Friday, March 30, 2018

විශ්වාස භංගය රනිල් විශ්‍රාම යවයිද ?


Image result for ranil wickramasinghe


අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා  පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම්      2015  මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය .



ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු .


එක්සත් ජාතික පෙරමුණ                    106

එක්සත් ජනතා නිදහස් සන්ධානය        95

දෙමල ජාතික සන්ධානය                     16

ජනතා විමුක්ති පෙරමුණ                       6

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                   1

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය       1


අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102  දෙනෙකු  විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. කතානායක වරයාගේ  චන්දය  පාවිච්චි කරනු ඇත්තේ දෙපැත්තම සම වුවහොත්ය 


රතන  හිමියන්  රනිල්ට විරුද්ධව චන්දය දෙන බව දැනටමත්  කියා  තිබේ.


 විජේදාස  රාජපක්ෂ මහතා අධිකරණ ඇමති කමින් පැන්නීමට එජාප  මන්ත්‍රීවරු  කටයුතු  කළ බැවින් ඔවුන්ට පාඩමක්  ඉගැන්වීමේ අපේක්ෂාවෙන්   විජේදාස මන්ත්‍රීවරයා  යෝජනාවට   පක්ෂව  චන්දය  දෙනු ඇත .



ශ්‍රී ල.මු.කො . වෙනම  තරඟ  කොට එක මන්ත්‍රීවරයෙකු පත්වූ අතර  ඔහුගේ චන්දයද රනිල්ට  පක්ෂව  ලැබීමට  ඉඩ තිබේ .එවිට  රනිල්ට  පක්ෂව  ලැබෙන චන්ද ප්‍රමාණය  103  කි.



විශ්වාස භංගය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජනතා සංධානයේ 95 දෙනා (මහින්ද සහ මෛත්‍රී පිල ) ද  රතන හිමිද , විජේදාස මහතාද  , EPDP  ඩග්ලස් දේවානන්ද  මහතාද  ,ජවිපෙ  මන්ත්‍රීවරු  6  දෙනාද  චන්දය  පාවිච්චි  කරනු ලැබුවහොත්  එයට පක්ෂව  චන්ද 104 ක් ලැබෙනු ඇත .

 

එසේ වුවහොත් එක චන්දයකින්  රනිල් පරදිනු ඇත 


දෙමල ජාතික සන්ධානයට  මන්ත්‍රී තනතුරු 16 ක් තිබේ. ඔවුන් කුමක් කරනු ඇද්ද?


රනිල් ගෙදර  යැවීමෙන්  ඔවුන්ට  ලැබෙන  දෙයක් නැත  .රනිල් විශ්‍රාම  යැවීමෙන් සිදුවන්නේ   ලැබෙන්නට තිබෙන දෙයක් වුවද   ඔවුන්ට නැතිවීමය 



එබැවින් දෙමල  ජාතික සංධානය රනිල්ට එරෙහි වෙතයි සිතීමට නොහැක . එහි මන්ත්‍රීවරු 16 දෙනා විශ්වාස භංගය පරාජය කිරීම සඳහා චන්දය පාවිච්චි කිරීමට බෙහෙවින් ඉඩ තිබේ.


දෙමල ජාතික සන්ධානයේ 16  රනිල්ට පක්ෂව  චන්දය දෙනු ලැබුව  හොත් රනිල්ට  පක්ෂව  ලැබෙන චන්ද සංඛ්‍යාව 119 කි .



Image result for maithri in sad mood

 

ඉහත  කාරණාවල් මෛත්‍රී පිළේ ඇමැතිවරුද කිරා  මැන  නොබලන්නට  හේතුවක් නැත . විශ්වාස   භංගයට පක්ෂව චන්දය දීම යනු  තමන්ගේ  ඇමති පට්ටම උගස්  තබා බුරුවා ගැහිල්ලක් බව  සිරිසේන  පාර්ශවයේ  ඇතැමෙකු අවබෝධ කරගෙන සිටිනු බවට සැකයක් නැත    . 

එබැවින් සිරිසේන  පාර්ශවයේ රාජපක්ෂ වාදීන් හැර අන් අය විශ්වාස  භංගයේදී චන්දය දීමෙන් වැලකි සිටීමට  ඉඩ  කඩ තිබේ . 


එබැවින් එළඹිය  හැකි නිගමනය  නම් දෙමල  ජාතික සන්ධානය විශ්වාස  භංගයට විරුද්ධව  චන්දය පාවිච්චි  කළහොත්  අප්‍රියෙල්  5 වෙනිදත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති  පුටුවේ  සිටින බවය .


කෙසේ වෙතත්  එක්සත් ජාතික  පක්ෂයේ මන්ත්රිවරු අතරින්  11 දෙනෙකු විශ්වාස  භංගයට  චන්දය දෙනු ලැබුවහොත් රනිල්ට  ගෙදර  යාමට  සිදුවේ .


මෙවැනි අවස්ථාවල සල්ලි ගෝනි ගණනින් හුවමාරුවන   බැවින් චන්දය විමසා අවසන් වෙනතුරු සිදුවිය  හැක්කේ  කුමක්දැයි  ස්ථිර  ලෙසම  කීම දුෂ්කරය .


කෙසේ වෙතත්  රනිල්ගේ  පරාජය එකසත් ජාතික  පක්ෂය දුර්වල  කරනු ඇති අතර  මහින්ද  පිල ශක්තිමත් වනු ඇත .


ඉන්පසු මෛත්‍රිපාල  ජනාධිපතිවරයාගේ  ඉරණම කුමක් වනු ඇද්දැයි  කීමට තවමත් කල් වැඩිය .



Saturday, March 24, 2018

ගෞතම් සහ වීරවංශ හෙළුවෙන් ඇවිදීම




        ගිය සිකුරාදා ගෞතම්   බුද්ධ  නගරයේ  වැසියෙකු වන සුනිල් ගෞතම් සිය  භාර්යාව සහ  ඥාතින්  පොලිසිය  ඉදිරිපිටදී රෙදි ගලවා  දැමු බව  India Today පුවත් පත  වාර්තා  කර තිබුණි .



ඔවුන් රෙදි ගලවා  තිබෙන්නේ  පොලිසිය  ඔවුන්ගේ  පැමිණිල්ල  ලියා  ගැනීම  ප්‍රතික්ෂේප  කිරීම නිසාය .




සුනිල් ගෞතම්  ජීවත්වෙන්නේ  ඉන්දියාවේ  උත්තර  ප්‍රදේශයේ ගෞතම්  බුද්ධ  නගරයේය . ඔහුගේ  අසල්වැසියා මහවිර්ය . දෙදෙනා  අතර  ඉඩම් ආරවුලක් කලක සිට  පවතින අතර  මහාවීර්  තම  නිවසට  කඩා වැදී  පහර දී  තමන්ගේ නිවසේ  තිබු  භාණ්ඩ ද  මංකොල්ල  කන  ලද  බව  පැමිණිලි  කරන්නට  ගිය  නමුත් පොලිසිය එම  පැමිණිල්ල  භාරගත්තේ  නැත .  ඔහු සිය  බිරිදත්  තවත් ඥාති  කාන්තවක්   සහ  පිරිමියෙක්  සමග  පොලිසියට විරෝධය දැක්වීමට  පොලිසිය ඉදිරිපිටදී  ඇඳුම්  ගලවා  හෙලුවැල්ලෙන් සිටියහ .


  මෙහි  තවත්  කතාවක්  තිබේ, මෙම  සිද්ධිය  යොදාගනිමින්  ආගමික  අන්තවාදියෙක්   බොරු  ප්‍රවුර්තියක් (fake news )  නිර්මාණය  කොට  මුහුණු පොතේ  පළකිරීමය  .එම  ප්‍රවුර්තියට  යොදාගනු ලැබුවේ  නිරුවත් පිරිසෙන් දෙදෙනෙකු පමණක්  සිටින  සේ  චායරුපයක් සකස්  කොට උත්තර් ප්‍රදේශයේ  පිරිසක් , ක්‍රිස්තියානි   පුජකයෙකු සහ ඔවුගේ  බිරිඳ නිරුවත් කොට  නගරය  පුරා  ඇවිද්දවූ බවය .පින්තුරය  තමන්ට  ඕනා  හැටියට සකස්  කොට පලකලේ මෙසේය .




මෙයටත් වඩා  භයානක පචයක් සත්‍යයක්  බවට   ලංකාවේද  ප්‍රචාරය කිරීමට  තුට්ටු දෙකේ  පත්තර අරඹා  තිබේ. බුකියේ ඇතැමෙකුද  එම  පචය නැවත වරක් ප්‍රචාරය  කරමින් සිටි 


මේ අමු කෙබරය  නිර්මාණය කළේ  වෙන  කවුරුවත්  නොව දාඩිය දමන විටද දේශප්‍රේමය වැක්කෙරෙන  වැසිකිලියට  ගිය විටද දේශප්‍රේමය  පිටකරන කටේ සැම කෙල බින්දුවක්ම  දේශප්‍රේමයෙන්  තම්බා  තිබෙන  විමල් වීරවංශ ය .

 දැනට  දින  කීපයකට  පෙර  මාධ්‍ය  ඉදිරියේ  ප්‍රකාශයක්  කළ  ඔහු ලංකාවේ  පෙර පාසල්වල සහ  පාසල්වල  ළමුන්ට සම ලිංගිකත්වය  උගන්වන්නට  යන  බව කියා සිටියේය  මෙයට සහය දෙන්නේ  අග්‍රාමාත්‍ය  කාර්යාලය  බවද ඔහු  තව දුරටත් කියා  සිටියේය . ඒ  බව  Daily Mirror  පත්තරයේ  පළකර තිබෙන  බවද  ඔහු කියා  සිටියේය .


විමල් වීරවංශ ගේ ඉංග්‍රීසි දැනුම සැක සහිතය . මන්ද  ඔහු ඉංග්‍රීසියෙන් කතාවක් පවත්වන අවස්ථාවක්  හෝ  ඉංග්‍රීසියෙන්මා  ලියන ලද  ලිපියක් හෝ මා   නම් මේ වෙනතුරු  දැක  නැත .එක්කෝ Daily Mirror වාර්තාව  ඔහු වරදවා වරදවා  වටහා  ගෙන තිබේ. එසේත් නැත්තම්  එය විකුර්ති කර ආණ්ඩුවට එරෙහිව  තවත් ගල් වරුසාවක්  ගහන්නට එය  යොදා  ගත්තා විය යුතුය . 


 ඇත්තටම පොඩි එවුන්ට සම ලිංගිකත්වය  ගැන උගන්වන්නට  යන්නේද ? එසේත් නැත්තම් ඇත්ත  කුමක්ද ?

ඇත්ත   කතාන්දරය  මෙසේය .



Think Equal  නමින් ජාත්‍යන්තර සංවිධානයක් තිබේ . ලෝකයේ  සියලුම  ළමුන්ට අනෙකුත් ළමුන් දෙස සමානත්වයෙන්  දකින්නට  හුරු කිරීම සඳහා  විෂය  නිරදේශයක් සහ  පාඩම්  මාලාවක් ඔවුහු  නිර්මාණය  කර  තිබේ ,.සමානත්වය  යනුවෙන් අදහස්  කරන්නේ  ජාතිය ආගම  කුලය දක්ෂතාවය , අදක්ෂ තාවය  ආබාධිත්වය , ශාරීරික රෝග ආදී  මත පදනම්ව ළමුන් දෙස  නොබැලීමට  ළමුන් හුරු  කිරීමය . එමෙන්ම  පාසල්වලදී ළමුන්ට  ළමුන් විසින්ම පහරදීම වැරදි බව  ළමුන්ගේ සිත් තුලට ඇතුල් කිරීම ද  මෙම වැඩ සටහනට අයත්ය  මෙම  වැඩ සටහන  එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක  බැංකුව ,  කීර්තිමත් අධ්‍යාපන ආයතන වන යේල්  විශ්ව විද්‍යාලය,සහ ස්ටෑන්ෆඩ් විශ්ව විද්‍යාලය  අනුමත  කර  තිබේ  .


මෙය  ඉතා වටිනා අධ්‍යාපන වැඩ සටහනක්  බැවින් ලංකාවේ ආණ්ඩුව එය  මෙහි ක්‍රියාත්මක  කිරීමට  තීරණය  කර තිබේ  මෙය අත්හදා  බැලු පෙර  පාසල්  ගුරුවරියන් කීප දෙනෙකුම එය ඉතා ඵලදායි   වැඩ සටහනක් බව  සනාථ  තිබේ .


පහත  චායාරුපවල දැක්වෙන්නේ එම වැඩ  සටහන අගය කරමින් අදහස් දැක්වූ  පෙර පාසල්  ගුරුවරියන් කීප දෙනෙකි .



Google හි Think Equal  ටයිප්  කිරීමෙන් වැඩි දුරටත්  මේ  පිළිබඳව අවබෝධයක්  ලබා  ගත  හැකිය .

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Colombo Today  නම් පත්තර  කඩ  මාල්ල  මෙය විකුර්ති කරමින් ලියා තිබුනේ මෙසේය .

“අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න


ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.
“තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.
LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.
“ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.
වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.
සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.



Tuesday, March 13, 2018

රට ගිනි තිබ්බේ ෆේස් බුකියද නැත්තම් ?




 Image result for burning sri lanka

    ෆෙස්බුකිය  තවමත් ( අද 2018  මාර්තු 13 ) වහපු  ගමන්ය. මහනුවර , අම්පාර ආදී තැන්  ගිනි ගත්තේ  ෆේස් බුකිය නිසා  බව ආණ්ඩුව  පමණක් නොව තවත් අයද පසුගිය දිනවල  කිහ .තවමත්  කියති.



  ඇත්තටම  රට ගිනි තිබ්බේ  ෆේස් බුකියිද ? නැතහොත් දේශපාලකයෝද ? නැතහොත් පන්සලද? නැතහොත්  මුස්ලිම් පල්ලියද?


ෆේස්බුකිය යොදාගෙන  අමනුස්සයෝ  අනෙත්  ජනවර්ග වලට එරෙහිව මිනිසුන්   උසි   ගැන්වූ බව ඇත්තය. එහෙත් අමනුස්සයන්ගේ  ඔලුවල ජාතිවාදය ඉබේ පහල වුවේ  නැත .    කලි කාලයක් තිස්සේ  අන්  ජනවර්ගයන්ට එරෙහිව   අදහස්  ප්‍රචාරය  කිරීම නිසා  යහපත්  මිනිසුන් අමනුස්සයන් බවට  පත්වූ අතර ඔවුහු  කළේ එම අදහස් අන්  අය  අතරට  යැවීම සඳහා ෆේස් බුකිය  යොදා ගැනීමය .

ජනවර්ගයකට එරෙහිව තවත්  ජනවර්ගයක් උසිගැන්වීම   ඉතා  තියුණු වුයේ  1948 න් පසුවය . එයට  පෙර  ජනවර්ග  ගැටුමක් ඇතිවූ එකම අවස්ථාව 1915 සිංහල -මුස්ලිම්  කෝලාහලය . ඒ  හැර අතීතයේදී  ලංකාවේ  මිනිසුන් ජනවර්ග  ලෙස  බෙදී  මරා  ගැනීමක් සිදුවී  නැත .


  එංගලන්තයේ සුද්දෝ  අපේ රටේ  අයට මේ  පුංචි රට   භාර දී  ගිය  පසු   අපි අපේ රටේ  වෙනත් ජනවර්ග  සමග   ගැටුණු අවස්ථා බොහෝය .1956 සිට දෙමළුන් සමග නිතර නිතර  ගැටුණු සිංහලයෝ රාජපක්ෂ   ආණ්ඩු සමයේ අවසානයේ  සිට මුස්ලිම්  මිනිසුන්  සමගද හැප්පෙන්නට පටන් ගත් අතර  මේ ගෝත්‍රික  මරා  ගැනිලි වල අවසානය  කවදා සිදුවේදැයි  හිතා  ගැනීමටවත්  නොහැක .


ලංකාව  බහු  ජනවාර්ගික  , බහු ආගමික , රටක්  නොව  සිංහල බෞද්ධ  රටක්  බවට  කලිකාලයක් තිස්සේ විශේෂයෙන්ම  බෞද්ධ  භික්ෂුන්ද , ඇතැම් දේශපාලනඥයන්ද , ජනමාධ්‍යයන්ද  විසින්ද  සිංහලයන්ගේ මොලගෙඩි අස්සට  බස්සන  ලද මතවාදය සියලුම  ජනවාර්ගික  ගැටුම් වලටත්,   27 ත් අවුරුදු  යුද්ධයටත් උප්පත්තිය දුන්නේය .


27 අවුරුදු  යුද්ධය  සිංහලයන් විසින්  ජයග්‍රහණය  කිරීම නිසා  අන් ජනවර්ග තමන්ට  ඕනා  හැටියට  ජීවත් විය  යුතුය  යන  අදහස දැන් සිංහලයන් අතර පෙරටත් වඩා  පැලපදියම් වෙමින් තිබේ. 


තෙල්දෙනියේදී සිංහලයෙකුට  පහර දී  මරා දැමීම දඩ මීමා කරගෙන මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ ගිනිතැබීමට    සිංහල මිනිසුන් පිරිසක්   කුපිත  කිරීමට ඥානසාර+ මහසෝන් බලකායට  හැකිවුයේ ඒ නිසාය .




Image result for gnanasara

  

ලංකාවේ  එකම  උරුමක්කාරයෝ  සිංහල බෞද්ධයන්  පමණක්  යන   මතවාදය බහුතරයක් තුළ තිබෙන තුරු මේ රටේ  ජාතිවාදී ගැටුම් ඇති වීම  නැවැත්විය  නොහැක.  


 බහුතරයක් දේශපාලකයෝ  කරන්නේ  මිනිසුන් තුළ  පවතින  මෙම සිංහල බෞද්ධ  මතවාදය  ගසා  කමින්  බලයට ඒමට මෙන්ම  තිබෙන බලය සදාකාලික කර  ගැනීමට  එය පාලමක්  කර ගැනීමය . රාජපක්ෂලා  කරන්නේ එයය . වීරවංශලා  කරන්නේ  එයය . චම්පිකලා  කරන්නේ එයය . රතනලා  කරන්නේ එයය .ගම්මන්පිලලා  කරන්නේ  එයය .


සිංහල  බෞද්ධයන් බහුතරය වූ ආණ්ඩු ,  රාජ්‍ය  බලය අන් ජනවර්ග සමග  සමසේ  කෙසේ වෙතත් සාධාරණව  හෝ බෙදා  හදා  ගැනීමට සුදානම් නොවීම නිසා  දෙමල  ජනයා ෆෙඩරල් බලතල ඉල්ලු අතර එයට ඉඩ දීමට ආණ්ඩු සුදානම් නොවීම නිසා ප්‍රභාකරන්ලා  බිහිවිය . ඔවුන්ගේද , ආණ්ඩුවේද  27 අවුරුදු යුද්ධය සිංහල දෙමල මුස්ලිම් සියල්ලන්ටම විනාශය ගෙන ආවේය .


මුස්ලිම් මිනිසුන් යුද්ධයේදී සිංහලයාගේ  පැත්තේ  හිටගත්තද   , වෙනම රාජ්‍යයක්  තියා  ෆෙඩරල් බලතලවත්   ඉල්ලා සිටියේ නැති වුවද , තම්බියා  සිංහල බෞද්ධයාට  තර්ජනයක් ලෙස   වසර  ගණනක්  තිස්සේ   ඥානසාරලා රට  තුල ගෙන ගිය මතවාදය අලුත්ගම ,ගිංතොට , අම්පාර සහ මහනුවර අවට ගිනි ජාලාවක් ඇවිලෙව්වේය . .


මුස්ලිම් පල්ලිය විසින් ද සිංහලයා සහ  මුස්ලිම් ජාතිකයා අතර  විරසකයට  පෝර දමා  තිබෙන  බව කිව යුතුව  තිබේ. මීට දසක දෙකකට  පෙර  මුස්ලිම් ගැහැණුන්  ඔලුව වසා  ගත්තේ  සාරි පොටෙනි. කළු ලෝගු වලින් ඔලුවේ සිට දෙපතුල  දක්වා වසා  ගැනීම ඇරඹුණේ දසක දෙකක  හමාරක සිටය .  මුස්ලිම් මිනිසුන් වැඩි වැඩියෙන් මුහුණ  පුරා රැවුල් වවන්නට  පටන් ගත්තේද  අවුරුදු 20 ක  හමාරක සිටය .අරාබියේ සංස්කෘතිය මෙහි පැලපදියම් කිරීමට මුස්ලිම් පල්ලිය කටයුතු කිරීම  එයට  ප්‍රධානම හේතුවය .



Image result for sri lanka muslim women

ජාතිවාදය  පතුරවන සිංහල සංවිධාන  මැඩ  පැවැත්විය  යුතු සේම අරාබි සංස්කෘතිය  මෙහි පැලපදියම් කරන්නට  කටයුතු කරන  මුස්ලිම් පල්ලියේ වැයම අත් හිටුවීම ද  ආණ්ඩුව  පියවර  ගත යුතුය . ජනවර්ග දෙක අතර ඇතිවෙමින් යන  විරසකය අවසන් කිරීමට ආණ්ඩුවට ඇත්තටම  උවමනා   නම් ආණ්ඩුව පටන් ගත  යුත්තේ එතැනිනි . 



එහෙත් එවැනි  පියවර  ගන්නට තරම් ධයිර්යයක් මේ ආණ්ඩුවට තිබේ  දැයි සිතා  ගැනීම  ඔබට  භාරය 




  

Saturday, March 10, 2018

සිරිසේනගේ කෝකටත් තෛලය




Image result for kandy riot

   

 මහනුවර අමනුස්ස ක්‍රියා   ගැන හොයන්නට ජනධිපති විමර්ශන  කමිටුවක්  පත් කරන්ට තීරණය කළ  බව ජනාධිපති  මාධ්‍ය ඒකකය කියා  තිබේ.



කමිටු යනු කෝකටත්  තෛලය  ලෙස  ප්‍රසිද්ධය .


කමිටු වාර්තාව  ජනාධිපති වරයාට  භාර දීමට පෙර තවත් තැනක  දෙමළුන්ට  හෝ මුස්ලිම් මිනිසුන්ට  පහර දීමක් සිදුවීමට   ඉඩ  නැත්තේ  නොවේ.



Related image

කමිටු වාර්තාව  පැමිණි පසුද එවැන්නක් යලි සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  පියවර  ගනු ඇතැයි සැක සහිතය .එයට හේතුව1948  සිට  පැවතී සියලු ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද ජාතිවාදී  කලකෝලාහල ඉදිරියේ බොක්ක  රත්වෙන නිසාය. දණහිස්  වෙවුලන නිසාය .


සුද්දන්  රට  පාලනය  කරද්දී  1915  සිංහල මුස්ලිම්  කලකෝලාහල ඇතිවූ වූ විට  යලිත් එවැනි කෝලාහලයක්  කරන්නට තියා හිතන්නටවත් බය  හිතෙන  කල්කදුරු සේ  තිත්ත  බෙහෙතක්   සුද්දා මංකොල්ල කාරයන්ට   දුන්නේය  .සු ද්දගේ බෙහෙතේ ආනුභාවය  1956 දක්වාම  පැවතියේය .



Image result for kandy riot

ආණ්ඩුව  කළ  යුත්තේ කමිටු පත් කොට වාර්තාව  එන තුරු  උඩ බලාගෙන  සිටීම නොවේ.  සුද්දා දුන් බෙහෙත මෙන් උගුරේ  සිට  අධෝමාර්ගය දක්වා  දක්වා  පිච්චි යන බෙහෙතක් දීමය . 

බෙහෙත  මෙසේය.  


 මහනුවර ජාතිවාදී කෝලාහලයට සම්බන්ධවූ  කොල්ලා  කුරුට්ටා දක්වා සියල්ලන්ම අත් අඩංගුවට  ගැනීම. 


නඩු අසා අවසන් වෙනතුරු  ඇප  නොදීම.


එම අපරාධ විභාග  කිරීම සඳහා විශේෂ අධිකරණ  පිහිටුවීම


කෝලාහලය  මෙහෙයවූ සියල්ලන්ගේම දේපොළ රාජසන්තක කිරීම .


විනාශ කරන  ලද දේපොළ වෙනුවෙන් වන්දි   ගෙවීම සඳහා,  නායකයන්ගේ  කීමට දේපොළ  විනාශ කිරීමට සම්බන්ධ  වූ  මැරයන්ගෙන්  දඩ  අය කර ගැනීම.


 ( අපේ  සාක්කුවෙන් අය  කර  ගන්නා බදු මුදල්වලින් වන්දි ගෙවනවාට අප එක හෙලාම විරුද්ධ විය යුතුය )


 අධිකරණය විසින්  නියම   කරන  ලද දඩ  මුදල් එකවර ගෙවීමට  නොහැකි අපරාධ කාරයන්ට වසර  පහක් තුළ  කොටස් වශයෙන් ගෙවා අවසන් කිරීමට නියම කිරීම


දේපොළ විනාශ කරද්දී  එය වැලක්වීමටඋත්සහ නොකර අනියමින් සහය දුන් පොලිස්  නිලධාරීන්  සේවයෙන් නෙරපීම.


  එවැනි දැඩි  පියවර  ගැනීමට ආණ්ඩුව සුදානම් නැත්තම් යලි යලි ජාතිවාදී  කලකෝලාහල ඇති කරන්නට ඥානසාර  පරපුරේ අවලම්මු  පාරට  බසින  බව ඒකාන්තය . දිගින් දිගටම එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීමේ ප්‍රතිඵලය ලංකාවේ ආර්ථිකය අපාය දක්වාම  පල්ලම් බැසීමය . එවිට ඥානසාර  ලංකවේ  කොල්ලන්ට  කෙල්ලන්ට   රස්සා  හොයාගෙන තමිල්නාඩුවට  , ඇෆ්ගනිස්ථානයට  පවා  යාමට සිදුවිය  හැකිය .





Thursday, March 8, 2018

මහනුවරින් ඇරඹුණු 1915 කෝලාහලයට 2018 දී යලි මහනුවරදී පණදීම

   

Image result for kandy riot



     චුන්  පාන්  රැගෙන එන ත්‍රීවීලරය    අද  උදැසන  මට මගහැරුණේය .හේතුව මා  නැගිටින්නට  පෙර එය  ඇවිත්  ගිය නිසාය . ඒ නිසා පෘතුගීසි කාරයන්  ලංකාවට  හඳුන්වා දීමෙන්  පසු  ලංකාවේ ස්ථිර සාර ලෙස  පැලපදියම්වූ   පාන්  ගෙඩියක්   හොයන්නට රුපියල් 100  ක හමාරක පෙට්‍රල් වියදම් කරගෙන ටවුමට යාමට සිදුවිය .පාන් කඩේ පාන් නැත. ඉන්පසු මා  ගියේ තම්බි නිෂ්පාදනයක් වන  පරාට  හොයාගෙනය . පරාට  කඩේ සිංහලයෙකුගේ වුවත්   පරාට  හදන්නේ මුස්ලිම්  හාදයෙකි . ඔහු   ගජරාමෙට  පරාට  හදමින් සිටිනු දැකීම හිතට සැනසිල්ලක් දුන්නේය . ඒ  බඩගින්න  නිවාගත  හැකි නිසා නොවේ .ඌ සනීපෙන් සිටින නිසාය  .පරාටේ  කන්නට ගමේ  කොල්ලන්  කීපදෙනෙකුද ඇවිත්  සිටියෝය . පරාටේ  හදන  හාදයද  බියෙන් සැකයකින් තොරව  රාජකාරියේ යෙදෙමින් සිටියේ අපේ  ගමේ  කොල්ලන්  ජාති ආලය නැමති  කුඩු  ගහන එවුන් නොවන  නිසාය .


අපේ ගමට අල්ලපු ගම වෙයන්ගල්ලය .එය  අහලපහල තිබෙන එකම මුස්ලිම් ගම්මානයයි.  දෙදහසකට ආසන්න  ජනගහනයක් එහි සිටි . කුඩලිගම, ගිරිකොල ,මහගම  පිඹුර  යන සිංහල  ගම්මානවලින් වටවී  තිබෙන වෙයන්ගල්ලේ මුස්ලිම් මිනිසුන්ට ගහන්නට , මංකොල්ල  කන්නට තරම්  මන්ධ  බුද්ධිකයන්  මේ ගම්මාන  හතරේම  නැති බව  මා  ලියන්නේ ආඩම්බරයෙනි . අපේ ගම  මැදින්  මුස්ලිම් මිනිසුන්   පනහක් හැටක්  දිනපතාම පාහේ  යති .කවදත් පාහේ උදැසන දැකිය   හැකි දර්ශනයක් වන්නේ අසනිපවූ  දරුවන් වඩා  ගෙන පිඹුර රෝහල වෙත  අපගේ  ගම  හරහා  පා   ගමනින් යන  දුප්පත් මුස්ලිම් ගැහැනුන්ය . ඔවුන්ට  කිසිම දිනක කිසිවෙකු කොලොප්පමක් වත් කර  නැති බව සහතික  කර  මට කිව  හැකිය .


පාන්දරින්  නැගිටින්නට  මට  නොහැකි වූ කාරණාව ඊයේ  මහා රාත්‍රිය වන තුරු අන්තර්ජාලයට රිංගා 1915 සිදුවූ සිංහල මුස්ලිම් කලකෝලාහලය ගැන විස්තර  කියවූ නිසාය. 1915  සිංහල මුස්ලිම් කලකොලහලත් ඊයේ  පෙරදා  මහනුවර දිස්ත්‍රික්කයේ  ඇතිවූ  කලකොලහලත් අතර විශාල සමානත්වයක්  තිබේ .


Epicenter of the event: Castle Hill Street

                           

                        1915 දී මුස්ලිම් විරෝධී කෝලාහල ඇරඹුනු නුවර කාසල්  හිල් වීදිය

 

1915  මැයි  මාසයේ 28 වෙනිදා සිංහල මුස්ලිම්   කලකෝලාහල ඇරඹුනේද මහනුවර දිස්ත්‍රික්කයෙනි .ඒ  කාලයේ  ලංකා  මුස්ලිම් සහ ඉන්දියන් මුස්ලිම් ලෙස  කොටස් දෙකක් සිටි අතර ගැටුමට  මුලික හේතුව  වුයේ   ඉන්දියානු  මුස්ලිම් වරුන්ගේ  පල්ලියක් ඉදිරිපිටින්  බෞද්ධ පෙරහරක්  බෙර  ගසමින්  යාමට ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්  විරුද්ධ වීමය .  එය නොසලකා පල්ලිය  ඉදිරිපිටින් පෙරහැර යාමට  උත්සහ  කළ විට  පොලිසිය එය  ආපසු හරවා  යවනු  ලැබිය . පල්ලිය අසල සිටි  ඉන්දියානු මුස්ලිම් ජාතිකයන් පෙරහරේ ආ  අයට හු කියන්නට  පටන් ගැනීම නිසා  පෙරහරේ  පැමිණි පිරිසක් පල්ලියට  කඩා වැදී  එයට  අලාභ  හානි කළහ .එහිදී දෙපාර්ශවයේ  කීප දෙනෙකුට  තුවාල සිදුවිය .

පසුවදා  සිංහලයෝ  මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කීපයකට  පහර දුන් අතර  මුස්ලිම් ජාතිකයෙකු විසින් වෙඩි තැබීම නිසා සිංහල තරුණයෙකු  මරණයට  පත් විය . වෙඩි තැබූ  පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට නොගැනීම නිසා  සිංහලුන් විසින්  මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට  පහර දුන් අතර  මුස්ලිම් ජාතිකයෝද සිංහල ව්‍යාපාරික ස්ථානවලට  පෙරලා  පහර දුන්හ . ඉන්පසු සිංහල ජාතිකයෝ කටුගස්තොට සහ  මහාය්යාවේ  මුස්ලිම් ගොඩනැගිලිවලට පහර දුන්හ .


තත්වය  පාලනය කිරීමට කොළඹින් පොලිසිය සහ  හමුදාව  ගෙන්වන  ලද අතර මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත  පන්ජාබ් හමුදා  බල ඇණියක්ද ඒ අතර විය .



Punjab Regiments, 1911. Watercolour by Major Alfred Crowdy Lovett (1862-1919). Copyright National Army Museum.

                      කෝලාහලය දරුණු ලෙස  මර්දනය  කළ  පන්ජාබ් බලඇණිය 


ආරම්භයේදීම  කැරලි මැඩිමට පොලිසිය  උනන්දු නොවීම හේතුකොටගෙන  මැයි 31 වනදා කොළඹටද  කෝලාහල  පැතිරගිය අතර   මුස්ලිම් ව්‍යාපාරවලට සිංහල  පිරිස් විසින්  පහරදෙනු ලැබිණ . ඉන්පසු    සබරගමුව,  වයඹ ,බස්නාහිර , දකුණ පළාත් වලටද  කෝලාහල   පැතිරගිය අතර මුස්ලිම් ජාතිකයන් ද  පෙරලා  පහර දුන්හ . ඇතැම් ස්ථානවලදී දෙමල  ජාතිකයන් ද සිංහලුන් සමග එකතුව  මුස්ලිම් ජාතිකයනට  පහර දී  තිබේ.


කැරලි මැඩ පැවැත්වීම සඳහා  ජුනි  2 වනදා  බ්‍රිතාන්‍ය ආන්ඩු කාරයාවූ රොබර්ට් චාමර්ස්   මාර්ෂල් ලෝ නමැති යුධ නීතිය පැනවූ අතර  ඒ  යටතේ  කෝලාහල  දරුණු ලෙස  බලය  යොදා  පාලනය  කරන ලදී. සිය ගණනක් සිංහල කෝලාහල කරුවන් වෙඩි තබා  මරා  දමනු ලැබිණ . පතරොම් නාස්ති  නොකරන  ලෙසත් කැරලි කරුවන්ගේ  පපුවටම වෙඩි තබන ලෙසත්  කෝලාහල මර්දනය කිරීමට  පත් කර සිටි  බ්‍රිගේඩියර්  මැල්කම් හමුදා  භටයනට උපදෙස් දුන් බව  කියනු ලැබේ .  මැයි  28 වෙනිදා ඇරඹුණු  කෝලාහල අවසන් වුයේ  ජුනි  මාසයේ 8 වෙනිදාය.


The Right Honourable GCB PC, 21st Governor of Ceylon.

                 ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර යා වූ  රොබර්ට් චාමර්ස්    


මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලින්  පැහැරගන්නා  ලද  භාණ්ඩ  ළඟ තබා  ගත් ගම්මානවල මිනිසුන් දහස්  ගණනින්  අත්අඩංගුවට  ගනු ලැබිණ  .ඔවුන්ට   ඇප නොදී  පොලිසි විසින්ම  කෙටි  නඩු  විභාග  පවත්වා කස  පහර දීම  හෝ සිරගත  කිරීම යන දඬුවම් දෙනු ලැබිණ .


කෝලාහල වලට අනුබල දෙනු ලැබුවේ  යයි රාජද්‍රෝහී චෝදනා  නගා   සිංහල  ජන නායකයන්  ගණනාවක්ද  අඩංගුවට  ගනු ලැබිණ. එසේ අත්අඩංගුවට  ගනු ලැබූ අය අතර D.S. සේනානායක , F.R. සේනානායක ,D.B. ජයතිලක , E.A. ගුණසිංහ , අනගාරික ධර්මපාලගේ සහෝදරයන් දෙදෙනුකු සහ බත්තරමුල්ලේ  උන්නාන්සේ  නමැති භික්ෂුවක්ද විය .


 කෝලාහලවලට සම්බන්ධ වීම නිසා  යුධ නීතිය  යටතේ අත් අඩංගුවට  ගනු ලැබූ අය හමුදා අධිකරණ හමුවට  පමුණුවා ඉක්මන් නඩු විභාග  පවත්වා ඇතැමෙකු වෙඩි තබා මර දමනු ලැබිය . එහිදී   කලකොලාහල කිරීම සඳහා සිංහලයන්ට සහය දුන්නේ  යන  චෝදනාව  යටතේ අත් අඩංගුවට  ගෙන සිටි හමුදා  කපිතාන්වරයෙකු වූ හෙන්රි පේද්‍රිස් ද යුධ අධිකරණය මගින් මරණ දණ්ඩනය  නියම කොට වෙඩි තබා  මරා  දමන  ලදී .  කෝලාහලවලට  සහය දීම නිසා ,රජයේ ඉහල තනතුරු දැරූ ප්‍රසිද්ධ සිංහලයන් බොහෝ දෙනෙකු  එම තනතුරුවලින් නෙරපා හරිනු ලැබිණ . එසේ  තනතුරෙන් පහ  කරන  ලද එක නිලධාරියෙකු වුයේ  හුළුගල්ලේ අදිකාරම්ය .චෝදනාව වුයේ  ඔහුගේ  ප්‍රදේශයේ කෝලාහල ඇතිවූ අවස්ථාවේ   ඔහු වෙනත්  ප්‍රදේශයක  සිටීමය .


නිල සංඛ්‍යා  ලේඛනවලට අනුව 25  දෙනෙකු කොලහලවලදී මරා දමා  තිබුණු අතර 189 දෙනෙකුට  තුවාල  කර තිබුණි. ජාති  ආලයෙන්  පෙළුණු  පිරිස්  කාන්තාවන්  4 දෙනෙකු දුෂණය  කර  තිබුණි .නිවාස සහ වෙළඳ සල් 4075  කින්   භාණ්ඩ  මංකොල්ල  කා තිබුනු අතර නිවාස සහ  වෙළඳසැල් 250 ක්  ගිනි තබා  පුළුස්සා අමානු ලැබිණ . මුස්ලිම් පල්ලි 17 ක්  මුළුමනින්ම  ගිනිතබා අළු  කරන  ලද අතර  තවත්  මුස්ලිම් පල්ලි 86 කට අලාභ  හානි  කරන  ලද  බව නිලවාර්තා සඳහන්  කර තිබේ   .

 බ්‍රිගේඩියර්  මැල්කම්  විසින් කෝලාහල පිළිබඳව  පරීක්ෂණ  පැවැත්වීමට   විශේෂ  කොමිසාරිස් වරුන් පත්  කරන ලද අතර   දඬුවම් කිරීමේ  බලයද  ඔවුන්ට ලබා දුන්නේය  ඔවුන් විසින් මුස්ලිම් මිනිසුන්ගේ අහිමිවූ දේපොළ  වටිනාකම්  තක්සේරු කොට අලාභය   ගෙවන  ලෙස ඒ ඒ ප්‍රදේශවල  සිටි  මිනිසුන්ට  නියම කරනු ලැබිණ  .  ඒ සඳහා  කලකෝලාහල අරමුදලක් පිහිටුවන ලැබූ අතර එයට  මුදල්  නොදුන් අය අත්අඩංගුවට  ගෙන  යුධ අධිකරණවලට  ඉදිරිපත් කරනු ලැබිණ .



Sir Ponnambalam Ramanathan (Source: archives.dailynews.lk)

                         සිංහලයන් වෙනුවෙන්  පෙනී සිටි  පොන්නම්බලම් රාමනාදන් 


කෙසේ වෙතත්  කලකොලහලය  දරුණු ලෙස  මර්දනය  කිරීම  නිසා  සුද්දන්  ලංකාවේ  සිටින තුරු  කිසිදු   ජාතිවාදී  කෝලාහල යක් ඉන්පසු  ඇතිවුයේ  නැත . යලිත් එවැනි ජාතිවාදී කෝලාහල ඇතිවුයේ  සිංහලයන්ට රාජ්‍ය   බලය දීමෙන් පසුවය . ඒ  බණ්ඩාරනායක  මහතා අගමැතිවූ  1956 දීය . ඔහු බලයට  පත්ව  හරියටම මාස දෙකක්  ගතවූ 1956 ජුනි 12 වනදා  ගල්ඔය  ජනපදයේ සිංහලයන් විසින් දෙමල  ජාතිකයනට අවි ආයුධ ගත් අතර කෝලාහලය අවසන් වන විට දෙමල  ජාතිකයන් 150 දෙනෙකු ඝාතනය කර තිබුණි .


 කණගාටුවට  කරුණ වන්නේ සුද්දන් විසින් 1915  සිංහල-මුස්ලිම් කෝලාහලදී සිංහලයන්     මර්දනය කළ දරුණු ආකාරයට  එරෙහිව  දිගින් දිගටම  උද්ඝෝෂණය  කළ අය අතර සිටි  ප්‍රමුඛයා වූ පොන්නම්බලන් රාමනාදන්  මහතා අයත්වූ  ද්‍රවිඩ  ජනතාවට   සිංහලයන්  විසින් එලෙස කෘර  ලෙස   පහර දීමය.




Tuesday, March 6, 2018

ඥානසාරලාට බය ආණ්ඩුව




 


       මේ  ආණ්ඩුව  ගැන අප සිටින්නේ  කේන්තියෙනි .ජනවාරි 8 ට  පෙර   මේ ආණ්ඩුවේ  ලොක්කෝ දෙසා  බෑ බේගල්  විශ්වාස කොට . අපි චන්දය දුන්නෙමු . එහෙත් අවුරුදු දෙක හමාරක්  ගත වීත්  වදා තිබෙන්නේ  කෙන්දක් පමණය . ජනවාරි 8 ට  පෙර  නම් ඔවුහු අපට කිවේ පිදුරුතලාගල  කන්දටත් වඩා  ලොකු කන්දක් වදන  බවය 


  දෙවෙනි දර්ගා ටවුමක්  අපි බලාපොරොත්තු උනේ  නැත.  එහෙත් ජනවාරි 8 න් පසු දර්ගා ටවුම  ,ගින්තොටට , අම්පාරට , සහ තෙල්දෙණියට ගියේය . තෙල්දෙණියෙන් එය අවට  ගම්මානවලට  පැතිර  ගියේය . එය හෙට තවත් තැනකට බොහෝ විට  යනු ඇතැයි අනුමාන කරන්නට දැන් අපිට සිදුවී  තිබේ  


එසේ වෙන්නේ ඇයි? 


එසේ වන්නේ මේ ආණ්ඩුව  බියගුලු  ආණ්ඩුවක් නිසාය. ආණ්ඩුව  ලෝක ප්‍රජාවටත් බයය . එක්සත් ජාතීන්ගේ මානව  හිම්කම් සභාවටත්  බයය . අපරාධ  කළ හිටපු හමුදා  නිලධාරීන්ටත්  බයය . ඥානසාරට  නිකායටත්  බයය  . 



Image result for anti muslim riots in kandy


අද  කෙරුම්කාරයෝ වී තිබෙන්නේ ඥානසාරලාය .අම්පිටියෙ සුමනේලාය . බෙන්ගමුවේ නාලකලාය , ඉත්තැකන්දෙලාය. තෙල්දෙණිය  ගිනි තිබ්බේ  ඥානසාර , අම්පිටියේ සුමන  තම සහපිරිවෙර සමග තෙල්දෙණියට ගිය  පසුවය . 


ගින්තොට සිද්ධියෙන්  පසු එවැන්නක් සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  කිසිම සැලැස්මක් සකස්  නොකළ බව ඕනෑවටත් වඩා  පැහැදිලිය . ඉන්පසු  අම්පාර ගැටුම ඇතිවුයෙත් ඉන්පසු   තෙල්දෙණිය සහ අවට  ගම්මානවලට  පැතිරගියේත් ආණ්ඩුවේ සෙවල  කම නිසාය. ආණ්ඩුව ආ විගස අලුත්ගම සිද්ධිය ගැන  නැවත විභාගයක් පවත්වා එයට සම්බන්ධ සියලු දෙනා  කුඩු කළේ නම්,  යලිත් එවැනි  අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීම වැලැක්වීම සඳහා තද නීති පැනවුයේ  නම් ,  ගින්තොට අම්පාර , තෙල්දෙණිය ගිනි තබන්නේ  නැත  . සිංහල අන්තවාදීන්  කොපමණ දුරට සංවිධානය වී  තිබේද  යන්න  හදිසි නීතිය  පැනවීමෙන්  පසුත්  ඊයේ  රාත්‍රී තැන්නකුඹුරේ කුඩා මුස්ලිම් පල්ලියක් ගිනි තැබීමෙන් පෙනේ .



Image result for anti muslim riots in kandy



මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර  කිරීම  මගින්   රට අස්ථාවර  කර මේ ආණ්ඩුව  මහජනයාට  තව දුරටත් අප්‍රිය  කර  රාජපක්ෂලා  නැවත  බලයට ගෙන එම සඳහා බලවත්  පිරිසක් පිටුපස  සිටින බව ට සැකයක් නැත . එකතරා  මාධ්‍යයක සඳහන්  වූ ආකාරයට අම්පාරේ සහ  තෙල්දෙණියේ  ගිනිතැබීම්  පිටුපස  සිටින්නේ  මහසෝන්  බලකාය  නමින් හදුන්වන මැර  පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ   හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට  වාර්තා  කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව  කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම  හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ  මොහොතේ  ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක  කරන්නට සහ වෙනත් දැඩි  ක්රියා මාර්ග  ගැනීමට  සුදානම් නොමැති නම් ඉදිරියේදී  ඔවුන් ලංකාවම ගිනි තබන  බවට කිසිදු සැකයක් නැත .



Image result for anti muslim riots in kandy


යලිත් මෙවැනි සිද්ධි ඇතිවුවහොත් ආණ්ඩුව අඩු වයසෙන් කාලක්‍රියා  කරනු ඇත අවමඟුලේදී අඬන්නට වැලපෙන්නට කිසිවෙකු  නොමැතිවනු ඇත . 1948 න් පසු පිහිටුවනු ලැබූ  දුර්වලම ආණ්ඩුව  ලෙස  ඉතිහාසයේ  ලියවෙනු ඇත .






ජූලියේ මළවුන් සමග රාත්‍රියක්

            පෙරේදා (ජුලි 29  ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග  ගෝරියක් ඇදගෙන දික්කසාද  නඩුවක් දමන බව...