Monday, April 30, 2018

නිධානයක් වූ ලෙස්ටර් ට පස්ස පෙන්වීම



Image result for lester james peiris

   

 ලෙස්ටර් ජේම්ස්  පිරිස් මහතා, ලංකික සිනමාව  යා යුතු ඉසව්ව   රේඛාව සහ ඉන් පසු තැනු විශිෂ්ට සිනමා  කෘතීන්  මගින් අපට  කියා  දුන්නේය. එහෙත් ඔහු එළිකළ  මාවතේ  ගියේ අතලොස්සක් සිනමා  කරුවන් පමණි .බොහෝ සිනමා  කරුවන් විසින් කසි කබල්  ඉන්දියානු චිත්‍රපට අච්ච්වේ සිංහල  චිත්තර  පටි  අච්චු ගසා ප්‍රසිද්ධ  කළහ . එමගින්  ඔවුන්ගේ සාක්කු පුරවා  ගත්  අතර ලාංකික සිනමාව වල පල්ලට ඇද දැම්මේය .


ලෙස්ටර් යුරෝපයේ හෝ ඇමරිකාවේ උපන්නේ නම් ඔහු  අංක එකේ සිනමා  කරුවෙකු ලෙස  ලෝකයම හඳුනා ගනු ඇත . එවැනි විශිෂ්ටයෙකුගෙන් අප  ඉගෙන ගත්තානම් ඒ සොච්චමක්  පමණි . අප කණගාටු විය යුත්තේ  ඔහුගේ  අභාවයට වඩා ඒ  පිලිබඳවය .


මගේ බුකි මිත්‍රයෙකු වන  කේතක දිනාජ් විසින් ලෙස්ටර් ගේ  සිනමා නිරමාණ  ගැන අගනා විවරණයක් බුකියේ ලියා තිබුණේය. එය මා  මෙහි නැවත  පළකරන්නේ එවැනි රචනයක්  ලියන්නට  තරම්  සිනමාව ගැන තිබෙන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසාය .


 ===========================

ලෝකය ඉදිරියේ ලෙස්ටර් නිරාවරණය කල ලංකාවේ නිධානය

නිධානය චිත්‍රපටයට පාදකකොට ගෙන ඇත්තේ ජී.බී සේනානායක මහතාගේ 'පලිගැනීම'කෙටිකතා සංග්‍රහයෙහි එන 'නිධානය' නම් කෙටිකතාවයි.'නිධානය' කෙටිකතාවෙහි ප්‍රධාන චරිතය වන 'විලී අබේනායකගේ' ස්වයං පාපොච්චාරණය නිධානය නමින් කෙටිකතාව ලෙසට ප්‍රබන්ධ කොට ඇත.


Related image

                                                        (නිධානය )


ණය බරින් මිරිකී ගිය පිරිහුණු රදළ පවුලකට අයත් විලී අබේනායක නිධානයක් පිළිබඳ උනන්දු වෙයි. එලෙස නිධානයක් ගැන ඔහු දැනුවත් වන්නෙ පැරණි පුස්කොල පොතක එන විස්තරයක් කියවීමෙනි. නිධානය ලබා ගැනීමට නම් නළලෙහිද නහය අගද කම්මුලෙහි වල ගැසෙන තැනද අනුක්‍රමයෙන් කුඩාවී යන උපන් ලප ඇති ස්ත්‍රියක් බිලිදීමට අවශ්‍යය. එවන් ස්ත්‍රියක සොයා සැරිසරන විලී අබේනායක අවසානයේ 'අයිරින්' නම් අර කී ලක්ෂණ දරන ආකාරයේ ස්ත්‍රිය සොයා ගනී.

ඇයව විවාහ කරගන්නා විලී අබේනායක ඈට මහත් සේ ප්‍රේම කරන අතර ඇයද ඊටත් වඩා ඔහුට පෙරළා ප්‍රේම කරයි.ණය බර දියුණු වී දේපලද අහිමිව යෑමේ අවදානම් තත්වයක් ඇතිවූ විට විලී අබේනායකගේ සිතෙහි ඇයව මරා නිධානය ලබා ගැනීමේ අදහස නැවතත් මතුව එයි.ප්‍රේමයට වඩා දිලින්දෙකු වීමේ අවමානය පිලිබඳ හැඟීම දැඩි වීම නිසා අවසානයේ ඇයව මරා නිධානය ලබාගැනීමට ඔහු තීරණය කරයි.



Image result for lester james peiris


                                                           (නිධානය )


කැලයෙහි උස් පර්වතයක මුදුනෙහි වන ගල් දොරක් අබියසට යන විලී අබේනායක අයිරින් හා එක්ව බහිරව පූජා පවත්වයි. පිරුවට හැඳ මන්ත්‍ර කියමින් පූජා පවත්වන විලී අබේනායක අවසන පිහියකින් ගෙල සිඳ අයිරින් මරා දමයි. නියමිත ආකාරයට වත්පිළිවෙත් කොට අයිරින් ද බිලිකල නමුදු නිධානය සඟවා ඇති ගල් ගුහාවේ ගල් දොර නොඇරෙයි. 

අතිශයින්ම කම්පාවට පත්වන විලී අබේනායක ජීවිතාශාව අත් හරී.

ජී.බී සේනානායක මහතාගේ නිධානය කෙටිකතාව සැකෙවින් එලෙසය. නිධානය කෙටිකතාව එතරම් දීර්ඝ කතාවක් නොවේ. එමෙන්ම කෙටිකතාවේ එකදු දෙබසක් හෝ අඩංගු නොවෙයි. තමා කල මනුෂ්‍ය ඝාතනය ගැන කම්පා වන මිනිසෙකුගේ පාපොච්චාරණයක විලාසයට කෙටිකතාව රචනා කර ඇත.



Related image


                                ලෙස්ටර් තැනු ' ගොළු හදවත ' 



නිධානය කෙටිකතාව ලිවීමට අවශ්‍ය ආවේශය ජී.බී සේනානායකලැබුවේ කෙලෙසද යන්න පිලිබඳ තොරතුරු නොමැත. ඇතැම් විටෙක සිටු දියණිය මරා අභරණ පැහැර ගැනීමට අදහස් කල සත්තුක නම් සොරා ගැන බෞද්ධ සාහිත්‍යයේ එන කුණ්ඩලකේෂී කතාපුවත ඊට වස්තු බීජය සැපයූවා විය හැක.

නිධානය කෙටිකතාව ආශ්‍රයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කල ඇන්තනී පිල්ලෙ මහතා (සිලෝන් තියටර්ස්) නිෂ්පාදනය කල චිත්‍රපටය නිපදවන්නේ 1972 වසරේදීය.චිත්‍රපටයේ සාර්ථකත්වයට විශාල ලෙස බලපා ඇත්තේ තිස්ස අබේසේකර මහතාගේ තිර පිටපත සහ දෙබස් ය. කෙටි,දෙබස් රහිත කෙටිකතාවකට අතිශය සාර්ථක සිනමාරූපී බවක් ලැබෙන්නෙ තිස්ස අබේසේකර මහතාගේ මැදිහත් වීමෙනි.

                    අනෙක් අතට සිංහල චිත්‍රපටයක දැක ඇති ඉහලම පසුබිම් සංගීතය ඇත්තේද නිධානයෙහිය. නිධානයෙහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස මහතාගේය.



Related image


                                         ලෙස්ටර්ගේ  ගම් පෙරලිය 


ලෙස්ටර්,තිස්ස,කේමදාස ත්‍රිත්වය ලෝක සිනමාවෙහි සනිටුහන් කල නිධානය ලාංකේය සිනමාවෙහි හැරවුම් ලක්ෂ්‍යයකි.

විලී අබේනායකගේ චරිතය මැනවින් නිරූපණය කල ගාමිණී ෆොන්සේකාගේ ප්‍රබල රංගනය ද මාලිනී ෆොන්සේකා කෙරෙන් නිරූපණය වූ අවිහිංසක ගැමි ස්ත්‍රියද නිධානයට මහත්ම ආලෝකයක් විය.

ශෝකජනක අවසානයක් ඇති නිධානය චිත්‍රපටයේ සෑම චරිතයක්ම එකී ශෝකජනක අවසානයට හිමිකම් කියන්නේ මන්ද යන්නට පිලිතුරු ඇත.


 එහි ආකාස්මික හේතු කිසිවක් නොමැත.විලී අබේනායක අතිශය සාහසික මිනී මරුවෙකු වන්නේ මන්ද ? 

ධනවාදී ව්‍යාපාරිකයින් පංතියක් ලෙස වැඩෙද්දී පිරීහි යන වැඩවසම්බව දැඩිව අල්වා ගෙන ධනවාදයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට යෑම එයට හේතුවයි.මුදලින්,දේපලින් පිරිහී යෑම වැඩවසම් රදලයාට ඉහිලුම් නොදෙන ශෝකයක් වෙයි. ඔහු කෙසේ හෝ තමාට පරම්පරාවෙන් කිසිදු වෙහෙසකින් තොරව උපතින්ම හිමි වූ දේපල ආරක්ෂා කිරිමට සිතයි. එයට සාධාරණ හේතු සහිත වටපිටාවක් චිත්‍රපටයේ පෙන්වා ඇත. විලී අබේනායක නම් සාහසික මිනීමරුවා කෙරෙහි සංවේගයක් මිසක කෝපයක් හට නොගන්නේ එබැවිනි.

ලෝක සිනමාව කෙරෙහි නිධානය බලපෑ අතර විදෙස් අවධානය වරින් වර ඊට හිමි විය.1972 ඉතාලියේ වැනිස් සිනමා උළෙලෙහි එයට රජත සිංහ (Silver Lion) සම්මානය හිමිවිය.

ප්‍රංශයේ සිනමතෙක් ආයතනය විසින් 1995දී ලෝක සිනමාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් නම් කල ලොව බිහිවූ සිනමාපට 100 අතරට නිධානය නම් කර ඇත.

1999 කොරියාවේ පූසාන් අන්තර් ජාතික සිනමා උළෙලේ දී විසිවන සියවසේ ආසියාවෙන් බිහිවූ හොඳම සිනමාපට 13 න් එකක් ලෙස නිධානය නම් කර ඇත.


Image result for lester james peiris


විවිධ පාර්ශව ඔස්සෙ ලෙස්ටර් ලංකාවේ සිනමාවට කල මෙහෙය කිසි කලෙක මැකී නොයෙන එකකි.එළිමහනේ 'රේඛාව' අධ්‍යක්ෂණය කිරීමෙන් වාණිජවාදී සිනමාවට නව මානයක් පෙන්වමින්ද නිධානය වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සම්භාව්‍ය සිනමාවට අඩිතාලම දැමීමෙන් ද ලෙස්ටර් ලංකාවේ සිනමාකරුවන්ගේ පීතෲවරයා ලෙස ඉතිහාසගත වී අවසන් ය.



Image result for lester james peiris

Wednesday, April 25, 2018

නන්දිකඩාල් කලපුව අද්දර සිට ඔබට ලියමි

Image result for nandikadal lagoon


        තමිල් ඊළමේ විමුක්ති කොටින්ට උතුරු  ලංකාවේ  මේ  කෙරවල  වසර  ගණනාවක්  බලකොටුවක්  වි තිබිණ  .තමන්ගේ  පොලිසි ද  ,තමන්ගේ  උසාවිද LTTE සංවිධානයට  තිබුනේය. කුඩා වාණිජ මධ්‍යස්ථානයක් වූ  පුතුක්කුඩියිරුප්පු හී ඔවුන්ගේ නායකයාවූ  වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ට නිවසක්ද ශක්තිමත්  බංකරයක්ද තිබිණ .


අද මුලතිව්  දිස්ත්‍රික්කයේ වාසය  කරන  තරුණ පරම්පරාව  වැඩි කාලයක් ජීවත්වුයේ ලංකාවේ ආණ්ඩු යටතේ නොව LTTE  පාලනය  යටතේය .


LTTE සංවිධානය 2009 දී තම අන්තිම සටන  කරුණු ලැබුවේද මුලතිව් හීදීය .හතරැස්  කිලෝමීටර  3  ක වැලි තීරයක සිදුවූ  යුද්ධයෙන් බේරීම සඳහා  දෙපැත්තේම වෙඩි ප්‍රහාරයන්ට  මැදිවෙමින් ලක්ෂයක  ජනතාවක් මෙහි සරණ සොයා පැමිණියහ .එහි අවසාන  මාස  කීපය 'අපායට සමානවූ බව ' එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියා තිබේ.


යුද්ධය අවසන් වී වසර 10 කට ආසන්න වී  ඇතත්  බොහෝ තුවාල තවමත් සුවවී  නැත . 


මෙම දිස්ත්‍රික්කයෙන් හමුදාව  ඉවත් වී යාම  ඉතා මන්දගාමී  වන අතර ලංකවේ දුප්පත්ම දිස්තික්ක වලින්  එකක් වන්නේ  මෙයයි.


Image result for mulativ district


මුලතිව්  නගරය වටා සැරිසරන විට  ඇසෙන්නේ   ජනයාගේ දුක්ඛ දෝමනස්සයන්‍ ය. ඔවුන් කලකිරී සිටින්නේ   ආණ්ඩුව සම්බන්ධ්යෙන්  පමණක් නොවේ . තමන් විසින්  දිගින් දිගටම  කර උඩ තබාගෙන සිටි  දෙමල  ජාතික සන්ධානය පිලිබඳවද   කලකිරී සිටිති .


හමුදාව විසින් අල්ලාගෙන තිබෙන  ඉඩම්  නිදහස්  කර  දෙන බවට,  අතුරුදහන් වුවන්ට සිදුවුයේ  කුමක්දැයි සොයා දෙන  බවට දුන්   පොරොන්දු  ඉටු නොකිරීම  ගැන තමන් නියෝජනය  කරන  බව   කියන දේශපාලකයන් පිළිබඳව මුලතිව් වැසියන් සිටින්නේ  කේන්තියෙනි  .

    Image result for mulative

                               මුලතිව්- පරන්තන් පාර 

පෙබරවාරි මාසයේ  පැවතී පළාත් පාලන  මැතිවරණයේදී පුතුක්කුඩුයිරිප්පු හි අලුත්  දේශපාලන බලවේගයක් ඉදිරියට  පැමිණීම  මිනිසුන් තුළ  පවත්නා බලාපොරොත්තු කඩවීම  ප්‍රකාශ  කරයි .


මන්තිරිවරු 22  කින් සමන්විත  ප්‍රාදේශීය  සභාවට කිසිදු දේශපාලන  පක්ෂයකට සම්බන්ධ නැති ' වෙනසක් සඳහා වන  තරුණ  තරුණියෝ ' (Mattathukkana Ilajooir Amaipu,) නම් සංවිධානය  මන්ත්‍රී ධුර 4 ක් දිනාගැනීමට සමත්වූ විය  .ඔවුන් එම සංවිධානය  පිහිටුවාගෙන  තිබුනේ මැතිවරණයට  දින 45 ක් තබාය


එම සංවිධානය ඉදිරියේ  පැවැත්වීමට නියමිත පළාත් සභා  මැතිවරණයට  ඉදිරිපත්වීමට සුදානම් වෙමින් සිටි. දෙමල  ජාතික සන්ධානය ඉබාගාතේ  යමින් සිටින බවත්  ගිය  මැතිවරණයේදී ඔවුන් මුලතිව් පැත්තටවත් ආවේ  නැති බවත් 'වෙනසක් සඳහා වන තරුණ තරුණියෝ සංවිධානයේ සභාපතිවන ටි .නිත්‍යානන්දන්  කිවේය .




" උතුර පළාතේ කුඩා නගරයක මිනිසුන්ගේ ප්‍රශ්න  කතා  කිරීම නිසා  සුළු වෙනසක්  කරන්නට අපිට  හැකිවී  තිබෙනවා .ඉදිරියේදී උතුර  ගමන් කරන්නේ  කොයි දෙසට දැයි සිතා  ගැනීමට මෙය හොඳ සලකුණක් " ඔහු තව දුරටත් කිවේය .


Image result for mulativ district

    පැසවන බලාපොරොත්තු  කඩවීම 


යුද්ධයේ උරුමය වන තල් ගස්  අතර පුපුරා  ගිය  නිවෙස්,  දිස්ත්‍රික්කය පුරා  තිබෙන  බොහෝ යුධ  කඳවුරු අතර  මාවත් දිගේ ගමන් කරන සොල්දාදුවන් සහිත වාහන, මෙහිදී  ඔබට දැක ගත  හැකිය .


ප්‍රතිපත්ති පර්යේෂණ අධ්යාලාම්  මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා  යුධ හමුදාවේ  60000 (හැටදහසක් ) මුලතිව් දිස්ත්‍රික්කයේ රඳවා තිබේ.එම සංඛ්‍යාව රාජකාරිවල නියුක්තව සිතන  ලංකා  හමුදාවෙන්  25%කි .


මුලතිව් නගරයෙන් පිටත පිහිටුවා තිබෙන පිලක්කුඩුජිරිප්පු ගුවන් හමුදා  කඳවුර  ඉදිරිපස පවුල් ගණනවක්  තාවකාලික  කුඩාරමක් සවිකොටගෙන නැවතී සිටිති.


එහිදී මා සමග  කතා  කළ 51 හැවිරිදි අරුමොගම් වේලායුද පිල්ලෙයි,  දින 411 ක් තිස්සේ විරෝධය  පළකිරීමක් ලෙස  මෙහි නැවතී සිටින බව  කිවේය .


"අප  ඉල්ලන්නේ වෙන මොකවත් වත් නෙවෙයි.අපේ ඉඩම් " ඔහු කිය.


හමුදාවේ  අවසාන  ප්‍රහාරය  සිදුවූ සමයේ , 2008 -12.26 වන දින ගේ දොර අත්හැර දමා සිය පවුලේ සාමාජිකයන් සමග  පැන ගිය  බවත්  අභ්‍යන්තර අවතැන්වුවන්ගේ කඳවුරක  ගතකොට 2012  ආපසු  පැමිණිවිට තමන්ගේ නිවසට  යන  පාර ගේට්ටුවක් දමා  වසා  තිබුන  බවත් ගේට්ටුව  විවුර්ත කිරීමට  හමුදාව  ඉඩ නුදුන් බවත් වේලායුද පිල්ලෙයි   කියා සිටියේය .


වෙනත් කුඩා  ඉඩමක  තමන් පදිංචි කරවූ නමුත් තමන්ගේ  පරම්පරාගත නිවස සහ අලුත් ස්ථානය  අහසට  පොලොව  මෙන් වෙනස්  බවත් ඔහු කියයි.


" කලින්  ගෙදර එක පැත්තක කලපුව. අනිත් පැත්තෙන්  කුඹුරු .ඉඩමේ  පොල් ගසුයි අනිත් ඕන දේවලුයි තිබුන. දැන් ඉන්න ඉඩමේ ඒ මොකුත් නැහැ මම කඩෙන් පොල් ගන්නවා .මගේ වත්තේ පොල් හමුදාව  කඩා ගන්නවා " වෙලායුදපිල්ලෙයි කිය.


නගරයේ  අනිත් පැත්තේ  තවත් විරෝධතා  කඳවුරක්  තිබේ එහි සිටින්නේ කාන්තාවන් පිරිසකි .අතුරුදහන් වූ තම  පවුල්වල සාමාජිකයන්ට අත්වූ ඉරණම කුමක්දැයි ඔවුන් අසති .


මුලතිව්හි අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් පිහිටුවාගන්නා   ලද සංවිධානයේ  දිස්ත්‍රික් සම්බන්ධිකාරක වන්නේ 42  හැවිරිදි  මෙරියාසුරේෂ් ඊශ්වරි  නමැති කාන්තාවයි .ඇයට සිය ස්වාමිපුරුෂයා අහිමි වුයේ 2009 මාර්තු මාසයේය . යුධ හමුදාව විසින් ඔහු අත් අඩංගුවට  ගත් බව  රතු කුරුස සේවය ඇයට  කියා  තිබේ, නමුත් ඉන්පසු ඔහු පිළිබඳව  කිසිදු ආරංචියක්  නැත .


Mariyasuresh Isswary, 42

" දැන් අවුරුදු 10 ක් ගත වෙලා. අපේ  ස්වාමිපුරුෂයන්  පන පිටින් ඉන්නවද නැද්ද  කියල අපි දන්නේ නැහැ .ඔවුන්ට අත්වූ ඉරණම  ගැන  අපි දැනගන්න  තුරු අපිට අපේ ජීවිතවලට  කිසිම අනාගත සැලැස්මක් හදාගන්න බැහැ" ඊශ්වරි කීවාය.


" අපේ දේශපාලන නියෝජිතයන් අපිව රවට්ටලා .මේ ප්‍රශ්නෙට  පිළිතුරක් හැටියට  ලඟදි ආණ්ඩුව  පිහිටවපු අතුරුදහන් වුවන් පිලිබඳ  කාර්යාල ය පිළිබඳව විශ්වාසය  තියන්න  පුළුවන් කියල දෙමල මන්ත්‍රීවරු කියනව. නමුත් ඒ කාර්යාලයට  නැහැ නඩු පවරන්න  බලයක් .අනික ඕකේ ඉන්න  අය  කොළඹ  ඉහල පැලැන්තියේ අයයි,  හමුදා නියෝජිතයෝයි.  මට නම් හිතෙන්නේ  ලෝකේ රවට්ටන්න  හදපු සුත්තරයක්  කියල ඔය  කාර්යාලේ ."


'අපි දෙමල  ජාතික සන්ධානයට  චන්දෙ දුන්නේ ඒ ගොල්ලන්ව විශ්වාස  කරලා.  නමුත් ඒ ගොල්ලෝ අපේ ප්‍රශ්න  ගැන උවමනාවෙන්  පාර්ලිමේන්තුදි  කතා  කරන්නෙත් නැහැ  ලෝක  ප්‍රජාවට අපේ  ප්‍රශ්න  කියන්නෙත්  නැහැ අපි මේ  කුඩාරමට වෙලා  ඇතිවෙන්න දුක් විඳිනවා .ඒ ගොල්ලෝ ඒ සී වාහනවල  යනවා " 


මේ පිළිබඳව  දෙමල ජතික සන්ධානයේ  මුලතිව් දිස්ත්‍රික්කයේ තරුණ අංශයේ  නායකයා වන පීටර් ඉලන්චේලියගෙන් විමසුවෙමි .

පීටර් ඉලන්චේලියන් 

"අපේ නායකයන් විශ්මකර්ම  වැඩ  කරන්නේ  නැති එක ඇත්ත නමුත් ඔවුන්ගේ උත්සාහය නිසා තමයි කෙප්පපුලව් ප්‍රදේශයේ අකකර 133 ක් හමුදාවෙන් ආපහු ගන්න  පුළුවන් උනේ .


සති තුනකට පෙර ධීවරයන් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබිණ. එයට හේතුවුයේ නාවික  හමුදාව විසින් නදිකඩාල් කලපුවේ ධීවර  කටයුතු කිරීමට ඉඩ නොදීම  ගැන විරෝධතා ව්‍යාපාරයක්  ගෙන ගිය නිසාය . 


" නන්දිකඩාල්  කලපුව අපිට ජීවත්වෙන්න  තියෙන එක සම්පතක් . නේවි එක හිටියට අපිට  කමක් නැහැ . නමුත් අපිට මාළු අල්ලගන්න  ඉඩ දෙන්න  ඕනේ ." එක ධීවරයෙක් කිය. අපි විරෝධතා දක්වන එක නවත්තන්නේ  නැහැ .කලපුවේ  මාළු අල්ලන්න දෙනකම් අපි විරෝධතා ව්‍යාපාර ගෙනියනවා  මොකද  අපි දන්නේ  මාළු අල්ලන රස්සාව විතරයි .


 ( Walter Wuthermann නමැති ඇමරිකානු ලේඛකයා Daily News පුවත් පතට  ලියා  තිබු  ලිපියක් ඇසුරෙන් ලියන ලද ලිපියක්  බව සලකන්න )


Thursday, April 19, 2018

සුගන්ධිකා කිව් කතා සහ නොකිව් කතා



Image result for sugandhika fernando

       සුගන්ධිකා  ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින්  ජනප්‍රිය චරිතයක් වී  තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව  පෙනේ. අධිකරණ ශේෂ්ත්‍රය කොතරම් කුණු වී තිබේ දැයි ඇය  හෙළි කිරීම නිසා  බොහෝ  නීතිඥයන් ඇය සමග  උරණ වී  තිබේ . ඔවුන්ට   සුගන්ධිකා අප්පිරිය වී  තිබෙන්නේ ඇය බොරු කීම නිසා  නොවේ. ඇත්ත  කීම නිසාය . ඇත්ත  හෙළි කිරීමෙන් උසාවියේ   හංගාගෙන තිබෙන  ඇට සැකිලි දැක අධිකරණය කෙරෙහි  තිබෙන ගෞරවය මිනිසුන්  තුළින් අහෝසි වී  යතැයි මෙන්ම නීතිඥ යන් යනු ඩ්රැකියුලාගේ පරම්පරාවෙන් පැවත එන්නන් බවට  සැකපහල කරනු ඇතැයි ද බියට  පත්වූ  බොහෝ නීතිඥයෝ     ඇයට දෙස් දෙවොල්  කියන්නට  පටන්ගෙන   තිබේ.




සුගන්ධිකාට  පෙර අධිකරණයේ   නොපණත්  කම් වලට එරෙහිව මෑත කාලයේ  සටනට  බැස්සේ  නීතිඥ  නාගානන්ද  කොඩිතුවක්කු  මහතාය . මේ නිසා නීතිඥ  සංගමය මෙන්ම ඇතැම් අධිකරණ නිලධාරීන්  ඔහු දෙස  බලන්නේ සතුරෙකු  ලෙස  බව  පෙනේ. සුගන්ධිකා  මහත්මිය ආපසු එතෙර නොගොස්  ලංකාවේ  නතරවී සටන දිගට  ගෙනියන්නේ නම  නාගානන්ද මහතාටද   නව  පණක් ගෙන  සටන  ඉදිරියට  ගෙන යාමට ශක්තියක් වනු ඇත  .


Image result for NAGANADA KODITHUWAKKU

 

අධිකරණයේ ඇතැමෙකුගේ   කැත වැඩ  පළමු වරට සමාජයට හෙළි කළේ වික්ටර් අයිවන් මහතා  යයි  මා සිතමි .  දසක දෙකකට  පමණ පෙර ඔහු විසින් දිගින් දිගටම රාවය  පත්තරය  මගින්  හෙළිදරව්  ගණනාවක්  කළත්   කැත වැඩ  කළ  අයට සිදුවූ දෙයක් නැති තරම්ය.


මා මේ ලිපියෙන්  කියන්නට  යන්නේ විනිසුරුවන් ගැන නොවේ. ඔවුහු  තිරය  පසුපස  සිට  කරන දේවල් මා දන්නේ  නැත .කෙසේ වෙතත් ඔවුන්  හා ඇසුරක්  තිබෙන්නේ  නම්  නඩු තීන්දු තමන්ට  උවමනා  පරිදි වෙනස්  කරගත  හැකි බව  පසු ගිය  කාලයේ ඇසුණු  කතා වලින් පැහැදිලිය .  සරත් එන් සිල්වා  මහතා විසින්ම එය  ඔප්පු කළේ සුනාමි  ගැහිල්ලට  මහින්දව  හිරේ යැවීමට  පුළුවන් කම තිබුනද  තමා එසේ  නොකළ බව  කිමෙන්ය . හිටපු අග විනිසුරු මොහාන් පීරිස්  තමා  හමුවට ඇවිත් රැකියාවෙන් ඉවත් නොකරන්නේ  නම් ආණ්ඩුවට අවශ්‍ය  පරිදි නඩු තීන්දු  ලබා දිය  හැකි බව කිවේයයි කිවේ   වත්මන් ජනාධිපතිවරයාමය . ශිරාණි බණ්ඩාරනායක  මහත්මියට එරෙහිව  පාර්ලිමේන්තුවේදී කැකිල්ලේ  නඩු තීන්දුවක් දී  ගෙදර   යැව්වේ රාජපක්ෂ  මහතාට උවමනා  පරිදි  නඩු තීන්දු ලිවීමට පසු කාලයේ ඇය අකමැති වූ නිසා  බව  ප්‍රසිද්ධ  කරුණකි .හෝමාගම දිස්ත්‍රික් විනිසුරුවූ සුනිල් අබේසිංහ  ඉඩම් නඩු  තීන්දුවක් වාසි වන ආකාරයට  ලබා දීමට  රුපියල් ලක්ෂ තුනක අල්ලසක්  ලබා ගැනීමේදී අසුවිම නිසා වැඩ තහනම් කරනු ලැබිණ.මේ විනිසුරුවන්ගේ කැත වැඩ  ගැන ලියවී  තිබෙන  තොම්බුවෙන් කීපයක් පමණි .


Related image

දුෂණය වී  තිබෙන්නේ අධිකරණයේ  ඉහල  තට්ටුව  පමණක්  නොවේ. ඉහල සිට පහල  සුළු සේවකයා දක්වාම  අධිකරණ ශේෂ්ත්‍රය අල්ලස් වැනි දුෂණ  ක්‍රියාවලින්  කම් වලින් මෙන්ම  නොපනත්  කම වලින්   පිරී  ගොස් තිබේ  .ඉඩම් නඩු  දෙක තුනක් කීමට  මට ද සිදුවූ බැවින් ඒ පිළිබඳව තරමක අවබෝධයක්  මට තිබේ .



කිසියම් උසාවියකට අයත්  කාර්යලකින් නඩුවකට සම්බන්ධ  ලියවිල්ලක්  ඉක්මනින් ලබා  ගැනීමට  හැකිවන්නේ එහි කිසිවෙකුට අතමිට  මෙලවුවහොත් පමණය .අධිකරණයෙන්  කිසියම් තහනමක් ඔබ   ලබාගතහොත්  එය  ඉක්මන්  කර අනෙක් පාර්ශවයට දැනුම් දිය යුත්තේ  පිස්කල් නිලධාරියෙකු විසිනි . එහෙත්  එම රාජකාරිය  ඉක්මනින් කිරීමට  පිස්කල් නිලධාරියට  උවමනාවක්  නැත . එය  ඉක්මන් කරවීමට  ඔබට  හැකි වන්නේ පිස්කල් නිලධාරියා  සොයාගෙන  ගොස් (බොහෝ විට ඔහුගේ නිවසට ) ඉක්මනින් රාජකාරිය  ඉටු කරන  ලෙස ඉල්ලමින් සන්තෝසමක් දිමෙන් පමණි. .වරක්  නඩු තීන්දුවකින්  මට අයත්වූ  ඉඩම් කට්ටිය  භාර දෙන ලෙස  අධිකරණයෙන්  ඉල්ලා සිටියෙමි. ඒ සඳහා උසාවිය  එවන්නේ එහි කාර්යාලයේ ප්‍රධානියාය . මේ  සම්බන්ධයෙන් විමසීම සඳහා  උසාවියේ කාර්යාලයට  ගිය  විට එහි සේවකයෙකු  මට කිවේ ලොකු මහතා අරක්කු නොබොන  බවත් බියර්  පමණක්  බොන බවත්ය . ඔහුට ඉඩමට  පැමිණීමට වාහනයක් සපයන  ලෙස  කිව් සේවකයා  සන්තෝසමක් ලෙස  ලොකු මුදලක්  ලොකු සර්ට දිය යුතු බවද මට කිවේය .



ඉඩම්  නඩුවක්  අවසන් වීමට අඩු වශයෙන් වසර  දහයක් පහළොවක්  ගතවේ .ඇතැම් නඩු අවුරුදු තිහක් ගතවීත් අවසන් වන්නේ නැත . නඩු අවසන් වන විට පාර්ශ්වකරුවන්ගෙන් ඇතැමෙකු පරලොව  ගොස්ය .තීන්දුව එන විට   පැමිණිලි පාර්ශ්වය  මෙන්ම   විත්ති පාර්ශ්වයේ බොහෝ දෙනෙකු (නොමැරී සිටියහොත් ) ආර්ථික වශයෙන් නට්ටම් වී  හමාරය . ඔවුන් නට්ටම් වන විට නීතිඥ  නෝනා  මහත්වරු තට්ටු පිට  තට්ටු ගෙවල්  හදාගෙන අහවරය .

 

 නීතිඥවරු සම්බන්ධයෙන් ද  තිබෙන්නේ  කට්ට  කළු චිත්‍රයකි . තම සේවා  දායකයාගේ කැවුත්තටම සුරා  කන  පිරිසක්  ලෙස නඩු යන්නෝ ඔවුන් හදුන්වති .නීතිඥයන්ට තමන් කැමති  කැමති හැටියට  ගාස්තු අය  කිරීමට පවතින නීතියෙන් ඉඩකඩ සලසා  තිබීම එයට  ප්‍රධානම  හේතුව වෙයි . නීතිඥ මහතා හෝ මහත්මිය  විසින් අය  කරන සේවා  ගාස්තුව සඳහා සේවා දායකයාට ලදු පතක්  කිසිදිනක ලැබෙන්නේ  නැත . එසේ  වන්නේ  නීතියෙන් එයට  ප්‍රතිපාදන සලසා  නැති නිසා විය  යුතුය . එබැවින් නීතිඥයෙකු  කොපමණ ආදායමක්  උපයන්නේ දැයි දන්නේ  ඔහු පමණි. ඔහු/ඇය ලබන ආදායම වෙනුවෙන් ආණ්ඩුවට ඔහු/ඇය බදු ගෙවීමක්ද  නොකරයි .මහජනයාගේ බදු  මුදලින් අධ්‍යාපනය  ලබා නීතිඥයෙකු වන  ඔහු /ඇය විශාල ආදායමක්  උපයාගන්නා  නමුත් මහජනයාට සේවා සැපයීම සඳහා   තඹ සතයක් වත් බදු ලෙස  ගෙවන්නේ  නැත .


ආණ්ඩුවක වගකීම වන්නේ පුරවැසියා  හැම අතකින්ම ආරක්ෂා  කිරීමය එහෙත් නීතිඥයන් විසින් දිගින් දිගටම අධික සේවා  ගාස්තු අය  කිරීම හෙවත්  සේවා  දායකයන් හුරා  කෑම  වලක්වන්නට   කිසිදු ආණ්ඩුවක් ගත්  පියවරක් නැත .  එසේ වී  තිබෙන්නේ  ආණ්ඩුවලට ඒ සඳහා කිසිදු උවමනාවක් නොතිබීම නිසාය . පාර්ලිමේන්තුවේ සිටින  සහ සිටි  මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් අතරින් සැලකිය යුතු පිරිසක් නීතිඥයන් වී  තිබීමද එයට  හේතුවක් විය  හැක . මහජන සේවය සඳහා එක  පයින් සුදානම් වී  සිටින බව  කියන  මේ  නීතිඥ  මන්ත්‍රීවරු සහ  ඇමතිවරු මහජනයාට සහනයක් සලසා  තමන්ගේ සාක්කුවට  වැටෙන ලක්ෂ  ගණනින් සොච්චමක් වත්  අඩු කර ගන්නට සුදානම් නැත . ඇත්ත වශයෙන්ම  අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු වෙනුවෙන්  පෙනී සිටින ඉහල පෙළේ නීතිඥ  මහත්වරු එක නඩුවක් වෙනුවෙන් අයකරන  ගාස්තුව  ලක්ෂ පහකින්  ඉහළය ඔවුන් වසරකට උපයන ආදායම  ලක්ෂ  ගණනක් නොව  කෝටි  ගණනක් විය  යුතුය . 


සුගන්ධිකා ෆර්නැන්ඩෝ මහත්මිය ඉහත කාරණාව  හෙවත් නීතිඥ  නෝනා  මහත්වරු  තමන් අය  කරන සේවා  ගාස්තුව සඳහා  ලදු පතක්  නොදීම සම්බන්ධයෙන්  කළ  ප්‍රකාශය  නිසා  ඇය  කෙරෙහි බද්ධ වෛරයක් ඇති කරගෙන  තිබෙන  බව  පෙනේ .   මෙයට   පෙර  මේ  ප්‍රශ්ණය  මතු කිරීමට  කිසිදු නීතිඥයෙක් අවංක නොවීය . එබැවින් ඇගේ  එඩිතර  කම   අප සියල්ලෝම ඇයට  ණයගැතිය. 


 ( ඉහත ලිපියේ සඳහන්  කරුණු අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධ   සියල්ලන්ටම අදාළ  නොවන බව කරුණාවෙන් සලකන්න )

 

Saturday, April 14, 2018

අවුරුද්ද සිංහලද ?






Image result for සිංහල අවුරුදු උත්සව


            ලිපියේ  මාතෘකාව දුටු විට පරම පවිත්‍ර අමු සිංහලයන්ට  යකා ආරුඪ වෙන බවට සැකයක් නැත .කෙසේ  වෙතත්  මගේ  ලිපියේ අරමුණ වෙන එකකි. ලිපිය කියවා අවසන් වූ විට සුද්ධ සිංහලයන්ට අසු හාරදාහට  නැග  පොලු මුගුරු , කඩු කිණිසි, පමණක් නොව ගල් කටස් ද රැගෙන  මා  හොයා  ගෙන ඒමට  ඉඩ  තිබේ. එබැවින් මේ  ලිපිය අන්තර්  ජාලයේ නොමැකෙන ලෙස  කොටා , සතියක් හමාරක් යන තුරු  ගෙදරින්  පිටවී  සිටීමට සැලසුම් කරගෙන සිටිමි .


අපේ සීයා  ඉස්සර  නොවරදවා ඈපා පංචාංග ලිත මිලදී  ගැනීමට  පුරුදුවී  සිටියේය. අපේ සීයා  පමණක් නොව  කොයි  කවුරුත් වාගේ  පංචාංග  ලිත  මිලදී  ගත්හ. එකල මිනිසුන්  එහි සඳහන් අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු  කරන බැවින් පංචාංග  ලිත  නැතිවම බැරි  විය . ඒ    කාළයේ  නැකත් දැනගැනීමට  තිබුණු එකම  මග එය විය , අද මෙන්  නැකත්  කියන්නට රුපවාහිනී නොවීය .රේඩියෝ හෙවත් ගුවන් විදුලි යන්ත්‍ර තිබුණු මුත් ඒවා  තිබුණේ  ගමකටම  හත අටකි . දිනමිණ  පත්තරය සමග වසරකට වරක් නොමිලේ  ලිතක්  ආ  නමුත් පත්තර මිලදී  ගත්තේ ඉතාමත් අතලොස්සක් පමණි. එබැවින් කාගේත් විශ්වාසය   හිමි කරගෙන තිබු පංචාංග  ලිත නැති නිවසක්  නැති තරම් විය විශේෂයෙන්ම අවුරුදු  නැකත්  බලා ගැනීමට  පංචාංග  ලිත  අත්‍යවශ්‍ය විය .


 බිත්තියේ එල්ලා  තබා   තිබෙන  පංචාංග  ලිත ජනවාරි සිට අවුරුද්ද අවසන් වනතුරු  විසි තිස් වාරයක්  බැලීම  මගේ සිරිත  විය .අප්‍රියෙල් 13 සහ 14 සිංහල සහ  හින්දු අවුරුද්ද ලෙස එය හැම වසරකම සඳහන් කළේය . එහෙත් අද  බොහෝ අය හින්දු කෑල්ල ඉවත් කොට සිංහල අවුරුද්ද  ලෙස සඳහන්  කරන්නට ඉතා  ප්‍රිය  කරති 

 එහෙත් ඊටත් පෙර අතීතයේදී අප්‍රියෙල් 13 හින්දු අවුරුද්ද  ලෙස සලකු බව පෙනේ .1941 දී සුද්දන්ගේ ආණ්ඩුව විසින් නිකුත් කළ එම වසරේ ආගමික දින ලේඛනයේ අප්‍රියෙල් 13 හින්දු අවුරුද්ද  ලෙස  සඳහන්  කර තිබේ .




Ugadi
Telugu
New
Year
Celebrat
ed in the
state of
Karnata
ka and
Andhra
pradesh

      

අවුරුද්ද අපට  පැමිණෙන්නට ඇත්තේ  ඉන්දියාවෙන්  බවට අනුමාන කිරීම සාධාරණය  ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අවුරුද්ද  සමරන්නේ අප්‍රියෙල් 13 , 14, සහ 15  යන දිනවලය .පන්ජාබයේ නව වසර අවුරුද්ද  අප්‍රියෙල්  13  ද ,ඇසෑමයේ ද , තමිල්  නාඩුවේද කේරලයේද , බෙංගාලයේද අප්‍රියෙල් 13, 14 සහ 15  සමරනු ලැබේ සුර්ය කැලැන්ඩරය අනුව වසරේ  පළමු දිනය  ලෙස  ඔවුන් සලකන්නේ අප්‍රියෙල් 13 වන  දාය .


             තමිල්  නාඩු වැසියන්ට අප්‍රියෙල් 14 උදාවන  අවුරුද්ද හඳුන්වන්නේ තමිල් පුතන්ඩු ලෙසය  .(தமிழ்புத்தாண்டு))  ඔවුන් එදින  නිවෙස්  පිරිසිඳු කොට අලංකාර  කොට  පලතුරු මල් සහ සුභ වස්තුන්ගෙන් සමන්විත වට්ටියක් සකස්  කොට තබන අතර දෙවියන්ට  පහන්  පුජාවක් පවත්වා  ආගමික කටයුතු  කිරීමට  කෝවිලට  යති .අලුත් ඇඳුම් පැළද  නෑදෑයන්  බැලීමට  යන  ඔවුහු   වැඩිහිටියනට වැඳ ආශිර්වාද  ලබා  ගනිති .ඉන්පසු පවුලේ සියලු දෙනා එකතුවී මස්  මාලුවලින් තොර  භෝජනයක්  භුක්ති විඳිති . අවුරුදු දිනට පිළියෙළ කරන ආහාර සිංහල  නිවෙස්වල අවුරුද්දට  පිළියෙළ  කරන ආහාරවලට  යම් තරමකින් සමාන බව පෙනේ . පහත දැක්වෙන්නේ එම ආහාරවල  චායාරුපයකි 






                        ( චායාරුප අනුග්‍රහය WIKIPEDIA)



ගිය අවුරුද්දේ  සිංහල හින්දු අවුරුදු  දිනවල  මා සිටියේ  යාපනයේය. මගේ  දෙමල මිතුරන්  කීප දෙනෙකුගේ නිවෙස්වලට ආස්මි  පාර්සල් රැගෙන  ගියේ  ඔවුන් ආස්මි  ගැන  නොදන්නා  බව කි නිසාය . ඔවුන්ද  අප මෙන්ම අලුත් අවුරුද්ද  සමරමින් සිටියහ .  ඔවුන්ගේ ඥාතින් සහ හිත මිතුරන් තෑගි බෝග  රැගෙන  ඔවුන් හමුවීමට පැමිණියේ අප අවුරුද්දට  නෑ  මිතුරන් බැලීමට  යන  පරිදිමය .




අප්‍රියෙල්  මස  පවත්වන  අලුත් අවුරුද්දේ  නැකත් වල ඇත්ත  නැත්ත  මා  මේ  ලිපියෙන්  කතා  කරන්නට  යන්නේ  නැත . එහෙත් මෙය අපේ  රටේ බොහෝ නිවෙස්වල  පවත්වන විශාලතම  උත්සවය වෙයි . එය  අතිශයින්ම වටින්නේ රට පුරා විසිරි සිටින  පවුලේ සියලුම සාමාජිකයන්  එකතු කරන  උත්සවය  මෙන්ම  නෑදෑයන් සහ මිතුරන් සමග  සම්බන්ධකම්  අලුත් කර ගැනීමට අවස්ථාවක් උදාවන නිසාය . දවස් 365 ම වාගේ වෙහෙසෙන මිනිසුන්ට  සතුටක් විනෝදයක් සහ විවේකයක් දින  කීපයක් තිස්සේ  ලබා  ගැනීමට වසරකට වරක් ලැබෙන එකම අවස්ථව  මෙය වේ. එබැවින් මෙහි වැදගත්  කම සුළු පටු නැත .



එහෙත්  දෙමළුන් සහ සිංහලුන් සමරන මේ උත්සවය  ඔවුන් අතර සම්බන්ධතාවය , මිත්‍රත්වය සහ සහයෝගය ගොඩ නැගීමට , වැඩි දියුණු කරගැනීමට   අවස්ථාවක් බවට යොදාගැනීමට  වග කිව යුත්තන්  කල්පනා  කොට  නැත. අසමගියෙන් සිටින  ජනවර්ග දෙකක් අතර වඩාත් කිට්ටු සම්බන්ධයක්  ගොඩ  නගන්නට අවුරුදු  කාලය ඉතා  උචිත  බව මගේ අදහසයි . අප දෙගොල්ලන් විරසක වී  සිටියත්  අප සියල්ලෝම අතීතයේ දී  නෑදයන්  බව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සනාථ කරයි. අප දුරස්ව  ජීවත්වන  බැවින් සිංහලයන මෙන්ම  දෙමලුන්ද ඒ  බව  දන්නේ නැත .



       මේ රටේ  ජීවත්වන  මුස්ලිම්  ජනයාද අප්‍රියෙල් අවුරුද්ද සමරන්නට එකතු  ගැනිමට  හැකි නම් එය  ජාතික සමගිය දෙසට  තබන විශාල  පියවරක් වනු ඇත  යන්න  මගේ අදහසයි . සිංහලයන් සහ දෙමළුන් අතර සංස්කෘතික  වශයෙන්  සමාන  කම් බොහොමයක්   තිබුනත් ඒ දෙපාර්ශවය  සහ මුස්ලිම් ජනයා අතර සංස්කෘතික  වශයෙන් සමානකම්  නැති තරම්ය . එහෙත් ඔවුන්ගේ ආහාර වන පරාටේ , බුරියානි  , වටලප්පන්  මස්කට්  මෙන්ම   සහ  සරුවත්  , ෆලුඩා වැනි  පානයන්ද  සිංහලයන්  ප්‍රිය  කරති . වටලප්පන් දැන් සිංහල  මඟුල් ගෙවල්වල  අනිවාර්ය අතුරුපසක්  බවට  පත්වී  හමාරය . 

           

       චන්ද්‍රිකා    බණ්ඩාරනායක  මහත්මිය ජනාධිපති සමයේ සිංහල සහ මුස්ලිම් පාසල් එකතුව   අවුරුදු  උත්සව  පැවැත්වූ නමුත් ඉන්පසු  බලයට  පැමිණි අය ඒවා  අතහැර දැමුහ .යලිත් එවැනි වැඩසටහන්  මෙන්ම මුස්ලිම් ජනයා එකතු  කරගෙන අවුරුදු උත්සව සමරන්නට  කාලය  පැමිණ තිබේ . ඉකුත්දා  නුවර අවට ඇතිවූ  කලකෝලාහල මෙන්ම  ඊට  පෙර වසරවල   ඇතිවූ මුස්ලිම් සිංහල ගැටුම් ද දෙපාර්ශවයේ  සම්බන්ධකම්  පෙරට වඩා දුරස්  කර තිබේ .එබැවින්  ඔවුන්  හා සිංහලයන් අතර පලුදුවූ විශ්වාසය ගොඩ නැගීමට  අවුරුදු සමයේ එකතුව  කරන  උත්සව ද  යම් තරමකින් හෝ  ආධාර වනු ඇත .


මේ සම්බන්ධයෙන් මුස්ලිම් ජනයාද  ගැඹුරු ලෙස  කල්පනා  කිරීමට  කාලය  පැමිණ තිබේ . අලුතෙන් අරාබි  සංස්කෘතික  ලක්ෂණ  වැළඳ  ගනු වෙනුවට මේ රටේ ජීවත්වන සිංහල සහ දෙමළ  මිනිසුන්ගේ සංස්කෘතීන් සමග පෑහීමට  කටයුතු කිරීම  මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ . මුස්ලිම්  ජනයා , සිංහල  මෙන්ම දෙමල මිනිසුන් සමග සංස්කෘතික සබඳතා ගොඩ  නගා ගැනීම  ජනවර්ග අතර සමගිය  වර්ධනය  කිරීමට මෙන්ම  ලාංකික අනන්‍යතාවයක් දෙසට  ගමන් කිරීමට ලබා  දෙන වැදගත්  දායකත්වයක් වනු නිසැකය 



Saturday, April 7, 2018

මී ළඟ ජනාධිපති කවුද?



   
Image result for gotabaya rajapaksa age



        ජනාධිපති තනතුරේ ආයු කාලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු  5 කි .ඒ  බව එම සංශෝධනයේ සඳහන් වන්නේ මෙලෙසය .

(2) " The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years.”.


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ  භාර  ගනු ලැබුවේ  2015  ජනවාරි  9   වන දින  බැවින්  ඔහුට ජනාධිපති පුටුවේ  සිටිය  හැක්කේ 2020  ජනවාරි 8 වෙනදා රාත්‍රී  12 දක්වා  පමණය . එය  ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවකින්ද තහවුරු  කර තිබේ. එබැවින්  ඉන් ඉදිරියට  ජනාධිපති සතු වගකීම සහ බලතල  ක්‍රියාත්මක කිරීම සඳහා මී  ළඟ  ජනාධිපතිවරණයෙන්  ජයගත් පුද්ගලයා  ජනධිපති පුටුවේ වාඩි විය  යුතුය .


 ඊ  ළඟ  ජනාධිපතිවරණය  ලබන වසරේ (2019 ) දෙසැම්බර්  මස අගදී  හෝ  2020  ජනවාරි  මස  මුලදී  පැවැත්වෙනු ඇත.

 

මී  ළඟ  ජනාධිපති  අපේක්ෂකයන්  කවුරුන් වෙනු ඇත්ද ?



තමා  යලිත්  ජනාධිපති  තනතුරට යලි  නොඉල්ලන  බව මෛත්‍රිපාල  සිරිසේන  මහතා  ජනාධිපති වූ අලුත කිව්  නමුත් එම අදහස  ඔහු වෙනස්  කරගෙන තිබෙන  බව පසු ගිය  කාළයේ  ඔහු  කළ කි දෑ  තහවුරු කර තිබේ .විධායක  ජනාධිපති  තනතුර අහෝසි  කිරීම ඇතුලත්  නව ආණ්ඩු  ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට  ඔහුට  මුල් කාලයේ දැඩි උවමනාවක් තිබුණු නමුත් ඒ පිළිබඳව  දැන් ඔහු කතා  කිරීම  නවතා දමා  තිබේ. සිරස  මාධ්‍ය  ජාලය  සිරිසේන  මාධ්‍ය  ජාලයක් බවට  පත්වී  තිබෙන්නේ ඉබේ  නොවේ. අඩු මුදලකට  සිරසට සංඛායත  විකිණීම  ගැන  චෝදනාවක්ද ජනාධිපතිවරයාට  එල්ල වූ අතර සිරසේ පක්ෂපාති  හැසිරීම එය  සත්‍යයක්විය හැකි  බවට  ඒත්තු  ගන්වයි . ඒ අතර  ජනාධිපතිවරයා සහ  ගෝඨාභය අතර  විශේෂ සම්බන්ධතාවයක්  තිබෙන බවත් මී  ළඟ   ජනාධිපතිවරණයේදී ගෝටා ගේ සහය  ලබාගෙන  මෛත්‍රිපාල මහතා  යලිත් වරක්  ජනාධිපතිවරණයට  ඉදිරිපත් වීමට සැලසුම් සකස්  කරමින් සිටින  බවට ආරංචි පැතිරෙමින් පවතී .



Image result for maithripala sirisena with gotabaya


කෙසේ  වෙතත් සිරිසේන  මහතා  ගොණාට  අන්දවා අවසාන  මොහොතේදී  ජනධිපති අපේක්ෂකයෙකු ලෙස  ගෝඨාභය  මහතා  ඉදිරිපත් වීමටද  ඉඩ තිබේ.එහෙත් එයට  තිබෙන  ප්‍රධාන  බාධාව වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි  භාවයයි . ඒ කෙසේ වුවත්  ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික  සහයෝගය  ඔහුට  ලැබෙන්නේ  නම් ජනධිපති අපේක්ෂකයෙකු ලෙස  ඉදිරිපත් වීමට  ඔහු සුදානම් බව වරක් ප්‍රකාශ  කර  තිබුණි . එතෙක් ඇමරිකානු පුරවැසි භාවය අත හැරීමට  ඔහු සුදානම් නැති බව  පැහැදිලිය .



එක්සත් ජාතික  පක්ෂයේ  ජනධිපති අපේක්ෂකයා  කවුදැයි  කීමට  තවම කල් වැඩිය  .රනිල් වික්‍රමසිංහ  මහතා ඒ  සඳහා  ඉදිරිපත් විය  යුතුයැයි ඇතැම් එක්සත් ජාතික  පාක්ෂිකයන්  විශ්වාස  කරන  බව  පෙනේ. එහෙත් ඔහුට  හොඳ  තරග  කාරයෙකු වීමට  නම්  තව  යායුතු දුර  බොහෝය . තමන්ගේ  පාක්ෂිකයන් සමග වුවද ළඟ සුහතාවයක්  ඇති කර ගැනීමට  නොවෙහෙසෙන , ආරංචි වෙන වෙන ,මඟුල් ගෙවල් , මරණ ගෙවල් , බණ ගෙවල් ,  ගෙවල් වලට  යාමට වැඩි උනන්දුවක්  නැති , පන්සල් වන්දනාවේ  යාමට එතරම් ආසාවක් නැති , බොරු දරු හුරතල් පෙන්වීමට  වෙහෙස  නොවෙන ඔහුට චන්දදායකයන් අතර  ජනප්‍රිය වීමට  පහසු නැත . ලංකාවේ  මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ  එවැනි  ව්‍යාජ  නායකයන්ටය . 



Image result for sarath fonseka

 ෆීල්ඩ් මාෂල්  සරත්    ෆොන්සේකා  මහතාද   මී  ළඟ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව  පසු ගිය දිනක  කියා  තිබුණි .ඔහු එක්සත්  ජාතික  පක්ෂයේ  සාමාජිකයෙකු බැවින් ඔහුට  ඒ සඳහා  පක්ෂයේ අනුමැතිය  ලැබිය  යුතුය .ඔහුට  අපේක්ෂකත්වය  ලබා  ගැනීමට  නම්  රනිල් වික්‍රමසිංහ  මහතාට වඩා  වේගයෙන් දුව ගොස්   මහජනයා අතර  ජනප්‍රිය ලබා  ගැනීමට   සිදුවේ . එවැනි හැකියාවක් ඔහුට තිබේදැයි සැක සහිතය  . රනිල්  කලබලයකින් තොරව පරිණත ලෙස  හැසිරෙන  නමුත් සරත් ෆොන්සේකා  මහතා  තවමත්  කටයුතු කරන්නේ හැඟුම්  බරවය .ඔහුගේ දිව  පාලනයකින් තොර  බැවින් තවමත්  ඔහු නැති සතුරන්  හදා  ගනී .කෙසේ වෙතත් හිතා  මතා අදහස්  ප්‍රකාශ  කිරීමට  ඔහු දැන්  පුහුණු වෙමින් සිටින  බව  පෙනේ .


Image result for anura kumara dissanayake


ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර  කුමාර දිසානායක  මහතා මී  ළඟ  ජනධිපතිවරණයේදී අපේක්ෂකයෙකු  ලෙස  ඉදිරපත් වෙන බවක්  කියා  නැතත් ඔහුගේ  පක්ෂය  ඔහු ජනාධිපතිවරණයට  ඉදිරිපත් කිරීමට  ඉඩ   නැතැයි කිව නොහැක .එහෙත් එවැන්නක් සිදුවිය  හැක්කේ  ඔහුගේ පක්ෂය බොහෝ දුරට සාකච්චා  කිරීමෙන්  පසුවය .කෙසේ වෙතත් අනුර  කුමාර  මහතා ජනාධිපතිවරයා වුවහොත්  රටට දැනෙන වෙනසක්  කරන  බවට සැකයක් නැත . ධනපති ක්‍රමය තුළ  මහජනයා වෙනුවෙන් කළ හැකි  උපරිමය කිරීමට  ඔහු උත්සාහ   කරනු ඇත .එහෙත් ප්‍රශ්නය වන්නේ මහජනයා අතර  ජවිපෙ  ජනප්‍රිය නොවීමය. 1987-90 සමයේ ජවිපෙ ක්‍රියා  කලාපය නිසා  මහජන ප්‍රසාදය  ලබා  ගැනීම  ඔවුන්ට  ඉතාමත් අසීරු වී  තිබේ . කෙසේ වෙතත්  ජවිපෙ අපේක්ෂයකයෙකු ඉදිරිපත් වීමෙන්  රාජපක්ෂ පවුලේ අපේක්ෂකයෙකුට  වාසියක් සිදුවීමට  ඉඩ  තිබුන හොත් ජවිපෙ  තම  පක්ෂයෙන් අපේක්ෂකයෙකු  ඉදිරිපත්  කිරීමට තිබෙන  ඉඩකඩ  ඉතා අඩුය.



Image result for champika ranawaka


ඇතැමෙකුට අනුව  පාඨලී චම්පික  රණවක  මහතාද  මී  ළඟ  ජනාධිපතිවරණයට  ඉදිරිපත්වීමට  දොළ දුකෙන්  පසු වේ. ඔහු නියෝජනය  කරන  ජාතික හෙළ උරුමය කුඩා  පක්ෂයක් වන බැවින්  ඔහුගේ සිහිනය  මස්තකප්‍රාප්ත කර  ගැනීම  පහසු නැත . එක්සත් ජාතික  පෙරමුණේ සිටියද එහි සහය  ලබාගැනීම අතිශයින් දුෂ්කරය .පොදු අපේක්ෂකයා  ලෙස  ඉදිරිපත් වීමට  ඔහු අපේක්ෂා  කරනවා වීමටද  පුළුවන.එහෙත් එය  ලෙහෙසි පහසු  සෙල්ලමක් නොවේ.පොදු අපේක්ෂක  කම  නමැති වික්‍රමය  ජය  ගත්තද දෙමල සිංහල චන්ද  ලබා  ගැනීමට  ඔහු සුදුසුකම් සපුරා  නොමැත . ඔහුගේ  මතවාදය   සිංහල  ප්‍රේමය   බැවිනි.

  

Image result for nagananda kodituwakku


අයුක්තියට එරෙහිව තනිවම සටනකට බැස සිටින  නීතිඥ නාගානන්ද  කොඩි තුවක්කු මහතා  මී  ළඟ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව  කියා  තිබේ .ඔහුගේ අපේක්ෂාව  ජයග්‍රහණය  නොව  අයුක්තියට එරෙහිව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය  යොදාගනිමින් තම සටන වඩාත් ප්‍රබලව  ගෙන යාම විය  හැක  . 



ජනාධිපතිවරණයේදී  කවුරු ජයග්‍රහණය  කරනු ඇත්දැයි  කීමට  තවම  කල් වැඩිය. නිවැරදි  අනාවැකියක් කිව  හැක්කේ  ජනාධිපතිවරණය  පැවැත්වෙන  දිනට ආසන්නයේදී පමණි .කෙසේ වෙතත් සිංහල  චන්ද දායකයන්ගේ  චන්ද වලින් පමණක්  ජනාධිපති වීමට  කිසිවෙකුට නොහැක .එවැනි අවස්ථාවක් තිබුනේ 2010 දී පමණි . එයට හේතුව  මහින්දගේ ආණ්ඩුව  යුද්ධයෙන්  ජයගත් බැවින්  ඔහු එකල අතිශයින් ජනප්‍රිය වී  සිටින නිසාය .අනෙත් කාරණාව වුයේ  ඔහු සමග තරඟ  කළ සරත් ෆොන්සේකා මහතාගේ විස පොවන  ලද  කතා චන්ද දායකයන් තුල  ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමය.


  මී  ළඟ   ජනාධිපතිවරණයෙන් ජය ගත  හැක්කේ සිංහල  ජනයා අතර මෙන්ම දෙමල සහ  මුස්ලිම් ජනයා අතරද  ජනප්‍රිය පළමු පෙලේ  අපේක්ෂකයෙකුට  පමණි එබැවින්  ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස  ඉදිරිපත් වුවහොත් අපේක්ෂා  කල හැක්කේ ඔහුගේ  ජයග්‍රහණය  නොව පරාජයයි . දෙමල  ජනයා  තුළ  පමණක් නොව  මුස්ලිම් ජනයා  තුලද ගෝඨාභය රාජපක්ෂ  මහතා  කෙරෙහි ඇත්තේ  කැමැත්තක්  නොව අප්‍රසාදයකි .



චන්න ජයසුමන සහ ගොබෙල්ස්

චන්න ජයසුමනට ආචාර්ය උපාධියක් ඇත. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව අංශයේ ප්‍රධානියාය. පර්යේෂණ කර ඇත්තේ වකුගඩු රෝග පිලිබඳවය . පර්ය...