Skip to main content

පොහොට්ටු සහ යක්කු




  Related image


     මේ  පළාත් පාලන චන්දය  ගැන ඊයේ වෙනතුරු   මගේ  කිසි උනන්දුව  තිබුණේ නැත .එහෙත් මහින්ද රාජපක්ෂ  ඊයේ  කළ  ප්‍රකාශයක් ඇසු  විට මොහු  පරණ රාජපක්ෂ  මිස අබ මල් රේණුවක් වත් වෙනස් වී  නොමැති බව  පෙණුනේය. මොහු නියෝජනය  කරන අන්ත  ප්‍රතිගාමී  මතය නැවත වරක්  පරාජය කිරීම ට යලිත් අවස්ථාවක් එළඹ ඇති බැවින්  ඔහු ස්ථිර  ලෙසම විශ්‍රාම  ගැන්වීම  සඳහා ,  හැකි පමණ දායකත්වයක්  දීම කළ යුතුමය  යන අදහස මා සිත තුල බලවත්  ලෙස දැන් මතුවී  තිබේ.


එයින් අදහස් වෙන්නේ  මා  එක්සත්  ජාතික  පක්ෂයට  කඩේ  යන බව   නොවේ. එක්සත් ජාතික  පක්ෂයට  කඩේ  යන්නට  මට මෙතෙක් අදහසක්  ඇතිවී  නැත .රනිල් වික්‍රමසිංහ මහතාද ඇමති ධුරයක් දරු  ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  1980 දී මා ඇතුළු ජුලි වැඩ වර්ජකයන් 40000 ක්  ගෙදර  යැවූ  බව මට අමතක  වන්නේ  නැත. 1983 දී එක්සත් ජාතික  පක්ෂය කළු ජුලිය දියත් කොට එවකට  100   ටත් අඩු  තුවක්කු කරුවන් සිටි කොටි  සංවිධානය යෝධයෙක් කළ  හැටි  මට අමතක නැත .චන්දය  බලු පොරයක් බවට  පත් කළ  අනුපාත චන්ද  ක්‍රමය  හඳුන්වා දුන්නේ එක්සත් ජාතික  පක්ෂය  බව මට අමතක වන්නේ  නැත . මන්තිරි  කම හම්බු කිරීමේ  ජොබ් එකක්  බවට පත් කළේ එක්සත් ජාතික පක්ෂය බව  මට අමතක වන්නේ  නැත .


එහෙත් මහින්ද රාජපක්ෂ  මහතා  බලයට  පත් වීමෙන් පසු විශේෂයෙන්ම  දෙවන වරට  ජනාධිපති  වීමෙන්   පසු  ඔහු හැසිරුනේ  තවත් ජේ. ආර්. කෙනෙක් ලෙස  නොව  එයිටත් වඩා  භයානක ඒකාධිපතියෙකු ලෙසය . එකාධිපතියන් බිහි කරන ජේ.ආර්.  ව්‍යවස්ථාව  තව දුරටත්  ඔහු ඔප මට්ටම  කළේය. ජනාධිපති තනතුර  පවුලේ බුදලයක් බවට  පත් කිරීම සඳහා අවශ්‍ය පදනම දැමුවේය . ඔහුට  කීකරු නොවූ  ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය  රාජපක්ෂගේ  කැකිල්ලේ උසාවියට  කැඳවා චෝදනාවලට  පිළිතුරු දෙන්නටවත්  ඉඩ නොදී  ගෙදර  යැව්වේය . ඉන්පසු   රූකඩයක් අග විනිසුරු ලෙස  පත් කරනු ලැබුවේය .  කොටින්ම  කියතොත් නරක  පාලකයෙක් වූ  ජේ ආර් ජයවර්ධන  මහතා පවා   ජනාධිපතිවරකුට තේරී පත් විය හැක්කේ  දෙවරක් පමණකැයි   1978 ව්‍යවස්ථාවේ ලියා සම්මත  කොට  තිබුන මුත්   මහින්ද  රාජපක්ෂ  මහතා  ඔහුට ඇති  කියා  හිතෙන  තුරුම  ජනාධිපති පුටුවේ  බින්න  බැහිමට හැකිවන  පරිදි  18 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් ඉඩ සලසා  ගත්තේය . ඒ මගින්ම කොමිෂන් සභා අහෝසි කළේය.  ඔහුට කීකරු විසිසුරුවන් පත් කිරීමේ  බලය  ඔහු අතට  ගත්තේය .


එසේ  නම්  ඔහු ජේ. ආර්ටද වඩා  භයානක  පුද්ගලයෙකු  නොවේද?


    2015 ජනවාරි 8 වෙනිදා  බහුතරයක් මිනිස්සු  හොඳින් හිතා  මතා  චන්දය  භාවිතා කළ බැවින්  රොබට් මුගාබේ  කෙනෙක්  ලංකාවේ  බිහිවීම වැලකුනේය.


නව ව්‍යවස්ථාවක්  සම්මත  කර  ගැනීම සඳහා අගනා අවස්ථාවක්  උදා වූවද එය  සම්මත  කර ගැනීමට ආණ්ඩුව  අවුරුදු දෙකකට අධික  කාලයක් තිස්සේ උනන්දු නොවීම    නිසා එය ඉදිරියේදී සම්මත වීමට  තිබෙන  ඉඩකඩ  සැක සහිතය  .   එය සම්මත නොවුනහොත්  ඊළඟ  ජනාධිපතිවරනයේදී සුදු වැන් ලොක්කා  ජනාධිපතිවරණයට  ඉදිරිපත් වීමට  සියයට සීයක්   ඉඩ තිබේ. ඒ සඳහා අවශ්‍ය වට පිටාව ඔහුගේ  ගෝලබාලයන් මේ දිනවල සකස්  කරමින් සිටිති. "නව  නායකයෙක් සොයා  ගැනීමට සිදුවී  තිබෙන  බව "   ඊයේ  ඇල්ලේ  ගුණවංශ   කිවේ  නිකම්ම නොවේ. ඒ අතර  සුදු වැන් ලොක්කගේ  තවත් ගජ මිත්‍රයෙකු වන  ඥානසාර   "මන් හොඳ මුනියා  " චරිතය  රඟ පාන්නට  පටන් ගෙන  තිබෙන්නේ සුදු වැන් ලොක්කා හෙවත් ගෝටාගේ  උපදෙස් අනුව  බව  මට නම් සැකයක් නැත .කෙසේ  හෝ මීලඟ  ජනාධිපති වරණයේදී  ගෝටා  බලයට  පත්වුවහොත් අගමැති කමට මහින්දව  පත් කර ගැනීම ස්ථිරය . රීරි යකාත් ,මහසෝනාත්  රටපාලනය  කරන්නට  පටන් ගත  හොත්  බිලි  පුජා කොපමණ ගනීදැයි අනුමාන කිරීමට ඕනෑ නම් ඔවුන්ගේ පරණ  කැරැට්ටු මතක්  කර ගැනීම  ප්‍රමාණවත්ය .


ඩිංගිත්තක් මතක් කරතොත් ,  ප්‍රගීත් එක්නැලිගොඩ ආපසු ආවේ  නැත .කොළඹින් අල්ලාගෙන  ත්‍රිකුණාමලේ අරන් ගිය ගැටවු 11 දෙනා ආපසු ආවේ  නැත .ත්‍රිකුණාමලේ වෙරළේ වාඩිවී  මුහුදු   සිංදු කියමින්  සිටි දෙමල  ළමුන් 5 දෙනා  ආපසු ගෙදර ආවේ  නැත  රතුපස්වල  තරුණ  ළමුන් 3 දෙනා ආපසු  ගෙදර   ආවේ  නැත . වැලිකඩ හිර ගෙදර  ගිය අය අතුරින් 27 දෙනෙකු ආපසු ආවේ  නැත . තාජුඩින්  ගෙදර ආවේ  නැත .ලසන්ත වික්‍රමතුංග ආපසු ආවේ  නැත .



 ඒ  ඔක්කොම ඇත්ත  උනත්මේ  ආණ්ඩුවේ එවුන්  හොරුන් බැවින්  ඔවුන්ට චන්දය දී  වැඩක් නැතැයි ඔබට  හිතෙනවා විය  හැක. ඇත්තය .ඔක්කොම  හොරු නොවුනත් සමහරුන් හොරු බව  බැඳුම්කර සෙල්ලම සනාථ  කර තිබේ. හොරු රකින්නට අපිට  උවමනාවක් නැත . හොරු  හැකි ඉක්මනින් හිරේ  හෝ එතනින් එහා  තැනක් තිබේ  නම් එතනට  හෝ  යැවිය  යුතුය . ජනවාරි  8 වෙනිදාත්  ඉන්පසුව අගෝස්තු 17 වෙනිදත්   අපි චන්දය  දුන්නේ  අපේ සල්ලි සාක්කුවේ  දාගන්නේ  නැති ආණ්ඩුවක් හදන්නට  මිස සල්ලි හොරකම් කොට තට්ටු නිවාස  ගන්නට නොවේ.


එහෙත්  මුන් හොඳ  නැත  කියා  රාජපක්ෂලා දෙසට  හැරෙන්නට  අපිට බැරිය.  මන්ද  ඔවුන් අවුරුදු  10 ක් තිස්සෙම  හොරකම් කළ බැවිණි  .නැත.  එයිටත්  කලින් සිටය. 2004 සුනාමිය  ආ දවසේ  සිටය .  ඒ  බව  අපි හරියටම දන්නේ    සුනාමි සල්ලි  පිල්ලි ගැසූ බවත් , "හිරේ  යවන්නට  තිබුණු  නමුත්  හැදෙයි  කියා  සිතා  නිදහස්  කළ බව "  හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාම කිව්  නිසාය .


මේ ආණ්ඩුවේ  පංගු  කාරයන්ට  චන්දය දෙන්නට  කියා  මා යෝජනා  කරන්නේ  නැත  . නමුත් මේ ආණ්ඩුව  බලයට ඇවිත් කරන ලද  යහපත් දේ  තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් ජනධිපති බලතල සීමා  කිරීම,  කොමිසන් සභා  පිහිටුවීම, සුදු වැන් ගැන  බයක් නැතිව  ලියන්නට,   කතා  කරන්නට  හැකි පරිසරයක්  නිර්මාණය  කිරීම , සුදු වැන් නතර කිරීම , මනාප  පොරය  නවත්වන චන්ද  ක්‍රමයක් හදුන්වා දීම , ගිනි ගණන්  දී  මිලදී  ගන්නට සිදුවූ ඖෂධ මිල විශාල ලෙස අඩු කිරීම , රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස වැඩි කිරීම   පමණක් නොව විරෝධතා දක්වන්නන්ට  උන්ඩ වලින් පිළිතුරු නොදීම ආදිය  ,  වැඩක් ඇති දේ  නොවේ  යයි  කිව  හැක්කේ    කුඩුකේඩු වන්ට පමණි .



     මේ  මැතිවරණයෙන්  රාජපක්ෂලාට මතුවෙන්නට ඉඩ  හැරියොත්   අනාගතය  අතිශයින් භයංකර බව ඉර  හඳ  සේම  පැහැදිලිය . ගෝටා ජනාධිපති වී  මහින්ද  අගමැති  වූ විට  රටේ  පාලනය  භාර වන්නේ  යක්කුන්ටය . යක්කුන්ට බිලිපුජා  උවමනාය  . බිලිපුජා  ගැනීම සඳහා  පළමුවෙන්ම  බැල්ම  හෙලනු ඇත්තේ අන්තරේ සහ  ජවිපෙ වෙතය. ඉන්පසු යක්කුන්ට විරුද්ධ  ලියන  මාධ්‍යවේදීන්  වෙත හැරෙනු ඇත. ඔවුන් කා  ඉවර වූ පසු ඔබ දෙසට  හැරෙනු  ඇත .


  බර්ටි රණවීරගේ 


  ලිපිය  පිළිබඳව  මට  ගල් මුල්  ගැසීමට  උවමනානම් පහත  තිබෙන  කොමෙන්ටු තීරයේ  එයට  ඉඩ  කඩ තිබේ.




Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...