Skip to main content

ලේ හලන කුමන්ත්‍රණයක් අත ළඟ



බෝම්බ  කතා , උල තැබීමේ  කතා,   වෙඩි උණ්ඩ  බැස්සවීමේ  කතා  යලි ඇරඹි  තිබේ. ඒ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්  පෙනී සිටින්නන්  තොග  පිටින්  මරා දැමීමටය . එහෙත් තවමත්  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්  කෙටුම්පත්  කර  නැත .පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යවස්තාවක් සකස්  කිරීම සදහා මන්ත්‍රී කමිටු සකස්  කළ යෝජනා ඇතුලත්   වාර්තාවක්  පමණි .එහෙත්  ඇතැම්  භික්ෂු පිරිසක් විසින්  සිවුරු කරට  ගෙන රට  පුරා  ගිනි ඇවිලවීමට   පටන්ගෙන ඇත.


 භික්ෂුන්ගේ මේ  හැසිරීම අලුත් දෙයක් නොවේ.1957 සිටම  ලංකාවේ අන්තගාමී  භික්ෂුන් විසින් මේ ඛේදවාචි  නාටකය  රඟපා  තිබේ. බණ්ඩාරනායක  මහතා 1957  චෙල්වනායගම් සමග  ගිවිසුමක් අත්සන් කොට උතුරේ  සහ  නැගෙනහිර  ප්‍රදේශවල  පළාත්  බද සභා (Regional Councils ) පිහිටුවීම සඳහා උත්සහ  කළ අවස්ථාවේද භික්ෂුන්  හැසිරුනේ  මෙලෙසමය . රොස්මිඩ් පෙදෙසට  පැමිණි 100  පමණ  භික්ෂු පිරිසක්  ගිවිසුම  ඉරා දමන  ලෙස  බණ්ඩාරනායක  මහතාට  බලකළහ .මොලයක් තිබුණත් කොන්දක් නොතිබුණු බණ්ඩාරනායක  මහතා ඔවුන් ඉදිරියේ  ගිවිසුම  ඉරා දමා  ගිවිසුම  ක්‍රියාත්මක  නොකරන  බවට  ලිඛිත  පොරොන්දුවක්ද  පැමිණ සිටි භික්ෂුන්ට දුන්නේය .එහෙත් බණ්ඩාරනායක  මහතා ගිවිසුම  ඉරාදැමීමට පෙර  මෙසේ  කිය.


" ඔබ වහන්සේලාට  උවමනානම් මේ ගිවිසුම මා ස්ථිර ලෙසම ඉරා  දමන්නම්. එහෙත් මෙයින් සිද්ධ වෙන්නේ  රටේ අනාගතය   ව්‍යසනයකට  පත්වීමයි. ඔබ වහන්සේලා  ඒ  ගැන  කල්පනා  කළ යුතුයි ."


ජාතිවාදයෙන්  උම්මත්තක  භාවයට  පත්ව සිටි  භික්ෂුන්ට  බණ්ඩාරනායකගේ  අනතුරු ඇඟවීම  වටහා  ගැනීමට තරම් බුද්ධියක්  තිබුනේ  නැත .



                                  බණ්ඩාරනායක- චෙල්වනායගම්  ගිවිසුම අත්සන්  කළ අවස්ථාව 


ගිවිසුම ඉරා දැමීමෙන් පසු උතුරු  නැගෙනහිර  ප්‍රදේශවල  කලබලකාරී  තත්වයක්  නිර්මාණය වීම  නිසා එම  ප්‍රදේශවල දෙමල  භාෂාවෙන්  යම් පමණකට   කටයුතු කිරීමට  ඉඩ දීම සඳහා  දෙමල  භාෂා  විශේෂ  විධි විධාන  පනත නීති ගත  කරන්නට  බණ්ඩාරනායක  මහතාට 1958 දී සිදුවිය .එහෙත් බණ්ඩාරනායක  මහතාට  සිදුවුයේ  එහි ප්‍රතිඵලයක්  ලෙස ජීවිතයෙන් වන්දි  ගෙවන්නටය . 1959 සැප්තැම්බර්  මස  25 දින තල්දුවේ  සෝමාරාම  භික්ෂුව විසින් රොස්මිඩ්  පෙදෙසේ  බණ්ඩාරනායක  මහතාගේ  නිවසේදී රිවෝල්වරයකින් ඔහුට  වෙඩි  තැබූ අතර  පසු දින බණ්ඩාරනායක  මහතා   රෝහලේදී අභාව ප්‍රාප්ත විය . ඔහු මරා දැමීමට  සෝමාරාම  භික්ෂුව  මෙහෙයවන  ලද්දේ  කැලණිය රජමහා විහාරයේ අධිපති  මාපිටිගම බුද්ධරක්ඛිත  භික්ෂුව විසිනි .

තමන් ලඟට පැමිණ  වැඩියේ  මන්දැයි  බණ්ඩාරනායක  මහතා  ඇසු විට  රිවොල්වරයෙන්  ඔහුට  තමන් වෙඩි තැබූ බව  තල්දුවේ  සෝමාරාම  භික්ෂුව උසාවියේදී  පාපොච්චාරණය  කළේ මෙසේය .



“...that morning, I went to Rosmead Place. The Prime Minister was talking to another monk. I occupied a seat at the end of the verandah, and then he came up to me and inquired why I had come ...I shot at the Prime Minister once. That shot struck him. He started running into the house. I followed behind him and fired three more bullets. Someone shot me as well and I lost consciousness. I do not remember what happened next”. -Thalduve Somarama—statement by 1st accused [from the dock.]


ඩඩ්ලි  සේනානායක  මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික  පක්ෂය  1965  බලයට  පත්වූ අතර  1966 දී  ඩඩ්ලි සේනානායක මහතා ෆෙඩරල්  පක්ෂයේ නායක චෙල්වනායගම්  මහතා සමග  ගිවිසුමක් අත්සන් කරමින් දෙමල  භාෂා විශේෂ විධි විධාන  පනතට සංශෝධන  ඉදිරිපත් කොට  උතුරු  පළාතේ සහ  නැගෙනහිර  පළාතේ  පාලන  කටයුතු දෙමල  බසින් කිරීමටත්  ලේඛන  කටයුතු  දෙමල බසින් කිරීමටත් එකඟ විය .


එයට එරෙහිව ශ්‍රීලංකා  නිදහස්  පක්ෂයත්  සමසමාජ  සහ  කොමියුනිස්ට්  පක්ෂත් 1966  ජනවාරි 8 දින විහාරමහා දෙවි උද්‍යානයේ  සිට ගාලු මුවදොර  පිහිටි  පාර්ලිමේන්තුව දක්වා පෙළපාලියක් සංවිධානය  කළ අතර එහිදීද  භික්ෂුන් ඉදිරියෙන් ගමන් කළහ . ඩඩ්ලි  සේනානායක  ආණ්ඩුව විරෝධතා  හමුවේ  ගිවිසුම  ක්‍රියාත්මක  නොකළ  බැවින් ෆෙඩරල් පක්ෂය 1968 දී එක්සත් ජාතික  පක්ෂ  ආණ්ඩුවෙන්  ඉවත් විය .


1970  බලයට  පැමිණි  සිරිමා  බණ්ඩාරනායක  ප්‍රමුඛ සමසමාජ  කොමියුනිස්ට්  ආණ්ඩුව මගින් දෙමල  ජනයාගේ  ඉල්ලීම් වලට සවන් නොදුන් අතර දෙමල  මිනිසුන් තව දුරටත් අසහනය  පත් කරමින්  විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත්  කර  ගැනීමේදී  ජන අනුපාතය  අනුව විය  යුතු බවට  නීති පැනවුවේය ප්‍රමිතිකරණය  නමින් හැඳින්වූ එම  නීති හේතුකොටගෙන ඉහලින් උසස් පෙළ සමත් වූ දෙමල සිසුන් රැසකට සරසවි දොර වැසුණේය.ඔවුන්ට වඩා අඩු සුදුසුකම්  ලැබූ  සිංහල සිසුන්ට සරසවි දොර  ඇරුණේය.


 දෙමල වී ඉපදීම නිසා සරසවිවලට  තෝරා නොගැනීම ගැන බලවත් ලෙස අසහනයට  පත්  උතුරේ සහ නැගෙනහිර  සිසුන් EROS (Eelam Revolutionary Organisation of Students ) නමින් සංවිධානයක්   පිහිටුවාගත් අතර එහි නායකයා  වුයේ බාලකුමාර්ය . ඔවුහු  ඉක්බිතිව   ආයුධ අතට  ගෙන ආණ්ඩුවට එරෙහිව සටන්  කළ අතර  LTTE සංවිධානය  විසින් අනෙකුත්  දෙමල සංවිධාන විනාශ  කර දමන්නට වූ විට ඊරෝස්  නායකයෝ  එම සංවිධානය විසුරුවා  හැර  කොටි සංවිධානයට එකතු වුහ .


දෙමල  ජනයාගේ  ගැටළු විසඳීම සඳහා  වට  මේස  සාකච්චාවක්  පවත්වන  බවට  පොරොන්දු දෙමින්  1977 බලයට  පැමිණි  ජේ ආර්. ජයවර්ධන මහතා සාකච්චාවන් වෙනුවට  උතුරට  හමුදා  යවා එහි පවතින විරෝධතා  මර්දනය  කිරීමට  පියවර  ගත්තේය 1980 උතුරට  හමුදා  ප්‍රධානියෙකු  පත් කළ ඔහු දෙසැම්බර් 31 වන විට  උතුර සුද්ධ කර දෙන  ලෙස  කිවේය .ඉන්පසු ඔහුගේ ඇතැම් ඇමතිවරු   යාපනයේ පුස්තකාලය  ගිනි තැබූ අතර 1983  කළු ජුලිය දියත් කළේය.

 

27 අවුරුද්දක් ඇවිලුණු යුද්ධය ඇරඹුණේ එලෙසය . යුද්ධයෙන් මියගිය සිංහල දෙමල මුස්ලිම් මිනිසුන්ගේ  ගැහැණුන්ගේ  ළමුන්ගේ මහල්ලන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි .   තුවක්කුවෙන්ම  යුද්ධය අවසන්  කළ නොහැකි බව ජේ  ආර්ට  වැටහුනේ 1986 වන විටය. ඉන්දියාවේ මැදිහත්වීමෙන්  ඉන්දු ලංකා  ගිවිසුම සැකසුනු අතර ඒ  යටතේ පළාත් සභා  පිහිටුවන  ලද්දේ යුද්ධය අවසන් කිරිමට එමගින් හැකිවෙනු ඇති අපේක්ෂා  කළ හෙයිනි. එම  ගිවිසුම  යටතේ උතුරේ  තිබු  සන්නද්ධ  සංවිධාන  බොහොමයක් ආයුධ බිම  තබනු ලැබිය .ආයුධ  බිම  නොතැබූ  කොටි සංවිධනයට එරෙහිව  ඉන්දියානු  හමුදාව සටන් කළ අතර  උතුරෙන්  කොටි  පලවා  හැරීමට ඔවුන් සමත් වුහ .නැගෙනහිර  පළාතේ  වනාන්තරවල සිට  ක්‍රියාත්මක වීමට  කොටින්ට සිදුවිය 


පළාත් සභා  මගින් රට කෑලි අටකට  කැඩී  යන බව  කි  ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව  සන්නද්ධ  කැරැල්ලක් සිංහල ප්‍රදේශවල  දියත් කළ අතර  භික්ෂුන් සැලකිය  යුතු පිරිසක්ද ඒ අතර විය  .  කොටි මර්දනය  කිරීම  ඉන්දියානු හමුදාවට  භාර දුන්  ජේ  ආර් එහි සිටි  සිංහල  හමුදාව දකුණට  ගෙන්වා  ජවිපෙ  කැරැල්ල අනුකමපා විරහිතව  මර්දනය  කරනු ලැබීය . පළාත්සභා  මගින් රට  කුඩුපට්ටම් වෙන  බව කි ජවිපෙ පසු  කාලයේ  පළාත් සභාවලට  තරඟ  කොට  මන්ත්‍රී වරු බවට  පත්වුහ .


මහින්ද  රාජපක්ෂ  මහතා  බලයට  පත්වීමෙන් පසු  පළාත් සභා  ක්‍රමයෙන් එහාට  යන  විසඳුමක්  දෙවන  බව  ඉන්දියාවට  කී බැවින්  කොටි පරාජය  කිරීම සඳහා  ඉන්දියානු ආණ්ඩුවේ  නොමඳ සහය  මහින්දට  දුන්නේය .  එහෙත් කොටි පරාජය වීමෙන්  පසු මහින්ද  ඉන්දියාවට දුන්  පොරොන්දුව අමතක  කළේය 


 2009 දී යුද්ධය අවසන් වුවද  උතුර සහ දකුණ  තවමත් සැබෑ  ලෙස  එක්සත් වී  නැත. විශාල  හමුදාවක්  උතුරේ සහ නැගෙනහිර  තබා  ගැනීමට ආණ්ඩුවට  සිදුවී  තිබෙන්නේ  ඒ නිසාය . වත්මන් ආණ්ඩුවේ  නායකයන් උතුරේ සහ නැගෙනහිර  නායකයන් සමගද  විපක්ෂය සමගද එක්ව  නව ව්‍යවස්ථාවක් හදාගැනීමට උත්සහ  කරන්නේ උතුර  දකුණ සැබෑ  ලෙස  එක්සත් කිරීමටත් , ඇමරිකා එක්සත් ජනපදයේ  ජනාධිපතිවරයාටවත් නොමැති තරම් අධික  ඒකාධිපත බලතල සහිත විධායක  ජනාධිපති  ක්‍රමය  අහෝසි  කිරීමටත්  සිංහල , දෙමල  මුස්ලිම් මිනිසුන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්  තහවුරු  කිරීම සඳහාත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පණවන ලෙස  ඉල්ලමින් 62  ලක්ෂයක්  මෛත්‍රීපාල සිරිසේන  මහතාට  චන්දය දුන් බැවිණි.  2016  මහා  මැතිවරණයේදී ඊටත් වඩා පිරිසක්  චන්දය දී වත්මන් ආණ්ඩුව  බලයට  පත් කොට  තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතාද  2015 ජනාධිපතිවරණයේදී නව ව්‍යවස්ථාවක්  පනවන  බවට ලිඛිතවම  පොරොන්දු විය.


එහෙත් මේ වන විට  නව ව්‍යවස්ථාවක්  සැකසීමට එරෙහිව  විමල් වීරවංශ වැනි රස්තියාදු දේශපාලකයන්ද කමල් ගුණරත්න වැනි ලේ  පිපාසිතයන්ද යුද්ධ  ප්‍රකාශ  කොට  තිබේ. ඔවුන්ට නායකත්වය දීමට දුෂ්ට  භික්ෂුන් අතලොස්සක්ද  ඉදිරිපත් වී  සිටිති. නව ව්‍යවස්ථාවට  පක්ෂ අය වෙඩි තබා මරා දැමිය  යුතුය  යන  ඇඟ  කිළිපොලන  ප්‍රකාශයක් කමල්  ගුණරත්න  නමැති ගොටභය පක්ෂයේ  විශ්‍රාමික  හමුදා නිලධාරියා විසින්   කිරීම  , ව්‍යවස්ථාව  සම්මත වුවහොත්  ගුවන් යානයකින් පාර්ලිමේන්තුවට    බෝම්බ දැමිය යුතුයයි විමල් වීරවංශ  විසින් ප්‍රසිද්ධියේ කීම , නව ව්‍යවස්ථවට පක්ෂ අය  උල  තබා  මරාදැමිය  යුතුයැයි මහින්දගේ හෙන්චය්යෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී  රණතුංග විසින් කීම   අතිශයින්ම  භයන්කරය  . මෙවැනි  ප්‍රකාශ  අනුව  පැමිණි හැකි නිගමනය  නම් විශ්‍රාමික  ඉහල පෙලේ හමුදා නිලධාරීන් සහ විමල් වීරවංශ වැනි  මහින්ද  හෙන්චය්යන් රාජ්‍ය  නායකයන්  මර  හෝ දමා නව ව්‍යවස්ථාවක්  සම්මත වීම වැලක්වීමට කුමන්ත්‍රණයක්  ආරම්භ  කර  තිබෙන  බවය  .මේ වන විට  මේ  කුමන්ත්‍රණයේ  පාර්ශව  කරුවන්  බවට ඇතැම් භික්ෂුන්ද  පත්ව තිබේ. ඔවුන් අතර  බුද්ධ රක්ඛිතලා සහ සෝමාරාමලාද සිටින  බවට සැකයක් නැත 


පවත්නා  බිහිසුණු  තත්ත්වය  ආණ්ඩුව ත් ජනාධිපතිවරයාත් අවබෝධ  කර ගත බවක් පෙනෙන්නේ  නැත .එසේ අවබෝධ  කරගත්තේ  නම් කමල් ගුරත්නලා  වීරවන්සලා මේ වෙනකොට  රහස්  පොලිසියට  ගෙන ගොස් තිබිය  යුතුය .


මේ  කුමන්ත්‍රණ  කරුවන් හුරතල් කිරීමෙන් සිදුවන්නේ  1987-89 ටත් වඩා  භීෂණයක්  ඔවුන් විසින්  රටපුරා දියත් කිරීමය  . එය  වලක්වා  ගැනීමට  නම් අනුකම්පා ව්රහිතව  මේ  කුමන්ත්‍රණය  පරාජය  කිරීමට ආණ්ඩුව  හනික  පියවර  ගැනීම  අත්‍යවශ්‍යය.






Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...