Tuesday, May 24, 2016

කොටින්ගේ පරාජය තමිලිනි දුටු හැටි

LTTE  සංවිධානයේ  18 වසරක්  සිටි තමිලිනි ජෙයක්කුමාරන් විසින්  සිය  ජීවිතයේ  අවසන් සමයේ මාරාන්තික  රෝගයකින් වේදනා  විඳිමින්  ලියන ලද 'තියුණු අසිපතක සෙවණ යට ' නම් ග්‍රන්ථය  LTTE  හිතවාදීන්ට සහ  සාම විරෝධීන්ට එකසේ  දිරවා ගැනීමට දුෂ්කර  වන  බව  මගේ  අදහසයි. 2009 මැයි මස 16 දින දක්වා LTTE  සංවිධානය සමග  ඇය  සිටි  බැවින් ඇය ද්‍රෝහියෙක්  ලෙස  නම් කර ඇය දක්වන  කරුණු ප්‍රතික්ෂේප  කිරීමට  එතෙර  සිටින  LTTE  හිතවාදීන්ට  පහසු  නැත. එමෙන්ම   යුද්ධය  අවසන් කිරීම සඳහා  නොර්වේ ප්‍රමුඛ බටහිර  ජාතීන්  ගෙන  ගිය  උත්සාහයට සිංහල අන්තවාදීන්  විරුද්ධ වුවා සේම  ප්‍රභාකරන්ද  විරුද්ධවූ බව තමිලිනි මෙහි සඳහන්   කර  තිබීම අප වෙත  පසක්  කරන්නේ  ප්‍රභාකරන්ගේ අපේක්ෂාවන්  සමග දකුණේ  'දේශප්‍රේමීන්ගේ  උවමනාවන්ද  100% ක්ම සමපාත වූ බවය.


උසස් පෙළ පන්තියේ  ඉගෙන ගනිමින්   සිටින  අවදියේ  කොටි සංවිධානයට  බැඳෙන තමිලිනි එහි ගත  කළ  අවුරුදු 18 කාලය  තුළ වැඩි වශයෙන් කටයුතු  කරැ ඇත්තේ  කාන්තා  දේශපාලන  අංශයේය. සටන් පුහුණුව  ලැබ  සිටි ඇය මුල් කාලයේ  පුනරීන් සටනට  සහභාගී වී තිබේ. එම සටනට සුදානම් වෙමින් සිටි අවස්ථාව පිළිබඳව  ඇය මෙසේ  සටහන් කරයි


" බොහෝ සටන් කාමීහු  තම පවුල්වල  අය සඳහා  අවසන්  ලිපිය  ලියමින් සිටියහ. මගේ  කිට්ටු මිතුරියෝද මෙම ප්‍රහාරයට සම්බන්ධ වුහ. ඒ  සෑම දෙනෙකුටම තමන්ගේ ම  සිහින, බලාපොරොත්තු, විශ්වාසයන්, අවිස්වාසයන් ජීවිතය පිලිබඳ අවිනිශ්තිත  තත්ත්වය , ප්‍රකාශ  කල නොහැකි අසහනය තිබුණි. නිශ්චිතවූ යුද්ධයකට සම්බන්ධවන සටන් කාමීන්ගේ අවසන් මොහොතේ  නෙත්වල රැදී පවතින හැගීම් තේරුම් ගැනීමට  හැකි කිසිවෙකුත් නැවතත් යුද්ධයක් පිළිබඳව කතා  කරනවා තබා  සිතන්නේ වත් නැත."

පුනරීන් සටනින්  පසු ඇය  මෙසේ  ලියයි.

'හමුදාවේ  සහ කොටින්ගේ ප්‍රාණය නිරුද්ධ  සිරුරු වැසි  ජලයෙන්  තෙත් බරිතව තැනින් තැන ගල් ගැසී තිබුණි. රත් පැහ  රුහිරු වැසි  ජලය සමග එක්ව  ගල  යමින් තිබුණි. සුළු වෙලාවකට  පෙර  සතුරු  හැගීමෙන්  යුතුව පිල් බෙදී සටන්  කල අය මහා පොළොවේ මල සිරුරු බවට  පත්ව වැටී වීසිරී තිබුණු දර්ශනය මවකගේ  ඇකයේ  නිදා  ගෙන සිටින ළදරුවන් සිහිපත්  කරන්නට සමත් විය.සියලුම වෙනස්  කම් , ගැටුම් , එදිරිවාදිකම් අර්ථ ශුන්යවී යන තැන  යුද බිමයි යන්න  මුළුමනින්ම  අවබෝධ  කර  ගැනීමට අවශ්‍ය  බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ  තිබුනේ  නැත."

                                           ( තමිලිනි දේශපාලන අංශයේ සේවය  කරන සමයේ )

කොටි සංවිධානයේ  සාමාජිකයන් අතර පැවති ප්‍රේම සම්බන්ධකම් සහ විවාහ සන්බන්ධතා  පිළිබඳවද  තමලිනි සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. සටන් කරුවන් සහ සටන් කාරියන් අතර විවාහයක් සිදුවීමට  නම් ඔවුන් අවුරුදු 5 ක් සංවිධානය තුළ සේවය  කර  තිබිය  යුතු විය. මේ සංබන්ධයෙන් වගකීම  කොටි සංවිධානයේ  දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් ට  පවරා   තිබුණු අතර  අවුරුද්දකට  පසු  එම වගකීමෙන් ඉවත්වෙමින් බාලසිංහම් මහතා කී දෙය  තමලිනි සඳහන් කරන්නේ  මෙසේය.


" කසාද  බඳින  වයසට  ආව කාන්තාවෝ  ගොඩක් සංවිධානේ  ඉන්නවා .සටන් කරලා  තුවාල වෙලා අවයව  අහිමි වෙච්ච සටන් කාමී කාන්තාවෝ ඉන්නවා.මේ  අයව  කසාද  බඳින්ඩ සංවිධානයේ  ඉන්න පිරිමි සාමාජිකයෝ  ඉදිරිපත් වෙන්ඩ ඕනෑ.අපේ  කොල්ලන්ගෙන් සමහරු තමන් එක්ක  එකතුවෙලා සටන්  කරපු  ගැනු  ළමයින්ව කසාද  බැඳීම  ගැන හිතන්නේ  නැතිව ලස්සන  , හොඳ  රස්සාවල්  කරන , එහෙම  නැත්තම් පිට  රට නෑදෑයෝ ඉන්න පවුල්වල  ගැනු ළමයි  හොයා  හොයා ඇවිදිනවා . ඒ වගේ කසාද  බැඳීම් වලට මාව අවශ්‍ය  නැහැ කියල  නායක  තුමාට  කියල  මං අයින් වුනා ."

යාපනය  හැර උතුරේ අනෙකුත් ප්‍රදේශවල  සහ  නැගෙනහිර  බොහෝ ප්‍රදේශවල  බලය  පතුරුවාගෙන  සිටි කොටි සංවිධානය  පරාජයට පත් වීමට  බලපෑ ඇතැම් කරුණු තමලිනි සිය  ග්‍රන්ථයේ සඳහන් කර  තිබේ. සීමිත අවකාශයක් තුළ  කටයුතු  කළ ඇයට පරාජයට තුඩු දුන් සැම කරුණක් ගැනම දැන නොසිටීම  පුදුමයක් නොවේ.උදාහරණයක් ලෙස දක්වතොත් කොටින් විසින් රජිව්  ගාන්ධි  මරා  දැමීම LTTE සංවිධානයේ  පරාජයට බලපෑ  ප්‍රබල හේතුවක් වුවත් අය ඒ ගැන කිසිවක් සඳහන්  කර  නැත. කෙසේ වෙතත්   ඇගේ අත්දැකීම්  විචාරාත්මකව  කියවන විට කෙනෙකු තුළ ඇතිවන  ප්‍රධානතම නිගමනය  නම්    2002 රනිල් ආණ්ඩුව  ප්‍රභාකරන් සමග ඇති කර  ගත්  සටන් විරාම   ගිවිසුම LTTE  සංවිධානයේ අවරෝහනයට  මග පැදු  බවය. LTTE  සංවිධානයේ හරි අඩක් වූ නැගෙනහිර  කොටින්ට නායකත්වය දුන්නේ  කරුණා  අම්මාන්ය.  2004 දී නැගෙනහිර  පළාතේ කොටි සංවිධානය විසුරුවා  හැරීමට  ඔහු තීරණය  කළ  අතර    ඒ සඳහා ඔහු ධයිර්මත් කරනු ලැබුවේ   සටන් විරාම ගිවිසුම විසින්  උතුර  නැගෙන හිර  ජනයා තුළ   ඇති  කරන  ලද  මහත් බලාපොරොත්තු  ප්‍රභාකරන් විසින් සුණුවිසුණු  කිරීමට  කටයුතු කිරීම නිසා බවට සැකයක් නැත..  කරුණා  අම්මාන්ගේ වෙන්වීම  කොටින්ගේ  හමුවකදී දැනුම්  දුන් විට   උතුරේ  කොටි සාමාජිකයන් පත්වූ මානසික  පීඩනය තමිලිනි  විස්තර  කරන්නේ  මෙසේය.


" සියලු දෙනාම ගල් ගැසී තම අසුන්වල උන්හ. එම වචන සවනත වැකුණු පසුව එහි කතාවූ කිසිම  දෙයක් මගේ  සවන් වලට දැනුනේ  නැත. මුළු සංවිධානයම විනාශ  වී ගියාසේ හැඟුමක් මා  තුළ   ඇතිවිය. මක් නිසාද  යත් එවන් බලගතු ශක්තියක් නැගෙනහිර  පළාතේ  සටන් කාමියෝ විමුක්ති කොටි  සංවිධානයේ හමුදාමය ශක්තිය  තුළ පිළිබිඹු කළ බැවිනි."

බටහිර රටවල  ආශිර්වාදය සහිතව නොර්වේ රාජ්‍යය,   ලංකාණ්ඩුව  සහ  කොටින් අතර  සටන් විරාමයක් ඇති කිරීමෙන් පසු  දේශපාලන විසඳුමක් ඇති  කිරීම  සඳහා නොර්වේ  ගත්  ක්‍රියා  මාර්ග  සම්බන්ධයෙන් ජවිපෙ  සහ  සිංහල  අන්තවාදී කණ්ඩායම්   එකළ දැක්වුවේ  තදබල විරෝධයකි.  සාම සාකචචා වලට මුවාවී නොර්වේ විසින්  ලංකාව   දිය  කර  හැරීමට කටයුතු  කරන බැවින් නොර්වේ පන්නා  දැමිය  යුතු  යැයි ජවිපෙ  සටන් විරාමය ඇරඹෙන්නටත්  පෙර සිටම නොකඩවා උද්ඝෝෂණය  කළහ   2005 අගෝස්තු 24 වනදා 'නොර්වේ පන්නා  දමනු  ' යනුවෙන් හඬ   නගමින් පෙළපාලියක්  ගිය අතර එහි පින්තුර ගනිමින් සිටි සුදාර් ඕලි පුවත්පතේ චායාරුප  ශිල්පියෙකුට ජවිපෙ  පෙළපාලි  කරුවන්   තදබල ලෙස  පහර දී පොලීසියට  භාර දුන් අතර පොලීසිය විසින්ද ඔහුට  පහර දෙනු  ලැබීය.

නොර්වේ  සාම වෑයම සම්බන්ධයෙන් ප්‍රභාකරන් දැරුවේ  කුමන මතයක්ද?

ඒ සම්බන්ධයෙන් තමිලිනී ඇගේ  ග්‍රන්ථයේ  ලියා ඇත්තේ මෙසේය.

" නිව්යෝක් හී පැවැත්වූ ආධාර ලබා  දෙන  රටවල සමුළුවට කෙසේ  හෝ කොටින්ව කැඳවා  ගෙන  යාම සඳහා නොර්වේ මධ්‍යස්තවරුන් ඉතාමත්  ඉහල මට්ටමේ උත්සාහයක් ගෙන තිබුණි.කොටි සංවිධානයේ නියෝජිතයන් සඳහා ගුවන් ආසන අවසාන මොහොත දක්වාම වෙන් කර  තිබුණි.යනවාද ? නැද්ද?යන කඹ ඇදීම කොටින් තුළ අවසාන මොහොත දක්වාම පැවතුනි.අවසානයේ  නොයන බවට නායක තුමා  තීරණය  කළ බව දැනගන්නට  ලැබුණි."


ඇය  තවදුරටත් ඒ  ගැන මෙසේ  ලියයි.

" සාම ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අප වෙත  අදහස්  පළ කළදේශපාලන අංශ  භාරකරු තමිල් සෙල්වම්  " මේ සමුළුවට  ගියොත් අපි ජාත්‍යන්තර  උගුලකට අහුවෙනවා කියලයි නායක තුමා හිතන්නේ .ඇමරිකාව  ඇතුළු බටහිර  රටවල් කොහොම  හරි අපිව නිරායුධ  කරන්න ඕනෑ කියන එකට තමයි මේ  තරම් නම්‍යශීලි වෙලා අපිව වටකරගෙන ඉන්නේ ."

ලංකා ආණ්ඩුව සහ කොටින් අතර සාම සාකච්චා  පැවැත්වීම සඳහා  නොර්වේ  රාජ්‍යය විවිධ  උත්සාහයන් ගත්  නමුත් විවිධ හේතු දක්වමින් කොටින් එම සාකච්චවලට  සහභාගී  නොවූ බවද  තමිලිනි සිය  කෘතියේ සඳහන් කරයි.

 ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන  (INGO) සම්බන්ධයෙන්  ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සිංහල අන්තවාදී සංවිධානද  දැක්වුයේ  තදබල  විරෝධයකි.  LTTE සංවිධානයද  එලෙසම විරුද්ධ වූ බව  තමිලිනි  සඳහන් කරයි.

"ප්‍රවහන  මාර්ග විවුර්ත කිරීමෙන් පසුව ජාත්‍යන්තර  රාජ්‍ය නොවන සංවිධාන බොහෝ ප්‍රමාණයක් දෙමල ජනයා වාසය  කරන ප්‍රදේශ  තුලට තම නව සංකල්ප සමග  පැමිණියහ. 'සාමය ගොඩ නැංවීම ' ජාතින් අතර ඒකාබද්ධතාවය ඇති  කිරීම ' යනාදී වශයෙන් වූ ඔවුන්ගේ සැලසුම්වල  මාතෘකා කනට ඇසීම  පවා කොටින් තුළ අජීර්ණයක් ඇති කිරීමට සමත් විය."

                                          ( තමිලිනි කුමාරි ජයවර්දන සමග )

සටන් විරම  කාලය තුළ කොටින් විසින් බදු එකතු කිරීම නිසා ජනයා තුළ බලවත් විරෝධයක් ඇතිවූ බව  කමිලිනි මෙසේ  කියයි.

"දිගු කාලීන යුද්ධයෙන් ආර්ථික වශයෙන් ඉතාමත් දරුණු ලෙසින් පීඩාවට පත්ව සිටි ජනතාව කොටින් විසින් සුරකනු ලබන බවට දැඩි  විවේචන ජනතාව  තුලින්  මතුවිය ."

සටන් විරාම  කාලය  ජනතාවට දීර්ග  කාලීන සමයක් ඇති කිරීම සඳහා කොටි  විසින් කටයුතු  කරනු ඇතැයි  ජනයා  මහත් බලාපොරොත්තු  තබා ගෙන  සිටි බව  කියන  තමිලිනි එය  කඩවී යන විට ජනයා  දැක්වූ විරෝධය  මෙසේ  සටහන් කරයි.

"නමුත් එම  හැගීම් සුනු විසුනු කරන ලෙසින් සාම  කාලයට  පසුව සංවිධානයෙහි වැඩ කටයුතු  සකස් විය.එහෙයින් ජනතාව  අතෘප්තියේ හිනි පෙත්තටම පැමිණියේය.දිගු යුද්ධයෙහි බර දරා  ගත නොහැකි තත්වයක්  තුල අපේ  ජනතාව අත් ඔසොවා කොටින්ට සාප  කරනු අපි ඇස්වලින්ම දැක්කෙමු."

නැවතත් යුද්ධයකට  ජනයා  කෙසේවත් කැමති  නොවීම  නිසා    LTTE සංවිධානයේ  පිරිස්  බලය අඩුවෙමින් තිබුණු බවත් මේ  නිසා අවිවාහක  සැම අයෙකුම    LTTE සංවිධානයට අනිවාර්යෙන්ම බැඳිය  යුතුය  යන නීතියක්  පැනවූ බවත්   තමිලිනි සඳහා කරයි. මේ  නීතිය  පැනවීම නිසා  LTTE සටන් කරුවන් පවා  කම්පනයට  පත්වූ බව  ඇය  කියයි. මේ නිසා අඩු වයසේ  තරුණ තරුණියන් අතර විවාහ  වර්ධනයවූ බවත්  විවාහ නොවී  ගැහැණු පිරිමි එකට ජීවත් වීම පවා දෙමල  සමාජය අනුමත  කළ  බවත්  ඇය තව දුරටත්  කියන්නීය.


ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ  ලිය තිබේ.

'එම වකවානුව තුළ දේශපාලන අංශයෙහි සටන් කාමියෙකුව  සිටීම මහත් මානසික  බරක්ද  අවමානයක්ද ඇති කරන්නක් විය.එතුවක් කල් කොටි සංවිධානය ජනතාවගේ  යහපතට  කරන ලද සියලුම වැඩ  කටයුතු ජනතාවගේ  සිත් වලින් අතරුදහන්  විය. කොටි  සංවිධානයේ  අනිවාර්ය  පිරිස්  බඳවා  ගැනීම් මාර්ගයෙන් විමුක්ති අරගලය ජයග්‍රහණය  කළ හැකි  යැයි මම  කිසිසේත්ම  නොසිතුවෙමි. ඇත්තෙන්ම  මහත් දරුණු  පරාජයක් කරා ගමන් කරමින් සිටින බව මට දැනෙන්නට විය."


මේ වන විට   LTTE සංවිධානය  තුළ ඇතිවී තිබු  මානසික  කඩා වැටීම,සම්බන්ධයෙන් චිත්‍රයක් මවා   ගැනීමට  ඇගේ  මිතුරියක්වූ විදුෂා  නමැති  කොටි සෙන්පතිනියක් ඇයට  කී වචන ප්‍රමාණවත් වේ

" මන්නාරමේ ආණ්ඩන්කුලම් ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ අණ දෙන මධ්‍යස්ථානයේදී දිනක් මම ඇය සමග පිලිසඳරෙහි යෙදී  සිටින විට  " මේ යුද්ධයෙන් අපි දිනයි කියල උඹ හිතනවද?" යැයි ඇය ඇසුවාය.මම ටික වෙලාවක් ඇය දෙස  බලා සිටියෙමි. " අපිට විතරක් ඇයි බං මේ වගේ  ජීවිතයක් ? ලෝකේ  කොයි තරම් වෙනස් වෙලාද?අපි තවමත් කැලෑවලයි මඩ ගොහොරුවලයි  මැරෙන  එකනේ වෙන්නේ ."

මහින්දගේ  ආණ්ඩුවට LTTE සංවිධානය  පරාජය  කරන්නට  හැකි වුයේ මෙවැනි පසුබිමක්  LTTE සංවිධානය  තුළ ඇතිවී තිබු  පසුබිමකය.


දිගින් දිගටම  පරාජයන් ලබමින් පසු බසිමින් සිටි කොටින් සමග තමිලිනි මුල්ලවයික්කාල් දක්වා ගමන් කළ අතර කොටි විසින් කොටු  කරගෙන සිටි  ජනයා 2009  මැයි 14 වනදා කොටින්ගේ  අණට  අකීකරු වෙමින් මුලතිව් බලා ආපසු ඒම  ඇරඹු බව  ඇය  සිය  කෘතියේ සඳහන් කරයි. "කවුරු පිළිගත්තත්  නැතත් විමුක්ති කොටින්ගේ ආයුධ සන්නද්ධ අරගලය ඉතාමත් බියකරු ලෙසින් පරාජයට  පත්වූ බවට වන සත්‍යය මම ඒ  මොහොතේ තේරුම් ගත්තෙමි."

'දිවි නසා ගන්නවාද ? නැද්ද ?'  යන තීරණය  ගත  නොහැකිව තවත් දින දෙකක් මුල්ලවයික්කාල්  හී  ගතකළ තමිලිනි මැයි 16 වනදා මහජනයා සමග  ආපසු ඒමට තීරණය  කළාය. ' මැයි මාසයේ 16 වන දින සවස මම එහි සිටි සටන් කාමින් සමග එක්ව  පිටව  යාමට  තීරණය  කලෙමි.වචන වලින් විස්තර  කළ  නොහැකි ලෙසින් ලේ, මස් සහිත හදවත කීතු  කරන වේදනාවකින් යුතුව මුල්ල වයික්කාල්වල සිට පිටතට පැමිණි එම වාතාවරණය පහසුවෙන් තේරුම් කර  දිය  නොහැකිය. මා  සමග උන්  සටන්කාමී සහෝදරියන් දුන් පරණ සල්වාර් ඇඳුම ඇඳගෙන ජනතාව සමග එක්ව අපි ගමන් කළ බවක් මගේ මතකයේ නැත.මහත් ජන රළ විසින්  අපවද ඇදගෙන යනු ලැබුවාසේ මට දැනුනි."

මහින්ද  රාජපක්ෂ  ආණ්ඩුව  සහ ආණ්ඩුවට  බියේ  කටයුතු  කළ සියලුම  ජනමාධ්‍ය  යුධ  ජයග්‍රහණයේ  සියලු  ගවුරවය මහින්ද  රාජපක්ෂ  මහතාට  හිමිවිය යුතුය  යන මතය  වසර  ගණනාවක්  අඛණ්ඩව ප්‍රචාරය කිරීම   නිසා  සමාජයේ  බොහෝ දෙනෙකු තවමත්  එය එසේයයි විස්වාස  කරති. එහෙත් තමිලිනිගේ  කෘතිය  විචාරාත්මක බුද්ධියකින් යුතුව කියවන්නේ  නම් ඇත්ත වශයෙන්ම LTTE  සංවිධානයට  පරාජය අත්පත් කර දුන්නේ 2002 ඇරඹුණු සටන් විරාමය  විසින් බව සක්සුදක්සේ   පැහැදිලිය.

                              (පුනරුත්ථාපන  කඳවුරේ  හිටපු කොටි සාමාජිකාවකගේ මංගල්‍යයකදී )


                                                            ( තමිලිනි විවාහයෙන් පසු )



( තමිලිනි විසින් දෙමල බසින් ලියන ලද මෙම කෘතිය සිංහලට පරිවර්තනය  කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු මෙන්ම ලේඛයෙකු වන  සාමිනාදන් විමල් මහතා  විසිනි.ධර්මසිරි  බණ්ඩාරනායක මහතා විසින් ප්‍රකාශනයට  පත් කරන ලද මෙම  කෘතිය අංක 617 මරදාන  පාර  කොළඹ 10 ස්ථානයේ  පිහිටි සුරස පොත් හල විසින් බෙදා  හරිනු ලබයි. එහි දුරකථන අංකය 0112 694230 වේ)







 

Saturday, May 21, 2016

වෙසක් බයික් රේස් සහ රතු විප්ලවය.

බුදුන් වහන්සේ  කෙරෙහි  මා   සිත  තුළ  බලවත්  ගවුරවයක්  තිබේ.. එයට  හේතුව  නම් දෙව් ලොව  මිනිස්  ලොව සැප සම්පත් විඳින  හැටි  කියා  දුන් නිසා නොවේ. සංසාර  සාගරයෙන් එතෙර  වී  නිවන් දැකීමට  මග කියා දුන් නිසා  නොවේ.  මිනිසෙක් උසස් හෝ  පහත වන්නේ  උපතින් නොව  ක්‍රියාවෙන්  බව  කී නිසාය.   කුලවාදය මත  පදනම් වූ සමාජයක ඉපිද  කුලවාදය ප්‍රතික්ෂේප  කළ නිසාය. කුලවාදයට එරෙහිව  දේශනා  කළ  නිසාය. මිනිස්  අයිතිවාසිකම් ගැන පමණක් නොව සතුන්ගේද  ගස්  වැල්වලද අයිතීන් ගැන දේශනා  කළ නිසාය. යුද්ධයට එරෙහිව දේශනා  කල නිසාය. අහිංසාව දේශනා  කළ නිසාය.

බුදුන්ගේ  කාලයෙන් අවුරුදු 2500ක් ඉක්ම  ගොස්  අද  ජීවත් වන අපේ  රටේ   බහුතරයක් භික්ෂුන්  කෙරෙහි මා   සිත  තුළ  කිසිදු  ගවුරවයක්  නැත්තේ  ඔවුන්  කුලවාදය කර පින්නා  ගෙන  යන නිසාය. ජාතිවාදය දේශනා  කරන  නිසාය. හිංසාවට  සිංහලයන්  පොළඹවන  නිසාය. කොටින්ම බුදුන්ගේ  මග වෙනුවට දෙවදත්ගේ  මග අනුගමනය  කරන  නිසාය.

එවැනි ශ්‍රේෂ්ට  මිනිසෙකු වූ බුදුන් වහන්සේට ගවුරව්‍යක් ලෙස වෙසක් කුඩු දෙක  තුනක් වත් ආලෝකමත් කිරීම  සුදුස බැවින්    අහල  පහල  කඩ  මන්ඩියට  මා අද උදේ වරුවේ ගියේ වෙසක් කුඩු  මිලදී  ගැනීම  සඳහාය.ඉස්සර  නම් වෙසක්  කුඩු විකුණන්නට  තිබුනේ  කොළඹ  පමණය. එහෙත් දැන් නම් අපේ  ගමේ  කඩවලත්  ඒවා විකිණීමට  තිබේ. අනිකුත් ගම්  වලත් එසේ  නොවෙන්නට  හේතුවක්  නැත.නිවන් මග  අහුරන කාමයේ යෙදීමේ අඩුවක් අපේ  රටේ  බවුද්ධ්යන් අතර  නැති බැවින්  ජනගහණය ඉහල  යාම හේතුකොට ගෙන බට  ගහක්වත් වැවෙන්නට  ඉඩක් නැත.  ඒ  නිසා  ගම්වල  අපිටත් වෙසක් කුඩු කඩේ  මුදලාලිගෙන්  මිලදී ගැනීමට සිදුවී තිබේ. 


මේ  ලිපිය  ලියන්නට  පාදක  වුනේ    වෙසක් කුඩු ගැනීමට කඩමන්ඩියට ගිය විට   දුටු දර්ශන කීපයක්  නිසාය.  එක් පැය භාගයක් තුළ පමණක්   තරුණ  ගැටවුන්  රංචු  ගණනාවක්  මෝටර් බයිසිකල්වල  නැගී එකිනෙකා පරයමින් ධාවනය කරනු  මා  දුටිමි. එක් අවස්ථාවකදී ඉතා වේගයෙන් (පැයට  කිලෝ මීටර් 70 තරම  වේගයෙන් )  මා   සිටි දෙසට  බයිසිකලයක් ධාවනය කර ගෙන  ආවේය. ඒ  සමගම  ඔහු පිටුපසින් තවත් බයිසිකලයක්  වෙගයෙන් පැමිණි අතර  අනිත් පසට  වෙනත් වාහනද  ගමන් කරමින් තිබුණි. පසුපසින් පැමිණි ගැටයා වෙට්ටුවක් දමා ඉදීරියෙන්  ගිය බයිකලය  පසු  කළේය. එවැනි වේගයකින් බයිකලයක් පදින්නට හේතුව  මට වටහා   ගත  හැකි වුයේ මා  පසු  කර  යන විටය. ඔහු පිටුපස  සිටියේ  ගැටිස්සියකි. ඇය  සිහින්ය.  පියකරුය. නමුත් අගේ  මුහුණේ  තිබිනේ භීතියකි. ගැටයා   කෙරෙහි කෙන්තියක්ද  ගැටිස්සිය  කෙරෙහි අනුකම්පාවක්ද  මා  සිත  තුළ   පහළ විය.තමන්ගේ  ජීවිතය නැති  කර  ගැනීම  හෝ  අතපය  කඩා  ගැනීමට  වගකිව යුත්තේ  තමන්ය . එහෙත් අනුන්ගේ  ජීවිතයක් නැති කිරීමට  හෝ  අත  පය  කඩා දැමීමට  ඒ  ගස්තර  කොල්ලාට  ඇති අයිතිය  කුමක්ද?   

හවස් වරුවේ  ආරංචි වුවේ  රේස්  එකේ  ගිය  බයිසකල් රංචුවක  එකෙකු  පෙරළුණු බයිසිකලයත් සමග  අඩි  50ක් 60 ක් දුර කාපට්  පාරේ  ඇදී  ගොස්  අත් පාවල  හම,  ගලවා ගත් බවය.

කොල්ලන් වනාහි එඩිතරය. අයුක්තියට එරෙහිව සටන් කරන්නට එක  පයින්ම සුදානම්ය. මිත්‍රයන් වෙනුවෙන් බොක්කෙන්ම   කැප කිරීමට   සුදානම්ය. එහෙත් දුර දිග  හිතීමට අසමත්ය.  ඒ  නිසා වීරකම් කරන්නට  ගොස්  අමාරුවේ  වැටෙති . මොලේ  පහළවන්නේ  අතපය  කඩා ගත්තාට පසුවය .  නැතහොත් චන්ඩි  කම් කරන්නට  ගොස් අම්බානට  ගුටි කෑවාට  පසුවය. මෙය  ෆන් ගන්නා කොල්ලන්ට  පමණක් සීමා  නොවේ. විප්ලව  කරන්නට  යන තරුණයන්ටද  වලංගුය. අවුරුදු  කීපයක් හිරගෙදර  සිටින විට බොහෝ විප්ලවකරුවනට  මොලය  පහලවේ   

1971  කැරැල්ලට සහභාගිවී හිරගෙදර  ගිය  අයගෙන්  90% ආයිත්  ජවිපෙට එකතු  උනේ  නැත. 87-89 කැරැල්ලට සම්බන්ධ වී කෙසේ  හෝ  පණනල  බෙර ගත්ත  අයගෙන් 90% ද යලිත්  ජවිපෙට සමග දේශපලනයට බැස්සේ  නැත. 71  කැරැල්ලට  සම්බන්ධ හිරේ  ගිය  අයගෙන්   සැහෙන  පිරිසක් වෙනත් දේශපාලන  සංවිධාන  හදා ගෙන දේශපාලනය කළ නමුත්   කාලයාගේ  ඇවෑමෙන් ඒවා අභාවයට  පත්විය. 

අයුක්තියට එරෙහි  තරුණයන්ට ජවිපෙ ආකර්ෂණය වූ බැවින් ඔවුන්ගේ  සැලකිය  යුතු  පිරිසක්  ජවිපෙ වටා යලිත් එකතු වී තිබේ. දෙමල ජනයාගේ  ඉල්ලීම් වලට එරෙහිව  ජවිපෙ හඬ  නැගු බැවින්ද  ඇතැම් සිංහල තරුණයනට මෙන්ම මධ්‍යම පන්තික ස්තරයකටද එය  ආකර්ශනීය වී තිබේ.දුෂණ විරෝධී ජවිපෙ  හඬද ඇතැම් පිරිස්  තුළ  ජවිපෙ  කෙරෙහි ප්‍රසාදයක් ඇති වීමට  හේතු වී තිබෙන  බව  පෙනේ.

එහෙත් ඔවුන් සමග සිටි බලවත් පිරිසක් ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී නමින් සංවිධානයක් ගොඩ නගා ගැනීමත්  සෝමවංස අමරසිංහ ඉවත් වී කර  විවේචන නිසාත් ජවිපෙට නරක  කල දසාවක් උදාවී තිබේ  යැයි  කිව හැක. ඉකුත් මහා  මැතිවරණයේදී  මන්ත්‍රී ආසන 20ක් බලාපොරොත්තු වූ නමුත්  එය  හයකට  පමණක් සීමා වීමෙන්ද  ප්‍රබල නායකයනට පවා  ආසන  අහිමි වීමෙන්ද  එය  තහවුරු විය. 88-89 සමයේ  ජවිපෙ  හැසිරීම එම සංවිධානයට මිනිසුන්  විරුද්ධ වීමට බෙහෙවින් බල පා තිබේ.

ජවිපෙ  පිලිබඳ කරන විවේචන  එයට සම්බන්ධ  තරුණයන් කිසිසේත් පිලි ගන්නේ  නැති බව මා  හොඳින්ම දනිමි. මා  ජවිපෙ ක්‍රියාකාරිකයෙකු  ලෙස  කටයුතු   කරන  සමයේ මාද හැසිරුණේ එසේය. ජවිපෙ  විවේචනය   කරන්නන්   ද්‍රෝහීන් ලෙස සැලකීමට නායකයන්  විසින් සාමාජිකයන් හුරු කර  තිබීම එයට  හේතුවය.

1990 දක්වා ජවිපෙට  තරුණයන් එකතු වුයේ  සමාජවාදී පාලනයක් මේ  රටේ   ස්ථාපිත  කිරීමේ  අරමුණෙන්ය.  එහෙත් 1991 දී  සෝවියට් දේශයත් ඒ  සමග නැගෙන හිර  යුරෝපයේ තිබු  ධනවාදී නොවන  රාජ්‍ය පද්ධතිය කඩා වැටීමත්  චීනය ධනවාදී  මාවතේ  ගමන් කිරීම  නිසාත් සමාජවාදය  පිලිබඳ බලාපොරොත්තු ලොව  පුරා වසන   ප්‍රගතිශීලී   ජනයා  තුළ  ගිලිහී  ගොස්  තිබේ. එය අපේ  රටටද පොදුය. එබැවින් 1990 පෙර මෙන් ජවිපෙට සමාජවාදී විප්ලවයක් ගැන කියමින්  තරුණයන් එය වටා  ආකර්ෂණය  කර  ගත නොහැක.

යම් දිනක ජවිපෙට   මහජනයාගේ සහය  ලබා ගෙන  ආණ්ඩුවක්  පිහිට වුවත් එය ධනේශ්වර  ආණ්ඩුවක් පමණක් වන්නේය.  එහි පැවැත්ම සහතික වන්නේ  ධනේශ්වර  ලෝකයේ  සහය  ලැබුන හොත්  පමණි.ඔවුන්ගේ  සහය ලැබෙන්නේ  වේගවත් ප්‍රතිසන්ස්කර  නොකරන්නේ  නම් පමණි. තෙල් තිබුණු වෙනිසියුලාව වේගවත්  ප්‍රතිසංසකරණ කළ නමුත් ඉකුත්  මැතිවරණයේදී  එය  පරාජයට  පත් විය. එයට හේතුව  වුයේ  ආර්ථිකයේ ඇතිවූ  කඩා වැටීමයි.

එබැවින්  අනාගතයේ  යම් දවසක  මහජන සහය ලැබුනහොත් ඔවුන්ට  පිහිටුවීමට  සිදු වන්නේ  මහින්ද  රාජපක්ෂ පන්නයේ  ආණ්ඩුවකි.එහෙත් එවැනි  ආණ්ඩුවකට  කල හැක්කේ  කුමක්ද  මේ  රට වැටී තිබෙන  ණය උගුලෙන්  නිදහස්  වන්නේ  කෙසේද ? කල හැකි වන්නේ  ගත ණය  වාරික සහ  පොලී ගෙවීමට  තව දුරටත් ණය  ගැනීමය.  ණය දෙන්නේ  කොන්දේසි මතය කොන්දේසි වන්නේ  සහනාධාර  කැපීම , රුපියල අව ප්‍රමාණ  කිරීම සේවක වැටුප් වැඩි  නොකිරීම , විශ්‍රාම වැටුප් කප්පාදුව  වැනි දේය.

ජවිපෙ  සමග එකතුවී  ඉතා අවංකව දේශපාලනය  කරන  තරුණයන්ගේ අනාගත  බලාපොරොත්තු ඉටුවීමේ ඉඩ  කඩ  ඉතාම  අවම  වීම ඛේදවාචයකි 





























































Friday, May 20, 2016

ගංවතුරේ සිට ලියමි.

 

 

ගංවතුර  ගැන කතා  බොහෝය.වරාය  නගරය හැදීමේදී ඉවත්  කරන පස් කැලණි ගඟේ මෝයට දැමීම නිසා අම්ම  මුත්තාගේ  කාලේ වත් ආපු  නැති  ගංවතුරක් කොළඹ  යට කළ බව සමහරු කියති. තවත් සමහරුන් කියන්නේ  රාජපක්ෂගේ හිතුවක්කාර ඉදිකිරීම්, පාරවල් තැනීම්  සහ   අධිවේගී මාර්ග  තැනීම  නිසා රටේ බොහෝ ප්‍රදේශ  යටවූ බවය. ඇතැමෙකු  කියන්නේ  ගෝටා මහතා කොළඹ ලස්සන  කොරන්නට  යාමෙන් මේ විපත්තිය කොළඹටත් ගෙන ආ බවය. රතු පාට  කට්ටිය  කියන්නේ ධනපති ක්‍රමය මෙයට වග කිවයුතුය  කියාය. මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ වදාළේ මෛත්‍රීගේ  සහ  රනිල්ගේ  පාලනය  ගැන  කෝපවූ දෙවිවරු මෙවැනි විපතක් කළ බවය.

 

මේ අව් අස්සේ තමන්ගේ  දේශපාලන න්‍යාය පත්තර  පොලිෂ් කිරීමටද සමහරු ගංවතුර  යොදාගෙන  තිබෙන බවට  චෝදනා  කරති. චෝදනාව  වැඩියෙන් එල්ල වන්නේ  ජවිපෙටය. අවංක අදහසින් මිනිස්සුන්ට  උදව්  කරන්නට  උවමනාවක් තිබේ  නම්  බෝඩ් එල්ලගෙන  ආයුතු  නැති බව  ඔවුන්ගේ  අදහසයි. එක අතකින් ජවිපෙ  ගැන දුකක්ද  ඇතිවේ.මොන තරම් වෙහෙස  මහන්සිවී මිනිස්සුන්ට  උදව්  පදව්  කලත්  චන්දයක්  ආවිට මිනිස්සු  චන්දෙ දෙන්නේ ඔවුන්ට නොවේ. හොරුන්ටය. එයට  හේතුව  ලෙස  මට නම් පෙනෙන්නේ  අපේ  රටේ  බහුතරයක් මිනිස්සුන්ගේ  පසු  ගාමිත්වය. පසුගාමී වී තිබෙන්නේ  තවමත් අපේ  රට නොදියුණු ධනපති ක්‍රමයක් තිබීම නිසාය. සමාජවාදයට පෙර දියුණු ධනපති  ක්‍රමයක් අපේ  රටේ  ගොඩ නැගීමට රතුපාට  කට්ටියත්  සහය දිය  යුතු නොවේදැයි  කල්පනා  කර  බැලීම  වටින්නේය.

 

මෛත්රීත්  රනිලුත් වැඩි සද්දයක් බද්දයක් නැතිව ගංවතුරෙන් , නාය  යාමෙන්  විපතට  පත් මිනිස්සුන්ට   උදව්  කිරීමට කටයුතු කරන   බවක් දැකිය  හැක. ඔවුන් ආහාර  මලු තොග  පිටින් රැගෙන ගොස් ගංවතුර  අනාතයනට රුපවාහිනී කැමරා  ඉදිරියේ  බෙදන්නට  ගියේ  නැත. මහින්ද  හිටියානම් චිත්‍රය වෙනස්ය. ගංවතුරෙන් අනාතවූ  දරුවන් ඉන්නා  තැන්වලට ඇවිත් ඔවුන් වඩා ගන්නේය  සීනිබෝල බෙදන්නේය. හැබැයි   මයිත්‍රී  සහ  රනිල්   දේශපාලන  සංදර්ශන  නොපැවැත්වීම  අපේ  රටට   කොතරම් ගැලපෙන්නේදැයි සැකය. මිනිස්සු බලා  ඉන්නේ දේශපාලකයන් කෑම බීම  රැගෙන අවුත් බෙදා දෙන  තුරුය. ඔවුන් බලන්නට  මන්ත්‍රීවරු ආවේ  නැතැයි  දෙස් දෙවොල් තබන්නේ  ඒ නිසාය.

රුපවාහිනී නාලිකාද තරඟෙට මෙන් ආධාර  එකතු  කරමින් තමන්ගේ  චැනලයට   ලකුණු දමා  ගනිති.ඒකට  නම් කමක් නැත.  ඔවුන්ගෙන් වන සේවය සුළු පටු  නැත.කවුරු හෝ මේ වෙලාවේ  කර  කියා  ගන්නට දෙයක් නැති මිනිස්සුන්ට උදව්  කළ යුතුය. වඩාත් අගය  කල යුත්තේ  කිසිදු බෝඩ් එකක් නැති මිනිස්සු ලක්ෂ  ගණනින් උදව්  කිරීමට ඉදිරිපත් වී තිබීමය. අනුන්ට විපතක්වූ විට ඔවුන්ට  පිහිට වන්නට ක්ෂණයෙන් ඉදිරිපත් වන්නේ ඇඩ්‍රස් නැති මිනිස්සුය.ඔවුන්ට සැඟවුණු න්‍යාය පත්‍ර නැත.තමන්ගේ  අතපය  ගැලවුනත් බැරි එකාට උදව් දෙති. 

 

 

දකින්නට නැත්තේ ලොකු මිනිස්සුය.රුවාහිනියේ  පත්තරේ දිනපතාම  වාගේ  ලොකු  දැන්වීම් දමන ලොකු ලොකු  කොම්පැණි  කාරයෝ නම් මේ දුෂ්කර වෙලාවේ  දකින්නට නම් නැත. ධනපති  පන්තියේ එකම අපේක්ෂාව  ' මිනිස්සු  සුරා  කෑම  මිසක් ඔවුන්ගේ  දුක වෙනුවෙන් තමන්ගේ  ලාභයෙන් ටිකක් බෙදා දෙන්නට සුදානම් නැත'   කියා සමාජවාදී  මත දරන්නන් කියන්නේ  මේ  නිසාය.

දකින්නට නැති තවත්  කට්ටියක්ද  සිටිති. ඒ  සිංහල ජාතියේ  ගැලවුම් කාරයෝය. 'සිංහ ලේ ' පේන්නට නැත. 'වීර විධාන ' නැත. 'රාවණා' නැත. 'ඒකීය ලංකාවේ'  කට්ටිය  නැත. ඥානසාරද උන්නාන්සේද  නැත. මුරුත්තෙට්ටුවේද නැත. ඒ විතරක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයද නැත. ප්‍රාදේශීය සභා චන්දය  ඉල්ලා ගිරිය  යටින් කැ ගහන ප්‍රාදේශීය සභාවල හිටපු  මන්ත්‍රීවරුද නැත.  නිල විපක්ෂයද  නැත.ෆෙඩරල් කට්ටියද නැත. ඔක්කොම  කර ගහන්නට සිදුවී ඇත්තේ ආණ්ඩුවටත් NGO ස්වෙච්චා සංවිධානවලටත් , රුපවාහිනී නාලිකා වලටත් නමක් ගමක් නැති මිනිස්සුන්ටත්ය. 

හැබැයි හෙට අනිද්දා  චන්දයක් තිබුනේ  නම්  එසේ වන්නේ  නැත. ගංවතුර   අනාථයන් ගැන පක්ෂ භේදයකින් තොරව  සියලු අපේක්ෂයකන් තුළ පුදුම අන්දමේ අනුකම්පාවක් ඇතිවන්නේය. එබැවින් දෙවියන් වහන්සේද අල්ලා  දෙවියන්ද 33 කෝටියක් දෙවි  දේවතවුන් වහන්සේලාද  පාලකයන් කෙරෙහි කේන්තියෙන් මහා වැසි වස්සන විට , කුණාටු ඇති  කරන විට, කඳු පෙරලන විට  මැතිවරණ සමයක එය  කිරීමට සලකා බැලිය යුතුය .


                                                        සුනාමියෙන් බේරුණු ප්‍රතිමා

මේ  අතර යම් යම් පුරුෂයෝ මේ සා මහා විපතක් වීත් බුද්ධ  රුපවලට අබමල් රේණුවක වත් විපතක් නොවී ශාන්ත දාන්තව  වැඩ වසන අයුරු ගැන පුවත්, පත්තරවලද ,ෆේස් බුක් පිටුවලද  ලියමින් තම තමන්ගේ  ආගමික උමතුව ප්‍රචාරය  කරති. සුනාමි ව්‍යසනයෙදීද එවැනිම ප්‍රචාරයක් ගෙන ගියහ. විශේෂයෙන්ම  ගාල්ල බස් නැවතුම්පොළේ බුදුරුවට  හානි නොවීම ගැන ප්‍රවුර්ති  එකල පළවිය. .හානි නොවුනේ බුද්ධ  ප්‍රතිමා වලට  පමණක් නොවේ.යෙසුස් වහන්සේගේද  කන්‍යා මරිය තුමියගේද  හින්දු දෙවිවරුන්ගේද ඇතැම්  ප්‍රතිමා මෙන්ම සමහර පන්සලද  කතෝලික පල්ලිද  හින්දු කොවිල්ද, මුස්ලිම් පල්ලිද සුනාමියට ගසා  ගෙන ගියේ නැත. සුනාමියක් වැනි මහා බලවෙගයකටද ප්‍රතිමා ගලවන්නට නොහැකි උනේ ඇයිදැයි  විද්‍යාව ඉගනගන්නා සිසුන්ගෙන් ඇසුවොත්  කියනු ඇත.

කෙසේ වෙතත් ස්වභාවික විපත් ගැන සීරියස් ලෙස  හිතා මතා බැලුවිට  නම් පෙනී යන්නේ  ස්වභාව ධර්මයට මල පැන්න විට ජාතිය  ආගම  දේශපාලනය  නොසලකා කාටත් එක හැන්දෙන් බෙදන බවය.අල්ලා  දෙවියන්ට පණ දීමට සුදානම් මිනිස්සු  සිටින ඉරාණයට  පසු ගිය  කාලයේ එක දිගට  භුමි කම්පා ඇතිවී දස දහස්  ගණනින් මිනිසුන් ස්වර්ගයට සහ  අපායට ගියහ.. ඇෆ්ගනිස්ථානයේද භුමි කම්පාවලින් බොහෝ මිනිස්සු මිය ගියහ.බංගලා දේශයට ගංවතුර ගැලු විට මිනිසුන් මිය  යන්නේ  දහස්  ගණනින් නොව ලක්ෂ  ගණනි නි. කතෝලික ආගමිකයන් සිටින යුරෝපයටද ඇමරිකාවටද  පසුගිය  කාලයේ ගංවතුර  ගැලුවේය. ඊයේ පෙරේද කැනඩාවට අලි ලැව් ගින්නක් ඇතිවී ගම්  සහ නගර අළු කළේය. හින්දු දෙව්  වරුන්ගේ පාරාදීසය වන ඉන්දියාවටද  ගංවතුරෙන් ඉඩෝරයෙන්, කුණාටුවලින් අඩුපාඩුවක් නැත. බුදුන් උපන් දේශය වන නේපාලයේ  මාස  කීපයකට පෙර ඇතිවූ භුමි  කම්පාවෙන් බොහෝ අය පරලොව  ගියහ. කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරිය  යටතේ  ධනපති අර්ථ  ක්‍රමය පවත්වාගෙන  යන චීනයටද ගංවතුරෙන් , භුමි කමපා වලින් අඩුවක් නොමැත. ධනවාදී නොවන අර්ථ  ක්‍රමයක් තිබෙන කියුබාවටද ගංවතුර වරින් වර ගලයි.

කරුණු කාරණා දන්නා  අය  නම් කියන්නේ ස්වභාව ධර්මයට යකා වැහී තිබෙන්නේ එයට එරෙහිව මිනිස්සු  කටයුතු  කිරීම නිසාය  කියාය. පොහොසත් රටවල මෙන්ම  චීනය වැනි  රටවල්ද   පරිසරයට  කරන  හානි නිසා ගෝලීය උණුසුම ඉහල  යාම කාලගුණ  විපර්යාස ඇති කිරීමට හේතුවී තිබේය  කියා ඔවුන් කියති. එබැවින්  ඒවා පාලනය  කිරීමේ අරමුණෙන්  එක්සත් ජාතීන්ගේ  සංවිධානය මුලික වී ලෝකයේ  රටවල් සමග  ගිවිසුම් රැසක් අත්සන්  කර  තිබේ. කියෝතෝ එකඟතාවය ඉන් ප්‍රධානය.  එහෙත් පරිසරයට එරෙහිව මිනිසා කරන කොඩිවින නම්  අඩුවක් නැත.

කෙසේ වෙතත් ඕනෑ  කමක් තිබේ  නම් ස්වභාවික විපත්ති වලින් මිනිසාට වන  හානි අඩු  කර  ගැනීමට  හැකිය. වරක් කියුබාව හරහා දැවැන්ත  කුණාටුවක් යාමට ලක ලෑස්තිවන විට  කියුබානු  ආණ්ඩුව  ලක්ෂ ගණනින් මිනිස්සුන් කුණාටුවෙන් බලපෑම් සිදු නොවන ප්‍රදේශවලට  රැගෙන  යාමට දක්ෂ විය . එම  දුරදර්ශී පියවර  නිසා  කුණාටුවෙන් මියගියේ දෙතුන් දෙනෙකු  පමණය.ලෝකයේ දියුණු  රටවලටද ස්වභාවික විපත්වලින් සිදුවන විපත් අවම  කර  ගැනීමට  හැකිවී  තිබේ . එයට හේතුව  නම්  විද්යාවේ  දියුණුවත්  අදාල ආයතන සහ සේවාවන්හී කාර්යක්ෂම තාවය  නිසාත්ය.

අපේ  රටේ   කතෝලිකයනටත් හින්දු භක්තිකයනටත් මුස්ලිම්  ජතිකයනටත් , 33 කෝටියක්  දෙවිවරුන්ගේ  පිහිට  තිබෙන සිංහල  බවුද්ධයන්ටත් තවත් බොහෝ කාලයක්  යන තුරු  ගංවතුරෙන් ද , නාය  යාම් වලින්ද  ජීවිත  හානි සහ  දේපොළ විනාශයන්ට  මුහුණ දීමට  සිදුවනු ඇත. එයට  ප්‍රධාන  හේතුව  නම් මේ රටේ  පවතින  ජරා  ජීර්ණ දේශපාලනය වෙනස්  කිරීමටත්  , ජාති භේද, ආගම භේද අමතක කොට  එක්  ජාතියක් ලෙස  සමගියෙන් ජීවත් වීමටත් , දියුණු  ලෝකය සමග  ඉදිරියට  යාමටත් අපේ  මිනිස්සු   සුදානම් නැති  කමය. 

 

                                                                ගංවතුර විපතට පත්වුවෝ

     නිල්පාට ඇඳුමක් පැළඳ  ඉන්නේ  ගංවතුරටත් නාය  යාමටත් අසුවී  යන්තම් පණ බේරා  ගත් අනාථයෙකි.)

Monday, May 16, 2016

බුද්ධ පුත්තරයන්ගේ යුද්ධය

බුදුහාමුදුරුවෝ දේශනා  කළේ ප්‍රාණඝාතයෙන් වළකින්නටය. මිනිහෙක් නොව   කොඳුරුවෙක් මැරුවත් පාපයකි. බණ  පොතට  අනුව නම් මිනීමරුවෙකුට යලිත් මනුස්සයෙක් වී උපදින්නට තවත්  කල්ප  ගානක් බලා  සිටිය  යුතුය. මිනිස්බව  ලබා   උපදින්නට  බොහෝ පින් තිබිය යුතු  බව හාමුදුරුවරු  බණට  කියති. උපමාවට  කියන්නේ  විය සිදුරෙන් කණ කැස්බැවෙකුට  අහස  දකින්නට දුෂ්කර තරමටම  මිනිස් බව ලබා  උපදින්නට දුෂ්කරය කියාය.


  භික්ෂුවක් විසින් ගසක  අත්තක්  කැඩීමත් ඇවතක් ලෙස දෙසු  බුදුන් වහන්සේ යුද්ධයේදී මිනී  මැරුවාට  පව් සිද්ධ  වන්නේ  නැත  කියා   කිව්  බවක්  නම් දැන  ගන්නට නැත. උන්වහන්සේ ධර්මය  පදනම් වී තිබෙන්නේ අවිහිංසාව  මතය. එහෙත් ප්‍රාණඝාත කිරීමට අණදුන් අය වීරයන් සේ අපේ රටේ  බුද්ධ පුත්තරයෝ සලකති. මේ වෙසක් මාසයේ  18 ට  දිනට යෙදෙන  ප්‍රාණඝාත කිරීමේ   සංවත්සරය  දිනය  සැමරිය යුතු යැයි මුරුත්තෙට්ටුවේ  බුද්ධ පුත්තරයාද  ඇතුළු පුත්තරයෝ කියති   ආණ්ඩුව එය සැමරීමට  කටයුතු  නොකිරීම  ගැන දොස්  පවරති.


එයට  හේතුව  නම් අපේ රටේ  නිර්මල  ථෙරවාද  බුද්ධාගම තිබෙන නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ  නම් අසරණයන්ට පිහිට වුහ. සුනීතට, සෝපාකට , පටාචාරාවට මහත් කරුණාවෙන් සැලකුහ. එහෙත් අපේ බුද්ධ පුත්තරයෝ  නම් එසේ  කරන අවස්ථා නම්  ඉතා විරලය.සුනීතල  සෝපාකලා පටාචාරලා  ලක්ෂයක් හමාරක් 27 අවුරුදු යුද්ධයේ  ප්‍රතිඵල ලෙස උතුර  නැගෙනහිර දැකිය  හැක.එහෙත් ඒ පැත්තට ගොස්  ඔවුන්ට  උදව්  කළේ ඉතා අල්පයක් බුද්ධ පුත්‍රයන් පමණකි.


එයට  හේතුවත් නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ  තිබෙන නිසා වන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ, කුල වසයෙන් මිනිස්සු බෙදීම අනුමත  කලේ  නැත. කෙනෙකු උසස්  හෝ පහත්  වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්  බව උන්වහන්සේ  කීහ. ඒ  අවුරුදු 2500 කටත් පෙරය. එහෙත් අපේ  රටේ  නම් මහන කරන්නේ කුලය  හොඳ හැටි සොයා  බලාය. සියම් නිකායේ ගොවිගම කුලයෙන් පිට එකෙකුට නම් ඉඩක් නැත. මා   සමග  විවුර්තව  කතා  බහ කරන ,අමරපුර  නිකායේ ,අනු   නිකායක,   නායක තෙර  නමක් සමග  එයට  විරුද්ධව  මා   අදහස්  දැක් වූ  විට  උන්වහන්සේ  මට  දුන් පිළිතුර  නම් "අපි  මහන  කරන්නෙත් අහවල්  කුලයේ  අය  පමණක්ය '' කියාය.හේතුව විමසු විට කිව්වේ " අපේ  පන්සල් වෙන  කුලවල  අයට අයිති වන එක  වලක්වන්නට ඕන  නිසා " කියාය.


ඒකට  හේතුවත්  අපේ  රටේ  නිර්මල   ථෙරවාද බුද්ධාගම  තිබෙන  නිසා  වෙන්න  ඕනෑය.

  චුලොධර  සහ  මහෝධර නම් නා රජවරු  දෙදෙනෙකු  සේනාවන් සමග පැමිණ මැණික් පුටුවක් අයිති  කරගැනීම  සඳහා  මහා සංග්‍රාමයකට  ලක ලෑස්තිවන විට බුදුන් වහන්සේ  ලංකාවට වැඩම  කොට යුද්ධය  යනු බිහිසුණු අපරාධයක් බව  දේසනා කොට යුද්ධය වැලක්වූ බව  බණ පොතේ  සඳහන් වේ.  ශාක්‍ය  කෝලිය යුද්ධය  නවත්වන්නට ද බුදුන් වහන්සේ  මැදිහත් වූ බව  මා අසා තිබේ. තමන් සාඛ්‍ය වංශයේ  නිසා " කෝලිය වංසයේ  එවුන්ට  කට උත්තර  නැති වෙන්නට  සබ්බුව  දීපියව් " කියා  උන්වහන්සේ  දේශනා  කරේ  නැත.අපේ රටේ 27 අවුරුදු  යුද්ධය නිසා  මහා මිනිස් සංහාරයක්  සිදුවුණු  නමුත් අපේ බුද්ධ  පුත්‍රයෝ   නම් එය වලක්වන්නට අබ මල් රේණුවක  තරම් දෙයක් වත්  කල බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට  වෙඩි තැබීමට, බෝම්බ  ගැසීමට , පිහියෙන් ඇනීමට , බෙල්ල  කැපීමට ,කාල තුවක්කු වලින් වෙඩි තැබීමට , උඩින් බෝම්බ අතැරීමට  හමුදා භටයන්ට ධයිර්ය  දීම  සඳහා   ඇතැම්  බුද්ධ  පුත්තරයෝ  යුධ බිමට වැඩියාහ.


එයට හේතුව  වන්නට  ඇත්තෙත් අපේ රටේ    නිර්මල  ථේරවාදී බුද්ධාගම තිබෙන  නිසා  වෙන්නට  ඕනෑය..

දිනක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමග  කුඹුරක් පසු  කර  යමින් සිටින විට හොරුන් අතින්  කුඹුරට වැටී තිබු සල්ලි  මල්ලක් දැක " ආනන්ද ! සර්පයා දුටුවාද ?" කියා ඇසුහ.. ආනන්ද හිමියෝද " එසේය. භාග්‍යවතුන් වහන්ස " කියා  පිළිතුරු දුන් සේක.

එහෙත් අපේ  රටේ  ගිහි පින්වතුන් බුද්ධ  පුත්‍රයන්  බන කිව් පසු පිරිකර සමග සර්පයන්ද පුජා   කරති.සර්පයන් අඩුවී තිබුනොත් , පිරිකර පුංචි වුවහොත් බන කිව් බුද්ධ පුත්‍රයාගේ  මුහුණ දික්වේ. පන්සලේ  අටපිරිකර  අඩු වසයෙන් විසි  තිස්වාරයක් වත් සර්පයන් වෙනුවෙන් හුවමාරුවේ.එසේ  ලබා  ගන්නා අට පිරිකර නැවත  නැවත  පන්සලට  පුජා  කිරීමෙන්  ලැබෙන  මහත්වූ පුණ්‍ය  මහිමයේ  බලයෙන් මිය ගිය  ඥාතියාට දිව්‍ය  ලෝක  මනුස්ස  ලෝක  සැප සම්පත් හිමිවෙන  බව පන්සලේ  හාමුදුරුවෝ දේශනා  කරති.


සර්පයන් පුජා  කිරීමෙන් මහත් ඵල  මහානිසංස  ලැබෙන්නේත් ලංකාවේ  තිබෙන නිර්මල ථෙරවාද  බුද්ධාගම  නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ අවුරුදු 2500 කට  පෙර  තම ශාවකයනට දේශනා  කළේ  භික්ෂුවක්  කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටිය  යුතුය  කියාය. වෙනත් වචන වලින් කියතොත් භික්ෂුවකට පාත්‍රයත් , සිවුරකුත් අඳන  කඩ  දෙකකුත් පමණක්  තිබීම  ප්‍රමාණවත්  කියාය.   දේපොළ හොරු ගනීවිදෝ කියා හිතේ  බරක් නොමැතිව , ධර්මය දේශනා  කරමින්  ගම්  නියම්ගම් වල  භික්ෂුන්ට  චාරිකා  කළ  හැක්කේ  එවිටය.එහෙත් අපේ  රටේ  ඇතැම් බුද්ධ  පුත්‍රයන්ට  නම්   ඉඩකඩම්   පමණක් නොව කාර්  බාර්ද  තිබේ. සමහරුන්ට පන්සල් තුන  හතර  අයිතිය . එපමණක් නොව පන්සල්වල  අයිතියට  සන්ඩු සරුවල්  කරගෙන අන්තිමට උසාවියටද වැඩම  කරති.




ඒකටත් හේතුව  නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ තිබීම නිසා  වන්නට  ඕනෑය.

සසර දික් වන්නේ තණ්හාව  නිසා  බවත්  නිවන් දැකීමට නම් තණ්හාව  නැති  කළ යුතු බවත් බුදුන් වහන්සේ දේශනා  කළහ. ලංකාවේ  බුද්ධ  පුත්තරයොත් ගුවන් විදුලි  බනේදීත් , රුපවාහිනී බනේදීත්  පන්සලේ ලවුඩ්ස්පීකර බනේදීත් එයම දෙසති. තණ්හාව  නැති කිරීම සඳහා පන්සල්වලට  දානයද ,පිරිකරද, මුදල්ද  ඇතැම් විටෙක  ඉඩකඩම්ද පුජා  කරන  ලෙස ගිහියනට  අනුශාසනා  කරති. උන්වහන්සේලාගේ අනුසාසනා  හිස් මුදුනින් පිළිගන්නා  ගිහි බවුද්ධයෝ ඒ අනුව කටයුතු  කරති. සිරීපාදයට  , දළදා මැදුරට , බෙල්ලන්විලට, අනුරාධපුරයේ  අටමස්ථානයට සහ අනෙකුත් පොහොසත් පන්සල්වලට වාර්ෂිකව  කෝටි  ගණනින් මුදල් පුජා කිරීමට බවුද්ධයෝ පෙළඹෙති .  බුද්ධ පුත්තරයෝ  ඒ මුදල් බැංකුවල තැන්පත් කරති. තේ වතු ,පොල් වතු මිලදී ගනිති. හයිබ්‍රිඩ් ද ගනිති.

ඒකටත් හේතුව වෙන  කිසිවක් නොව  ලංකාවේ  නිර්මල ථෙරවාද බුද්ධාගම  තිබීම  නිසා වන්නට  ඕනැය.















Saturday, May 14, 2016

' දිවයින' සහ ' සහෝදරයෝ '

'දිවයින' පත්තරය  විසින් අනුර  කුමාරට මඩ ගෝනියකින් දමා ගැසීම  නිසා ජවිපෙ  නායකයන්ට ඌරු ජුවල්  නැග තිබෙන  අතර  පහල මට්ටමේ ජවිපෙ  සහෝදරවරුන් නම් ඉන්නේ  'දිවයින ' මරාගෙන  කන්නට  තරමට තරහින්ය. නිමල් වෙල්ගම,' දිවයින'  බලහත් කාරයෙන් අයිති  කරගෙන සිටින  බවත්  බිරිඳ අත් හැර පිරිමියෙක් සමග  ජීවත්වෙන  බවත් කියමින්  jvp පොඩ්ඩන්   face book හී  කතන්දර  ලියන්නට  පටන් ගෙන තිබෙන්නේ ඒ  නිසාය.ජවිපෙට  මඩ ගසා  බේරෙන  එක ලේසි නැත. මඩ  ගැසීමේ  තරඟයක් තිබ්බොත්  කප් එක  ගහන්නේ  ජවිපෙ ද  නැත්තම් ' දිවයින' ද  කියා  තේරුම් බේරුම්  කර  ගැනීම  ඔබට  බාරය.

87-89 කාලයේ ජවිපෙට එරෙහිව ඔවැනි  චෝදනාවක්  කළේ නම්  පිළිතුරු  ලැබෙන්නේ  මඩ සමග  කළු කුඩු බස්නයෙන්   බව  සමහරු කියති.


 ජවිපෙ  කට්ටියට  හිටි හැටියේම   'දිවයින '  අඳුකොළ බවට පත්  වූවත් අපි වගේ  මිනිස්සුන්ට  නම් දිවයින තිත්ත වුයේ  බොහෝ  කල් සිටය.  ඊට හේතුව  නම් එය  අතේ  රෝල්   නිතර  නිතර රෝල්  කිරීමයි..  එහෙත් එය ඥානසාරලාට නම්  සීනි  හැලියකි.... බෙන්ගමුවේ  නාලකලාට අමා වතුරකි. ගුණදාස  අමරසේකරලාට අමුර්තයකි.  නලින්ද සිල්වලාට පැණි ගුලකි.  .වීරවන්සලාට මී වදයකි.


 'බල්ලන් මරා   හෝ  සල්ලි හම්බු  කිරීම ' ජනප්‍රිය සිංහල කියමනකි.  'දිවයිනේ ' පරණ සහ  අලුත් අයිතිකරුවෝ කළේ  එයටත් වඩා පහල මට්ටමට   බැස  එය සල්ලි  හම්බු  කිරීමට යොදා ගැනීමය. එනම්  සිංහලයන් තුළ  දෙමළුන් සහ  මුස්ලිමුන් කෙරෙහි වයිරයක් ඇති කරන ප්‍රවුර්ති   පළකිරීම  එහි දැක්ම සහ මෙහෙවර   කර  ගැනීමය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ  සහෝදරවරු   නම් ඒ  ගැන මොකුත්ම  කී  බවක්  මට  නම්  මතක  නැත. ඒ  ඔවුන්ගේ දේශ පෙරේමයට දිවයිනේ  දේශ පෙරේමය  තකට  තක මෙන් ගැලපුන  නිසා විය  හැක.


අනුර  කුමාරට එරෙහිව   කවුරු හෝ  මඩ ලිපියක් මඩප්පු කෙනෙකු ලවා  ලියෙව්වේ ඇතැම් විටෙක දිවයින  මුදලාලි අනු දැනුමකින් තොරවද   විය  හැක. ඔහුට  දිවයිනෙන් අස්වෙන්නට  සිදුවූයේද   මුදලාලිට  කේන්ති ගිය නිසාද විය  හැකිය.   මඩප්පු  ඒ  ලිපිය  ලිවේ  ලොකු  ගතමන්ට්  එකකටද විය  හැක. ලිපියේ  වගකීම  භාරගෙන මඩප්පු ' දිවයිනෙන්' අස්වුවේද ගතමන්ට් එක ආපසු දෙන්නට  බැරි  කම නිසාද  විය  හැකිය. කෙසේ   වෙතත්  ඔහු  කර  ඇත්තේ  කාගේ  හෝ කොන්තරත්තුවක් බව  නම් ස්ථිරය. ජවිපෙ    නම් කියන්නේ   රාජපක්ෂලාගේ කොන්තරාත්තුවක්  බවය. අනුර  කුමාර  අයර්ලන්තයෙන්  ගොඩ බහින  විට ඔහුගේ සහ   ගැනු පරාණයක පින්තුර  ගන්නට දෙදෙනෙක්  යොදවා තිබීම  සහ  ඒවා 'youtube 'ට මුදා හරින්නට  කටයුතු  කිරීම  එයත් තවත්  ලටපටත් පාදක  කර ගනිමින් දිවයිනට ලිපියක්  ලිවීමත් සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට  නම් සැකයක්  නැත.

අනුර  කුමාරගේ  බිරිඳගේ   පරණ විවාහයේ දරුවෙකුගේ  නමින් තිබෙන ගිනුමක කෝටි  ගණනක් මුදල්  තිබෙන  බවක් එම  ලිපිය  කියයි  එය  ඇත්තක් වුවත්  එම  කාරණාව පුදුම  වීමට දෙයක් නොවේ. .ජනතා විමුක්ති පෙරමුණට  අයත් මුදල්  තව තවත් අයගේ  නමින්ද   තිබිය  හැක. එම සංවිධානය එසේ  කරනවා ඇත්තේ ආරක්‍ෂිත පියවරක් ලෙස  විය  හැක.      ආණ්ඩුවක්   හෝ අධිකරණ නියෝගයක් මගින් හෝ  ජවිපෙ  නිල  බැංකු ගිණුම්   අත් හිටවුවහොත් ජවිපෙ  පවත්වාගෙන  යාමට  සල්ලි උවමනාය. එබැවින් වෙනත් අයගේ  නමින් ජවිපෙ  බැංකු  ගිණුම්  පවත්වාගෙන  යන්නේ  නම් එය   පුදුම  විය  යුත්තක් නොවේ.

අනුර  කුමාරට අයර්ලන්තයේ  පෙම්වතියක් සිටින  බවත් ඇයට  අනුර  ගානේ  දරුවෙක්  සිටින  බවත් දිවයින ලිපියේ  සඳහන් වේ. එවන් විස්තර  පළකරන්නේ  ගොසිප් පත්තර  කඩමාලුය.ජාතික  පත්තරයක්  කියාගන්නා  'දිවයින' ගොසිප් හෙවත් අනුන්ගේ රෙද්ද අස්සේ  තිබෙන දේවල් ලියන කැලෑ පත්තරයක්  බවට  පත්වීම  නම් අපගේ  බලවත් චිත්ත ප්රීතියට හේතුවේ.  එබැවින් නිමල් වෙල්ගම  මහතාට අපගේ  අවංක  සුබ පැතුම්  පිලිගන්නමු.


අනුර  කුමාරට නෝනාට අමතරව  පෙම්වතියක් සිටීම මඩප්පුලාට තප්පු  ලන්නට  කාරණාවක් වුවද අපිට  නම් එය  පයිසේකටවත් ගණන්  ගත  යුතු දෙයක් නොවේ.ඒවා පුද්ගලික දේවල්ය. පොන්ත  නෝනගේ පස්ස පොන්ත  නෝනාට  ඕන  හැටියට  මිසක් දිවයිනේ  හිටපු මනෝජ් අබේදීරට ඕනෑ  හැටියට  නොවේ.

අපිට  තිබෙන  ප්‍රශ්නය  නම් 'දිවයින ' නැති  බොරු  හදා මේ රටේ  පුරවැසියන් ඇනකොටා ගැනීමට  තුඩුදෙන ලිපි සහ  පුවත් අති රස  දමා   ලිවීමය.ජනතා විමුක්ති පෙරමුණ මාර්ක්ස්වාදී  පක්ෂයක් නම් 'දිවයින' වර්ජනය  කරන ලෙස  ආයාචනය  කළ  යුතුව  තිබුනේ  මීට  බොහෝ  කලකට පෙරය. මාක්ස්වාදියට ජාතියක්, තබා  රටක්වත් නැත. ඔහු  ජාත්‍යන්තර වාදියෙකි. "ලෝකයේ  කම්කරුවනි එක්වවූ !" කියා මාර්ක්ස් සහ එංගල්ස් මාර්ක්ස්වාදීන්ගේ  හෝඩි පොත වන කොමියුනිස්ට් ප්‍රකාශයේ  ලිව්වේ  ඒ  නිසාය. 

එහෙත් බලය  ගැනීමට  හදිස්සි වී සිටින ජවිපෙට උවමනා  වී තිබෙන්නේ ජාත්‍යන්තරය  හරහා වැටී තිබෙන වංගු පාරේ   යන්නට නොවේ.ජාතිවාදයත්  දේශ ප්රෙමිත්වයත්  හරි හරියට කවලම් කර හදන  කාපට් පාරේ  යන්නටය. විජේවීර  මහතා 87 හැදුවෙත් එවැනි  පාරක ගොස් බලය  ගන්නටය.එහෙත් ඔහු තම   සගයන් රැගෙන ගියේ ලෝකාන්තයටය. 

අනුර  කුමාර සහෝදරයා  සහ ටිල්වින් සහෝදරයා තම සගයන් දැන් එක්කන් යන්නේ  ලෝකාන්තයට  නම් නොවේ.   අපිට  නම් පෙනේනේ   සිංහල  තරුණ  තරුණියක්  පිරිසක් එක්කරගෙන සහරා   කාන්තරය  පැත්තට  යන බවය. ඒ  ගැන  අපිට  කනගාටුය.  හරි  පාරේ  යන්නේ  නම්  එක  පාරක්   නොව දහ  පාරක්  උනත් සැලියුට්  ගසන්නට අපි සුදානම්ය.

කොහොම  උනත් ජනතා  විමුක්ති  පෙරමුණ  දිවයිනට විරුද්ධව  මාධ්‍ය  සාකච්චා පැවැත්වීම   සහ පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන  යාම නිසා 'දිවයින' මුදලාලිගේ  හොද්ද   නම්  බොරවී ඇති  බවට  නම් සැකයක්  නැත. ඒ නිසා මනෝජ් අබේදීරට  ආයිත් ජොබ් එක දී  "තවත් මඩ  ලිපියක්  ලියපන් පුතා "  යැයි  කියන්නටද  ඉඩ තිබේ.



















































































Sunday, May 8, 2016

විමල් වීරවංසට love ලෙටර් එකක්

මැති තුමනි !

ඔබ තුමා වෙත  ලිපියක් ලිවීමට    කල්පනා  කළේ වෙන  කිසිවෙකට  නොව ඔබ  තුමාගේ දක්ෂතාවය  ප්‍රසිද්ධියේ අගය  කල  යුතු  යැයි මට සිතුනු  නිසාය. ඔබේ  දේශපාලනය ගැන මා  කිසිදු එකඟතාවයක් නැතත් ඔබේ  දක්ෂතාවයන්  අගය  කිරීමට එය  මට  බාධාවක් නොවේ. තමන් අකමැති  මිනිසුන්ගේ දක්ෂතාවයන් අගය  කිරීමට මේ උතුම්  ශ්‍රී ලංකාද්වීපයේ බොහෝ  ජනයා  නම් කැමති  නැත. ඔවුන් කරන්නේ  අඩු  පාඩු සොය සොයා ගල් මුල්වලින් දමා  ගැසීමය. එහෙත් දක්ෂයා   අගය  කිරීම මගේ උප්පත්ති  ගතියයි.

ඔබ   දේශපාලනය  පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුනෙන්ය. ඔබ  තුමාගේ  අපේක්ෂාව  වුයේ අපගේ  මේ උතුම් රට   සමාජවාදයෙන්  බබලවන්නටය.ඒ  සඳහා ඔබ  කොතරම්  කැප වුයේද  යත් පක්ෂයේ ෆුල් ටයිමෙක් වුවේය. ජවිපෙ ෆුල් ටයිමා  යනු  අතින් කා හරක් බලන්නෙකි . වෙනත් වචන වලින් කිව්වොත් අතේ  තියෙන  තුට්ටුවත් පක්ෂය  වෙනුවෙන් වියදම් කිරීමය.


දක්ෂතාවය  නිසා  ඔබ  පක්ෂයේ  ඉහලට   නැගුණු  අතර මිනිසුන් ඇන්දවීමේ දක්ෂතාවය ඉහලිම  තිබුණු බැවින් මන්ත්‍රීවරයෙකු වීමටද  අවස්ථාව  ලැබුණි. එහත් මන්ත්‍රී පඩියද  පක්ෂයට දීමට  සිදුවූ බැවින් ආර්ථික  අමාරුකම් විසඳා  ගැනීමට  පක්ෂයෙන් දුන් ගාස්තුව ප්‍රමාණවත් වුයේ  නැත. ඔබ මාවරමන්ඩියේ  කොමියුනිකේෂන් එකක් පටන් ගත්තේ  ඔබටත් පවුලටත්  තුන්වේල  හරියට කන්නවත් මුදලක් හදලක්  තිබුනේ  නැති නිසාය.. එකල  ඔබට  කියා ඉඩමක්  කඩමක්  නොතිබුණු  අතර ඔබේ  බිරිඳට  තිබුනේද  පහල බියන්විල මිල්ල ගහවත්තේ පර්චස් 4 ක ඉඩම් කැබැල්ලක්   පමණි.

දක්ෂ  මිනිසෙකු වූ ඔබට  ඔබේ  පක්ෂය  බිය  වන්නට  ඇත.  දුෂණ ක්‍රියා , ඔත්තු බැලීම සහ  අනුන්ගේ  කොටු වලට  පැනීම  යන චෝදනා එල්ල  කොට ඔබව  පක්ෂයෙන් දොට්ට  දැම්මේ  ඒ  නිසා විය  යුතුය.  එහෙත් ඔබේ  දක්ෂතාවයන්  වඩාත් ඔප් නැංවුණේ  එයින් පසුවය.  2008 දී අලුත් පක්ෂයක් පිහිටුවා ගෙන මහින්දව  කරට  ගැනීමෙන් පසු නව ලෝකයක් ඔබට  උදා විය.

2008 අලුත් පක්ෂයක් පිහිටවූ ඔබ  2009 වන විට  හෝකන්දර මංගල  මාවතේ පර්චස් 30 ඉඩමක තෙමහල්   බංගලාවක්  තැනු අතර ටික  දවසකින් ඒ  ඉඩම පර්චස් 80 දක්වා ලොකු  කර  ගත්  එහි තවත් බංගලාවක්  තැනුවේ ඔබේ  දුවටත් පුතාටත්  යුතුකම් ඉටු  කළ යුතු නිසාය.  රුපියල් කෝටියකට  කිට්ටු මුදලක් වැය  කොට ඉඩම වටා   තාප්පයක් ද බැන්දේ  සල්ලි තිබෙන බංගලාවන්ට නිර්දන  පන්තියේ  හොරු  පමණක් නොව දේශප්‍රේමී හොරුද  පැනීමට  ඉඩ  තිබෙන  බව  ඔබ සක් සුදක්සේ  දන්නා  බැවිනි . ඔබට  තිබෙන  මොලය තුට්ටු දෙකේ  හොරුන්ට  නැත. තිබෙතොත්   ඒ කෝටි  ගණනින් ගහන  හොරුන්ට  පමණි.

ඔබ  හොඳ ස්වාමි පුරුෂයෙකි. ඔබේ  බිරිඳටද  ඔබ  ආදරය කරන බැවින්  රන්දුනු ෆැබ්රික්  නමින් ඇඳුම්  කර්මාන්ත  ශාලාවක්  ආරම්භ  කර  බිස්නස් කිරීමට  ඇයට අවස්ථාව  සලසා දුන්නේය. හොඳ ස්වාමි පුරුෂයන්ගේ  හැටි එසේය.  එමෙන්ම   පාදුක්කේ  වග  ප්‍රදේශයේ  අක්කර  13 ක ඉඩමක  කාමර 25 කින් යුතු  හෝටලයක්ද ඔබට  මිලදී ගැනීමට  හැකි වුයේ  ඔබ සතු ඇති විශිෂ්ට  දක්ෂතාවයන් නිසාය.ඔය  තරම් සල්ලි  කන්දරාවක් ඔබට ලැබුනේ  කෙසේ  දැයි මා   නම් ප්‍රස්න  කරන්නේ නැත. මන්ද එය ඔබට විරුද්ධ  LTTE ඩයස්පෝරාවට කදිම ආයුධයක් සැපයීමක් වන නිසාය..

 යුග පුරුෂයෙකු වන ඔබ  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ   කර්තේලිස්ලා , සුමනවතීලා , කුමාරලා  පමණක් නොව  රාජපක්ෂලාවත්  ගොනාට  ඇන්දවීමේ   අති ශුරයෙක්   බව මෑත අතීතය  විමසන විට පසක්වේ.   ඔබේ  පක්ෂයට සාමජිකයන් සිටින්නේ   අතලොස්සක් වුවද   මහින්ද රාජපක්ෂ කොඩිය   කරට ගෙන  රට වටේ  යාම නිසා    වශීවුණු  මහින්දගේ  මිනිස්සු ඔබටත් ඔබේ  පක්ෂයේ  අපේක්ෂකයන්ටත් චන්දය දී  ශ්‍රී ලංකා  කාරයන් 6 දෙනෙකු පරද්දා  ඔබේ  පක්ෂයෙන්  හය දෙනෙකු   ඉකුත්  මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැවීමට අගනා   සහයක් දුන්නාහ 


JR  ජයවර්ධනටත් කඩන්නට  බැරිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   දෙකට කඩන්නට  ඔබ තුමා  දැන් සමත් වී තිබේ.එයින්  ඔප්පු වන්නේ ඔබ  තුමා  සුළුපටු  දක්ෂයෙකු නොවන බව මිසක් වෙන  කුමක්ද ? මේ  ව්‍යාපෘතිය දිගින් දිගටම  ඉදිරියට  ගිය හොත්  මහින්ද නැති දවසක එහි  නායකයා වීමට ඔබට  පුළුවන .  මැයි දිනයේ   කිරුලපන රැස්වීම ඒ දෙසට  තබන ලද  අගන පියවරකි.

ගාල්ල  රැළියෙන් පසු කිරුලපන මන්ත්‍රී කණ්ඩායම තරමක් තිගැස්සී  තිබෙන  බව ඔබ තුමා මේ වන විට  දන්නවා  ඇතැයි සිතමි.. මයිත්‍රීගේ  නායකත්වය  පිළිගෙන  ඔහු  හා එකතු වීමට    කිරුලපන  කණ්ඩායම, මෛත්‍රී හිතවාදීන් සමග  රහසිගත   සාකච්චා  අරඹා  තිබීම  නිසා  ඔබ  තුමාත් තරමක් ගැස්සී සිටිනවා  විය  හැක. ඒ දෙගොල්ලන් මයිත්‍රී  යටතේ  එකතු වුවහොත් ඔබට සිදුවන්නේ  දියවන්නාවට  පනින්නට බව අමුතුවෙන්  කිව  යුතු  නැත. එහෙත් ඔබ  තුමා එසේ  ලේසියෙන් අරින  පොරක් නොවන මා දනිමි. මෙය  නම් නිසැකවම  අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රනයකි . දේශප්‍රේමී  ජනයාගේ  නාමයෙන් මෙම  කුමන්ත්‍රණය   පරාජය  කිරීමට  ඉක්මනින් ඔබ  තුමා කටයුතු  කළ  යුතුය. එසේ  නොවුන  හොත්  හොර උප්පැන්න  සහතික , හොර  පාස්  පෝට් ,ආදිය  ගැන  පමණක් නොව මාලිගා හදන්නට  හෝටල් හදන්නට  ගාමන්ට්  හදන්නට  සල්ලි  හොයා ගත්තේ  කෙසේදැයි ම්  ඔවුන් විසින්ම  ප්‍රසිද්ධියේ අසන්නට  ඉඩ තිබෙන අතර  තමන්ගේ  බෙල්ල  ගලවා  ගැනීම  සඳහා   ඔබබේ  පක්ෂයේ  නායකයන්ම ඔබව   බිලි දීමට  ඉඩ තිබේ.  එබැවින්  අධිරාජ්‍යවාදීන්ගේ මේ කුමන්ත්‍රණය   පරාජය  කිරීම  සඳහා තිස්තුන් කෝටියක්  දෙවි  දෙවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, බලය සහ පුරුෂ  ශක්තිය  ඔබ තුමාට  ලැබේවායි  ඉතා සිතින්  ප්‍රර්ථනා   කරමි. B. S.



 





Friday, May 6, 2016

ඕමල්පේ ඇදගෙන ස්විට්සර්ලන්තයට ගියෙමි.

'විගි' ලොක්කා  යාපනයේ  පුස්තකාල ගොඩනැගිල්ල උඩට  නැග ෆෙඩරල් මල් වෙඩිල්ල පත්තුකළ විට 'දිවයින'කර්තෘ මණ්ඩලය මෙන්ම  ඕමල්පේලා ද පස්ස  කැඩුණු කඩි  මෙන් දඟලන්නට වූ බැවින් මා  කල්පනා කළේ ඕමල්පේ වත් වඩම්මා   ගෙන ස්විට්සර්ලන්තයට  යන්නටය. ඕනෑම  රටකට  යාමට තමන්  කැමති වුවද  ස්විට්සර්ලන්තය බෙල්ජියම  වගේ  පුංචි ෆෙඩරල්  රටවලට යාමට තමන්  කොහෙත්ම කැමති  නැති බව ඔහු එක හෙලා  කියා සිටියේය. චාටු  කතා  කියා  හෝ ඔහු ඇදගෙන  යන්නට  මා උත්සාහ  කළ  නමුත් ඔහු ඊට චුට්ටක්වත්  කැමති වුයේ  නැත . කරන්නම දෙයක් නැති වූ විට රාත්‍රී  කාලයේ සුදු වැන් රථයකින් ඔහුගේ  ජාත්‍යන්තර  පාසලට  ගොස්  වැන් රථයට ඔහු  බලහත්කාරයෙන් නංවා  ගතිමි. එක පිම්මේ  කටුනායක  ගුවන්  තොටුපලට  පැමිණි  මම , කාටත් හොරා,  නොනවත්වා  ස්විට්සර්ලන්තයට පියාඹන  ගුවන් යානයකට ඔහු පටවා ගතිමි.


ස්විට්සර්ලන්තය  මුහුදක්  නැති  , පුංචි කඳුකර  රටකි. එහි වර්ග  සැතපුම්  ප්‍රමාණය 41000කි. ඒ  කියන්නේ  ලංකාවටත් වඩා පුංචිය. එය  ඉතා  ලස්සන  රටක් බව නොදන්නා  කෙනෙක්  සිටී  නම් ඒ  ඔමල්පේගේ ගෝත්‍රයේ  අය විය  හැක. ගැහැණු  මෙන්ම   පිරිමිද ලස්සනය. අගනුවර    බර්න් නගරයයි.ජනගහනය  ලක්ෂ 81කි.



 අපේ  රටේ මෙන්ම ලෝකයේ  ඇතැම්  රටවල දේශපාලකයෝද  ඉස්සර සිය  කළු සල්ලි  හැංගුවේ ස්විට්සර්ලන්තයේ  බැන්කුවලය. එයට හේතුව  වුයේ ඒ රටේ  බැංකු රහස් කිසිවෙකුට  හෙළි  නොකළ නිසාය. 2009 සිට  එම  ප්‍රතිපත්තිය  අත්හල ස්විට්සර්ලන්තය සිය  මව් රටට බදු  නොගෙවා සිටීමේ  අරමුණෙන් ස්විස් බැංකුවල සල්ලි තැන්පත්  කරන අය ගැන  විස්තර අදාළ රට ඉල්ලා  සිටි විට  දීමට තීරණය  කළහ  එබැවින් ස්විස් රටේ සල්ලි හැංගීමෙන්  දැන් එතරම් පලක් නැත. කළු සල්ලි  කාරයෝ දැන්  යන්නේ සීෂෙල්ස්ය .  රටේ භාණ්ඩාගාරය  කොල්ල  කා  සල්ලි  ගෙනාවත්  සීෂෙල්ස්හී බැංකු බාරගන්නා බව  කියවේ.


මාධ්‍ය  නිදහස ස්විට්සර්ලන්තයේ   ඉතා  හොඳින් තිබේ. ආණ්ඩුවේ  දේ  කීමට  ප්‍රබල  රුපවාහිනි  සේවයක්  තිබෙන අතර පවුද්ගලික  මාධ්‍ය රැසක් එහි පවතී. එහෙත්  මාධ්‍ය  මගින් ජාතිවාදය  ඇවිස්සිම  තහනම්ය. එමෙන්ම  ජනවර්ගය  පදනම්  කරගෙන  වෙනස්  කම් කිරීමද  දඬුවම් ලැබෙන වරදකි.කිසිදු  බාධාවකින් තොරව  අන්තර්ජාලය  භාවිත  කිරීමේ  නිදහස එරට  ජනයා   භුක්ති විඳිති.  මුස්ලිම් කතුන්ට මුහුණ  වසාගෙන  හෝ එළියේ  දමාගෙන හෝ  යාමේ  නිදහස්  එහි තිබේ.


ක්‍රිස්තියානි රටක් වුවද ලිංගික  නිදහස ඉහල මට්ටමිකින්  එහි තිබේ.එනමුත් ගැටිස්සියන් ගැබ් ගැනීම අනිකුත් රටවල්  හා සංසන්දනය  කරන  විට ඉතා අඩු මට්ටමක  පවතී. අවුරුදු 16 ට අඩු තරුණියක් හා   ලිංගික සම්බදකම් පැවැත්වීම  නීති විරෝධී  වුවද 16 ට අඩු  කෙල්ලන් සහ  කොල්ලන්  කැමැත්තෙන්  ලිංගිකව  හැසිරීම නීති විරෝධී  කර  නැත. සමහරු එයට කියන්නේ   'රෝමියෝ ජුලියට් නීතිය'   කියාය.


ස්විට්සර්ලන්තයේ  ජනවර්ග  ගණනාවක්  විසුවත් ඔවුන් මරා   ගන්නේ  නැත. ඔවුන් අතරෙන් වැඩි දෙනෙකු  කතා  කරන  භාෂා නම් ජර්මන් (63.7%) , ප්‍රංස  (19.6% ) , ඉතාලි (6.6% ), රුමාන්ට්ෂ්  (0.5%)  වේ.

 එම  භාෂා   4 ම එරට  රාජ්‍ය  භාෂාවන් වෙති. එහෙත් එරට එකෙක්වත් එයට විරුද්ධ වී නැත.  ජනගහනයෙන් 0.5% ක්  පමණක්  කතා  කරන රුමාන්ට්ෂ්  භාෂාව, රාජ්‍ය  භාෂාවක් කරේ  අහවල්  කෙන්ගෙඩියකටදැයි අසන්නට ඥානසාර පරපුරේ අය එහි නැත.


වෙනත් භාෂා  කතා  කරන අයද එහි වසන   අතර එරට ජනගහනයෙන් 20% ක් පමණ රැකවරණය පතා  වෙනත් රටවලින්     පැමිණි  අය වෙති.  අපේ  රටේ යුද්ධය තිබු  සමයේ  ගිය  ලංකික දෙමළුන්  සහ  රාජපක්ෂ  ජනාධිපති සමයේ  සුදු වැන් වලට  බයේ  ගිය සිංහලුන්  සැහෙන පිරිසක්ද  ස්විට්සර්ලන්තයේ  වෙසෙති.


ඕමල්පේ උන්නන්සේව බලහත්කාරයෙන් මා විසින්   ස්විට්සර්ලන්තයට එක්කරගෙන  ගියේ  ඔහුගේ  ගෝත්‍රයේ  කට්ටිය ඇමරිකාව , රුසියාව  ඔස්ට්‍රේලියාව  ඉන්දියාව වැනි ලොකු රටවලට ෆෙඩරල් හරි ගියාට කඩල ඇටයක් තරම්  තරම් පුංචි   ලංකාවට  හරියන්නේ  නැත  කියා බෙරිහන් දෙන  නිසා ත් " බලාපිය  ෆෙඩරල් උනා   කියල පුංචි ස්විට්සර්ලන්තය කෑලි 26 කට  කැඩිලද? " කියා  ඇසීමට  මට  තිබු උවමනාව  නිසාත්ය.. 


           ස්විස්ට්සර්ලන්තයේ ෆෙඩරල් පාර්ලිමේන්තුව  ඉදිරිපස තිබෙන  ප්‍රාන්ත  ආණ්ඩු  කොඩි 



ස්විට්සර්ලන්තයට තිබෙන්නේ ලංකාවේ භුමි ප්‍රමාණයෙන්  2/3ක් වැනි ප්‍රමාණයක් පමණි. .  එය  සන්ධීය හෙවත් ෆෙඩරල්  රාජ්‍යයකි. බොහෝ  කාලයක   සිට ,කැන්ටන් නමින් හඳුන්වන ප්‍රාන්ත  රාජ්‍යයන් 26 කට රාජ්‍ය බලය බෙදා  හැර  තිබේ. ස්විට්සර්ලන්තයේ  ෆෙඩරල් ව්‍යවස්ථාව විසින්  එම  ප්‍රාන්ත  රාජ්‍යයන්ට තමන්ගේ  ව්‍යවස්ථාවක් නිර්මාණය  කර  ක්‍රියාත්මක කර ගැනීමට , තමන්ගේ  ජාතික  ගීයක්   හදා ගැනීමට , බදු එකතු  කර  ගැනීමට  පමණක් නොව වෙනත් කැන්ටන් සමග එකතු වීමේ බලයද  ලබා දී තිබේ. 

අධ්‍යාපනය  සම්බන්ධයෙන්  ගත්   කළ   ද්විතීයික  පාසලේ සිට  විශ්ව  විද්යාල  දක්වා අයිති  වන්නේ  කැන්ටන් නමැති මෙම ප්‍රාන්ත  රාජ්‍යයන්ටය. ප්‍රාථමික  පාසල්  පාලනය  අයිති වන්නේ නාගරික  සභා ලෙස  හඳුන්වන පහලම බල වයුහයටය. ෆෙඩරල්  ආණ්ඩුව  පාලනය  කරන්නේ  කාර්මික  පාසල් පමණි.

ස්විස් ප්‍රාන්ත  ආණ්ඩුවලට  පොලිස්  බලතලද  ෆෙඩරල් ව්‍යවස්ථාව  මගින් ලබා දී තිබේ. එහෙත් එකම  ප්‍රාන්ත  රාජ්‍යයක්  වත්  මහා  ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම  ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා  ගැනීමට තුවක්කු අමෝරා ගෙන  නැත.

 එහෙත් මේ  රටේ  සුළු  ජන කොටස්   තම ප්‍රදේශවලට බලතල ලැබෙන ව්‍යුහයක් ඉල්ලා  සිටි හැම විටෙකම 'මෙන්න  රට  කඩනෝ "  කියා කැ  ගැසූ කණ්ඩායම්  දෙකක්   සිටී. එකක් ඥානසාරගේ ගෝත්‍රයේ අයය.  අනිත් කණ්ඩායම    නම් විජේවීර  පරම්පරාවය .  චමපිකලාද වීරවන්සලාද , ජාගොඩලාද  විජේවීර  පරම්පරාවට  අයත්වෙති  .නව  ආණ්ඩු  ක්‍රම ව්‍යවස්ථාව  මගින් උතුරට 13 න් එහා  ගිය  බලතල දීමට යෝජනා වුවහොත්   මේ  කණ්ඩායම් දෙකම  එකිනෙකාගේ  කරට අත දමාගෙන"  මචං  දෙමු වැඩක් " කියනු නිසැකය.



                                          අපේ  රටේ දකුණේ  ගමක දසුනක් 




                                                         යාපනය      නගරාසන්නයේ 




























විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්

මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අය...