Friday, May 19, 2017

මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්

   

                

                 දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ  හෝටලයක පැවතුණු  මංගල උත්සවයකට සහභාගී වී  හෝටලයෙන් පිටතට  මා පැමිණෙන  විට  රාත්‍රී 11 ට  ආසන්න වී  තිබුණි .ගාල්ල  දෙසට  යන  බස්  රථයකින්  කළුතරට  ගොස්  කටුකුරුන්දේ  වසන  මගේ  ඥාතියෙකුගේ  නිවසේ  රාත්‍රිය ගත  කොට පසුදා උදැසන ගෙදර  යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා  පා ගමනින් ගිය  මා  එහි බස්  නැවතුමක  නතර වී  බල සිටියේ  ගාල්ල දෙසට  යන බස්  රථයක් එනතුරුය. පැය භාගයකට ආසන්න වෙලාවක්  බලා සිටි නමුත් බස්  රථයක් නොපැමිණියෙන්  මා සිටියේ  තරමක්  නොසන්සුන්වය .මගේ නොසන්සුන් තාවය වැඩි කිරීමට බස්  නැවතුමේ  සිටි  තරුණියද හේතුවූ බව  අවංකව  ඔබට  කිව  යුතුය.තරමක සුරුපිනියක් වූ ඇය මා  හා  කතා  බහට වැටී ඉන්පසු යෝජනා  කළ ඇතැම් දේ  මෙහි  ලිවීමට  නොහැකිය.    අවුරුදු විසිපහක් තිහක්  පමණ වයසැති කතක් මහා  රාතියේ  තනිවම  බස්  නැවතුමකට වී  සිටින්නේ  මන්දැයි තීරණය  කිරීම  පාඨකයන්ට  භාර  කරමි .ඇගෙන් ගැලවී  යාම සඳහා පැමිණෙන  ඕනෑම  බස් රථයක නැගීමට  මා අවසානයේ  තීරණය කළෙමි. එම  තීරණය  ගෙන වැඩි වෙලාවක් ගත වුයේ  නැත . වාසනාවකට කලුපාට  බෙන්ස් මෝටර් රථයක්  පැමිණ මා ඉදිරිපස  නතර  කළේය .


 "අද හිල්ටන් එකේ තිබුණු වෙඩින් එකේ හිටිය  මට මතකයි.  කොහාටද  යන්නේ ?" රියදුරු අසුනේ සිටි  පුද්ගලයා  ඇසීය 


" මං යන්නේ  මතුගමට . ඔබ තුමා  කොහෙටද  යන්නේ ? " මා  විමසීමි .


"මං නම්  යනවා දොඩන්ගොඩට  යනකං.      කැමතිනම් නගින්න . මමත් මේ  වෙඩින් එකේ  ඉඳල එන්නේ "


 මා  හනික රථයට  නැග්ගේ ඔහුට  බලවත් ලෙස ස්තුති  කරමිනි.  රියදුරා වනාහි  බස්  නැවතුමේ අටවා  තිබු උගුලෙන්  ගලවා  ගැනීමට මගේ  මියගිය  සීයා විසින් එවන  ලද දුතයෙකු විය  හැකියයිද  මට සිතුණේය.එසේ  සිතුණේ පැරණි අත්දැකීම් කීපයක් නිසාය.ඒවා විස්තර කිරීමට මේ අවස්ථාව  නොවේ. පසු අවස්වථාක ඒ  පිළිබඳව ලියමි.


.ආසනයේ හරිබරි ගැසී  වාඩිවීමෙන් පසු    රියදුරා දෙස බැලීමි . ඔහු උසය, මහතය .මැදියම් වයස  පසු කරමින් සිටියේය.  .ඔලුවේ  එකම කෙස්  ගසක්වත්  තිබුනේ  නැත . ඔහු  කලුපාට  කලිසමක් සහ  සුදු  කමිසයක්  පැළඳ සිටියේය. මා රථයට නංවා  ගැනීමෙන් පසු  ඔහු වේගයෙන් රිය ධාවනය  කළ නිසාදෝ  මා සමග එකම වචනයක්වත් කතා  කිරීමට  ඔහු උනන්දු වුයේ  නැත .මංගල උත්සවය  ගැන  මා වචනයක් දෙකක් කී  නමුත්  ඔහු  කිසිදු  පිළිතුරක්  නොදුන් බැවින් මමද  නිහඬව සිටියෙමි . 


රියැදුර දෙසින්  කිසියම් දුර්ඝන්ධයක් පැමිණෙන  බව දැනුනේ ටික වෙලාවක්  ගතවූ විටය.එවැනි දුර්ඝන්ධයක්  මෙයට  පෙර  මට දැනී  තිබුණේ කලකට  පෙර  දියේ  ගිලී මියගිය ගම්වාසියෙකුගේ අවමගුලකදීය ..රියදුරා  මිණී  එම්බාම් කරන්නෙක්ද? නැතහොත්  මෝටර් රථයේ කොතැනක  හෝ  මළමිනියක්  සඟවාගෙන යන  මිනී  මරුවෙක්ද? මොහුගේ  සැලැස්ම මිනී  මැරුමට  මා  පටලවා බේරී  යන්නටද? මගේ  ඔලුව  යකාගේ  කම්මල  බවට  මොහොතකින්  පත් විය . බස්  නැවතුමේ  සිටි  තරුණියගේ  උගුලට අසු වී  නම් මෙයට වඩා  හොඳයයි සිතුණි . මේ මර උගුලෙන්  ගැලවෙන්නේ  කෙසේදැයි  නැවත  නැවත  කල්පනා  කළෙමි.

  

රියදුරා  මගේ  සිත  කියවන්නට ඇතැයි මට සිතුණේ මගේ ආසනය අසලවූ  කවුළුව  ඔහු  විවුර්ත  කළ  හෙයිනි.  ඊ ළඟ විනාඩියේදී සුළඟ විසින් දුර්ඝන්ධය  පිස දැමු  හෙයින් මගේ  සිත  තරමක්  සන්සුන් විය.


මෝටර් රථය ගමන් කරන්නේ  ගාලු  පාරේ  නොව වෙනත්  දිසාවකට  බව මට වැටහුනේ  ඇස් වාට්ටුව හන්දිය දුටු විටය. ඊ  ළඟ මොහොතේ එය  වෝඩ් පෙදෙස දෙසට  හරවා ගමන්  කොට විශාල  මන්දිරයක්  ඉදිරිපස  නවතනු  ලැබිණ. " බොස්ව දාගෙන    යන්න  තියෙනවා .ඒකයි නැවැත්තුවේ." කී  රියදුරා  වාහනයෙන් බැස  රථයේ  පිටුපස වම් පැත්තේ  දොර  විවුර්ත කළේය. ඊ  ළඟ  මොහොතේ නිවසේ  ගේට්ටුව  විවුර්ත  වූ අතර ජාතික ඇඳුමින් සැරසුණු උස  පුද්ගලයෙකු පැමිණ රථයට  ගොඩ  විය .වහා  දොර වැසු  රියදුරා රියදුරු අසුනට  පැමිණ රථය පැදවීම ආරම්භ කළේය. 


"සර් ! දොඩන්ගොඩ  කොයි හරියේද ? දැකල  නම් පුරුදුයි " පිටුපසට  හැරී මා 'බොස් '  ගෙන්  විමසුවේ   ඔහුගේ  වාහනයේ ඔහු සමග  සුහද  කතා  බහක  නොයෙදී  ගමන් කිරීම අපේ සංස්කෘතියට නොගැලපෙන  නිසාය. 


 "අඳුන ගන්න  බැරි  උනාද ?        මං ජේ .ආර්. ජයවර්ධන . " 



ජේ ආර් ? ඔහු මියගියේ  1996 දී  බව  මට සිහිවිය .මා සිහි විසඥ  නොවුනා  පමණය .


මගේ මුලු සිරුරම අයිස් සේ  සීතල වී ගිය අතර  ඊළඟ  මොහොතේ හිස මුදුනේ සිට යටිපතුල් දක්වාම දහදියෙන් පෙඟී යනු දැනුණි.  හදවතේ  ගැස්ම ඉහල  ගොස් නැගුනු  හඬ  රියදුරාටද ඇසෙන්නට ඇත . මේ  විපත්තියෙන්  ගැලවීමට  ඇති එකම  මග  මෝටර්  රථයෙන්  එලියට  පැනීම  පමණය .


" එලියට පැනල දැන්ම  අපේ  ලෝකෙට එන්න හදන්න  එපා.  අනික දොරවල් ලොක් කොරල  තියෙන්නේ"  

ජේ.ආර්.ගේ ගොරෝසු කටහඬ අවවාදයකට වඩා  තර්ජනයක ස්වරුපයෙන් යුක්ත විය .


ඔහු නැවත  කතා  කළේය. එහෙත්   සැර  බාල කොටය .


"  මිස්ටර් රණවීරගේ ! තමුසේ බය වෙන්න අවශ්‍ය  නැහැ. තමන්ට  කිසිම  හානියක් වෙන්නේ  නැහැ . අනික  තමුසේ වගේ  පුංචි මිනිහෙකුට  හානියක්  කරලා මට  තියෙන  ප්‍රයෝජනය  මොකක්ද ? මං තමුසෙව  ගෙන්න  ගත්තේ  නිකම් නෙවෙයි.තමුසේ  අපක්ෂපාත  බ්ලොග් රයිටර්  කෙනෙක් නිසා . මන් තමුසෙගෙ  'සුදු කුකුළා'  කියවල   සෑහෙන්න  පැහැදුනා "


එයට  පිළිතුරු දීමට  මා  උත්සාහ  කළද  කවුරුදෝ  බෙල්ල  හිරකරගෙන  සිටින්නාක් මෙන් මට දැනුණේය. 


"බ.....බ .........බ......බය.........නැ.....නැ   .........ද්ද.......ස.....ස...සර්........."තවත් විනාඩි  ගණනකට  පසු  කීවෙමි "


'"මොකට  බය වෙනවටද? " බය වෙන්න  ඕනේ  පණ පිටින් ඉන්න   අයටනේ අයිසේ "


"ස...ස .....සර්....  අභාවප්‍රාප්ත වෙලා දැන් ....දැන්...... අ....අවුරුදු   ගානක් වෙනවා . ඔබ  තුමා පණපිටින් ඉන්නකොටත්  රටෙන් බාගයක්ම  බයෙන්....බයෙන්  .....  හිටියේ......සර්ට  ආයි පණ ඇවිල්ල  තියෙනවා දැක්කොත්  මුළු  රටටම  නු....නු...ල් ....නුල්  බඳින්න වෙනවා ."


"හොහ්,        හොහ්       හොහ්      හොහ් "        හිනහව  නවතා  ගැනීම ජේ.ආර්. ට තරමක් අසීරු විය ."


වැටුණු  උගුලෙන්  බේරීමට කිසිදු මගක් නැති  බව ක්‍රමයෙන් පැහැදිලිවන්නට  විය  .වෙන දෙයක්  උනාවේ  කියා අන්තිමට  හිත  හදා  ගත්   මා ජේ.ආර්.ගේ  අවතාරය  සමග  කතා  බහ  කිරීමට  තීරණය  කළෙමි.


" ඉතින් ස...ස....සර් මාව  ගෙන්න  ගත්තේ  මො......මො......මොකද  කියල  කියනවනම් " 


"දැන් මේ  යන්නේ මළවුන්ගේ  රැස්වීමකට . එතන  ඉන්නවා මැරිච්ච  ප්‍රසිද්ධ දේශපාලකයෝ  50 දෙනෙක්. තමුසේ මාත් එක්ක ඇවිල්ල   ඒ  ගැන ආටිකල් එකක්  ලියනවා . එතැනදී  බණ්ඩාරනායක  ,  ප්‍රේමදාස  එන්.එම්  , කොල්වින් , විජේවීර , විජය කුමාරතුංග කාරිය  හම්බ වෙන්නත් පුළුවන් . ආ ප්‍රභාකරනුත් ඒවි.

 

මළවුන්ගේ රැස්වීමකට ගොස් ආපසු පණපිටින් ඒමට  ලැබේදැයි මා  කල්පනා  කළා   පමණය .ජේ.ආර්.  යලිත් කතා  කළේය . " බය වෙන්න දෙයක්  නැහැ . මගේ ඩ්‍රයිවර් තමුසෙව  මතුගමට ගිහිල්ලා දායි ."


 .ලේඛකයෙකු එඩිතර  විය  යුතු  බව  මතක් වුයේ එවිටය . එඩිතර මාධ්‍ය වේදීන් යුධ  බිමට  ගොස්  කරන  ලද වාර්තා  කිරීම්  නොවන්නට මිනිසුන්ට  කියවන්නට  වෙන්නේ  පත්තර  කන්තෝරුවල  සිට  ලියන අතේ  රෝල්ය. අනෙක් අතට මට මේ අවස්ථාව  දීම  ගැන  මා  ජේ.ආර්ට සදා  ණයගැති විය  යුතු  නොවේද? 


මළවුන්ගේ රැස්වීමක් මෙයට  පෙර  ලොව  කිසිවෙකු  දැක  හෝ  වාර්තා  කොට  නැත. ඇතැම් විටෙක  මගේ  ලිපිය වෙනුවෙන් Pulitzer සම්මානය  ලැබී  මට  ලෝක ප්‍රසිද්ධියක්  ලැබීමටද  ඉඩ තිබේ.  මා අපක්ෂපාත  ලේඛකයෙකු  බැවින්  බොහෝ දේශපාලනඥයන්  මා සමග අමනාප  බවට  සැකයක් නැත.මා  දුටු විට  ඔවුන්  මා මරා  කෑමටද ඉඩ  තිබේ.  ඒ  කෙසේ වෙතත්  බිය  අමතක  වී  යාමට  අඩියක්  ගැසීමට  ඇත්තේ  නම් ඊට සුදුසු ම වෙලාව මේ  මොහොතය .


" ආ ගන්නවා මේක "      ජේ.ආර්.කීවේය .මම ආපසු  හැරී  බැලු විට ජේ.ආර්.  බ්‍රැන්ඩි  බෝතලයක් මා  දෙසට  දික් කළේය . 


"වීදුරුවක් ?   " මං හිමින්  කීවෙමි.


"මොන වීදුරුද අයිසේ . ටික  ටික  කටට  හලා  ගන්නවා .


 " Thank you very much sir"


" It's a pleasure "


" Don't  take more than two drams" ජේ .ආර්. එසේ  කීවේ මා  වැඩියෙන්කී බී  සියල්ල  අනාගනු ඇතයි සිතු  නිසා  විය  හැක. 


දෙපාරක්  බෝතලය  කටට  හලා ගැනීමෙන් පසු ගත වුයේ   විනාඩි  තුන  හතරක්  පමණි.  යකුන්  දාහක්  ඉදිරියට  උවද යාමට  තරම්  එඩිතර  කමකින් සිත  පිරී  යන්නට  විය .ලැබී ඇත්තේ ස්වර්ණමය  අවස්ථාවක් බව  ඊ ළඟ විනාඩි  5 තුලදී  මට අවබෝධ විය . ජේ  .ආර්.ලොක්කාගෙන් ඇසිය  යුතු  දේ ඇසිය  යුත්තේ  දැන්ය.  ඔහු  සමග සම්මුඛ  සාකච්චාවක් කිරීමට ලැබෙන එකම අවස්ථාව  මෙයය . එය අපතේ  යවතොත් මා  කළ ලොකුම  මෝඩකම එය වනු ඇත 


 "සර් මොකද  හිතන්නේ  ජනාධිපති  තුමා   ගැන ? "

 

" ආන්න තමුසේ  ලයින් එකට ආව .  තමුසෙලාගෙ  ජනාධිපතිද ? කණගාටුයි  කියන්න .  කොන්දක්  නැහැ .මං වගේ  කොරා  නම් ඔය එක  බල්ලෙකවත්  පාරට  බහින්නේ  නැහැ."


" එතකොට  අගමැති  තුමා  ගැන  මොකද අදහස ?"


" මිනිහත්  අනාගත්ත . අර බොන්ඩ් මගුලෙන්  "


"ඇයි සර්  අගමැතිතුමා  මුණගැහිල උපදේශයක් වත් දෙන්නේ  නැත්තේ ?"


"  විශ්‍රාම ගත්තට පස්සේ මං ආයි ඕවට  ඇඟිලි  ගහන්නේ  නැහැ .ඒක  මගේ  ප්‍රතිපත්තිය . "


" මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී කාර් දීම  ගැන සර්ගේ අදහස? "


"ආ.. ..... ඒක  පටන් ගත්තේ  මමනේ .     ඒක  හොඳ  ප්රෝතිපත්තියක්.  ආණ්ඩුවක් අවුරුදු  5 ගෙනියන්නේ පුළුවන් වෙන්නේ එහෙම  කොළොත්  තමයි  . නැත්තම්   ගෙබ්බෝ  වගේ අනිත් පැත්තට  පැනල ආණ්ඩුව  පෙරලනවා . "


 " සර් 83 කළු  ජුලිය  ගැන ගැන  ප්‍රශ්නයක් අහන්න  තියෙනවා "


" Go ahead "


" ඇයි සර් අහක  හිටපු  කොමියුනිස්ට්  කාරයන්වයි  සමසමාජ  කාරයන්වයි , ජේවීපී එකයි ඒකට  ගෑව්වේ?"


" අපේ  එවුන්ව බේර  ගන්න  තිබිච්ච හොඳම විධිය ඒක  තමා "


" සර්  77  බලයට  ආවේ ධර්මිෂ්ට සමාජයක්  හදනව  කියලනේ. ඒවුනාට සර්  ඉන්න  කාලේ  රටේ  සැහෙන්න  ලේ  හෙල්ලුනානේ "


" තමුසේ  හිතනවද  මිනිස්සුන්ට  බණ කියල  ධර්මිෂ්ට සමාජයක්  හදන්න  පුළුවන්  කියල? අධර්මිෂ්ටයන්ව  නැති  කරල   තමයි ධර්මිෂ්ට සමාජයක්  හදන්න  පුළුවන්.  මං කොරේ   ඒක"


"සර්  හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ  නැහැ  කියල හුඟක් අය  කියනව ."


" මොන බොරුද?  රාජපක්ෂ ඒක  තව  ටිකක්  පොලිෂ්  කොරලා  ගත්තේ  නරක  හින්දද?    මගේ ව්‍යවස්ථාව දිගටම  තියාගන්න  අද සටන් කොරන්නේ  කවුද? යු එන් පී.කාරයෝද?    නෑ.   ශ්‍රී ලංකා  කාරයෝ "


නැවතත්  ජයවර්ධන  මහතා හොහ් .....හොහ් .....හොහ්  ගා  හිනාවුනේය 


." එතකොට ඉන්දියන් හමුදාව  ගෙන්නපු එක ? "


" ඉන්දියන් හමුදාව  මට  ගෙන්නන්න  සිද්ධ උනේ මගේ ආණ්ඩුව  තුවක්කුවෙන් පෙරලන්න  විජේවීර ලැස්ති   උන  නිසා..මං ඉන්දියන් හමුදාව ගෙන්නුවේ  නැත්තම් අපේ  හමුදාවට  උතුරෙයි දකුණෙයි දෙකේම සටන් කොරන්න  වෙනවා. එහෙම උනානම් ප්‍රභාකරන් උතුර අල්ල  ගන්නවා. විජේවීර  දකුණ අල්ලගන්නවා . ඉන්දියන් හමුදාව ගෙන්න  ගත්ත  නිසා උතුරේ  හිටපු හමුදාව  දකුණට  ගෙන්න  ගෙන  විජේවීරට  මුහුණ දෙන්න  මට  පුළුවන් උනා." 


මෝටර් රථය බොරැල්ලේ කනත්තේ ප්‍රධාන දොරටුව  ඉදිරිපසට පැමිණ  තිබෙන  බව මා  දුටුවේ එවිටය. .ගේට්ටුව ඉබේම විවුර්ත වූ අතර මෝටර් රථය කනත්ත  තුලට ඇතුළුවී සෙමින් ඉදිරියට  ධාවනය වන්නට  විය. වට  පිට  බැලු විට  මා  දුටුවේ සොහොන් කොත් අසල  නැගී සිටි මිනිසුන් සහ  ගැහැනුන්  අප  ගමන් කළ  මෝටර් රථය දෙස  බලා සිටින අයුරුය .ඇතැමෙකු අත්පොලසන් දෙමින් සිටියහ  . තවත්  පිරිසක්  හු හඬ  නැගුහ. කිසිවෙකු මෝටර්  රථය දෙසට ගලකින් ද  ගැසුවේය .



ආදාහනා  ගාරය අසලට  පැමිණි මෝටර් රථය එහි නවත්වනු  ලැබීය  .  කීප දෙනෙකු ආයුධ සන්නද්ධව  මෝටර් රථය දෙසට  දුව  එනු දුටු  විට මා  තුළ  කොතරම් බියක් ඇතිවීද  කිවතොත් මෝටර් රථයෙන්  බැසීමට  තරමටවත්  මගේ දෙපාවලට  ශක්තියක් නොවීය.


" ගන්නවා  තව ටිකක්  ඔය  බෝතලෙන් " මා සිත  තුළ වූ බිය වටහා  ගත්  ජේ. ආර් නියෝග  කළේය.


බ්‍රැන්ඩි  බෝතලය කටට ගෙන එක  හුස්මට බීගෙන බීගෙන  ගියෙමි.


"ඔය ඇති .දැන් බහිනවා."  


"OK සර් ."


මළවුන්ගේ රැස්වීමේ  පින්තුර  කීපයක්  ගත  යුතුයැයි  සිතා කැමරාව  ගැනීමට  මා සිතුවා  පමණි. ජයවර්ධන  මහතා ඝෝරනාඩු  කළේය.


 "කැමරා   බැ.ෆෝන් බෑ. නෝට්  බුක් එකයි  පැනකුයි පමණයි . "


ජේ  ආර් ජයවර්ධන  මහතා වාහනයෙන් බැස ගත්  විට පැමිණි සිටි ආරක්ෂකයෝ  ඔහු  වටකර ගත්හ . ජයවර්ධන  මහතා ආදාහනාගාරය අසලවූ  ගොඩනැගිල්ල දෙසට  ගමන් කළ අතර  මම  ඔහු  පසුපසින් ගමන් කළෙමි.


ආදාහනාගාරය අසල ශාලාවේ තිබු සුවපහසු  පුටුවල    පිරිසක්  වාඩිවී  සිටියහ . ඉදිරිපස අසුන් වල ඩී. එස්.  සේනානායක , ඩඩ්ලි සේනානායක , එස්.ඩබ්ලිව් . ආර්.ඩී.බණ්ඩාරනායක  ,සිරිමා බණ්ඩාරනායක, ආර්.ප්‍රේමදාස,   ඩබ්ලිව් .විජේතුංග ,  එස්. ඒ.වික්‍රමසිංහ , එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා ,  පීටර්  කේනමන්, පිලිප් ගුණවර්ධන , හෙක්ටර් කොබ්බැකඩුව මහත්ම  මහත්මීන් වාඩි වී  සිටි අතර පසු  පස  ආසනවල වාඩිවී  සිටි පිරිස අතර    අනුර  බණ්ඩාරනායක , ගාමිණි දිසානායක , ලලිත් ඇතුලත්මුදලි   සහ විජය  කුමාරතුංග  වුහ .රෝහණ විජේවීර සහ  ප්‍රභාකරන් යන  මහත්වරු   පැමිණියේ  අප එහි යනවිටමය . ඔවුන් දෙදෙනාද  දෙවන  පෙළ  අසුන්වලින් වාඩි වුහ .ඇතැමෙකු  ජාතික ඇඳුමෙන්  සැරසී  සිටි අතර සමහරෙකු යුරෝපීය ඇඳුමෙන් සැරසී   සිටියහ . ප්‍රභාකරන් සෆාරි ඇඳුමක් ඇඳ සිටි අතර  විජේවීර කලිසමක් සහ  ඉරි  කමිසයක්  පැළඳ  සිටියේය. පාවහන් පැළද  සිටියේදැයි  මට  මතක  නැත .  කිසිවෙගේ  මුහුණ දෙස  නොබැලු  විජේවීර  වාඩි වූ විගස  කිසියම් පොතක්  කියවන්නට  පටන් ගත්තේය  විජය  කුමාරතුංග  මහතා  වාඩිවී  සිටියේ තරමක් ඈතිනි.  මුහුණෙහි  විශාල  පැල්ලමක් තිබු අතර එය  ඔහුගේ   මුහුණ  තරමක් අවලස්සන  කළේය කළු  කලිසමක්ද සුදු කමිසයක්ද පැළඳ සිටි ඔහු වරින් වර  විජේවීර දෙස  බැලුවේ  සැක  මුසු බැල්මකින් යයි  මට සිතින. 


ජේ.ආර්. ජයවර්ධන  මහතා  දුටු බොහෝ අය ආසන වලින් නැගී සිටි  නමුත් ඇතැමෙකු  නැගී නොසිටියේ  නැගිට සිටීම  ශක්තියක් නොවූ  නිසා  බව  පෙනින .ඩි.එස්.  සේනානායක ,  බණ්ඩාරනායක  මහතා  සහ    මහත්මිය , එන් එම්. පෙරේරා , කොල්වින්  ආර්. ද සිල්වා     ආදීන්  වාඩි වී  සිටියේ  රෝද  පුටුවලය .  මළවුන්ගේ  ලෝකයෙන්ද චුතව  යාමට  ආසන්න  තරමට  ඔවුන් දුර්වල  වී  සිටියහ. ජයවර්ධන   මහතා  මුලාසනයේ  වාඩිවූ  විගස  නැගී සිටි විජය  කුමාරතුංග මහතා ජේ ආර් දෙසට  හැරී "මළවුන් වෙනුවෙන්  ඔබ තුමාව සාදරයෙන්  පිළිගන්නා"  බව කියා සිටි අතර අද දින  පැමිණීම  49 දෙනෙකු  බවද කියා සිටියේය.





"කවුද නොපැමිණි සාමාජිකයා ?" ජයවර්ධන  මහතා  විමසීය.


'අමිර්තලිංගම්  මහත්තය . ප්‍රභාකරන් මහත්තයට සාමාජිකත්වය  දුන්න  නිසා එයට විරෝධය  දැක්වීම  සඳහා අද දින  නොපැමිණෙන  බව දන්වා  තිබෙනවා ." විජය  කුමාරතුංග මහතා ලිපියක් පෙන්වමින්  කීය.


" හොඳයි . දැන් අපි රැස්වීම  පටන්ගමු " ජයවර්ධන  මහතා කීය .


  මාධ්‍යවේදීන්ට  ආසන වෙන් කර  නොතිබුණෙන් මට සිදුවුයේ හිටගෙනම  සටහන් ලියාගන්නටය .


" නෝනාවරුනි ! මහත්වරුනි! " ජයවර්ධන  මහතා  සභාව ඇමතීම ඇරඹුවේය .අප මේ රැස්වීම කැඳවුයේ ඇයි දැයි ඔබතුමාලාගෙන් ඇතැමෙකු   දැනටමත්  දන්නවා   ඇති .  ලබන  මාසයේ  25 , 26, යන  දිනවලදී  අභාවප්‍රාප්ත  දේශපාලනඥයන්ගේ    ජාත්‍යන්තර සම්මේලනයක් සිරියාවේදී  පැවැත්වීමට ඇමරිකා එක්සත්  ජනපදයේ  හිටපු  ජනාධිපති ජෝන් කෙනඩි  මහතා  විසින් කටයුතු  කරමින් තිබෙනවා


  එම සමුළුවට නියෝජිතයන්  තුන් දෙනෙකු එවන  ලෙස මගෙන් ඉල්ලීමක් කර  තිබෙනවා. ඒ සඳහා  සුදුස්සන්  තුන් දෙනෙකු අපි අද  තෝරා  ගත යුතුයි . ඒ  සඳහා මගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය  බව  එතුමා  දැනුම් දී  තිබෙන  බැවින් නියෝජිත  කණ්ඩායමේ  නායකත්වය  මා  විසින් දරන අතර   අනෙත්  දෙදෙනා   තෝරා  ගන්නා   ලෙස  මා   ඔබ සැමගෙන්ඉ ල්ලා  සිටිනවා . එම සම්මේලනයට  යාම සඳහා   23  වන දින  දහවල් 12  ට  මත්තල  ගුවන් තොටුපොළට ගුවන් යානයක් එවන  බවද දැනුම් දී  තිබෙනවා ."


"දවල්  දොළහට ? අපිව මිනිස්සුන්ට  පේනවනේ" කවුදෝ පිටුපස්  සිට කිවේය .


"කොහොම  පේන්නද? බලු බල්ලෙක්වත් රෑට තියා  දවල්ටවත්  යන  තැනක් නෙවෙයිනේ ." ප්‍රේමදාස  මහතා  කීය.


"මට ආරංචි  හැටියට  දකුණු  පළාතේ  මැරිච්ච  අය දැන්  පදිංචිවෙලා  ඉන්නේ  මත්තල එයාපෝට් එකේ " සිරිමා  බණ්ඩාරනායක  මහත්මිය  කීවාය . 


"ඉක්මනට දෙන්නෙක්  තෝර  ගන්න ." ජේ .ආර්. නොයිවසිල්ලෙන්  කීය .


ඉන්පසුව   සභාවේ ඇතිවුයේ   මහත්  කාලගෝට්ටියකි .තමන්වද  නියෝජිතයෙකු ලෙස  තෝරා  ගන්නා  ලෙස  ඉල්ලමින් බොහෝ අය  කෑ  ගසන්නට  වුහ.


"මට  ස්ටාලින්ව මුණගැසී  උපදෙස්  ලබා  ගැනීමට  තියෙනවා. ඒ  නිසා  මට  යන්නම  ඕන." විජේවීර  මහතා  ශබ්ද  නගා  කීවේය.


"මට  පොල්පොට්  පණිවිඩයක් එවල  තියෙනවා හමුවෙන්න  කියල . ඒ  නිසා  ඔය සමුළුවට  මා  යායුතුමයි ."  ප්‍රභාකරන් ඉංග්‍රීසියෙන්  කීවේය .


 " මාෂල් ටිටෝව මුනගැහෙන්න මන් කැමතියි . ඒ  නිසා  මට අවස්ථාවක් දෙන්න ." සිරිමා  බණ්ඩාරනායක  මහත්මිය රෝද  පුටුවෙන් නැගී  සිටීමට උත්සාහ කරමින් කීවාය .


   වේගයෙන් පුටුව  පස්සට  කර  නැගී සිටි  ප්‍රේමදාස  මහතා "කරුණාකරලා  මාව  තෝරාගන්න . මට  ඉන්දිරා  ගාන්ධි එක්ක  ගනදෙනුවක් බේර  ගන්න  තියෙනවා " 


" එක්සත්  ජාතික  පක්ෂෙන් දෙන්නෙක්  යන එක අයුක්ති සහගත ,අසාධාරණ  වැඩක් . ඒ  නිසා  ප්‍රේමදාස  මහත්තයට අවස්ථාවක් දෙනවට  මා  තදින්ම  විරුද්ධයි    .මට  න්‍යායික  ගැටළු වගයක්  තියෙනවා ට්‍රොට්ස්කි  මුණගැහිලා  කතා  කරගන්න . ඒ  නිසා  නියෝජිතයෙකු  ලෙස කරුණාකරලා  මාව  තෝර ගන්න "  යයි එන්.එම. පෙරේරා  මහතා වහා  නැගිට  කිවේය .  ඔහුගේ  මුහුණ  කේන්තියෙන් රතුවී  තිබිණ .


" එන්. එම්.සහෝදරය !  න්‍යායික  ගැටළු විසඳගෙන මොකක්  කරන්නද?  . ට්‍රොට්ස්කි ඔහේ  එක්ක  කතා  කොරන එකක්වත්  නැහැ"


 පීටර්  කෙනමන් මහතා  හරස්  කපමින්  කියා  සිටියේය. "ට්‍රම්ප් අද  තුන්වෙනි  ලෝක  යුද්ධයකට අර අඳිනවා . ඒක සිද්ධ  උනොත් මිනිස්සු කෝටි  ගානක් මැරිලා අපේ  ලෝකේ  ඉඩ  මදිවෙනවා  .ඒ  නිසා ඒක වලක්වන්න  කළ  හැකි  සියල්ල වහා  කළ යුතුයි .ඒ සඳහා  සෝවියට් දේශයේ  හිටපු නායකයන් එක්ක  සාකච්චා  කරලා  වැඩ පිළිවෙලක්  හදාගන්න  මා  සුදානම් වෙන්නේ  . බ්‍රෙෂ්නෙෆ් සහෝදරයත් සෑහෙන කාලෙකට  මුණ  ගැහුනේ  නැහැ . ඒ   නිසා  කරුණාකරලා   මට  අවස්ථාව  දෙන්න ."


තව දුරටත්  කිසිවෙකුට  කතා  කිරීමට ජයවර්ධන  මහතා  ඉඩ  දුන්නේ  නැත.


"  වාද  කොර  කොර  ඉන්න වෙලාවක්  නැහැ. ව්‍යවස්ථාවෙන්   මට තියෙන  බලතල අනුව නියෝජිතයන් මා විසින්  තෝරනවා මිස වෙනත් විසඳුමක් නැති බව    මේ  කාල  ගෝට්ටිය අනුව තමුන්නාන්සේලාට   අවබෝධවෙලා  ඇති.  ඒ අනුව  මා  කටයුතු  කොරනවා . තව දුරටත් ඒ   සම්බන්ධයෙන් කරුණු දැක්වීම     තහනම්  බව  මා මේ සභාවට  දැනුම් දීමට  කැමතියි .තෝරා  ගත්  නියෝජිතයන් දෙදෙනාට යථා  කාලයේදී  දැනුම් දීමට  මා  කටයුතු  කොරනවා . 


'ඔය  තීරණයට  අපේ  බලවත් අප්‍රසාදය  පළ  කරනවා ." රැස්වීමේ  පිටුපස  සිටි  කිසිවෙකු  මහා  හඬින්  කියා සිටියේය.


ඉන් පසු ජේ ආර් ජයවර්ධන  මහතා මළවුන්ට  මා  හඳුන්වා දුන්නේය .


" මා   අද  අමුත්තෙකු  සමග  මෙතනට  පැමිණියේ  තමුන්නාන්සේලා වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමටයි .මේ සිටින්නේ එම අමුත්තා වන  බර්ටි  රණවීරගේ  මහතා .  ඔහු බ්ලොග් කරුවෙක් .ඒ  කියන්නේ  නවීන  ලෝකයේ  මාධ්‍ය  කරුවෙක් .ඔහුට  පක්ෂයක්,  පාටක් නැහැ . අපි    ගැන  පත්තරවලත් රුපවාහිනි වලත් අන්තර් ජාලයේත්  සෑහෙන්න   බොරු  ලියන බව  මං නොකිව්වට තමුන්නසේලා හොඳින්ම දන්නවා . තමුන්නසේලගෙන් පස්  දෙනෙකුට  මං අවස්ථාව දෙනවා.  මහජනයාට  දැනුම් දිය  යුතු  පණිවිඩයක්  තියනවානම්  දැන් එය ඉදිරිපත්  කරන්නට  කියා. ඔහු  ඔබගේ එම  පණිවිඩ ඔහුගේ   සුදුකුකුලා බ්ලොග් එක  මගින් සමස්ත ලාංකික  පුරවැසියන්ට දැනුම් දෙනවා ඇති. "


වාඩිවී  සිටි  මලවුන්  බොහෝ දෙනෙකු   ආසනවලින් නැගිට ඒ සදහා තමන්ට අවස්ථාව  ලබා  දිය  යුතු  බව  කියමින් කැ ගසන්නට වුහ .


ජේ  ආර්.  ජයවර්ධන   මහතා  නැගී සිට  සියලු දෙනාටම   නිහඬවන  ලෙස   තදින්  කීවේය  . බොහෝ අය ආසනවල  වාඩි  වූ නමුත්   විජේවීර  මහතාත් ප්‍රභාකරන් මහතාත් වාඩි වුයේ  නැත .


" මන් ගැන බොරු තොග  ගණනින්  මාධ්‍ය  කාරයෝ  ලියනවා .ඒ  නිසා  මට අවස්ථාව ඕනෑමයි." විජේවීර  මහතා දෑත්  ඉහලට  ඔසොවමින්  කීවේය ."


" මගේ  මරණය  ගැන ලංකාවේ  මාධ්‍ය අමු බොරු  ලියල තියෙනවා .ඒ  නිසා මට අවස්ථාවක් අවශ්‍යයි " ප්‍රභාකරන් කීවේ කේන්තියෙන්  පුපුරමින්ය . ඔහු  කතා  කළේ  ඉංග්‍රීසි බසිණි


"තමුන්නාන්සේලා හොඳින්ම  දන්නවා මං ප්රෝජාතාන්තර වාදයට  බොහොම  ගරු  කරන  කෙනෙක්  බව .ඒ  නිසා පක්ෂ  හෝ  සංවිධාන  5 ක  නියෝජිතයනට  අවස්ථාව  දෙන්න  කැමතියි .මං නම්  කොරනවා  5 දෙනෙක් දැන් .ඒකට  ගරු  කොරල අනිත් අය නිස්සද්ද වෙන්න  උවමනායි ."


" First ,  I invite  Mr.S.W.R.D.Bandaranaike  to give his message . But don't take  more than five  minutes please."


බණ්ඩාරනායක  මහතාට  නැගී   සිට අදහස් දැක්වීමට  තරම් වාරුවක් තිබුනේ  නැත .ඔහු  වාඩිවී  සිටම  ඉංග්‍රීසි  බසින්  අදහස්  දක්වන්නට  පටන් ගත්තේය .


" මට  තියෙන්නේ  බොහොම  කෙටි පණිවිඩයක් . මං  කනගාටුවෙනවා සිංහල  භාෂාව පමණක්  රාජ්‍ය  භාෂාව කිරීමට ගත්ත  තීන්දුව  ගැන . මහා  මැතිවරණය වෙලාවේ ඒ  පොරොන්දුව  දුන්නේ  නැත්තම් මට  ආංඩු  බලය  ලැබෙන්නේ  නැහැ. මේ  එන් එම් , කොල්වින් ,පීටර් කේනමන්ලා       කිව්ව  විදිහට  සිංහල ,දෙමල භාෂා  දෙකම  රාජ්‍ය  භාෂා කළා  නම් යුද්ධයක් ඇතිවෙන්නේ  නැහැ .ජීවිත  ලක්ෂ  ගානක්  නැතිවෙන්නේ  නැහැ  .  මා  ඒ  පිළිබඳව  බලවත්  ලෙස  තැවෙමින්  සිටින  බව  ශ්‍රී  ලාංකික  ජනතාවට දැනුම් දෙන්නට  කැමතියි ."


" මං ඊ ලඟට ආරාධනා  කොරනවා ආර්.ප්‍රේමදාස හිටපු  ජනධිපති  තුමාට "


ප්‍රේමදාස මහතා පැළඳ සිටියේ සුදු  කමිසයක් හා  සරමකි.ඔහු   ඔරලෝසුවක් පැළඳ සිටි අතර සුදු  ලේන්සුවක්ද අතේ  තබාගෙන  සිටියේය,  මලවුන් අතර බාබු සිටීදැයි  මා පැමිණි පිරිස අතර  සෙවූ  මුත්     රැස්වීම් ශාලාවේ  පසුපස අන්ධකාරයෙන්  පිරී  තිබුණු  නිසා  සොයා  ගැනීමට  නොහැකි විය.


"   මගේ  පුතා  සජිත් ප්‍රේමදාසට  එක්සත්  ජාතික  පක්ෂය  තුළ  හිමි ස්ථානය  ලබා දීම වැලක්වීමට රනිල් ඇතුළු  කල්ලියක් විසින්  කුමන්ත්‍රණ  කිරීම  මා දැඩි  ලෙස  හෙලා  දකිනවා. සජිත් දවසක  මේ  රටේ  ජනාධිපති විය  යුතුයි .ඒ සඳහා එක්සත්  ජාතික  පාක්ෂිකයන්ගේ සහය  ලබා දෙන  ලෙස  ඉල්ලා සිටීමට  මා  කැමතියි."


" මී  ළඟ අවස්ථාව විජය  කුමාරතුංග  මහතාට ."


සිනහ  මුසු මුහුණෙන්  නැගී සිටි  කුමාරතුංග  මහතා අවස්ථාවක්  ලබා දීම  ගැන  ජයවර්ධන  මහතාට  ස්තුති  කර  සිටියේය.


"    බුද්ධිමත් දේශපාලනයක්  කිරීමට   සුදුසු  තත්ත්වයකට රට  මෝරා  නොමැති  බැවින් දේශපාලන  පොර  පිටියට  නොපැමිණෙන ලෙස  මගේ දරුවන්ගෙන් ඉල්ලා  සිටිනවා .මගේ  පණිවිඩය එපමණයි."


" එක  බොහොම  හොඳ  තීරණයක් . මී  ලඟට  විජේවීර  සහෝදරයාගේ අදහස්  කියන්න.."


" මගේ අදහස් වචනයෙන් දෙකෙන්  කියන්න  බැහැ. ඒ නිසා  මා  සමග සම්මුඛ සාකච්චාවක් කිරීමට වෙනත් වෙලාවක  පැමිණෙන  ලෙස  මාධ්‍ය කරුගෙන් ඉල්ලා සිටිනවා.."


"\ජයවර්ධන  මහතා එයට  ඉඩ  නොදෙනු  ඇති  සිතු මා  " මං  ලෑස්තියි දැන්   උනත්. දැන් බැරි නම්    මට කෝල්  එකක් දෙන්න  දවසයි වෙලාවයි  තැනයි  කියල "   හනික  කිව්  මා   මගේ  දුරකථන  අංකය සඳහන්  කාඩ් පත  ඔහු අසලටම  ගොස්  දුනිමි . 


" එයාට  විතරක්  සම්මුඛ  සාකච්චාවක් ලබා දෙනවට අපි එක  හෙලාම විරුද්ධයි. අපිටත් තියෙනවා  මහජනයාට  කියන්න දේවල්  " මලවුන් සියල්ලෝම වගේ  නැගිට  කෑ ගසන්නට වුහ.


" මෙයා  දෙපාරකට  කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් විතර  මෙහෙට එව්වා ..ආයිත් පාරක් තවත්  ලක්ෂයක් හමාරක්   මෙහාට එවන්නයි ඔය  ලෑස්තිවෙන්නේ .මෙහෙ දැන්  ඉඩකඩත්  නැහැ ." කොල්වින් කිවේය.


'" ද්‍රෝහීන් කවදත්   ලාංකික විප්ලවයට හතුරු  කම් කළා .මැරිලා  කරන්නෙත්  ඒකමයි ." දෙනවා  ඔලුව  ගැලවිලා   යන්න" කී විජේවීර  පුටුවක් එසවුවේය.


" විජේවීර ! මෙතන  චන්ඩිකම් කරන්න  ආවොත් ප්‍රේමදාසට ලවා    ආයි  පාරක් අර  ආදාහනාගාරේට  දාල අළු කරනවා." ජයවර්ධන  මහතා කීවේ  යක්ෂාවේශ  වුවාක්  මෙන්ය . ජයවර්ධන   මහතාගේ  ආරක්ෂකයන්  දෙදෙනෙකු  වහාම  විජේවීර අසලට  ගොස් ඔහුගේ  හිසට  පිස්තෝල එල්ල  කළහ.


"සමාවෙන්න සර් "  කිව්  විජේවීර එසවූ  පුටුව  බිම  තබා එහි වාඩිවිය .


" Mr. Prabhakaran !  Have you got any  message  for your  people? ජයවර්ධන  මහතා ඇසීය .


ප්‍රභාකරන් විනාඩි  පහක් පමණ එක  දිගට  කතා  කළේය. ඔහු  කතා  කළේ  දෙමල  බසින් බැවින් ඔහු කිව්වේ  කුමක්දැයි මට වටහා ගැනීමට  නොහැකි විය. ඔහු ගේ අදහස්  පාඨකයන් වෙත  ගෙන  ඒමට නොහැකි වීම  ගැන පාඨකයන්  වෙත  මගේ  බලවත්  කණගාටුව  පලකරමි. 


  " හොඳයි. අපේ  රැස්වීමේ  පළමු සැසිවාරය  අවසානයි . දෙවන සැසිවාරය  පාන්දර  දෙකට  ආරම්භ  කරනවා ." කී ජයවර්ධන මහතා ආරක්ෂකයෙකු  කැඳවා ජයවර්ධන  මහතාගේ  මෝටර් රථයෙන්  මා  මතුගමට  ගොස්  බස්සන  ලෙස  කියා  සිටියේය. 


" කාර්  එකේ  ඇති විස්කි  කේස් එකක් .ඒකෙන් බෝතල් දෙකක්  මේ  මහත්තයාගේ  බෑග් එකට දානව." ජයවර්ධන මහතා ආරක්ෂක භටයාට නියෝග  කළේය 

.

" Thank you very much sir .      "

" සර්  නැතිව කාර් එකේ  යනකොට මට  කරදරයක් වෙයිද  දන්නේ  නැහැ ."  මා එසේ  කිවේ මැරුණු  මිනිසුන් දෙදෙනෙකු  සමග යන අතර  තුර මගේ  බෙල්ල  මිරිකා දමනු ඇතැයි ඇතිවූ අධික  භීතිය නිසාය.මේ වන විට බ්‍රැන්ඩි  උගුරු කීපය  ලබා දී  තිබු එඩිතරකම දියවෙමින් තිබිණ 


 " මැරිච්ච  අය  පණපිටින්  ඉන්න  අයට  බයයි  ඕයි. තමුසේ  බය  නැතිව  යනවා." 


ජයවර්ධන මහතාට  ආයුබෝවන් කී මා  ආරක්ෂක භටයා  සමග මෝටර්  රථය   දෙසට  ගමන් කලෙමි . අප රථය ට ආසන්න වනවාත් සමගම වාහනයේ   පිටුපස  දොර  හැරගෙන  කාන්තාවක්  කලබලයෙන්  පිටතට   ආ අතර  අනිත්  පස  දොර  හැරගෙන  පිටතට  ආවේ  රියදුරාය . කාන්තාව  කවුදැයි  හඳුනාගැනීමට මට වැඩි වෙලාවක් ගත  වුයේ  නැත .ඒ විමලා විජේවර්ධනය.  බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ  ඇමතිවරියක් වූ විමලා විජෙවර්ධනගේ  රුව  තවමත් එතරම් අඩුවී   නොමැති  බව  ක්ෂණිකව  මට අවබෝධ විය  .තරමක  ලැජ්ජා  ගතියක් පෙන්වූ ඇය පැළඳ සිටි  සුදු ඇඳුම සකස්  කරමින්   අඳුරට  ගොස්  ක්ෂණිකව අතුරු දහන් වුවාය.


මා  ඉදිරිපස  අසුනෙන් වාඩිවූ  අතර ආරක්ෂකයා   පිටුපස  අසුනේ  වාඩිවිය. ආරක්ෂයා  දෙස  හැරී  බැලු  රියදුරා " අපේ සර්ට දැනගන්න  තියන්න එපා"  යයි  බැගෑපත්  හඬින්  කීය .


" ආ  මෙන්න ඔහේගේ  බෑග් එක.   විස්කි  බෝතල් දෙකයි බ්‍රැන්ඩි  කොටෙයි  බෑග් එකට දාල ඇති ." ආරක්ෂකයා  මගේ  ගමන් මල්ල  මා අතට දෙමින් කීය .


" සර්ට  කියන්නේ  නැහැ නේද?"  රියදුරා  යලිත්  ආරක්ෂකයාගෙන්   ඇසීය .


මොනවා  කියන්නද අය්යා ! ඒ  ඔහේගේ  පරණ  ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ "


මට දෙවියන් සිහිවුයේ එවිටය . මේ සිටින  රියදුරා මාපිටිගම බුද්ධරක්ඛිත විය  යුතුය . ඔහු  මිය ගියේ  හිරගෙදරදීය  බණ්ඩාරනායක මහතා  මරන්නට  කුමන්ත්‍රණය  කළේ  ඔහුය .  මාපිටිගම බුද්ධරක්ඛිත  හිමිගේ   හොර අඹුව  වුයේ  විමලා විජේවර්ධනය .. රියදුරාගේ  මුහුණ දෙස  බැලුවිට මේ අන් කෙනෙක් නොව   ඒ බුද්ධරක්ඛිතම  බව පැහැදිලිවම  පෙනිණ. මේ සිද්ධිය  මා අන්තර්  ජාලයේ  පළකරනු ඇතැයි  බියට  පත්ව  අතර  මගදී මගේ  බෙල්ල  විකා   මරා දමාවි දැයි මා තුළ ඇතිවූ  බිය  කීමට  මා  ළඟ වචන නැත .


දැන්ඇත්තේ එකම විකල්පයකි  එනම් සිහි  නැතිවෙනතුරුම  බීමය .බ්‍රැන්ඩි  බෝතලය  අතට  ගත්  මා එක  හුස්මටම ඉතිරි වී  තිබු බ්‍රැන්ඩි බෝතල් භාගයම  බී  දැමුවෙමි.


ඉන්පසු   වාහනය  තුලදී සිදුවූ කිසිවක්   මට  මතක නැත්තේ  එක්කෝ  සිහි  නැතිවී  යාම නිසාය    නැතහොත්  වෙරි මතට නින්ද  යාම  නිසාය.   


 යලි    පියවි  තත්වයට  පත්වන  විට  මා සිටියේ මතුගම සුසාන  භුමිය අද්දර  තණකොල   බිස්සේය.  සිදුවුයේ  කුමක්දැයි  සිහියට  ආවේ  තවත්  ටික වෙලාවකට  පසුවය . පොද වැස්සක් වැටෙමින් තිබුණු අතර  ඉතා සෙමින්   හිරු එලිය අවට  පැතිරෙමින් තිබිණ   . මා රැගෙන  ආ මලවුන් දෙදෙනා  මගේ   ගමන් මල්ලද     මා අසලම  තබා  ගොස්  තිබිණ . මා එය  හනික  විවූර්ත  කොට  බැලුවේ  මගේ  සියලුම අඩුම  කුඩුම  තිබේදැයි  බැලීමටය .සියල්ල  තිබුන  මුත් විස්කි  බෝතල් දෙක අතුරුදහන් වී  තිබුණි 


බණ්ඩාරනායක  ඝාතන  නඩු  විභාගයේදී  සාක්ෂි දුන්  විමලා  විජේවර්ධනගේ  නිවසේ  සේවකයකු,  රාති ආහාරය  සඳහා  බුද්ධරක්ඛිත  බොහෝ විට  පැමිණෙන  බවත් ආහාරයට  පෙර    විස්කි බීමට  තදින් ප්‍රිය  කළ  බවත්  කී බව  මට  සිහි වුයේ  ඒ අවස්ථාවේය  .

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

  ( මේ  සත්‍ය සිද්ධි  මාලාව ඇතුලත් ලිපිය   පිලිබඳ  ඔබේ අදහස්  පහළ  තීරයේ  ලියන්න .)

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  ප...