Skip to main content

විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්






මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අයත් දහස්  ගණනකට හිමිව තිබු උසස් වීම් අත් හිටුවීම  නිසා අධිකරණ නියෝගයක්  මගින් එම  උසස්වීම් ලබාගැනීමේ අරමුණෙන්  නඩුවක්  පවරන  ලෙස  ඔහුගෙන් ඉල්ලා සිටීමට  තවත්  ගුරු  පිරිසක් සමග  ඔහු හමුවීමට  ගියෙමි . දහස්  ගණනක් වෙනුවෙන්  පැවරු එම  නඩුවේ  පළමු  පෙත්සම් කරු වුයේ  මමය . එහෙත් එම  නඩුව දිනවා  දීමට විජේදාස  රාජපක්ෂ  මහතාට  නොහැකි විය .   නඩුව  විභාග  කිරීමට  පැමිණි අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද  සිල්වා  හිතුවක්කාර  ලෙස එම  නඩුව ඇසීම  ප්‍රතික්ෂේප  කොට පෙත්සම් කරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය වී  තිබේදැයි  සොයා  බලන  ලෙස  මානව  අයිතිවාසිකම  කොමිසමට එය  යොමු කරන ලෙස නියෝග  කළේය 


මානව අයිතිවාසිකම් කොමිසමට  ගොස්   සෙතක් නොවෙනු ඇතැයි  බොහෝ අයගේ  කල්පනාව  වුයෙන්  වෙනත් පොයින්ට් එකක් අල්ලාගෙන යලිත්  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්  පැවරීමට,  උසස් වීම් අහිමි කරන  ලද  ගුරුවරු සහ විදුහල්පතිවරු  දහස්  ගණනක්  සමග  පැවැත්වූ  හමුවකදී කතා  බස්  කොට  ගත් අප,   සම සමාජ  පක්ෂයේ  නායකයෙකුවූ   චන්ද්‍රිකා ආණ්ඩුවේ අධිකරණ ඇමති ලෙස  කටයුතු  කළ  බැටි වීරකෝන් මහතා  හමුවීමට  ගියෙමු . නඩුව  පැවරිය  යුතු  පොයින්ට් එක  හෙවත් නඩු නිමිත්ත අපි බැටීට දුන්නෙමු. ඔහු නඩුව  භාරගත්තේය  ඔහු නඩුවට  කතා  කළේය . ඔහු නඩුව  දිනවා දුන්නේය. පීඩාවට  පත් දහස්  ගණනක්  ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට  සහන  හිමිවුයේය.


මගේ  මිත්‍රයෙකු වූ කොමියුනිස්ට්  පක්ෂයේ  නායකයෙකු ද .ලේඛකයෙකු වුද , මුල්පෙළේ  දේශපාලන  කථිකයෙකු වුද   වජිර  පැල්පිට සහෝදරයාට දිනක් මේ  පිළිබඳව  මා  කීවිට  ඔහු කිවේ  "පියරු බබ්බුන්ට පුලුවන්ද  සුප්‍රීම් කෝට් එකේ නඩු  කතා  කරන්න ? "  කියාය.



ඔහු පියරු බබා  ලෙස  හැඳින්වුයේ  මේ  ලිපිය  ලියන්නට පාදක වූ  විජේදාස  රාජපක්ෂ මහතාය.  අග්‍ර  විනිශ්චයකරුවූ  සරත් නන්ද ද සිල්වා  විජේදාස  රාජපක්ෂ  මහතා  ඉදිරිපත් කළ  කරුණු  තුට්ටුවකටවත්  ගණන් නොගත්තේ   නඩුවට ඉදිරිපත් කළ  කරුණුවල  අඩු ලුහුඬුකම්   නිසා   නොව ඔහු  පියරු බබෙක් ලෙස  සැලකීම නිසා   විය  හැකිය. සරත් නන්ද සිල්වාගේ  නඩු ඇසිල්ල කැකිල්ලේ නඩු ඇසිල්ලට  බොහෝ දුරට සමාන වූ  බව ඔහුගේ   කැරැට්ටුව දන්නා  අයට අමුතුවෙන් කියන්නට  උවමනා  නැත. HELPING HAMBANTHOTA නඩුවේදී  තමන් දුන් තීන්දුව වැරදි බවට  පසු  කාලයේ  වැමෑරුවේද  ඔහුමය .




ඉතින් අපි දැන් අපේ  කතාවට  බසිමු .




 විජේදාස  රාජපක්ෂ ඇමතිවරයා මේ  ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා  ලෙස  පත්වීමට පෙර  හොඳ  නමක්  දිනාගෙන  සිටි නමුත්  මේ වන විට බොහෝ දෙනෙකු ඔහු පිළිබඳව  බලවත් ලෙස  කලකිරීමට  පත්ව  සිටිති  . චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින්  ජාතික  ලැයිස්තුවෙන්  මන්ත්‍රී  තනතුරකට  පත්  කරනු  ලැබූ ඔහු   මහින්ද  බලයට  පත් වීමෙන් පසු ඔහු යටතේ  ඇමති තනතුරක්ද ලැබීය   පසුව ඉන් ඉවත් වූ අතර  ශ්‍රීලනිපයේ  මහරගම  සංවිධායක  තනතුරෙන්ද  ඉවත් විය. මන්ත්‍රී ධුරයේ  දිගටම රැඳී සිටිමින්     කෝප් කමිටුවේ සභාපති  ලෙසද කාලයක් කටයුතු  කළ ඔහු 2009 වසරේ    එක්සත්  ජාතික  පක්ෂයට එකතු වුයේ මහින්දගේ ප්‍රතිපත්තිවලට  එකඟ  නොවෙන  බැවින්  යැයි බොහෝ අය සිතුවාට සැකයක් නැත.  මහින්දගේ  ජනප්‍රියම සමය වූ 2009-10  කාලයේ  මහින්ද දමා අවුත් එක්සත්  ජාතික  පක්ෂයට එකතු වීම නිසා ඔහුට  තිබු ගවුරවය  තව දුරටත්  ඉහල ගියේය 





නීතිඥ සංගමයේ  සභාපති  ලෙස පසු  කලෙක ඔහු  පත් කර  ගනු ලැබුවේද  අයුක්තියට එරෙහිව සටන්  කරන  පුද්ගලයෙකු  ලෙස  කීර්තියක් අත්  ගෙන සිටි නිසාය .  ශිරානි බණ්ඩාරනායක  මහත්මිය අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව විජේදාස  රාජපක්ෂ  මහතා ප්‍රබල වැඩ  කොටසක්  ඉටු කළ  බැවින් ඔහුගේ  කීර්තිය  තව දුරටත් වර්ධනය  වුයේය.

  රාජපක්ෂ  රෙජීමය  ඔහු  බියගැන්වීම සඳහා  ඔහුගේ  නිවසේ   ඉදිරිපස දී 2012 දෙසැම්බර  මස එක  රාත්‍රියකදී   වෙඩි දෙකක්  තැබූ අතර  එම සිද්ධියෙන්  අපගේ වීරයා  බියගුල්ලා වී    ඉන් පසු  එළඹී  නීතිඥ සංගමයේ නිලවරණයේ දී  එහි සභාපති  තනතුරට   ඉදිරිපත්  වුයේ  නැත .එකල නීතිඥ සංගමය  රාජපක්ෂ  රෙජීමයේ දුෂ්ට ක්‍රියාවන්ට  එරෙහිව  ප්‍රබල වැඩ  කොටසක් කරමින් සිටියේය..



    එහෙත් 2015  ජනාධිපතිවරණයේදී  මෛත්‍රී වෙනුවෙන්  ඔහු  කැපී  පෙනෙන වැඩ  කොටසක්  ඉටු කළේය. මෛත්රිගේ ජයග්‍රහණයට  ඔහු දුන් දායකත්වය සුළු පටු නැත . ජයග්‍රහණයෙන් පසු  එළඹී   2015 මහමැතිවරණයෙන්  පසු අධිකරණ  ඇමති  තනතුරත්  බුද්ධ  ශාසන ඇමති  ධුරයත්  ලැබූ  ඔහු  අයුක්තියට එරෙහිව  කඟ වේනෙකු  මෙන්  වැඩ  කරනු ඇති  කවුරුත්  පාහේ  බලාපොරොත්තු වුහ .



ඇමති තනතුර  ලැබීමෙන්  පසු ඔහුගේ අපේක්ෂාවන් වෙනස්වූ  බව ඉන්පසු  ඔහුගේ  කල්කිරියාවෙන්  පෙනී යයි .උසාවි  යන  කාලයේ හොඳ  හැටි  හරි හම්බ  කර  ගත් ඔහු , අධිකරණ ඇමතිකම  ලැබීමෙන් පසු තව දුරටත්  උසාවි  ගොස්  ගොස්  මුදල් සොයාගත  නොහැක . ඇමතිවරයෙකු ලෙස  ඉහල වැටුපක් සහ දීමනා රාශියක් ලැබුවද  ඉහල ජීවිතයකට  හුරුවී  සිටින  ඔහුට එය  ප්‍රමාණවත් වන්නේ  නැත .එබැවින් වෙනත් මාර්ග වලින් රන්  කාසි  හොයන්නට  ඔහු  සිතුවේද? 



විජේදාස  රාජපක්ෂ වීරයා දියවී  යන්නට  පටන්   පටන්ගත්තේ ඇවන්ගාඩ් යටිමඩි ගැහිල්ල හෙළි වීමත් සමගය  . ඇවන්ඩ්ගා සමාගමට එරෙහිව  අපරාධමය (CRIMINAL) නඩුවක් නොමැති බවට  නීතිපතිවරයා  කියා තිබෙන  බවට විජේදාස  ඇමතිවරයා  කීප වරක්  කියා සිටි නමුත් ඇත්ත  කතාව  නම් ඇවන්ගාඩ් ලොක්කා වන  නිස්සංක සේනාධිපති ට සහ  ගෝඨාභය රාජපක්ෂට එරෙහිව  නඩු  පැවරීමට කරුණු  තිබෙන  බවට නීතිපති  දෙපාර්තමේන්තුව ඔහුට දන්වා  තිබීමය .


ඇවන්ගාඩ් සමාගමේ සභාපති   නිස්සංක  සේනාධිපති සහ  තමා  අතර  පුද්ගලික සමබන්ධකම්  නොමැති බවට ඇමතිවරයා  කිව්  නමුත් එය  බොරුවක්  බව  තහවුරු  කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා පින්තුර විසි  ගණනක් මාධ්‍යයට  ලබා දුන්නේය .ඒවා විජේදාස  සහ  නිස්සංක  තම  පවුල්වල සාමාජිකයන් සමග  2006 දී ඇමරිකාවේ  කළ සංචාරයක  පින්තුර විය . සේනාධිපතිගෙන්  අල්ලස්  ලබා ගෙන ඇවන්ගාඩ් සිද්ධිය  යටගැසීමට  විජේදාස  කටයුතු  කරන  බවට  සරත් ෆොන්සේකා  ඇමතිවරයා  චෝදනා  කළ අතර එය  බොරුවක්  බව  කියමින්  අපහාසයට  වන්දි ඉල්ලා  නඩුවක් දමන බව  විජේදාස  මහතා  කීවද එවැනි නඩුවක් දැමු බවට දැනගන්නට  නොමැත.











විජේදාස  සිටින්නේ  ඔහු බලයට  පත්  කළ  මිනිස්සුන් ගේ  පැත්තේ  නොව  සතුරන්ගේ  පැත්තේ  බව   හෙළිවන්නට  වූ විට ඔහු සමග සිටි  යුක්තිගරුක  මිනිසුන්  ඔහු අත්හැර  ගියහ . දිගින් දිගටම  වාසි සහගත  දේශපාලනයේ  රැඳී සිටීමට නව  බලවේග සොයාගත  යුතුය .    සිංහල අන්තවාදීන් සමග හිට  ගැනීමට  තීරණය  කළ  ඔහු   ගෝටාගේ නිෂ්පාදනයක් වන  ඥානසාර  නිකාය හමුවීමට ගියේය. නීතිය  ගරු නොකරන, උසාවියට  කඩා පැන එහි කටයුතු  කඩා  කප්පල්  කරන  ප්‍රසිද්ධ  මැරයෙකු  සමග  කිසිම ශිෂ්ට රටක අධිකරණ  ඇමතිවරයෙක්  ඇසුරු කරනවා  තබා පැත්ත පළාතකටවත්  ඒමට  ඉඩ දෙන්නේ  නැත . එහෙත් විජේදාස  මහතාට  ඥානසාර නමැති   කහ මැරයා පෙනුනේ  තමන්ගේ  ගැලවුම් කාරයෙකු ලෙසය .


අලුත් මිතුරන් සොයා  යන  ගමනේදී  විජේදාස  මඩකලපුවේ  මංගලාරාමයටද  ගොඩ විය .එහි විහාරාධිපතිවන අම්පිටියේ සුමනරතන  හිමි මඩකලපුව  ගිනි තැබීමට උත්හසා  කළ  මැරයෙකි. එම  පන්සලේ උත්සවයකට  ජනාධිපති  මෛත්‍රීපාල  මහතාට ආරාධනා  කළද ඔහු   සහභාගී  නොවීම නිසා  වියරුවට  පත්ව  ජනාධිපති නමින් සකස්  කර තිබු ඵලකය  කඩා  බිඳ දැමු අවිනීත සිවුරු කාරයෙකි   . පන්සලට අයත් නොවන  ඉඩමක්  බලහත්කාරයෙන් අල්ලා  ගන්නට  ඔහු තැත්  කළ විට එයට   විරුද්ධවූ  ග්‍රාමසේවක  නිලධාරියාට  තිත්ත  කුණුහරුපයෙන්  බැන වැදී  "තෝ කොටියා.තෝ දකින විට  මගේ  ලේ  උනුවෙනවා  කියමින්  මහපාරේ  යකා  නැටු මැර  භික්ෂුවකි  දෙමල  මිනිසුන් ඔහුට  පහර දුන්නේ  නම්  මඩකලපුව  පමණක් නොව  බොහෝ ප්‍රදේශවල ද  ජාතිවාදී  කලකෝලාහල  ඇතිවිය  හැකිව  තිබිණ. මෙම සිවුරු  කාරයාට එරෙහිව  නීතිමය  කටයුතු  කරන  ලෙස  දෙමල  මිනිසුන්ද  මුස්ලිම් මිනිසුන්ද    ආණ්ඩුවෙන්  ඉල්ලා   සිටියහ . එහෙත් සිදුවුයේ එය නොවේ . විජේදාස  රාජපක්ෂ  මහතා ඥානසාර සමග  මංගලාරාමයට  ගොස් අම්පිටියේ  සුමනට වන්දනාමාන  කොට  මැර  භික්ෂුවගේ  ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමය  .




තමන්ගේ  ඇමති ජොබ් එකට අදාළ දේ කිරීම  පැත්තක  තබා  පන්සල්වල  හාමුදුරුවරුන් තෘප්තිමත් කිරීම සඳහා ඕනෑම දෙකට සුදානම් වී සිටින විජේදාස  මහතා  ගිය  අවුරුද්දේ දවසක  පන්සලකට  ගොස්   කටින සිවුරු මැසුවේය  බුද්ධ  ශාසන  ඇමති වුවද  භික්ෂු  කතිකාවතක්  හදා  නීතිගත  කරවා  ගැනීමටවත්  ඔහුට  කොන්දක්  තිබුනේ  නැත .සිවුරු දාගත්  කට්ටඩියන්ගේ විරෝධය  හමුවේ  හීන්දාඩිය දැමු විජේදාස  මහතා  කෙටුම්පත්  කොට  තිබු  භික්ෂු කතිකාවත  කුණු කුඩයට  විසි කළේය  .



ගිය  ආණ්ඩු  කාලයේ දී   කෝටි  දස  දහස්  ගණනින් පිල්ලි ගැසූ මෝරුන්  අධිකරණය  හමුවට  ඉදිරිපත්  කිරීමට නොහැකි වුයේ  විජේදාස  මහතා  කළ බාධා  කිරීම් නිසා  යැයි සමාජයේ  බලවත් විශ්වාසයක්  පවතී. .ඩීල් දාස  යයි  පුරවැසියන් ඔහුට   නමක් පට බැන්දේ ද ඒ  නිසාය.



විමල් වීරවංශ  පන්නයේ  මිනිහෙක් බවට  ඔහු වේගයෙන්  පරිවර්තනය  වෙමින් සිටින  බව  පසු ගිය  සතියේ ලංකාවට  පැමිණි  එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ  විශේෂ  නියෝජිත  බෙන් එමර්සන්  මහතා  සමග කලබැගෑනියක්  හදාගෙන  මාධ්‍ය වලට එය  ලීක් කිරීමෙන් පෙනේ . ඔහු ලංකාවට  පැමිණ  දින  හතරක්  තිස්සේ  අගමැති සහ  ජනාධිපති ලේකම් සමගද  ආරක්ෂක අංශවල  ප්‍රධානීන්ද,  අගවිනිසුරු ඇතුළු නීති ශේෂ්ත්‍රයේ  නිලධාරින්ද , වෙනත් ඉහල මට්ටමේ  නිලධාරින්ද , ත්‍රස්තවාදය වැලක්වීම්  පනත  යටතේ  සිරගෙවල්වල  රඳවා  තබාගෙන  සිටින සිරකරුවන්ද  මුණගැසුණේය . ඉන්පසු ඔහු මාධ්‍ය සාකච්ඡාවක්  පැවැත්වූ අතර   හමුදා  විසින්හෝ   පොලිසි  විසින්  අත් අඩංගුවට ගනු  ලැබුවන්ට  එල්ලවී  තිබෙන  භයානක අනතුරු  පිළිබඳ  අතිශයින්  වැදගත්  කරුණු  රැසක් හෙළි කළද  සිංහල මාධ්‍යයෙන් පළවන පුවත්පත් සහ රුපවාහිනි සේවා එම  කරුණු  පිළිබඳව  යොමු කළේ ඉතා අඩු අවධානයකි  .



අත්අඩංගුවට  ගනු  ලැබුවන්ට  වධ හිංසා  පමුණුවන  ලෝකයේ නරකම රටවලින් එකක් බවට ලංකාව  පත්ව ඇති  බව   ඔහු  කියා  සිටි අතර ජාතින් අතර සහජීවනය සඳහා වන වැඩ  පිළිවෙල  මුළුමනින්ම වාගේ  නැවතී  තිබෙන  බව  කීවේය.  ලංකා ආණ්ඩුව  එක්සත් ජාතීන්ගේ  මානව  හිමිකම් කවුන්සලය  රවටන  බවත් මේ  තත්වය  තමා එම  කවුන්සලයට වාර්තා  කරන බවත් ඔහු වැඩි දුරටත්  කියා සිටියේය.




අත්අඩංගුවට ගනු ලැබූ අයට වධ   හිංසා  කිරීම ඉඳ හිට සිදුවන දෙයක් නොව  සාමාන්‍ය දෙයක් බවට  පත්ව  තිබෙන බව  ඔහු  මාධ්‍ය සාකච්චාවේදී කීය .  නියපොතු ඇතුලට  ඉඳිකටු වලින්  විදීම , නියපොතු  ගැලවීම , මහපොට ඇඟිලිවලින් පැය  ගණන් එල්ලා තැබීම , පොලුවලින්  පහර දීම භූමිතෙල් වලින් පෙඟවූ ආවරණ  හිස සහ මුහුණ වසා  හුස්ම  හිර  කිරීම , දරාගැනීමට  නොහැකි ඉරියව්වලින් සිරකරුවන් තැබීම , ජලය යොදාගෙන වධ හිංසා  පැමිණවීම, ලිංගේන්ද්‍රියන්ට  හානි   කිරීම  ආදී කෘර වධ  හිංසා,  ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත  යටතේ අත් අඩංගුවට  ගනු ලැබූ අයට  පමුණුවා   තිබෙන  බව  තහවුරු වූ  බව  බෙන් එමර්සන්  මහතා කියා සිටියේය. එය  මෙම ආණ්ඩු සමයේද සිදුවී  තිබෙන බව  ඔහු  තව දුරටත්  කිවේය.




බෙන් එමර්සන්  මහතා  දන්නේ ත්‍රස්තවාදය වැළකීමේ පණත  යටතේ අත් අඩංගුවට  ගත් අය  සම්බන්ධයෙන් පමණි. සාමාන්‍ය  නීතිය  යටතේ   අත්අඩංගුවට  ගනු ලබන  පුංචි මිනිසුන්ට  පොලිසි විසින් දෙනු ලබන වධ  හිංසා ද ඊට දෙවෙනි  නැති බව ඔහු දන්නේ  නැත  .  1971 කැරැල්ලේදී  මෙන්ම 88-89  කැරැල්ලේදී ද  අල්ලාගත්  තරුණ තරුණියන්  දස දහස්  ගණනක්    හමුදා සහ  පොලිසියේ   බිහිසුණු  වධ බන්ධනයන්ට  මුහුණ දුන්හ . බහුතරය වද විඳිමින්  මිය ගියහ .  


 ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත  බලපාන්නේ  දෙමළුන්ට  පමණක් නොවේ . එම  පනත  යටතේ අත් අඩංගුවට ගනු ලබන   මුස්ලිම් ජාතිකයනට මෙන්ම  සිංහලයන්ටද     දහසකුත් එකක් වධ  හිංසාවන් පමුණුවන්නට  එමගින්  හොර  ලයිසන් ලබා දී  තිබේ.  එබැවින් අන්තර්ජාතික  නීතියට අනුකුලව  ත්‍රස්තවාදය වැළක්වීමේ  නව  නීති  පනවන  ලෙස එක්සත්  ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට  කියා තිබුණු අතර  ආණ්ඩුව එයට එකඟ වී  නව  පනතක්  සකස්  කළේය . නමුත් එම  පණත  මගින්ද  සැක  කරුවනට වධ හිංසා  පැමිණ වීම සඳහා  ඉඩ  කඩ සලසා  තිබෙන  බව  බෙන් එමර්සන් මහතා  හෙළි කළේය  .



විජේදාස  රාජපක්ෂ  මහතා සමග  ගැටුමක් ඇති  කරගත්තේදැයි බෙන් එමර්සන් මහතාගෙන් මාධ්‍යවේදියෙකු  ප්‍රශ්න  කළ  විට  පුද්ගලික සාකච්චා  පිළිබඳව  කරුණු හෙළි කිරීම  තමන්ගේ  ප්‍රතිපත්තිය  නොවෙන  බව  ඔහු කිවේය . එසේ  නම්  මාධ්‍යවේදීන්  මේ  පිළිබඳව  කල් ඇතුව දැන  සිටියේ  කෙසේද? එම මාධ්‍ය සාකච්ඡාව  පැවැත්වීමට  පෙර දිනයේද මෙම  ගැටුම  ගැන පුවත්පතක  පලවී  තිබිණ . වීරයෙක් වීමට ක්‍රම විධි  සොයමින් සිටින විජේදාස ඇමතිවරයා විසින්ම එය මාධ්‍යයට  හොර රහසේම  ලබා දී ඇති බවට අනුමාන  කිරීම සාධාරණය .

   අත් අඩංගුවට  ගනු  ලැබුවන්   ලබා දෙන  කට උත්තර සාක්ෂියක්  ලෙස  පිළිගත  යුතු බවට නව  පණත  යටතේද   ප්‍රතිපාදන සලසා ඇති බැවින්   එය ඉවත්  කළ යුතු බව  බෙන් එමර්සන් මහතා   විජේදාස  රාජපක්ෂ  මහතාට    කී  විට ඔබේ  රට  වන එංගලන්තයේද මේ  නිතිය  තිබෙන  බව  කියමින් ඔහුගේ මුනට  කඩා පැන්නේය  එසේ  මුනට  කඩා  පැන්න  බව අපි දන්නේ  ඔහු  මාධ්‍යයට   ඒ බව කිව් නිසාය . බෙන් එමර්සන් මහතාගේ හැසිරීම හොඳ  නැති බවට  ජනාධිපතිට  පැමිණලි කරන  බවද  ඔහු තව දුරටත්  කියා  තිබුනේය 

 විජේදාස  මහතාගේ    පෙරකදෝරු  තර්කය එහෙම  පිටින්ම  හාස්‍ය  ජනකය. බෙන් එමර්සන් මහතා  මෙහි ආවේ  එංගලන්ත  ආණ්ඩුවේ  නියෝජිතකු  ලෙස  නොව එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ  විශේෂ  නියෝජිතයෙකු ලෙසය. එවැනි තර්ක  දමා  සුප්‍රීම් උසාවියේ    තබා  සාම  මණ්ඩලයක  පවත්වන නඩු  විභාගයකදීවත් වාසියක් ලබා  ගත  නොහැක . විජේදාස  මහතාගේ මේ  නැටුම පැහැදිලිවම අන් යමකට  නොවේ. ඥානසාර  ගැලරිය  පිනවීමටය .


බොදු බල සේනාව, රාවන බලය වැනි සංවිධාන  අබවුද්ධ  ආගමික මධ්‍යස්ථාන සීයකට අධික සංඛ්‍යාවකට  පහර දී තිබෙන  බවට  නීතිඥ  ලක්ෂාන්  ඩයස්  මහතා  ප්‍රකාශ කිරීම  නිසා අධික ලෙස  කෝපයට  පත් විජේදාස  මහතා   ඔහුගේ නීතිඥ  පට්ටම  ගලවා  ගෙදර  යවන  බවට  වහසි බස් දොඩා ද වැඩි දවසක්  නොමැත . එහි අරමුණ වුයේද  ගැලරිය  පිනවා  ඔවුන් අතර වීරයෙකු වීමටය.


විජේදාස  මහතා මේ කරන්නේ  අධිකරණ ඇමතිවරයාගේ  ජොබ් එක නොවේ. විමල් වීරවංසගේ ජොබ් එකය.  සිංහල අසිංහල භේදයකින් තොරව  සියලුම  ලාංකිකයනට  යුක්තිය ඉටුවන අධිකරණයක් නීති පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටීම අධිකරණ ඇමතිගේ රාජකාරිය  වුවද  විජේදාස  මහතා  දැන් බැස තිබෙන්නේ  විමල් වීරවංස කෙනෙක් වී ඉදිරි දේශපාලන  ගමන  යන්නටය . ප්‍රාඥයා   කියා චන්ද  කාලයේ  පෝස්ටර්  ගස්සවා  ගත්   විජේදාස  මහතා  රටේ  තිබෙන අන්තිම  තුප්පහි  බලවේග  සමග ගමන් කරන්නේ සිය     අනාගත දේශපාලන  බලාපොරොත්තු  සාක්ෂාත්  කර ගැනීමේ  වාහකය ලෙස  එම  බලවේග    යොදා  ගැනීම  ඔහුගේ ව්‍යාපෘතිය වී  තිබෙන  නිසාය .



වීරවංශ  පාරේ  යන  විජේදාස  මහතා තවමත්  නොකළේ එකක් විතරය . එනම්    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  කාර්යාලය  ඉදිරිපිට  උපවාසයක්  පමණි .මහා මැතිවරණයක් ආසන්නයේ දිනක  ඔහු එවැන්නක්ද  නොකරනු ඇතැයි සිතීමට  දැන් නම් හේතු නැත .

  

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා