Skip to main content

කළු ජුලියේ ගිනි දැල් සහ යාපනයේ සිසු ගැටුම .

 

 

ඉස්සර  අධ්යාපන  අමාත්‍යංශය  තිබුනේ  කොළඹ කොම්පඥඥවීදියේය.හරියටම  කියතොත් එහි  මැලේ වීදියේය. 1983  ජුලි 25 වනදා  පාන්දරින්ම මා  නිවසින්  පිටවුණේ රස්සාව  යලි  ලැබෙන  බවට ලැබුණු ආරන්ච්චියක්  නිසාය. 1980  ජුලි මහා වැඩවර්ජනයට  මහරගම  ගුරු විදුහලේදී  නායකත්වය  දීම  හේතුවෙන් JR  ජයවර්දන  ආණ්ඩුව මා  ගෙදර  යැවූ අතර රැකියා විරහිත  කාලය  අවුරුදු  තුන  පසු  කරමින් තිබිණ . මහරගම ගුරු විදුහලේදී අපි වර්ජනය  ආරම්භ  කළේ  හරියටම අද වැනි දිනක හෙවත් 1980 ජුලි 17 වනදාය.  අවුරුදු 3  කුත් දවස්  ගණනක්  ජීවත් වුයේ ගෙදර  තිබු   කව්තුක  භාණ්ඩ ද , ගෙවත්තේ  තිබු  ගස් ද   විකිණීමෙන්  සහ ස්ථිර  නොවන රැකියාවන් දෙක  තුනක් කිරීමෙනි. මා  වැඩ  වර්ජකයෙකු වීම  නිසා  මගේ බිරිඳට  රැකියාවක්  ලැබීමද  සහනයක්  විය.  රැකියාව  දුන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයයි. එසේ  නොවී  නම්  කුමන ඉරණමක් අත්වේදැයි සිතා   ගැනීමට  නොහැක. වැඩ වර්ජකයන් 50කට  අධික සංක්‍යාවක් මේ වන  විට දිවි නසා ගෙන තිබුණේ තම දු දරුවන්  , බිරිඳ , දෙමාපියන් කුසගින්නේ  සිටීම ,ගොඩ  ගැසුණු ණය තුරුස් ගෙවා  ගැනීමට නොහැකි වීම , සමාජය විසින්  නොසලකා  හැරීම ආදී  හේතු  නිසාය.

 

අධ්‍යාපන අමාත්‍යංශයට  යන විට උදේ  දහය  පමණ  විය . නැවත සේවයේ  පිහිටුවීමට තීරණයක්  ගෙන ඇති  බවට  ආරංචියක්  ලැබුණු  බැවින් ඒ  ගැන සෙවීමට  පැමිණි  බව   නිලධාරියෙකුට    කියා  සිටියෙමි. ලැයිස්තුවක් පිරිස්සු  ඔහු , මා   නැවත සේවයේ  පිහිටුවීමට  තීරණයක් ගෙන  තිබෙන  බවත් අදාළ  ලිපිය  කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන  කාර්යාලයට යවා ඇති  බැවින්  එහි ගොස් එම  ලිපිය  ලබා  ගන්නා  ලෙසත් කියා  සිටියේය.

 

මා අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිටතට  පැමිණි  විට එහි  සිටි  මිනිසුන් ඉතා සන්සුන් ලෙස  පිටකොටුව  පැත්තේ  අහසට  නගින  කළු දුම්  රොටු දෙස  බලා  සිටියහ. පිටකොටුවේ  දෙමල මිනිසුන්ගේ  කඩවලට  ගිනි  තබන  බව  ඊළඟ  මොහොතේ  මට දැන  ගන්නට  ලැබිණ.   රටම  ගිනි  ගන්නා දෙමල විරෝධයක  ආරම්භය මේ   යැයි ඒ  මොහොතේ  කිසිවෙකු  සිතන්නට  නැත.  රජයේ සහ  පවුද්ගලික අංශයේ  කාර්යාල සේවකයෝ  සුපුරුදු  පරිදි තම සේවාස්ථානවල මේ වන තෙක්ම  සේවය  කරමින් සිටියේ  ඒ  නිසාය.   ගමට ඒමට බස්  රථයක්  අල්ලා   ගැනීමට  පිටකොටුවට දෙසට පා  ගමනින් මා  යාමට  පටන් ගත්තේ සිදුවෙමින්  පවතින්නේ  කුමක්දැයි  ඒ  අතර දැක  ගැනීමට  හැකි  නිසාය.

 

ලේක්හවුස්  වට රවුම  ආසන්නයේ   රීගල් සිනමා  හල අසලට මා  පැමිණෙන විට පොලු  අතට  ගෙන සිටි  අවුරුදු  18 , 20 වයස්  ප්‍රමාණයේ   හතර පස් දෙනෙකු  කොම්පඥඥවීඩිය දෙසට  ගමන්  ගන්නා මෝටර්  රථ  නවත්තමින් එහි  දෙමළුන්  සිටින්නේදැයි  සොයමින්  සිටියහ. එක්  වාහනයක දෙමල  මිනිසුන්  පිරිසක්  සිටි  අතර  ඔවුන් වාහනයෙන් ඇද  පහර  පිට  පහර දුන්නාහ. එක් දෙමල  ජාතිකයෙකු  ඔවුන්ගෙන්  ගැලවී  රීගල්  සිනමා  හල දෙසට  පැන දිව්වේය.  ඔහු  පසු  පස ටික දුරක් මැරයෙකු දුව  ගිය  නමුත් අල්ලා  ගත  නොහැකි විය. මේ වන විට අවට  කාර්යාලවල  විශාල  පිරිසක්  පිටතට  පැමිණ  ඒ දෙස  බලා  සිටි අතර පහර දීමට  සම්බන්ධ  වීමටවත්  පහර දීම  වලක්වන්නටවත් ඉදිරිපත් වුයේ  නැත.  එම ස්ථානයේ  සිටියේ එක් පොලිස්  නිලධාරියෙක් (ඔහු අත රිවොල්වරයද  තිබුණි.) පමණි. ඔහු මේ  මැරයන්  පන්නා  දැමීමට  හැකි සෑම උත්සාහයක්ම  ගත්  අතර එතනින් මීටර් 50 ක් පමණ ඈතට  ගිය මැරයන්  යලිත්  වාහන නවතා දෙමළුන් සෙවීම  ආරම්භ  කළහ. පොලිස්  නිලධාරියා එම ස්ථානයට  දුව  ගොස්  ඔවුන් පන්නා  දැමීමට කටයුතු  කරන විට  තවත්  මැර  පිරිසක්  කලින් මැරයන් සිටි  ස්ථානයට   පැමිණ වාහන  නැවත්වීමට  පටන් ගත්හ.පොලිස්    නිලධාරියාට සිදුවුයේ මැර  කණ්ඩායම් දෙක  අතර එහෙටත් මෙහෙටත් දුවමින් හැකි  පමණින්  සිය  රාජකාරිය  කරන්නටය. 

 

 

මේ   අතර  හමුදා  භට  කණ්ඩායම්  රැගත් ලොරියක්  දෙකක් එතන  පසු කොට  ගිය   නමුත්  අඩු වශයෙන් වාහනය  නතර  කොට  පොලිස්  නිලධාරියට සහය  දීමටවත්  ඉදීරිපත්  වුයේ  නැත. ඒ  වෙනුවට  හමුදා භටයෝ මැරයන්ට  අත් ඔසොවා ආචාර  කොට තව  තවත්  ඔවුන් ධයිර්යමත්  කළහ.

 

මේ වන විට  පිටකොටුව  එකම  ගිනි  ජාලයක්  බවට  පත් වී  තිබුණි. එබැවින් ඒ  දෙසට කිසිදු  බස්  රථයක්  ගමන්  නොකළ  අතර  සියලුම  බස්  රථ  කොළඹින්  පිටවෙමින් තිබුණි. තත්ත්වය  ඉතා බිහිසුණු වෙමින්  පවතින බව  සියලු දෙනාගේම  අදහස  විය . මගේ  බිරිඳගේ  කාර්යාලය  තිබුනේ නාරහේන්පිටය. ඇයගේ  කාර්යාලයට  ගොස් ඇයවත් රැගෙන  ගමට  යාම මේ  මොහොතේ  කළ යුතු දේ  බව  වටහා  ගත් මා  බස්  රථයකට  ගොඩ  වුයේ එහි ගමනාන්තය  ගැන වත්  සොයා  බලන්නේ නැතුවය. බස්  රථය  ගාලු  පාරට  පැමිණ  බම්බලපිටිය දෙසට එනතෙක්ම  මා   දුටුවේ  පාර  දෙපසම  ගිනි  ජාලවල් ඇවිලෙන  අයුරුය.  බිරිඳ  සොයා ගත  යුතු  බැවින් මා  බම්බලපිටියෙන් බැස්ස  විට  ආරංචි  වුයේ සියලුම  කාර්යාල වසා  නිවෙස්වලට  යන  ලෙස ආණ්ඩුව  නිවේදනය කර  ඇති බවත් සවස එකේ  සිට  ඇඳිරි නීතිය  පනවන  බවත්ය. මේ  වන විටත් වෙලාව දහවල් දොළහ  පසුවී  තිබිණ. බිරිඳගේ  කාර්යාලය  පිහිටි  නාරාහේන්පිට ට  යන  බස්  රථයක්  නොතිබුණු  බැවින්  ඒ  දෙසට  පා   ගමනින් යන අතර  තුර  මා දුටුවේ    දහස්  ගණනින්  කාර්යාල සේවකයන් පයින්ම   බම්බලපිටිය දෙසට  පැමිණෙන  අයුරුය. බිරිඳ  සොයා  ගියද කාර්යාල වසා   ඇති  බැවින් ඇයද  ආපසු  එමින් සිටිය  හැකියයි  මා   අනුමාන  කලෙමි..  ඇය  සොයා  යාම නිෂ්ඵල  ගමනක්   බැවින්  පා ගමනින් පැමිණෙන අය  අතර ඇය සිටින්නේදැයි එක්  තැනක  නැවතී බලා   සිටියෙමි. ඇතැම් විටෙක  ඇය මට   මග හැරී  ගොස්    බස්  රථයක් එනතුරු  බම්බලපිටියේ  හන්දියට වී  සිටිනවා  විය  හැකි  යැයි සිතු මා ආපසු  බම්බලපිටිය  හන්දියට පැමිණ  පැයකට  අධික  කාලයක්  ඇය එතැයි  බලා සිටියෙමි.

 

මේ  වන විට ඇඳිරි  නීතිය  පනවා  හමාරය.  තව  දුරටත්  බල සිටීම  නිෂ්පල යැයි  මා   කල්පනා  කලෙමි.ඇය   බස්  රථයක නැගී  නිවෙස  බලා  යමින් සිටිනවා   විය  හැකිය. තව  තවත්  ප්‍රමාද   වුවහොත්  ගමට යාමට බස්  රථයක්  සොයා  ගැනීමටද   මට නොහැකි වනු  ඇත. වෙනත් විකල්පයක් නොවූ හෙයින් කළුතර දෙසට  යන  කුමන බස්  රථයක් එල්ලී   හෝ  ගමට  යන්නෙමි,යි අවසානයේදී  තීරණය කළෙමි.

 

 

පැමිණෙන  සියලු බස්  රථවල සෙනග  පිරී  ඉතිරී  ගොස්  තිබිණ .සැහෙන  කාලයක්  බල සිටීමෙන්  පසු  කළුතරට යන  බස්  රථයකට  මහත් පරිශ්‍රමයක් දරා  ගොඩ වුයෙමි.  එතැන් සිට යලිත්    දැකිය  හැකි වුයේ  ගාලු පාර දෙපස   තැන  තැන  කඩ  සාප්පු  ගිනි ගෙන  දැවෙන  අයුරුය. වැල්ලවත්ත  එකම ගිනි  ජාලාවක් වී  ඇති බැවින් වැල්ලවත්ත  හරහා  ගාලු  පාරේ  බස්  රථයට  යා නොහැකි  බැව්  ආරංචි විය. බස්  රථය  අතුරු  පාරකට දැමු විටද දකින්නට  ලැබුනේ  ගෙවල්  ඉදිරිපස දැවෙන  මෝටර්  රථ, යතුරු  පැදි,  සීත කරණ,  රුපවාහිනි  යන්ත්‍ර  සහ ගෘහ භාණ්ඩය.    බම්බලපිටිය සහ  පානදුර  අතර දී  පාර දෙපස නිවෙස් ඉදිරිපස   ගිනි  තබා  විනාශ  කර  තිබු මෝටර් රථ  සහ  මෝටර් බයිසිකල්  සංඛ්‍යාව 1000  කට අධික  මිස  අඩු  නැත. 

 

මොරටුව   කතෝලික  පල්ලියක් ඉදිරිපස විසි තිස්  දෙනෙකු  රැස්වී පල්ලිය  ඇතුලට  කඩා  පැනීමට උත්සාහ  කරමින්  සිටි  අතර එහි සිටි  පොලිස්  භටයෙකු  ඔවුන් ඇතුලට  යාම වැලක්වීමට  මහත් පරිශ්‍රමයක්  දරමින් සිටිනු  දකින්නට  ලැබිණ. ජීවිත  ආරක්ශාව  පතා  පැමිණි දෙමල  මිනිසුන්  පල්ලිය  තුළ  ඇතැයි  මට සිතින. බස්  රථය  නොනවත්වා  පැමිණි  බැවින් පසුව  සිදුවුයේ  කුමක්දැයි මා දන්නේ  නැත.

 

කළුතර  නගරයෙන් බසින විට කිසිදු  කලබලයක්  එහි දකින්නට  නොතිබිණ. මා පැමිණ  විනාඩි දහයක් ගත වන  විට  ගාලු  පාරෙන් කළුතර  දුම්රිය  පොළට  හැරෙන  තැන තිබු දෙමල  කඩය ගිනි  ගන්නට  පටන් ගත්තේය. ටික වෙලාවකින්  ආරංචි වුයේ  කඩේ  අයිතිකරු  ගිනි  ගොඩට  පැන  දිවි නසා  ගත්  බවය.

 

යළි  බසයක  නැගී  මතුගමට  පැමිණි  විට එහි  සාමකාමී ස්වරුපයක් දැකිය  හැකි  විය.. ගමට  ඒමට  තවත්  බසයක් එන  තුරු  මා   බලා   සිටින  විට  දුටුවේ සිය  වෙළඳ  සැල  වසා ගෙදර  යාමට  සැරසුණු  දෙමල  ව්‍යාපාරිකයෙකුට  පහර දී  ඔහු  අත  තිබු  මුදල් පසුම්බිය   ප්‍රදේශයේ  මැරයන් දෙදෙනෙකු  පැහර  ගන්නා  අයුරුය. එය වැලක්වීමට  ඉදිරිපත්වන  ලෙස මා හඳුනන  කීප  දෙනෙකුට යෝජනා  කළ  නමුත් ඔවුහු  එය  ප්‍රතික්ෂේප  කළහ.

 

පසු  දින   ආරංචි වුයේ   පෙර  දින  රාත්‍රීයේ  මතුගම තිබු  දෙමල  කඩවලට  ගිනි  තැබූ  බවය     කා  අතරත්  ජනප්‍රියව  සිටි දෙමල  මහතෙකුට  අයත්ව  තිබු  'මොඩර්න්  ෆාමසි ' නම් බටහිර  අවුෂධ  හළ ද  මංකොල්ල  කා තිබුණි. පසුව  දැන ගන්නට  ලැබුණේ මතුගම නගරයේ  තිබු  සිංහලයෙකුට  අයත්අවුෂධ හලකට එහි  තිබු අවුෂධ  ඇද  ගත්  බවය.

 

මගේ  සිත  බලවත් ලෙස  කම්පනයට  පත් වුයේ මතුගම  නගරයේ  තිබු  නන්දා ස්ටෝර්ස්  නමැති රෙදි පිලි  හලකට  ගිනි තැබු  බව ආරංචි  වූ  විටය..   කඩයේ  තිබු එවකට  ලක්ෂ දෙක  තුනක්  වටිනා සියලු  රෙදි  පිලි  ගිනි  තබා  තිබුණි. එහි  අයිති  කරු අහිංසක දෙමළෙකි. මසකට වරක් දෙවරක් මා එම  කඩයට  යන බැවින්  ඔහු සමග සුළු  හිතවත්කමක්ද ඇතිවී  තිබුණි. දිනක් මා   ඔහුගේ  රෙදිපිලි  හලට  ගියේ බෝතලයක්  ඉල්ලා  ගැනීමටය. බෝතලය  අවශ්‍ය  වුයේ  සිංහල බෙහෙත්  කඩයකින්  දියර බෙහෙත් වර්ගයක්  මිලදී  ගැනීමට  ගිය  විට හිස්  බෝතලයක්  ගෙනෙන  ලෙස  කිව්  නිසාය. නන්දා  ස්ටෝර්ස් වෙත  ගිය මා අයිතිකරු  හමුවී මගේ  අවශ්‍යතාවය  කීවෙමි. එහි  හිස්  බෝතලයක්   නොතිබුණු  බැවින්   මීටර් 300ක්  පමණ දුරකින් වූ  ඔහුගේ  නිවසට  සේවකයෙකු  යවා මගේ  ඉල්ලීම  ඉටු  කර  දුන්නේය.

 

  වෙළඳ  හලට  ගිනි  තැබීම  නිසා  ඔහු  මුළුමනින්ම  බංකොලොත්  ගැහුවේය. ආණ්ඩුවෙන්  හරි  හමන් වන්දියක්  ලැබුනේද  නැත. මතුගම  නගරයේ  ව්‍යාපාර  කිරීමෙන්  සදහටම   සමු  ගත් ඔහු   අද  නොමැරී  ජීවත් වෙන්නේ ගෙයින් ගෙට  ගොස් රෙදි  පිලි  විකිණීමෙනි.

 

හැට  හත් දෙනෙකු  පමණක් සිටි LTTE සංවිධානයේ තුවක්කුකරුවන්ගේ  සංක්‍යාව දස දහස් ගණනකට වර්ධනයවීමට කළු ජුලිය ප්‍රධාන  වශයෙන්ම හේතුවූ බව කරුණා අම්මාන් පසු කලක කීවේය. ලක්ෂ  ගණනක් දෙමළ මිනිසුන් අනාථයන් ලෙස  ඉන්දියාවටද  තවත් දසදහස්  ගණනක්  යුරෝපයටද  ගියේ  කළු  ජූලියෙන් පසුවය. 

 

 1983  සිට ඉන්දියාව  ලංකවේ  ජනවර්ග  ප්‍රශ්නයට  මැදිහත්  වීමට බලපෑ  ප්‍රධාන  තම හේතුව  වුයේ කළු  ජුලිය විසින්  ලංකාවේ මෙන්ම  ඉන්දියානු දේශපාලනයේ  ඇති  කළ  ප්‍රබල වෙනස්  කම් නිසාය. 13  වන  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය කළු  ජූලියේ  දිගුවකි..  යුරෝපයේ දෙමල  ඩයස් පෝරාවක් ඇතිවීම  කළු  ජූලියේ   තවත්  ප්‍රතිඵලයකි. . යුරෝපය ලංකාවේ  ජනවර්ග  ප්‍රශ්ණයට මේ  තරම් ප්‍රබල ලෙස  බලපෑම් කිරීමට  හේතු වී  තිබෙන්නේද  යුරෝපයට ගිය  දෙමල මිනිසුන්  යුරෝපයේ  සහ එංගලන්තයේ දේශපාලනයේ නොසලකා  හැරිය  නොහැකි  සාධකයක් වී  තිබීමත්  ,  ලාංකික දේශපාලන  අනාථයන්  ලංකාවට  ආපසු එවීමට එම  රටවලට  ඇති  උවමනාව  නිසාත්ය.

 

ලංකාවේ  විශ්ව  විධ්යාලවල මෑතදී  ඇතිවූ  සිද්ධීන් මෙන්ම  විමල් වීරවංස ගෝත්‍රය  යලි  පන  ගසා  තිබීම   යලි  කළු  ජූලියක්  නිර්මාණය  කරනු  ඇතැයි  යන බියක් මා තුළ ඇතිවී  තිබේ. පේරාදෙණියේ එළිමහන් රඟ හලේ   සිද්ධිය  මෙන්ම  යාපනයේ  විශ්ව  විද්යාලයේ   දෙමල සහ සිංහල සිසුන් අතර  ඇතිවූ ගැටුම    පෙන්නන්නේ රතු එළියක් නොව  එයටත් වඩා  බිහිසුණු රුධිර වර්ණ සඥාවකි. 1983  කළු  ජූලියේදී දෙමළුන්ට  පහර දීමට  සරසවි  සිසුන්ට  අදහසක්වත්  පහල නොවූ  නමුත් යලි  කළු  ජූලියක්  ඇති  වුවහොත්  සරසවි  සිසුන් කොටසක් එහි  නායකත්වය  ගන්නා  බවට බොහෝ  දුරට අනුමාන  කළ  හැකිය. 

 

  වත්මන් තරුණ  පරපුරෙන් සැලකිය  යුතු  පිරිසක්  දැඩි ද්‍රවිඪ  විරෝධයකින්  පසු  වන  බව ෆේස් බුක් හී පළවන ඇතැම් පෝස්ටු තහවුරු  කරයි. දෙමල තරුණයන් තුළද එවැනිම සිංහල විරෝධයක් තිබිය  හැක  . 27 අවුරුදු  යුද සමය තුළදී දෙපාර්ශයේම ජීවිත අහිමි වීම නිසාත්   යුද්ධයක්  තුල  උපන්  අය  නිසාත් සිංහළ තරුණයන් දෙමළුන් සතුරන් ලෙසත් , දෙමල තරුණයන් සිංහලුන් සතුරන් ලෙසත් පෙර නොවූ  විරු ලෙස දකිති ය  යන්න  මගේ   විශ්වාසයයි..මෙවැනි බිහිසුණු තත්වයක් මෙයට  පෙර   ලංකාවේ ඉතිහාසය  තුළ  තිබිනැයි  මා   නොසිතමි. 

 

යාපනයේ  සරසවියේ  සිංහල දෙමල  ගැටුම   හෝ  එවැනි සිංහල දෙමල  ගැටුමක් දුර  දිග  යාමට  ඉඩදුන  හොත් ඇති  විය  හැකි  කළු  ජුලිය 1983  කළු  ජුලිය  මෙන් දස  ගුණයක  භීෂණයක්  බවට පත් වනවාට  සැක නැත . එවැනි  භීෂණයකින්  දස  දහස්  ගණනින්  මිනිසුන්  මිය  යනු  ඇත. ලංකාවේ බොහෝ   නගර  අළු බවට  පත්වෙනු ඇත. ලක්ෂ  ගණනින්  දෙමල  මිනිසුන්  යලිත්  ඉන්දියාවටත්  යුරෝපයටත්  සරණාගතයන් ලෙස   යනු  ඇත    එවැන්නක ප්‍රතිඵලයක්  ලෙස   ඉන්දියාවද  ඇමරිකාවද ,යුරෝපයද  වඩාත්  ප්‍රබල  ලෙස  ලංකා  දේශපාලනයට  මැදිහත්  වනු  ඇත. . අවසාන ප්‍රතිඵලය එක්සත්  ජාතීන්ගේ  සංවිධානයේ මැදිහත්  වීමෙන්  උතුරට  සහ  නැගෙනහිරට  ෆෙඩරල්  පාලනයක් ලබා දීම හෝ එයිටත් එහා ගිය සහ සන්ධීය  පාලන ක්‍රමයක් ලබා දීම විය හැක. 

 

 

 

Comments

kumara said…
විමලේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා හිතෙනවා.ඔබ කියන තරුනයින් 83 න් පස්සේ උපන් අය වැඩි දෙනෙක්.
This comment has been removed by the author.
කතාව ඇත්ත - කලු ජූලියේ දුක අපි දශක ගණනාවක් ගෙව්වා - තාමත් ගෙවනවා
gimhscode said…
//ගාලු පාරෙන් කළුතර දුම්රිය පොළට හැරෙන තැන තිබු දෙමල කඩය ගිනි ගන්නට පටන් ගත්තේය. ටික වෙලාවකින් ආරංචි වුයේ කඩේ අයිතිකරු ගිනි ගොඩට පැන දිවි නසා ගත් බවය.

// me kiyana kadaya mokakda dan "kalana coolspot" kiyana ekada ?
Lalith said…
ඔබ නිවැරදියි.. නැවතත් කලුජුලියක් ඇති වීමට බොහෝදුරට ඉඩ තියෙනවා..
මම හිතෙන හැටියට එතැන දැන් කඩ දෙකක් තියෙනවා . කඩවල නම් මතක නැහැ. ගාලු පාරෙන් දුම්රිය පොළට හැරෙන පාර පටන් ගන්න තැනම වමට වන්නට දෙමල කඩය තිබුනේ කළුතර පදිංචි වැඩිහිටියෙකුගෙන් අසන්න
සුදීක said…
මේ කඩයේ සිංහල අයිතිකරුවන්ගේ පුතුන් දෙදෙනා(නිවුන්නු) මා සමග එකම පන්ති වල අධ්‍යාපනය ලැබුවා. මගේ පන්තියේ සිටි කෙනා අමල්. මේ කඩයේ තිබු දෙමළ වෙළඳ සැල T.S.K.V. මම මේක කියවන ගමන් කමෙන්ට් කරන්න හිතා ගත්තෙත් ඒක. ඒ දවසේ මේ ගින්න මා තරමක් දැක්කා. මොකද මම කළුතර අධ්‍යාපනය ලැබුවේ. බෙන්තරට යන්න කෝච්චියේ නගින්න එන්නේ එතැනින්. කලණ කියන්නේ ඔවුන්ගේ බාල සහෝදරයෙක් විය යුතුයි. ඔවුන්ගේ තවත් සහෝදරයෙක් හිටියා දෙනෙත් කියලා.

මෙයට අමතරව කළුතර ෆිල්ම් හෝල් දෙක ඉදිරිපිට සයිවර් කඩයක් තිබුණා. තාත්තා සමග එහි ගිය මොහොතක මේසය මත තැබූ බාල්දියට මා අත සෝදන්නට සැරසුන විට පියා මා වැලක්වූ හැටි අදටත් මතකය.
සුදීක said…
මෙවර කළු ජූලියක් ඇති වුවහොත් එහි අවාසිය සිදු වන්නේ අපටයි. ඒ අප සුළු ජාතියට නිසි ලෙස නොසලකන බවට ඇති වන සැකයේ වාසිය ඔවුන්ට ලැබෙන නිසාය. මෙය කෙසේ හෝ වැළක්විය යුතු තත්වයකි. මේවා සාධාරණීකරණ නොකොට, සමතයකට පත් කල යුතුය.
පැහැදිලි කිරීම ගැන ස්තුතියි.
සුදීක said…
ජුලි වර්ජකයන් ගැන අපේ තිබෙන දුක, ඔවුන්ගේ දරුපවුල් වල දුක් ගින්දර නිවන්න ප්‍රමාණවත් නෑ. කිසිදු රජයක් ඒ සඳහා නිසි පියවර ගත්තේ නෑ. එය තවත් කළු ජූලියක්ම පමණයි.
එය වැළක්වීමේ අරමුණෙන් බුද්ධිමත් සියල්ලන් තම තමන්ට කළ හැකි දේ යුතුයි.මා ලියන්නේද ඒ නිසායි.
Manoj said…
ඉතිහාසයේ වෙච්චි ඛේදවාචක නැවත,නැවත සිදුවන්නේ ඒ ඛේදවාචක වලට පැලැස්තර ඇලෙව්වා මිස හරි උත්තරයක් දෙන්න පාලකයෝ වගේම පොදු සමාජයත් අසමත් වෙලා තියෙන නිසා.
Unknown said…
Sihala racism doo all things bad.
Unknown said…
I very cleare like to tel Jafna Tamil sudents very corect and Sinhala students wrong. Why Sinhala Students go to do upcuntry dance in Jafna Tamil peoples areas. Tamil students very corect to hit and drive Sinhala racism students.
Anonymous said…
එදා නෝනා පරිස්සමින් ගෙදර අැවිත් හිටියා ද?

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල