Friday, September 23, 2016

දොස්තර සංගමයට ස්කෝතුයි.

 

 

දවස්  දහයක් දොළහක් තිස්සේ  GMOA හෙවත් දොස්තර  සංගමයේ  ලොකු මහත්තරු  අම්ම  මුත්තා  කාලේ වත්  නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින  නිසා  බඩ  සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින්   ඔවුන්ට  ඉස්කොතුවක් දී  ගොඩ වෙදකමක්   කරන්නටයි   මා  කල්පනා  කළේ. මා එසේ  ඉස්කෝතුවක් දෙන්නේ  වෙන  කිසිවක්  නිසා  නොව   පාසල්වලට  ළමුන් ඇතුලත්  කිරීම  පිළිබඳව ලොකු  මොළ, පුංචි  මොළ, බුරු මොළ  සහ  කුණු  මොළ  තියන කාගේත් ඔලු  කට්ට  අස්සට   හිතන්න  උගන්වන   සංවාදයක්   GMOA   ලොකු මහත්තුරු ඇති  කළ නිසයි.

 

  අධ්‍යාපනය ගැන  කැක්කුමක් තියෙන අපි වගේ අයගේ  ලේ  කෝප කරන සිද්ධියක්  තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා මීට  මාස  කීපයකට   පෙර   ඇති  කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක්  හා දිවි නසා  ගැනීමේ විගඩමක්  රඟ  පෑවේ  චක්‍රලේඛ  ඉරා දමා  ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලකට  ළමුන්  ඇතුලත්  කරන්න  කියමිනුයි.. ඒ වෙලාවේ  බොහෝ  අය  ඔහු වීරයෙක්  කොට සැලකුවේ. ඔහු වැරදි  බව  කියමින්  මා  ෆේස් බුකියේ  සහ  'සුදුකුකුලා ' හී  ලිව්  විට ලොකු  මොළ , පුංචි  මොළ , කුණු  මොළ  සහ හිස්  කබල අස්සේ   බුරු  මොළ තිබෙන සියල්ලෝම වාගේ මට කුණුහරුප ,උපහාස, අපහාස එව්වේ වැල්  පිටින්  

 

 නමුත් GMOA ලොකු  මහත්තුරු  අධ්‍යාපන  අමාත්‍යංශයට   කඩා වැදී චක්‍රලේඛ පුච්චා  තමන්ගේ දරුවන් ජනප්‍රිය   පාසල්වලට   ඇතුලත් කර  ගන්නට කී විට එය වැරදි බව  කියමින්  පස්  පඩන්ගුවේ  නොබැනන කෙනෙක්  නැහැ. ඒ  කට්ටිය මේ  පාර  වීරයා  කර  ගත්තේ  අකිල විරාජ් වයි.

 

 දොස්තර සංගමය   කලෙත් ' තෙවරප්පෙරුම අංක 2 '  මිසක්  වෙන දෙයක්  නොවෙයි. තෙවරප්පෙරුමට   යට වී  රනිලුත්  මෛත්රීත්   ගත්  තීන්දුව නිසා  තමා දොස්තර සංගමය ඒ  ජාතියේ නාඩගමක්   හරහා  තමන්ගේ  ළමුන්   හොඳ  හොඳ  පාසල්  වලට  දාගන්න   පුළුවන්  කියල  හිතුවේ.

 

කීර්තිමත්   පාසලකට  තම දරුවන්  ඇතුලත් කර ගැනීමට තමා කවුරුත්  උත්සාහ කරන්නේ . නමුත් කාගේත්  මන දොළ පිරවීමට ඉඩක්  නැති  නිසයි    චක්‍ර ලේඛ මගින් විවිධ  සීමා  පැනවීමට  සිදුවී තිබෙන්නේ. පාසල් වල  පළමු ශ්‍රේණියට  ළමුන් ඇතුලත්  කිරීමේ චක්‍රලේඛය  සියයට සියයක් යුක්ති සහගත නැහැ.   මේ  චක්‍ර ලේඛ  හදා  තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට   ඕන විදිහිට  නොවෙයි. සරත් නන්ද සිරි  සිල්වාට  ඕන  හැටියටයි.ඉස්සර ආදී ශිෂ්‍යයන්ගේ දරුවනට වෙන් කර තිබුනේ   15% ක්  පමණයි මගේ  මතකයේ  හැටියට එක තව  ටිකක් අඩු  කරාම  . ආදී ශිෂ්‍ය සංගම් එයට එරෙහිව  උසාවි  ගියා. ඒ  කාලේ අග්‍ර විනිශ්චය කාර  කමේ හිටපු සරත් නන්ද  සිල්වා "ආදී ශිෂ්‍යන්ගේ  ළමුන් 25%ක් පළමු ශ්‍රේණියට  ඇතුලත්  කරනු.' කියල  කැකිල්ලේ  තීන්දුවක්   දුන්න.  එකෙන් සිද්ධ උනේ ආදී ශිෂ්‍ය නොවන  දෙමාපියනට  බරපතල  අවාසියක්. ඇතැම් විටෙක පාසල අවට  සිටින දරුවනටත් තමන්ගේ  නිවස  අසල පාසල   අහිමි වුවේ  සහ  අහිමි  වන්නේ   මේ  නිසයි.

 

   කොහොම  උනත්  අවුරුද්දෙන් අවුරුද්ද  ඩිංග  ඩිංග  ටින්කරින් කර එවන පළමු ශ්‍රේණියට ඇතුලත් කර  ගැනීමේ චක්‍ර  ලේඛය කුණු කුඩයට  දාල අලුත්ම  අලුත් චක්‍ර  ලේඛයක් නිකුත් කරන්න  දැන්  කාලය  ඇවිල්ල තියෙන්නේ.  එයට  හේතවු සුදුස්සන්ට  පාසල් අහිමි වීමට මේ චක්‍ර  ලේඛය හේතු  කාරක   වන  නිසයි. විශේෂයෙන්ම  ආදී  ශිෂයන්ගේ  දරුවනට  25%ක් වෙන් කිරීම නැවැත්විය  යුතුව තිබෙනවා. උදා  හරණයක්  කියනවානම් කොළඹ  ආනන්දයේ  ඉගන  ගත්   ආදී ශිෂ්‍යයා දැන්  පදිංචි  වෙලා  ඉන්නේ  ඔහු  ඉගන  ගත් පාසලට සැතපුම් 200ක්  ඈතින්    උනත්   ඔහුගේ  දරුවන්ට  කොළඹ  ආනන්දයට ඇතුලත්  කර  ගත  හැකියි. එයින් වැඩියෙන්ම   අවාසි වෙන්නේ  ආනන්ද  විද්‍යාලය  ආසන්නයේ   පදිංචිව   සිටින  දරුවෙකුටයි.


  වාර්ෂිකව පුංචි  පුංචි අලුත්වැඩියා  කොට   නිකුත්  කරන  චක්‍ර ලේඛයට  අනුව ආදී ශිෂ්‍ය පදනම (25%) , සහෝදර  පදනම (15%) , පාසලට  ආසන්නව  පදිංචිය (50%) , අධ්‍යාපන ශේෂ්ත්රය (5%) , ස්ථාන මාරු (4%)විදේශවල සිට  පැමිණි (1%)  ලෙස පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර  ගැනීම  සඳහා කෝටා වෙන්  කර තිබෙනවා.  ඉහත  පදනම් මත සම්මුඛ පරීක්ෂණ සහ අභියාචනා මගින්  පළමු ශ්‍රේණියේ  එක්  පන්තියකට ළමුන් 34 දෙනෙකු ඇතුලත් කර  ගන්නා අතර ක්‍රියාන්විත  රාජකාරි  පදනම  යටතේ  ත්‍රිවිද  හමුදා පොලීසිවල අයගේ දරුවන්  5 දෙනෙකු ඇතුලත්  කර  ගැනු  ලබනවා ඒ  අනුව  2017  වසරේදී පළමු ශ්‍රේණියේ එක්  පන්තියකට ඇතුලත් කර  ගන්නා සම්පුර්ණ ශිෂ්‍ය සංඛ්‍යව තිස්  නමයක් වෙනවා. මේ  වසරේ  නම් එක  පන්තියකට සිසුන් 40 ක් ඇතුලත්  කර ගනු  ලැබුවා.

 

 මේ  සියලු  පදනම්  අහෝසි කොට පදිංචිය මත  පමණක් පාසල්වලට  සිසුන් ඇතුලත් කර  ගැනීමට  කාලය  පැමිණිලා තිබෙනවා  යන්න මගේ අදහසයි. මන්ත්‍රී  තුමා , දොස්තර  මහතා,   නඩු  කාර තුමා ,පොලීසියේ  ඉන්ස්පැක්ටර්   මහතා , ප්‍රාදේශීය  ලේකම් තුමා  ආදී  ලොක්කන්ගේ  දරුවන්  ගමේ  කුසුමාවතීගේ දරුවා  සමග  එක  පාසලේ ඉගන  ගන්නට එමගින් අවස්ථාව හිමි  වෙන අතර එවැනි  පසුබිමක් යටතේ එකී  පාසලේ  අධ්‍යාපනයේ  ගුණාත්මක  වර්ධනයක් ඇති  කිරීමට  විදුහල්පති සහ  ගුරුවරුනටද සිදුවෙනු  නොඅනුමානයි.

 

අධ්යාපනයේ සම අවස්ථා අත්පත් කර  ගැනීමටද  එය  මහගු පිටුවහලක් වනු ඇත  යන්න මගේ  විශ්වාසයයි.

Post a Comment

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ

      මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිර...