Skip to main content

ගංවතුරේ සිට ලියමි.

 

 

ගංවතුර  ගැන කතා  බොහෝය.වරාය  නගරය හැදීමේදී ඉවත්  කරන පස් කැලණි ගඟේ මෝයට දැමීම නිසා අම්ම  මුත්තාගේ  කාලේ වත් ආපු  නැති  ගංවතුරක් කොළඹ  යට කළ බව සමහරු කියති. තවත් සමහරුන් කියන්නේ  රාජපක්ෂගේ හිතුවක්කාර ඉදිකිරීම්, පාරවල් තැනීම්  සහ   අධිවේගී මාර්ග  තැනීම  නිසා රටේ බොහෝ ප්‍රදේශ  යටවූ බවය. ඇතැමෙකු  කියන්නේ  ගෝටා මහතා කොළඹ ලස්සන  කොරන්නට  යාමෙන් මේ විපත්තිය කොළඹටත් ගෙන ආ බවය. රතු පාට  කට්ටිය  කියන්නේ ධනපති ක්‍රමය මෙයට වග කිවයුතුය  කියාය. මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වදාළේ මෛත්‍රීගේ  සහ  රනිල්ගේ  පාලනය  ගැන  කෝපවූ දෙවිවරු මෙවැනි විපතක් කළ බවය.

 

මේ අව් අස්සේ තමන්ගේ  දේශපාලන න්‍යාය පත්තර  පොලිෂ් කිරීමටද සමහරු ගංවතුර  යොදාගෙන  තිබෙන බවට  චෝදනා  කරති. චෝදනාව  වැඩියෙන් එල්ල වන්නේ  ජවිපෙටය. අවංක අදහසින් මිනිස්සුන්ට  උදව්  කරන්නට  උවමනාවක් තිබේ  නම්  බෝඩ් එල්ලගෙන  ආයුතු  නැති බව  ඔවුන්ගේ  අදහසයි. එක අතකින් ජවිපෙ  ගැන දුකක්ද  ඇතිවේ.මොන තරම් වෙහෙස  මහන්සිවී මිනිස්සුන්ට  උදව්  පදව්  කලත්  චන්දයක්  ආවිට මිනිස්සු  චන්දෙ දෙන්නේ ඔවුන්ට නොවේ. හොරුන්ටය. එයට  හේතුව  ලෙස  මට නම් පෙනෙන්නේ  අපේ  රටේ  බහුතරයක් මිනිස්සුන්ගේ  පසු  ගාමිත්වය. පසුගාමී වී තිබෙන්නේ  තවමත් අපේ  රට නොදියුණු ධනපති ක්‍රමයක් තිබීම නිසාය. සමාජවාදයට පෙර දියුණු ධනපති  ක්‍රමයක් අපේ  රටේ  ගොඩ නැගීමට රතුපාට  කට්ටියත්  සහය දිය  යුතු නොවේදැයි  කල්පනා  කර  බැලීම  වටින්නේය.

 

මෛත්රීත්  රනිලුත් වැඩි සද්දයක් බද්දයක් නැතිව ගංවතුරෙන් , නාය  යාමෙන්  විපතට  පත් මිනිස්සුන්ට   උදව්  කිරීමට කටයුතු කරන   බවක් දැකිය  හැක. ඔවුන් ආහාර  මලු තොග  පිටින් රැගෙන ගොස් ගංවතුර  අනාතයනට රුපවාහිනී කැමරා  ඉදිරියේ  බෙදන්නට  ගියේ  නැත. මහින්ද  හිටියානම් චිත්‍රය වෙනස්ය. ගංවතුරෙන් අනාතවූ  දරුවන් ඉන්නා  තැන්වලට ඇවිත් ඔවුන් වඩා ගන්නේය  සීනිබෝල බෙදන්නේය. හැබැයි   මයිත්‍රී  සහ  රනිල්   දේශපාලන  සංදර්ශන  නොපැවැත්වීම  අපේ  රටට   කොතරම් ගැලපෙන්නේදැයි සැකය. මිනිස්සු බලා  ඉන්නේ දේශපාලකයන් කෑම බීම  රැගෙන අවුත් බෙදා දෙන  තුරුය. ඔවුන් බලන්නට  මන්ත්‍රීවරු ආවේ  නැතැයි  දෙස් දෙවොල් තබන්නේ  ඒ නිසාය.

රුපවාහිනී නාලිකාද තරඟෙට මෙන් ආධාර  එකතු  කරමින් තමන්ගේ  චැනලයට   ලකුණු දමා  ගනිති.ඒකට  නම් කමක් නැත.  ඔවුන්ගෙන් වන සේවය සුළු පටු  නැත.කවුරු හෝ මේ වෙලාවේ  කර  කියා  ගන්නට දෙයක් නැති මිනිස්සුන්ට උදව්  කළ යුතුය. වඩාත් අගය  කල යුත්තේ  කිසිදු බෝඩ් එකක් නැති මිනිස්සු ලක්ෂ  ගණනින් උදව්  කිරීමට ඉදිරිපත් වී තිබීමය. අනුන්ට විපතක්වූ විට ඔවුන්ට  පිහිට වන්නට ක්ෂණයෙන් ඉදිරිපත් වන්නේ ඇඩ්‍රස් නැති මිනිස්සුය.ඔවුන්ට සැඟවුණු න්‍යාය පත්‍ර නැත.තමන්ගේ  අතපය  ගැලවුනත් බැරි එකාට උදව් දෙති. 

 

 

දකින්නට නැත්තේ ලොකු මිනිස්සුය.රුවාහිනියේ  පත්තරේ දිනපතාම  වාගේ  ලොකු  දැන්වීම් දමන ලොකු ලොකු  කොම්පැණි  කාරයෝ නම් මේ දුෂ්කර වෙලාවේ  දකින්නට නම් නැත. ධනපති  පන්තියේ එකම අපේක්ෂාව  ' මිනිස්සු  සුරා  කෑම  මිසක් ඔවුන්ගේ  දුක වෙනුවෙන් තමන්ගේ  ලාභයෙන් ටිකක් බෙදා දෙන්නට සුදානම් නැත'   කියා සමාජවාදී  මත දරන්නන් කියන්නේ  මේ  නිසාය.

දකින්නට නැති තවත්  කට්ටියක්ද  සිටිති. ඒ  සිංහල ජාතියේ  ගැලවුම් කාරයෝය. 'සිංහ ලේ ' පේන්නට නැත. 'වීර විධාන ' නැත. 'රාවණා' නැත. 'ඒකීය ලංකාවේ'  කට්ටිය  නැත. ඥානසාරද උන්නාන්සේද  නැත. මුරුත්තෙට්ටුවේද නැත. ඒ විතරක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයද නැත. ප්‍රාදේශීය සභා චන්දය  ඉල්ලා ගිරිය  යටින් කැ ගහන ප්‍රාදේශීය සභාවල හිටපු  මන්ත්‍රීවරුද නැත.  නිල විපක්ෂයද  නැත.ෆෙඩරල් කට්ටියද නැත. ඔක්කොම  කර ගහන්නට සිදුවී ඇත්තේ ආණ්ඩුවටත් NGO ස්වෙච්චා සංවිධානවලටත් , රුපවාහිනී නාලිකා වලටත් නමක් ගමක් නැති මිනිස්සුන්ටත්ය. 

හැබැයි හෙට අනිද්දා  චන්දයක් තිබුනේ  නම්  එසේ වන්නේ  නැත. ගංවතුර   අනාථයන් ගැන පක්ෂ භේදයකින් තොරව  සියලු අපේක්ෂයකන් තුළ පුදුම අන්දමේ අනුකම්පාවක් ඇතිවන්නේය. එබැවින් දෙවියන් වහන්සේද අල්ලා  දෙවියන්ද 33 කෝටියක් දෙවි  දේවතවුන් වහන්සේලාද  පාලකයන් කෙරෙහි කේන්තියෙන් මහා වැසි වස්සන විට , කුණාටු ඇති  කරන විට, කඳු පෙරලන විට  මැතිවරණ සමයක එය  කිරීමට සලකා බැලිය යුතුය .


                                                        සුනාමියෙන් බේරුණු ප්‍රතිමා

මේ  අතර යම් යම් පුරුෂයෝ මේ සා මහා විපතක් වීත් බුද්ධ  රුපවලට අබමල් රේණුවක වත් විපතක් නොවී ශාන්ත දාන්තව  වැඩ වසන අයුරු ගැන පුවත්, පත්තරවලද ,ෆේස් බුක් පිටුවලද  ලියමින් තම තමන්ගේ  ආගමික උමතුව ප්‍රචාරය  කරති. සුනාමි ව්‍යසනයෙදීද එවැනිම ප්‍රචාරයක් ගෙන ගියහ. විශේෂයෙන්ම  ගාල්ල බස් නැවතුම්පොළේ බුදුරුවට  හානි නොවීම ගැන ප්‍රවුර්ති  එකල පළවිය. .හානි නොවුනේ බුද්ධ  ප්‍රතිමා වලට  පමණක් නොවේ.යෙසුස් වහන්සේගේද  කන්‍යා මරිය තුමියගේද  හින්දු දෙවිවරුන්ගේද ඇතැම්  ප්‍රතිමා මෙන්ම සමහර පන්සලද  කතෝලික පල්ලිද  හින්දු කොවිල්ද, මුස්ලිම් පල්ලිද සුනාමියට ගසා  ගෙන ගියේ නැත. සුනාමියක් වැනි මහා බලවෙගයකටද ප්‍රතිමා ගලවන්නට නොහැකි උනේ ඇයිදැයි  විද්‍යාව ඉගනගන්නා සිසුන්ගෙන් ඇසුවොත්  කියනු ඇත.

කෙසේ වෙතත් ස්වභාවික විපත් ගැන සීරියස් ලෙස  හිතා මතා බැලුවිට  නම් පෙනී යන්නේ  ස්වභාව ධර්මයට මල පැන්න විට ජාතිය  ආගම  දේශපාලනය  නොසලකා කාටත් එක හැන්දෙන් බෙදන බවය.අල්ලා  දෙවියන්ට පණ දීමට සුදානම් මිනිස්සු  සිටින ඉරාණයට  පසු ගිය  කාලයේ එක දිගට  භුමි කම්පා ඇතිවී දස දහස්  ගණනින් මිනිසුන් ස්වර්ගයට සහ  අපායට ගියහ.. ඇෆ්ගනිස්ථානයේද භුමි කම්පාවලින් බොහෝ මිනිස්සු මිය ගියහ.බංගලා දේශයට ගංවතුර ගැලු විට මිනිසුන් මිය  යන්නේ  දහස්  ගණනින් නොව ලක්ෂ  ගණනි නි. කතෝලික ආගමිකයන් සිටින යුරෝපයටද ඇමරිකාවටද  පසුගිය  කාලයේ ගංවතුර  ගැලුවේය. ඊයේ පෙරේද කැනඩාවට අලි ලැව් ගින්නක් ඇතිවී ගම්  සහ නගර අළු කළේය. හින්දු දෙව්  වරුන්ගේ පාරාදීසය වන ඉන්දියාවටද  ගංවතුරෙන් ඉඩෝරයෙන්, කුණාටුවලින් අඩුපාඩුවක් නැත. බුදුන් උපන් දේශය වන නේපාලයේ  මාස  කීපයකට පෙර ඇතිවූ භුමි  කම්පාවෙන් බොහෝ අය පරලොව  ගියහ. කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරිය  යටතේ  ධනපති අර්ථ  ක්‍රමය පවත්වාගෙන  යන චීනයටද ගංවතුරෙන් , භුමි කමපා වලින් අඩුවක් නොමැත. ධනවාදී නොවන අර්ථ  ක්‍රමයක් තිබෙන කියුබාවටද ගංවතුර වරින් වර ගලයි.

කරුණු කාරණා දන්නා  අය  නම් කියන්නේ ස්වභාව ධර්මයට යකා වැහී තිබෙන්නේ එයට එරෙහිව මිනිස්සු  කටයුතු  කිරීම නිසාය  කියාය. පොහොසත් රටවල මෙන්ම  චීනය වැනි  රටවල්ද   පරිසරයට  කරන  හානි නිසා ගෝලීය උණුසුම ඉහල  යාම කාලගුණ  විපර්යාස ඇති කිරීමට හේතුවී තිබේය  කියා ඔවුන් කියති. එබැවින්  ඒවා පාලනය  කිරීමේ අරමුණෙන්  එක්සත් ජාතීන්ගේ  සංවිධානය මුලික වී ලෝකයේ  රටවල් සමග  ගිවිසුම් රැසක් අත්සන්  කර  තිබේ. කියෝතෝ එකඟතාවය ඉන් ප්‍රධානය.  එහෙත් පරිසරයට එරෙහිව මිනිසා කරන කොඩිවින නම්  අඩුවක් නැත.

කෙසේ වෙතත් ඕනෑ  කමක් තිබේ  නම් ස්වභාවික විපත්ති වලින් මිනිසාට වන  හානි අඩු  කර  ගැනීමට  හැකිය. වරක් කියුබාව හරහා දැවැන්ත  කුණාටුවක් යාමට ලක ලෑස්තිවන විට  කියුබානු  ආණ්ඩුව  ලක්ෂ ගණනින් මිනිස්සුන් කුණාටුවෙන් බලපෑම් සිදු නොවන ප්‍රදේශවලට  රැගෙන  යාමට දක්ෂ විය . එම  දුරදර්ශී පියවර  නිසා  කුණාටුවෙන් මියගියේ දෙතුන් දෙනෙකු  පමණය.ලෝකයේ දියුණු  රටවලටද ස්වභාවික විපත්වලින් සිදුවන විපත් අවම  කර  ගැනීමට  හැකිවී  තිබේ . එයට හේතුව  නම්  විද්යාවේ  දියුණුවත්  අදාල ආයතන සහ සේවාවන්හී කාර්යක්ෂම තාවය  නිසාත්ය.

අපේ  රටේ   කතෝලිකයනටත් හින්දු භක්තිකයනටත් මුස්ලිම්  ජතිකයනටත් , 33 කෝටියක්  දෙවිවරුන්ගේ  පිහිට  තිබෙන සිංහල  බවුද්ධයන්ටත් තවත් බොහෝ කාලයක්  යන තුරු  ගංවතුරෙන් ද , නාය  යාම් වලින්ද  ජීවිත  හානි සහ  දේපොළ විනාශයන්ට  මුහුණ දීමට  සිදුවනු ඇත. එයට  ප්‍රධාන  හේතුව  නම් මේ රටේ  පවතින  ජරා  ජීර්ණ දේශපාලනය වෙනස්  කිරීමටත්  , ජාති භේද, ආගම භේද අමතක කොට  එක්  ජාතියක් ලෙස  සමගියෙන් ජීවත් වීමටත් , දියුණු  ලෝකය සමග  ඉදිරියට  යාමටත් අපේ  මිනිස්සු   සුදානම් නැති  කමය. 

 

                                                                ගංවතුර විපතට පත්වුවෝ

     නිල්පාට ඇඳුමක් පැළඳ  ඉන්නේ  ගංවතුරටත් නාය  යාමටත් අසුවී  යන්තම් පණ බේරා  ගත් අනාථයෙකි.)

Comments

Aruna Perera said…
කොඩි දාගෙන හෝ කොඩි ඔතාගෙන හෝ වැඩේ කෙරෙනවා නම් විපතට පත්වෙච්ච අයට හොඳයි. හැම මගුලක්ම දේශපාලනේට යටවෙන එක තමයි කවදත් අපි දැක්කේ. සිල් රෙද්දෙත් මූනත් තහඩුව ගහපු මිනිස්සුනේ.
Pra Jay said…
ෂැහ්, නාත දෙයියොත් හීනෙන් කියන්නෙ මොනවහරි වුනාට පස්සෙ හේතුව මිසක් අනතුරු ඇඟවීම නෙමෙයිනෙ. රාවණා ඇහැරල එලියට බැස්සාම හරියයි අපිට
Cham said…
This comment has been removed by the author.
Cham said…



මෙක ලියන මල් පොන්නයා දන්නෙ නෑ මහින්ද මීට උතුරේ මීට වැඩිය අසරණ උන මිටත් වඩා විශාල ජනතාවකට සාර්ථකව හදිසි ආධාර සපයපු බව.


"මෛත්රීත් රනිලුත් වැඩි සද්දයක් බද්දයක් නැතිව ගංවතුරෙන් , නාය යාමෙන් විපතට පත් මිනිස්සුන්ට උදව් කිරීමට කටයුතු කරන බවක් දැකිය හැක."

ඒහරිය ආපදාවට ලක්වෙච් මිනිස්සු දන්නවා

මේ දැනුත් දෙන්න එක්ක බත් පැකට් අරගෙන පාරෙ ගියා බෙදන්න !


Ajith said…
කරුණාකර අර මළසිරුරු පිංතූරය ඉවත් කරන්න. එය එසේ මිය ගිය අසරණ මිනිසුන් වෙනුවෙන් අපට කළ හැකි ගෞරවයකි.
Dayal Bathee said…
කැළනිගං මෝය කට ඇහිරිලා නිසාය කියන උපකල්පනය මට නම් අලුත් එසේම බැහැර නොකල යුතුයි.
Unknown said…
We must help all flud trubal area people. This time we look this problam like human. All people must help to flud area people like we can. There no divisions all same trubal have. We must help all people trubal same.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට