෙදුනු බව ප්‍රසිද්ධ  කරුණකි.  බණ්ඩාරනායක  ඝාතනයේ  නඩු විභාගයේදී හෙළි වුයේ බුද්ධරක්ඛිත  හිමි විමලා විජේවර්ධනගේ  නිවසේ ඇතැම් දිනක  රාත්‍රිය    ගත  කළ  බවත් රාත්‍රී  ආහාරයට  පෙර විස්කි වලින් සන්තර්පනය වූ බවත්ය.

 

බණ්ඩාරනායක මහතා  මරාදැමීම කුමන්ත්‍රණය  මෙහෙයවූ   බුද්ධරක්ඛිත හිමි


 

                                                 විමලා විජේවර්දන මහත්මිය




පසු ගිය සමයේ  ලංකාවේ  ඇතැම් විනිශ්චය කරුවන්ගේ රහසිගත නිදන  කාමර සිද්ධි ඇතැම්  පුවත් පත් විසින් ප්‍රසිද්ධ  කරනු  ලැබීය. හිටපු අග විනිසුරු  සරත් නන්ද ද සිල්වා ඇඳුම් නොමැතිව කාන්තවක සමග මෝටර් රථයක් තුල සිටි ප්‍රවුර්තියක් ඇතැම් මාධ්‍යවල  පළවිය.  වසරකට හමාරකට පෙර ආබෘ නඩුකාර තුමා ගෘහ සේවිකාවට  බලහත්කාරකමක් කරන්නට  ගිය  බව එම ගෘහ සේවිකාව පොලීසියට  කියා තිබුණි. විදුහල්පති වරුන්ද  පොලීසියේ  ඉහල පෙලේ නිලධාරින්ද හෝටල් කාමර වලදී  රාජකාරී  කරන්නට යාම  ගැන පුවත්ද  වරින් වර පළවිය.

රුසියාවේ හෝ ඇමරිකාවේ  හෝ ලංකාවේ  හෝ මුළු ලොව  පුරා   හෝ  මේවා ප්‍රසිද්ධ වුයේ ඊට සම්බන්ද අය   අඩු වැඩි වශයෙන් ප්‍රසිද්ධ  අය හෝ සමාජයේ  ඉහල  ස්ථරයකට  හෝ අයත් වූ  නිසාය.  අප්‍රසිද්ධ අය ගේ රහසිගත සම්බන්දතා ගැන දන්නේ ඔවුන් ජීවත්වන ප්‍රදේශයේ අය  පමණි. ඉරිදා දිනක පොලීසියකට  ගොස් පැයක් දෙකක් ගත  කළහොත් අනියම් සම්බන්ධකම් කොපමණ රට පුර  සිදු  වන්නේ  දැයි  අනුමාන   කර  ගැනීමට  බැරි  කමක් නැත.

මේවා පිළිබඳව  මිනිසුන් විනිශ්ය  කරන්නේ ඔවුන් හැදුණු වැදුණු සංස්කෘතික පරිසරය  අනුවය. එහෙත් අනුන්ගේ මගුල් විවේචනය  කරන  අය අතරින් බහුතරය අනුන්ගේ  ලින් වලින් පිපාසාව දුරු  කර  ගැනීමට කැමති අය ලෙස  අනුමාන  කිරීම සාධාරණය. " හැමදාම පානුයි පරිප්පුයි කන්න  බැහැ .ඉඳ හිට කුකුල්  මසුත්  කන්න  ඕනේ " යැයි බොහෝ  පිරිමින්  කියනු ඔබටද ඇසී  ඇතැයි මා සිතමි. එංගලන්තය විසින් අප මත පට වන  ලද  වික්ටෝරියානු  සංස්කෘතිය මෙන්ම  ආගමික බල  පෑම් ද  නොවන්නට   ලාංකික  මිනිසුන් සහ  ගැහැනුන් අනියම් ලිංගික සම්බන්ධතා පිලිබදව වපර ඇසකින් නොබලනු ඇතැයි මගේ විශ්වාසයයි.

 

මිනිසුන්ගේ සහ  ගැහැණුන්ගේ  අනියම් සබඳතා පිළිබඳව අපක්ෂපාතව  බලන්නේ  නම් ස්ත්‍රී  පුරුෂ දෙපක්ෂයම විව්ධත්වයට රුචියක් දක්වන  බව  පිළිගත  යුතුය. ඔවුන් තම ආශාවල් පාලනය  කරගෙන  සිටින්නේ ආශාවන් ඉටු  කර ගැනීමට ඇති බාධාවන්  නිසාය.  ආගමික භක්තියෙන් යුතු   යම් කාන්තවක් හෝ  පුරුෂයෙක් ඉන් වැළකී සිටින්නේ නම්  ඒ මරණින්  මතු තම  ජීවිතය  සැපවත්   කර  ගැනීමට ඇති අපේක්ෂව  නිසා විය  හැක. "කාමයේ වරදවා හැසිරීමෙන් වලකිමි ." යන ශික්ෂා පදයක්  තිබීම ම    මිනිසුන් සහ ගැහැනුන් තුළ ඒ  ගැන  පවත්නා රුචිය  කොපමණ දැයි  තහවුරු  කරයි.

මිනිසාගේ  අපේක්ශාව වඩාත් නිදහස්  ලෝකයකි. තමන්ගේ  මුලික අවශ්‍යතාවයන්ට  බාධා කිරීම  තම  නිදහස  අහිමි  කිරීමක් ලෙස කල්  යත්ම  මිනිසුන් සශ  ගැහැනුන්  කලපනා  කරනු ඇත . එබැවින් ඒවා  බිඳ දැමීමට ඔවුන් පසු  බට  නොවනු  ඇත. විවාහය  යනු මිනිසා බැඳ  තබන යදමක් ලෙස අනාගත  මිනිසා  සහ  ගැහැණිය  දකිනු ඇත යන්න  මගේ  කල්පනාවයි. එබැවින්   රාජ්‍යය විසින්  පනවා ඇති  විවාහ  නීතිය අවලංගු  කරන  ලෙස මිනිසුන් සහ  ගැහැනුන් අනාගතයේ  දිනක අරගල  කරනු ඇත.. මේ වන විටත් ලෝකයේ  බොහෝ  මිනිසුන් සහ  ගැහැනුන් විවාහ  නොවී පවුල් පන්සල් කන  බැවින් එසේ  සිතීම අසාධාරණ  නැත . කල්  ඇවෑමෙන් මෙය   බහුලව  සිදුවෙනු  ඇත

 

.  විවාහය නමැති නීතිය මගින්  ස්වේච්චාවෙන්   තම නිදහස අහුරා   ගනු  ලැබීමට  තරම් අතීතයේ  මිනිසුන් සහ ගැහැනුන් අඳබාල  වුයේ මන්දැයි  තවත් වසර 500 කට පෙර එළඹෙන  දිනක   මිනිසුන් සහ  ගැහැනුන්  කලපනා කරනු  ඇත යන්න  මගේ  නිගමනයයි .



 

 

 

Sunday, July 17, 2016

කළු ජුලියේ ගිනි දැල් සහ යාපනයේ සිසු ගැටුම .

 

 

ඉස්සර  අධ්යාපන  අමාත්‍යංශය  තිබුනේ  කොළඹ කොම්පඥඥවීදියේය.හරියටම  කියතොත් එහි  මැලේ වීදියේය. 1983  ජුලි 25 වනදා  පාන්දරින්ම මා  නිවසින්  පිටවුණේ රස්සාව  යලි  ලැබෙන  බවට ලැබුණු ආරන්ච්චියක්  නිසාය. 1980  ජුලි මහා වැඩවර්ජනයට  මහරගම  ගුරු විදුහලේදී  නායකත්වය  දීම  හේතුවෙන් JR  ජයවර්දන  ආණ්ඩුව මා  ගෙදර  යැවූ අතර රැකියා විරහිත  කාලය  අවුරුදු  තුන  පසු  කරමින් තිබිණ . මහරගම ගුරු විදුහලේදී අපි වර්ජනය  ආරම්භ  කළේ  හරියටම අද වැනි දිනක හෙවත් 1980 ජුලි 17 වනදාය.  අවුරුදු 3  කුත් දවස්  ගණනක්  ජීවත් වුයේ ගෙදර  තිබු   කව්තුක  භාණ්ඩ ද , ගෙවත්තේ  තිබු  ගස් ද   විකිණීමෙන්  සහ ස්ථිර  නොවන රැකියාවන් දෙක  තුනක් කිරීමෙනි. මා  වැඩ  වර්ජකයෙකු වීම  නිසා  මගේ බිරිඳට  රැකියාවක්  ලැබීමද  සහනයක්  විය.  රැකියාව  දුන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයයි. එසේ  නොවී  නම්  කුමන ඉරණමක් අත්වේදැයි සිතා   ගැනීමට  නොහැක. වැඩ වර්ජකයන් 50කට  අධික සංක්‍යාවක් මේ වන  විට දිවි නසා ගෙන තිබුණේ තම දු දරුවන්  , බිරිඳ , දෙමාපියන් කුසගින්නේ  සිටීම ,ගොඩ  ගැසුණු ණය තුරුස් ගෙවා  ගැනීමට නොහැකි වීම , සමාජය විසින්  නොසලකා  හැරීම ආදී  හේතු  නිසාය.

 

අධ්‍යාපන අමාත්‍යංශයට  යන විට උදේ  දහය  පමණ  විය . නැවත සේවයේ  පිහිටුවීමට තීරණයක්  ගෙන ඇති  බවට  ආරංචියක්  ලැබුණු  බැවින් ඒ  ගැන සෙවීමට  පැමිණි  බව   නිලධාරියෙකුට    කියා  සිටියෙමි. ලැයිස්තුවක් පිරිස්සු  ඔහු , මා   නැවත සේවයේ  පිහිටුවීමට  තීරණයක් ගෙන  තිබෙන  බවත් අදාළ  ලිපිය  කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන  කාර්යාලයට යවා ඇති  බැවින්  එහි ගොස් එම  ලිපිය  ලබා  ගන්නා  ලෙසත් කියා  සිටියේය.

 

මා අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිටතට  පැමිණි  විට එහි  සිටි  මිනිසුන් ඉතා සන්සුන් ලෙස  පිටකොටුව  පැත්තේ  අහසට  නගින  කළු දුම්  රොටු දෙස  බලා  සිටියහ. පිටකොටුවේ  දෙමල මිනිසුන්ගේ  කඩවලට  ගිනි  තබන  බව  ඊළඟ  මොහොතේ  මට දැන  ගන්නට  ලැබිණ.   රටම  ගිනි  ගන්නා දෙමල විරෝධයක  ආරම්භය මේ   යැයි ඒ  මොහොතේ  කිසිවෙකු  සිතන්නට  නැත.  රජයේ සහ  පවුද්ගලික අංශයේ  කාර්යාල සේවකයෝ  සුපුරුදු  පරිදි තම සේවාස්ථානවල මේ වන තෙක්ම  සේවය  කරමින් සිටියේ  ඒ  නිසාය.   ගමට ඒමට බස්  රථයක්  අල්ලා   ගැනීමට  පිටකොටුවට දෙසට පා  ගමනින් මා  යාමට  පටන් ගත්තේ සිදුවෙමින්  පවතින්නේ  කුමක්දැයි  ඒ  අතර දැක  ගැනීමට  හැකි  නිසාය.

 

ලේක්හවුස්  වට රවුම  ආසන්නයේ   රීගල් සිනමා  හල අසලට මා  පැමිණෙන විට පොලු  අතට  ගෙන සිටි  අවුරුදු  18 , 20 වයස්  ප්‍රමාණයේ   හතර පස් දෙනෙකු  කොම්පඥඥවීඩිය දෙසට  ගමන්  ගන්නා මෝටර්  රථ  නවත්තමින් එහි  දෙමළුන්  සිටින්නේදැයි  සොයමින්  සිටියහ. එක්  වාහනයක දෙමල  මිනිසුන්  පිරිසක්  සිටි  අතර  ඔවුන් වාහනයෙන් ඇද  පහර  පිට  පහර දුන්නාහ. එක් දෙමල  ජාතිකයෙකු  ඔවුන්ගෙන්  ගැලවී  රීගල්  සිනමා  හල දෙසට  පැන දිව්වේය.  ඔහු  පසු  පස ටික දුරක් මැරයෙකු දුව  ගිය  නමුත් අල්ලා  ගත  නොහැකි විය. මේ වන විට අවට  කාර්යාලවල  විශාල  පිරිසක්  පිටතට  පැමිණ  ඒ දෙස  බලා  සිටි අතර පහර දීමට  සම්බන්ධ  වීමටවත්  පහර දීම  වලක්වන්නටවත් ඉදිරිපත් වුයේ  නැත.  එම ස්ථානයේ  සිටියේ එක් පොලිස්  නිලධාරියෙක් (ඔහු අත රිවොල්වරයද  තිබුණි.) පමණි. ඔහු මේ  මැරයන්  පන්නා  දැමීමට  හැකි සෑම උත්සාහයක්ම  ගත්  අතර එතනින් මීටර් 50 ක් පමණ ඈතට  ගිය මැරයන්  යලිත්  වාහන නවතා දෙමළුන් සෙවීම  ආරම්භ  කළහ. පොලිස්  නිලධාරියා එම ස්ථානයට  දුව  ගොස්  ඔවුන් පන්නා  දැමීමට කටයුතු  කරන විට  තවත්  මැර  පිරිසක්  කලින් මැරයන් සිටි  ස්ථානයට   පැමිණ වාහන  නැවත්වීමට  පටන් ගත්හ.පොලිස්    නිලධාරියාට සිදුවුයේ මැර  කණ්ඩායම් දෙක  අතර එහෙටත් මෙහෙටත් දුවමින් හැකි  පමණින්  සිය  රාජකාරිය  කරන්නටය. 

 

 

මේ   අතර  හමුදා  භට  කණ්ඩායම්  රැගත් ලොරියක්  දෙකක් එතන  පසු කොට  ගිය   නමුත්  අඩු වශයෙන් වාහනය  නතර  කොට  පොලිස්  නිලධාරියට සහය  දීමටවත්  ඉදීරිපත්  වුයේ  නැත. ඒ  වෙනුවට  හමුදා භටයෝ මැරයන්ට  අත් ඔසොවා ආචාර  කොට තව  තවත්  ඔවුන් ධයිර්යමත්  කළහ.

 

මේ වන විට  පිටකොටුව  එකම  ගිනි  ජාලයක්  බවට  පත් වී  තිබුණි. එබැවින් ඒ  දෙසට කිසිදු  බස්  රථයක්  ගමන්  නොකළ  අතර  සියලුම  බස්  රථ  කොළඹින්  පිටවෙමින් තිබුණි. තත්ත්වය  ඉතා බිහිසුණු වෙමින්  පවතින බව  සියලු දෙනාගේම  අදහස  විය . මගේ  බිරිඳගේ  කාර්යාලය  තිබුනේ නාරහේන්පිටය. ඇයගේ  කාර්යාලයට  ගොස් ඇයවත් රැගෙන  ගමට  යාම මේ  මොහොතේ  කළ යුතු දේ  බව  වටහා  ගත් මා  බස්  රථයකට  ගොඩ  වුයේ එහි ගමනාන්තය  ගැන වත්  සොයා  බලන්නේ නැතුවය. බස්  රථය  ගාලු  පාරට  පැමිණ  බම්බලපිටිය දෙසට එනතෙක්ම  මා   දුටුවේ  පාර  දෙපසම  ගිනි  ජාලවල් ඇවිලෙන  අයුරුය.  බිරිඳ  සොයා ගත  යුතු  බැවින් මා  බම්බලපිටියෙන් බැස්ස  විට  ආරංචි  වුයේ සියලුම  කාර්යාල වසා  නිවෙස්වලට  යන  ලෙස ආණ්ඩුව  නිවේදනය කර  ඇති බවත් සවස එකේ  සිට  ඇඳිරි නීතිය  පනවන  බවත්ය. මේ  වන විටත් වෙලාව දහවල් දොළහ  පසුවී  තිබිණ. බිරිඳගේ  කාර්යාලය  පිහිටි  නාරාහේන්පිට ට  යන  බස්  රථයක්  නොතිබුණු  බැවින්  ඒ  දෙසට  පා   ගමනින් යන අතර  තුර  මා දුටුවේ    දහස්  ගණනින්  කාර්යාල සේවකයන් පයින්ම   බම්බලපිටිය දෙසට  පැමිණෙන  අයුරුය. බිරිඳ  සොයා  ගියද කාර්යාල වසා   ඇති  බැවින් ඇයද  ආපසු  එමින් සිටිය  හැකියයි  මා   අනුමාන  කලෙමි..  ඇය  සොයා  යාම නිෂ්ඵල  ගමනක්   බැවින්  පා ගමනින් පැමිණෙන අය  අතර ඇය සිටින්නේදැයි එක්  තැනක  නැවතී බලා   සිටියෙමි. ඇතැම් විටෙක  ඇය මට   මග හැරී  ගොස්    බස්  රථයක් එනතුරු  බම්බලපිටියේ  හන්දියට වී  සිටිනවා  විය  හැකි  යැයි සිතු මා ආපසු  බම්බලපිටිය  හන්දියට පැමිණ  පැයකට  අධික  කාලයක්  ඇය එතැයි  බලා සිටියෙමි.

 

මේ  වන විට ඇඳිරි  නීතිය  පනවා  හමාරය.  තව  දුරටත්  බල සිටීම  නිෂ්පල යැයි  මා   කල්පනා  කලෙමි.ඇය   බස්  රථයක නැගී  නිවෙස  බලා  යමින් සිටිනවා   විය  හැකිය. තව  තවත්  ප්‍රමාද   වුවහොත්  ගමට යාමට බස්  රථයක්  සොයා  ගැනීමටද   මට නොහැකි වනු  ඇත. වෙනත් විකල්පයක් නොවූ හෙයින් කළුතර දෙසට  යන  කුමන බස්  රථයක් එල්ලී   හෝ  ගමට  යන්නෙමි,යි අවසානයේදී  තීරණය කළෙමි.

 

 

පැමිණෙන  සියලු බස්  රථවල සෙනග  පිරී  ඉතිරී  ගොස්  තිබිණ .සැහෙන  කාලයක්  බල සිටීමෙන්  පසු  කළුතරට යන  බස්  රථයකට  මහත් පරිශ්‍රමයක් දරා  ගොඩ වුයෙමි.  එතැන් සිට යලිත්    දැකිය  හැකි වුයේ  ගාලු පාර දෙපස   තැන  තැන  කඩ  සාප්පු  ගිනි ගෙන  දැවෙන  අයුරුය. වැල්ලවත්ත  එකම ගිනි  ජාලාවක් වී  ඇති බැවින් වැල්ලවත්ත  හරහා  ගාලු  පාරේ  බස්  රථයට  යා නොහැකි  බැව්  ආරංචි විය. බස්  රථය  අතුරු  පාරකට දැමු විටද දකින්නට  ලැබුනේ  ගෙවල්  ඉදිරිපස දැවෙන  මෝටර්  රථ, යතුරු  පැදි,  සීත කරණ,  රුපවාහිනි  යන්ත්‍ර  සහ ගෘහ භාණ්ඩය.    බම්බලපිටිය සහ  පානදුර  අතර දී  පාර දෙපස නිවෙස් ඉදිරිපස   ගිනි  තබා  විනාශ  කර  තිබු මෝටර් රථ  සහ  මෝටර් බයිසිකල්  සංඛ්‍යාව 1000  කට අධික  මිස  අඩු  නැත. 

 

මොරටුව   කතෝලික  පල්ලියක් ඉදිරිපස විසි තිස්  දෙනෙකු  රැස්වී පල්ලිය  ඇතුලට  කඩා  පැනීමට උත්සාහ  කරමින්  සිටි  අතර එහි සිටි  පොලිස්  භටයෙකු  ඔවුන් ඇතුලට  යාම වැලක්වීමට  මහත් පරිශ්‍රමයක්  දරමින් සිටිනු  දකින්නට  ලැබිණ. ජීවිත  ආරක්ශාව  පතා  පැමිණි දෙමල  මිනිසුන්  පල්ලිය  තුළ  ඇතැයි  මට සිතින. බස්  රථය  නොනවත්වා  පැමිණි  බැවින් පසුව  සිදුවුයේ  කුමක්දැයි මා දන්නේ  නැත.

 

කළුතර  නගරයෙන් බසින විට කිසිදු  කලබලයක්  එහි දකින්නට  නොතිබිණ. මා පැමිණ  විනාඩි දහයක් ගත වන  විට  ගාලු  පාරෙන් කළුතර  දුම්රිය  පොළට  හැරෙන  තැන තිබු දෙමල  කඩය ගිනි  ගන්නට  පටන් ගත්තේය. ටික වෙලාවකින්  ආරංචි වුයේ  කඩේ  අයිතිකරු  ගිනි  ගොඩට  පැන  දිවි නසා  ගත්  බවය.

 

යළි  බසයක  නැගී  මතුගමට  පැමිණි  විට එහි  සාමකාමී ස්වරුපයක් දැකිය  හැකි  විය.. ගමට  ඒමට  තවත්  බසයක් එන  තුරු  මා   බලා   සිටින  විට  දුටුවේ සිය  වෙළඳ  සැල  වසා ගෙදර  යාමට  සැරසුණු  දෙමල  ව්‍යාපාරිකයෙකුට  පහර දී  ඔහු  අත  තිබු  මුදල් පසුම්බිය   ප්‍රදේශයේ  මැරයන් දෙදෙනෙකු  පැහර  ගන්නා  අයුරුය. එය වැලක්වීමට  ඉදිරිපත්වන  ලෙස මා හඳුනන  කීප  දෙනෙකුට යෝජනා  කළ  නමුත් ඔවුහු  එය  ප්‍රතික්ෂේප  කළහ.

 

පසු  දින   ආරංචි වුයේ   පෙර  දින  රාත්‍රීයේ  මතුගම තිබු  දෙමල  කඩවලට  ගිනි  තැබූ  බවය     කා  අතරත්  ජනප්‍රියව  සිටි දෙමල  මහතෙකුට  අයත්ව  තිබු  'මොඩර්න්  ෆාමසි ' නම් බටහිර  අවුෂධ  හළ ද  මංකොල්ල  කා තිබුණි. පසුව  දැන ගන්නට  ලැබුණේ මතුගම නගරයේ  තිබු  සිංහලයෙකුට  අයත්අවුෂධ හලකට එහි  තිබු අවුෂධ  ඇද  ගත්  බවය.

 

මගේ  සිත  බලවත් ලෙස  කම්පනයට  පත් වුයේ මතුගම  නගරයේ  තිබු  නන්දා ස්ටෝර්ස්  නමැති රෙදි පිලි  හලකට  ගිනි තැබු  බව ආරංචි  වූ  විටය..   කඩයේ  තිබු එවකට  ලක්ෂ දෙක  තුනක්  වටිනා සියලු  රෙදි  පිලි  ගිනි  තබා  තිබුණි. එහි  අයිති  කරු අහිංසක දෙමළෙකි. මසකට වරක් දෙවරක් මා එම  කඩයට  යන බැවින්  ඔහු සමග සුළු  හිතවත්කමක්ද ඇතිවී  තිබුණි. දිනක් මා   ඔහුගේ  රෙදිපිලි  හලට  ගියේ බෝතලයක්  ඉල්ලා  ගැනීමටය. බෝතලය  අවශ්‍ය  වුයේ  සිංහල බෙහෙත්  කඩයකින්  දියර බෙහෙත් වර්ගයක්  මිලදී  ගැනීමට  ගිය  විට හිස්  බෝතලයක්  ගෙනෙන  ලෙස  කිව්  නිසාය. නන්දා  ස්ටෝර්ස් වෙත  ගිය මා අයිතිකරු  හමුවී මගේ  අවශ්‍යතාවය  කීවෙමි. එහි  හිස්  බෝතලයක්   නොතිබුණු  බැවින්   මීටර් 300ක්  පමණ දුරකින් වූ  ඔහුගේ  නිවසට  සේවකයෙකු  යවා මගේ  ඉල්ලීම  ඉටු  කර  දුන්නේය.

 

  වෙළඳ  හලට  ගිනි  තැබීම  නිසා  ඔහු  මුළුමනින්ම  බංකොලොත්  ගැහුවේය. ආණ්ඩුවෙන්  හරි  හමන් වන්දියක්  ලැබුනේද  නැත. මතුගම  නගරයේ  ව්‍යාපාර  කිරීමෙන්  සදහටම   සමු  ගත් ඔහු   අද  නොමැරී  ජීවත් වෙන්නේ ගෙයින් ගෙට  ගොස් රෙදි  පිලි  විකිණීමෙනි.

 

හැට  හත් දෙනෙකු  පමණක් සිටි LTTE සංවිධානයේ තුවක්කුකරුවන්ගේ  සංක්‍යාව දස දහස් ගණනකට වර්ධනයවීමට කළු ජුලිය ප්‍රධාන  වශයෙන්ම හේතුවූ බව කරුණා අම්මාන් පසු කලක කීවේය. ලක්ෂ  ගණනක් දෙමළ මිනිසුන් අනාථයන් ලෙස  ඉන්දියාවටද  තවත් දසදහස්  ගණනක්  යුරෝපයටද  ගියේ  කළු  ජූලියෙන් පසුවය. 

 

 1983  සිට ඉන්දියාව  ලංකවේ  ජනවර්ග  ප්‍රශ්නයට  මැදිහත්  වීමට බලපෑ  ප්‍රධාන  තම හේතුව  වුයේ කළු  ජුලිය විසින්  ලංකාවේ මෙන්ම  ඉන්දියානු දේශපාලනයේ  ඇති  කළ  ප්‍රබල වෙනස්  කම් නිසාය. 13  වන  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය කළු  ජූලියේ  දිගුවකි..  යුරෝපයේ දෙමල  ඩයස් පෝරාවක් ඇතිවීම  කළු  ජූලියේ   තවත්  ප්‍රතිඵලයකි. . යුරෝපය ලංකාවේ  ජනවර්ග  ප්‍රශ්ණයට මේ  තරම් ප්‍රබල ලෙස  බලපෑම් කිරීමට  හේතු වී  තිබෙන්නේද  යුරෝපයට ගිය  දෙමල මිනිසුන්  යුරෝපයේ  සහ එංගලන්තයේ දේශපාලනයේ නොසලකා  හැරිය  නොහැකි  සාධකයක් වී  තිබීමත්  ,  ලාංකික දේශපාලන  අනාථයන්  ලංකාවට  ආපසු එවීමට එම  රටවලට  ඇති  උවමනාව  නිසාත්ය.

 

ලංකාවේ  විශ්ව  විධ්යාලවල මෑතදී  ඇතිවූ  සිද්ධීන් මෙන්ම  විමල් වීරවංස ගෝත්‍රය  යලි  පන  ගසා  තිබීම   යලි  කළු  ජූලියක්  නිර්මාණය  කරනු  ඇතැයි  යන බියක් මා තුළ ඇතිවී  තිබේ. පේරාදෙණියේ එළිමහන් රඟ හලේ   සිද්ධිය  මෙන්ම  යාපනයේ  විශ්ව  විද්යාලයේ   දෙමල සහ සිංහල සිසුන් අතර  ඇතිවූ ගැටුම    පෙන්නන්නේ රතු එළියක් නොව  එයටත් වඩා  බිහිසුණු රුධිර වර්ණ සඥාවකි. 1983  කළු  ජූලියේදී දෙමළුන්ට  පහර දීමට  සරසවි  සිසුන්ට  අදහසක්වත්  පහල නොවූ  නමුත් යලි  කළු  ජූලියක්  ඇති  වුවහොත්  සරසවි  සිසුන් කොටසක් එහි  නායකත්වය  ගන්නා  බවට බොහෝ  දුරට අනුමාන  කළ  හැකිය. 

 

  වත්මන් තරුණ  පරපුරෙන් සැලකිය  යුතු  පිරිසක්  දැඩි ද්‍රවිඪ  විරෝධයකින්  පසු  වන  බව ෆේස් බුක් හී පළවන ඇතැම් පෝස්ටු තහවුරු  කරයි. දෙමල තරුණයන් තුළද එවැනිම සිංහල විරෝධයක් තිබිය  හැක  . 27 අවුරුදු  යුද සමය තුළදී දෙපාර්ශයේම ජීවිත අහිමි වීම නිසාත්   යුද්ධයක්  තුල  උපන්  අය  නිසාත් සිංහළ තරුණයන් දෙමළුන් සතුරන් ලෙසත් , දෙමල තරුණයන් සිංහලුන් සතුරන් ලෙසත් පෙර නොවූ  විරු ලෙස දකිති ය  යන්න  මගේ   විශ්වාසයයි..මෙවැනි බිහිසුණු තත්වයක් මෙයට  පෙර   ලංකාවේ ඉතිහාසය  තුළ  තිබිනැයි  මා   නොසිතමි. 

 

යාපනයේ  සරසවියේ  සිංහල දෙමල  ගැටුම   හෝ  එවැනි සිංහල දෙමල  ගැටුමක් දුර  දිග  යාමට  ඉඩදුන  හොත් ඇති  විය  හැකි  කළු  ජුලිය 1983  කළු  ජුලිය  මෙන් දස  ගුණයක  භීෂණයක්  බවට පත් වනවාට  සැක නැත . එවැනි  භීෂණයකින්  දස  දහස්  ගණනින්  මිනිසුන්  මිය  යනු  ඇත. ලංකාවේ බොහෝ   නගර  අළු බවට  පත්වෙනු ඇත. ලක්ෂ  ගණනින්  දෙමල  මිනිසුන්  යලිත්  ඉන්දියාවටත්  යුරෝපයටත්  සරණාගතයන් ලෙස   යනු  ඇත    එවැන්නක ප්‍රතිඵලයක්  ලෙස   ඉන්දියාවද  ඇමරිකාවද ,යුරෝපයද  වඩාත්  ප්‍රබල  ලෙස  ලංකා  දේශපාලනයට  මැදිහත්  වනු  ඇත. . අවසාන ප්‍රතිඵලය එක්සත්  ජාතීන්ගේ  සංවිධානයේ මැදිහත්  වීමෙන්  උතුරට  සහ  නැගෙනහිරට  ෆෙඩරල්  පාලනයක් ලබා දීම හෝ එයිටත් එහා ගිය සහ සන්ධීය  පාලන ක්‍රමයක් ලබා දීම විය හැක. 

 

 

 

Monday, July 11, 2016

යහපාලනයේ හොරු ගස් බඳීව් !

 

 

 

මිනිස්සු  එක්සත්  ජාතික  පක්ෂය  නැවත  බලයට පත් කර ගත්තේ ඔවුන් බොධිසත්තයන් නිසා නොවේ. රාජපක්ෂලාගේ සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ගේ දුෂ්ට පාලනයෙන් හෙබ්බත්  උන  නිසාය.  1977-94 කාලයේ එක්සත්  ජාතික  පක්ෂ ආණ්ඩුව කළ  හරිය ඇසුවොත් බල්ලන් බත්  කන්නේ  නැත. 77 බලය  ගත්  විගස  යු එන් පි. කාරයෝ  විරුද්ධවාදීන්ගේ ගෙවල් දස  දහස්  ගණනකට  පහර දී අලාභ  හානි කළහ. 'ඕන  තරම්  ගහපියව් ' කියා  JR සතියක් දෙකක්ම ඇස්  පියාගෙන  සිටියේය. 77-80 අතර ඇතිවූ  කම්කරු විරෝධතා ව්‍යාපාර වලට පහර දීමට මැරයන් එව්වේ බයිසිකල් චේන්, යකඩ පොලු  ආදියෙන් සන්නද්ධ  කොටය. එකල ඔවුනට නායකත්වය දුන්නේ දැන් මහින්ද  සමග බුදියන  ගාමිණී ලොකුගේය. දවසක වැටුප රු.10 කින් වැඩි  කරන ලෙස ඉල්ලා  1980 වැඩ වර්ජනය  කළ රජයේ සේවකයන් 40000ක්  ගෙදර යැව්වේ JRගේ  ආණ්ඩුවය. 1983 දෙමල මිනිසුන් දහස්  ගණනක් මරා  ඔවුන්ගේ  කෝටි දහස්  ගණනක දේපොළ  ගිනි තිබ්බේද , මංකොල්ල කැවේද  unp ආණ්ඩුවේ  නායකයන් විසින් මෙහෙයවූ මැරයන්ය. යාපනයේ පුස්තකාලය  ගිනි  තිබ්බේ  UNP  නායකයන් කීප දෙනෙකුගේ  මෙහෙයවීමෙනි. කොටින්ම 1983 වන විට  60  ගණනක් පමණක් සිටි කොටි සංවිධානය දහස්  දහස්  ගණනක් බවට  පත්  කළේ JR ජයවර්ධනය.

 

ගිය අවුරුද්දේ මහා මැතිවරණයේදී එක්සත්  ජාතික  පක්ෂයට වැඩි  ආසන  ගණනක්  ලැබුනේ UNP  කාරයන් වැඩිවී ඇති  නිසා නොව මහින්ද එපා වීමත්  මෛත්‍රී කෙරෙහි මහජන විශ්වාසයක් ඇති වීමත් සහ  සිවිල්  ජනයාගේ  ව්‍යාපාර  නිසාත්ය. ආරම්භක  සමයේ සිල් ගෙන  සිටි  UNP  සිල් රෙදි ගලවා  දැන් දැන්  තම හෙළුව  ප්‍රදර්ශනය කරන්නට  පටන් ගෙන  තිබෙන බවක් පෙනේ. ( හොඳ වැඩද  කළ බව  කියන්නට  මා  පසු බාන්නේ නැත 19 ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සභා පත් කිරීම , අධිකරණය ස්වාධීන  කිරීම  තොරතුරු දැන ගැනීමේ  පනත සම්මත  කිරීම, රාජ්‍ය  සේවක වැටුප් වැඩි  කිරීම  ආදිය ප්‍රසංශා  කටයුතුය. එහි ගවුරවය මෛත්රීටද  හිමිය.)

 

මහබැංකු බැදුම්කර සිද්ධියේදී  වංචාවක් සිදු වී ඇතැයි  පිළිගන්නට මුලදී මගේ  හිත  නොදුන්නත් දැන් නම් පෙනෙන්නේ මේ මහා වංචාව පිටුපස  UNP ලොක්කන්  සිටින  බවය. විගණකාධිපති විසින් බැඳුම් කර  ගනදෙනුවෙන්  රටට දැවැන්ත  මුදල් සම්භාරයක් අහිමි වී ඇති  බව තහවුරු  කිරීම   කිසිවෙකුට  නොසලකා හැරිය  නොහැකිය.ඔහුගේ වාර්තාවෙන් කලබලයට  පත් UNP ලොක්කන් විගනකාධිපතිට  එරෙහිව පොලු  මුගුරු අතට  ගැනීම  අපට සිහි  කරන්නේ 'පුහුල් හොරා  කරෙන් දැනේ ' යන  කුමාරෝදයේ  තිබු  කතාවය.

 

බස්නාහිර  පළාතේ  මාවත් සංවර්ධනය  කිරීම  සඳහා රු.බිලියන 3.6   කොන්ත්‍රාත්තුවක්   UNP අමාත්‍ය දයා  ගමගේ පුතාගේ   ඔලිම්පස් නැමැති කොම්පැණියකට දීම   රාජපක්ෂලාගේ  ගැහිලි වලට දෙවෙනි වන්නේ  කෙසේදැයි   UNP    කාරයන් අපිට  කියා දෙන්නේ  නම් හොඳය.

 

නොරොච්චෝලේ  විදුලි  බලාගාරයට ඉදිරි  අවුරුදු  තුන සඳහා ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව  අඩු  මිල  ඉදිරිපත්  කල සමාගමට  නොදී වැඩි මිල  ඉදිරිපත්  කල සමාගමට දීම  පිටුපස  සිටින්නේ  එක්සත්  ජාතික  පක්ෂයද ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයද  කියා  තවමත්  පැහැදිලි  නැති  බැවින් ඒ  ගැන පසුවිටෙක ලිවීමට  කල්  තබමි. ( විදුලි බල ඇමති ශ්‍රී ලංකා  කාරයෙකි.)

 

දැනට  පෙනෙන්නේ  නම් UNP  ගහන්නට  පටන්  ගත්තා  පමණකි  යන්නය.   එක්සත්  ජාතික  පක්ෂය (මහින්දගේ  පාලන සමයේ) මුදල් අතින් වැලේ වැල්  නැතිව  සිටියේය. පක්ෂයට අයත්  ඉඩමක් පවා  විකුණන්නට එජාපයට සිදුවුයේ  ඒ  නිසාය. සියලු  ජාවාරම් කාරයන් තමාගේ පරණ හාම්පුතා අමතක  කොට  මහින්ද වටා එකතුව  සිටීම  UNPය  මුදල් අතින්  බංකොලොත්  ගැහීමට  හේතු  විය. ඒ  කාලයේ  එක්සත්  ජාතික පක්ෂය නඩත්තු  කිරීමට දයා   ගමගේ  මහතා සැහෙන  මුදලක් වියදම්  කළ  බැවින්  මහින්ද ඔහුගෙන්   පලි  ගත්තේ දයා  ගමගේ විසින්  ධනය යොදවා දියුණු  කොට තිබු පැල්වත්ත සීනි සමගම ආණ්ඩුවට  පවරා  ගැනීමෙනි. බංකොලොත්  ගසා  සිටි  එක්සත් ජාතික පක්ෂයට ඉකුත් මහා  මැතිවරණයේදී  අත දිග  හැර වියදම්  කරන්නට සල්ලිය බාගය හිටි  හැටියේ  ප්රාතුර්භුතවී  තිබිණ.  සමහරු  කියන්නේ  මහ  බැංකු  බැඳුම් කර   ගනදෙනුවෙන් කොටසක් සිරිකොත භාණ්ඩාගාරයට ගිය  බවය.

 

මාක්ස්වාදය  කියන්නේ  ධනපති  ක්‍රමය වනාහි  හොරකම හැර අන්  යමක්  නොවන බවය. එහෙත්  'උනුත් හොරු ,මුනුත්  හොරු ' කියමින්  රතු  කොඩි  අරගෙන  යන අය දෙස මහජනයා  තවමත් බලන්නේ  නැත්තේ ඒ  අයගේ  පරණ කැරැට්ටුව මතක් වන විට ඔවුන්ගේ  පපුව "ඩිග් " " ඩිග් " ගා  ගැහෙන  නිසාය.

 

ඒ  නිසා  මහජනයා වන  අපට තිබෙන්නේ  කට වහගෙන  සිටීම  නොවේ. මහින්ද  යලි ගෙන්නා   ගැනීමද  නොවේ.  ආණ්ඩුවේ වැරදි වැඩ  හෙළි  කිරීමය. විවේචනය  කිරීමය .  පොරොන්දු  ඉටු කරන ලෙස  බලකිරීමය. යහපාලනය පිහිටුවීම සඳහා අවශ්‍ය  නීති රීති සම්මත  කරන ලෙසය.    හොරු අල්ලා  අවුරුදු 20  කටවත්  හිරේ    යවන  ලෙසය . ඒ සඳහා විශේෂ අධිකරණයක්  පිහිටුවා ඉක්මන් කොට  නඩු අසා ආයිත් දේශපාලනයට  එන මං අහුරන  ලෙසය. 

එහෙත් ඒ  ටික  කරයිදෝ  යන්න  සැක  සහිතය. හේතුව  නම් UNP සහ ශ්‍රී ලංකා පක්ෂ දෙකේම  ඉන්නේ  ඒකෙන් මේකටත් මේකෙන් ඒකටත්  මාරු වූ නායකයන්ය. මේ  අය  නැවතත්  මෙහෙන් එහෙටත් එහෙන් මෙහෙටත්  තමන්ගේ  සාක්කුව වෙනුවෙන්  මාරුවෙනු  ඇත. තාවකාලිකව පස මිතුරු වුවද  ඔවුන් අතර ඩීල්  තිබිය  හැක. එබැවින්  විස්වාශය තැබිය  යුත්තේ මේ  පක්ෂ දෙකේ  නායකයන්ගේ  කතන්දර  මත නොව සිවිල්  ජනයාගේ බලපෑම්   මතය. එබැවින් පුරවැසියන්ගේ  වගකීම  වන්නේ තමන්ගේ  සංවිධාන  දෙවුන්දර තුඩුවේ  සිට  පේදුරු තුඩුව  දක්වාම  ගොඩ  නගා  "දුන් පොරොන්දු ඉටුකරනු! "  කියා කෑ ගසා  කීමය.

 

සිවිල්  ජනයාගේ සංවිධාන ශක්තිමත්  කිරීම අවශ්‍ය  වන්නේ ඒ  නිසාමය .

Friday, July 8, 2016

ඉස්කෝලේ විප්ලවයට මහින්ද සමග පෙරට

 

 

තෙවරප්පෙරුම  මන්ත්‍රී තුමා එල්ලෙන්නට  යාම  නිසා  මගේ   හිත කීරි  ගැසුනේය . ඉහින් කනින් දාඩිය වැක්කුරුනේ රාවණා ඇල්ල වගේය.එමෙන්ම  හදවත  උණුවී වැක්කෙරෙනවා සේ දැනිණ .එවැනි  උත්තමයෙක් හදිසියේ අභාවප්‍රාප්ත  වුවහොත්  රටටම  හෙන  පාඩුවකි. හදිසියේ කවුරු  හරි  ලිඳකට පැන දිවිනසා  ගත්තොත්  මිනිය  ගොඩ  ගන්නේ  කවුද? පාසල්වලට  කඩා  පැන විදුහල්පති  වරුන්ගේ බෙලි සහ  හිස  පිරිමදින්නේ  කවුද?  රනිල්ට  වැනි  ලොක්කෙකු  වුවද  තඹ  පයිසෙකට ගණන්  නොගන්නා  ධීර වීර මන්ත්‍රී  වරයෙකු  කෙසේ  සොයා  ගන්නද? ආයිත්  පළමු ශ්‍රේණියේ  ළමුන්ගේ  ප්‍රස්නෙකට  ඉදීරිපත් වී   පාසලකදී බෙල්ලේ වැල දා  ගත්තොත්  මොන දෙවියනට  කියන්නද ? එබැවින් එම  උත්තමයාට  එවැනි අභාග්‍ය  සම්පන්න ඉරණමකට  ලක්වීමට ඉඩ  දී  මට  බලා සිටින්නට  පුළුවන්  කමක් නැත . එබැවින් පළමු ශ්‍රේණියට  ඇතුලත් වීම සඳහා ඉල්ලුම්  කරන  සියලු දෙනාගේම  බලාපොරොත්තු   ඉටුවෙන පරිදි අධ්‍යාපනයේ  මහත්  විප්ලවයක්  කළ  යුතුය. මේ  විප්ලවය මට  තනිවම  කළ නොහැකි  බව  ඕනෑම  මෝඩයෙකු  පිලිගන්නවා ඇත.  විප්ලවය  කරන  හැටි  මා  දන්නා  නමුත් ඒ  සඳහා  හොඳ  පොරක් සිටිය     යුතුය.

 

 තෙවරප්පෙරුම  හොඳ  පොරක් උවත්  එයා  මේ වැඩේට  හය්ය  වැඩිය. හය්ය වැඩි වූ  විට ප්‍රති විප්ලවයක් ඇතිවී විප්ලවකාරයනුත් එක්කම හැඳි ගෑවී  යන්නට  පුළුවන .අනුර  කුමාර මට මතක් විය. කල්පනා   කොරගෙන කොරගෙන  යනවිට එයත් මේකට  හරියන්නේ  නැති බව  පෙනුනි. එයා  දැන් විප්ලව   කොරන්නට කැමති  නැත. විප්ලව  කොරන්නට ගොස් 88-89  කාලයේ  වුන වින්නැහිය   එතුමාට  තවමත් අමතක  නැති  පාටය. සමහර විට තව අවුරුදු  පහක් හයක්  ගිය විට  විප්ලවයක්  කොරන්නට හිතෙන්නට  පුළුවන. එහෙත්  අධ්‍යාපනයේ  විප්ලවයක් කිරීම  එතකල් ප්‍රමාද  කළහොත් ඉස්කෝලවල   ප්‍රශ්න උග්‍ර වී  මවුවරුන් පාසල්වල බෙල්ලේ  වැලදාගන්නට   පුළුවන.

 

අකිල විරාජ්  කාරියවසම්ට  කියාද වැඩක්  නැත.එයා  පියරු  බබෙක් විතරය.කසාද  බැඳ  වැඩි දවසක්  නැති බැවින් ඔහුගේ  හාමිනේ  කියන දෙයක්  කරනවා  මිස අධ්‍යාපනයේ  විප්ලව  කරන්නට එතුමා සුදානම් නැති  බව මට ඉඳුරාම  විස්වාසය .අනික  මෙවැනි  බරපතල දෙයක් තේරුම්  ගන්නට  ඔහුට  මොලයක්  තිබේ දැයි මට  ෂුවර්  එකක්ද  නැත.

 

රනිල්ට  කියාද වැඩක් නැත. එයා  මේ දවස්වල ඉන්නේ  හිතේ  අමරුවෙන්ය. අර්ජුන් මහේන්ද්රව  මහා බැංකුවේ දිගටම  තබා ගන්නට බැරි  උන  බැවින්   රනිල්  බලා   ගත් අතේම බලා  ගෙන  සිටින  බවත් කෑම  මේසයේදී  පවා කෑම  නොකා  කල්පනා   කරමින්  ඉන්න  බවත්   රොයිටර් වාර්තා  කර   තිබේ.

 

මයිත්‍රීට  කිව්වත් වැඩක්  වෙන්නේ  නැත. ඔහු  පළමු තැන දී තිබෙන්නේ   අරක්කු  සහ සිගරට් මිල වැඩි  කරන කතා  කියන්නටත්ය..(  උදේ  සිට  හැන්දවෙන තුර වෙහෙසෙන  අපි වැනි නිර්ධන  පන්තියට  තිබෙන එකම විනෝදය කාලක් දාගෙන  සිගරට්ටුවක  ආස්වාදය විඳීම  පමණි. හාමිනෙත් දැන්  කාමරේ අගුල් දමාගෙන  නිදා ගන්නා  බැවින්  එහෙම විනොදයක්වත් අපිට නැතිය. )ඒ  මදිවාට තමන්ගේ  පක්ෂය  මංකොල්ල  කරුවන්ගෙන් බේරා ගැනීමේ යුද්ධෙක  උන්නැහේ තත්පරව  ඉන්නා  බැවින් අධ්‍යාපන විප්ලවයක් කරන්නට  එතුමාට  සිහි කල්පනාවක් නැත .

 

මේකට  ටක්කෙටම  හරි  යන්නේ  මහින්ද  රාජපක්ෂ  මහතාය. එතුමාට  පන්සල්වල  සහ  හිර ගෙවල්වල  යාම හැර වෙන වැඩක්  නැති  බැවින් අධ්‍යාපන විප්ලවය  ගැන මගේ  අදහස් එතුමාට ඉදිරිපත්  කළ විට ඔහු,   එම  යෝජනාවලට  එකඟ වන බවට  කිසිදු  සැකයක් නැත.

 

එතුමාට  ලියා  යවන මගේ යෝජනා  වල  පිටපතක් ඔබගේ  දෑන  ගැනීම  සඳහා ඔබ  වෙත  කල් ඇතුවම  ඉදිරිපත්  කරන්නේ හෙට අනිද්දා  එතුමා  අගමැති  වූ පසු මේවා  එතුමාගේ  යෝජනා  ලෙස  රටට  හඳුන්වා දී මගේ  බුද්ධිමය  දේපොළ  අයිතිය මංකොල්ල  කෑ  හැකි  යැයි මගේ  පොඩි  කොල්ලා  කිව්  නිසාය.

 

ගරු මහින්ද  රාජපක්ෂ මැති  තුමනි!

මෙන්න  මගේ  අධ්‍යාපන විප්ලවය සඳහා වන  දස  වැදෑරුම්  යෝජනා  මාලාව

1    පළමු ශ්‍රේණියට ඉල්ලුම්  කරන සියලුම ළමයින්  ගන්නට  ඕනාය. ( ඉඩකඩ  නොවරදවාම  මදි වන  බැවින් පාසැල අවට තිබෙන නිවෙස්  , ඉඩ  කඩම්  ආණ්ඩුවට පවරා  ගත   යුතුය.)

 

2   ඩේස් පුටු මදිවෙන බැවින් ඒවා   හදා  ගන්නා  තුරු  ළමයින්  පාසලට ඇතුළු  කරන  දින දෙමාපියන්  කීප දෙනෙකු  එකතුවී පැදුර  බැගින්  විදුහල්පතිට  හෝ පළමු ශ්‍රේණියේ  ගුරුවරියට/ගුරුවරයාට  භාර  දිය  යුතුය.

 

3   පන්තියක  ළමුන් 100ක්  හමාරක් වන විට එක එක  ළමයාගේ  අභ්‍යාස  බැලීමට  ගුරුවරයාට වෙලාවක්  නැති බව  අමුතුවෙන් කිව  යුතු  නැත.. එබැවින්  උසස් පෙළ  ටියුෂන්  පන්තිවල ළමුන් දාහ ,දෙදහ දමාගෙන  දේශනා  පවත්වන  අයුරින් කුඩා ළමුන්ටද දේශන  මගින්  ඉගැන්විය  යුතුය.

 

4   දේශන අසන  විට ඒවාට  අකැමති පොඩි  පැටව් රණ්ඩු  සරුවල්  කිරීමටද  පන්ති  කාමර (වැරදීමකි. දේශන ශාලා )  දෙවනත් කිරීමටද  බෙහෙවින්  ඉඩ කඩ තිබේ. එවිට  ඔවුන්ට  දඬුවම්  නොකළ  යුතුය. මන්ද එය දරුවන්ගේ  මුලික  අයිතිවාසිකමක්  කඩ  කිරීමක්  බැවිනි. ඒ  වෙනුවට  ඔවුන්ට  නින්ද  යාම සඳහා  බෙහෙත්  ලබා  දිය  යුතුය. ඒ  සඳහා  බෙහෙත්  ලබා   ගැනීමට GMOA  එක  හෙවත් ඔබ තුමාගේ කීකරු දොස්තරලගේ සංගමයේ   සහය  ලබා ගත   යුතුය. ඒ සඳහා  ගාස්තු දෙමාපියන්ගෙන් එකතු  කර ගැනීමට  යෝජනා කරමි.

5   අවුරුද්දෙන් අවුරුද්ද කල්  ගත වන විට  පාසල්වල   ඉඩ  කඩ  තව තවත්  මදි  වන  බැවින්  පාසැල අවට  තිබෙන  අනිකුත්   නිවාසද පාසල් වලට  පවරාගෙන  ඒවායේ  ඇතුලත  බිත්ති  කඩා  දමා  පන්ති ශාලා  බවට  පත්  කොට ගත  යුතුය.

 

( ළමුන් වැඩි  වන  විට ගුරුවරුන්ද  වැඩියෙන්  උවමනා යැයි  කිසිවෙකුට  හිතෙන්නේට ඉඩ  තිබේ. එසේ  වන්නේ  නැත. මන්ද  ළමුන්ට ඉගැන්වීම  කරන්නේ දේශනා  මගින්  නිසාය. ළමුන් දාහකට  වුවද දේශනා  මගින් ඉගැන්විය  හැකි  බව  ලංකාවේ  ටියුටරි  විසින් සැකයකින්  තොරව   ඔප්පු  කර  තිබේ.)

 

6    මෙහි සඳහන් අගනා  යෝජනා  ක්‍රියාත්මක  කරගෙන  යන විට ජනප්‍රිය  පාසල්  අවට  තිබෙන පාසල්  වැසී  යනු  ඇත. එය  හොඳය. මන්ද ජනප්‍රිය  නොවන  පාසල්වල ගුරුවරු ඒවාට  යන්නේ අකමැත්තෙන්ය. ඔවුන් ස්ථාන මාරු  ඉල්ලා කරදර  කරන්නේද  ඒ  නිසාය.එබැවින්  ඔවුන්  විශ්‍රාම  ගැන්වීම  හෝ ලොකු  මුදලක් සමග සේවයෙන්  ඉවත් කිරීම කළ  යුතුය.

 

7     අවට  පාසැල්   වැසුණු  පසු ඒවායේ  ඉගන ගත්  සිසුන් කොටසක් දුර  බැහැර  පාසලකට  යාමට  වත්කමක් නොමැති  බැවින්  අධ්‍යාපනය  නතර  කොට නිවසට වී  නිකරුනේ  සිටීමේ  අනතුරක්  තිබේ.  ඉගනීම  මුලික  අයිතියක් බැවින් ඔවුන්ට  රස්තියාදු වීමට  ඉඩ  නොදිය  යුතුය. වැසී  ගිය  පාසල්වල  ගොඩ  නැගිලි  භාවිතා  කරමින් එම  ළමුන්ට  වෘත්තීය  අධ්‍යාපනයක් දීමට  ගම්වල සිටින වෘත්තීය  වේදීන්ට  පැවරිය  යුතුය.තේ  දළු  කැඩීම, රබර් කිරි කැපීම,  එළුවන් කුකුලන්  හරකුන්  බලා  ගැනීම ,  මන්තර සාස්තරය  ඉගැන්වීම , කේන්දර  නැකත් බැලීමට ඉගැන්වීම, ( මෙය ඉතා  උසස්    සාස්තරයක්  බව සෑම  රුපවාහිනි  නාලිකාවකම වගේ  ඔප්පු  කොට  තිබේ.)ආරූඪ වී පේන  කීම , පොල් කැඩීම  යනාදිය ඉහල  ආදායම් ලබා   ගත හැකි වෘත්තීන්ය .පොල් කඩන අය   හිඟ බැවින් මෙය  රටට අවශ්‍යම වෘත්තියකි.දවසට  පොල් ගස් 20  ක පොල්  කැඩීමෙන් රු.2000ක  ආදායමක්  ස්ථිර වශයෙන්ම  ලබා  ගත  හැක. 

 

8    මා ඉදිරිපත්  කරන මේ  යෝජනා ක්‍රියාත්මක කොට අවුරුදු  දුසිමක්  හමාරක්   ගත  වන විට සැම  පාසලකම  සිසුන් විසි තිස්  දහසක්  සිටිනු  ඇත.එවිට  පාසැල පිහිටි  ප්‍රදේශය  එකම නගරයක්  වනු  ඇත. එහි වැසියන්ගේ  ආර්ථික ශක්තියද  පාසැල කේන්ද්‍ර  කර  ගනිමින්  ඉතා  ඉහලට  නැංවෙනු ඇත.

 

9    එසේම   සැම  ජනප්‍රිය  පාසලක්ම විශ්ව  විද්‍යාලයක්  තරමට  ලොකු මහත් වී තිබීම  ස්ථිර  බැවින්  එම  පාසල්  භූමියේම  පස්වරුවේ  සහ  රාත්‍රී  කාලයේ  විශ්ව  විද්යාලයක් ආරම්භ  කළ  යුතුය. එමගින්  පළමු ශ්‍රේණියට ඇතුළුවන  සෑම  සිසුවෙකුටම ,සිසුවියකටම එහිදීම  උපාධියක්  ලබා  පිටවීමට  අවස්ථාව  ස්ථිර ලෙස  එළඹෙනු  ඇත.

 

10   මගේ අවසාන යෝජනාව වන්නේ කිසිදු සිසුවෙකු විභාග ෆේල්වුවාට අසමත් නොකරන ලෙසය.  අසමත්  කරන්නට ගියහොත් පාසල්වල   සිසු සංඛ්‍යාව වැඩිවී  ඉඩකඩ  මදිවෙනවා  පමණක්  නොව ඔවුන් අතර  සිටින නොසන්ඩාල  කොල්ලන්  සහ  කෙල්ලන් උපවාස  කොරන්නටත් විදුහල්පති වරුන්ගේ  බෙල්ල  මිරිකන්නටත්,  විදුලි  පංකාවල  එල්ලී දිවි නසා ගන්නටත් ඉඩ  තිබේ.  

 

ඉහත සඳහන් මගේ  අධ්‍යාපන  යෝජනා  ක්‍රියාත්මක  කිරීම  මගින් සැම මවෙක්ම  පියෙක්ම   අතිශයින්  ප්‍රීතියට  පත්වන අතර ඒ  නිසා  ඔබ  තුමාට  අවසන් හුස්ම හෙලන  තුරු  අගමැතිවරයා ලෙස  හෝ ව්‍යවස්ථාව  යලි සංශෝධනය  කරගෙන ජනාධිපති  ලෙස  නැවත  නැවත  තේරී  පත්වීමට හැකිවනවා සහතිකය. 

එබැවින්  හෙට අනිද්දා  ඔබ  තුමා අගමැති වූ  වහාම ඉහත  යෝජනා  ක්‍රියාත්මක  කරන  ලෙස  උදක්ම  ඉලා සිටිමි.

අධ්‍යාපන  ඇමතිකම සඳහා තෙවරප්පෙරුම  මහතා පත්  කිරීමටද වග  බලා   ගනු  ඇතැයි සිතමි.

 

තැන්කියු සර් 

යුවර් ඔබීඩියන්ට් සර්වන්ට්

බර්ටි රණවීරගේ .

 

ප. ලි. අධ්‍යාපන ඇමති  තනතුරට මා  පත් කිරීමට  හදිසියෙවත් අදහසක්  ඔබ  තුළ  ඇති වුවහොත් එයට  මා අකමැති බැවින් එසේ  නොකරන  ලෙස  ඉල්ලා සිටිමි.  එයට හේතුව  නම් මට වෙනත්   රාජකාරි නප්පියටම  තිබෙන  නිසාය.   අමනාප  නොවන්න.

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  ප...