Skip to main content

ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?




    

යහපාලන ආණ්ඩුවට චන්දය  දුන් කවුරුත් පාහේ   මේ දවස්වල  ඉන්නේ  තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය .  කුමන වින්නැහියක්  වෙන්නට  යන්නේදැයි  හිතා  ගැනීමටත්  නොහැකිවය .


මෛත්‍රී  +UNP  ආණ්ඩුව වෙනුවට  මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද? 


නැතහොත්  UNP+ TNA  ආණ්ඩුවක් පැමිණේද? 


ජනවාරි 8  පොරොන්දු  මෛත්‍රී  පොළොවේ  ගසා  කුඩුපට්ටම් කරාවිද ? 


නව ව්‍යවස්ථාව  ඉපදීමටත්  පෙර අවසන් ගමන් යාවිද? 


හොරු ඇල්ලීමේ  පොරොන්දු  අපි පුංචිකාලයේ  සුන්දර  ලෝකයකට  ගෙන  ගිය   සුරංගනා  කතාවක්  බවට  පමණක්  පත්වේද ? 


කොටින්ම  62 ලක්ෂයක්  ජනතාවට  මෛත්‍රී  කොකා  පෙන්නාවිද?




යහපාලනයට  චන්දය  දුන් බහුතරයක්  මිනිස්සුන්ට  මේ දිනවල සිතන්නට බළකොට  තිබෙන්නේ එවැනි ප්‍රශ්න  ගැනය . ජනවාරි  8  දා  හැට දෙලක්ෂයක්  මිනිස්සු මෛත්‍රීට   චන්දය  දුන්නේ  මහත් බලාපොරොත්තු ඇතිව  බව  අමුතුවෙන් කිව  යුතු නොවේ.  එහෙත් දුන් පොරොන්දු වලින්  ආණ්ඩුව  තවමත්  ඉටු කර  ඇත්තේ කීපයක් පමණි. ඇතැම් ඒවා  ඉටු කළේ එතරම්ම  උනන්දුවකින්ද  නොවේ.


මයිත්‍රී +UNP  හවුල හෙල්ලෙන්නට  පටන් ගත්තේ බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හොරකම එළිවෙන්නට වූ විටය .රවී  කරුණානායක මහා  පරිමාණ  ගැහිල්ලක් කරන්නට  ඉහලින්ම සම්මාදම් වී  තිබෙන  බව කියන්නට ආර්ථික  විශේෂඥ දැනුමක් අවශ්‍ය  නැත.  බැඳුම්කර මිලදී  ගැනීම  සඳහා  අඩු ලන්සු තබන්නට  කියා ආණ්ඩුවේ  බැංකුවලට රවී විසින්  උපදෙස් දී  තිබීම  පමණක් ප්‍රමාණවත්ය  . රනිල්  විසින් තව දුරටත් රවී කරුණානායක  UNP යේ  තබා  ගනිමින්  ඔහුට වගකීම්  පවරා  තිබීම  පැහැදිලි කරන්නේ බැඳුම්කර  ගැහිල්ලට එක්සත් ජාතික  පක්ෂයේ  නොමඳ ආශිර්වාදය  ලැබුණු  බව  මිස  වෙන  කුමක්ද?


එක්සත් ජාතික  පක්ෂයේ  ලොක්කන් අවංක  නම්   කළයුතුව  තිබුණේ  රවී  කරුණානායක සහ  හිටපු මහබැංකු ලොක්කාව  තව දුරටත්  හුරතල් කිරීම නොවේ. රවී  පක්ෂයෙන් දොට්ට  දැමීම සහ රනිල් දුන් උපදේශක   තනතුරෙන්  මහේන්ද්‍රන්ව අස් කර දැමීමය .එය නොකර  මෛත්‍රීට  බැන වැදීමෙන් සිද්ධ වන්නේ   හොරකම  ඔප්පු වීමත්  විරසකය  තව  දුරටත් උග්‍ර වීමය. එහි කෙලවර  කුමක් වේ දැයි  කීම  පහසු නැත .එහෙත් එකක් පැහැදිලිය.  මණ්ඩලේ කචල් කරගෙන  පොරොන්දු ඉටු කරන්නට  හැකි වන්නේ  නැත එවිට  මහජනයා  ඉදිරියේ  වැඩියෙන් පච වන්නේ එක්සත් ජාතික  පක්ෂයය . යලිත් බොහෝ කාලයකට  මැතිවරණයක් දිනා  ගැනීමට එයට  හැකි වන්නේ  නැත .


මෛත්‍රී විසින් වෙනදාට වැඩියෙන්  සද්දය  දාන්නේ  නිකම්ම නිකම්  නොවේ.එය  තේරුම් ගැනීමට එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයන්ට  නොහැකි  වී  තිබේ . ඉදිරියේ  පැවැත්වෙන  පලාත්පාලන  මැතිවරණයේදී තමන්ගේ  ශක්තිය වැඩි කරගැනීම  මෛත්‍රීට අත්‍යවශ්‍යය . මැතිවරණයෙන්  ඔහුගේ අපේක්ෂකයන් විශාල වශයෙන් පරාජයට  පත්වුවහොත් මේ මොහොතේ ඔහුට   සහය  දෙන  ශිලංකා  ඇමතිවරු   ආණ්ඩුවෙන් ඉල්ලා  අස්වී මහින්ද සමග එකතු වීමට  බෙහෙවින් ඉඩ තිබේ.  එබැවින්  එක්සත් ජාතික  පක්ෂයට දිගින්  දිගට  බැන වැදීමෙන් ශ්‍රී ලංකා  කාරයන්  තමන් වෙත  ඇද ගැනීමට   ඔහුට අත්‍යවශ්‍යය .  යුඑන්පි  කාරයන්ට   කනේ ඇඟිලි  ගසා  ගැනීමට  හොඳවායින්  හත  අටක්  කිව්  ශ්‍රීලංකා  කාරයන් චුන් වී  ඔහුගේ  අපේක්ෂයකයන්ට  චන්ද දෙනු ඇතැයි    ඔහු ගණන්  බලා ඇති බවට සැකයක් නැත. මෛත්‍රීට  පක්ෂය තුල ශක්තිමත්  අධිකාරිත්වයක්    තබා  ගැනීමට  නම් එක්කෝ  මහින්ද  පිල සමග  චන්දයේදී  හවුලක් හදා ගෙන  තමන්ට  පක්ෂපාත  මන්ත්‍රීවරු  සෑහෙන  ප්‍රමාණයක්  ජයග්‍රහණය  කරවා  ගත  යුතුය  එය  ඉටු නොවෙන්නේ  නම්  UNP යට පස් පඩංගුවේ   බැන වදිමින් ශ්‍රී ලංකා  චන්ද  තමන්ගේ අපේක්ෂයන්ට  ලබා  ගැනීමට  උත්සාහ  කළ යුතුය . මහින්ද  ඇතුළු  ඔහුගේ  පිලේ  බොහෝ අය  ජනාධිපතිවරයා  වර්ණනා  කිරීමට දැන් සිටම අරඹා  තිබීම  මෛත්රිගේ  උපක්‍රමයේ  සාර්ථකත්වය  පෙන්නීමක්  ලෙස  සැලකිය  හැක 


කෙසේ වෙතත්  මෛත්රිගේ  දේශපාලන   උපක්‍රම  රනිල් තේරුම් ගෙන තිබෙනවාට සැකයක් නැත. එබැවින් ඇතිවී තිබෙන  නොහොඳ  නෝක්කාඩුව  උග්‍ර වීමට  ඔහු ඉඩ  නොදෙනු ඇත. මෛත්රිගේ සහය  නොමැතිව  රනිල්ට ආණ්ඩුවක් පවත්වාගැනීම  පහසු නැත .TNA සහය  ලබාගෙන  ආණ්ඩුවක්  හදන  බවට ඇතැම් UNP  කාරයන්  කරන  ප්‍රකාශ  කරන්නේ  එක්කෝ ගොන් කමටය . එක්කෝ  තමන්ගේ  මිනිසුන් රඳවා  ගැනීමට සහ  පාක්ෂිකයන්ගේ  මොරාල් එක  ඉහලින් තබා  ගැනීමටය. 


 දෙමල  ජාතික සන්ධානය ආණ්ඩුවක  කොටස්  කාරයන් වීමට  මේ අවස්ථාවේ  සුදානම් යයි සිතීමට  කිසිදු කාරනාවක් නොමැත . එය  විවිධ  මත දරන  පක්ෂවල සන්ධානයකි . ඔවුන් අතර විවිධ ආරවුල්  තිබේ.  ආණ්ඩු කරන්නට  ගොස්  ඉගෙනගත්  කටුක  පාඩම්  ඔවුන් අමතක  කර  ඇතැයි සිතිය  නොහැක .  1965 බලයට  පත්  ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවට ෆෙඩරල් පක්ෂය  හවුල් වුයේ   තමන්ගේ  ඉල්ලීම් ලබා දෙන  බවට   ඩඩ්ලි සේනානායක  මහතා  පොරොන්දු වීම නිසාය. එහෙත් ඩඩ්ලි ඒ  පොරොන්දුව  කඩා  දැමීම නිසා ෆෙඩරල් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය . ආණ්ඩුවකට  හවුල් වීමෙන් සිදුවන්නේ  දෙමල  ජනයා අතර  TNA  සංවිධානය අප්‍රසාදයට  පත්වීම  පමණක් නොව සම්බන්ධන්ලාට එරෙහිව උතුරු නැගෙනහිර  රැඩිකල්  බලවේග ශක්තිමත් වීම  බව   අපට වඩා දන්නේ  ඔවුන්ය .


TNA විපක්ෂයේ  සිටිමින් මේ ආණ්ඩුවට සහය දෙන්නේ  ප්‍රධාන වශයෙන්ම  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හරහා දෙමල  ජනයට  බියෙන් සැකෙන්  තොරව  ජීවත්වීමට අවශ්‍ය  පසුබිම  නිර්මාණය  කර  ගැනීමටය . UNP+ TNA ආණ්ඩුවක්  හරහා  නව ව්‍යවස්ථාවක් හදා  ගන්නට  පුළුවන් කමක් නැත. ඒ සඳහා  මෛත්රිගේ  ශ්‍රීලනිපයේ මෙන්ම  මහින්දගේ  කණ්ඩායමේද  සහය අවශ්‍ය වේ. UNP+ TNA ආණ්ඩුවක් හදාගැනීමට දායක වීම තුලින් වෙන්නේ  ඔවුන්ගේ අපේක්ෂා  සුනු විසුනු වීම  පමණි.  එබැවින් ආණ්ඩුවක කොටස්  කාරයන් වීමට TNA   ඉදිරිපත් වේයැයි  සිතීමට  තරම් කාරණා  නැත  .


UNP  කාරයන්  ස්ථිර  ලෙස විරසක  කරගැනීමෙන් සිදුවන්නේ තමන් දේශපාලන  කාන්තාරයක  හුදෙකලා වීම  බව  වටහා  ගැනීමට  නොහැකි  තරමට  මෛත්‍රී මන්ධ  බුද්ධිකයෙකු බව  සිතීමට   හේතු නැත . මෛත්‍රී නොමැතිව  UNP යටද අනාගතයක් නැති බව නොදැනීමට  තරම්ම  රනිල්   දේශපාලන  මෝඩයෙක් නොවේ. එබැවින් රනිල් සහ මෛත්‍රී  යහපාලන ආණ්ඩුව  කඩා වැටීම වැලක්වීමට අවශ්‍ය සියල්ල  කරන  බවට  සැකයක් නැත .


  එහෙත්  පළාත් පාලන චන්දය  අවසන්වන  තුරු   මේ දෙගොල්ලන්  එකිනෙකාට  චීන  පටස්  පමණක් නොව දුම්  බෝම්බද  දමා  ගසනු ඇත 


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...