Skip to main content

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ





     

මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිරීමෙන් අනතුරුව පස්වරු 1.35 ට නාවික  හමුදා  කඳවුරට  පැමිණෙන  ලෙස නියෝග  කොට  ඔවුන්  පිටව ගිය බව  එම ලිපිය කියවූ ඔබට මතක ඇතැයි සිතමි.

 අද එතැන් සිට .....


නාවික  හමුදා  භටයන් ආපසු  ගිය  පසු පාසලට  යාමට  මා සුදානම් වූවෙමි . පාසැල  තිබෙන්නේ  නිවසේ සිට කිලෝමීටර් දහයක්  පමණ  දුරිනි .නාවික  හමුදා  කඳවුර තිබුණේ  මගේ නිවසත්  පාසලත්  අතර ය. නාවික  හමුදා  කඳවුර කුඩා එකකි මා සිතන  හැටියට එහි  භටයන් 25 ක් වැනි පිරිසකට වඩා  සිටියේ නැත . එය ස්ථානගත  කර තිබුණේ ප්‍රධාන  මාවතට තරමක් ඈතින් වූ නිවෙසකය  එම නිවාස  අයත් වුයේ තජුඩින්ගේ මළසිරුර  සම්බන්ධයෙන් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව  ඉදිරිපත් කළ  ආනන්ද  සමරසේකර මහතාටය . කොලඹ පදිංචිව සිටි ඔහුගේ   ගමේ  නිවසේ කිසිවෙකු සිටියේ නැත 


එකළ  හමුදා  කඳවුරකට  යාම අතිශයින් භයානකය .එහි  ගිය අයෙකුට  නැවත  පණපිටින් ආපසු  පැමිණෙන්නට හැකිවේද  යන්න අතිශයින්ම සැක සහිතය .හමුදා  කඳවුරට ගිය  පසු මා එල්ලා  පහර දෙනු ඇතැයිද , ඇට කටු කඩා දමනු ඇතැයිද අවසානයට රාත්‍රියක  ගංගාවක් අසලට  ගෙන  ගොස් වෙඩි තබා  හෝ පකිස්තානු දුනු පිහියකින්  බෙල්ල  කපා  ගඟට දමනු ඇතැයි මගේ සිත  කියන්නට විය .එහෙත් මේ ඉරණමෙන් ගැලවීමට උපදෙසක් ගැනීමට  හෝ කෙනෙක් සිටියේ  නැත කොමියුනිස්ට් පක්ෂය හා මා  සම්බන්ධවී සිටියද එහි නායකයන්  මා හඳුනන්නේ නැති බැවින්  ඔවුන්ගේ මැදිහත්වීමක්  හෝ කරවා  ගැනීමට  මගක් තිබුනේ  නැත .අද මෙන් දුරකථන  පහසුකම් හෝ මානව අයිතීන් සංවිධාන  හෝ එකල  තිබුනේ  නැත .  එබැවින් කියන්නට  කෙනෙක් සිටියත් හනික සම්බන්ධ  කරගන්නට  මගක් තිබුනේ  නැත .එවැනි  පසුබිමක්  තිබියදී  කඳවුරට  යාමට  මට සිදුවී  තිබුනේ  ආපසු එන්නට  බලාගෙන නොවේ.



 අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතාගේ  සහෝදරයෙකු  මගේ මිතුරෙකු විය .ඔහු ජීවත්වුයේද නාවික හමුදා  කඳවුර අසල නිවසකය. නාවික  හමුදාවෙන්  ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඔහුට  කියන ලෙස දිනක් ඔහු මට  කියා  තිබිණ . මට  තිබු එකම ගැලවුම එය විය . එබැවින්පා සලට  යන අතර තුර  ඔහු හමුවීමට  ගොස්    සිද්ධිය  කීවෙමි .


"මං කොළඹ  යන්න  ලැස්තිවෙන්නේ . මං යන්න  ඉස්සෙල්ල  කෑම්ප් එකට  ගිහින් කියන්නම් .ඔයා නොවරදවාම  කිව්ව වෙලාවටම  කෑම්ප් එකට යන්න " යයි ඔහු මට උපදෙස්  දුන්නේය .


පාසල ඇරෙන්නේ සවස 1.30 ටය. එබැවින් පාසල අවසන් වන තුරු සිට 1.35 ට  කඳවුරට  යාමට  නොහැක . එබැවින් 12.30 ට කෙටි නිවාඩුවක් ගෙන  කඳවුරට  යාමට මා  තීරණය  කළෙමි.  1.35 ට  පිඹුර නාවුක අනුඛණ්ඩය තිබෙන කඳවුරට එන ලෙස  නාවික හමුදාව  මට දන්වා තිබෙන බැවින්  12 .30 ට පාසලෙන් පිටව ගිය   බව සඳහන්  කරමින් ලොග් සටහනක් යොදන  මෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට  කීවෙමි. මා එසේ  ලියෙව්වේ   ජීවිත ආරක්ෂාවට එය  උපකාරයක්  වනු ඇතැයි මා සිතු නිසාය . කඳවුරට  යාමෙන් පසු මා අතුරුදහන් කරනු ලැබුව හොත් මගේ ඉරණම සොයා  ගැනීමට    ලොග් සටහන  උපකාරී වනු ඇත .


සවස 1.20 වන විට  මා  කඳවුරට  ගියෙමි කඳවුරට  හැරෙන  හංදියේ බිරිඳත් සොහොයුරියත් සිටි අතර ඔවුන්ද  මා සමග  නාවික  කඳවුරට  පැමිණියහ  ගේට්ටුවේ  මුරට සිටියේ හැඩි දැඩි නාවුක භටයෙකි. මොහු වැනි  හැඩි දැඩි  භටයන්   පහර දී මගේ ඇට කුඩු කරනු ඇතැයි මා සිත තුළ දැඩි භීතියක් ඒ මොහොතේම ඇති විය .



                                                මාතලේ සමුහ මිනීවල 

"මොකෝ ආවේ? " ඔහු ඇසුවේය.


කාරණාව කීවෙමු .


"එන්න  කිව්වේ එක්කෙනෙකුට නම්  තුන් දෙනෙක් ආවේ මොකටද"  ? ඇසු ඔහු නිවස තුලට  ගොස්  අප  පැමිණ සිටින  බව  දැනුම්  දුන්නේය. ඉන් පසු ගේට්ටුව  විවුර්ත  කළ ඔහු අප තිදෙනාටම ඇතුලට  යන ලෙස  කිවේය .


අප ඇතුලට  යන විට නාවික භටයන් හතර දෙනෙකු  කැරම් ගසමින් සිටියහ .අප දුටු විට  තිදෙනෙකු  නැගිටි අතර අප තිදෙනාට එහි වාඩි වෙන  ලෙස කීහ . කඳවුරේ  ජෙෂ්ට  නිලධාරියා අනිත් පුටුවේ වාඩි වී  සිටි අතර  ඔහු සහ  තවත් නිලධාරියෙකු ප්‍රශ්න අසන්නට පටන් ගත්හ .


 " කවුද  නීල් කියන්නේ ?"


" නීල් කියල  එක්කෙනෙක් නම් ඉන්නවා අපේ ගමේ ."


" කොහොමද  හැඩරුව ?"


" හීනියි ,මිටියි "


 "මොකද මිනිහ  කරන්නේ "?


"රස්සාවක් නම් නැහැ. බෝඩ් එහෙම අඳිනවා "


" JVP කාරයෙක්ද? "


" නැහැ ඒගොල්ලන්ගේ  පවුලේ ඔක්කොම  UNP "


නාවුක නිලධාරියා  ඉන්පසු තවත් නම් කීපයක් කියා  හඳුනවාදැයි ඇසීය .


" ඒ නම් අහලත් නැහැ .අපේ ගමේ අය  නම් නෙවෙයි "


" ඒ ගොල්ලෝ තමයි  කළුතර දිස්ත්රික්කයේ  JVP පන්ති  කරන්නේ " නාවික නිලධාරියා  කිවේය .


" ගුණසේන කියල තියෙන්නේ තමුසේ පවත්වන  පන්ති වලට ආව  කියල " සිටගෙන සිටි හමුදා  නිලධාරියා  මා දෙස  බලා  කිවේය .


                                                     87-89 සමයේ මිය  ගිය ජවිපෙ  කැරලිකරුවන් 


ගුණසේන  යනු අපේ  ගමේ සිටි ,කලින් කොමියුනිස්ට් පක්ෂයේ  සිට පසුව  ජවිපෙ සමග සම්බන්ධකම් පැවැත්වූ   බැංකු සේවකයෙකි . සති දෙකකට  පමණ පෙර  හමුදාව  ඔහු අත් අඩංගුවට  ගෙන තිබුණි. ඔහු කොහේ රඳවා  සිටින්නේදැයි  කවුරුත් දැන සිටියේ නැත .

" මගේ ඉංග්‍රීසි පන්ති වලටද"? මා පෙරලා ඇසීමි.  මා එකළ සවස් වරුවේ ගමේ  නිවසක් කුලියට  ගෙන ඉංග්‍රීසි පංති පවත්වාගෙන  යමින් සිටියෙමි . අසන්නේ  JVP පංති  ගැන  බව  මට වැටහුනද ඒ බව ඇඟවුවේ  නැත .


" නෑ නෑ JVP පංති " නිලධාරීන් දෙදෙනාම එක වරට කීහ .


" ඒක වෙන්න  බැරි දෙයක් . මම  කවදාවත් JVP  පන්ති කරලා  නැහැ "


" ගුණසේන තමුසේ එක්ක  තරහද "? වාඩිවී සිටි  නිලධාරියා  ඇසීය .


" මා එක්ක  අමනාපයක් නම් නැහැ .එයාගේ ළමයි දෙන්නත්  මගේ  පන්තිවලට එවනවා  ඉංග්‍රීසි  ඉගෙන  ගන්න ."


" තමුසේ උගන්වන  ඉස්කෝලේ මොකක්ද " 


"ගිරිකොල කනිෂ්ට විද්‍යාලය ."


" මොකද්ද  ප්‍රින්සිපල්ගේ නම "?


"චන්ද්‍රදාස  කියල එක්කෙනෙක් "


" එයාගේ දේශපාලන  පක්ෂේ මොකක්ද" ?


"UNP "


" තමන් කොමියුනිස්ට් පක්ෂේ " ?


" ඔව් " 


" ඔන්න   ඕකෙන් අයින් වෙලා  තමන්ගේ වැඩක්  බලාගෙන ඉන්නවා  අයිසේ ." කි ප්‍රධාන  නිලධාරියා  නාවික භටයෙකු ලවා අප තිදෙනාට  සීතල කරන  ලද පලතුරු යුෂ වීදුරු තුනක් ගෙන්වා දුන්නේය.


ඇඟට ලේ ඉනුවේ එවිටය .


 සමරසේකර  මහතා  උදෙන්ම  නාවික කඳවුරට  පැමිණ මා  පිළිබඳව  චරිත සහතිකයක් දී තිබීම පණ පිටින් ආපසු ඒමට බෙහෙවීන් හේතුවූ  බවට සැකයක් නැත. 


ඉන් මාස දෙකකට  පසු දිනක රාත්‍රී 9 ට පමණ හමුදා භටයන්  දහ දොළොස්  දෙනෙකු මගේ  නිවසට කඩ  පැන්නෝය.


( ඉතිරි කොටස ඊ ළඟ  ලිපියෙන් ඔබට  කියවිය  හැක .)







Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට