මගේ සිංහල යාලුවෙක් ඇමරිකාවේ සිටී .ඔහු PhD. උපාධියක් ඇත්තෙකි විෂය කෘෂිකර්මයයි ලංකාවට ආවිට විස්කි වීදුරුවක් දෙකක් හිස්කිරීමටද ඔහු මට ආරාධනා කරයි ඇතැම් වසරක බෝතලයක්ද දෙයි .
වරක් ඔහු ලංකාවට ආ විට කී කරුණක් මගේ හිතේ දැන් වැඩියෙන් රැව් පිළිරැව් දෙයි "බර්ටි ,ගොවියන්ට නොමිලේම පෝර දෙනවනම් තවත් හොඳයි . මුන්ට මේක තේරෙන්නේ නැහැනේ . එතකොට මිනිස්සු වවනවා .වැව්වාම ආහාර සුලබ වෙනවා මිලත් බහිනවා . "
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවූ විට ඔහු මහත්සේ සතුටු විය ගෝටාභය යනු නිකම් පුඟුලෙක් නොව රට බේරා ගැනීමට පහලවූ නීලමහා යෝධයෙකු, සේ ඔහුට පෙනුනේය .
රසායනික පොහොර ආනයනය නවත්වා කාබනික පොහොර නාඩගම ගොටාභය මහතා විසින් නටන්නට පටන් ගත් පසු ඒ ගැන මගේ මිත්‍රයාගේ මතය කුමක්දැයි දුරකතනයෙන් විමසීමි .
ඔහු ගත් කටටම කීවේ "ගොන් තීරණයක් " කියාය .
"ඇයි ගොන් තීරණයක් කියන්නේ ?" මම ඇසීමි.
"දැන් තියෙන බීජ වර්ග හදල තියෙන්නේ රසායනික පොහොරවලට .හරියන විදිහට කාබනික පෝර වලට නෙවෙයි කාබනික පෝර හොඳයි අවුරුදු 50 කට විතර ඉස්සර තිබුණු වී වර්ග වලට නම් . දැන් තිබෙන වැඩි දියුණු කරපු බීජ වර්ග හිටවල කාබනික පොහොර දැම්මොත් අස්වැන්න අන්තිමට අඩු වෙනවා"
"ඉතින් ?"
. "වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් බීජ වර්ග නිෂ්පාදනය කරේ කෘෂි විද්‍යාඥයන්ට කාල තෙල වැඩිවෙලා නෙවෙයි . රටේ ලෝකේ ජනගහනය වැඩි වෙනකොට වැඩි අස්වැන්නක් ලැබෙන බීජ නොතිබුනොත් ලෝකයෙන් හතරෙන් තුනක් බඩගින්නේ මැරෙන නිසා " මගේ මිත්‍ර කෘෂි විද්‍යාඥයාකීවේය .
රටපුරා ගොවියන් විසින් මාස ගණනක් තිස්සේ නොකඩවා දක්වන ලද මහා විරෝධය හේතු කොට ගෙන අවසානයේදී කාබනික නාඩගම අවසන් කරන්නට ජනාධිපතිවරයාට සිදුවිය රසායනික පොහොර ,කෘමි නාශක , වල් නාශක, දිලීර නාශක ආනයනය කරන්නට පෞද්ගලික අංශයට ඉඩ දෙන බව නොවැම්බර 24 වෙනිදා ආණ්ඩුව නිවේදනය කළේය .
එහෙත් රසායනික පොහොර සඳහා කලින් ලබා දුන් පොහොර සහනාධාරය මින් පසු ලබා නොදෙන බව ජනාධිපතිවරයා කිවේය.
පොහොර සහනාධාරය නොදුන්නොත් වෙන්නේ කුමක්ද ?
දැන් ලැබෙන ආරංචි හැටියට ආනයනය කරන රසායනික පොහොර වල මිල ඉතා අධික වෙනු ඇත . පිටරටවල පොහොර මිල ඉහල නොගියත් රුපියල බරපතල ලෙස කඩා වැටි තිබීම නිසා පිටරටින් ගෙන්නන හැම බඩුවක ම මිල වැඩිය . .පුද්ගලික සමාගම් පමණක් රසායනික පොහොර ගෙන්වන බැවින් මිල තවත් වැඩිවනු නිසැකය .
කෘෂිකාර්මික රටක් වන අපේ රටේ කෘෂිකර්මයේ යෙදෙන අති බහුතරය දුප්පතුන්ය. ගිනිගණන් දී පොහොර මිලදී ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. වෙනද මෙන් නොව අධි උද්ධමනයක් තිබෙන මේ කාලයේ වැඩි මිලක් ගෙවා පොහොර, කෘමි නාශක , වල් නාශක ,දිලීර නාශක අපේ රටේ ගොවියනට මිලදී ගැනීමට නොහැක.
එහි ප්‍රතිඵලය කුමක්ද ?
අස්වැන්න විශාල වශයෙන් අඩුවීමය .
අඩුවන්නේ දේශීය පරිභෝජනය සඳහා වන වී, පොල් ආදියේ අස්වැන්න පමණක් නොවේ රටට ඩොලර් ගෙනත් දෙන තේ, කුරුඳු, ගම්මිරිස් ආදී වගාවන්ගේ අස්වැන්නද 75%ක් අඩුවෙනු ඇත. .
වී, පොල් ආදියේ අස්වැන්න අඩුවූ විට ඒවා ආනයනය කරන්නට සිදුවේ . ආනයනය කරන්නට නම් ඩොලර් තිබිය යුතුය ඩොලර් උපයා දෙන තේ ,කුරුදු ගම්මිරිස් ආදියේ නිෂ්පාදනයද අඩුවී ඇති බැවින් හාල් පොල් ආනයනය කරන්නට ඩොලර් කොහෙන්ද ? මීට වගකිවයුතු අය මැදමුලනෙන් ඩොලර් ගෙනත් දෙන්නේ නම් ප්‍රශ්නයක් නැත .
වී ගොවිතැන සඳහා සහනාධාර දීම මේ රටේ ඇරඹුණේ 1962 සිටය. එකල ඇරඹුණු හරිත විප්ලවය (GREEN REVOLUTION ) සමයේ වැඩි අස්වැන්නක් උපදවන නව වී වර්ග හඳුන්වා දුන් අතර ඒ සඳහා රසායනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවියන් පෙළඹ වීමේ අරමුණෙන් පොහොර සහනාධාරය හඳුන්වා දෙනු ලැබිය ,මේ සහනාධාර ක්‍රමය 1989 දක්වා ක්‍රියාත්මක වූ අතර 1990-94 කාලයේ අත් හිටවන ලද නමුත් 1995 සිට යලි ක්‍රියාත්මක කරන ලදී..
පසුව ආණ්ඩු අනෙකුත් වගාවන් සඳහාද පොහොර සහනාධාරය පුළුල් කළෝය.ඊට හේතු අමුතුවෙන් කිවයුතු නැත ,තේ ,කුරුඳු ගම්මිරිස් ආදියෙන් අප රටට ලැබෙන රට සල්ලි අපට නැතිවම බැරි නිසාය අපේ රටේ නිපදවන කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු සේ සැලකේ ..කුරුඳු වැඩිවැඩියෙන් නිෂ්පාදනය කළහොත් උපයාගත හැකි ඩොලර් ප්‍රමාණයද වැඩිවෙන බවට කිසිදු සැකයක් නැත
ආණ්ඩු ,වී වගාව ට දෙන සහනාධාරය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැයකලේ ඇයි ? මේ රටේ වැසියන්ගේ ප්‍රධාන ආහාරය බත් නිසාය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2007 නිකුත් කළ වාර්තාවට අනුව මේ රටේ එක වැසියෙක් වසරකට හාල් කිලෝ 101.13ක් පරිභෝජනය කරයි .
ආහාර සුරක්ෂිත තාවය හෙවත් FOOD SECURITY යන්න අද නිතර භාවිතාවන වචන දෙකකි . සාමාන්‍යයෙන් අපේ රටේ අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් 96%ක් අපට මෙතෙක් නිපදවා ගත හැකි වීම නිසා ආහාර සුරක්ෂිතතාවය හෙවත් ලුනුයි බතුයි හෝ කන්නට හාල් තිබුනේය .
පොහොර සහනාධාරය .නතර කළ විට වන්නේ හාල් නිෂ්පාදනය 2/3ක් පල්ලම් බැසීම හෙවත් ආහර සුරක්ෂිතතාවය අහෝසිවී යාමය එවැනි පසුබිමක් තිබියදී කලාපිය යුද්ධයක් හෝ චීන ඇමරිකානු මහා යුද්ධයක් නිසා හෝ දේශගුණ විපර්යාස නිසා හෝ ලෝකයේ ආහාර නිෂ්පාදනය පහල බැස්සොත් අපිට සිද්දවෙන්නේ හාල් පාන්පිටි පරිප්පු ආදිය අඟහරු ලෝකයෙන් හෝ හඳෙන් හෝ ආනයනය කරන්නටය . එහෙත් නොතිබුනොත් අපිට සිදුවන්නේ කබ්රාල් අච්චු ගැසූ රු.1000 නෝට්ටු කන්නටය , අවුරුද්දක හමාරක් කන්නට වුවත් සැහෙන නෝට්ටු ප්‍රමාණයක් මේ ආණ්ඩුව බලයට ආපසු අච්චු ගැසූ බව කවුරුත් පාහේ දනිති .
කෘෂිකර්මය සඳහා සහනාධාර ලබා දීම මේ ආණ්ඩුව නතර කළ නමුත් ලෝකයේ බොහෝ රටවල් ඊට සහනාධාර දෙති සහනාධාර නොදෙන රටක් ලෙස වාර්තාවන්නේ නවසීලන්තය පමණි .
ලෝකයේ රටවල් කෘෂිකර්මය සඳහා විශාල ලෙස සහනාධාර සඳහා විශාල ලෙස මුදල් වැයකරන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර සුරක්ෂිතාවය අත්‍යවශ්‍ය නිසාය . සහනාධාර දෙන අනෙක් හේතුවන්නේ කෘෂිකර්මය කාලගුණය, දේශගුණය මත රඳා පවතින කර්මාන්තයක් නිසාය ..කාල ගුණ වෙනස් කම් නිසා අස්වැන්න අඩුවීමට හේතුවිය හැකිය එමෙන්ම ස්වාභාවික විපත් නිසා වගාවන් නැත්තටම නැතිවීමට ඉඩ තිබේ .එවැනි හේතු නිසා ගොවියන් ගොවිතැනෙන් ඈත්වීම වළක්වන්නට නම් ඔවුන්ට සිදුවන පාඩු වලට වන්දි ගෙවිය යුතුය. වන්දි ගෙවීම කෘෂිකර්මයට දෙන සහනාධාරයකි
Hinrich Foundation විසින් දක්වා ඇති 2020 වාර්තාවකට අනුව ආර්ථික සහයෝගය සහ සංවර්ධනය සඳහා වන සංවිධානයට ( OECD) අයත් ඔස්ට්‍රේලියාව , කැනඩාව ඩෙන්මාර්කය ජර්මනිය ප්‍රංශය ඇතුළු රටවල් සහ යුරෝපා සංගමයේ රටවල් 54 ක් වාර්ෂිකව ඩොලර් බිලියන 700කට වඩා සහනාධාර කෘෂිකර්මය වෙනුවෙන් වැය කරති .
පොදුවේ ලෝකයේ රටවල් කෘෂි සහනාධාර සඳහා `12%ක් වෙන් කරන බව තව දුරටත් එම වාර්තාවේ සඳහන්වන අතර චීනය ඉන්දුනීසියාව කොරියාව සහ යුරෝපා රටවල් 12%ටත් වඩා වැය කරන බව එම වාර්තාවේ සඳහන් වේ .
පහත දැක්වෙන්නේ ඇමරිකාව ජපානය ස්විට්සර්ලන්තය, ඊශ්‍රායලය වැනි පොහොසත්රටවල් කීපයක් සහ පොහොසත් නොවන ඉන්දුනීසියාව සහ පිලිපීනය කෘෂිකර්මය සඳහා සහනාධාර ලබා දීම වෙනුවෙන් 2019 වසරේ මුදල් වැය කළ ආකාරයයි .
කෘෂිකර්මයට බොහෝ කාලයක් තිස්සේ ලබා දුන් සහනාධාර ගෝටාභය ආණ්ඩුව විසින් නැවත්වීම නිසා සිදුවිය හැකි ප්‍රතිඵල දෙකක් මට පෙනේ
.එක රාජපක්ෂලා ලංකා දේශපාලනයෙන් අතුගෑවී යාමය
දෙක රටවැසියන්ගෙන් අති බහුතරයකට බඩගින්නේ සිටීමට සිදුවීමය
P.Bertie Ranaweerage
26-11-2-21
Comments