Thursday, September 14, 2017

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ





     

මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිරීමෙන් අනතුරුව පස්වරු 1.35 ට නාවික  හමුදා  කඳවුරට  පැමිණෙන  ලෙස නියෝග  කොට  ඔවුන්  පිටව ගිය බව  එම ලිපිය කියවූ ඔබට මතක ඇතැයි සිතමි.

 අද එතැන් සිට .....


නාවික  හමුදා  භටයන් ආපසු  ගිය  පසු පාසලට  යාමට  මා සුදානම් වූවෙමි . පාසැල  තිබෙන්නේ  නිවසේ සිට කිලෝමීටර් දහයක්  පමණ  දුරිනි .නාවික  හමුදා  කඳවුර තිබුණේ  මගේ නිවසත්  පාසලත්  අතර ය. නාවික  හමුදා  කඳවුර කුඩා එකකි මා සිතන  හැටියට එහි  භටයන් 25 ක් වැනි පිරිසකට වඩා  සිටියේ නැත . එය ස්ථානගත  කර තිබුණේ ප්‍රධාන  මාවතට තරමක් ඈතින් වූ නිවෙසකය  එම නිවාස  අයත් වුයේ තජුඩින්ගේ මළසිරුර  සම්බන්ධයෙන් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව  ඉදිරිපත් කළ  ආනන්ද  සමරසේකර මහතාටය . කොලඹ පදිංචිව සිටි ඔහුගේ   ගමේ  නිවසේ කිසිවෙකු සිටියේ නැත 


එකළ  හමුදා  කඳවුරකට  යාම අතිශයින් භයානකය .එහි  ගිය අයෙකුට  නැවත  පණපිටින් ආපසු  පැමිණෙන්නට හැකිවේද  යන්න අතිශයින්ම සැක සහිතය .හමුදා  කඳවුරට ගිය  පසු මා එල්ලා  පහර දෙනු ඇතැයිද , ඇට කටු කඩා දමනු ඇතැයිද අවසානයට රාත්‍රියක  ගංගාවක් අසලට  ගෙන  ගොස් වෙඩි තබා  හෝ පකිස්තානු දුනු පිහියකින්  බෙල්ල  කපා  ගඟට දමනු ඇතැයි මගේ සිත  කියන්නට විය .එහෙත් මේ ඉරණමෙන් ගැලවීමට උපදෙසක් ගැනීමට  හෝ කෙනෙක් සිටියේ  නැත කොමියුනිස්ට් පක්ෂය හා මා  සම්බන්ධවී සිටියද එහි නායකයන්  මා හඳුනන්නේ නැති බැවින්  ඔවුන්ගේ මැදිහත්වීමක්  හෝ කරවා  ගැනීමට  මගක් තිබුනේ  නැත .අද මෙන් දුරකථන  පහසුකම් හෝ මානව අයිතීන් සංවිධාන  හෝ එකල  තිබුනේ  නැත .  එබැවින් කියන්නට  කෙනෙක් සිටියත් හනික සම්බන්ධ  කරගන්නට  මගක් තිබුනේ  නැත .එවැනි  පසුබිමක්  තිබියදී  කඳවුරට  යාමට  මට සිදුවී  තිබුනේ  ආපසු එන්නට  බලාගෙන නොවේ.



 අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතාගේ  සහෝදරයෙකු  මගේ මිතුරෙකු විය .ඔහු ජීවත්වුයේද නාවික හමුදා  කඳවුර අසල නිවසකය. නාවික  හමුදාවෙන්  ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඔහුට  කියන ලෙස දිනක් ඔහු මට  කියා  තිබිණ . මට  තිබු එකම ගැලවුම එය විය . එබැවින්පා සලට  යන අතර තුර  ඔහු හමුවීමට  ගොස්    සිද්ධිය  කීවෙමි .


"මං කොළඹ  යන්න  ලැස්තිවෙන්නේ . මං යන්න  ඉස්සෙල්ල  කෑම්ප් එකට  ගිහින් කියන්නම් .ඔයා නොවරදවාම  කිව්ව වෙලාවටම  කෑම්ප් එකට යන්න " යයි ඔහු මට උපදෙස්  දුන්නේය .


පාසල ඇරෙන්නේ සවස 1.30 ටය. එබැවින් පාසල අවසන් වන තුරු සිට 1.35 ට  කඳවුරට  යාමට  නොහැක . එබැවින් 12.30 ට කෙටි නිවාඩුවක් ගෙන  කඳවුරට  යාමට මා  තීරණය  කළෙමි.  1.35 ට  පිඹුර නාවුක අනුඛණ්ඩය තිබෙන කඳවුරට එන ලෙස  නාවික හමුදාව  මට දන්වා තිබෙන බැවින්  12 .30 ට පාසලෙන් පිටව ගිය   බව සඳහන්  කරමින් ලොග් සටහනක් යොදන  මෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට  කීවෙමි. මා එසේ  ලියෙව්වේ   ජීවිත ආරක්ෂාවට එය  උපකාරයක්  වනු ඇතැයි මා සිතු නිසාය . කඳවුරට  යාමෙන් පසු මා අතුරුදහන් කරනු ලැබුව හොත් මගේ ඉරණම සොයා  ගැනීමට    ලොග් සටහන  උපකාරී වනු ඇත .


සවස 1.20 වන විට  මා  කඳවුරට  ගියෙමි කඳවුරට  හැරෙන  හංදියේ බිරිඳත් සොහොයුරියත් සිටි අතර ඔවුන්ද  මා සමග  නාවික  කඳවුරට  පැමිණියහ  ගේට්ටුවේ  මුරට සිටියේ හැඩි දැඩි නාවුක භටයෙකි. මොහු වැනි  හැඩි දැඩි  භටයන්   පහර දී මගේ ඇට කුඩු කරනු ඇතැයි මා සිත තුළ දැඩි භීතියක් ඒ මොහොතේම ඇති විය .



                                                මාතලේ සමුහ මිනීවල 

"මොකෝ ආවේ? " ඔහු ඇසුවේය.


කාරණාව කීවෙමු .


"එන්න  කිව්වේ එක්කෙනෙකුට නම්  තුන් දෙනෙක් ආවේ මොකටද"  ? ඇසු ඔහු නිවස තුලට  ගොස්  අප  පැමිණ සිටින  බව  දැනුම්  දුන්නේය. ඉන් පසු ගේට්ටුව  විවුර්ත  කළ ඔහු අප තිදෙනාටම ඇතුලට  යන ලෙස  කිවේය .


අප ඇතුලට  යන විට නාවික භටයන් හතර දෙනෙකු  කැරම් ගසමින් සිටියහ .අප දුටු විට  තිදෙනෙකු  නැගිටි අතර අප තිදෙනාට එහි වාඩි වෙන  ලෙස කීහ . කඳවුරේ  ජෙෂ්ට  නිලධාරියා අනිත් පුටුවේ වාඩි වී  සිටි අතර  ඔහු සහ  තවත් නිලධාරියෙකු ප්‍රශ්න අසන්නට පටන් ගත්හ .


 " කවුද  නීල් කියන්නේ ?"


" නීල් කියල  එක්කෙනෙක් නම් ඉන්නවා අපේ ගමේ ."


" කොහොමද  හැඩරුව ?"


" හීනියි ,මිටියි "


 "මොකද මිනිහ  කරන්නේ "?


"රස්සාවක් නම් නැහැ. බෝඩ් එහෙම අඳිනවා "


" JVP කාරයෙක්ද? "


" නැහැ ඒගොල්ලන්ගේ  පවුලේ ඔක්කොම  UNP "


නාවුක නිලධාරියා  ඉන්පසු තවත් නම් කීපයක් කියා  හඳුනවාදැයි ඇසීය .


" ඒ නම් අහලත් නැහැ .අපේ ගමේ අය  නම් නෙවෙයි "


" ඒ ගොල්ලෝ තමයි  කළුතර දිස්ත්රික්කයේ  JVP පන්ති  කරන්නේ " නාවික නිලධාරියා  කිවේය .


" ගුණසේන කියල තියෙන්නේ තමුසේ පවත්වන  පන්ති වලට ආව  කියල " සිටගෙන සිටි හමුදා  නිලධාරියා  මා දෙස  බලා  කිවේය .


                                                     87-89 සමයේ මිය  ගිය ජවිපෙ  කැරලිකරුවන් 


ගුණසේන  යනු අපේ  ගමේ සිටි ,කලින් කොමියුනිස්ට් පක්ෂයේ  සිට පසුව  ජවිපෙ සමග සම්බන්ධකම් පැවැත්වූ   බැංකු සේවකයෙකි . සති දෙකකට  පමණ පෙර  හමුදාව  ඔහු අත් අඩංගුවට  ගෙන තිබුණි. ඔහු කොහේ රඳවා  සිටින්නේදැයි  කවුරුත් දැන සිටියේ නැත .

" මගේ ඉංග්‍රීසි පන්ති වලටද"? මා පෙරලා ඇසීමි.  මා එකළ සවස් වරුවේ ගමේ  නිවසක් කුලියට  ගෙන ඉංග්‍රීසි පංති පවත්වාගෙන  යමින් සිටියෙමි . අසන්නේ  JVP පංති  ගැන  බව  මට වැටහුනද ඒ බව ඇඟවුවේ  නැත .


" නෑ නෑ JVP පංති " නිලධාරීන් දෙදෙනාම එක වරට කීහ .


" ඒක වෙන්න  බැරි දෙයක් . මම  කවදාවත් JVP  පන්ති කරලා  නැහැ "


" ගුණසේන තමුසේ එක්ක  තරහද "? වාඩිවී සිටි  නිලධාරියා  ඇසීය .


" මා එක්ක  අමනාපයක් නම් නැහැ .එයාගේ ළමයි දෙන්නත්  මගේ  පන්තිවලට එවනවා  ඉංග්‍රීසි  ඉගෙන  ගන්න ."


" තමුසේ උගන්වන  ඉස්කෝලේ මොකක්ද " 


"ගිරිකොල කනිෂ්ට විද්‍යාලය ."


" මොකද්ද  ප්‍රින්සිපල්ගේ නම "?


"චන්ද්‍රදාස  කියල එක්කෙනෙක් "


" එයාගේ දේශපාලන  පක්ෂේ මොකක්ද" ?


"UNP "


" තමන් කොමියුනිස්ට් පක්ෂේ " ?


" ඔව් " 


" ඔන්න   ඕකෙන් අයින් වෙලා  තමන්ගේ වැඩක්  බලාගෙන ඉන්නවා  අයිසේ ." කි ප්‍රධාන  නිලධාරියා  නාවික භටයෙකු ලවා අප තිදෙනාට  සීතල කරන  ලද පලතුරු යුෂ වීදුරු තුනක් ගෙන්වා දුන්නේය.


ඇඟට ලේ ඉනුවේ එවිටය .


 සමරසේකර  මහතා  උදෙන්ම  නාවික කඳවුරට  පැමිණ මා  පිළිබඳව  චරිත සහතිකයක් දී තිබීම පණ පිටින් ආපසු ඒමට බෙහෙවීන් හේතුවූ  බවට සැකයක් නැත. 


ඉන් මාස දෙකකට  පසු දිනක රාත්‍රී 9 ට පමණ හමුදා භටයන්  දහ දොළොස්  දෙනෙකු මගේ  නිවසට කඩ  පැන්නෝය.


( ඉතිරි කොටස ඊ ළඟ  ලිපියෙන් ඔබට  කියවිය  හැක .)







Monday, September 11, 2017

ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?





       ලිපියේ  මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය  යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම  මා අදහස්  කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට  ප්‍රාදේශීය සභා මෙන්ම  නගර සභාද අයත් වෙයි .බොහෝ විට  මෙම  මැතිවරණය ලබන ජනවාරි මස  පැවැත්වීමට  ඉඩ තිබේ.



මේ ලිපියේ සලකා  බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය. 


අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රධාන වශයෙන්  කණ්ඩායම් 4 ක් ඉදිරිපත්වෙනු ඇත. ඒවා  සියල්ල  හෝ වැඩි ප්‍රමාණයක් සන්ධාන වනු ඇත. එක්සත්  ජාතික පක්ෂය  පෙරමුණක්  ලෙස චන්දයට  ඉදිරිපත් විය හැක ,ඉකුත් මහා මැතිවරණයේදීද ඉදිරිපත්වුයේ  එක්සත් ජාතික පෙරමුණ ලෙසය . මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිපයද සන්ධානයකින් තරඟ  කරන  බවට සැකයක් නැත. මහින්ද  රාජපක්ෂ  ප්‍රමුඛ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද  සන්ධානයකින්    තරඟ වැදීම ස්ථිරය  .හතර වන  කණ්ඩායම  වන  ජනතා විමුක්ති පෙරමුණ තනිව  හෝ නාමික සන්ධානයක්  හදාගෙන  තරඟ කිරීමට  ඉඩ තිබේ.


මෛත්රිගේ ශ්‍රීලනිපයට   සහ එක්සත්  ජාතික  පක්ෂයට මේ  මොහොතේ  තිබෙන වාසිය වන්නේ  එම දෙපාර්ශවයම  බලයේ  සිටීමය .එබැවින් එක්සත් ජාතික  පක්ෂය සහ  ශ්‍රීලනිපය වටා කුඩා  පක්ෂ සහ  කණ්ඩායම් සැලකිය  යුතු  සංඛ්‍යාවක්  එක්වී සන්ධාන  ගත වී  තරඟ කරනු ඇත.


 පොදු ජන පෙරමුණට අවාසි දෙකක් තිබේ. එකක් රාජ්‍ය  බලය නොමැතිවීමය . දෙවැන්න ශේෂ්ත්‍ර නිලධාරීන්ට චන්දය  ඉල්ලීමට අවසර නොමැති වීමය . මෑතදී සම්මත  කළ පළාත් පාලන  මැතිවරණ  පනත  යටතේ  ශේස්ත්‍ර  නිලධරීන්ට  චන්දය  ඉල්ලීමට  ඉඩක් නොමැත . මහින්ද සමග  සිටින  හිටපු පළාත් පාලන  මන්ත්‍රී වරුන් අතරින් බහුතරය ශේස්ත්‍ර  නිලධාරීන් වෙති . ඔවුන් මහින්ද සමග රංචු ගැසීමට  බලපෑ  ප්‍රධානතම හේතුව වුයේ  දුෂිත  ක්‍රියා  මගින් සාක්කු පුරවා  ගැනීමට මහින්ද  විවුර්ත  ලෙසම ඔවුන් ධයිර්යමත් කළ නිසාය  . ඉකුත් ජනාධිපතිවරණයේදී ඔවුන් අරලියගහ මන්දිරයට  කැඳවා රුපියල් ලක්ෂ 20 බැගින් බෙදා දුන් අතර ඉන් ලක්ෂ කීපයක් මහින්දගේ චන්දයට වැය  කොට  ඉතිරි  මුදල ( අඩු වශයෙන් ලක්ෂ 15 ක් ) ඔවුන්ගේ සාක්කු වලට දමා  ගත්හ. එහෙත් ඔවුන්ගෙන්   විශාල පිරිසකට මෙවර තරඟ කිරීමට අවස්ථාවක් නොමැති වීම මහින්දගේ  පොදු ජන පෙරමුනේ  පපුවට එල්ල වුනු මාරාන්තික   පහරකි. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මහින්ද  හිතවාදී සන්ධානයේ ලොක්කා වූ වලල්ලාවිට  ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි උදේනි අතුකෝරලට  පවා   චන්දය  ඉල්ලීමට  ඉඩක් නොලැබේ.  එයට හේතුව  ඔහු සමුර්ධි නිලධාරියෙකු වීමය මහින්ද හිතවාදී ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වරුන් අතරින් සමුර්ධි  නිලධාරීන් සංඛ්‍යාව 823 ක් වන අතර  පමණ චන්ද අපේක්ෂකයන් වීමට නීතියෙන් අවසර  නොමැති බැවින්  . ඔවුන්ගේ  භාර්යාවන් /දරුවන් මැතිවරණයට  ඉදිරිපත් කිරීම සඳහා සුදානම් වෙමින් සිටිති එහෙත් ඔවුන් ශක්තිමත් අපේක්ෂකයන් නොවන  බව අමුතුවෙන් කිව යුතු නැත .



ජනතා විමුක්ති පෙරමුණ කිසියම් සන්ධානයක් හදාගෙන  හෝ නොමැතිව  පළාත් පාලන  මැතිවරණයට  ඉදිරිපත්වෙනු ඇත . 2020 දී  ආණ්ඩුවක් පිහිටුවන  බව  කියමින් තම  ක්‍රියාකාරිකයන්ගේ ධයිර්ය දිගටම  පවත්වාගෙන  යන ජවිපෙට   පාලන චන්දයේදී කැපී  පෙනෙන මන්ත්‍රී වරු සංඛ්‍යාවක් පත් කර ගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔවුන් කිසියම් සන්ධානයක් පිහිටුවා ගැනීමට  උත්සාහ  කරනු ඇත .එහෙත් ඔවුන්ගේ සන්ධාන අනෙකුත්  සන්ධාන  මෙන් නොවේ. වමේ කුඩා  පක්ෂ එකතු  කර ගැනීමට  ඔවුන් දිගින් දිගටම  බිය වී  තිබේ.  එබැවින් වාම වාදීන් නොව  ජාතික වාදී කණ්ඩායම් එකතු කරගෙන කිසියම් සන්ධානයක්  හද  ගැනීමට  ඔවුන් උත්සාහ  කරනු ඇත 



මෙවර  මැතිවරණය ක්‍රමය  වෙනස්ය . ලංකා දේශපාලන ඉතිහාසයේ  පළමු වරට මිශ්‍ර (කොට්ඨාශ + අනුපාත ) මැතිවරණ  ක්‍රමයක්  යටතේ  පළාත් පාලන  මැතිවරණ  පැවැත්වෙන් බැවින් චන්දය  ඉල්ලන අපේක්ෂකයන්ට  පවා  තම  ජයග්‍රහණය  ගැන සහතිකයක් නැත  .එමෙන්ම  පළාත් පාලන මැතිවරණයේදී  ඇතැම් චන්ද දායකයන්   පක්ෂයට වඩා  පුද්ගලයා  පිළිබඳවද  සැලකිලිමත්වේ. අපේක්ෂකයා  ඥාතියෙකු හෝ හිතවතෙකු වූ  විට පක්ෂය අමතක  කොට    පුද්ගලයාට චන්දය දීමට  පෙළඹේ. එහෙත්  බහුතරය චන්දය  දෙන්නේ  තම  පක්ෂයටය 




ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ  චන්ද,  මයිත්‍රී පිල  සහ  මහින්ද පිල  වශයෙන් දෙකට බෙදීම   නිසා එක්සත් ජාතික  පක්ෂයට වැඩි වාසියක් අත්වෙනු  බවට  අනුමාන කිරීම සාධාරණය  එහෙත් එක්සත් ජාතික  පක්ෂය පක්ෂයක් හැටියට  ගත් කල තවමත් සංවිධානමය වශයෙන් දුර්වලය .තම  පාක්ෂිකයන් වත් ශක්තිමත් ලෙස  පක්ෂයේ සංවිධාන වටා හරි හැටි ගොනු කොට සංවිධාන ගත  කිරීමට  එක්සත්  ජාතික පක්ෂයට හැකිවී  නොමැත.  එය එක්තරා  අන්දමකින් රාජ්‍ය නොවන සංවිධානයකට තරමක්  කිට්ටුය . රාජ්‍ය නොවන සංවිධාන වලට    දීප ව්‍යාප්ත  මට්ටමින් සංවිධාන  නැත .



එතෙත්   ස්ථිර  ලෙසම  එක අනාවැකියක්  කිව  හැකිය . මැතිවරණ ප්‍රතිපල  නිකුත් වීමෙන් පසු එක්සත්  ජාතික  පක්ෂයට  සහ  මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපයට  කිසියම් පළාත් පාලන ආයතනයක   බහුතර පළාත් පාලන  මන්ත්‍රීවරු සංඛාවක් ජයග්‍රහණය කොට  නොමැති වූ  විට එම  පක්ෂ දෙක  ගිවිසුම්  ගත වී  පළාත්  පාලන ආයතනවල  බලය අත් පත් කරගනු ඇත .ඇතැම් ඒවායේ  බලය මෛත්‍රී කණ්ඩායමටද තවත් ඒවායේ  බලය  එක්සත් ජාතික  පක්ෂයටද හිමි වෙන  පරිදි  ගිවිසුම් ගසා  ගනු ඇත.

 මහින්දගේ පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතනවල  බලය අල්ල  ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත  .ඇතැම් විටෙක  පළාත් පාලන  ආයතන  කීපයක  පමණක් ඔවුන්ට  බලය  ලැබීමට ඉඩ තිබේ.ඔවුන් එය දන්නා  බැවින් මැතිවරණ  කටයුතු සඳහා විශාල  ලෙස  මුදල් වැය කොට හැකි පමණ අපේක්ෂක සංඛ්‍යාවක්  දිනවා  ගැනීමට  උපරිම  උත්සාය දරනු ඇත .



ජනතා  විමුක්ති පෙරමුණ කිසිවෙකුට  සහය නොදී විපක්ෂයේ  සිටිනු ඇතැයි අනුමාන කිරීම සාධාරණය .එහෙත් ප්‍රාදේශීය සභා  කීපයක සභාපති තනතුරු ජවිපෙට  ලබා දීමට   කැමැත්ත දක්වන  පක්ෂයකට  ජවිපෙ සහය  දීමට  ඉඩ  නැත්තේද  නොවේ. කෙසේ වෙතත්   ඔවුන්ට  තනියම එකම  පළාත් පාලන  ආයතනයක  හෝ  බලය  අල්ලා  ගැනීමට  හැකි වෙනු ඇතැයි සිතීමට  කරුණු නැත. කෙසේ  හෝ  ඔවුනට ආයතන දෙක  තුනක  හෝ  බලය  අල්ලාගත  හැකි වුවහොත් එය එම පක්ෂයේ ඉදිරි ගමනට  හොඳ ගැම්මක් වනු ඇත.


මෙම මැතිවරණයේදී මනාප  පොරයක් නැති බැවින් අපේක්ෂකයන්ට සුළු මුදලකින් තම මැතිවරණ ව්‍යාපාරය  කරගෙන  යාමට  හැකිය. .එබැවින් ස්වාධීන අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා  කළ හැකි අතර  ඔවුන් අතරින් සැලකිය  යුතු පිරිසක්  ජයග්‍රහණය  කිරීමටද   ඉඩ තිබේ. එබැවින් මනාප  පොරය ඇතිවන්නේ  චන්ද  ප්‍රතිඵල ආවිටය . ජයග්‍රහණය  කළ ස්වාධීන  මන්ත්‍රී වරුන්ගේ  මනාපය  ලබා  ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල  පොරයකට අවතීර්ණ වනු නිසැකය  .


( මා දුටු 87-89 භීෂණයේ තුන්වන  ලිපිය  බලාපොරොත්තු වන්න. එම ලිපි මාලාවේ පළමු සහ දෙවන කොටස්  කියවීම සඳහා  ඉහල දකුණු තීරයේ ඇති ලිංකු මත  ඔබන්න )

මෙම  ලිපිය  පිලිබඳ ඔබේ අදහස් පහත  කොමෙන්ටු තීරයේ ලියන්න )

Tuesday, September 5, 2017

මා දුටු 87-89 භීෂණය - 2වෙනි කොටස







 පළමු කොටස කෙටියෙන් .

(ජනතා විමුක්ති පෙරමුණ 1987  ඉන්දු ලංකා  ගිවිසුම ට එරෙහි විය .පළාත් සභා වලට  තරඟ  කරන අපේක්ෂකයන් ,චන්ද දායකයන් , සහ මැතිවරණ  රාජකාරි වල යෙදෙන නිලධාරීන් මර දමන  බව කියමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පෝස්ටර් අලවා   තිබුණි.   මැතිවරණ වලට  තරඟ  කරන  ලද්දේ එක්සත් ජාතික  පක්ෂය සහ  වාමාංශික  පක්ෂ  පමණය .මෙය  ලියන  ලියුම් කරු රජයේ රැකියාවක්  කළ  බැවින් මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු ලැබීය. ඔහුට  ලැබී තිබුණු  චන්ද  මධ්‍යස්ථානය මතුගම  මැතිවරණ  කොට්ටාශයේ දුෂ්කර ප්‍රදේශයක  පිහිටි  ඉත්තෑපාන මහා  විද්‍යාලයයි . ඔහු එහි යන විට  කිසිවෙකු සිටියේ  නැත. පාසැල  මෙන්ම අවට  නිවෙස්ද  කඩද  වසා දමා  තිබුණි .මිනිස්  පුළුටක්වත්  අවට දකින්නට  නොලැබිණ .පාසලේ  බිත්ති වල  ජවිපෙ සටන් පාඨ  පොල්ගෙඩි අකුරින්ලියා  තිබුණේ චන්දයට සහභාගී වන අයට  මරණ දඬුවම  ලබා දෙන  බවය   .වටපිටාවේ  තිබුනේ  ඉතා  බිය ජනක ස්වරූපයකි )


දෙවෙනි කොටස

          මා  මුහුණ දී  සිටින්නේ  ඉතාමත් අනතුරු දායක අවස්ථාවකට  බව  ඉක්මනින්ම  පැහැදිලි විය. අවට දන්නා හඳුනන අයෙකුද නැත. ආපසු  යාමටද  මගක් නැත . මැතිවරණ රාජකාරී  මගහැරීය හොත්  මා  ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු ලෙස පොලිසිය  ගණන් හැදිමටද ඉඩ තිබේ. එහෙත්   පාසල ඉදිරිපිටට වී    බලා  සිටීම  නිසා මා  මැතිවරණ  රාජකාරි සඳහා  පැමිණි  නිලධරියෙකු ලෙස සලකා  කොතැනක  හෝ සැඟවී  සිටින  'දේශප්‍රේමියෙකු ' මා වෙත  උණ්ඩයක් හමාරක්  එවීමටද  ඉඩ තිබේ. එබැවින් හොඳම දෙය කොයි අතට  හෝ පාර දිගේ ඇවිද  ගෙන  යාම  බව  තීරණය  කළ  මා  බස්  පාර දිගේ  ඉදිරියට සෙමින් ගමන් කළෙමි.


වැඩි දුරක්  යාමට සිදුවුයේ  නැත .ජීප් රථයක්  මා දෙසට එමින් තිබුණි. එය  පොලිස්  රථයක් බව හඳුනා  ගැනීමට  ඊළඟ  මොහොතේ  මට  හැකිවිය . අප්‍රමාදව  මා  පාර දෙසට අත දැම්මේ එය නවත්වා  ගැනීමටය 


"මොකද්ද  ප්‍රශ්නේ ?"  ජීප් රිය  මා අසල  නතර කළ විට එහි සිටි අයෙකු මගෙන් ඇසුවේය 


එහි සිටි උසස්  පොලිස් නිලධාරියාට කාරණාව  කීවෙමි .


" මහත්තය  තනියම  එහෙ මෙහෙ යන්න   එපා. මේකට  නගින්න .අපි වටයක් ගිහිල්ල  එනකොට  මහත්තයාගේ චන්ද  මධ්‍යස්ථානේ අනිත්  නිලධාරි ඇවිල්ල  තියේවි "


එම  ජීප් රථය  මැතිවරණ රාජකාරි සඳහා යෙදවූ ජංගම පොලිස් රථයකි . චන්ද  මධ්‍යස්ථාන  5 ක් සඳහා එක පොලිස්  රථය  බැගින් යොදවන  අතර  මැතිවරණය අවසන් වන තුරුම එම  පොලිස් මොබයිල් රථය තමන්ට  භාර  චන්ද  මධ්‍යස්ථාන  5 ට මාරුවෙන් මාරුවට   යමින් ඉහල නිලධාරීන්ට වාර්තා සැපයිය යුතුය . මා  ගොඩවුවේ මගේ චන්ද  මධ්‍යස්ථානය ද  භාරව සිටින  ජංගම පොලිස් රථයටය 


ජීප් රථයේ  පොලිස් පරීක්ෂකට  අමතරව  තවත්  පොලිස්  නිලධාරීන්  තුන් දෙනෙකු පමණ සිටියහ . පොලිස් ජීප් රථයට  ප්‍රහාරයක්  එල්ල වෙතැයි  යන සැකයෙන් ඔවුහු  තුවක්කු සුදානම් කරගෙන විමසිල්ලෙන්  සිටියහ. .අප  ගමන් කරන   පාර ආසන්නයේ  තරමක විශාල  පන්සලක්  තිබිණ .


මේ  JVP පන්සලක් " එක පොලිස්  නිලධාරියෙක් කීවේය .අනිත් පොලිස්  නිලධාරිද " ඔව්  ඔව්  JVP පන්සලක් තමා " කියමින්  එය  සනාථ  කළහ .


අනෙකුත් චන්ද  මධ්‍යස්ථාන  4 ට  යන විට නිලධාරීන්  පැමිණ සිටියහ .  ඉන්පසු   මගේ  චන්ද  මධ්‍යස්ථානයට පොලිස් රථය පැමිණෙන විට  එහි අනෙකුත්    මැතිවරණ  නිලධාරින්ද ආරක්ෂාව සඳහා  පත් කොට  තිබු පොලිස් නිලධාරීන් දෙදෙනාද  පැමිණ සිටියහ . ග්‍රාම සේවා  නිලධාරියා විසින්  මැතිවරණ  නිලධාරීන්ට  ආහාර  පාන  , කොට්ට පැදුරු ආදිය සපයමින් ගම සමග සම්බන්ධීකරණ  කටයුතු  කළ යුතු වුවත්  ඔහු පැමිණ සිටියේ නැත .නිසැකවම  ඔහුට  මරණ තර්ජන  තිබෙන්නට ඇත . ඒ සියල්ල සැපයුවේ  ජංගම පොලිස්   රථයේ  සිටි ප්‍රධාන  පොලිස්  නිලධාරියා  විසිනි.


පාසල  ගැන විස්තරයක් කළහොත් ප්‍රදේශයේ තිබු විශාලතම  පාසල වූ  එහි ගොඩනැගිලි  හත අටක් තිබුණි .පාසල් භුමිය  තැනිතලාවක සිට   තරමක උස භූමියක්  කරා  පැතිරී තිබිණ . පාසලේ තැන් තැන්වල  ගස් තිබු බැවින් පාසල භුමිය ප්‍රසන්න විය    චන්ද  මධ්‍යස්ථානය සඳහා අප තෝරා  ගත්තේ  උස් භුමියේ  තිබුණු  දැල් ගැසූ ශාලාවකි.  ගම සහ අවට  ගම්මාන වල  ජවිපෙ  ක්‍රියාකාරිකයන්  සිටි බැවින් ආරක්ෂාව  ගැන  පිළිබඳව විශේෂ සැලකිල්ලකින්  යුතුව  කටයුතු කිරීම අවශ්‍ය විය . දිවා  ආහාරය  ගැනීමෙන් පසු චන්ද පොළ  පෙරහුරුවක්ද  පවත්වා අපි විවේක ගතිමු.  මැතිවරණ රාජකාරි සඳහා ගිය විට මේ විවේකය  යොදා  ගන්නේ ඇඟ රත් කරගන්නටය . බොහෝ විට  නිලධාරීන් පැමිණෙන්නේ බෝතලයක් හමාරක් ගමන් මල්ලේ දමාගෙනය .එසේ  නොවුනහොත්  ග්‍රාම සේවා නිලධාරියා ඒවා  තිබෙන ස්ථානයකට  නිලධාරීන්  කැඳවා  ගෙන  යයි . ග්‍රාම සේවා  නිලධාරියා පැමිණ  නැති බැවින් ඒවා සොයා  ගැනීමට  ද  මගක් නොමැත . එකම නිලධාරියෙක්  පමණක්  බෝතලයක්  ගෙනවිත් තිබුණේය. හත් අට දෙනෙකුගෙන් සමන්විත වූ අප පිරිසට එය කළු ගඟේ  පාලම  යටින් පාවී ගිය පපඩමක්  සේ විය  .  


සවස  5  වන විට තරමක සතුටක් දැනිණ. එයට  හේතුව  වුයේ අවට  තිබුණු චන්ද  මධ්‍යස්ථාන  හත අටක  නිලධාරීන් සමග  පොලිස්  නිලධාරින්ද අප සිටි  පාසලට  පැමිණීමය .දුරස්ථ  චන්ද  මධ්‍යස්ථානවල  තනි වී රාත්‍රී කාලය ගත කිරීම    ඉතා  අනතුරු දායක වූ බැවින්  සියලු දෙනාම  රාත්‍රී කාලයේ    එක ස්ථානයක  නතර  කිරීමට  පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව  තීරණය  කර තිබුණි     .


රාත්‍රිය  උදාවිය. එහෙත් පාසලට  විදුලිය  තිබුනේ  නැත .එබැවින් රාත්‍රී ආහාරය  ගන්නා   තෙක්  ආලෝකය සපයා   ගැනීමට  පොලීසිය විසින් ඉටිපන්දම්  සැපයුවේය .රාත්‍රී ආහාරය සැපයුවේද, කොට්ට සහ  පැදුරු  ගෙනවිත් දුන්නේද  පොලිසිය විසින්මය.


අඳුර වැටී  ටික වෙලාවකින් බෝම්බ  පුපුරන  ශබ්ද   ඇසෙන්නට  විය .සෑම විනාඩි  දහයකට දොළහකට වරක්  හතර අතින්ම  බෝම්බ  පුපුරන්නට  පටන්ගත්තේය . ඇතැම් බෝම්බ පිපිරුවේ ආසන්නයේය .චන්ද දායකයන් සහ නිලධාරීන්  බිය ගැන්වීම සඳහා  'දේශප්‍රේමින්' බෝම්බ   පිපිරවූ බවට සැකයක් නැත . පොලිස් නිලධාරින්  පහළොවක් විස්සක් අවට සිටි බැවින් නිලධාරීන් තුළ විශාල  බියක් ඇති වුයේ  නැත . අප සිටි ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරීන් දෙදෙනා ශාලාවේ  තිබු ඩේස් එකතු  කොට වේදිකාවක්  තනා  එය මතට  පුටු මේස  තබා  මුර  කපොල්ලක්  තැනුවේය  එක පොලිස් නිලධාරියෙක් ඒ මැදින් වාඩිවී  තුවක්කුව පිටතට එල්ල කරගෙන සතුරු ප්‍රහාරයකට  මුහුණ දීම  සුදානම් විය. අනෙක් පොලිසි නිලධාරියා තම වාරය එන  තුරු විවේක  ගත්තේය .



" මහත්තයල  බය නැතිව  නිදාගන්න. ප්‍රශ්නයක් ආවොත් අපි බලාගන්නම් ." මුර සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරියා අපට කිවේය .මේ වන විට සියලු ඉටිපන්දම්  නිවා දමා   තිබිණ .මුළු ප්‍රදේශයම  තිත්ත  කලුවරය . නොකඩවාම බෝම්බ  පුපුරන  හඬ ඇසෙන  බැවින් නින්ද  යන්නේද  නැත .  කොයි මොහොතේ  හෝ අප සිටි ශාලාවට  බෝම්බ  ප්‍රහාරයක් එල්ල වෙතයි අප කවුරුත්  සිටියේ  තරම බියකිනි   රෑ එක වෙන තුරුම මට නින්ද  නොගියේ  නොනවත්වාම වරින් වර බෝම්බ  පිපිරුණු නිසාය    .  එලි වෙනතුරුම  නොනිදා සිටිය හොත් පසුදා රාජ  කාරී කිරීම අසීරු වෙනවාට සැකයක් නැත .එබැවින් කෙසේ  හෝ නිදාගත  යුතුය.

  " කමක් නැහැ මන් නිදාගන්නවා.  මැරුනොත් මැරෙන්නේ  නින්දෙම්මනේ "  යයි සිත  හදා  ගත්   විට නොදැනීම නින්ද ආවේය.   


පාන්දර  5 ට  පමණ  කිසිවෙකු  පාසල දෙසට  තැබූ වෙඩිල්ලක් මා අවදි කළේය    .මුණ සෝදාගැනීමට  පාසලේ  ලිඳ අසලට ගිය  මැතිවරණ  නිලධාරියෙකුට ජවිපෙ  තුවක්කු කරුවෙකු විසින් පාසලට  ආසන්නයේ  තිබු කුඩා  කඳු ගැටයක සිට   වෙඩි තබා  තිබුණි . වෙඩිල්ල  ඔහුට නොවැදුනද වෙඩිල්ල  වැදුණු තැන තිබු  ගල් කැටයක් විසිවී අවුත්  ඔහුගේ  පාදයකට වැදී  යන්තමින්  තුවාල වී  තිබුණි.. පොලිසිය වෙඩික්කාරයා සොයා  ගිය  නමුත්   ඔහු පැනගොස්  තිබුණි . 


උදේ  හය වන විට අනෙකුත් චන්ද මධ්‍යස්ථාන  නිලධාරීන්  තම චන්ද  මධ්‍යස්ථාන  බලා  ගිය අතර උදැසන  හතට  ට චන්දය  පටන් ගැනීම සඳහා අපි සුදානම් වූයෙමු.   පක්ෂ තුන හතරක චන්ද  පොළ නියෝජිතයන්  කීප දෙනෙකුද  පැමිණි අතර ඔවුහු  පළමුව තම චන්දය  පාවිච්චි  කළහ . එහෙත් වෙනත් එකම චන්ද දායකයෙකුවත් පැමිණ සිටියේ නැත .   පස්වරු එක වන විට   චන්දය  පාවිච්චි කර   තිබුනේ හත් අට දෙනෙකු  පමණි.එහෙත්  සවස  1  න් පසු  චන්ද දායකයන්  වැඩි වැඩියෙන් එන්නට   පටන් ගත් අතර සවස  4 වන විට අපේ  චන්ද  මධ්‍යස්ථානයට අයත් චන්ද දායකයන්ගෙන් 50 % කට වැඩි පිරිසක්  පැමිණ චන්දය  පාවිච්චි කර තිබිණ  .ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය චන්දය වර්ජනය  කළද  ඔවුන්ගේ  පාක්ෂිකයන්  පැමිණ සම සමාජ , කොමියුනිස්ට් ,මහජන  පක්ෂය ආදී පක්ෂවලට   සිය චන්දය  දුන්හ .


සවස  4.30 වන විට සියලු වැඩ කටයුතු අවසන් කොට  චන්ද  පෙට්ටියටත් රැගෙන මැතිවරණ රාජකාරි සඳහා පැමිණ තිබු   බස්  රථයට  ගොඩ වීමු .අවට චන්ද  මධ්‍යස්ථානවල  චන්ද  පෙට්ටි  රැගෙන නිලධාරින් ඉන්පසු  එහි   පැමිණි අතර ඔවුන්ද   තම චන්ද පෙට්ටි සමග අප සිටි බසයට ආහ. පොලිස් නිලධාරින්ද එම  බස් රථයට  ගොඩ වීමෙන් පසු  බස් රථය  කළුතර කච්චේරිය  බලා  පිටත් විය. පිටුපසින් පොලිස්  රථයක්ද පැමිණෙමින් වැඩි දුරටත් ආරක්ෂාව සැපයුවේය අතර  මග  හන්දිවල  නාවික හමුදා  භටයන් විමසිල්ලෙන්  සිටි අතර ඔවුන් බස් රථයට  ඉක්මනින් යාම සඳහා අවශ්‍ය  සහය දුන්හ .


චන්ද  ගණන් කිරීමේ  රාජකාරි සඳහා  මා යොදවා නොතිබුණෙන්  මතුගම  නගරයේදී    බස් රථයෙන් බැසීමි. එතැන් සිට  තවත් බස් රථයක  නැගී  ගමට  පැමිණි  විට ආරංචි වුයේ  ගමේ චන්ද  පොලට  පැමිණ චන්දය දී  නිවෙස් බලා  යමින් සිටි කීප දෙනෙකුට ජවිපෙ තුවක්කු කරුවන් වෙඩි තබා  තුවාල  කර ඇති බවය. .කරදරයකින් තොරව නිවසට  පැමිණීම පිළිබඳව නිවසේ සියල්ලෝම මහත් සැනසුමක්  ලැබූ බව අමුතුවෙන් කියා  යුතු නොවේ.


පසුදා උදැසන වන  විට චන්ද  ප්‍රතිඵල  ආවේය .එක්සත් ජාතික  පක්ෂය  ජයග්‍රහණය  කොට තිබු අතර  වාමාංශික  පක්ෂද    සැලකිය  යුතු ජයග්‍රහණයක් අත් කරගෙන සිටියහ .චන්දය දෙන අය මරා  දමන  බවට .ජවිපෙ තර්ජනය  කර  තිබුණු මුත් චන්ද දායකයන් විශාල වශයෙන් පැමිණ  චන්දය  පාවිච්චි  කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට  ඉතා වැදගත්  පණිවිඩයක්  මහජනයා දුන්හ. එහෙත් එය වටහා  ගැනීමට  ජවිපෙට අවශ්‍ය වුයේ නැත.


පළාත් සභා චන්දය  පවත්වා  මාස දෙකක්,  තුනක්  පමණ වන විට අපේ  ගම තුළද ජවිපෙ වැඩි වැඩියෙන්  ක්‍රියාත්මක  වන්නට විය . එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ද ග්‍රාමීය  නායකයෙකු ද,   හිටපු ගම් සභිකයෙකු වූ ද සෝමපාල  නමැති අයෙකුගේ   ගමේ හංදියක  දුරකථන  කණුවකට ගැට  ගසා වෙඩි තබා  මරා දමනු ලැබීය.  .ඉන් මසකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ තරුණයෙකු මගේ නිවසට මීටර් 500  පමණ දුරින් පාරේ දී  රාත්‍රී  කාලයේදී වෙඩි තබා ඝාතනය කර   තිබුණි.  තවත් සති දෙක තුනකට  පසු එක්සත් ජාතික  පක්ෂයට සම්බන්ධ  තවත් ගම වැසියෙකු  මරා දැමනු ලැබිණ  .


කුමන බිහිසුණු  තත්වයක් තිබුණද  රාජකාරිය සඳහා  පාසලට  යාම  කළ යුතු විය. පාසලට මා දිනපතා  ගියේ  පාපැදියකිනි. පාසැල පිහිටි ගම  ජවිපෙ මුලස්ථානයක් විය .මගෙන් ඉගෙන ගන්නා   ඇතැම් සිසුන්ද  ජවිපෙට සම්බන්ධ  බව දැනගන්නට  ලැබුණු  මුත් මා හෝ වෙනත් ගුරුවරයෙකු ඒ  පිළිබඳව  ඔවුන්ගෙන් විමසන්නට   ගියේ  නැත . එසේ  විමසුවේ  නම් ජවිපෙ අප  ඝාතනය  කරනු නිසැකය .


ජවිපෙ විසින් වරින් වර ඇඳිරි නීතියද  පනවනු ලැබීය.  එය දන්වන  ලද්දේ  තැන තැන  ඇලවූ  පෝස්ටර්  මගිනි .ආණ්ඩුවේ  ඇඳිරි නීතිය  පැනවූ විට  නිවෙස් වල අපි  පහන් දැල්වූ නමුත්  ජවිපෙ ඇඳිරි නීතිය  යටතේ  නිවෙස තුළ  ඉටිපන්දමක්  හෝ දැල්වීම තහනම් විය .  ඇඳිරි වැටීමට   පළමුව රාත්‍රී ආහාරය ගෙන නිදිමත එනතුරු සැකයෙන් සහ  බියෙන්  කරුවලේ  කතා බහ  කරමින් සිටීමට සියල්ලන්ටම සිදු විය . කුඩා දරුං සිටින නිවෙස්වල රාත්‍රී කාලයේදී අඩු වශයෙන් ඉටිපන්දමක් වත් දල්වා තැබිය  යුතු වුවත් සිදු වුයේ කට්ට  කරුවලේ භීතියෙන් රාත්‍රිය  ගත කිරීමටය . ඇතැම් දිනෙක ආණ්ඩුවේ ඇඳිරි  නීතිය  ක්‍රියාත්මක වූ අතර තවත් දිනෙක  ජවිපෙ ඇඳිරි නීතිය  පනවනු ලැබිණ . 


1988  වන විට  තත්වය වඩාත් දරුණු වන්නට විය . නාවික  හමුදාවේ  කඳවුරක්  ගමට ආසන්නයේ  පිහිටවනු  ලැබීය .  රාත්‍රී  කාලයේ  නාවික භටයන්   නිවෙස් වටලා  සෝදිසි කරන්නට වුහ . දිනක් පාන්දර 5 ට  පමණ   ඔවුහු   මගේ  නිවසටද ආහ . බිරිඳ සහ නැගෙණිය සිටියේ මුළුතැන්ගෙයි ආහාර  පිසිමිනි . ඔවුන්ට   කියා  පිටුපස  දොර අරවා  ගත්  නාවික භටයන් කීප දෙනෙකු ගේ සෝදිසි  කල අතර දෙදෙනෙකු  මගේ  නිදන    කාමරයට  පැමිණ මගෙන්  ප්‍රශ්න  කීපයක් අසා  ඉදිරිපස දොර විවුර්ත  කරන ලෙස  කීහ. දොර විවුර්ත  කළ විට එහි සිටියේ තුවක්කු  අමෝරාගත් නාවික  භටයන්  දෙදෙනෙකි. 


"එන්න .එන්න ඇතුලට " මම  ඔවුන්ට  කීමී. මා එවැන්නක්  කියනු ඇතැයි ඔවුන් කිසිසේත්  බලාපොරොත්තු වුයේ  නැත .මා බියවනු ඇතැයි නොවරදවාම  ඔවුන් අපේක්ෂා  කළ බව පෙනුණි .


"තමුසේ  දන්නවද අපි මොකද ආවේ කියල " නිවස තුලට එමින් එක්   භටයෙක් තර්ජනාත්මකව  ඇසුවේය.


"මං නම් දන්නේ  නැහැ  ආවේ  මොකද  කියල .හැබැයි  මං JVP  කියල  හිතාගෙන ආවනම් වැරදියි  ."


" නිකං බබා  පාට්  දාන්න  එපා අපිට ".කියමින් ඇතුලට පැමිණි ඔවුහු  කාමරයකට රිංගා අල්මාරි අවුසන්නට පටන්ගත්හ.  . මේ වන විට නිවස  තුළ  නාවික  හමුදා  භටයන්  පස් දෙනෙකි . ඔවුන් අස්සක් මුල්ලක් නෑර අවුස්සමින් සොයන්නට විය .


" මොනවා  මේ පොත්? "   කැලෑ ඇඳුමක්  ඇඳ සිටි  භටයෙකු  මගෙන් ඇසුවේය .


මාක්ස්, එංගල්ස් , සහ ලෙනින්ගේ  පොත් රැසක් ද සමාජවාදය  ගැන ලියන  ලද  පොත් ද  රුසියානු නව  කතා  සහ  කෙටි කතා  පොත් ගොන්නක්ද  මා විසින් ශාලයේ   තිබු  බිත්ති පොත් රාක්කයක  තබා  තිබුණි. එහි තිබු  පොත් සංඛ්‍යාව  500 කට අධිකය . කොමියුනිස්ට් පක්ෂය විසින් ඒවා  මට  ලබා දී තිබුණේ  පුස්තකාලයක් ආරම්භ  කිරීම සඳහාය . කොමියුනිස්ට් පක්ෂය විසින්  වරින් වර  මා වෙත එවන  ලද  මුද්‍රිත  ලිපිද  පොත් රාක්කයේ වෙනම ස්ථානයක  තබා තිබුණි .


"ඔය  කොමියුනිස්ට් පක්ෂෙන්  පුස්තකාලයක් දාන්න  කියල දුන්න  පොත් වගයක් ." ප්‍රශ්නය ඇසු නිලධාරියට මා ඉක්මනින්ම කීමි .  


"දැන් එකෙත් වැඩ  කරන්නේ  නැහැ නේද?"  ඔහු එසේ  ඇසුවේ   කළුතර  පැවැත්වෙන  සරත් මුත්තෙටුගම අනුස්මරණ  රැස්වීමක් සඳහා ඒවා  තිබු  ආරාධනා  පත්‍ර  ගණනවක්  බෙදා  නොහැර  තිබෙනු දුටු නිසා විය  හැක .

"ඔව් මේ දවස්වල වැඩ  කරන එක භයානකයිනේ . ඒ නිසා මේ දවස්වල  වැඩ  නවත්තල තියෙන්නේ."  


 ඉන් අනතුරුව  වෙනත් කිසිවක් නොඇසූ ඔහු නිවසේ  වෙනත් තැන පරික්ෂා  කරන්නන්ට  විය . ඉන්පසු මගේ නිදන  කාමරයට  මා   කැඳවූ කණ්ඩායමේ  ප්‍රධාන  නිලධාරියා  එහිවූ පොත් පත්  හා  ලිපි ගොනු අවුස්සමින් ප්‍රශ්න රැසක් ඇසුවේය . කරන රැකියාව පවුලේ විස්තර . දේශපාලන  කටයුතු  සහ වෙනත් දේ  පිළිබඳව  පැය භාගයකට අධික වෙලාවක් මගෙන් ඇසුවේය.කිසිදු පටලැවිල්ලකින් තොරව   පිළිතුරු  දුනිමි . එම නිලධාරියා  මා  ප්‍රශ්න  කරමින්  සිටින අතර තුර එක භටයෙකුට  නිවසේ  පිටුපස  කොටසක තිබී හමුවූ පිස්තෝලයක්   ගෙනවුත් එම නිලධාරියාට  දුන්නේය .

"මේක  මොනවටද? " නිලධාරියා  මගෙන් ඇසීය .


"ඕක  ලොකු   පුතාගේ සෙල්ලම් පිස්තෝලෙ ."


ඒ වන විට  වැඩිමහලු පුතාගේ වයස අවුරුදු 5 ක්  පමණ විය .


 නාවික  හමුදා  කඳවුරට මා  රැගෙන  ගොස්  පහර දී  යලිත්  මගෙන් ප්‍රශ්න අසනු ඇතැයි  මා සිත  තුල  බියක්ද ඇති වෙමින් තිබුණි. එකල වට  පිට  පැතිරීගිය ආරංචිය වුයේ නාවික  කඳවුරට  ගෙන ගිය  කිසිවෙකු පණ පිටින් ආපසු  පැමිණියේ  නැති බවය . 

" දැන්  ඊළඟට මොකද  කරන්නේ ?"  ප්‍රධාන  නිලධාරියා අවසානයට  ඇසුවේය .

"මන් දැන් ඉස්කෝලේ  යනවා "

 "කීයටද  ඉස්කෝලේ ඇරෙන්නේ ?"

" 1.30 ට . "

 "1.35 ට කැම්ප් එකට එන්න  ඕනේ " කිව්  ඔහු අනෙකුත්  නාවික  හමුදා  නිලධාරීන් සමග  ආපසු  යන්නට  ගියේය  .


( ඉතිරි  කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙන්න )

 

 

 



Friday, September 1, 2017

මා දුටු 87 -89 භීෂණය




     



                භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය .


කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ලංකාව දෙකඩ කොට  ඊළමක්  පිහිටුවීම වැලැක්වීම සඳහා විසඳුමක්  සොයා  ගැනීමට ඉන්දියාව,  ලංකා ආණ්ඩුව සමග 1983 සිට 1987 දක්වාම සාකච්චා  කරනු ලැබීය . එහි ප්‍රතිඵලය වුයේ 1987 ජුලි 29 දින අත්සන් කළ ඉන්දු ලංකා  ගිවිසුමයි. එම ගිවිසුම යටතේ බලය  බෙදා හැරීම සඳහා පළාත් සභා  පිහිටුවීමට නියමිත විය .එමෙන්ම LTTE සංවිධානය  සිය  අවි ආයුධ  ඉන්දියානු  හමුදාවට  භාර දීමට  එකඟ වී අතර  කොටි සංවිධානය  නිරායුධ  කොට  උතුරු නැගෙනහිර සාමය පිහිටුවීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාව උතුරට  ආවේය . LTTE සංවිධානය  නාමිකව සුළු ආයුධ  ප්‍රමාණයක් ඉන්දියානු හමුදාවට  භාර දුන් අතර උතුරේ  ක්‍රියාත්මක වූ සන්නද්ධ  කණ්ඩායම් ගණනාවක්  සටන් නවතා පළාත් සභා  ක්‍රමයට එකඟ වුහ . එහෙත් පළාත් සභා  ක්‍රමය ඊළම පිහිටුවීම වැලක්වීමට  යෙදු උපක්‍රමයක්  බව වටහා  ගත් කොටි සංවිධානය ඉන්දියානු හමුදාවට එරෙහිව සටන් කරන්නට  පටන් ගත්තේය  


                             ඉන්දියානු  සාම සාධක  හමුදා 1987 ජුලි 30 ලංකාවට පැමිණියේය 

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ  කැරැල්ල අරඹා  තිබිණ .හමුදා  කඳවුරු  කීපයකට පහර දී ආයධ  පැහැරගෙන තිබුණු හෙයින් ඒවා  යොදාගනිමින් විරුද්ධ වාදීන්  ඝාතනය  කරමින් සිටියේය.. ඉන්දු ලංකා  ගිවිසුම යටතේ  පිහිටුවන පළාත් සභා සඳහා  තරඟ කරන්නන් මෙන්ම චන්දය දෙන අයද  මරා  දමන  බව ජවිපෙ හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රකාශ  කර තිබුනේය . එමෙන්ම මැතිවරණ කටයුතු වලට සහභාගී වන  නිලධාරින්ද  මරණ බවද   කියා තිබුණි .පළාත් සභා ක්‍රමය  මගින් ඊළම කොටින්ට ලැබෙන   බවත් ලංකාව  කෑලි 8 කට කැඩෙන  බවත් කියා තිබුනේය .


බස්නාහිර  පළාත් සභාවට තරඟ  කරන අය කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ද  විය .කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට සහයෝගය දීම  සඳහා මා  හැකි පමණින් කටයුතු කළෙමි.   .ඔවුන්ගේ අංක ප්‍රචාරය  කිරීම සදහා පාක්ෂිකයන්  සමග එකතුව වාහනයක්   රැගෙන දිස්ත්‍රික්කයේ  බොහෝ  ප්‍රදේශවලට  ගියෙමි . එමෙන්ම ප්‍රචාරක රැස්වීම් සාර්ථක කරගැනීම සඳහාද හැකි පමණ සහයෝගය දුනිමි .  මේ අතර දිනක්   නව සම සමාජ  පක්ෂයේ අපේක්ෂකයෙකු මා  හමුවීමට තනිවම  ආවේය . හොරණ ප්‍රදේශයේ  ගුරුවරයෙකු වූ ඔහු කෙසඟ  සිරුරකින් යුතු අයෙකු විය . ඔහුගේ  මැතිවරණ  කටයුතු සඳහා සහය දෙන  ලෙස මගෙන් ඉල්ලා සිටියේය. කොමියුනිස්ට් පක්ෂයේ  අපේක්ෂකයන් තිදෙනා වෙනුවෙන් මා දැනටමත් සහය දෙන  බැවින්  ඔහුට සහය දීමට  නොහැකි බව කරුණාවෙන්    කීවෙමි . කබල් බයිසිකලයකින් චන්ද  ප්‍රචාරක  කටයුතු කිරීම අතිශයින් භයානක  බැවින්  ප්‍රවේශම් වෙන  ලෙස  මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි . ඔහු මරා දමනු ඇතැයි මා සිත  තුල  බියක්ද එම අවස්ථාවේම ඇතිවිය . ඊට සති කීපයකට  පසු  ජවිපෙ තුවක්කු කරුවන් විසින්  ඔහු අතර මගදී වෙඩි තබා   මරා දමා     තිබුනේය.


ලේක් හවුස්  පුවත් පත්  මිලදී  ගැනීම සහ අලෙවි  කිරීම ජවිපෙ  තහනම් කර  තිබුණි . පාපැදියකින් ලේක්හවුස්  පුවත් පත් අලෙවි කිරීමෙන් තම දරු පවුල  නඩත්තු කළ මිනිසෙකු අගලවත්ත  යටියන  ප්‍රදේශයේ   සිටියේය.. ඔහුට තිබු එකම ආදායම  එය විය..පාසලට  යන අතරතුර  සතියකට  දින දෙක තුනක් Daily News පත්තරය මා  මිලදී  ගත්තේ  ඔහුගෙනි.පත්තර අළෙවිය නවත්තන  ලෙසත් නැතහොත්  මරණයට  මුහුණ දීමට සුදානම් වන ලෙසත්  ඔහුට  ලිපියක් ඒවා  තිබෙන  බව දිනක් ඔහු මා සමග  කීවේය .ටික දිනකට  හෝ  පත්තර අලෙවිය  නවත්තන  ලෙස  මා  ඔහුගේ  ඉල්ලා  සිටියෙමි . වෙනත් ආදායම් මාර්ගයක් නැති බැවින් පත්තර අලෙවිය නතර  කළහොත්     පවුලේ සියලු දෙනාටම බඩගින්නේ  මැරෙන්නට වෙන  බැවින් වෙනත් විකල්පයක් ඔහුට  නැති බව  ඔහු කිවේ දෑසේ  කඳුළු පුරවා  ගෙනය. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවය .ඊට සතියකට  පසු  ඔහුගේ නිවස අසලදී  ඔහු  වෙඩි තබා මරා  දමා   තිබුණු අතර පත්තරවලටද  ගිනි තබා  බයිසිකලය  පැහැරගෙන ගොස් තිබුනේය.

 

මා එකල  ඉගැන්වුවේ  ජවිපෙ  ක්‍රියාකාරීන් දුසිම් දෙක තුනක් සිටි කුඩා  ගමකය . අවට  ගම්මානවල  ජවිපෙ ආධිපත්‍ය  පතුරුවමින්  ජවිපෙ  මුලස්ථානය  පවත්වාගෙන  ගියේ එම  ගමේ සිටය.  එම  ගමේ වැඩි  දෙනෙකු  සමසමාජ  පාක්ෂිකයෝ  වුහ . එහි සිටි  සමසමාජ  පක්ෂයේ  තරුණ  ගුරුවරයෙකු   පළාත් සභා  මැතිවරණයේදී  ජවිපෙ නියෝගය නොපිළිගෙන  මැතිවරණ රාජකාරිවලට  ගියේය. මැතිවරණ රාජකාරි අවසන් කොට නිවසට  පැමිණ වැඩි වෙලාවක් ගත වීමට  පෙර  ජවිපෙ තුවක්කු කරුවෝ  ඔහු සොයාගෙන ආවෝය . ඔවූන්ගෙන් බේරීම සඳහා ඔහු දුවන්නට වූ අතර  තුවක්කු කරුවෝ  ඔහු ලුහුබැඳ  ගියහ . තුවක්කු කරුවන්ට  ඔහු අල්ලා   ගත  නොහැකි විය . ආපසු  නිවසට  නොපැමිණි ඔහු කළුතර ගල්ලස්ස ප්‍රදේශයේ  පදිංචිව  සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ  නිවසට  ගියේය.  ඔහුගේ  මවත් සොහොයුරියත් නිවස අතහැර දමා එහි ගොස්  පදිංචි වුහ . සොහොයුරා  හමුදාවේ  නිලධාරියෙකු වූ බැවින් වඩා  හොඳ ආරක්ෂාවක්  ලැබෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත . ගත වුයේ  මසකි. දිනක් උදැසන   ගල්ලස්සේ  නිවෙසට  ජවිපෙ තුවක්කු කරුවෝ පැමිණියහ .නිවසේ  ඉදිරිපස සිටි එම ගුරුවරයාත් ,ඔහුගේ මවත්, සහෝදරියත් වෙඩි තබා  මරා  දැමුහ .ඔවුන්ගේ  පැරණි නිවස ජවිපෙ විසින් නඩු ඇසීමේ උසාවියක් බවට  පත් කර  ගත් අතර අද  එම නිවාස ගරා වැටෙමින් පවතී .


එම සිද්ධයෙන් පසු එම ගමේ සිටි  ජවිපෙ තුවක්කු කරුවන් මරා  දැමීමට හමුදාව දැඩි උනන්දුවක් දැක්වූයේය . හමුදාව  නිරන්තරයෙන්  ගමට  පැමිණි අතර දිනක්  හමුදාව  දුටු ජවිපෙ  තුවක්කු කරුවන් දුවන්නට  පටන් ගත්හ. හමුදාව  තැබූ වෙඩිවලින් ජවිපෙ  කීප දෙනෙකු මිය ගිය අතර  බියෙන් දුව යමින් සිටි අවුරුදු   එකොළහක  පමණ අපේ පාසලේ  සිසුවෙකුද ජවිපෙ සාමාජිකයෙකු යයි සැක  කොට වෙඩි තැබීම  නිසා මිය ගියේය.. එම සිසුවා නිරන්තරයෙන්ම ඇඟිල්ලක් කටේ  රුවා ගෙන සිටින  පුරුද්දක් තිබු අතර මිය ගස් තිබුණේද ඇඟිල්ල  කටේ  රුවාගෙනය  

පළාත් සභා  මැතිවරණයේදී  මා  කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයන්ට  සහයෝගය දැක්වූ  බැවින් තුවක්කු කරුවන් මා සොයාගෙන ඒමට  ඉඩ තිබුණි එබැවින්  මා   නිරන්තරයෙන් සිටියේ   ආරක්ෂාව  ගැන වැඩි අවධානයකිනි . පිහි කටුවක් වත් නොතිබුණු මට රාත්‍රී කාලය  ගත  කළේ එළිවෙන තුරු  ඇඟිලි ගනිමිනි . කල්ගත වන  විට සියලුම  මිනිසුන්  රාත්‍රී කාලයට වෛර  කළහ . එයට  හේතුව වුයේ ආණ්ඩුවේ  හමුදා,   ආණ්ඩුවේ සන්නද්ධ  කල්ලි , දේශප්‍රේමී  ජනතා ව්‍යාපාරය  නමින් පෙනී සිටි ජවිපෙ තුවක්කු කරුවෝ නිවෙස්  වලට  බොහෝ විට ආවේ  රාත්‍රී  කාලයේ  වීම නිසාය . එකල  බියෙන් පසු නොවූ  කිසිවෙකු සිටියේ  නැත . එක්සත් ජාතික  පාක්ෂික  පවුල්වල  අය බිය වුයේ  රාත්‍රී  කාලයේ  ජවිපෙ  තුවක්කු කරුවන් පැමිණ  ඔවුන් මරා දමා වීදැයි යන බියෙනි . ශ්‍රීලනිප පවුල්වල  මිනිසුන් ජවිපෙ සහ ආණ්ඩුවේ  හමුදාවලට  බියෙන් ජීවත් වුහ.  .විජය කුමාරතුංගගේ නායකත්වයෙන් වූ  මහජන  පක්ෂයේ අය මෙන්ම  සම සමාජ , කොමියුනිස්ට්  මහජන පක්ෂය සහ නව සම සමාජ  පක්ෂවල අයද  බියට  පත්ව  සිටියේ කොයි පැත්තෙන් වෙඩි උණ්ඩය  පැමිණේද කියාය. ඔවුන්ද රතු පාට   පක්ෂවල  අයවූ බැවින්  ඔවුන් JVP කාරයන් යයි ඇතමෙකු  ආණ්ඩුවේ  හමුදාවලට  ඔත්තු දී  තිබුණි. අනිත් අතින්  ජවිපෙ එම  පක්ෂ  තහනම්  කර  තිබු බැවින් ඔවුන්ගෙන් අනතුරක් වෙනු ඇති  නිරන්තර  බියෙන්  සිටියහ .බොහෝ අය රාත්‍රී  කාලයේ නිවෙස්  වල සිටියේ  නැත . රාත්‍රිය ගත  කළේ  කැලේ  ගල් තලාවලය . දිනක් උපන්   ශ්‍රීලංකා  කාරයෙකු අපගේ  නිවසට  පැමිණි විටෙක  කිවේ " මේ JVP ............ගේ   පුතාල  හින්ද  අපිට  රෑට  ගෙදර  නිදාගන්න වත්   නෑ."


 1987  පැවති පළාත් සභා   මැතිවරණ  රාජකාරි සඳහා මා  කැඳවමින්  මැතිවරණ දෙපාර්තමේන්තුවෙන්  මා වෙත  ලිපියක් ආවේය . මැතිවරණ  රාජකාරි  අනිවාර්ය  කර තිබු බැවින්   යා  යුතුම  විය . ගමේ කිසිවෙකුට  නොදැනෙන  සේ  මැතිවරණ  රාජකාරි සඳහා  යාමට  මා  තීරණය  කළෙමි.  රාජකාරි ස්ථානය වුයේ  ඉත්තාපාන  මහා විද්‍යාලයයි . එය  පිහිටියේ  මතුගම මැතිවරණ  කොට්ඨාශයේ  ඈත  ප්‍රදේශයකය . ලිපිකරුවෙකු ලෙසින්  පත් කර තිබුනෙන් මැතිවරණ දිනයට  පෙර දින දහවල් දෙකට  පමණ  එම චන්ද  මධ්‍යස්ථානය  යාම  ප්‍රමාණවත් විය .මතුගම නගරයෙන් බස් රථයක  නැග මතුගම අලුත්ගම  පාරේ පිහිටි ලෙව්වන්දුව  හන්දියෙන් බැස්සෙමි . ඉත්තෑපාන ට  යායුත්තේ එතනින් ඇරඹෙන වෙනත් පාරකිනි.  ඉත්තෑපානට  යන  බස්  රථයක්  පැමිණෙන්නේ  කීයටදැයි කඩයකට  ගොඩවී  තේ  එකක් බොමින් මුලාලිගෙන් ඇසීමි. 



" අද නම්  තාම  එක  බස් එකක්වත්  ගියේ නැහැ .පාර දිගටම  ජේවීපී  කාරයෝ  ගස්  කපල දාල . දැන් පොලීසිය  ගියා  ගස්  කපන්න . එත් සැහෙන වෙලා  යයි  ඒකටත්. " ඔහු කීය . 

" මහත්තය  කොහෙද  යන්නේ " මුදලාලි  මගෙන් පෙරලා ඇසුවේය .

" මන් යනවා මුදලාලි,  මැතිවරණ  රාජකාරිවලට  ඉත්තෑපාන මහා විද්‍යාලයට " යයි කී විට  මුදලාලිගේ  ඇස් උඩ ගියේය..

'බලාගෙන  මහත්තයා. ඉත්තෑපාන  කියන්නේ  JVP විමානේ." මුදලාලි   කිවේ  මා අසලට  පැමිණ සෙමිනි .


මේ වන විට  මධ්‍යහ්නය ආසන්න වෙමින් තිබුණි . ඉත්තෑපාන   බලා  යන එකම බස්  රථයක්වත්  තවමත් ආවේ  නැත . තව ටික වෙලාවකින් මැතිවරණ රාජකාරි සඳහා  යන වාහන  පැමිණෙනු ඇත .එම වාහනයක නවත්වාගෙන  එහි නැගී    රාජකාරී  ස්ථානයට    යාම  මගේ අපේක්ෂාව විය .


තවත් පැයක්  පමණ  ගත වූ විට  ඈතින් එන ජීප් රථයක්  මා දුටිමි , මැතිවරණ  රාජකාරි  කියා  කොලයක් එහි ඉදිරිපස  වීදුරුවේ අලවා  තිබුණි  .මම වහා  අත දිගු කොට  වාහනය  නවත්තන ලෙස සාඥා  කළෙමි.

වාහනය  නැවත්තු විට   මැතිවරණ  රාජකාරි සඳහා  යන බවත්  බස් රථ  නොමැති බැවින් මා  රැගෙන  යන  ලෙස  ඉල්ලා සිටියෙමි .

"අපි නම් යන්නේ ඔය  ඉස්කෝලෙට නම් නෙවෙයි. එයිට එහා ඉස්කෝලෙකට කොයිකටත් නගින්නකො "  යයි එහි සිටි  චන්ද ස්ථානාධිපතිවරයා  කීය.

තවත්  විනාඩි  45 කින් පමණ  වාහනය  ඉත්තාපන  මහා විද්‍යාලය අසලට  පැමිණි අතර මා   වහනයෙන් බැස්සේ  ඔවුන්ට  ස්තුති  කරමිනි 


වට  පිට  බැලුවිට අවට  මිනිස්  පුළුටක් හෝ නොවීය. පාසල ඉදිරිපිට කඩයක් දෙකක් තිබු  නමුත් ඒවා වසා  තිබුණේය. පාසලේද  කිසිවෙකු නොවීය. ගේට්ටුවද වසා දමා තිබුණි .  පාසලේ බිත්තිවල  ජවිපෙ සටන් පාඨ පොල්ගෙඩි අකුරෙන් ලියා  තිබුණි . චන්දය දෙන අය  ද්‍රෝහීන් බැවින් ඔවුන් මරා දමන බව ට සඳහන්  කරමින් දෙතුන් පොලක  ලියා  තිබුණි . මා සිත  තුළ ඇති වුයේ මහත් බියකි . දේශප්‍රේමියෙකු  පැමිණ  තව  මොහොතකින් මා  මරා  දමනු ඇතැයි මට සිතුණි.


( ඉතිරි කොටස  මී  ළඟ ලිපියේ   පළ කෙරේ .)


බර්ටි රණවීරගේ විසිනි



  



මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ

      මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිර...