Sunday, November 13, 2016

රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද


 රෝහණ විජේවීර මහතා  ඝාතනය  කොට අදට අවුරුදු 27ක්  පිරේ. ඔහු  පිළිබඳව ලියවී  ඇති ග්‍රන්ථ සංඛ්‍යාව  සිය  ගණනක්  බවට  සැකයක්  නැත. ඔහු  පිළිබඳව  ලියවී  ඇති  ලිපි සංඛ්‍යාව  දස  දහස්  ගණනක්  බවටද  කිසිදු  සැකයක්  නැත. ලංකා දේශපාලන වේදිකාවේ  රඟ  පෑ දේශපාලකයන්  අතරින්  වැඩිම සාකච්චාවට  භාජනය වූ පුද්ගලයන් අතර  රෝහණ  විජේවීර ද එක්  අයෙකු  බවට  සැකයක්  නැත.


රෝහණ  විජේවීර  සුවිශේෂ  පුද්ගයෙකු  බව  අමුතුවෙන්  කිව  යුතු  නැත.  ජවිපෙ  සිටි  හොඳම  සංවිධායකයා  මෙන්ම හොඳම  කථිකයාද වුයේ    ඔහුය. බොහෝ  දේශපාලන  පක්ෂවල නායකයනට  එම දක්ෂතා   දෙකම  පිහිටා  තිබුනේ  නැත. පොත  පත  වෙනුවට   යුක්තිය  වෙනුවෙන් තුවක්කුව  අතට  ගැනීමට කුමන හෝ  පීඩනයකට පත්ව  සිටි  බොහෝ  තරුණයන් සුදානම්  කිරීමට  විජේවීරට  හැකි වීම  සුළු  පටු  දක්ෂතාවයක්  නොවේ.


රෝහණ  විජේවීර සිය දැක්ම  වෙනුවෙන්  ඉතා  අවංකව කටයතු  කළේය. ස්ටාලින්  පන්නයේ සමාජවාදී  රාජ්‍යයක් බිහිකිරීම ඔහුගේ අරමුණ වූ  බව  ඔහු  අධ්‍යයන  කිරීමෙන් එළඹ  හැකි  නිගමනයයි . ඒ  සඳහා  ඔහුගේ  කැප  කිරීම  ලංකාවේ  අනෙකුත්  වමේ  පක්ෂ  වල  නායකයන්  හා  සැසඳීමේදී  ඉහලින්ම  තිබු   බවට   කිසිදු දෙගිඩියාවකින් තොරව  සඳහන්  කළ  හැක.. 

එකල  ප්‍රධාන වමේ  පක්ෂ  වූ  සම සමාජ  පක්ෂයේ  සහ  කොමියුනිස්ට්  පක්ෂයේ  නායකයන්ට සමාජවාදී විප්ලවයක්  කිරීමට  කිසිදු  උවමනාවක්  නැති  බවත් , කම්කරු  පන්තිය  පාවා දී ධනේශ්වර  පාර්ලිමේන්තුව  නමැති ඌරු  කොටුවේ ලැගීම  එකම අරමුණ බවත්  කියා  සිටියේය. 1953  හර්තාලය  මගින් රාජ්‍ය  බලය  අත්පත්  කර  ගැනීමට  අනගි අවස්ථාවක්  උදාවූ  බවත් ජනතාව  එම  අවස්ථාවේදී  තව  දුරටත්  සටන්  කිරීමට  සුදානමින්  සිටි  නමුත් වමේ  නායකයන්  සටන්  පාවා  දුන්  බවත් විජේවීර කියා  සිටියේය. ඔහු වමට දැඩි  ලෙස  පහර  දුන්නේ එම  පක්ෂවල  සිට අවංක  පිරිස්  තම  පක්ෂය වෙත  ආකර්ෂණය  කර  ගැනීමට පමණක්ම  නොවේ.එම  පක්ෂ සමග  පුද්ගලික  වෛරයක්ද  විජේවීරට  තිබිණ.


1971 පෙබරවාරි 29  දින  හයිඩ් පිටියේ පැවති  රැළියේදී  ඔහුගේ කතාව  සවන් දීමට  මට අවස්ථාව  ලැබිණ. එම  කතාවේදී  ඔහු වැඩි වශයෙන්ම  පහර  ගැසුවේ  වමේ  ප්‍රධාන  පක්ෂ  දෙකටය. මේ  වන  විට  සිංහල  ජනයා  ජීවත් වූ  ප්‍රදේශවල කැරැල්ලක්  දියත්  කිරීමට ඔහු  පක්ෂය  සුදානම්  කොට  තබා  ගෙන  සිටි  බව  එකල  විවධ  ස්ථානවල  සිදුවූ   කුඩා බෝම්බ  පිපිරීම්  වලින්ද  , පොලීසිය  විසින්  නොකඩවාම   ජවිපෙ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම්  සිදුවීමෙන්ද පෙනී  ගිය  කරුණකි. විජේවීර එම  රැළියේදී කතාව  අවසන්  කළේ  මෙසේය.


"සමහරු  අහනවා  කවදද සමාජවාදී  විප්ලවය  කරන්නේ  කියල . අපි ධනපති  පන්තියට  කියනව "උඹල කවදද මහා  පරිමාණයෙන්  අපිව  මර්දනය  කරන්න  පටන්  ගන්නේ . අන්න  එදාට  සමාජවාදී විප්ලවය   සිද්ද  වෙන  බව  අපි  කියනව.   සහෝදරවරුනි !  රුසියානු  විප්ලවයේදී අවුරෝරා  නැව  සාර්ගේ  සීත මාලිගාවට කාලතුවක්කු  ප්‍රහාරයක් එල්ල  කරලයි විප්ලවය ආරම්හ  කළේ .   විජයබා නැව  ලංකාවේ  අවුරෝරා  නැව වේවායි  මා  කියා  සිටින්නට  කැමතියි. ....කම්කරුවන්ගේද , ගොවියන්ගේද  , සෙබළුන්ගේද තරුණයන්ගේද ශිෂයන්ගේද  සමාජවාදී  විප්ලවයට  ජයවේවා .! "

1971  කැරැල්ල  පරාජයට  පත්  වීමෙන්  පසු දස දහසකට  අධික  රජයට  භාරවූ  අතර  ඔවුහු  නොමග  ගිය  තරුණයන්  ලෙස  නම්  කළ ආණ්ඩුව විද්‍යෝදය  සහ  විද්‍යාලංකාර  විශ්ව  විද්‍යාලවලට  රැඳවුම්  මධ්‍යස්ථාන  බවට  පරිවර්තනය  කොට එහි කොටු  කරනු  ලැබිණ. කැරැල්ලේ  නායකයන් මැගසින් බන්ධනාගාරයේ සිරකරනු  ලැබිණ. ඇතැමෙකු  රැඳවනු  ලැබුවේ  දිවයිනේ වෙනත්  ස්ථානවලය.



එකී  ස්ථානවල  රැඳ වීමෙන්  පසු ජවිපෙ  කල්ලි  කණ්ඩායම්  ගණනකට  බෙදින . බහුතරය  රෝහණ  විජේවීරට  විරුද්ධ  වුහ. විජේවීර  සමග ඉතිරිවූයේ  කුඩා  පිරිසකි. ඉදිරියේදී  පැවත්වීමට  නියමිතව  තිබු  නඩු  විභාගයේදී තමන්  කැරැල්ලක්  නොගැසූ  බවත්  ආයුධ  එකතු  කලේ  මර්දනයට මුහුණ  දීමට  බවත් කීමට  විජේවීර  කණ්ඩායම  තීරණය  කළහ. රාජ්‍ය  බලය  ඇල්ලීමට  තමන්ගේ  කිසිදු  සුදානමක්  නොතිබුණු බවත් කැරැල්ල  දියත්  කලේ  තමන්ට  විරුද්ධ  ලොකු අතුලගේ  කණ්ඩායම  බවත් කීමටද ඔවුහු  තීරණය  කළහ. 

1977 හිර  ගෙදරින් නිදහස්  වීමෙන්  පසු  පක්ෂයට එක්වන  සාමජිකයනටද  විජේවීර  කිව්වේ  එම  කතාවමය. පාක්ෂිකයන්ට  බොරු  කීම  වැරදි  බවට  මතයක්  පක්ෂයේ  ඉහල  මට්ටමේ  ඇති  වූ  අතර  එය අවසන්  වුයේ  එම  මතය  ගෙන ගිය  කෙලී  සේනානායක පක්ෂයෙන්  නෙරපා  හැරීමෙනි.


 විජේවීර හිරගෙදරින් නිදහස්  වීමෙන්  පසු පළමු  රැළිය පවත්වනු ලැබුවේ  කොළඹ  නගර  සභා පිටියේය. එම රැළිය සංවිධානය  කලේ  විජේවීරට  පෙර  හිර  ගෙදරින් නිදහස්  වූ  කෙලී සේනානායක  ඇතුළු  පිරිසකි. එම  රැළිය  බැලීමට  මා  සැතපුම් 50කට   අධික  දුරක්  ගෙවාගෙන  ගියේ  විජේවීර  ගැන  මා   සිත  තුළ   තිබු  භක්තිය  නිසාය. එම  රැළියේදී  විජේවීර   කිව් එක්  කරුණක්  මෙහි  සඳහන් කිරීමට  කැමතිය. " මීට  පස්සේ  අපි  ආයුධ  එකතු  කරන්නේ  නැහැ , බෝම්බ  හදන්නේ  නැහැ . බෝම්බ වලට වැඩිය  භයානක දෙයක්  අපි  හදනවා. ඒ  මිනිස්සු ."


විජේවීරගේ  එම  කතාව මට  ඇල්ලුවේ  නැත. ආයුධ  නොමැතිව  විප්ලවය  කරන්නේ   කෙලෙසද ? ඊට  මසකට  හමාරකට  පමණ  පසු  මට  විජේවීර  හා  කතා  කරන්නට  අවස්ථාව  ලැබුණි. "මොකක්ද  මේ  ආයුධ  එකතු  කරන්නේ  නැති  කතාව" ? මා  ඇසීමි " විජේවීර  දුන්  පිළිතුර  මෙසේය. එකට  හේතුව  මේකයි අපේ පක්ෂෙට  බැඳුණු  අලුත් සහෝදරයෙකු  ගේ ගෙදරට  ගිහින්  පොලිස්  කාරයෙක්  කියල  තියෙනවා -ඔය  ලමයට  ජේවීපී  එකට  යන්න  දෙන්න  එපා. ඔය  ළමය  ලවා  තව  ටික දවසක්  යන  කොට  බෝම්බ  හදවන්න  පටන්  ගනීවි-. ඉතින්  මිනිස්සුන්ගේ  බය  අරින්න  එපැය . ඒ  නිසයි  මන් එහෙම  කිව්වේ."

පහත දැක්වෙන්නේ ලෙනින්ගේ  ප්‍රකාශයකි . එය  මෙසේය. 

"විප්ලවකාරී තත්ත්වයක් මෝරා  නොමැති පරිසරයක් තුළ විප්ලවයක්   සිදු  කළ නොහැක. එපමණක්  නොවේ.  සෑම විප්ලවකාරී  අවස්ථාවක්ම විප්ලවයක්  දක්වා  ගමන් කරන්නේද   නැත..



ලෙනින්ගේ ඉහත ප්‍රකාශය   සමග  1971  අප්‍රේල්  කැරැල්ල  දියත්  කරන  ලද පරිසරය  ගැන  විමසීමේදී  එම අවස්ථාවේ  විප්ලවයක්  දියත්  කරනු  තබා සාර්ථක  පෙළපාලියක්  යාමට  සුදුසු පරිසරයක්වත්   ගොඩ  නැගී  තිබුනේ  නැත. සිරිමා බණ්ඩාරනායක  සම සමාජ  සහ  කොමියුනිස්ට්  පක්ෂ  සමග හවුල්  ආණ්ඩුවක්  ගොඩ  නගා  රට  පාලනය  කරන්නට පටන්ගෙන  මාස  11ක්වත් ගතවී  තිබුනේ  නැත. 71  කැරැල්ලේදී  පොලීසි ආරක්ෂා  කරන්නට ගියේ ආණ්ඩුවට  හිතවත්  මහජනයාය. කොටින්ම කැරැල්ල  ගැන  මිනිස්සු දැන්  ගත්තේ  අප්‍රේල් 6 වනදාය. පැනයන  කැරලි  කරුවන්  අල්ලා දීමට ඉදිරිපත් වුයේද  මහජනයා ය.


 ස්ටාලින් පන්නයේ  සමාජවාදී  රාජ්‍යයක් තමා මැදියම් වයසට  යාමට  පෙර   පිහිටුවීම විජේවීරගේ  අභිප්‍රාය  වූ  අතර  ඔහුගේ  සිහිනය  ඉටු  කර  ගැනීම  සඳහා සුදුසු අවස්ථාව  එන  තුරු  බල  සිටියේය.   13  වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හරහා  ඊට  කදිම අවස්ථාවක්  නිර්මාණය  වී  ඇතැයි විජේවීර නිගමනය  කළේය. පළාත්  සභා  ඊළාම්  රාජ්‍යයක්  නිර්මාණය  වෙන  බව   ප්‍රකාශ  කළ   ජවිපෙ එයට  විරුද්ධව  දියත්  කළ  කැරැල්ලක්  ගැසීමෙන්   මහජනයගේද  සන්නද්ධ  හමුදාවල  සහය  ලැබ  ගත  හැකි වනු ඇතැයි  විජේවීර  උපකල්පනය  කළේය.

1988 වසර  මැතිවරණ  රැසකින්  පිරි වසරක් විය. පළාත් සභා  මැතිවරණ  ගණනවක්  තිබුණු  අතර  නොවැම්බර් මස  ජනාධිපතිවරණය  පැවැත්විණ. මෙම මැතිවරණ  ප්‍රතික්ෂේප  කරන  ලෙස  ජවිපෙ  මහජනයාට  නියෝග  කළ  අතර  එම  නියෝග  කඩ  කරන්නට  මරණ දඩුවම  හිමි වෙන  බව  ප්‍රකශ  කළේය. එහෙත්  චන්ද  දායකයන්  55%ක් අධික  පිරිසක් 88  ජනාධිපතිවරණයේදී චන්දය   පාවිච්චි  කළහ. ඒ අතර  හොර  චන්ද  දැමීම්  විශාල වශයෙන්  සිදුවුයේ යු එන් පී  විරෝධීන්  චන්දය දැමීමට  චන්ද  පොලට  යාමට බියවූ  බැවිනි . අවසානයේදී ජවිපෙට  මරු  කැඳවූ ප්‍රේමදාස    බලයට  පත්වුයේ  ජවිපෙ මරණ  තර්ජනය නිසා  යුඑන්පී  විරෝධීන්  චන්දය  පාවිච්චි  බෙහෙවින් අඩු  වූ  නිසාය.   UNP  කල්ලි  රාත්‍රී  කාලයේ මහපාරවල ජවිපෙ  සටන් පාඨ ලියමින්  තව  දුරටත්  ශ්‍රීලංකා නිදහස්  පාක්ෂිකයන්  බිය  ගන්වුහ. 

ජනාධිපතිවරණයේදී  විපක්ෂයේ අපේක්ෂක  සිරිමා  බණ්ඩාරනායකට  වඩා  රණසිංහ ප්‍රේමදාසට  ලැබුණු  චන්ද සංඛ්‍යාව 279339ක් පමණකි. තුන්වෙනි අපේක්ෂකයවූ ඔසී අබේගුණවර්ධන 235719ක් ලැබීය. විජේවීර  මහතා  ඥාණ වන්තයෙකු   වුයේ  නම් කළ  යුතුව  තිබුණේ  තමන්ගේ  පාක්ෂිකයන්  මුහුණ  දෙමින්  සිටි නියත  මරණයෙන් බේරා  ගැනීම සඳහා  සිරිමා  බණ්ඩාරනායක  මහත්මියට සහය දීමය. JR ගේ  ඒකාධිපති පාලනයෙන් හෙම්බත්වී සිටි මහජනයාට  අවශ්‍යව  තිබුනේ  එක්සත්  ජාතික  පක්ෂ අපේක්ෂකයා පරාජය  කිරීමටය. එහෙත්  මෙම  චන්ද  වර්ජනයට  පින් සිදු වන්නට  R. ප්‍රේමදාස  බලයට  පැමිණි  අතර  උතුරේ  යුද්ධයෙන්ද  දකුණේ  කැරැල්ලෙන්ද   මැදිව  සිටි ප්‍රේමදාස  ජවිපෙ  සමග අවබෝධයක් ඇති  කර  ගෙන  හුස්ම  ගැනීමට  ඉඩක් සලසා  ගැනීමට  උත්සාහයක්ද  දැරුවේය. ඒ  සඳහා  ආරම්භක  පියවරක්  වශයෙන්  අත් අඩංගුවට  ගෙන  සිටි  ජවිපෙ නායකයෙකු  වූ ශාන්ත  බණ්ඩාර ඇතුලු  පිරිසක්  සාමාජිකයන්  රැසක්ද  නිදහස්  කළේය. සාම සාකච්චා  කිරීම සඳහා  ජවිපෙට ආරාධනා  කළේය. එහෙත්  විජේවීර  ප්‍රමුඛ  ජවිපෙ ප්‍රේමදාසගේ ඉල්ලීම  ප්‍රතික්ෂේප  කොට  ගල්කටස්  යුද්ධයේ  නිමග්න  විය.






මාර්ක්ස්වාදීන් ඉතිහාසයෙන් උගනිති. පැරිස් කොමියුනය කඩා වැටීමට හේතු මාක්ස් ලීවේ  සමකාලීන සහ පශ්චාත් විප්ලවාදීනට  ඉගැනීමටය.  1905 අසාර්ථක විප්ලවයෙන්   ඉගෙනගත්  යුතු දෑ ලෙනින්  කීවේය . ලීවේය . එම අත්දැකීම හරහා 1917 දී  බලය  ලබා   ගැනීමට  ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික්  පක්ෂයට  හැකි  විය. 1955  මොන්කාඩා  ප්‍රහාරය අසාර්ථක  වීමෙන්   ඉගෙන  ගත් පාඩම්   පිදෙල් කස්ත්‍රෝට  1959 කියුබාවේ රාජ්‍ය  බලය  ලබා  ගැනීමට ඉවහල්  විය. මහජන සහය  නොමැතිව විප්ලවාදී කණ්ඩායමකට තුවක්කුවේ  බලයෙන්  රාජ්‍ය  බලය  ලබා   ගත  නොහැකි  බව  චේ  ගෙවාරා  බොලීවියාවේදී  මරණය වැලද  ගනිමින්  ලෝකයේ  විප්ලවදීන්ට  කියා  දුන්නේය. එහෙත් විජේවීර  මහතා  71  කැරැල්ල අසාර්ථක  වුයේ ප්‍රධාන  වශයෙන්ම  මහජන සහය  නොමැතිවීම  නිසා  බව  නිගමනය  කිරීමට අසමත්  විය    ඔනෑම  කරුණක්  සම්බන්ධයෙන් සියලු  පැතිකඩ  දෙස  බලා  විග්‍රහ  කර ගැනීමේ හැකියාව  තිබු  රෝහණ විජේවීර  මහතාට  බලය  ලැබ  ගැනීම සඳහා තිබු  හදිසිය  විසින්   යථාර්තය දැකීම  වලක්වනු  ලැබීම නිමා  වුයේ අඩු වශයෙන්  තම  පාක්ෂිකයන් 40000 ට  වේදනාත්මක   මරණ අත්  කර දෙමින්  පමණක්  නොවේ. බහුතරයක්  මිනිස්සුන්ට  සමාජවාදය ද අප්‍රිය  කරවමිනි.

2005  ජනධිපතිවරණය වර්ජනය  කරන  ලෙස  ප්‍රභාකරන්  නියෝග  කිරීම හේතුකොට  ගෙන  මහින්ද  රාජපක්ෂ  බලයට  පැමිණි අතර   සාම සාකච්චා  සඳහා කල  ඉල්ලීම්  ප්‍රභාකරන්  ප්‍රතික්ෂේප  කළේය .2009 දී ප්‍රභාකරන්ට මරණය  උරුම  කර දුන් රාජපක්ෂට  බලයට ඒමට ප්‍රභාගේ  චන්ද වර්ජනය  ප්‍රධානතම  හේතුව  විය .1988  ජනාධිපතිවරනයෙදී නිදහසේ  චන්දය  පාවිච්චි  කිරීමට  විජේවීර  ඉඩ  නොදීමේ  ප්‍රතිපලය  ලෙස  ප්‍රේමදාස  ජනාධිපති  විය. අවසානයේදී  විජේවීර  මැරීමට  නියෝගය  දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට  පැමිනි ප්‍රේමදාසය. 

Post a Comment

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  ප...