Thursday, June 22, 2017

බෙල්ල යන සයිටම් ගෝරිය








                   කොල්ලෝ  මෙන්ම  කෙල්ලන්ද ආවේග ශීලිය . . එමෙන්ම  ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ  කම  නිසා   ගෝරියටද  බරය. ත්රිලට  කැමතිය .ආණ්ඩුවට අභියෝග  කිරීමෙන් ලැබෙන්නේ  පොඩි පහේ  ත්‍රිලක් නොවේ . රාජිතගේ අමාත්යංශය අල්ලා ගන්නට සමහර සිසුන්  ගියේ ඒ  මගින් හොඳ ත්‍රිලක්  ලැබෙන  නිසාය  .තවත් අය  ගියේ  සයිටමය නිසා නිදහස් අධ්‍යාපනයට කෙලවෙනු ඇතැයි අවංකම  සිතු  නිසාය . ඇතැමෙකු  ගියේ ධනපති  ආණ්ඩුවට  එරෙහිව  සටන් කොට කවදා හෝ සමාජවාදී  ආණ්ඩුවක්  පිහිටුවා  රටට  කිරියෙන්  පැණියෙන්  උතුරවන්නට  තිබෙන  උවමනාව නිසාය. උසාවිය විසින් තහනම් නියෝගයක්  පනවා  තිබියදී එයද පසිසෙකටවත්  මායීම්  නොකොට  සවුඛ්‍ය අමාත්‍යංශයේ  ගේට්ටුද  කඩාගෙන ඇතුලට පැන්නේ ඒ  නිසාය 



  එහෙත් පොලීසියෙන්   ඔය  තරමට  නෙලනු ඇතැයි සිසුන්ගේ  බහුතරය  සිතන්නට නැත . එහෙත්   අන්තරයේ   බොස්ලාත්  අන්තරේ බොස්ලාගේ  බොස්ලාත් කොල්ලන්ට  හොඳ  කෑමක් කන්නට වන  බව  කලින්ම අනුමාන  කරන්නට ඇත .  සවුඛ්‍ය අමාත්යංශය  යනු ඉඩ  කඩ  තිබෙන   ලොකු ගොඩනැගිල්ලක් නොවේ. එක විදිහකින්  හිර  ගෙයක් වැනි තැනකි. එයට  බලහත්කාරයෙන් රිංගු අයට  හොඳ  හැටි සබ්බුව  දෙන්නට  පොලීසියට  පුළුවන . ඒ  නිසා අන්තරේ බොස්ලගේ  බොස්ලාට   උවමනා වන්නට ඇත්තේ    සිසුන්ට  ඔයිටත් එහා  කෑමක්  කවන්නටය . සයිටම් විරෝධය  දිගට  ගෙන  යා  හැක්කේ   පොලීසියට කියා  කොල්ලන්ගේ  කෙල්ලන්ගේ  ඔලු  වැඩි වැඩියෙන්  පැලෙව්වොත්  පමණි.  නැතහොත්  කොල්ලන් කෙල්ලන් දෙතුන් දෙනෙකු  වෙඩි  කා  පරලොව  ගියහොත්ය .    GMOA  මහත්තුරුද  සයිටම්  ප්‍රශ්නය දිග්සීගැමට සුදානමින්  සිටියහ .  එවැනි  බරපතල සිද්ධියක්  නොවුනද ශනික  නුඩ්ල්ස් තැම්බෙන්නට  ගතවන  කාලයටත්  කලින් පාදෙණිය  මහතාගේ  සංගමය මහා වැඩවර්ජන  තීන්දුවක්  ගත්තේ  ඒ  නිසාය . රාජපක්ෂ වාදී පාදෙණිය  මහත්තුරුත් පෙරටුගාමි  පක්ෂයත් අත්වැල් බැඳගෙන සයිටම් ප්‍රශ්නය  තව තවත්  උග්‍ර  කිරීමට දැනටමත් සැලසුම්  හදා  තිබෙන  බවට සැකයක් නැත .   පොලීසිය විසින්  සිසුන්ට   පහර  දීමට එරෙහිව    පන්ති වර්ජනයකටද   සිසුන්  කැඳවීමට අන්තරය කටයුතු  කරනු නිසැකය .




අන්තරය  මෙහෙයවන්නේ කවුද ? සරසවි සිසුන්  නොව  . වෙනත්  දේශපාලන  කණ්ඩායමකි. ඒ   88 -89  කැරැල්ලේ  නායකයෙකු  වූ  ගුනරත්නම්ගේ  නායකත්වයෙන්  හදා ගත්  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයයි .ජනතා  විමුක්ති පෙරමුණ  ගැන  කලකිරුණු කණ්ඩායමක් එකතු කරගත්  ගුණරත්නම්  මහතාගේ අරමුණ වුයේ   ජවිපෙට වඩා  ලොකු  පක්ෂයක් හදා  ගැනීමය . මුලින් සැලකිය  යුතු  පිරිසක් සිටියද මේ වන විට එම  පක්ෂය  බෙහෙවින් දුර්වල වී  තිබෙන බව  ඔවුන්ගේ  පසුගිය  මැයි දිනය සනාථ  කළේය. ඔහුට  තිබෙන එකම ශක්තිය අන්තරය  පමණි. ඔවුන්  තව  දුරටත් ඔහුගේ   න්‍යාය  පත්තරයට අනුව මෙහෙයවා  ගත  හැක්කේ  සයිටම් විරෝධය  දිගින් දිගටම  ගෙන  යාමෙන්  සහ සරසවි සිවුන්ගේ  ප්‍රශ්න වෙනුවෙන් පෙනී  සිටීමෙන් පමණි . සයිටම් සටන  පැරදුනහොත්  අන්තරය  ඔහුගෙන් ගිලිහී  ගොස්  තම  පරම දේශපාලන සතුරා වූ  ජවිපෙ  අතටම  ආපසු යාමට  ඉඩ  තිබේ.  එමෙන්ම ඔහුගේ  පක්ෂය සැබවින්ම  ත්‍රීවීලර්  පක්ෂයක් බවට පත්වනු ඇත. එබැවින් සයිටම් සටන වනාහි පෙරටුගාමී පක්ෂයට  ජීවිතයත්  මරණයත් අතර  ප්‍රශ්නයකි . එබැවින්  සයිටම්  සටන දිනාගැනීම සඳහා ඔහුගේ දේශපාලන  පොතේ තිබෙන සියලු සුත්තර  ක්‍රියාත්මක  කරනු ඇත  .



GMOA මහත්වරුන්ට  සයිටමයට පෙන්නන්නට  බැරිවී  තිබෙන්නේ  ප්‍රධාන වශයෙන්ම දේශපාලනයක් නිසා  නොවේ . නිදහස් අධ්‍යාපනය  ගැන කැක්කුමක්ද   තිබෙන නිසා  නොවේ.පාදෙණිය  ඇතුළු නායක  කාරකාදින්ට නම් මහින්ද  උණ  ආන්කල්වෙන්නටම  හැදී  තිබේ. . එහෙත් අවශේෂ  දොස්තර මහත්වරුන්ට සයිටම් භීතිකාව ඇති වී  තිබෙන්නේ  ඔවූන්ගේ සාක්කුවට වදිනු ඇතැයි  යන බිය නිසාය. සයිටමය ඉඩ දීම  යනු   තවත් සයිටම් තුන  හතරකට දොර ඇර  දීමක් බව  ඔවුන් දනිති. එසේ  වුවහොත්  එම   වෛද්‍ය විශ්ව විද්‍යාලවලින්  එලියට එන  දොස්තරලාට  ආණ්ඩුවේ  රෝහල්වල රස්සාවල්  ලබා  ගැනීමට   තිබෙන  ඉඩ  ඉතා  අල්ප හෙයින්  ඔවුන්ට සිදුවන්නේ පුද්ගලික රෝහල්වල සේවයට  යන්නටය .පුද්ගලික  රෝහල්ද එයට  වඩාත් කැමති වන්නේ  දැන් මෙන්  නොව  දවසේ  පැය 24  ම සේවය  කිරීමට  වෛද්‍යවරුන්  පිරිසක් ඔවුන්ට  ලැබෙන  නිසාය . එපමණක් නොවේ. පුද්ගලික වෛද්‍ය උපාධිය  ලබා  පැමිණෙන  දොස්තර මහත්වරු සහ  නෝනලා උදේට  හැන්දෑවට සහ රාත්‍රියට  නගරවල  පමණක් නොව  ගම්වලද  බෙහෙත්  සාප්පු  දමා  ගනු ඇත. එසේ  සිදුවුවහොත් තමන්ගේ  පොකැට්ටුවට එළඹෙන්නේ  මහත් අනතුරකි .එබැවින් සයිටම්  යනු  ආණ්ඩුවේ  දොස්තර  මහත්වරුන්ට මහත් විපත්තියකි මාස  ගණනක් හෝ වර්ජනය  කොට එම විපත්තිය වලක්වා   ගැනීමට ඔවුන් එක  හෙලා සුදානම් වනු ඇත .




ආණ්ඩුව  පැත්තෙන් ගත්   කළ  සයිටමය  ඉඩ නොදීම  ඔවුන්ට විපත්තියකි.  විදේශ ණය  ගෙවා  ගැනීමට   පිටරටින්  තව  තවත් ණය  ගැනීම  හැර වෙනත් විකල්පයක් නැති      භයානක ආර්ථික  අර්බුදයට  මුහුණ දී තිබෙන ආණ්ඩුව  විදේශ  ආයෝජන  ගෙන්වා  ගැනීම   සඳහා   සියලු  පුරුෂ වීරිය දරන්නේ අර්බුධයෙන්  ගොඩ ඒමට තිබෙන මාවත් වලින් එකක්    එය වන   නිසාය .  ජාත්‍යන්තර විශ්ව විද්‍යාල  ලංකාවේ  ශාඛාවන්   විවුර්ත  කොට   වෛද්‍ය  උපාධි මෙන්ම අනෙකුත් විෂයන් සඳහා  උපාධි  ලබා දෙන්නේ  නම් එය ආණ්ඩුවට  කීප අතකින්  සහනයක් වන්නේය.  පිටරටවල  ඉගනීමට  යන  ලාංකික  සිසුන් වෙනුවෙන් වැය වන  විදේශ විනිමය යම් ප්‍රමාණයක් හෝ  ඉතිරිවන අතර අහල  පහල  රටවල සිසුන් එම  ආයතනවල  ඉගනීම සඳහා මෙහි පැමිණීමෙන් ඩොලර් ,පවුම්ආදිය  ලංකාවට  ලැබෙන්නේය . එපමණක් නොවේ. උසස්පෙළ සමත් සියලු සිසුන්ට  සරසවි වල  දොර ඇරීම සඳහා ආණ්ඩුවට  හය්යක් නැති බැවින් පුද්ගලික විශ්ව විද්‍යාල මෙහි විවුර්ත  කළ විට උසස් පෙළ සමත් තවත්  කොටසකට මුදලට  හෝ  උපාධියක  ලබා  ගැනීමට අවස්ථාවක් උදා වන්නේය. අනිත් වැදගත්  කාරනව  වන්නේ නිදහස් ආර්ථික  ප්‍රතිපත්තිය අන් රටවල  මෙන්ම  ආණ්ඩුවේ ද ප්‍රතිපත්තිය  වන  නිසාය .



අන්තරයට  යටවී  සයිටමය අකුලා ගැනීමෙන් ශිෂ්‍ය  විරෝධතා අවසන්  නොවන  බව  ආණ්ඩුව  දනී .සයිටමය  හකුලා  ගතහොත්   ජයග්‍රහණය  සිසුන්ට හිමිවීම  නිසා ශිෂ්‍ය ව්‍යාපාරය  තව  තවත් ශක්තිමත් වන අතර තව තවත්  ඉල්ලීම්  රැගෙන  පාරට  බසින වඩාත්  හයි හත්තිය  තිබෙන  ශිෂ්‍ය ව්‍යාපාරයක්  බිහිවී පාසල්  පද්ධතියද  තුලටද  රිංගන  බව  ආණ්ඩුව දන්නේය . එසේ   වුවහොත්   පාසල්  පවත්වාගෙන  යාමට  නොහැකි පරිසරයක්  නිර්මාණය වීමට  තිබෙන  ඉඩකඩ  බොහෝය.  අනෙත් අතින් පාදෙනියලා  වඩාත් ශක්තිමත් වී රාජපක්ෂලා සමග  කල්ලි  ගැහී ආණ්ඩුවේ  බෙල්ල  මිරිකීමටද   ඉඩ  තිබේ. 



එබැවින් සයිටම් ගෝරිය සෙල්ලමක්  නොවේ.  ජීවිතයත්  මරණයත්  අතර  සටනකි. බෙල්ල    ගහලා  යන උගුලකි .  සයිටම්  ගෝරියෙන් ආණ්ඩුව  පැරදුනහොත්   ආණ්ඩුවේ  බෙල්ල  යන්නේය. ආණ්ඩුව දිනුවොත්   අන්තරේ  බෙල්ල  යන්නේය .අන්තරේ  බෙල්ල  ගියහොත් පෙරටුගාමින්ගේ  බෙල්ල  යාම අනිවාර්ය බව අමුතුවෙන්  කියන්නට  උවමනා   නැත . ගෝරිය   පැරදුනහොත් දොස්තර  මහත්තුරුන්ගේ  නෝනලාගේ සාක්කුවට, පර්ස් එකට   තට්ටුවන්නේය. සටන  දිනුවොත්  දොස්තර  මහත්තුරුන්ගේ හොද්ද  හොඳටම  බොරවන්නේය .









Thursday, June 1, 2017

දේශපාලුවන්ගේ රෙදි ගැලවූ ගංවතුර


 


 ගිය  සතියේ බ්‍රහස්පතින්දා  (25) රාත්‍රියේ  සිට ගලන්නට  පටන්ගත්  ගංවතුර  හේතුකොට  ගෙනද,   අධික වර්ෂාව නිසා ඇතිවූ නාය  යාම් නිසාද  මැරුණු  ගණන කොපමණදැයි  තවමත්  අපි හරියටම දන්නේ නැත . ආණ්ඩුව දන්නේද  නැත  .


ගංවතුර සහ නාය යාම් නිසා කී දෙනෙකුගේ නිවාස  විනාශ වුයේ දැයි අපි  හරියටම දන්නේ  නැත .ආණ්ඩුව  දන්නේද  නැත .


ආපදා  කලමනාකරණ මධ්‍යස්ථානය ඉහත  කරුණු සම්බන්ධයෙන් ඊයේ  උදේ කිව් ගණන් හිලව්  දවල්වන විට වෙනස්  විය .දවල් කිව්  ගණන් හවස් වන විට  වෙනස් විය .හවස  කිව්  සංඛ්‍යා ලේඛණ අද  උදේ වෙනවිට  යලිත් වෙනස් විය  . හවස එය නැවතත් වෙනස් විය 


හොඳ අතට  නොවේ. නරක අතටය .


පෙරේද උදේ(මැයි 30)  කීවේ  ආපදාවන්ට පත්ව  ඇති පිරිස ලක්ෂ  5 ට  මදක් වැඩි බවය . 


පෙරේදා සවස 6 ට නිකුත්වූ වාර්තාවට  අනුව එය  604713 විය. 


ඊයේ හවස වන විට එම සංඛ්‍යව 630082ක් දක්වා  ඉහල  ගොස් තිබුණි  


අද  (ජුනි 1 ) උදේ 9 ට නිකුත්  කළ වාර්තාවට අනුව එම සංඛ්‍යාව 629704 කි. එය ඊයේට වඩා  378 කින් අඩුවී තිබේ. 


එහෙත් අද දවල් 12 ට නිකුත්  කළ සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයන්  646596ක් ආපදාවන්ට  ලක්වී  තිබේ. 

ඊයේ සවස 6 ට  නිකුත්  කල වාර්තාව සමග සැසඳූ  කල ආපදාවන්ට  ලක්වූ සංඛ්‍යාව  16514 කින් ඉහල  ගොස් තිබේ. 


අද දින සවස  6 ට  නිකුත්  කළ  වාර්තාව අනුව  ආපදාවන්ට  ලක්වූ  පිරිස  තව දුරටත්  ඉහල  ගොස් තිබේ.


ඒ  අනුව ආපදාවන්ට  ලක්වූ  පිරිස 658490 කි . 



       ( නාවික  හමුදාව  බුලත්සිංහලට  රැගෙන ආ ගංවතුර සහනාධාර  ලබා  ගැනීමට පැමිණි පිරිසක් ) 


මියගිය පිරිස 206 කි .


 අතුරුදහන් වූ  පිරිස 96 කි .


 මුළුමනින්ම  විනාශවූ නිවාස සංඛ්‍යාව 1713කි .


අඩ වශයෙන් විනාශවූ නිවාස  ගණන 9294කි 



හෙට  වන විට  ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානය  හෙවත්  ආණ්ඩුව  නිකුත්  කරන  සංඛ්‍යාලේඛන  තව  දුරටත්  වෙනස් වනු  නිසැකය .


 ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානය වරින් වර  විවිධ සංඛ්‍යා  ලේඛන නිකුත්  කිරීමෙන් පෙනී  යන්නේ  කුමක්ද?  ආපදා හානි අවම  කර  ගැනීම  තබා  ඒවා  පිලිබඳ  හරි  වාර්තාවක්  ලබා  ගැනීමටවත් ආණ්ඩුව සතු  යාන්ත්‍රණයක්  නොමැති බව නොවේද?


ලංකාවේ සිදුවූ පළමු  හෝ දෙවන  හෝ තුන්වන  ස්වභාවික  විපත ගිය සතියේ  ගලන්නට ගත්  ගංවතුර  නම්   මෙසේ  ගණන් හිලව් වරින් වර වෙනස් වීම  මහා  ලොකුවට ගණන් ගත  යුතු නැත .

 එහෙත් මේ  ලංකාවට  ගැලු  පළමු හෝ දෙවන හෝ තුන්වන ගංවතුර නොවේ. 

මා අසා තිබෙන  පරිදි  1938  මහා ගංවතුරක් පැමිණි අතර 1942 නැවතත් එවැනිම දැවැන්ත  ගංවතුරක් ලංකාවේ  බොහෝ ප්‍රදේශ යටකළේය  .  1957 නැගෙනහිර  පළාත  විනාශ කළ  මහා  ගංවතුර 20 වන සියවසේ  ගැලු ලොකුම  ගංවතුර  බව එවක මඩකලපුවේ  උප දිසාපති වූ එල් .සී.අරුල්ප්‍රගාසම් මහතා  ලිවූ  ලිපියක සඳහන් වේ.* 


ඉකුත් අවුරුදු  50 කාලය  තුළදී    කළුතර  හා  රත්නපුර දිස්තිරික්කවලට ගංවතුර  නොගැලූ වසරක් තිබුනේ  නම්   කලාතුරකිනි. ඇතැම් විටෙක වසරකට දෙවරක්  ගංවතුර  ගැලු අවස්ථාද විය . 


2010 නොවැම්බරයේ  කොළඹට  ගැලු ගංවතුරේ තරම මතක් කරතොත්  පාර්ලිමේන්තු භුමියද අඩි 6 කින් යටවිය  .



2013 වසරේ ගැලු ගංවතුරෙන්  ආපදාවට ලක්වූ  සංඛ්‍යාව මෙවර  ගංවතුරට වඩා අධිකය. එය සංඛ්‍යාව  ලක්ෂ දහයකි .


ඉකුත් වසරේ මැයි  මාසයේ පැමිණි  ගංවතුර රටේ  බොහෝ  පළාත් වලට බලපෑ අතර  .අරනායක නායයෑමෙන්   පවුල් රැසක්  තත්පර  කීපයක්  තුලදී අවසන් ගමන් ගියහ . කොළඹ එහෙම  පිටින්ම වාගේ  යටවිය .


ගංවතුර,  වැළක්විය  හැක්කක් නොවේ.  අපට මෙන්ම  ඇමරිකාවට  යුරෝපයට චීනයට සහ  කියුබාවටද  ගංවතුර  ගලයි.  එහෙත් එයින් සිදුවන ආපදාවන්  අවම  කරගැනීමට ඕනෑ  කමක්  යම් ආණ්ඩුවකට  තිබේනම් එසේ   කර  ගත  හැකිය .   වත්මන් ආණ්ඩුවට  මෙන්ම  තිබු ආණ්ඩුවලටද එවැනි  උවමනාවක් තිබුනේ  නම් මෙපමණ  විපත්ති  සිදුවන්නේ  නැත.


ගංවතුරෙන් ,  නාය  යාමෙන්, ඉඩෝරයෙන් , සුනාමියෙන්,  කුණාටුවෙන් සිදුවන  අනතුරු  අවම  කරගැනීමට  හරි  හමන් වැඩ  පිළිවෙලක්  අපේ   රටේ  නැත . මන්ත්‍රී  පඩි වැඩි  කරගැනීමට,  රථවාහන  ගැනීමට ආණ්ඩු සහ  විපක්ෂයේ දේශපාලකයන් දක්වා ඇති  උනන්දුව  ආපදා  වලක්වාගැනීම සම්බන්ධයෙන්  දක්වා  නැති  බව අමුතුවෙන් කිව  යුතුද? 


සිදුවී  තිබෙන්නේ   ගසා කෑම  මුලික  කරගත් අධිවේගී  මාර්ග තැනීම , ගංගාවල ඉවක් බවක් නැති වැලි හැරීම ,අක්කර සිය දහස්  ගණනින්  පස්  කැපීම , වනාන්තර  කැපීම ආදීය  නිසා ආපදා අවස්ථා වේගයෙන් ඉහල  යාමය . එම  නොසන්ඩාල වැඩ  පිටුපස  සිටින්නේ ද සිටියේද  බලයේ  සිටි  හා සිටින දේශපාලකයෝය .


 ආණ්ඩුවේ  අකාර්යක්ෂමතාවය දැක්වීමට වැඩි දුර  යායුතු  නැත . ආපදා  කළමනාකාර ඇමති  ප්‍රියදර්ශන යාපගේ  වැඩ  කිඩ අධ්‍යයන  කිරීම  පමණක්  ප්‍රමාණවත්ය .ඔහු  මේ අවස්ථාවේදී රට  තුළ සිට ආපදා අවම  කරගැනීමට  කඩියෙකු ලෙස  කටයුතු  කළ යුතු වුවත්   මෙක්සිකෝවේ  සිට  හනික ආපසු  ඒමට  ඔහු   කිසිදු උනන්දුවක්  දැක්වුයේ  නැත . එය  කිසිසේත්ම සමාවදිය  හැකි  කරුණක් නොවේ. ජනාධිපතිවරයාට   කොන්ද  තිබේ  නම් ඔහු අප්‍රමාදව ගෙදර  යැවිය  යුතුය .


මහින්ද සමරසිංහ මහතා  ආපදා  කළමනාකාර ඇමති  ලෙස  සිටි  කාලයේ (2006-2010) ආපදා  අවම  කරගැනීමේ අරමුණෙන්  කිසියම් වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක  කළ  නමුත් එය  ඉදිරියට  ගෙන  යාමට  ඉන් පසු  පැමිණි ඇමතිවරු  උනන්දුවක්  දැක්වුවේ  නැත.


මගේ  මේ  ලිපියේ අරමුණ ආපදා  හානි අවම  කරගැනීම සඳහා  යෝජනා  කීපයක්  ලියා  තැබීමය .


සෑම ග්‍රාමසේවා  කොට්ටාශයකම   ආපදා අවම  කිරීමේ  කමිටුවක්  පිහිටවිය  යුතු අතර එහි ප්‍රධානින් ලෙස  ග්‍රාම සේවා  නිලධාරියාද , අදාළ  ප්‍රදේශයේ ආගමික  නායකයෙකුද  ප්‍රාදේශීය  නායකයෙකුද  පත්  කළ යුතුය . එමෙන්ම  අදාළ  ප්‍රදේශයේ  සැම අනු  ප්‍රදේශවල  පදිංචි තරුණයන් එම  කමිටුවේ සාමාජිකයන් ලෙස  පත්කිරීම අත්‍යවශ්‍යය.


ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානයට එම  කමිටු අනුබද්ධ  කළයුතු අතර එය විසින් කමිටු සාමාජිකයනට අවශ්‍ය දැනුම සහ  පුහුණුව  ලබා  දිය  යුතුය. එමෙන්ම ආපදා අවම  කරගැනීම සඳහා අවශ්‍ය  උපකරණද එම  කමිටුවලට  ලබා දිය  යුතුය. 


පසුගිය  සුනාමි විපතෙන් පසු එවැනි වැඩසටහනක් දිගින් දිගටම පවත්වාගෙන  ආ අතර  සුනාමියක්  නැවත  පැමිණියහොත්  ජීවිත  ආරක්ෂා  කරගැනීම  සඳහා  කළ යුතු දේ  රැසක් එම වැඩසටහනට  අයත් විය .


කිසියම්  ආපදා  තත්වයක්  ඇතිවන්නේ  නම් ඒ  බව  තම ප්‍රදේශයේ සිටින  මහජනයාට   දැනුම් දීම සඳහා සයිරන් වැනි  නලාවක් මගින් දැනුම් දීමෙන්   ජීවිත  පමණක් නොව  මිනිසුන් සතු අත්‍යවශ්‍ය   දේපොළ  පවා  යම් තරමකින් හෝ  රැක  ගැනීමට  හැකිවෙනු ස්ථිරය .අද  සෑම  කෙනෙකුටම  ජංගම දුරකථන   තිබුණද ගංවතුර  වැනි ආපදාවකදී ඒවා බොහෝ දුරට  නිහඬ වේ. එයට  හේතුව විදුලිය විසන්ධි  කිරීම හෝ  විසන්ධි වීම  නිසා දුරකථන  කුලුණුද අක්‍රීය වන  බැවිනි.


  ආපදා   තත්වයකදී  මහජනයා එක රැස්විය  යුතු ආරක්‍ෂිත ස්ථාන පිළිබඳව ආපදා අවම  කරගැනීමේ  කමිටු  විසින් තම  ප්‍රදේශයේ  ජනයා දැනුවත්  කොට  තැබිය  හැකි  වන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර  පාන  සහ  ප්‍රථමාධාර එම  මධ්‍යස්ථානවලදී ලබා දීමටද හැකි වෙනු ඇත.  


විශාල වශයෙන්  ආපදා  තත්ත්වයක්  ඇතිවූ  විට ආපදාවනට  ලක් නොවූ ප්‍රදේශවල  මහජනයා  මෙන්ම  ආණ්ඩුව විසින්ද  ලබා දෙන ආහාරපාන  ඇඳුම් පැළඳුම් ආදියද ගසාකෑම් වලින් තොරව සුදුසු අයට  පමණක් ලබා දීමද  මෙම ආපදා  අවම  කර  ගැනීමේ  කමිටු  මගින් හැකි වනු  බවට  සැකයක් නැත.


මෙම  කමිටු වඩාත්  ඵලදායි  වෙන්නට  නම් ඒවාට  නීත්‍යනුකුල  භාවයක්  පනතක්  මගින්  ලබා දිය  යුතු අතර එම කමිටු සාමාජිකයන්ගේ සේවයට   නිසි ගවුරවයද  මහජන පිළිගැනීමද  එමගින් හිමිවනු  ඇත.


ආපදා අවම  කිරීම  සම්බන්ධයෙන්  තීරණාත්මක කාර්ය  භාරයක් ඉටුකළ  හැකි එක ආයතනයක් වන්නේ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. ඔවුන්ගේ  කාල  ගුණ  අනාවැකි  බොහෝ දුරට වැරදී  යන්නේද විශාල  ආපදා  තත්වයන් පිළිබද  නිවරදි අනාවැකි  කීමට  නොහැකි වී  තිබෙන්නේද  නවීන  උපකරණ  ඔවුන් සතුව  නොමැති  නිසාය .  කාලගුණ  අනාවැකි කීමට  උපකාරවන   ඩොප්ලර්  යන්ත්‍රයක්   පසුගිය  පාලන සමයේ ගෙන  ආ  නමුත් එය සවි  කලේ  නැත. මේ ආණ්ඩුව  යටතේද සවි  නොකළ එම  යන්ත්‍රය  දිරාපත්වෙමින්  තිබෙන  බව  මාධ්‍ය වීසින් වාර්තා  කර  තිබේ. කාල  ගුණ අනාවැකි  පලකළ  හැකි නවීන  උපකරණ තිබුනේ  නම් බොහෝ  ජීවිත බේරා  ගත  හැකි වනු නොඅනුමානය.


ආපදා අවම  කරගැනීම සඳහා තවත්  බොහෝ දේ  තිබේ. එහෙත් මේ  ලිපියේ අරමුණ ඒවා  ගැන කීමට  නොවේ. ඒවා  ගැන දන්නා  විශේෂඥයෝ බොහෝ සිටිති . ඔවුන්ගේ එම සේවය  ලබා  ගැනීම  ආණ්ඩුවේ  වගකීමයි .


නැවතත් වරක්  මහා  විපතක්  එන  තුරු  ආණ්ඩුවට  බකං නිලාගෙන  ඉන්නට නොදීම  පුරවැසියන් වන අපගේ  වගකීමයි . අපත් බකං නිලාගෙන  සිටින්නේ නම් අපි  පුරවැසියන් නොව ඉපදුනාට  ජීවත් වන  සත්ව  කොට්ටාශයක්  පමණක් බව  කියන්නට  මා  පැකිලෙන්නේ  නැත .







_________________________________________________________________________________

අරුල් ප්‍රකාසම් මහතා  1957  මහා ගංවතුර  ගැන ලිවූ  ලිපිය පහත  ලිංකුවෙන් කියවිය  හැක .

* http://transcurrents.com/tc/2011/01/the_batticaloa_floods_of_19571.html  


Friday, May 19, 2017

මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්

   

                

                 දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ  හෝටලයක පැවතුණු  මංගල උත්සවයකට සහභාගී වී  හෝටලයෙන් පිටතට  මා පැමිණෙන  විට  රාත්‍රී 11 ට  ආසන්න වී  තිබුණි .ගාල්ල  දෙසට  යන  බස්  රථයකින්  කළුතරට  ගොස්  කටුකුරුන්දේ  වසන  මගේ  ඥාතියෙකුගේ  නිවසේ  රාත්‍රිය ගත  කොට පසුදා උදැසන ගෙදර  යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා  පා ගමනින් ගිය  මා  එහි බස්  නැවතුමක  නතර වී  බල සිටියේ  ගාල්ල දෙසට  යන බස්  රථයක් එනතුරුය. පැය භාගයකට ආසන්න වෙලාවක්  බලා සිටි නමුත් බස්  රථයක් නොපැමිණියෙන්  මා සිටියේ  තරමක්  නොසන්සුන්වය .මගේ නොසන්සුන් තාවය වැඩි කිරීමට බස්  නැවතුමේ  සිටි  තරුණියද හේතුවූ බව  අවංකව  ඔබට  කිව  යුතුය.තරමක සුරුපිනියක් වූ ඇය මා  හා  කතා  බහට වැටී ඉන්පසු යෝජනා  කළ ඇතැම් දේ  මෙහි  ලිවීමට  නොහැකිය.    අවුරුදු විසිපහක් තිහක්  පමණ වයසැති කතක් මහා  රාතියේ  තනිවම  බස්  නැවතුමකට වී  සිටින්නේ  මන්දැයි තීරණය  කිරීම  පාඨකයන්ට  භාර  කරමි .ඇගෙන් ගැලවී  යාම සඳහා පැමිණෙන  ඕනෑම  බස් රථයක නැගීමට  මා අවසානයේ  තීරණය කළෙමි. එම  තීරණය  ගෙන වැඩි වෙලාවක් ගත වුයේ  නැත . වාසනාවකට කලුපාට  බෙන්ස් මෝටර් රථයක්  පැමිණ මා ඉදිරිපස  නතර  කළේය .


 "අද හිල්ටන් එකේ තිබුණු වෙඩින් එකේ හිටිය  මට මතකයි.  කොහාටද  යන්නේ ?" රියදුරු අසුනේ සිටි  පුද්ගලයා  ඇසීය 


" මං යන්නේ  මතුගමට . ඔබ තුමා  කොහෙටද  යන්නේ ? " මා  විමසීමි .


"මං නම්  යනවා දොඩන්ගොඩට  යනකං.      කැමතිනම් නගින්න . මමත් මේ  වෙඩින් එකේ  ඉඳල එන්නේ "


 මා  හනික රථයට  නැග්ගේ ඔහුට  බලවත් ලෙස ස්තුති  කරමිනි.  රියදුරා වනාහි  බස්  නැවතුමේ අටවා  තිබු උගුලෙන්  ගලවා  ගැනීමට මගේ  මියගිය  සීයා විසින් එවන  ලද දුතයෙකු විය  හැකියයිද  මට සිතුණේය.එසේ  සිතුණේ පැරණි අත්දැකීම් කීපයක් නිසාය.ඒවා විස්තර කිරීමට මේ අවස්ථාව  නොවේ. පසු අවස්වථාක ඒ  පිළිබඳව ලියමි.


.ආසනයේ හරිබරි ගැසී  වාඩිවීමෙන් පසු    රියදුරා දෙස බැලීමි . ඔහු උසය, මහතය .මැදියම් වයස  පසු කරමින් සිටියේය.  .ඔලුවේ  එකම කෙස්  ගසක්වත්  තිබුනේ  නැත . ඔහු  කලුපාට  කලිසමක් සහ  සුදු  කමිසයක්  පැළඳ සිටියේය. මා රථයට නංවා  ගැනීමෙන් පසු  ඔහු වේගයෙන් රිය ධාවනය  කළ නිසාදෝ  මා සමග එකම වචනයක්වත් කතා  කිරීමට  ඔහු උනන්දු වුයේ  නැත .මංගල උත්සවය  ගැන  මා වචනයක් දෙකක් කී  නමුත්  ඔහු  කිසිදු  පිළිතුරක්  නොදුන් බැවින් මමද  නිහඬව සිටියෙමි . 


රියැදුර දෙසින්  කිසියම් දුර්ඝන්ධයක් පැමිණෙන  බව දැනුනේ ටික වෙලාවක්  ගතවූ විටය.එවැනි දුර්ඝන්ධයක්  මෙයට  පෙර  මට දැනී  තිබුණේ කලකට  පෙර  දියේ  ගිලී මියගිය ගම්වාසියෙකුගේ අවමගුලකදීය ..රියදුරා  මිණී  එම්බාම් කරන්නෙක්ද? නැතහොත්  මෝටර් රථයේ කොතැනක  හෝ  මළමිනියක්  සඟවාගෙන යන  මිනී  මරුවෙක්ද? මොහුගේ  සැලැස්ම මිනී  මැරුමට  මා  පටලවා බේරී  යන්නටද? මගේ  ඔලුව  යකාගේ  කම්මල  බවට  මොහොතකින්  පත් විය . බස්  නැවතුමේ  සිටි  තරුණියගේ  උගුලට අසු වී  නම් මෙයට වඩා  හොඳයයි සිතුණි . මේ මර උගුලෙන්  ගැලවෙන්නේ  කෙසේදැයි  නැවත  නැවත  කල්පනා  කළෙමි.

  

රියදුරා  මගේ  සිත  කියවන්නට ඇතැයි මට සිතුණේ මගේ ආසනය අසලවූ  කවුළුව  ඔහු  විවුර්ත  කළ  හෙයිනි.  ඊ ළඟ විනාඩියේදී සුළඟ විසින් දුර්ඝන්ධය  පිස දැමු  හෙයින් මගේ  සිත  තරමක්  සන්සුන් විය.


මෝටර් රථය ගමන් කරන්නේ  ගාලු  පාරේ  නොව වෙනත්  දිසාවකට  බව මට වැටහුනේ  ඇස් වාට්ටුව හන්දිය දුටු විටය. ඊ  ළඟ මොහොතේ එය  වෝඩ් පෙදෙස දෙසට  හරවා ගමන්  කොට විශාල  මන්දිරයක්  ඉදිරිපස  නවතනු  ලැබිණ. " බොස්ව දාගෙන    යන්න  තියෙනවා .ඒකයි නැවැත්තුවේ." කී  රියදුරා  වාහනයෙන් බැස  රථයේ  පිටුපස වම් පැත්තේ  දොර  විවුර්ත කළේය. ඊ  ළඟ  මොහොතේ නිවසේ  ගේට්ටුව  විවුර්ත  වූ අතර ජාතික ඇඳුමින් සැරසුණු උස  පුද්ගලයෙකු පැමිණ රථයට  ගොඩ  විය .වහා  දොර වැසු  රියදුරා රියදුරු අසුනට  පැමිණ රථය පැදවීම ආරම්භ කළේය. 


"සර් ! දොඩන්ගොඩ  කොයි හරියේද ? දැකල  නම් පුරුදුයි " පිටුපසට  හැරී මා 'බොස් '  ගෙන්  විමසුවේ   ඔහුගේ  වාහනයේ ඔහු සමග  සුහද  කතා  බහක  නොයෙදී  ගමන් කිරීම අපේ සංස්කෘතියට නොගැලපෙන  නිසාය. 


 "අඳුන ගන්න  බැරි  උනාද ?        මං ජේ .ආර්. ජයවර්ධන . " 



ජේ ආර් ? ඔහු මියගියේ  1996 දී  බව  මට සිහිවිය .මා සිහි විසඥ  නොවුනා  පමණය .


මගේ මුලු සිරුරම අයිස් සේ  සීතල වී ගිය අතර  ඊළඟ  මොහොතේ හිස මුදුනේ සිට යටිපතුල් දක්වාම දහදියෙන් පෙඟී යනු දැනුණි.  හදවතේ  ගැස්ම ඉහල  ගොස් නැගුනු  හඬ  රියදුරාටද ඇසෙන්නට ඇත . මේ  විපත්තියෙන්  ගැලවීමට  ඇති එකම  මග  මෝටර්  රථයෙන්  එලියට  පැනීම  පමණය .


" එලියට පැනල දැන්ම  අපේ  ලෝකෙට එන්න හදන්න  එපා.  අනික දොරවල් ලොක් කොරල  තියෙන්නේ"  

ජේ.ආර්.ගේ ගොරෝසු කටහඬ අවවාදයකට වඩා  තර්ජනයක ස්වරුපයෙන් යුක්ත විය .


ඔහු නැවත  කතා  කළේය. එහෙත්   සැර  බාල කොටය .


"  මිස්ටර් රණවීරගේ ! තමුසේ බය වෙන්න අවශ්‍ය  නැහැ. තමන්ට  කිසිම  හානියක් වෙන්නේ  නැහැ . අනික  තමුසේ වගේ  පුංචි මිනිහෙකුට  හානියක්  කරලා මට  තියෙන  ප්‍රයෝජනය  මොකක්ද ? මං තමුසෙව  ගෙන්න  ගත්තේ  නිකම් නෙවෙයි.තමුසේ  අපක්ෂපාත  බ්ලොග් රයිටර්  කෙනෙක් නිසා . මන් තමුසෙගෙ  'සුදු කුකුළා'  කියවල   සෑහෙන්න  පැහැදුනා "


එයට  පිළිතුරු දීමට  මා  උත්සාහ  කළද  කවුරුදෝ  බෙල්ල  හිරකරගෙන  සිටින්නාක් මෙන් මට දැනුණේය. 


"බ.....බ .........බ......බය.........නැ.....නැ   .........ද්ද.......ස.....ස...සර්........."තවත් විනාඩි  ගණනකට  පසු  කීවෙමි "


'"මොකට  බය වෙනවටද? " බය වෙන්න  ඕනේ  පණ පිටින් ඉන්න   අයටනේ අයිසේ "


"ස...ස .....සර්....  අභාවප්‍රාප්ත වෙලා දැන් ....දැන්...... අ....අවුරුදු   ගානක් වෙනවා . ඔබ  තුමා පණපිටින් ඉන්නකොටත්  රටෙන් බාගයක්ම  බයෙන්....බයෙන්  .....  හිටියේ......සර්ට  ආයි පණ ඇවිල්ල  තියෙනවා දැක්කොත්  මුළු  රටටම  නු....නු...ල් ....නුල්  බඳින්න වෙනවා ."


"හොහ්,        හොහ්       හොහ්      හොහ් "        හිනහව  නවතා  ගැනීම ජේ.ආර්. ට තරමක් අසීරු විය ."


වැටුණු  උගුලෙන්  බේරීමට කිසිදු මගක් නැති  බව ක්‍රමයෙන් පැහැදිලිවන්නට  විය  .වෙන දෙයක්  උනාවේ  කියා අන්තිමට  හිත  හදා  ගත්   මා ජේ.ආර්.ගේ  අවතාරය  සමග  කතා  බහ  කිරීමට  තීරණය  කළෙමි.


" ඉතින් ස...ස....සර් මාව  ගෙන්න  ගත්තේ  මො......මො......මොකද  කියල  කියනවනම් " 


"දැන් මේ  යන්නේ මළවුන්ගේ  රැස්වීමකට . එතන  ඉන්නවා මැරිච්ච  ප්‍රසිද්ධ දේශපාලකයෝ  50 දෙනෙක්. තමුසේ මාත් එක්ක ඇවිල්ල   ඒ  ගැන ආටිකල් එකක්  ලියනවා . එතැනදී  බණ්ඩාරනායක  ,  ප්‍රේමදාස  එන්.එම්  , කොල්වින් , විජේවීර , විජය කුමාරතුංග කාරිය  හම්බ වෙන්නත් පුළුවන් . ආ ප්‍රභාකරනුත් ඒවි.

 

මළවුන්ගේ රැස්වීමකට ගොස් ආපසු පණපිටින් ඒමට  ලැබේදැයි මා  කල්පනා  කළා   පමණය .ජේ.ආර්.  යලිත් කතා  කළේය . " බය වෙන්න දෙයක්  නැහැ . මගේ ඩ්‍රයිවර් තමුසෙව  මතුගමට ගිහිල්ලා දායි ."


 .ලේඛකයෙකු එඩිතර  විය  යුතු  බව  මතක් වුයේ එවිටය . එඩිතර මාධ්‍ය වේදීන් යුධ  බිමට  ගොස්  කරන  ලද වාර්තා  කිරීම්  නොවන්නට මිනිසුන්ට  කියවන්නට  වෙන්නේ  පත්තර  කන්තෝරුවල  සිට  ලියන අතේ  රෝල්ය. අනෙක් අතට මට මේ අවස්ථාව  දීම  ගැන  මා  ජේ.ආර්ට සදා  ණයගැති විය  යුතු  නොවේද? 


මළවුන්ගේ රැස්වීමක් මෙයට  පෙර  ලොව  කිසිවෙකු  දැක  හෝ  වාර්තා  කොට  නැත. ඇතැම් විටෙක  මගේ  ලිපිය වෙනුවෙන් Pulitzer සම්මානය  ලැබී  මට  ලෝක ප්‍රසිද්ධියක්  ලැබීමටද  ඉඩ තිබේ.  මා අපක්ෂපාත  ලේඛකයෙකු  බැවින්  බොහෝ දේශපාලනඥයන්  මා සමග අමනාප  බවට  සැකයක් නැත.මා  දුටු විට  ඔවුන්  මා මරා  කෑමටද ඉඩ  තිබේ.  ඒ  කෙසේ වෙතත්  බිය  අමතක  වී  යාමට  අඩියක්  ගැසීමට  ඇත්තේ  නම් ඊට සුදුසු ම වෙලාව මේ  මොහොතය .


" ආ ගන්නවා මේක "      ජේ.ආර්.කීවේය .මම ආපසු  හැරී  බැලු විට ජේ.ආර්.  බ්‍රැන්ඩි  බෝතලයක් මා  දෙසට  දික් කළේය . 


"වීදුරුවක් ?   " මං හිමින්  කීවෙමි.


"මොන වීදුරුද අයිසේ . ටික  ටික  කටට  හලා  ගන්නවා .


 " Thank you very much sir"


" It's a pleasure "


" Don't  take more than two drams" ජේ .ආර්. එසේ  කීවේ මා  වැඩියෙන්කී බී  සියල්ල  අනාගනු ඇතයි සිතු  නිසා  විය  හැක. 


දෙපාරක්  බෝතලය  කටට  හලා ගැනීමෙන් පසු ගත වුයේ   විනාඩි  තුන  හතරක්  පමණි.  යකුන්  දාහක්  ඉදිරියට  උවද යාමට  තරම්  එඩිතර  කමකින් සිත  පිරී  යන්නට  විය .ලැබී ඇත්තේ ස්වර්ණමය  අවස්ථාවක් බව  ඊ ළඟ විනාඩි  5 තුලදී  මට අවබෝධ විය . ජේ  .ආර්.ලොක්කාගෙන් ඇසිය  යුතු  දේ ඇසිය  යුත්තේ  දැන්ය.  ඔහු  සමග සම්මුඛ  සාකච්චාවක් කිරීමට ලැබෙන එකම අවස්ථාව  මෙයය . එය අපතේ  යවතොත් මා  කළ ලොකුම  මෝඩකම එය වනු ඇත 


 "සර් මොකද  හිතන්නේ  ජනාධිපති  තුමා   ගැන ? "

 

" ආන්න තමුසේ  ලයින් එකට ආව .  තමුසෙලාගෙ  ජනාධිපතිද ? කණගාටුයි  කියන්න .  කොන්දක්  නැහැ .මං වගේ  කොරා  නම් ඔය එක  බල්ලෙකවත්  පාරට  බහින්නේ  නැහැ."


" එතකොට  අගමැති  තුමා  ගැන  මොකද අදහස ?"


" මිනිහත්  අනාගත්ත . අර බොන්ඩ් මගුලෙන්  "


"ඇයි සර්  අගමැතිතුමා  මුණගැහිල උපදේශයක් වත් දෙන්නේ  නැත්තේ ?"


"  විශ්‍රාම ගත්තට පස්සේ මං ආයි ඕවට  ඇඟිලි  ගහන්නේ  නැහැ .ඒක  මගේ  ප්‍රතිපත්තිය . "


" මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී කාර් දීම  ගැන සර්ගේ අදහස? "


"ආ.. ..... ඒක  පටන් ගත්තේ  මමනේ .     ඒක  හොඳ  ප්රෝතිපත්තියක්.  ආණ්ඩුවක් අවුරුදු  5 ගෙනියන්නේ පුළුවන් වෙන්නේ එහෙම  කොළොත්  තමයි  . නැත්තම්   ගෙබ්බෝ  වගේ අනිත් පැත්තට  පැනල ආණ්ඩුව  පෙරලනවා . "


 " සර් 83 කළු  ජුලිය  ගැන ගැන  ප්‍රශ්නයක් අහන්න  තියෙනවා "


" Go ahead "


" ඇයි සර් අහක  හිටපු  කොමියුනිස්ට්  කාරයන්වයි  සමසමාජ  කාරයන්වයි , ජේවීපී එකයි ඒකට  ගෑව්වේ?"


" අපේ  එවුන්ව බේර  ගන්න  තිබිච්ච හොඳම විධිය ඒක  තමා "


" සර්  77  බලයට  ආවේ ධර්මිෂ්ට සමාජයක්  හදනව  කියලනේ. ඒවුනාට සර්  ඉන්න  කාලේ  රටේ  සැහෙන්න  ලේ  හෙල්ලුනානේ "


" තමුසේ  හිතනවද  මිනිස්සුන්ට  බණ කියල  ධර්මිෂ්ට සමාජයක්  හදන්න  පුළුවන්  කියල? අධර්මිෂ්ටයන්ව  නැති  කරල   තමයි ධර්මිෂ්ට සමාජයක්  හදන්න  පුළුවන්.  මං කොරේ   ඒක"


"සර්  හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ  නැහැ  කියල හුඟක් අය  කියනව ."


" මොන බොරුද?  රාජපක්ෂ ඒක  තව  ටිකක්  පොලිෂ්  කොරලා  ගත්තේ  නරක  හින්දද?    මගේ ව්‍යවස්ථාව දිගටම  තියාගන්න  අද සටන් කොරන්නේ  කවුද? යු එන් පී.කාරයෝද?    නෑ.   ශ්‍රී ලංකා  කාරයෝ "


නැවතත්  ජයවර්ධන  මහතා හොහ් .....හොහ් .....හොහ්  ගා  හිනාවුනේය 


." එතකොට ඉන්දියන් හමුදාව  ගෙන්නපු එක ? "


" ඉන්දියන් හමුදාව  මට  ගෙන්නන්න  සිද්ධ උනේ මගේ ආණ්ඩුව  තුවක්කුවෙන් පෙරලන්න  විජේවීර ලැස්ති   උන  නිසා..මං ඉන්දියන් හමුදාව ගෙන්නුවේ  නැත්තම් අපේ  හමුදාවට  උතුරෙයි දකුණෙයි දෙකේම සටන් කොරන්න  වෙනවා. එහෙම උනානම් ප්‍රභාකරන් උතුර අල්ල  ගන්නවා. විජේවීර  දකුණ අල්ලගන්නවා . ඉන්දියන් හමුදාව ගෙන්න  ගත්ත  නිසා උතුරේ  හිටපු හමුදාව  දකුණට  ගෙන්න  ගෙන  විජේවීරට  මුහුණ දෙන්න  මට  පුළුවන් උනා." 


මෝටර් රථය බොරැල්ලේ කනත්තේ ප්‍රධාන දොරටුව  ඉදිරිපසට පැමිණ  තිබෙන  බව මා  දුටුවේ එවිටය. .ගේට්ටුව ඉබේම විවුර්ත වූ අතර මෝටර් රථය කනත්ත  තුලට ඇතුළුවී සෙමින් ඉදිරියට  ධාවනය වන්නට  විය. වට  පිට  බැලු විට  මා  දුටුවේ සොහොන් කොත් අසල  නැගී සිටි මිනිසුන් සහ  ගැහැනුන්  අප  ගමන් කළ  මෝටර් රථය දෙස  බලා සිටින අයුරුය .ඇතැමෙකු අත්පොලසන් දෙමින් සිටියහ  . තවත්  පිරිසක්  හු හඬ  නැගුහ. කිසිවෙකු මෝටර්  රථය දෙසට ගලකින් ද  ගැසුවේය .



ආදාහනා  ගාරය අසලට  පැමිණි මෝටර් රථය එහි නවත්වනු  ලැබීය  .  කීප දෙනෙකු ආයුධ සන්නද්ධව  මෝටර් රථය දෙසට  දුව  එනු දුටු  විට මා  තුළ  කොතරම් බියක් ඇතිවීද  කිවතොත් මෝටර් රථයෙන්  බැසීමට  තරමටවත්  මගේ දෙපාවලට  ශක්තියක් නොවීය.


" ගන්නවා  තව ටිකක්  ඔය  බෝතලෙන් " මා සිත  තුළ වූ බිය වටහා  ගත්  ජේ. ආර් නියෝග  කළේය.


බ්‍රැන්ඩි  බෝතලය කටට ගෙන එක  හුස්මට බීගෙන බීගෙන  ගියෙමි.


"ඔය ඇති .දැන් බහිනවා."  


"OK සර් ."


මළවුන්ගේ රැස්වීමේ  පින්තුර  කීපයක්  ගත  යුතුයැයි  සිතා කැමරාව  ගැනීමට  මා සිතුවා  පමණි. ජයවර්ධන  මහතා ඝෝරනාඩු  කළේය.


 "කැමරා   බැ.ෆෝන් බෑ. නෝට්  බුක් එකයි  පැනකුයි පමණයි . "


ජේ  ආර් ජයවර්ධන  මහතා වාහනයෙන් බැස ගත්  විට පැමිණි සිටි ආරක්ෂකයෝ  ඔහු  වටකර ගත්හ . ජයවර්ධන  මහතා ආදාහනාගාරය අසලවූ  ගොඩනැගිල්ල දෙසට  ගමන් කළ අතර  මම  ඔහු  පසුපසින් ගමන් කළෙමි.


ආදාහනාගාරය අසල ශාලාවේ තිබු සුවපහසු  පුටුවල    පිරිසක්  වාඩිවී  සිටියහ . ඉදිරිපස අසුන් වල ඩී. එස්.  සේනානායක , ඩඩ්ලි සේනානායක , එස්.ඩබ්ලිව් . ආර්.ඩී.බණ්ඩාරනායක  ,සිරිමා බණ්ඩාරනායක, ආර්.ප්‍රේමදාස,   ඩබ්ලිව් .විජේතුංග ,  එස්. ඒ.වික්‍රමසිංහ , එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා ,  පීටර්  කේනමන්, පිලිප් ගුණවර්ධන , හෙක්ටර් කොබ්බැකඩුව මහත්ම  මහත්මීන් වාඩි වී  සිටි අතර පසු  පස  ආසනවල වාඩිවී  සිටි පිරිස අතර    අනුර  බණ්ඩාරනායක , ගාමිණි දිසානායක , ලලිත් ඇතුලත්මුදලි   සහ විජය  කුමාරතුංග  වුහ .රෝහණ විජේවීර සහ  ප්‍රභාකරන් යන  මහත්වරු   පැමිණියේ  අප එහි යනවිටමය . ඔවුන් දෙදෙනාද  දෙවන  පෙළ  අසුන්වලින් වාඩි වුහ .ඇතැමෙකු  ජාතික ඇඳුමෙන්  සැරසී  සිටි අතර සමහරෙකු යුරෝපීය ඇඳුමෙන් සැරසී   සිටියහ . ප්‍රභාකරන් සෆාරි ඇඳුමක් ඇඳ සිටි අතර  විජේවීර කලිසමක් සහ  ඉරි  කමිසයක්  පැළඳ  සිටියේය. පාවහන් පැළද  සිටියේදැයි  මට  මතක  නැත .  කිසිවෙගේ  මුහුණ දෙස  නොබැලු  විජේවීර  වාඩි වූ විගස  කිසියම් පොතක්  කියවන්නට  පටන් ගත්තේය  විජය  කුමාරතුංග  මහතා  වාඩිවී  සිටියේ තරමක් ඈතිනි.  මුහුණෙහි  විශාල  පැල්ලමක් තිබු අතර එය  ඔහුගේ   මුහුණ  තරමක් අවලස්සන  කළේය කළු  කලිසමක්ද සුදු කමිසයක්ද පැළඳ සිටි ඔහු වරින් වර  විජේවීර දෙස  බැලුවේ  සැක  මුසු බැල්මකින් යයි  මට සිතින. 


ජේ.ආර්. ජයවර්ධන  මහතා  දුටු බොහෝ අය ආසන වලින් නැගී සිටි  නමුත් ඇතැමෙකු  නැගී නොසිටියේ  නැගිට සිටීම  ශක්තියක් නොවූ  නිසා  බව  පෙනින .ඩි.එස්.  සේනානායක ,  බණ්ඩාරනායක  මහතා  සහ    මහත්මිය , එන් එම්. පෙරේරා , කොල්වින්  ආර්. ද සිල්වා     ආදීන්  වාඩි වී  සිටියේ  රෝද  පුටුවලය .  මළවුන්ගේ  ලෝකයෙන්ද චුතව  යාමට  ආසන්න  තරමට  ඔවුන් දුර්වල  වී  සිටියහ. ජයවර්ධන   මහතා  මුලාසනයේ  වාඩිවූ  විගස  නැගී සිටි විජය  කුමාරතුංග මහතා ජේ ආර් දෙසට  හැරී "මළවුන් වෙනුවෙන්  ඔබ තුමාව සාදරයෙන්  පිළිගන්නා"  බව කියා සිටි අතර අද දින  පැමිණීම  49 දෙනෙකු  බවද කියා සිටියේය.





"කවුද නොපැමිණි සාමාජිකයා ?" ජයවර්ධන  මහතා  විමසීය.


'අමිර්තලිංගම්  මහත්තය . ප්‍රභාකරන් මහත්තයට සාමාජිකත්වය  දුන්න  නිසා එයට විරෝධය  දැක්වීම  සඳහා අද දින  නොපැමිණෙන  බව දන්වා  තිබෙනවා ." විජය  කුමාරතුංග මහතා ලිපියක් පෙන්වමින්  කීය.


" හොඳයි . දැන් අපි රැස්වීම  පටන්ගමු " ජයවර්ධන  මහතා කීය .


  මාධ්‍යවේදීන්ට  ආසන වෙන් කර  නොතිබුණෙන් මට සිදුවුයේ හිටගෙනම  සටහන් ලියාගන්නටය .


" නෝනාවරුනි ! මහත්වරුනි! " ජයවර්ධන  මහතා  සභාව ඇමතීම ඇරඹුවේය .අප මේ රැස්වීම කැඳවුයේ ඇයි දැයි ඔබතුමාලාගෙන් ඇතැමෙකු   දැනටමත්  දන්නවා   ඇති .  ලබන  මාසයේ  25 , 26, යන  දිනවලදී  අභාවප්‍රාප්ත  දේශපාලනඥයන්ගේ    ජාත්‍යන්තර සම්මේලනයක් සිරියාවේදී  පැවැත්වීමට ඇමරිකා එක්සත්  ජනපදයේ  හිටපු  ජනාධිපති ජෝන් කෙනඩි  මහතා  විසින් කටයුතු  කරමින් තිබෙනවා


  එම සමුළුවට නියෝජිතයන්  තුන් දෙනෙකු එවන  ලෙස මගෙන් ඉල්ලීමක් කර  තිබෙනවා. ඒ සඳහා  සුදුස්සන්  තුන් දෙනෙකු අපි අද  තෝරා  ගත යුතුයි . ඒ  සඳහා මගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය  බව  එතුමා  දැනුම් දී  තිබෙන  බැවින් නියෝජිත  කණ්ඩායමේ  නායකත්වය  මා  විසින් දරන අතර   අනෙත්  දෙදෙනා   තෝරා  ගන්නා   ලෙස  මා   ඔබ සැමගෙන්ඉ ල්ලා  සිටිනවා . එම සම්මේලනයට  යාම සඳහා   23  වන දින  දහවල් 12  ට  මත්තල  ගුවන් තොටුපොළට ගුවන් යානයක් එවන  බවද දැනුම් දී  තිබෙනවා ."


"දවල්  දොළහට ? අපිව මිනිස්සුන්ට  පේනවනේ" කවුදෝ පිටුපස්  සිට කිවේය .


"කොහොම  පේන්නද? බලු බල්ලෙක්වත් රෑට තියා  දවල්ටවත්  යන  තැනක් නෙවෙයිනේ ." ප්‍රේමදාස  මහතා  කීය.


"මට ආරංචි  හැටියට  දකුණු  පළාතේ  මැරිච්ච  අය දැන්  පදිංචිවෙලා  ඉන්නේ  මත්තල එයාපෝට් එකේ " සිරිමා  බණ්ඩාරනායක  මහත්මිය  කීවාය . 


"ඉක්මනට දෙන්නෙක්  තෝර  ගන්න ." ජේ .ආර්. නොයිවසිල්ලෙන්  කීය .


ඉන්පසුව   සභාවේ ඇතිවුයේ   මහත්  කාලගෝට්ටියකි .තමන්වද  නියෝජිතයෙකු ලෙස  තෝරා  ගන්නා  ලෙස  ඉල්ලමින් බොහෝ අය  කෑ  ගසන්නට  වුහ.


"මට  ස්ටාලින්ව මුණගැසී  උපදෙස්  ලබා  ගැනීමට  තියෙනවා. ඒ  නිසා  මට  යන්නම  ඕන." විජේවීර  මහතා  ශබ්ද  නගා  කීවේය.


"මට  පොල්පොට්  පණිවිඩයක් එවල  තියෙනවා හමුවෙන්න  කියල . ඒ  නිසා  ඔය සමුළුවට  මා  යායුතුමයි ."  ප්‍රභාකරන් ඉංග්‍රීසියෙන්  කීවේය .


 " මාෂල් ටිටෝව මුනගැහෙන්න මන් කැමතියි . ඒ  නිසා  මට අවස්ථාවක් දෙන්න ." සිරිමා  බණ්ඩාරනායක  මහත්මිය රෝද  පුටුවෙන් නැගී  සිටීමට උත්සාහ කරමින් කීවාය .


   වේගයෙන් පුටුව  පස්සට  කර  නැගී සිටි  ප්‍රේමදාස  මහතා "කරුණාකරලා  මාව  තෝරාගන්න . මට  ඉන්දිරා  ගාන්ධි එක්ක  ගනදෙනුවක් බේර  ගන්න  තියෙනවා " 


" එක්සත්  ජාතික  පක්ෂෙන් දෙන්නෙක්  යන එක අයුක්ති සහගත ,අසාධාරණ  වැඩක් . ඒ  නිසා  ප්‍රේමදාස  මහත්තයට අවස්ථාවක් දෙනවට  මා  තදින්ම  විරුද්ධයි    .මට  න්‍යායික  ගැටළු වගයක්  තියෙනවා ට්‍රොට්ස්කි  මුණගැහිලා  කතා  කරගන්න . ඒ  නිසා  නියෝජිතයෙකු  ලෙස කරුණාකරලා  මාව  තෝර ගන්න "  යයි එන්.එම. පෙරේරා  මහතා වහා  නැගිට  කිවේය .  ඔහුගේ  මුහුණ  කේන්තියෙන් රතුවී  තිබිණ .


" එන්. එම්.සහෝදරය !  න්‍යායික  ගැටළු විසඳගෙන මොකක්  කරන්නද?  . ට්‍රොට්ස්කි ඔහේ  එක්ක  කතා  කොරන එකක්වත්  නැහැ"


 පීටර්  කෙනමන් මහතා  හරස්  කපමින්  කියා  සිටියේය. "ට්‍රම්ප් අද  තුන්වෙනි  ලෝක  යුද්ධයකට අර අඳිනවා . ඒක සිද්ධ  උනොත් මිනිස්සු කෝටි  ගානක් මැරිලා අපේ  ලෝකේ  ඉඩ  මදිවෙනවා  .ඒ  නිසා ඒක වලක්වන්න  කළ  හැකි  සියල්ල වහා  කළ යුතුයි .ඒ සඳහා  සෝවියට් දේශයේ  හිටපු නායකයන් එක්ක  සාකච්චා  කරලා  වැඩ පිළිවෙලක්  හදාගන්න  මා  සුදානම් වෙන්නේ  . බ්‍රෙෂ්නෙෆ් සහෝදරයත් සෑහෙන කාලෙකට  මුණ  ගැහුනේ  නැහැ . ඒ   නිසා  කරුණාකරලා   මට  අවස්ථාව  දෙන්න ."


තව දුරටත්  කිසිවෙකුට  කතා  කිරීමට ජයවර්ධන  මහතා  ඉඩ  දුන්නේ  නැත.


"  වාද  කොර  කොර  ඉන්න වෙලාවක්  නැහැ. ව්‍යවස්ථාවෙන්   මට තියෙන  බලතල අනුව නියෝජිතයන් මා විසින්  තෝරනවා මිස වෙනත් විසඳුමක් නැති බව    මේ  කාල  ගෝට්ටිය අනුව තමුන්නාන්සේලාට   අවබෝධවෙලා  ඇති.  ඒ අනුව  මා  කටයුතු  කොරනවා . තව දුරටත් ඒ   සම්බන්ධයෙන් කරුණු දැක්වීම     තහනම්  බව  මා මේ සභාවට  දැනුම් දීමට  කැමතියි .තෝරා  ගත්  නියෝජිතයන් දෙදෙනාට යථා  කාලයේදී  දැනුම් දීමට  මා  කටයුතු  කොරනවා . 


'ඔය  තීරණයට  අපේ  බලවත් අප්‍රසාදය  පළ  කරනවා ." රැස්වීමේ  පිටුපස  සිටි  කිසිවෙකු  මහා  හඬින්  කියා සිටියේය.


ඉන් පසු ජේ ආර් ජයවර්ධන  මහතා මළවුන්ට  මා  හඳුන්වා දුන්නේය .


" මා   අද  අමුත්තෙකු  සමග  මෙතනට  පැමිණියේ  තමුන්නාන්සේලා වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමටයි .මේ සිටින්නේ එම අමුත්තා වන  බර්ටි  රණවීරගේ  මහතා .  ඔහු බ්ලොග් කරුවෙක් .ඒ  කියන්නේ  නවීන  ලෝකයේ  මාධ්‍ය  කරුවෙක් .ඔහුට  පක්ෂයක්,  පාටක් නැහැ . අපි    ගැන  පත්තරවලත් රුපවාහිනි වලත් අන්තර් ජාලයේත්  සෑහෙන්න   බොරු  ලියන බව  මං නොකිව්වට තමුන්නසේලා හොඳින්ම දන්නවා . තමුන්නසේලගෙන් පස්  දෙනෙකුට  මං අවස්ථාව දෙනවා.  මහජනයාට  දැනුම් දිය  යුතු  පණිවිඩයක්  තියනවානම්  දැන් එය ඉදිරිපත්  කරන්නට  කියා. ඔහු  ඔබගේ එම  පණිවිඩ ඔහුගේ   සුදුකුකුලා බ්ලොග් එක  මගින් සමස්ත ලාංකික  පුරවැසියන්ට දැනුම් දෙනවා ඇති. "


වාඩිවී  සිටි  මලවුන්  බොහෝ දෙනෙකු   ආසනවලින් නැගිට ඒ සදහා තමන්ට අවස්ථාව  ලබා  දිය  යුතු  බව  කියමින් කැ ගසන්නට වුහ .


ජේ  ආර්.  ජයවර්ධන   මහතා  නැගී සිට  සියලු දෙනාටම   නිහඬවන  ලෙස   තදින්  කීවේය  . බොහෝ අය ආසනවල  වාඩි  වූ නමුත්   විජේවීර  මහතාත් ප්‍රභාකරන් මහතාත් වාඩි වුයේ  නැත .


" මන් ගැන බොරු තොග  ගණනින්  මාධ්‍ය  කාරයෝ  ලියනවා .ඒ  නිසා  මට අවස්ථාව ඕනෑමයි." විජේවීර  මහතා දෑත්  ඉහලට  ඔසොවමින්  කීවේය ."


" මගේ  මරණය  ගැන ලංකාවේ  මාධ්‍ය අමු බොරු  ලියල තියෙනවා .ඒ  නිසා මට අවස්ථාවක් අවශ්‍යයි " ප්‍රභාකරන් කීවේ කේන්තියෙන්  පුපුරමින්ය . ඔහු  කතා  කළේ  ඉංග්‍රීසි බසිණි


"තමුන්නාන්සේලා හොඳින්ම  දන්නවා මං ප්රෝජාතාන්තර වාදයට  බොහොම  ගරු  කරන  කෙනෙක්  බව .ඒ  නිසා පක්ෂ  හෝ  සංවිධාන  5 ක  නියෝජිතයනට  අවස්ථාව  දෙන්න  කැමතියි .මං නම්  කොරනවා  5 දෙනෙක් දැන් .ඒකට  ගරු  කොරල අනිත් අය නිස්සද්ද වෙන්න  උවමනායි ."


" First ,  I invite  Mr.S.W.R.D.Bandaranaike  to give his message . But don't take  more than five  minutes please."


බණ්ඩාරනායක  මහතාට  නැගී   සිට අදහස් දැක්වීමට  තරම් වාරුවක් තිබුනේ  නැත .ඔහු  වාඩිවී  සිටම  ඉංග්‍රීසි  බසින්  අදහස්  දක්වන්නට  පටන් ගත්තේය .


" මට  තියෙන්නේ  බොහොම  කෙටි පණිවිඩයක් . මං  කනගාටුවෙනවා සිංහල  භාෂාව පමණක්  රාජ්‍ය  භාෂාව කිරීමට ගත්ත  තීන්දුව  ගැන . මහා  මැතිවරණය වෙලාවේ ඒ  පොරොන්දුව  දුන්නේ  නැත්තම් මට  ආංඩු  බලය  ලැබෙන්නේ  නැහැ. මේ  එන් එම් , කොල්වින් ,පීටර් කේනමන්ලා       කිව්ව  විදිහට  සිංහල ,දෙමල භාෂා  දෙකම  රාජ්‍ය  භාෂා කළා  නම් යුද්ධයක් ඇතිවෙන්නේ  නැහැ .ජීවිත  ලක්ෂ  ගානක්  නැතිවෙන්නේ  නැහැ  .  මා  ඒ  පිළිබඳව  බලවත්  ලෙස  තැවෙමින්  සිටින  බව  ශ්‍රී  ලාංකික  ජනතාවට දැනුම් දෙන්නට  කැමතියි ."


" මං ඊ ලඟට ආරාධනා  කොරනවා ආර්.ප්‍රේමදාස හිටපු  ජනධිපති  තුමාට "


ප්‍රේමදාස මහතා පැළඳ සිටියේ සුදු  කමිසයක් හා  සරමකි.ඔහු   ඔරලෝසුවක් පැළඳ සිටි අතර සුදු  ලේන්සුවක්ද අතේ  තබාගෙන  සිටියේය,  මලවුන් අතර බාබු සිටීදැයි  මා පැමිණි පිරිස අතර  සෙවූ  මුත්     රැස්වීම් ශාලාවේ  පසුපස අන්ධකාරයෙන්  පිරී  තිබුණු  නිසා  සොයා  ගැනීමට  නොහැකි විය.


"   මගේ  පුතා  සජිත් ප්‍රේමදාසට  එක්සත්  ජාතික  පක්ෂය  තුළ  හිමි ස්ථානය  ලබා දීම වැලක්වීමට රනිල් ඇතුළු  කල්ලියක් විසින්  කුමන්ත්‍රණ  කිරීම  මා දැඩි  ලෙස  හෙලා  දකිනවා. සජිත් දවසක  මේ  රටේ  ජනාධිපති විය  යුතුයි .ඒ සඳහා එක්සත්  ජාතික  පාක්ෂිකයන්ගේ සහය  ලබා දෙන  ලෙස  ඉල්ලා සිටීමට  මා  කැමතියි."


" මී  ළඟ අවස්ථාව විජය  කුමාරතුංග  මහතාට ."


සිනහ  මුසු මුහුණෙන්  නැගී සිටි  කුමාරතුංග  මහතා අවස්ථාවක්  ලබා දීම  ගැන  ජයවර්ධන  මහතාට  ස්තුති  කර  සිටියේය.


"    බුද්ධිමත් දේශපාලනයක්  කිරීමට   සුදුසු  තත්ත්වයකට රට  මෝරා  නොමැති  බැවින් දේශපාලන  පොර  පිටියට  නොපැමිණෙන ලෙස  මගේ දරුවන්ගෙන් ඉල්ලා  සිටිනවා .මගේ  පණිවිඩය එපමණයි."


" එක  බොහොම  හොඳ  තීරණයක් . මී  ලඟට  විජේවීර  සහෝදරයාගේ අදහස්  කියන්න.."


" මගේ අදහස් වචනයෙන් දෙකෙන්  කියන්න  බැහැ. ඒ නිසා  මා  සමග සම්මුඛ සාකච්චාවක් කිරීමට වෙනත් වෙලාවක  පැමිණෙන  ලෙස  මාධ්‍ය කරුගෙන් ඉල්ලා සිටිනවා.."


"\ජයවර්ධන  මහතා එයට  ඉඩ  නොදෙනු  ඇති  සිතු මා  " මං  ලෑස්තියි දැන්   උනත්. දැන් බැරි නම්    මට කෝල්  එකක් දෙන්න  දවසයි වෙලාවයි  තැනයි  කියල "   හනික  කිව්  මා   මගේ  දුරකථන  අංකය සඳහන්  කාඩ් පත  ඔහු අසලටම  ගොස්  දුනිමි . 


" එයාට  විතරක්  සම්මුඛ  සාකච්චාවක් ලබා දෙනවට අපි එක  හෙලාම විරුද්ධයි. අපිටත් තියෙනවා  මහජනයාට  කියන්න දේවල්  " මලවුන් සියල්ලෝම වගේ  නැගිට  කෑ ගසන්නට වුහ.


" මෙයා  දෙපාරකට  කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් විතර  මෙහෙට එව්වා ..ආයිත් පාරක් තවත්  ලක්ෂයක් හමාරක්   මෙහාට එවන්නයි ඔය  ලෑස්තිවෙන්නේ .මෙහෙ දැන්  ඉඩකඩත්  නැහැ ." කොල්වින් කිවේය.


'" ද්‍රෝහීන් කවදත්   ලාංකික විප්ලවයට හතුරු  කම් කළා .මැරිලා  කරන්නෙත්  ඒකමයි ." දෙනවා  ඔලුව  ගැලවිලා   යන්න" කී විජේවීර  පුටුවක් එසවුවේය.


" විජේවීර ! මෙතන  චන්ඩිකම් කරන්න  ආවොත් ප්‍රේමදාසට ලවා    ආයි  පාරක් අර  ආදාහනාගාරේට  දාල අළු කරනවා." ජයවර්ධන  මහතා කීවේ  යක්ෂාවේශ  වුවාක්  මෙන්ය . ජයවර්ධන   මහතාගේ  ආරක්ෂකයන්  දෙදෙනෙකු  වහාම  විජේවීර අසලට  ගොස් ඔහුගේ  හිසට  පිස්තෝල එල්ල  කළහ.


"සමාවෙන්න සර් "  කිව්  විජේවීර එසවූ  පුටුව  බිම  තබා එහි වාඩිවිය .


" Mr. Prabhakaran !  Have you got any  message  for your  people? ජයවර්ධන  මහතා ඇසීය .


ප්‍රභාකරන් විනාඩි  පහක් පමණ එක  දිගට  කතා  කළේය. ඔහු  කතා  කළේ  දෙමල  බසින් බැවින් ඔහු කිව්වේ  කුමක්දැයි මට වටහා ගැනීමට  නොහැකි විය. ඔහු ගේ අදහස්  පාඨකයන් වෙත  ගෙන  ඒමට නොහැකි වීම  ගැන පාඨකයන්  වෙත  මගේ  බලවත්  කණගාටුව  පලකරමි. 


  " හොඳයි. අපේ  රැස්වීමේ  පළමු සැසිවාරය  අවසානයි . දෙවන සැසිවාරය  පාන්දර  දෙකට  ආරම්භ  කරනවා ." කී ජයවර්ධන මහතා ආරක්ෂකයෙකු  කැඳවා ජයවර්ධන  මහතාගේ  මෝටර් රථයෙන්  මා  මතුගමට  ගොස්  බස්සන  ලෙස  කියා  සිටියේය. 


" කාර්  එකේ  ඇති විස්කි  කේස් එකක් .ඒකෙන් බෝතල් දෙකක්  මේ  මහත්තයාගේ  බෑග් එකට දානව." ජයවර්ධන මහතා ආරක්ෂක භටයාට නියෝග  කළේය 

.

" Thank you very much sir .      "

" සර්  නැතිව කාර් එකේ  යනකොට මට  කරදරයක් වෙයිද  දන්නේ  නැහැ ."  මා එසේ  කිවේ මැරුණු  මිනිසුන් දෙදෙනෙකු  සමග යන අතර  තුර මගේ  බෙල්ල  මිරිකා දමනු ඇතැයි ඇතිවූ අධික  භීතිය නිසාය.මේ වන විට බ්‍රැන්ඩි  උගුරු කීපය  ලබා දී  තිබු එඩිතරකම දියවෙමින් තිබිණ 


 " මැරිච්ච  අය  පණපිටින්  ඉන්න  අයට  බයයි  ඕයි. තමුසේ  බය  නැතිව  යනවා." 


ජයවර්ධන මහතාට  ආයුබෝවන් කී මා  ආරක්ෂක භටයා  සමග මෝටර්  රථය   දෙසට  ගමන් කලෙමි . අප රථය ට ආසන්න වනවාත් සමගම වාහනයේ   පිටුපස  දොර  හැරගෙන  කාන්තාවක්  කලබලයෙන්  පිටතට   ආ අතර  අනිත්  පස  දොර  හැරගෙන  පිටතට  ආවේ  රියදුරාය . කාන්තාව  කවුදැයි  හඳුනාගැනීමට මට වැඩි වෙලාවක් ගත  වුයේ  නැත .ඒ විමලා විජේවර්ධනය.  බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ  ඇමතිවරියක් වූ විමලා විජෙවර්ධනගේ  රුව  තවමත් එතරම් අඩුවී   නොමැති  බව  ක්ෂණිකව  මට අවබෝධ විය  .තරමක  ලැජ්ජා  ගතියක් පෙන්වූ ඇය පැළඳ සිටි  සුදු ඇඳුම සකස්  කරමින්   අඳුරට  ගොස්  ක්ෂණිකව අතුරු දහන් වුවාය.


මා  ඉදිරිපස  අසුනෙන් වාඩිවූ  අතර ආරක්ෂකයා   පිටුපස  අසුනේ  වාඩිවිය. ආරක්ෂයා  දෙස  හැරී  බැලු  රියදුරා " අපේ සර්ට දැනගන්න  තියන්න එපා"  යයි  බැගෑපත්  හඬින්  කීය .


" ආ  මෙන්න ඔහේගේ  බෑග් එක.   විස්කි  බෝතල් දෙකයි බ්‍රැන්ඩි  කොටෙයි  බෑග් එකට දාල ඇති ." ආරක්ෂකයා  මගේ  ගමන් මල්ල  මා අතට දෙමින් කීය .


" සර්ට  කියන්නේ  නැහැ නේද?"  රියදුරා  යලිත්  ආරක්ෂකයාගෙන්   ඇසීය .


මොනවා  කියන්නද අය්යා ! ඒ  ඔහේගේ  පරණ  ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ "


මට දෙවියන් සිහිවුයේ එවිටය . මේ සිටින  රියදුරා මාපිටිගම බුද්ධරක්ඛිත විය  යුතුය . ඔහු  මිය ගියේ  හිරගෙදරදීය  බණ්ඩාරනායක මහතා  මරන්නට  කුමන්ත්‍රණය  කළේ  ඔහුය .  මාපිටිගම බුද්ධරක්ඛිත  හිමිගේ   හොර අඹුව  වුයේ  විමලා විජේවර්ධනය .. රියදුරාගේ  මුහුණ දෙස  බැලුවිට මේ අන් කෙනෙක් නොව   ඒ බුද්ධරක්ඛිතම  බව පැහැදිලිවම  පෙනිණ. මේ සිද්ධිය  මා අන්තර්  ජාලයේ  පළකරනු ඇතැයි  බියට  පත්ව  අතර  මගදී මගේ  බෙල්ල  විකා   මරා දමාවි දැයි මා තුළ ඇතිවූ  බිය  කීමට  මා  ළඟ වචන නැත .


දැන්ඇත්තේ එකම විකල්පයකි  එනම් සිහි  නැතිවෙනතුරුම  බීමය .බ්‍රැන්ඩි  බෝතලය  අතට  ගත්  මා එක  හුස්මටම ඉතිරි වී  තිබු බ්‍රැන්ඩි බෝතල් භාගයම  බී  දැමුවෙමි.


ඉන්පසු   වාහනය  තුලදී සිදුවූ කිසිවක්   මට  මතක නැත්තේ  එක්කෝ  සිහි  නැතිවී  යාම නිසාය    නැතහොත්  වෙරි මතට නින්ද  යාම  නිසාය.   


 යලි    පියවි  තත්වයට  පත්වන  විට  මා සිටියේ මතුගම සුසාන  භුමිය අද්දර  තණකොල   බිස්සේය.  සිදුවුයේ  කුමක්දැයි  සිහියට  ආවේ  තවත්  ටික වෙලාවකට  පසුවය . පොද වැස්සක් වැටෙමින් තිබුණු අතර  ඉතා සෙමින්   හිරු එලිය අවට  පැතිරෙමින් තිබිණ   . මා රැගෙන  ආ මලවුන් දෙදෙනා  මගේ   ගමන් මල්ලද     මා අසලම  තබා  ගොස්  තිබිණ . මා එය  හනික  විවූර්ත  කොට  බැලුවේ  මගේ  සියලුම අඩුම  කුඩුම  තිබේදැයි  බැලීමටය .සියල්ල  තිබුන  මුත් විස්කි  බෝතල් දෙක අතුරුදහන් වී  තිබුණි 


බණ්ඩාරනායක  ඝාතන  නඩු  විභාගයේදී  සාක්ෂි දුන්  විමලා  විජේවර්ධනගේ  නිවසේ  සේවකයකු,  රාති ආහාරය  සඳහා  බුද්ධරක්ඛිත  බොහෝ විට  පැමිණෙන  බවත් ආහාරයට  පෙර    විස්කි බීමට  තදින් ප්‍රිය  කළ  බවත්  කී බව  මට  සිහි වුයේ  ඒ අවස්ථාවේය  .

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

  ( මේ  සත්‍ය සිද්ධි  මාලාව ඇතුලත් ලිපිය   පිලිබඳ  ඔබේ අදහස්  පහළ  තීරයේ  ලියන්න .)

Tuesday, April 25, 2017

කොටි සොයා යාපනේ ගියෙමි



 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි . 

සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ .


කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  පෙර  දුම්රිය  පොලට  යාම ප්‍රමාණවත්ය . ආසන වෙන්කරවා  ගැනීම  සඳහා  දින 30  කට  පෙර කටයුතු  කිරීම නුවණට හුරුය .ආසන වෙන්කරවා  ගැනීම  සඳහා කොළඹ  කොටුවේ  දුම්රිය  පොලට  හෝ වෙනත් ප්‍රධාන   දුම්රිය  පොලට  යා යුතුය . නැතහොත්  දුරකථන  මගින් ද  ආසන වෙන්කරවා  ගත   හැක.  ඒ සඳහා මොබිටෙල්/එටිසලාට් මගින් 365 ද ටෙලිකොම්  දුරකතනයකින් 1365 ඇමතීය  යුතුවේ .


යුද්ධයට  පෙරද , යුද්ධය අතර  තුරද වෘත්තීය සමිති  කටයුතු  සඳහා කීපවරක්  යාපනයට  ගොස්  තිබුණද යුද්ධයෙන් පසුව එහි  යාමට ඉස්පාසුවක්  ලැබුණේ   මේ අවුරුදු සමයේය.. මා සමග  ගිය මිතුරියද මිතුරාද ඔවුන්ගේ දරුවන්ද කල් ඇතුව රාත්‍රී  දුම්රියේ  පළමු පන්තියේ  ආසන වෙන්කරවා  ගෙන  තිබුණද ආසනයක් වෙන්කරවා  ගැනීමට මට  නොහැකි වුයේ  ප්‍රමාදවී ඒ සඳහා  උත්සාහ  කිරීම  නිසාය . අවට  නරඹමින් යාපනයට  යාමට වඩාත්ම  උචිත පෙරවරු 11.50 කොටුවෙන් පිටත්වන අන්තර  නගර  දුම්රිය  වුවද  අපට එම අවස්ථාව ලබා   ගැනීමට  නොහැකි වුයේ එහි සියලු ආසන අන් අය වෙන්කරවා  ගෙන  තිබුණු බැවිනි 


මගේ  මිතුරන් රාත්‍රී 8.30 ට කොටුවෙන් පිටත්වන දුම්රියේ  පළමු  පංතියේ  වායු සමනය  කළ  මැදිරියට ගොඩවූ නමුත්   පළමු  පන්තියේ  ටිකට්  පත සාක්කුවේ දමාගෙන  දෙවන  පංතියේ මැදිරියක ගමන් කිරීමට මට  සිදුවිය. දුම්රිය  අනුරාධපුරයට  පැමිණීමෙන්  පසු මගේ  මිතුරන්  ගමන් කළ  මැදිරියේ  බොහෝ  ආසන හිස්වූ  බැවින් දුම්රිය  බලධාරීන්ගේ  කනින් රිංගා  එයට  ගොඩවී ආසන එකක් වෙනුවට  දෙකක් ම යාපනයට යන  තුරුම සින්නකරව අයිති  කරගතිමි.


යාපනයට  දුම්රිය පැමිණෙන විට පසුදා  පෙරවරු 7  වී  තිබුණි. අපගේ  නවාතැන  ලෙස වෙන්  කරගෙන තිබුණේ  උතුරේ  ආණ්ඩුකාරයාගේ කාර්යාලයට අල්ලපු වත්තේ  පිහිටි රජයට  අයත් නිවාඩු  නිකේතනයකි. අයකිරීම දිනකට රු.900ක් පමණි .කෑම  පිස  ගැනීම සඳහා එහි  පහසුකම්  තිබෙන අතර ගෑස් වෙනුවෙන් පුංචි මුදලක් එහි  භාරකරුට  ගෙවිය  යුතුය. එම ස්ථානය  ලබා   ගත  හැක්කේ  රජයේ  නිලධාරීන්ට පමණක් වන අතර  ඒ සඳහා  මසකට  පෙර  රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශයට  ගොස් වෙන්කරවා  ගත  යුතුවෙයි .සියලුම කාමර වායු සමනය  කර  තිබේ. මාස දෙකකින්  පමණ  යාපනයට වැසි ලැබී  නැති බැවින් මේ  දිනවල යාපනයේ  උෂ්ණත්වය  ඉහල  ගොස් ඇති නිසා  වායු  සමනය  නොකළ  කාමරයක  නිදා  ගන්නවාට වඩා මදුරු  ප්‍රහාරයන්ට  ලක්වෙමින් එළිමහනේ  නිදාගැනීම   සුව දායකය.


අපගේ  නවාතන අප සඳහා වෙන්  කර තිබුනේ එදින  පස්වරු එකේ  සිට  බැවින්  දුම්රියෙන්  බැසීමෙන් පසු විවේක  ගැනීම සඳහා  නාග විහාරයේ  තිබෙන  විශ්‍රාම  ශාලාව වෙත  යන  ලෙස  තෙලිප්පලෙහි පදිංචි මගේ මිතුරෙකු උපදෙස්  දී  තිබුණි .එහෙත් කඩිනමින් එහි  යාමට අවශ්‍යතාවයක්  නොවුයේ  යාපනය දුම්රිය පොලෙහි විවේක  ගැනීමේ  පහසුකම් තිබු  බැවිණි.  විවේක  ගැනීමේ  ශාලාවන්ද ශාරීරික  පවිත්‍රතා  කටයුතු සඳහා වූ කාමරද  ප්‍රශස්ත   මට්ටමින්  පවත්වා  ගෙන  යාමට  යාපනය දුම්රිය  බලධාරීන්  කටයුතු  කර  තිබෙන බැවින් එය අපට  මහත් අස්වැසිල්ලක් විය. දුරියපොළ  ආපන  ශාලාවද  ප්‍රියමනාපය. එහි තිබු  ගුවන් විදුලියෙන්  සිංහල  ගීත  වාදනය වුයෙන් මා සිතුවේ වෙල්ගම හිටපු ඇමතිවරයාගේ කැචර්ලා විසින් ආපන ශාලාව  බදුගෙන  ඇත  කියායි. එහෙත් එය  පවත්වාගෙන  යන්නේ දෙමල  තරුණයන් විසින් බව වැටහුනේ එහි ගොස්  උදේ  ආහාර ඇනවුම් කරන  විටය.


පැයකට අධික  කාලයක් යාපනය  දුම්රියපොළේ  ගත  කළ   අපි, ගමන් මලු ආපන ශාලාවේ තබා  මීටර 100ක් පමණ ඈතින් තිබු  නාග විහාරයට  ගියෙමු. නාග විහාරය විසින් පවත්වාගෙන  යන  විශ්‍රාම ශාලාවක් එහි තිබේ. එහි  කාමරයක් සඳහා දිනකට රු.1500ක් අය  කරන අතර දුරකථන  මගින් කාමර වෙන්කරවා  ගැනීමට පුළුවන .දුරකථන අංකය 021 2222014 ය. 












නාග විහාරය නැරඹීමෙන් පසු දුම්රියපොළ වෙත  යලි  ගොස් අපගේ  ගමන් මලු රැගෙන නිවාඩු නිකේතනය වෙත  ගියෙමු.  දිවා  ආහාරයෙන් පසු  පැය දෙක  තුනක  විවේකයක්  ගත්  අපි   මිතුරන් දෙදෙනෙකු  හමුවීමට යාමට  තීරණය  කළෙමු .පළමුවෙන්  අප  ගියේ  යාපනය  කන්කසන්තුරය පාරේ  පිහිටි ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි වී  සිටින දේවරාජා හමුවීමටය .ලංකා ගුරු සංගමයේ යාපනය  දිස්ත්‍රික් ලේකම් ලෙස ඔහු බොහෝ කලක් කටයුතු කළ  බැවින් 1980 සිටම  ඔහු  මගේ  මිතුරෙකු විය  




සාදරයෙන්  අප  පිළිගත්  ඔහු ආගිය  තොරතුරු  කතා  බහ  කිරීමෙන් පසු  සංගමයේ අතීත   විස්තර  ද දේශපාලනය  පිළිබඳවද කතා  බහ  කළෙමු .ආණ්ඩුව  පිළිබඳව ප්‍රසාදයක් ඔහු  තුළ  නොවීය .වත්මන් ආණ්ඩුව  ගමන් කරන්නේද  මහින්දගේ  ගමන් මගේම  බව  ඔහු  කීය. දෙමල දේශපාලකයන්  විවේචනය කළ ඔහු  කිසිදිනක TULF පක්ෂයට  චන්දය  නොදුන් බව  කීවේය.


මා  නොදැන සිටි තවත්  කරුණක්  ඔහු  මට  කීවේය. ඒ  සංගමයේ  හිටපු  සභාපතිවු එච්.එන් .ප්‍රනාන්දු (රෝහණ විජේවීර  විවාහ  කර  ගත්තේ  එච්.එන්.ගේ නැගණියවය.) 1988  සමයේ  යාපනයේ  ගත  කළේ ජනතා  විමුක්ති  පෙරමුණේ  මරණීය  තර්ජන  නිසා  බව  යන්නය.   එය සත්‍යයක්දැයි යලි වතාවක්  ම විමසු විට එය  ඔහුට  කිවේ එච්. එන්. විසින්ම  බව ඔහු  කීය . 1988 මැද භාගයේ  සිට 1989 අග දක්වා යාපනයේ ගත කළ එච්. එන් ට  ආරක්ෂව   ආහාර  පාන  , නවතැන් සැපයුවේ  යාපනයේ  ගුරුවරු  විසිනි . එහි සිටියදී වරක් කොටි  විසින් ඔහු අත් අඩංගුවට  ගත් නමුත් ඔහු  කවුදැයි  හඳුනා ගැනීමෙන්  පසු කොටි විසින්ම  ඔහු  නැවතී සිටි ස්ථානයට වාහනයකින් ගෙන හැර ලුහ .

කොටි සංවිධානය  නැවත  හිස  ඔසවුනු ඇත්දැයි මා  ඔහුගෙනුත්  ඔහුගේ  නිවසට  පැමිණ සිටි අයකුගෙන්ද ඇසීමි.යාපනයේ  ජනයාගෙන් එයට  කිසිදු  සහයක් හිමිනොවන  බැවින් එවැන්නක් සිදු  නොවනු ඇතැයි ඔවුන් දෙදෙනාගේම  කීහ.. සමාජවාදී  මත  දරන්නෙකු වන  දේවරාජා,  කොටි බලවත් ව  සිටි සමයේද කොටින්ට එරෙහිව ප්‍රසිද්ධියේම  කතා  කළ  බව  මට  මතකය .

දේවරාජාගේ  නිවසේ  නවතින  ලෙස  මගෙන් ඉල්ලා  සිටියද මා  හා  පැමිණි  අයගේ සිත් රිදවීමට  නොහැකි බැවින් ඔහුගේ ඉල්ලීම ඉටු  කිරීමට  මට  නොහැකි විය.  යලිත්  ඔහු  දැකීමට  පැමිණෙන  බවට  පොරොන්දු දීමෙන් අනතුරුව අප ඔහුගෙන් වෙන්වී  ආවෙමු 


කිලෝ මීටර් 12ක් ආපසු යාපනය දෙසට  පැමිණි අප  ඊ  ලඟට   ගියේ  මගේ තවත්  පැරණි  මිතුරෙකු වන ත්‍යාගලිංගම් හමුවීමටය . 2000 -2010  දශකයේ  ලංකා  ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් සභාවේ  සභාපති වුයේ  ත්‍යාගලිංගම් ය. රාජ්‍ය සේවයෙන්  විශ්‍රාම ලබා සිටින ඔහු    දැන්  යාපනයේ  ජාත්‍යන්තර  පාසලක ගණිතය  උගන්වයි . ඔහුගේ  නිවස  පිහිටියේ නල්ලුර්  කෝවිලට  තරමක්  කිට්ටුවෙනි . ඔහුගේ නිවසට  යන විට  තරමක්  රෑ  බෝ වූ බැවින්  එහි වැඩි  කාලයක්  ගත  කිරීමට  නොහැකි විය.ඔහුගේ  මතය වුයේද වත්මන් ආණ්ඩුව පසුගිය  ආණ්ඩුව  ගමන් කරන  මාර්ගයේම  ගමන් කරමින් සිටින  බවය.  මා  ඔහුට  දීමට  ගෙන ගිය කැවුම් කොකිස්  පාර්සලයද  ඔහුට දී ඔහුගේ  පවුලේ  අය අප  වෙනුවෙන් පිළියෙළ  කළ තේ  පැන් සංග්‍රහයද භුක්ති විඳ   ආපසු අපගේ  නවාතැන වෙත  පැමිණියෙමු.



පසුවදා උදැසනින්ම අවදිව වැන් රථයක් කුලියට ගත්තේ  යාපනය  පුරා ඇවිදීමටය .පළමුව   නාගදීප විහාරය බලා යාමට අපි  තීරණය  කළෙමු .   යාපනයේ සංචාරයක  යෙදෙන්නන් කුලියට  වාහනයක්  නොගෙන බස් රථවලින්  ගමන් කිරීම   කාලය අපතේ  යැවීමකි. වායු සමනය  කළ  වැන් රථයක  කිලෝ මීටර් 100 ක දුරක් යාම සඳහා  රු.7500ක් අය  කරන අතර වායු සමනය  නොකළ වැන් රථයක  කිලෝ මීටර් 100 දුරක් යාමට රු.5500 ක් අය කරන ලැබේ . කිලෝ මීටර් 100 ඉක්මවා  යන්නේ  නම් එක් කිලෝමීටරයකට රු.50ක් අය කරනු  ලැබේ. අප ගමන්  කළ වැන් රථය පැදවුයේ තිලක්  කුමාර් නමැති  තරුණයෙකි. ඔහු  ඉතාමත් ඉවසිලිවන්තය . යන්තමින් සිංහල සහ ඉංග්‍රීසි දනී. ඔහු සම්බන්ධ  කරගත  හැකි දුරකතන අංක 077 0453941 සහ 077 8886998 වේ. දේශපාලන  කතා  කිරීමට  තරමට සිංහල දැනුමක්  නොතිබුණු  ඔහු කීවේ ගිය ආණ්ඩුව  පාරවල්  හැදු  බවත්  මේ  ආණ්ඩුව ok බවත්ය .


නාගදීපයට යාමේදී  වඩාත්ම  පහසු  මග  වන්නේ  නාවික  හමුදාව විසින් පවත්වාගෙන  යන  බෝට්ටු සේවයයි. මුදල් අය  නොකර  පවත්වාගෙන  යන එම සේවය  ලබා   ගැනීමට  නම් නාවික  හමුදාවේ  නිලයක් දරන්නෙකුගේ සහය කල් යල් ඇතුව ලබා  ගත   යුතුය. එසේ  සම්බන්ධයක්  නොමැත්තේ  නම් ඔබට සිදුවන්නේ පොදු  බෝට්ටු සේවය මගින්  නාග දීපයට  යාමටය . ඒ සඳහා  මුදලක් ගෙවීමට  සිදුවෙන  අතර එම  බෝට්ටු අඩු  පහසුකම් වලින් යුක්තය .




මා  සමග  ගිය අන් මිතුරන්  නාවික හමුදා  බෝට්ටු සේවය  ලබා  ගැනීම සඳහා අවශ්‍ය  කටයුතු  කර  තිබු බැවින්  වැන් රථයෙන් පුන්කුඩුතිව් දුපතේ  පිහිට  නාවුක  කඳවුර වෙත   ගියෙමු .  නාවික  හමුදාව විසින් යොදවා  තිබෙන  බෝට්ටු දෙකම  පිටත්ව  ගොස්  තිබු  බැවින්  වෙරළ ආසන්නයේ  තිබු  බැංකු මත වාඩිවී බල සිටියෙමු. අප එහි  යන විට  තවත්  පිරිසක්  පැමිණ සිටි  බැවින් අපට  ඉඩකඩ  ලැබුනේ දෙවෙනියට ආපසු පැමිණි  බෝට්ටුවේය. මගීන් 22 ට  වාඩිවී  යාම සඳහා එහි  ආසන  තිබේ.ලොකු මුහුදු රැලි  නොමැති දිනයක් වූ බැවින් එහි ගමන් කිරීම  සිත් සනසන අත් දැකීමක් විය. බෝට්ටුවේ  ඉදිරිපස  ආසන වල අසුන් ගත්   අයට බෝට්ටුවේ  හැපෙන  රැලී බිඳී අවුත් බෝට්ටුව  තුලට ඒම නිසා තරමක්  නා  ගැනීමටද  සිදුවිය .



පැය  භාගයකට  පසු අප රැගත් බෝට්ටුව  නාගදීපයට  ලඟා විය . විනාඩි 50 කින් ආපසු  පැමිණෙන  ලෙස එය පැදවූ  නාවික  භටයන් ඉල්ලීමක්  කළෙන්  හනි හනික අප සියලු දෙනා  නාගදීප  විහාරයට  ගියෙමු.


නාගදීප විහාරය සුන්දර  තැනකි .  නයිනතිව්  දුපතේ අක්කර දෙක  තුනක  භුමි  භාගයක් පුරා එය විහිදී  තිබේ. එය දැකීමට  හෝ වන්දනා  කිරීමට සිංහල දෙමල  මුස්ලිම් ජාතිකයන් 500ක් පමණ පිරිසක්  පැමිණ සිටියහ.නාගදීප විහාරයේ  විසු  භික්ෂුන්ට  දෙමල   ජාතිකයෙකුවූ  ආර්  රාමචන්ද්‍රන් නැමැත්තෙකු 60 වසරක් තිස්සේ  දානය  සැපයු  බව  විහාරයේ අඳින  ලද ඔහුගේ  චායාරුපය  යටින්  සටහන්  කර  තිබුණි 




චුලෝදර සහ  මහෝදර   යන  නාරජවරුන් අතර  මැණික් පුටුවක් සඳහා  යුද්ධ  කිරීමට  සුදානම් වූ අවස්ථාවේ බුදුන් වහන්සේ  එම  ගැටුම සමතයකට  පත්  කිරීම සඳහා නාගදීපයට වැඩි  බැව්  බවුද්ධයන්ගේ  විශ්වාසයයි . එහෙත් පුරාවිද්‍යා මහාචාර්ය  සෙනරත්  පරණ විතාන  මහතාට  අනුව  බුදුන් වහන්සේ  ලංකාවට  පැමිණි  බව   තහවුරු  කළ හැකි කිසිදු ශාක්ෂියක්  නොමැත.


නාගදීපය හෙවත්  නයිනතිව්  දුපතේ   හින්දු  කෝවිලක්ද  තිබේ .එය  නැරඹීමට  යාමට අපට   පහසුකම් නොවුයෙන් නාගදීප විහාරය  නැරඹීමෙන් පමණක් සෑහීමට  පත්වීමට අපට සිදුවිය.


               (  මෙම චායාරුපය අන්තර් ජාලයෙන් බාගත කරනු ලැබුවකි)  


නාගදීපය  නරඹා  නැවතත් පුන්කුඩුතිව් වෙත  පැමිණෙන විට  දහවල් දොළහ පසුවී  තිබිණ . යාපන අර්ධද්වීපය  හිරු රශ්මියෙන් දවමින්  තිබුණද ජනරාල් කොබ්බැකඩුව  ඝාතනය වූ ස්ථානය  නැරඹීමට  මා   සමග  ගිය  මිතුරනට අවශ්‍ය විය .එය  පිහිටියේ  කයිට්ස් දුපතේ අරාලි ප්‍රදේශයේදීය. යාපනය  අර්ධද්වීපය LTTE  සංවිධානයෙන් මුදවා  ගැනීම  සඳහා සටන  සුදානම්  කරමින්  සිටියදී 1992 අගෝස්තු 6 වෙනි දින ඔහු ගමන් කල ජීප් රථය බිම් බෝම්බයකට  අසුව මිය  ගියේය. හමුදා  භටයන් අතර  බෙහෙවින් ජනප්‍රිය සෙන්පතියෙකු වූ  ඩෙන්සිල්  කොබ්බැකඩුව  තමනට  තර්ජනයක් වෙනු ඇතැයි  බියපත්වූ එවක  ජනධිපති ආර්  ප්‍රේමදාස  මහතා ගේ  අනුදැනුම  යටතේ  ඔහුගේ වාහනයට  බෝම්බයක්  සවිකළ  බව  ප්‍රේමදාස විරෝධීන් එකළ ප්‍රචාරය  කළ  අතර එය සත්‍යයක් යැයි  පිළිගන්නා අය  තවමත් සිටිති.






                                                                                                                                                                      

  ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය  නැරඹීමෙන් අනතුරුව කරෙය්නගර් හරහා දිවයිනේ  හිස් මුදුනට  ගියෙමු . මාර්ගය දෙපස ජීවත්වුවේ බෙහෙවින්ම දිලින්දන්ය. ඔවුන්ගෙන් බහුතරය ධීවරයන්ය . ලාබයට  කරවල  මිලදී  ගත  හැකි  පොල් අතු  කඩ  කීපයක්ද දකින්නට  ලැබිණ කීරමින් කිලෝවක් රු. 250 ක්ද  කොඩුවා කිලෝවක් රු.   500 කටද   අලෙවි  කරනු  ලැබිණ . බෆල් සංගීතයට   ගිනි  මද්දහනයේ  නටන  තරුණ  කණ්ඩායම් දෙකක්ද අපි දුටුවෙමු. නටන්නේ මන්දැයි රියදුරු තිලක් කුමාර්ගෙන් විමසු විට  ඔහු  කීවේ පාස්කු  උත්සවය  නිසා  බවය.


දහවල් එක   පමණ වන  විට දඹ කොළ  පටුනට  පැමිණියෙමු .සංඝමිත්තා තෙරිණිය විසින් ශ්‍රී  මහා  බෝධි අංකුරය  රැගෙන  ලංකාවට පැමිණියේ  දඹකොළ  පටුන හරහාය. එය  ආගමික ස්ථානයක්  බවට  පරිවර්තනය කර  තිබෙන්නේ  නාවික  හමුදාව  විසින් බව  පෙනේ. දඹ කොළ  පටුනේ වෙළඳ සැල් දෙකක්ද , නවාතැන් සහිත  සුපිරි  හෝටලයක්ද  නාවික  හමුදාව විසින්  පවත්වාගෙන  යයි. දිනක් සඳහා  හෝටලයේ  කාමරයක් රු. 5500 කි. කෑම බීම සඳහා තවක් බිලක් ගෙවීමට එහි නවතින අයට සිදුවේ. නාවික  හමුදාව  විසින්  රු 15 කට අලෙවි  කරන දඹ කොළ  පටුනේ පින්තුර  කාඩ්  පත් ( picture postcard ) දෙකක්   මිලදී  ගෙන රු 10 මුද්දර  අලවා එහි  තිබෙන  තැපැල්  පෙට්ටියට  දැම්මේ  ලංකාවේ  තැපැල් සේවය කොපමණ වේගවත් දැයි සොයා  ගන්නා  ලෙස  එහි පුවරුවක සඳහන් කර  තිබු  නිසාය . ඉරිදා සවස එකට  පමණ  තැපැල්  කළ එම කාඩ්  පත් දෙකෙන් එකක් පැමිණියේ  බදාදා වූ අතර  අනික  පැමිණියේ  සිකුරාදාය .








දඹ කොළ  පටුන  පසු  කොට කිලෝ මීටර්  4 ක්  පමණ  ගිය විට හමුවන්නේ කීරමළේය.  බොහෝ සංචාරකයෝ එහි   යන්නේ මුහුද අද්දර  තිබෙන   සුප්‍රසිද්ධ පොකුණේ  නැමටය. මුහුද අද්දර  පොකුණ තිබුනද එහි  තිබෙන්නේ  මිරිදියය . එහි නෑමෙන් ලෙඩ දුක් සනීප වෙතැයි විශ්වාසයක් හින්දු භක්තිකයන් තුළ  පවතී . නාගුල  මුනි  නමැති තවුසෙක් එම  පොකුනේ ස්නානය  කිරීමෙන්  පසුව  ඔහුට  තිබු මුගටි මුහුණ  අතුරුදහන් වී  මිනිස්  මුහුණක් ලැබුණු  බව හින්දු භක්තිකයෝ  කියති . කාන්තාවන්ට   සහ  පිරිමින්ට  ස්නානය  කිරීම සඳහා  පොකුණ දෙකට  බෙදා  තිබන අතර එක් අයෙකුගෙන් රු.30 ක  මුදලක් අය කෙරේ.  අප  කණ්ඩායමද එහි  නෑමේ  අදහසින් ගියද  පොකුණු  බොරවී  තිබුණු  බැවින් අදහස අත්  හැරියෙමු.


 ඊට යාබදව  තිබෙන  නගුලේශ්වරන්  කෝවිල පැරණිම සහ  ප්‍රධානතම   කෝවිලක් වන අතර  ජුලි /අගෝස්තු වේදී ආගමික  උත්සවයක්  පවත්වනු  ලැබේ. 1621 දී  පෘතුගීසින් විසින් කෝවිල  විනාශ  කරනු  ලැබූ අතර පසු  කාලීනව  හින්දු  බැතිමතුන්   විසින් එය   යලි  ගොඩ  නගනු  ලැබීය.   පසුගිය යුධ  සමයේදී  ගුවන් හමුදාව  විසින් මෙම කෝවිලට බෝම්බ  හෙලු  බව  අවට සිටි  හින්දු  භක්තිකයන් කීප දෙනෙකු  මා සමග කීහ.. කොටි සංවිධානය විසින් කෝවිල  ඔවුන්ගේ  මධ්‍යස්ථානයක්  ලෙස  එය  යොදා  ගැනීම  නිසා එසේ බෝම්බ  හෙලන්නට ඇතැයි සිතීම  සාධාරණය.







           
                          ( ඉහත  චායාරුප අන්තර්  ජාලයෙන්  ලබා   ගන්නා   ලදී )

 කීරමලේට  මා  යන  විට  මගේ  පැරණි මිතුරෙකු වූ බාලචන්ද්‍රන් එහි  සිටියේ  මා  බලාපොරොත්තුවෙනි . මා  රැගෙන  ගිය  ආස්මී  පාර්සලය  ඔහු අත  තැබූ විට ඔහු තම ගෙවත්තෙන්  කඩාගෙන  ආ  කිලෝ දෙකකට වඩා  බරෙන් යුතු   ඉදුණු  මිදී  පාර්සලයක් මා අත  තැබුවේය. කලක් ලංකා  ගුරු සංගමයේ යාපනය  දිස්ත්‍රික් ලේකම් ලෙස  කටයුතු  කළේ  ඔහුය.   ඔහුගේ  නිවස  පිහිටි තෙලිප්පලේ විදක්පුරම්  ගම්මානය අඩි  ආරක්‍ෂිත කලාපයක් බවට  පත්  කිරීම නිසා වසර  විස්සක් ඔහුට සහ  ඔහුගේ  පවුලේ අයට  තැන  තැන ජීවත් වීමට සිදුවුයේ   යුධ අනාථයන්   ලෙසය.  එම  කාලය  තුළ  ඔහු සහ  ඔහුගේ  පවුලේ  අය 20  පොලක  ජීවත්වූ  බව මා  සමග  කීය .කාමර  5 කින් යුතුවූ  ඔහුගේ  නිවස  2010 දී  ඔහුට  ලැබෙන  විට  රූස්ස  ගස්  තුනක්  නිවස තුල තිබු  බව  බාලචන්ද්‍රන්  කීවේ  මහත්  කණගාටුවෙනි.   වන්දි වශයෙන් රු.ලක්ෂයක්  ආණ්ඩුවෙන්  ඔහුට දුන් නමුත් ගස්  ඉවත්  කොට    නිවාස  සහ ඉඩම සුද්ද බුද්ද  ගැනීමට  පමණක්  ලක්ෂ දෙකක්  වැයවූ  බව කීය.


එම  ඉරණම  ඔහුට  පමණක්  නොව එම  ගමේ පිහිටි තවත්  පවුල් 200  කට  මුහුණ  දීමට සිදුවී  තිබිණ . ඇතැමුන් නැවත  පදිංචියට  පැමිණෙමින් සිටියද   හරි හමං වන්දි  මුදලක් නොලැබීම  නිසා  නැවත  පදිංචි වීම දුෂ්කර  කටයුත්තක්  බවට  පත්ව  තිබේ. අලුතෙන් ගොඩ  නැගු නිවස වෙත  පැමිණෙන්නැයි ඔහු  ආරාධනා කළෙන් අපි සියල්ලෝම  කීරමලේ සිට  කිලෝමීටරයක් පමණ ඇතුලට  ගියෙමු. නිවස තුළ   ලක්ෂයකට අධික පොත් සහිත   පුස්තකාලයක් තිබිණ . පුස්තකාලය අයිති  කරු වුයේ  බාලචන්ද්‍රන්ගේ  මස්සිනාටය. ඔහු පේරාදෙණිය සරසවියේ  හිටපු  කථිකාචාර්ය වරයෙකි . සේවයෙන් විශ්‍රාම  ලබා   සිටින  ඔහු දැන් ගොවිතැන් කරයි.


"කොටි  ආයි  එයිද? " බාල චන්ද්‍රන්ගෙන් සහ ඔහුගේ  මස්සිනාගෙන් ඇසීමි.


 "කොටි නම් ආයි එන්නේ  නැහැ .යුද්ධේ නිසා මෙහෙ  මිනිස්සු හොඳටම  හාන්සි වෙලා  ඉන්නේ. මේ  ආණ්ඩුවට මිනිස්සු චන්දෙ  දුන්නේ ලොකු  බලාපොරොත්තු ඇතිව .ඒත්  ගිය  ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක්  නැහැ . මිනිස්සු  කල කිරිල ඉන්නේ."


" එතකොට ජේවීපී එක ගැන  මොකද්ද අදහස?"


" ඒ  ගොල්ලෝ පළාත් සභාවලටත් විරුද්ධ වෙච්ච් අයනේ . ජේවීපී එකට  නම්  දෙමල  මිනිස්සු කීයටවත්  චන්දෙ  දෙන්නේ  නැහැ " බාල චන්ද්රන්ගේ  මස්සිනා කීවේය .




(බාල චන්ද්‍රන්  සහ  ඔහුගේ  බිරිඳ වම් පසින් සිටින අතර  සරමක්  ඇඳ සිටින්නේ හිටපු  කථිකාචාර්ය වරයා ය )


තේ  පැන් සංග්‍රහයෙන් අනතුරුව  මා  සමග  පැමිණි  මගේ  මිතුරන් සහ  ඔවුන්ගේ දරුවන් බාලචන්ද්‍රන් ඇතුළු එම  නිවසේ  වැඩිහියනට වැඳ සමුගත් අතර   කන්දරෝඩෙයි  යනුවෙන් දෙමළෙන්ද කදුරුගොඩ  නමැති සිංහලෙන් හඳුන්වන  බවුද්ධ සිද්ධස්ථානයක් චුන්නාකම්  හී  තිබෙන  බවත් සඳහන්  කළ  බාලචන්ද්‍රන් එය පෙන්වීම සඳහා අප  සමග  පැමිණියේය .


කදුරුගොඩ  පන්සල ආසන්නයට  පැමිණියද එය  තිබෙන  ස්ථානය සොයාගැනීම අසීරුවූ  හෙයින් පන්තියකට යමින් හෝ එමින් සිටි ළමුන් පිරිසකගෙන් විමසුවෙමු . තිබෙන ස්ථානය  පෙන්වීමට සියලුම  ළමුන්  උනන්දු වූ අතර එක  ළමයෙකු ඔහුගේ  බයිසිකලයේ  නැගී  අපේ වැන් රථයට  ඉදිරියෙන්  පදවාගෙන  ගොස් එම ස්ථානය පෙන්වූයේය .


කදුරුගොඩ විහාරය  පුරාණ බවුද්ධ සිධස්ථානයකි .අනුරාධපුර  යුගයට  අයත් කව්තුක  වස්තුන් එහි තිබී  හමුවී තිබේ.. දෙමල  බෞද්ධයන් එකළ එහි සිටි  බවට  සැකයක්  නැත. වෙනත්  ස්ථානයක දැකිය  නොහැකි ආකාරයෙන් නිර්මිත කුඩා  චයිත්‍ය රැසක් එහිදී දැක  ගත  හැකිය. එම චෛත්‍ය වලට  දේවතා  කොටු නොමැති වීම  විශේෂත්වයකි. පුන්කුඩු දිවයිනේ විසු  රහතන් වහන්සේලා 60  නමකගේ  ධාතුන්  මෙහි තැන්පත්  කළ   බවට  විශ්වාසයක්  පවතී. අද  මෙම ස්ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව  භාරයේ  තිබෙන නමුත්   හමුදා අණසක යටතේ  එය තබා  ගැනීමට  කටයුතු කර  තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ  මුර කරුවෙකුද   සිවිල්   ඇඳුමෙන් සැරසුණු  යුද්ධ භටයෙකුද  අප  යන විට එහි සිටියහ.  එම ස්ථානය පිළිබඳව සිංහල  බසින් පමණක් ලියන ලද  විස්තරයක් සහිත  පුවරුවක්  එහි  ප්‍රදර්ශනය  කෙරුණු අතර එය ලියා තිබුණේ දෙමල  මිනිසුන් පිළිබඳව  වෛරයක් ඇතිවන  අයුරිණි. යාපනය  ප්‍රදේශයේ සංචාරය  කොට  දෙමල මිනිසුන් පිළිබඳව  සිංහල  මිනිසුන් තුළ ඇති වන  මිත්‍රත්වය කීතු  කීතු  කිරීමේ අදහසින් එම  පුවරුව ප්‍රදර්ශනය කරන්නේ  හමුදාවේ    නිලධාරියෙකුගේ  නියෝගයක් මත  බවට  සැකයක්  නැත. මෙය ඉවත් කිරීමට කටයුතු කිරීම  ආණ්ඩුවේ  වගකීමකි.





බාලචන්ද්රන්ට ආයුබෝවන්  කිව් අපි යාපනයේ දෙසට ඒමට  හැරුනෙමු . කන්කසන්තුරේ  -යාපනය  පාරේ චුන්නාකම්  හී  ඉදිකර  තිබු  හනුමන්ගේ දැවැන්ත  ප්‍රතිමාවක් දැක  වාහනය නතර  කරවා  ගත්තෙමු මරුතනාර් මඩම් අන්ජාන් අය්යර්  කෝවිල අසල  ඉදිකර  තිබෙන එම  ප්‍රතිමාව අඩි 72ක්  උසය. නරඹන්නා තුළ කුතුහලයත්  විෂ්මයත්  ජනිත  කරන එවැනි  ප්‍රතිමාවක් අපේ දුපතේ  කොතනකවත්  නොමැත.




 මඳ වෙලාවක් එහි  ගත  කළ අපගේ  ඒ ළඟ නැවතුම් පොළ වුයේ  යාපනයේ  ප්‍රධාන  කෝවිල වන නල්ලුර්  කෝවිලය. සවස  6.30 ට  කෝවිල වසන  බැවින් ඉක්මන් කර අපි එතනට සේන්දු වූයෙමු 


යාපනය  නගරයට  ආසන්න නල්ලුර් ප්‍රදේශයේ පිහිටි නල්ලුර් කන්දස්වාමි කෝවිල ක්‍රි ව. 948  පළමු වරට ඉදිකළ බව දෙමල සාහිත්‍යයේ  සඳහන් වේ. සිංහලයන්  කතරගම දෙවියන්  ලෙස  හඳුන්වන   කන්දස්වාමි හෙවත්   මුරුගන්  දෙවියන්    වෙනුවෙන්  ඉදිකර ඇති මෙම  කෝවිල 13 වන ශත වර්ෂයේදී කෝට්ටේ භුවනෙක  බාහු  රජුගේ යාපනයේ  පාලකයා  විසින් සංවර්ධනය  කර  තිබේ. එකල  යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන  නගරය වුයේ  නල්ලුර් ය .     අද පවතින කෝවිල යලි සංවර්ධනය  කර ඇත්තේ ලන්දේසි සමයේ රජයේ  නිලධාරියෙකු වූ  රඝුනාත මාපාන මුද්ලියර් විසිනි

 

නල්ලුර්  කෝවිල්   උත්සවය  දින 25 ක් තිස්සේ   සෑම වසරකම   පැවැත්වෙන අතර දස දහස්  ගණන් යාපනයේ  ජනයා එයට උනන්දුවෙන් සහභාගිවෙති . යාපනයේ  සංචාරය  කරන  සිංහල  මිනිසුන්ද නොවරදවාම  නල්ලුර්  කෝවිල    නරඹන සහ  පුදන  ස්ථානයක්  බවට  පත්ව  තිබේන්නේ කුමන දෙවියෙකුගෙන්  හෝ පිහිටක්  ලබා  ගැනීමට ඔවුහු  එක  හෙලා සුදානම්  නිසා විය  හැකිය..





                     ( නල්ලුර් කෝවිල අසල සැන්දෑ කාලය  )



යාපන අර්ධද්වීපයේ  දින දෙකක  කාලයක්  සංචාරය  කළ   නමුත්  යුද්ධයක  සලකුණු දැකීම අසීරු විය . වෙඩි උණ්ඩ වැදුණු නටබුන් වූ ගොඩනැගිල්ලක්  දැකිය  හැකි වුයේ කීරමලේදී  පමණි. කොටි සංවිධානය යටතේ තිබු  යාපනය  චන්ද්‍රිකා  බණ්ඩාරනායක  විසින් 1995 දී  ආණ්ඩුවේ  පාලනය  යටතට  ගැනීම නිසා ගැටුම් අඩු වීම  එයට  හේතුව  විය  යුතුය . යාපනයේ වැසියන් සිංහලයන් දෙස  බලන්නේ මිත්‍රශීලීවය. සිංහලයන්  යාපනයට  යන  තරමට ඔවුන්ගේ  ආර්ථිකය ශක්තිමත් වන  බව  යාපන වැසියා  දනී.  එහි මිනිසුන් සමග කළ  කතා  බහ අනුව කොටි සංවිධානයට  යලි  හිස එසවීමට යාපනේ ජනයාගෙන්  කිසිදු  සහයක් නොලැබෙන  බව  පැහැදිලිය. 2002  සාම  ගිවිසුම  නිසා  මහත්  බලාපොරොත්තු ඇතිකරගත් ද්‍රවිඪ  ජනයා   නැවතත් යුද්ධයක් ඇරඹීමට  කොටි සංවිධානය  සුදානම් වීම නොයිවසු  බව තමලනි ලිවූ 'තියුණු අසිපතක සෙවන  යට ' කෘතියේ සඳහන්  කර  තිබේ. 2009 දී  ප්‍රභාකරන්  පැරදීමට මග  පෑ එක්  ප්‍රබල  හේතුවක්  වුයේ දෙමල   ජනයාගේ සහය ඔවුන්ට  නොලැබීමය.


යාපනයේ  මිනිසුන් තරමක අස්වැසිල්ලකින් ජීවත්   වුවද  අන් ප්‍රදේශවල මිනිසුන් බොහෝ දෙනෙකු මහත් දුක් කන්දරාවක්  විඳින  බවට  සැකයක් නැත . අතුරුදහන් වී සිටින දරුවන් , සැමියන් සහෝදර සහෝදරියන් ඉල්ලමින්  ඔවුහු දස දෙස  දුවති. ඉන්නට  හිටින්නට  තැනක්  නැත්තන්  බොහෝය . ඇතැමෙකුගේ  ඉඩම් කඩම් තවමත් හමුදාව  යටතේය. සංවර්ධනයක් නොමැති  බැවින් රැකියා විරහිත  භාවය වන්නියේ  උග්‍රය .



යාපනයේ  සංචාරය  කිරීමට  ඔබ අපේක්ෂා  කරන්නේ  නම්  අවම වශයෙන් පුරා දින දෙකවත් එහි  ගත කිරීම අවශ්‍ය වේ . එසේ  නොකොට  යාපනය සහ එහි  ජනයා   ගැන   අවබෝධයක්  ලබා ගත  නොහැක. සංචාරය සුප්‍රසිද්ධ  ස්ථානවලට සීමා  නොකොට  යාපනේ වැසියන්ගේ  ගම් වලටද  ගොස්  ඔවුන් හා  කතා  බස් කළහොත්  ඔවුන් ඉතා  යහපත්  මිනිසුන් බව  ඔබට අවබෝධ වනු   නියතය. 







බෙල්ල යන සයිටම් ගෝරිය

                   කොල්ලෝ  මෙන්ම  කෙල්ලන්ද ආවේග ශීලිය . . එමෙන්ම  ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ  කම  නිසා   ගෝර...