Friday, June 3, 2016

ඉස්කෝලේ ඉංගිරිසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

 

මගේ  මේ  ලිපිය කතන්දර  දෙකකින්  පටන්  ගන්නට  කැමතිය . කතන්දර දෙකම ඇත්තය. එකක් කිව්වේ  සුද්දෙකි. අනික  කිව්වේ  රනිල් වික්‍රමසිංහ  මහතාය.

මා  හඳුනන පියකරු  ඉංග්‍රීසි  මෙනෙවියක් දැක  සිත් බැඳුනු  එංගලන්තයේ  සුද්දෙක් ඇය විවාහ  කර  ගත්තේය. ලංකාවේ  ආණ්ඩුවේ  පාසල්වල සිසුන්ගේ  ඉංග්‍රීසි  දැනුම  ගැන හොඳ  අවබෝධයක්  ලැබීමට  එමගින් සුද්දාට  අවස්ථාව  ලැබිණ.  වරක්  මා   හමුවූ විටෙක සුද්දා  ඇසු  ප්‍රශ්නය  මෙසේය.  "අවුරුදු 7ක් ඉංග්‍රීසි  ඉගනගෙන  ඉස්කෝලෙන්  පිටවෙන  ළමයින්ට ඉංග්‍රීසි  කතා  කරන්න  බැරි මොකද?"

අනිත්  කතන්දරය මෙසේය.

2014 අප්‍රියෙල්  මාසයේ  රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට  ගියේ  එහි අධ්‍යාපන  ආයතනයක් කළ  ආරාධනයකටය. දේශපාලන  භුමියේ අලුත්  නැඹුරුවීම් අධ්‍යයන  කරන  අතරතුර එහි  සිසුන්ට දේශනා  පවත්වන  ලෙසද එම  ආයතනය   රනිල්ගෙන්  ඉල්ලා  තිබුණි.  එහි  මසක්  ගත  කොට  ආපසු   පැමිණි  රනිල් එහිදී  ලැබූ  එක් අත් දැකීමක් විස්තර  කළේ  මෙසේය.

" මගේදේශන වලට සවන් දුන් සිසුන් අතරෙන් එක් සිසුවියක් " ඔබට  ඔය  තරම් හොඳට ඉංග්‍රීසි  කතා  කරන්නට  හැකි වුයේ කෙසේද ? යැයි ඇසු  විට  මා  කීවේ   ලංකාවේ  තිබෙන  නිදහස්  අධ්‍යාපනට පින් සිදුවන්නට   මට  ඉංග්‍රීසි  කතා  කිරීමට   හැකි  බවයි ."

රනිල් කිව්වේ  අමු  පචයක් බව අමුතුවෙන්  කියන්නට  ඕනෑ  නැත. ඉස්කෝලේ  අවුරුදු 13 ක් සහ සරසවිවල අවුරුදු ගණනක්  ඉගෙන  ගෙන එන   95%කටත් ඉංග්‍රීසි  බැරි  බව අධ්‍යාපනය  ගැන  උනන්දුවක් දක්වන  අය  දනිති.

මෙසේ  වී  තිබෙන්නේ  මන්දැයි  කතා  කිරීම  මේ  ලිපියේ   අරමුණයි

 

ඉංග්‍රීසි  ඉගැන්වීම   සඳහා සැම  ආණ්ඩුවක්  වගේම  මහත් ධනස්කන්ධයක් වියදම්  කර  තිබේ. ලක්ෂ කෝටි   ගණනින් ඉංග්‍රීසි  පෙළපොත මුද්‍රනය කොට සිසුන් අතර  බෙදා  දීමට  කෝටි  ගණනින් වැය  කළා   පමණක්  නොව ඉංග්‍රීසි  ගුරුවරුන්  පුහුණු කිරීමටද ගුරු   වැටුප්  ගෙවීමටද    තවත්  කෝටි  දහස්   ගණනක් පසු  ගිය  අවුරුදු 20 , 30  තුළ   පමණක්  ආණ්ඩු  විසින් වැය  කර  තිබේ.එපමණක්  නොව ඉංග්‍රීසි  ඉගනීමට  ආධාර  වන  ව්‍යාපෘති වෙනුවෙන් තවත්  කෝටි  ගණනක් ආයෝජනය  කර  තිබේ.. චන්ද්‍රිකා  බණ්ඩාරනායක  මහත්මිය ජනාධිපති  සමයේ LIGHT HOUSE SCHOOLS නමැති ව්‍යාපෘතියක්  මගින්  ලංකාවේ  සෑම  අධ්‍යාපන  කලාපයකම එක්  පාසලක්  LIGHT HOUSE පාසලක්  ලෙස  නම් කොට ඉංග්‍රීසි ඉගැන්වීමට අවශ්‍ය නවීන  උපකරණ ලබා දුන්  අතර  අති විශාල මුදලක්  ඒ  සඳහා වැය  කරනු  ලැබීය. එම  පාසල  මගින්  අවට  පාසල් වල  සිසුන්ටද ඉංග්‍රීසි  ඉගනීමට උපකාරීවන වැඩ  සටහන්  ක්‍රියාත්මක  කරවීම එකී ව්‍යාපෘතියේ  අරමුණ  විය.


මහින්ද  රාජපක්ෂ  මහතා බලයට  පැමිණි  විගසම LIGHT HOUSE ව්‍යාපෘතිය  අහෝසි  කරනු  ලැබීය. ඒ  වෙනුවට English as a life skill  යනුවෙන්   නව  ව්‍යාපෘතියක්  හඳුන්වා දෙනු  ලැබීය. ජීවන  කුසලතාවක් ලෙස  ඉංග්රීසි  බස සිසුන්ට  හුරු  කරවීම  එහි ප්‍රධාන අරමුණ  විය. ඒ  සඳහා ද  අති විශාල  ධනස්කන්ධයක් රාජපක්ෂ  ආණ්ඩුව වැය කරනු  ලැබිණ.   එම  ව්‍යාපෘතිය  යටතේ  ලංකාවේ  සියලුම  ඉංග්‍රීසි  ගුරුවරුන්ට ඉංග්‍රීසි  කථනය  සිසුන්ට  ඉගැන්වීම  පිලිබඳ  දින  10ක   පුහුණුවක්  ලැබ  දෙනු  ලැබීය . දැන් ඒ  ව්‍යාපෘතිය  අවසන්ය . එය  සාර්ථක  වුයේ  නම් ඉංග්‍රීසි  කතා  කරන  පාසල් සිසුන්   ලක්ෂ  ගණනක් මේ  වන  විට  බිහිවී  තිබිය  යුතුය.. එහෙත් එවන්නක්  ගැන  ආරංචියක්  නම්  නැත. පාසල්වල   පමණක්  නොව සරසවි සිසුන්ට ඉංග්‍රීසි  ඉගැන්වීම  සඳහාද  සියලු  ආණ්ඩු  කෝටි  ගණනින් වැය  කර  තිබේ. එහෙත් කටුක  සත්‍යය   නම් පාසලෙන් සහ  සරසවියෙන්  පිටවෙන  සාතිශය  බහුතරයකගේ  ඉංග්‍රීසි  දැනුම  ඉතා  දුර්වල  බවය.


මෙය මෙසේ  වී  තිබෙන්නේ  ඇයි? එයට ඇති  විසඳුම්  මොනවාද? 


අධ්‍යාපන  ශේෂ්ත්‍රයේ බොහෝ  කලක් සිටි මා , මේ සම්බන්ධයෙන් නිගමන  කීපයකට එළඹ  සිටිමි. ඒවා මා   මෙහි  ලියන්නේ  ඔබ  සමග ඒවා බෙදා  හදා   ගැනීම  තුලින්  කතිකාවක් ඇති  කර  ගැනීමටය. .


කිසිවෙකු   යමක්   ඉගනගන්නේ එය  ඉගනීමට පෙළඹවීමක් තිබේ නම්  පමණි.  විශේෂයෙන්ම  පාසල්  සිසුන් ඉගන  ගන්නේ  යමක් ඉගනීමට ඔවුන්  තුළ පෙළඹීමක්  කළ  කල්හී  පමණකි .  බොහෝ  ළමුන්  පාසල්  යන්නේ  ඉගනීමට  තිබෙන  ආශාව  නිසා  නොව  දෙමාපියන්ගේ  බලකිරීමටය. එදිනෙදා  අභියෝග  ජය  ගැනීමට  ඉංග්‍රීසි  අවශ්‍ය  නොවන  කල්හි සිසුන්  නොව  වැඩිහිටියෙකු වුවද    ඉංග්‍රීසි  ඉගැනීමට  පෙළඹෙන්නේ  නැත.  කොරියාවේ  රැකියා කිරීමට   කොරියානු  භාෂාව යම්  පමණකින් දෑන  සිටීම  අනිවාර්ය  කර  ඇති  බැවින් ලංකාවවේ  තරුණයෝ කොරියන්  බස  ඉගනීමට  දක්වන පුදුම  සහගත  උනන්දුව  උදාහරණයක්  ලෙස  මෙහි  සඳහන් කිරීමට  කැමැත්තෙමි. සා.පෙළ  විභාගයෙන් ගණිත  විෂයට  සම්මානයක්  නොමැතිව  උසස්  පෙළ  විභාගයට  පෙනී  සිටීමට  අවසර  නොමැති  බව  දන්නා  බැවින් ගණිත  විෂය  ඉගනීමට  සිසුන්  මහත් උනන්දුවක්  දක්වන  බව කවුරුත් වාගේ  දන්නා  කාරණාවකි. එබැවින්  කෙටියෙන්  කියතොත්  මගේ  එක්  යෝජනාවක්  වන්නේ  උසස් පෙළ  විභාගයට  පෙනී සිටීම  සඳහා  සාමාන්‍ය   පෙළ  විභාගයේදී  ඉංග්‍රීසි  විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් තිබීම  අනිවාර්ය  කළ යුතුය  යන්නය.එය  තව දුරටත් ඉදිරියට  ගෙන  යමින්  සරසවි අධ්‍යාපනයට  සුදුසුකම්  ලැබීම  සඳහා  උසස්  පෙළ  විභාගයේදී ඉංග්‍රීසි  විෂයට ( General English) අවම වශයෙන් සාමාන්‍ය  සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය  කළ යුතුය. දුෂ්කර  පාසල්වල  ඉංග්‍රීසි  ගුරු  හිඟයක්  තිබියදී මෙවැනි  කොන්දේසියක්  පැනවීම වැරදි  යැයි  ඇතැමෙකු  කියනු  ඇත. එහෙත් ගුරු  හිඟය  තිබෙන්නේ ඉංග්‍රීසි විෂයට    පමණක් නොවේ. ගණිත  ගුරුවරුද  ඇතැම්  දුෂ්කර  පාසල්වල  නොමැත.


මගේ දෙවෙනි  යෝජනාව පාසල් කාල සටහනේ කළ යුතු වෙනස් කම් සම්බන්ධයෙනි.බොහෝ  පාසල්වල  පන්ති  කාමරවල සිසුන් 20-40   අතර  සංක්‍යාවක්  සිටිති .එක් කාල පරිච්චේදයකට වෙන් කර තිබෙන්නේ විනාඩි 40කි. සිසුන්  40ක්  සිටින්නේ  නම් එක් සිසුවෙකු වෙනුවෙන්  ගුරුවරයාට අවධානය යොමු කළ හැක්කේ  විනාඩි  එකක් පමණි. සිසුන් 20 ක් සිටින  පන්තියක විනාඩි දෙකක් පමණි. උගන්නවා  තබා  සිසුන්ගේ  ලිඛිත අභ්‍යාස  බැලීමටවත් ගුරුවරයාට  මේ  කාලය  ප්‍රමාණවත්  නොවේ. මෙවැනි  පසුබිමක විශ්මය  ජනක  කරුණ  වන්නේ කිසියම් සිසුවෙකු ඉංග්‍රීසි  ඉගන  ගතහොත්ය. අනිකුත්  විෂයන්  මව්  බසින් ඉගැන්වෙන  බැවින් විනාඩි 40ක්  තුලදී  ඉංග්‍රීසි  ගුරුවරයාට වඩා  සාර්ථක  ප්‍රතිඵල  ඔවුන්ට ලබා  දීමට හැකිය. එහෙත් ඉංග්‍රීසි  නැතත්   විශ්ව  විද්‍යාල උපාධියක්  ලබා   ගැනීමට  හැකි  බව දන්නා  සිසුන්ට  විනාඩි 40 ක්  තුළ ඉංග්‍රීසි  ඉගෙනීමට  පෙළඹ වීම එවරට් කන්ද  නැගීමට  කෙනෙකු  පොළඹවා  ගැනීමට   තරම්ම  දුෂ්කර  බව කීම සාධාරණය .


එබැවින්  මගේ  දෙවෙනි  යෝජනාව වන්නේ 9 ශ්‍රේණියේ  සිට  ඉහල  සිසුන්ට දිනකට  පැය  දෙක  බැගින් සතියකට  පැය 6ක් වත්   ඉංග්‍රීසි  බස  ඉගැනීමට හැකි  වන  පරිදි පාසල්  කාල  සටහන් නැවත  සකස්  කළ  යුතුය  යන්නය. එහිදී ප්‍රයෝගික  දුෂ්කරතා  තිබිය  හැක. එහෙත් ඒවා ජය  ගත  හැකිය.


ඉහත  යෝජනා දෙකම   ක්‍රියාත්මක  කළද පාසල්  සිසුන්ට  ඉංග්‍රීසි  කතා  කිරීමේ  කුසලතාවය  ඇති වන්නේ  නැත. එයට  හේතුව  නම්  පාසල්  සිසුන්  පෙනී සිටින  විභාග  වලදී  ඔවුන්ගේ  ඉංග්‍රීසි  කථනය පරීක්ෂා කරන්නේ  නැති  බැවිනි.  සාමාන්‍ය  පෙළ විභාගයේදී   සහ  උසස්  පෙළ විභාගයේදී  අපේක්ෂකයන්ගේ   ඉංග්‍රීසි  කථන  හැකියාව  පරීක්ෂා කොට ඒ  සඳහා ලකුණු  දීමේ  ක්‍රමයක්  හඳුන්වා දීමෙන් මෙම  ගැටලුව  ජය  ගැනීමට  හැක. ඉංග්‍රීසි  කථන හැකියාව විභාග වලදී  පරීක්ෂා  නොකෙරෙන  බැවින්  ගුරුවරුන්ද  සිසුන්  තුළ  ඉංග්‍රීසි  කථන  කුසලතාවය  ඇති  කිරීමට  උනන්දු  වන්නේ  නැත. එබැවින් ඔවුහු  සිසුන්ට  ඉංග්‍රීසි  උගන්වන්නේ  සිංහලෙනි. මෙහි  ප්‍රතිඵලය  වී ඇත්තේ ඉංග්‍රීසි  බසට A  සාමාර්ථයක් ලබන  අතලොස්සක්  සිසුන්ටද ඉංග්‍රීසි බස  හැසිරවීමට  නොහැකි වීමය. 


ලක්ෂ  ගණනක් සිසුන්ගේ  ඉංග්‍රීසි  කථන  හැකියාව  පරීක්ෂා  කිරීම  පහසු  කරුණක්  නොවේ. ඒ  සඳහා   අති  විශාල මුදල්  කන්දරාවක්   වැය  කිරීමට  සිදුවෙන  බැවින්   කිසිදු  ආණ්ඩුවක් මේ  සම්බන්ධයෙන්  උනන්දුවක්  දක්වා  නැත. මුදල් වියදම් වුවද  මෙය අත්‍යවශ්‍ය  දෙයකි. එසේ  නොවුන  හොත් අපේ  රටේ  සිසුන්ට  ඉංග්‍රීසි  කතා  කිරීමේ හැකියාව  ලබා   ගන්නට  පුළුවන්  වන්නේ  නැත. 


පාසල් අධ්‍යාපනය  අවසන්  කරන   සිසුන්  අතරින්  දස  දහස්   ගණනක් සිසුන්  ඊ ලඟට  යන්නේ  පඳුරක්  පඳුරක්  ගානේ  සිටින  'ඉස්පෝකන් ඉංග්ලිෂ් ' සර්ලා   හමුවීමටය. දහස්  ගණන් සිසුන් ශාලාවල්  තුල ගාල්   කොට  ගෙන තුන්  මාසෙන්   හය  මාසෙන් ඉංග්‍රීසි  කතා  කිරීමට උගන්වන  බව  ඔවුන්  කියති. ගුරු  පඬුරුද නොමඳව අය  කරති .එහෙත්  ඉගෙන  ගත්   අයෙකු  ගැන  නම් දැන්  ගන්නට  නැත.

 

විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්

මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අය...