Sunday, June 26, 2016

විජේවීරගේ ආණ්ඩුවක් ආවානම් හොඳය.

 

 

දවස  මතක  නැත. එහෙත් අවුරුද්ද  ක්‍රිස්තු වර්ෂ  1989 යි වෙලාව  දහවල් දෙකට  විතර  ඇත.. හමුදා ජීප් රථයක්  පැමිණ අපගේ  හන්දියේ  නැවත්තුවේය. හමුදා භටය න්  කීප දෙනෙකු තුවක්කු අමෝරාගෙන  එලියට  පැන  වට  පිට  සෝදිසියෙන් බැලු  නමුත් සැක  සහිත  දෙයක් ඇස ගැටුනේ නැත. ඔවුන්ගේ හිත  තරමක් සැහැල්ලු  වුනා  විය  හැක.ජීවිතයට  තර්ජනයක්  නැති  බැවින් පාර  අයිනේ  තිබු  ගසකින්  කුරුම්බා  බොමු යි එක්  භටයෙකු  යෝජනා  කළේය. ගස්  නගින්නේ  කවුදැයි ඇසු  කෙනෙක්  නැත. කුරුම්බා වල්ලක් දෙසට තුවක්කුව  මෑණු  භටයෙකු  කොකා ගැස්සුවේය. කුරුබ්බා  ගෙඩි  හත  අටක් කඩා වැටුණු  අතර ඒවා අහුලා  ජීප්  රියට දාගත්  ඔවුහු යන්නට  ගියහ.


*     *      *     *      *     *      *       *     *     *      *     *      *    *     *      *      *      *         *       *

දින  මතක  නැත .අවුරුද්ද 2007 ය.  ප්‍රදේශය  පුදුකුඩුඅරිප්පුවය  .සටනකට  ගිය යුධ  භටයෝ සටන  නිම කොට  ආපසු එමින් සිටියහ .ඉතිරිවී තිබුණු උණ්ඩ සහ බෝම්බ වෙහෙස   නිසා  ඔසොවා  ගෙන ඒමට බැරි  තරමට  බරය.  ප්‍රශ්නයට  විසඳුමක් සොයා  ගත්හ. පාලු  ලිං පතුලට ඒවා  හලනු  ලැබිණ.

*   *     *    *     *     *      *         *        *        *        *       *        *       *       *        *         *       *      *

මගේ  මිත්‍රයෙකු  පසු  ගියදා  පාසලකට  ගියේ  විදුහල්පතිගේ   ඉල්ලීමට  අනුවය.  කාර්යාලයේ තැන  තැන  පරිගණක  දහයක්  පමණ විසිකර  දමා  තිබිණ. ඒ  ගැන  මගේ  මිතුරා විමසු  විට  විදුහල්පති  කීවේ  ඒවා  අබලන් වී තිබෙන බවය. පරිගණක ශිල්පය  ඉගැන්වීමට  උපාධි ධාරි  ගුරුවරියක්  සිටින  අතර ඇය දැන් උගන්වන්නේ  ලැප්ටොප් එකක්  මගිනි.  විසිකර තිබු  පරිගණකයක්  පරීක්ෂා  කර  බැලු මගේ  මිතුරා විනාඩි 10ක්  තුලදී එය  යථා  තත්වයට  පත්  කළේය. පරි  ගණක  ගුරුවරියගෙන්  විමසු විට  ඇය  කිවේ  කැඩුණු ඒවා  හදන්නට  ඇය  නොදන්නා  බවය.

*    *      *       *      *    *      *        *       *       *         *        *         *          *         *        *        *

 රජයේ  සේවයේ  යෙදී  සිටින කාලයේ  මා සේවය  කළ  අධ්‍යාපන  කලාපයේ  ගුරුවරුන්ට  සහ  සිසුන්ට  ප්‍රයෝජන  ගැනීම  සඳහා   ඉංග්‍රීසි  භාෂා   මධ්‍යස්ථානයක්  ආරම්භ  කළෙමි .දම්රෝ  ආයතනයෙන් මනස්කාන්ත  මේස  සහ  පුටුද ලේක් හවුස් පොත්  හලෙන්  ඉංග්‍රීසි  පොත් දහස්  ගණනක්ද , පරිගණක කීපයක්ද  චායා  පිටපත්  යන්ත්‍රයක්ද  තවත්  ඉගැනුම් උපකරණ  ගණනාවක්ද  මිල  දී ගනු  ලැබිණ . වසර  තුන  හතරක්  එම සම්පත් යොදාගනිමින්   ගුරුවරුන්ගේද , සිසුන්ගේද ප්‍රයෝජනය සඳහා  වැඩ  සටහන් රැසක්  ක්‍රියාත්මක  කරනු  ලැබිණ.

මෑතකදී එහි  ක්‍රියාකාරිත්වය   පිළිබඳව  සොයා  බැලු  විට  දෑන  ගන්නට  ලැබුනේ  එහි  සම්පත් වර්ෂාවෙන්ද  මීයන්ගෙන්ද  විනාශ  වෙමින් පවතින  බවය.

*        *         *          *           *           *          *            *            *            *          *          *          *    

ස්ථානය  කළුතර දිස්ත්රික්කයේ  ප්‍රාදේශීය  කාර්යාලයකි. දිනයක් අවුරුද්දක් සඳහන් කළ යුතු  නැත.හේතුව  නිරන්තරයෙන් මේ සිද්ධීන් දැකිය  හැකි  නිසාය. උදේ  සහ දිවා  ආහාර  ගත් පසු  කාර්යාලයේ  නෝනලා  සහ  මහත්තරු  අත  පිස  දමන්නේ  අලුත්  හාෆ් ශීට් කොලවලය. ඒවා නොමැති වූ  විට අලුත්  චායා   පිටපත් කොළ භාවිතා  කරති . තේ  වෙලාවට ගෙනෙන වඩේ, රෝල්  ආදී දෑ  වාඩි  කරවන්නේ   අලුත්  හාෆ්  ශීට් කොළ  මතය .ඇතැම් දිනක සිකුරාදා සිට සඳුදා වන තුරුම  විදුලි පංකා කර කැවේ.  විදුලි  ලාම්පු ද  එසේමය.පරිගණක , චායා  පිටපත්  යන්තර නොකඩවා දින  ගණන්  විදුලිය  සහ සම්බන්ද කර  තිබේ. අකුණු  ගසා විනාශ වුවත් වග කීම  බාර ගන්නට  කෙනෙක්  නැත.

*            *              *                   *                   *                   *                    *                 *                 *

දින කීපයකට  පෙර කෝප් කමිටුවේ  කට්ටිය  කැලණියේ  තිබෙන  අවුෂධ ගබඩාවක්  බැලීමට  ගියහ. කල්  ඉකුත් වූ සහ  කල් ඉකුත් වීමට ආසන්න අවුෂධ   අති   විශාල  ප්‍රමාණයක් එහි  තිබිණ. කෝප්  කමිටුවට  අනුව ඒවායේ   වටිනාකම රුපියල්  කෝටි  100  කට  අධිකය.  රාජිතද  කීවේ විනාශ  කිරීමට  තිබෙන  බෙහෙත් තබන්නේ එම  ගබඩාවේ  බවය.

*            *                 *             *            *              *               *             *                 *                    *

යුද්ධ  කාලයේ  ගෙන්වූ  අවි  ආයුධ සහ  උණ්ඩ  වසර  ගණනාවක් තිස්සේ  වැඩක්  නොගෙන  පල් වෙමින්  තිබෙන අතර  ඒවායින් විශාල ප්‍රමාණයක්  මිලදී  ගනු  ලැබුවේ  චීනයේ නොරින්කෝ සමාගමෙන් ය.ගබඩා  වල පල්වන එම  අවි සහ උණ්ඩ  ආපසු  නොරින්කෝ  සමාගමට  විකිණීම  සඳහා  ඇමති  මණ්ඩලය අනුමැතිය  ඉකුත් අප්‍රියෙල්  මාසයේ  දුන්  නමුත් ඒවා  ආපසු මිලදී  ගැනීමට එම  සමගම අකමැති  බව ස්ථිර  නොකළ  ආරංචි  මාර්ග වලින්  දැන  ගන්නට   තිබේ.. එයට  හේ තුව  වී  තිබෙන්නේ අනාරක්ෂිත  ලෙස ඒවා ගබඩා  කිරීම බව  කියවේ. මේවායේ  වටිනාකම  හෙළිවී  නැතත් කෝටි සිය  දහස්  ගණනක්  බවට අනුමාන  කිරීම  අසාධාරණ  නැත. 

 ගින්නට   බිලිවූ  කොස්ගම  ශාලාව  කඳවුරේ අවි  ආයුධ වල  වටිනාකම   කොපමණදැයි අපි දන්නේ  නැත. කෙසේ  වෙතත් පැය 36  කට අධික  කාලයක්  තිස්සේ  පුපුරන්නට දේවල් එහි  තිබිණ.ඒවායේ  වටිනාකම  කෝටි  දෙතුන්  සිය  ගානක් විය  යුතු  යැයි  හිතා ගත්තට වැරද්දක්  නැත.

*            *              *                 *                    *                   *                 *                   *                  *

ඔය  මා   ලිව්වේ  රාජ්‍ය  සේවයේ  ස්ථාන  කීපයක   පමණක්  සේවය  කරන  නෝනලා  සහ  මහත්තුරු  අපගේ සල්ලි  මකර  කටට යවන හැටිය. එය ඔය  කිව්  ස්ථානවලට  පමණක්  සීමා  නොවන  බව අමුතුවෙන්  ඇඟිල්ලෙන් ඇන කියන්නට  ඕනැ  නැත  පාසල් 10000ක් ,රජයේ  කාර්යාල ඊටත් වැඩියෙන්ද   රට පුරා විසිරී තිබේ. ඔවායින් 50 % ක රජයේ  දේපොළ විනාශ  කරමින්   සහ විනාශ  වෙමින්  පවතින බවට අනුමාන කිරීම සාධාරණය.   ජනාධිපති  කාර්යාලයට වසර කීපයකට  පෙර   මිලදී  ගත්  වාහන අව්වට  වැස්සට  තෙමෙමින් දිරා පත් වන   හැටි පෙන්වන  චායාරුපද  පසු  ගිය  කාලයේ    පළවිය. නැව් නොඑන වාරයක්ද   ගුවන්  යාන  නොඑන  ගුවන් තොටුපලක්ද   හදන්නට  කෝටි  දස  දහස්  ගණනක්   නාස්ති  කළ   රටක   කාර්යාල  සේවකයෝ  හාෆ්  ශීට් එකෙන් අත  පිසදා  ගැනීම මොන  කෙන් ගෙඩියක්  දැයි ඇතැමෙකුට  සිතෙන්නට  පුළුවන. එහෙත්  එම  ස්ථානවල එදා සිට අදත් එමෙන්ම  ඉදිරියටත් නාස්ති   කරන්නේ ආණ්ඩු  අපෙන්  හුරා  කන සල්ලිය. එය  සුළු පටු කොට  සැලකිය  නොහැක.

 ඉවරයක් නැති මේ විනාසය දකින  විට  හිතෙන්නේ  ප්‍රභාකරන්ගේ  හෝ විජේවීරගේ  ආණ්ඩුවක්   ආවා   නම්  හොඳ  කියාය.

එසේ  වූවා නම් රටේ ධනය විනාශ  කරන රාජ්‍ය සේවකයන්  කාර්යාලවලින් එලියට ගෙන තාප්ප වලට තබා වෙඩි  තබනවාට  සැකයක්  නැත. 

මහින්දලා  නම්  කෙසේ හෝ ශේප්  එකක් දමා  ගැනීමට  ඉඩ  තිබේ .  එසේ  බැරි  වුවහොත්  උගන්ඩාවට  යාමට  වත්  පොටක්  පාදා  ගනු  ඇත.

Sunday, June 19, 2016

සෝමවංස මැරුණේ නැත.

  

සෝමවංස අමරසිංහ මහතාගේ  අවමගුල් උත්සවයට  දේශප්‍රේමින්   සියල්ලම  පාහේ  සහභාගී වුහ .ජනතා  විමුක්ති පෙරමුණේ දේශප්‍රේමින්ද  විමල් වීරවංස   දේශප්‍රේමින්ද   පෙරටුගාමී  දේශප්‍රේමින්ද  ,  පොදු විපක්ෂයේ දේශප්‍රේමින්ද   පැමිණ  සිටියහ.  අවමගුල් උළෙලේ   ප්‍රධාන  වගකීම්  දැරුවේ ජනතා සේවක  පක්ෂයේ   දේශප්‍රේමින්ය .පෙට්ටිය මත එලූ රතු පාට රෙද්ද වසා  ජාතික  කොඩිය  කියා පරසිද්ධ  සිංහ  කොඩිය  ඇතිරුවේ  ගුණදාස අමරසේකර දේශප්‍රේමියාය.  ගුණදාසට ඒ වැඩේ කිරීමට සපෝර්ට් කළේ  ජවිපෙන්  අස්වී  මහින්ද ගාවට  ගොස් ටික  දවසක්  ඉඳ එතනින් චුතවී රනිල්  අසලින්  ප්රාතුර්භුතවූ නන්දන  ගුණතිලක දේශප්‍රේමීයාය.   අවමගුල්  උළෙලේදී   දේශනයක්  කළ  දේශප්‍රේමී ඇල්ලේ  ගුණවංස    මෙවැනි  රණ හංසයන්  තව දුරටත්  බිහි  කරන ලෙස  දේශප්‍රේමී ජවිපෙන් ඉල්ලා    සිටියේය.  පෙරටුගාමී  පක්ෂයේ දේශ ප්‍රේමියෙකුට  කතාවක්  පැවැත්වීමට  අවමගුල්  කමිටුව  ඉඩදුන් නමුත් . ජවිපෙට දේශප්‍රේමී  කතාවක්  පැවැත්වීමට  ඉඩ  දුන්නේ නැත.  එය  නම්  දේශප්‍රේමී  වැඩක්  නොවේ . එහෙත් ඒ   පිළිබඳව  මගේ  මිතුරෙකු නම්  කීවේ  ජවිපෙට  කතාවක් දුන්නේ  නම් සෝමවංස  මහතා මිනීපෙට්ටියෙන්  නැගිට  අනුර  කුමාරගේ  හොම්බට  අනිනු  ඇතැයි   සංවිධායක කමිටුව  බිය  වන්නට ඇත  කියාය.   

      

මට ඇති එකම ප්‍රශ්නය ඥානසාර දේශප්‍රේමියා  නොපැමිණියේ  මන්ද  යන්නය.


 සෝමවංස මහතා  සමග  එකට හිරබත්  කෑ  , 1980 දක්වා  ජවිපෙ     නායකයන් වූ  ලයනල් බෝපගේ ,කෙලී  සේනානායක ආදීන් නම් නොපැමිනෙන්නට ඇත්තේ  හිරිකිත  නිසා  වෙන්නට  ඇත.

 

සෝමවංස  මහතාගේ  අවමගුලෙන් ඔප්පු  වූ  කාරණාවක්  තිබේ. එනම් සෝමවංස,  වීරවංස ,ගුනරත්නම් ,    ගුණවංස , ගුණදාස ,   සහ ටිල්වින් එක  වල්ලේ  පොල්  බවත්     උතුරේ  හා  නැගෙනහිර  ජීවත්වන දෙමලුන්ගේ   ප්‍රශ්නය  සම්බන්දයෙන් එකම  ස්ථාවරයක් දරන  බවත්ය.

 

එම  කාරණාව  සම්බන්ධයෙන්  ඔවුන්  අතර ලොකු  වෙනස්  කම් තිබේ  නම්  සෝමවංස  මහතාව  අගයමින්  කතා  පවත්තන්නේ  නැත . ඔහු  අගයමින් ගුණ වරුණා සහිත  ප්‍රකාශ  නිකුත්  කරන්නේ  නැත. ඔහුගේ මෘත   කලේබරය සහිත  පෙට්ටිය  උඩ දැමු  රතු  රෙද්ද   සිංහ  කොඩියෙන්   වසන්නට  ඉඩ  දෙන්නේ  නැත.

  ඉහත  කී  කට්ටිය කැඩී  ගියේ විසඳා  ගන්නට  බැරි  මහා ලොකු  න්‍යායික ප්‍රස්න  නිසා නොවේ. සමාජවාදී  මාවත  පිලිබඳ  ආරවුල්  නිසා  නොවේ. ෆෙඩරල් ප්‍රස්නයක්  නිසා නොවේ. දේශප්‍රේමී  ආරවුලක්  නිසා නොවේ.  87-89  කාලයේදී   තමන්  නිරායුධ   මිනිසුන් ඝාතනය  කිරීම  සම්බන්ධයෙන්  ඇතිවූ  හැප්පිල්ලක් නොවේ. තමන්ගේම  එවුන්  මරා   දැමීම  වැරදි  යැයි  ඔවුන්ගෙන්  කවුරු   හෝ  කියා  ගෝරියක් කාරිය ඇදුනු   නිසා  නොවේ.


 සිල්ලර   පහේ  ආරවුල්  නිසාය.


උතුරේ  මිනිස්සුන්ට ආත්ම ගවුරුවයක් ඇතිව  ජීවත්  විය  හැකි විසඳුමක් දෙනවාට මේ  සියල්ලෝම  එක  පයින් විරුද්ධය. ජවිපෙට  අනුව  නම් සමාජවාදය ඇවිත් සමාන  අයිතිවාසිකම්   දෙන  තුරු  දෙමළුන්   කට  ඇරගෙන   සිටිය  යුතුය.

 

ඒ  අතින්  බැලු  විට  මෛත්රීත්  රනිලුත්  දේශප්‍රේමී සමාගමට වඩා  සමාජවාදීය. උතුරේ  ප්‍රශ්නය  දෙස ඔවුන් අඩු  වසයෙන්  සානුකම්පික  ලෙස  හෝ  බලන  බවක් පෙනේ. නව  ව්‍යවස්ථාව  යටතේ මෙයට විසඳුමක් සොයා  ගත  යුතුයැයි   යන  අදහස  හෝ  තිබේ.

 

 නව  ආණ්ඩු  ක්‍රම  ව්‍යවස්ථාවෙන්  දෙමළුන්ට යම්  ප්‍රමාණයක  හෝ   බලතල  දී  නැවත  යුද්ධයක්   ඇතිවීම  වැලක්වීමට   පියවර  ගැනීමට   සුදානම් වුවහොත්  ඉහත  සඳහන් සියලුම දේශප්‍රේමින්  ඒකාබද්ධ  සමාගමක්  පිහිටුවා  එහි සභාපති  කමට  දේශප්‍රේමී   මහින්ද  හෝ  ගෝටා පත්  කර  ගනු  බවට  සැකයක්  නැත 

ඥානසාරටද  , ඉත්තෑකන්දේ උන්නාන්සේටද, බෙන්ගමුවේටද  එම සමාගමේ  කොටස් නොමිලේම දෙනු  ඇත.


 වාසුදේවත්  කොටස්  ඉල්ලන  බවට  සැකයක් නැත.

   

නැවතත්  උතුරේ  ප්‍රභාකරන්ලා  සිය දහස් ගණනක් බිහිවී  ලක්ෂ  ගණනින්  රටපුරා මිනිසුන් මියයාම  වැලැක්වීම සඳහා උතුරේ එවුන්ට  බලතල ටිකක් දෙන්නයි කියන , ලියන  දකුණේ  දේශද්‍රෝහීන්  පරලොව  යැවීම  සඳහා ගල්කටස්  හමුදාවක්   පිහිටුවීමටද  ඉඩ  තිබේ.


එබැවින්  සෝමවංස අමරසිංහ  මහතා   මිය ගියේ  නැත. ගල් කටස් අතට  ගැනීමට සුදානම් සෝමවංසලා  කුණු  බක්කි වල  සහ   ගඳ  ගසන  කාණු  වල වැතිරී   සිටිති.

 

Thursday, June 16, 2016

මහින්ද මැති තුමණි ! ඔබට ආයුබෝවන් !

 

 

මහින්ද  රාජපක්ෂ  මහතා ඇති දක්ෂයෙකි.  සියලු  කැපිලි  කෙටිලි  ඉවසාගෙන 2005 මැතිවරණය  දක්වා  ඒමට  ඔහු දක්ෂ  විය. 2005  මැතිවරණයේදී පරාජය අබියස  සිටි  ඔහු ,  දිනුවේ  ඔහුගේ  හීන් නුල් සුත්තර   නිසාය. තමන්ට   නොලැබෙන්නට  තිබු  චන්ද  ලබා    ගැනීමටත්,   රනිල්ට  පාවිච්චි වීමට  තිබු චන්ද  වැලක්වීමටත්  ඔහු කටයුතු  නොකළේ  නම් දිනන්නේ  මහින්ද  නොව   රනිල්ය.


ජනාධිපති වූ  පසු   UNP මන්ත්‍රීවරු  තමන්ගේ  පැත්තට  හරවා  ගැනීම  ඔහුගේ  තවත් දක්ෂතාවයක්  බව  කිව  යුතුය. එතනින්  නොනැවතුණු  මහින්ද සිංහල පත්තරද ඔහුට  ඕනෑ  පරිදි  කීකරු  කර  ගත්තේය. ඔහුට  විරුද්ධ  අය  හොඳින්  තම පැත්තට  හරවා  ගැනීමට  නොහැකි වුවිට ඔවුන් මට්ටු  කර  තැබීමට අවශ්‍ය  පියවර  ඔහු  ගත්තේය.

 

ඉන්දියාවේ  සහය  නොමැතිව  යුද්ධය  කළ   නොහැකි බව දැන  සිටි මහින්ද ඉන්දියාවෙ  සහය  ලබා  ගැනීම සඳහා ඉන්දියානු  ආණ්ඩුවටද  බෝලයක් බැස්සුවේය. එම  බෝලය  වෙන එකක් නොව 13+ය. සරත් ෆොන්සේකා ඇතුළු හමුදා  නායකයන්ගේ   යුද්ධ උපක්‍රම  නිසාත්  , ඇති පදම් මුදල් යුද්ධයට වියදම් කිරීම  නිසාත්   ,සිවිල් වැසියන්ට ඕන බම්බුවක් වුනාවේ කියා යුද්ධය කිරීමට  අවසර  දීම  නිසාත්, ප්‍රභාකරන්ගේ මාරාන්තික වැරදි  නිසාත්  2009 දී මහින්ද  රාජපක්ෂ  මහතාට  කොටි  සංවිධානය  පරාජය  කිරීමට  හැකි විය.  

 

2010 දී  යලි   චන්දය  දිනා ගැනීමෙන් පසු මහින්ද  කල්පනා  කළේ  ඉදිරි මැතිවරණ  වලදීත් තරඟ  කොට  ජනධිපති  තනතුරේ  සිටීමටය. ඒ  සඳහා  ඔහු  බොහෝ දේ  කළේය.

 

2017  මැතිවරණය 2015   පැවැත්තුවේ  2017 වන  විට  ඔහුට  අවාසි වෙන  බව  ඔහු  හොඳින්ම  දැන  සිටි  නිසාය. ඔහුගේ  ගණන් බැලිල්ල  හරි  උනත් මෛත්‍රී තමන්ගේ  ප්‍රතිවාදියා වෙතැයි  ඔහු තුන්  හිතකින් වත්   හිතුවේ  නැත.

 

මහින්ද  ලෙහෙසියෙන්  පසු  බසින  මිනිහෙක්  නොවේ. මෛත්‍රී  ජනාධිපති වූ  පසු  ඔහු  යලිත්  සටන  ඇරඹුවේ  ඒ  නිසාය.තමන්  වටා   බලවේගයක් ගොඩ නගා  නොගතහොත්   හිරේ විලංගුවේ වුවද  වැටෙන්නට සිදුවේ දැයි ඔහු අනුමාන කරන්නට ඇත.

 

පසුගිය  සමයේ ඔහු  වටා  සැලකිය  යුතු  බලවේගයක්  ගොඩ  නගා  ගන්නට  මහින්ද   සමත් වීම  නිසා    අරලිය  ගහ මන්දිරයට  වැඩි  දුරක් නැතැයි සිතුවාට  සැක නැත.


එහෙත්  සියල්ල  කන පිට  හැරෙන්නට  පටන් ගත්තේ  ඉකුත්  මැයි දිනයත්  සමගය.  මෛත්‍රීගේ  ගාල්ලේ  මැයි  දිනය අසාර්ථක කිරීම  මගින්  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  අසහාය  නායකයා  ඔහු බව  ඔප්පු  කිරීමට  මහින්දට  උවමනා  විය.

එහෙත්  ගාල්ලේ  මැයි දින රැස්වීම  අතිශයින්  සාර්ථක වීම මහින්ද  පිලේ ගමනක  අවසානයේ ආරම්භය  සනිටුහන් කළ  බව දේශපාලන ශේෂ්ත්‍රයේ නව  වෙනස්  කම්  දෙස විමසිල්ලෙන්  බැලු  විට  පෙනී  යයි. 

 

මෙය  හොඳින්ම අවබෝධ  කර  ගත්තේ  වෙන  කිසිවෙකු  නොව  මහින්ද  සහ  මෛත්‍රීය.  තමන්ගේ  වල  කැපීගෙන එන  බැවින් එය  වලක්වා  ගැනීම  සඳහා   ශ්‍රීලනිපයේ දෙවෙනි  පෙළ  නායකත්වයට ගෝඨාභය   යෝජනා කරන  ලෙස  මහින්ද ජෝන් සෙනෙවිරත්නට  කීවේ   ඒ  නිසාය. රාජපක්ෂ  පවුලේ  අය  සමග  තමන්ගේ  කිසිම  ගනදෙනුවක්  නැතැයි  කියමින්  මෛත්‍රී ජෝන්ගේ  යෝජනාව   ලත්  තැනම   ලොප්  කළේ  ගෝඨාභයට  ඉඩ  දුනහොත් තමන්ගේ  වල  කැපෙන  බව  මෛත්‍රී ඉඳුරාම  දන්නා  නිසාය.

 

අවුරුදු  දෙකක් නොව  අවුරුදු  5ක්ම   හවුල්  ආණ්ඩුව  ගෙන  යාමට  මෛත්‍රී තීරණය  කළේද පක්ෂය  තුළ   තම  බලය  තව  දුරටත්  ශක්තිමත් කර  ගැනීමටත් මහින්ද  පිළ  තව  දුරටත්  දුර්වල   කිරීමටත්ය.

 

තව  දුරටත්  මහින්ද  සමග  සිටීමෙන්  තමන්  දේශපාලන  අනාථයන් බවට පත් වෙන  බව  මහින්ද  පිලේ  සිටින  ඇතැමුන් අවබෝධ  කර  ගනිමින් සිටින  බව  පෙනේ. තොන්ඩමාන් ඇතුළු  පිරිසක්  ආණ්ඩුවට එකතු වන්නට  යාමෙන්  තහවුරැ වන්නේ  එයයි. බලයේ  රස  විඳි  අයට  බලය  නැති විට හැදෙන  පිස්සුව  සනීප  වන්නේ ඇමති  පුටුවක වත් වාඩිවූ  පසුවය .


ඉදිරි   මාස  කීපයක  තුලදී මහින්ද  පිලේ  දෙවන  කණ්ඩායමත්   ආණ්ඩුවට  එකතු  වණු  ඇත. එවැනි   පසු  බිමක්  තුළ  මහින්දට    සිදුවන්නේ  එක්කෝ  මයිත්රීට   එකතු  වීමටය  . නැතහොත් දේශපාලනයෙන් විශ්‍රාම  ගන්නටය.

 

ආයුබෝවන් රාජපක්ෂ  මහතාණනි! දේශපාලනයෙන්  විශ්‍රාම  ගැනීම  ඔබට  තිබෙන  හොඳම  තේරීමය.

 

 


 

 

 

Saturday, June 11, 2016

මහින්දගේ කතාව සහ චන්ද්‍රිකාගේ කතාව

 

 

චන්ද්‍රිකා  බණ්ඩාරනායක  කුමාරතුංගට  විරුද්ධ  කාරයෝ රැසකි. මහින්ද ඇයට කැමති  නැත.වීරවංස  කැමති  නැත. ගම්මන්පිල  කැමති  නැත.හෙළ උරුමය  කැමති  නැත ජවිපෙ  කැමති  නැත. පැවිදි  හඬ  කැමති  නැත.නලින්ද  සිල්වලා  කැමති  නැත. ප්‍රභාකරන්  කැමති වුවේද  නැත. 

වරක් මට ඇය  හමුවිය . ඒ  ජනාධිපති  මන්දිරයේදීය. අධ්‍යාපන  ප්‍රශ්න පිළිබඳව  සාකච්චා  කිරීම සඳහා ගුරුසංගම් වලට  පැමිණෙන්නැයි   ඇය ආරාධනාවක් ඒවා තිබිණ. අපට  එන්නට  කියා  තිබුනේ  දහයටය.අපි  නියමිත  වෙලාවට  ගිය  නමුත් ඇය අපි  හමුවීමට  ආවේ හවස  එකත්  පහු වෙලාය. ඇය  එන  තුරු  බල  සිටි  අතරවාරයේ  එරික්  සෝල්හයිම් උඩ  තට්ටුවේ  සිට  පහලට  බහිනු  දකින්නටද    ලැබිණ.  ජනාධිපති   මන්දිරයේ   රස්තියාදු  වෙමින්  සිටින   අතර  තුර අපට  ෂෝර්ට් ඊට් සංග්‍රහයක්   ලැබුණි.  යන්තමින්  නොවේ. අප්පිරිය  වෙන්නට  තරම්  කන්නටය. අන්තිමට  චන්ද්‍රිකා  ආවේය. රුපවාහිනි  කැමරා  අරගෙන  ඇගේ  මාධ්‍ය  අංශයද  ආ  නමුත්  චන්ද්‍රිකා  ඔවුන්  හරවා  යැව්වාය.

 

ගුරු සංගම් රැසකට  ආරාධනා  කර  තිබු  නිසා   සියලුම  සංගම්  වලට කරුණු  ඉදිරිපත්  කරන්නට අවස්ථාවක් නොලැබෙන  බව  පෙනී  ගිය  බැවින් දෙතුන්  දෙනෙකු  කරුණු  දැක්වීමෙන්  පසු  තවත්  අයෙකුට කට අරින්නට  පෙර මා  ගෙන  ගිය  ගැටළු ඇය  ඉදිරියේ  දිග  ඇරියෙමි. දකුණේ  ගුරුවරුන්ගේ  මෙන්ම  උතුරේ  ගුරුවරුන්ගේ  ප්‍රශ්නද  මා ලංකා  ගුරු සංගමය  වෙනුවෙන්  ඉදිරිපත්  කළෙමි.දෙමල  ගුරු සංගමය පැමිණ  සිටි නමුත් ඔවුන් ප්‍රස්න   දෙක  තුනක්  ඉදිරිපත්  කර නිහඬ විය.( පසුවදා දෙමළ පත්තර වලට  ඔවුන්  කියා  තිබුනේ  මා   ඉදීරිපත්  කළ  දෙමල  ගුරුවරුන්ගේ ප්‍රශ්න ඔවුන්  ඉදිරිපත්  කළ  ලෙසය.) මුරුත්තෙට්ටුවේ  ආනන්ද  හිමිද  ඇවිත්  තිබු  නමුත්  වචනයක්වත්  කතා  කලේ  නැත. පැයකට  පසු  චන්ද්‍රිකා සාකච්චාව  අවසන්  කොට යාමට  නැගිටි විට කුඩා  ගුරු සංගමයක්  නියෝජනය  කළ තරුණ  පහේ  ගුරුවරයෙක් ආවේග  ශීලීව ඇයට  බැන වදින්නට  විය. හිටගෙනම  එම  බැනීමට  සවන්  දුන්  ඇය  යලිත්  සාකච්චාවක්  දෙන  බව  කියමින්  ආපසු  ගියාය.  ෂෝර්ට් ඊට් මේසය වෙත   ගිය  අපි  නැවත වරක් සප්පායම්  වී  ආපසු  ආවෙමු.

 

මේ  ලිපියේ පටන් ගැනීමේදී  මා සඳහන්  කළ  පිරිස්  චන්ද්‍රිකාට  අකමැති වෙනත්  කිසි  හේතුවක්  නිසා නොව  උතුරේ  ප්‍රශ්නයට  විසඳුමක්  ලෙස  බලය  බෙදා හරින්නට  ඇය  කැමති  වූ  නිසාය. 2002 වසරේදී  ඇය  නව  ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාවක් ඉදිරිපත්  කල  අතර ශ්‍රී  ලංකාව   බහු  වාර්ගික,  බහු  භාෂාමය , බහු  ආගමික  එක්සත්  රටක් ලෙස  එහි  සඳහා  කර  තිබිණ.  පළාත් සභා සඳහා (Regional Councils) වැඩි  බල තල ලබා   දීමට ද  යෝජනා  කර  තිබු  අතර  ජනාධිපති   ධුරය  අවසන්  කිරීමටද  ප්‍රතිපාදනද එහි තිබිණ. කෙටියෙන්  කියතොත් ඇගේ  යෝජිත  ව්‍යවස්ථාව පැවති ව්‍යවස්ථාව මෙන්  සිය  ගුණයක්    යහපත් විය . එහෙත් එය  සම්මත  කරන්නට  UNP  ඉඩ  දුන්නේ  නැත. එයට  හේතුව  වුයේ   ජනාධිපති ධුරය  වහාම  අහෝසි  නොකොට ඇගේ  ධුර  කාලය අවසන් වීමෙන් පසු අවසන්  වෙන  අයුරින්  ව්‍යවස්ථාව  ලියා   තිබුණු  නිසාය. චන්ද්‍රිකා  පාර්ලිමේන්තුවට පැමිණ  එය  ඉදිරිපත්  කල  අතර  UNP  මන්ත්‍රීවරු එම ව්‍යවස්තාවේ  පිටපත්  ඉරමින්  කැකෝ  ගසමින් විරෝධය  දැක්වූ අතර  ව්‍යවස්ථාව එතනින්  අවසන්  ගමන් ගියේය.

 

චන්ද්‍රිකා  උතුරට  වැඩි  බලතල දීමට  සුදානම් වීම   ගැන දකුණේ  'ඒකීය ' වාදීන් විරුද්ධ   වුවා  සේම LTTE සංවිධානය  කැමති වුයේද  නැත.බලය බෙදීමෙන්  රට බෙදෙනු  ඇතැයි 'ඒකීය    වාදීන් ඝෝරනාඩු  කළ  අතර  උතුරට  වැඩි  බලතල  දීමෙන් ඊලාම් රාජ්‍යය  පිහිට වීමේ අපේක්ෂාව  අහෝසි වී  යන බව ප්‍රභාකරන් අවබෝධ  කර  ගත්තේය. ඊලමට බාධාවක් වූ  චන්ද්‍රිකා  මරන්නට මරාගෙන  මැරෙන  කෝටි  කෙල්ලෙක් ප්‍රභාකරන්  එව්වේ  ඒ  නිසාය. බෝම්බය පිපිරෙව්වත් ඇසක්  පමණක් අහිමි වී ඇයට  ජීවිතය බේරා  ගැනීමට  හැකි විය.  ඇය  හා එක්වී  නව  ව්‍යවස්ථාවක්  සම්පාදනය කිරීමට මහත් සහයක් දුන්    උගතෙකු වූ ද  මන්ත්‍රීවරයෙකු  වුද  නීලම්  තිරුචෙල්වම්  කොටි විසින්  මරා දමනු  ලැබිණ. එහෙත්  බලය  බෙදීමට  විරුද්ධවූ කිසිවෙකුගේ  මයිල්  ගසකටවත්   හානි  නොකිරීමට  ප්‍රභාකරන්  වග  බලා  ගත්තේය.

 

චන්ද්‍රිකා  දේශපාලනයෙන් හරි   හම්බු  කර  ගත්  ගැහැනියක්  යැයි  මා නොසිතමි.එසේ  වුවා නම් මහින්ද  පස්ස  බලන්නේ  ඇය එල්ලාය . මහින්දගේ  ජාති වාදී  ස්ථාවරයට  චන්ද්‍රිකා  අකමැති වීම  නිසා ඇය  බලයේ  සිටින  කාලයේ ඔහු  සමග  සිටියේ  නොහොඳ  නෝක්කාඩු  කමිනි. දැන් මහින්ද  සමග  සිටින  අය එදා  චන්ද්‍රිකාගේ දෙපා  ලෙව  කැ  අය වෙති.   ජාතිවාදී මඩ  ගොහොරුවෙන් ශ්‍රීලනිපය  ගොඩ  ගැනීමටද  මහත් වෙහෙසක් දැරූ ඇය බලය බෙදා හැරීමෙන් රට බෙදීම වැළක්විය  හැකි  බව  පාක්ෂිකයනට අවබෝධ  කිරීම සඳහා වැඩ  මුළු  රැසක්  රට  පුරා  සංවිධානය  කළ අතර  එම  වැඩ  මුළුවලදී  බලය බෙදීමේ  ආනිසංස ගැන මහා  ඉහලින්  කතා  කළේ  ජී  එල්  පීරිස්ය.  පන තියෙන  තුරු ශ්‍රීලනිපයේ   සභාපති ලෙස ඉන්නා ලෙස  චන්ද්‍රිකාට  යෝජනා  කළේ අද  චන්ද්‍රිකාව  හම  ගහන ශ්‍රී  ලංකා කාරයෝමය.

 

  මහින්ද  බලයට  පැමිණි  විගස චන්ද්‍රිකා වටේ කරකැවෙමින් සිටි ශ්‍රී  ලංකා ලොක්කෝ  මහින්දගේ දෙපා  ලෙව  කන්නට  පටන් ගත්  අතර  මහින්ද  ,ඇගෙන්  පලි   ගැනීමේ  ව්‍යාපෘතිය වහාම  දියත්  කළේය.. ඇගේ  ආරක්ෂාව අඩු  කොට කොටින්ගේ  ගොදුරක් වීමට  මග පෑදුවේය. එන  පොට  හොඳ  නැති  බව වටහා  ගත්  චන්ද්‍රිකා රටින්  පිටවී  ගිය  අතර  කොටින්ගේ  ගොදුරක් නොවී  ඇයට ජීවිතය  යලි බේරා  ගැනීමට  හැකි වුයේ  ඒ  නිසාය.. 

 

චන්ද්‍රිකා  දුර්වල  කම් නැති  ගැහැනියක්  නොවේ.  කුණුහරුප  අසන්නට  ඇයට  ශක්තියක්  නොතිබුණි.මහින්ද  ජනාධ්පති වූ  පසු   එක  හුස්මට  විනාඩි 20ක්  ඇයට  කුණුහරුපයෙන් බැන්නේ ඇගේ  මේ  දුර්වල  කම් දන්නා  නිසා විය  යුතුය. 2001  මහා මැතිවරණයෙන්  UNP    බලයට  පැමිණි ආණ්ඩුවක්  පිහිටවූ විට   ඇයට  සිදු වුයේ    UNP ඇමති මණ්ඩල  රැස්වීම් වල  මුලාසනය  දරන්නටය. ඇමති  මණ්ඩල  රැස්වීම් වලදී  ඇතැම් UNP ඇමතිවරු ඇයට  තිත්ත   කුණු හරුපයෙන් බැන වැදුණු  බවත් රැස්වීම් අවසන්  කොට  නිවසට  ගිය  පසු   තනිවම  හඩා  වැළපුණු  බවත්  මගේ  මිත්‍රයෙකුට ඇය මෑත  කාලයේ  කියා  තිබුණි.

 

මා චන්ද්‍රිකා  හැඳිනුවද මා වැන්නෙක්  සිටින  බවක්වත් ඇය  දන්නේ  නැත. ඉකුත්  ජනාධිපති වරණයට අවුරුද්දක්  තියා  චන්ද්‍රිකාව  ජනාධිපති  අපේක්ෂකයා ලෙස මහින්දට  එරෙහිව  ඉදිරිපත්  කළ  යුතු බව  සඳහන්  කරමින්   පුංචි  පහේ  කැම්පේන් එකක් ද මා ආරම්භ  කලෙමි. Colombo Telegraph පත්තරයටද  ලිපි  කීපයක්  ලියමින්  පොදු  අපේක්ෂයකයා   ලෙස  ඇය  ජනාධිපති වරණයට  ඉදිරිපත් කළ යුතු බව  සඳහන්  කළෙමි.  මහාචාර්ය  කුමාර් ඩේවිඩ්  කැම්පේන්  කළේ  සෝභිත  හිමියන්ටය.   මහින්දව  යලිත්  දිනවන්නට  උවමනාව  තිබු  ආචාර්ය   දයාන්  ජයතිලක  ජ විපෙ  නායක  අනුර  කුමාරව  පොදු  අපේක්ෂකයා  ලෙස ඉදීරිපත්  කළ යුතු  බව  කියමින්  Colombo Telegraph පත්තරයටත්  තවත්  පත්තරවලටත්  ලීයමින්   මහින්ද  විරෝධීන්ට  ලනු  කවන්නට  උත්සහයක්  කළේය. එහෙත්  ඔහුගේත්  කුමාර් ඩේවිඩ්ගේත් යෝජනාවන්හී නිෂ්පල භාවය  ගැන මා  ලීවෙමි. ඒ  අතර   මගේ  මිත්‍රයෙකු  චන්ද්‍රිකා  හමුවී පොදු  අපේක්ෂක  යෝජනාව  ඇයට  ඉදිරිපත්   විට ඇය  කියා  තිබුනේ  තමන් ඉදිරිපත්  නොවන  බවත්  රනිල්  පොදු  අපේක්ෂකයා  ලෙස  ඉදීරිපත්  කරන  බවත්ය. එහෙත්  මහින්දට  එරෙහිව රනිල්ව  ඉදිරිපත්  කිරීමෙන් වෙන්නේ  යලිත්  මහින්දව  ජනධිපති  කිරීමට  අනියම් සහයක් දීම  බව  අපි  දැන  සිටියෙමු. චන්ද්‍රිකා  වෙනත්  ගේමක්  යටින් ගෙනියන  බව   යන්තමින් වත්  සිතා  ගැනීමට  අපිට  නොහැකි  විය.

 

මහින්ද  වාදීන්  චන්ද්‍රිකා  සමග  බද්ධ  වයිරයෙන්  සිටින්නේ මහින්ද  රජ  පුටුවෙන් බැස්සවීමට  ප්‍රමුඛ  කාර්යයක් ඇය ඉටු  කළ නිසාය. අපි  චන්ද්‍රිකාට ආදරය  කරන්නේද  ඒ  නිසාමය.


















Friday, June 3, 2016

ඉස්කෝලේ ඉංගිරිසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

 

මගේ  මේ  ලිපිය කතන්දර  දෙකකින්  පටන්  ගන්නට  කැමතිය . කතන්දර දෙකම ඇත්තය. එකක් කිව්වේ  සුද්දෙකි. අනික  කිව්වේ  රනිල් වික්‍රමසිංහ  මහතාය.

මා  හඳුනන පියකරු  ඉංග්‍රීසි  මෙනෙවියක් දැක  සිත් බැඳුනු  එංගලන්තයේ  සුද්දෙක් ඇය විවාහ  කර  ගත්තේය. ලංකාවේ  ආණ්ඩුවේ  පාසල්වල සිසුන්ගේ  ඉංග්‍රීසි  දැනුම  ගැන හොඳ  අවබෝධයක්  ලැබීමට  එමගින් සුද්දාට  අවස්ථාව  ලැබිණ.  වරක්  මා   හමුවූ විටෙක සුද්දා  ඇසු  ප්‍රශ්නය  මෙසේය.  "අවුරුදු 7ක් ඉංග්‍රීසි  ඉගනගෙන  ඉස්කෝලෙන්  පිටවෙන  ළමයින්ට ඉංග්‍රීසි  කතා  කරන්න  බැරි මොකද?"

අනිත්  කතන්දරය මෙසේය.

2014 අප්‍රියෙල්  මාසයේ  රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට  ගියේ  එහි අධ්‍යාපන  ආයතනයක් කළ  ආරාධනයකටය. දේශපාලන  භුමියේ අලුත්  නැඹුරුවීම් අධ්‍යයන  කරන  අතරතුර එහි  සිසුන්ට දේශනා  පවත්වන  ලෙසද එම  ආයතනය   රනිල්ගෙන්  ඉල්ලා  තිබුණි.  එහි  මසක්  ගත  කොට  ආපසු   පැමිණි  රනිල් එහිදී  ලැබූ  එක් අත් දැකීමක් විස්තර  කළේ  මෙසේය.

" මගේදේශන වලට සවන් දුන් සිසුන් අතරෙන් එක් සිසුවියක් " ඔබට  ඔය  තරම් හොඳට ඉංග්‍රීසි  කතා  කරන්නට  හැකි වුයේ කෙසේද ? යැයි ඇසු  විට  මා  කීවේ   ලංකාවේ  තිබෙන  නිදහස්  අධ්‍යාපනට පින් සිදුවන්නට   මට  ඉංග්‍රීසි  කතා  කිරීමට   හැකි  බවයි ."

රනිල් කිව්වේ  අමු  පචයක් බව අමුතුවෙන්  කියන්නට  ඕනෑ  නැත. ඉස්කෝලේ  අවුරුදු 13 ක් සහ සරසවිවල අවුරුදු ගණනක්  ඉගෙන  ගෙන එන   95%කටත් ඉංග්‍රීසි  බැරි  බව අධ්‍යාපනය  ගැන  උනන්දුවක් දක්වන  අය  දනිති.

මෙසේ  වී  තිබෙන්නේ  මන්දැයි  කතා  කිරීම  මේ  ලිපියේ   අරමුණයි

 

ඉංග්‍රීසි  ඉගැන්වීම   සඳහා සැම  ආණ්ඩුවක්  වගේම  මහත් ධනස්කන්ධයක් වියදම්  කර  තිබේ. ලක්ෂ කෝටි   ගණනින් ඉංග්‍රීසි  පෙළපොත මුද්‍රනය කොට සිසුන් අතර  බෙදා  දීමට  කෝටි  ගණනින් වැය  කළා   පමණක්  නොව ඉංග්‍රීසි  ගුරුවරුන්  පුහුණු කිරීමටද ගුරු   වැටුප්  ගෙවීමටද    තවත්  කෝටි  දහස්   ගණනක් පසු  ගිය  අවුරුදු 20 , 30  තුළ   පමණක්  ආණ්ඩු  විසින් වැය  කර  තිබේ.එපමණක්  නොව ඉංග්‍රීසි  ඉගනීමට  ආධාර  වන  ව්‍යාපෘති වෙනුවෙන් තවත්  කෝටි  ගණනක් ආයෝජනය  කර  තිබේ.. චන්ද්‍රිකා  බණ්ඩාරනායක  මහත්මිය ජනාධිපති  සමයේ LIGHT HOUSE SCHOOLS නමැති ව්‍යාපෘතියක්  මගින්  ලංකාවේ  සෑම  අධ්‍යාපන  කලාපයකම එක්  පාසලක්  LIGHT HOUSE පාසලක්  ලෙස  නම් කොට ඉංග්‍රීසි ඉගැන්වීමට අවශ්‍ය නවීන  උපකරණ ලබා දුන්  අතර  අති විශාල මුදලක්  ඒ  සඳහා වැය  කරනු  ලැබීය. එම  පාසල  මගින්  අවට  පාසල් වල  සිසුන්ටද ඉංග්‍රීසි  ඉගනීමට උපකාරීවන වැඩ  සටහන්  ක්‍රියාත්මක  කරවීම එකී ව්‍යාපෘතියේ  අරමුණ  විය.


මහින්ද  රාජපක්ෂ  මහතා බලයට  පැමිණි  විගසම LIGHT HOUSE ව්‍යාපෘතිය  අහෝසි  කරනු  ලැබීය. ඒ  වෙනුවට English as a life skill  යනුවෙන්   නව  ව්‍යාපෘතියක්  හඳුන්වා දෙනු  ලැබීය. ජීවන  කුසලතාවක් ලෙස  ඉංග්රීසි  බස සිසුන්ට  හුරු  කරවීම  එහි ප්‍රධාන අරමුණ  විය. ඒ  සඳහා ද  අති විශාල  ධනස්කන්ධයක් රාජපක්ෂ  ආණ්ඩුව වැය කරනු  ලැබිණ.   එම  ව්‍යාපෘතිය  යටතේ  ලංකාවේ  සියලුම  ඉංග්‍රීසි  ගුරුවරුන්ට ඉංග්‍රීසි  කථනය  සිසුන්ට  ඉගැන්වීම  පිලිබඳ  දින  10ක   පුහුණුවක්  ලැබ  දෙනු  ලැබීය . දැන් ඒ  ව්‍යාපෘතිය  අවසන්ය . එය  සාර්ථක  වුයේ  නම් ඉංග්‍රීසි  කතා  කරන  පාසල් සිසුන්   ලක්ෂ  ගණනක් මේ  වන  විට  බිහිවී  තිබිය  යුතුය.. එහෙත් එවන්නක්  ගැන  ආරංචියක්  නම්  නැත. පාසල්වල   පමණක්  නොව සරසවි සිසුන්ට ඉංග්‍රීසි  ඉගැන්වීම  සඳහාද  සියලු  ආණ්ඩු  කෝටි  ගණනින් වැය  කර  තිබේ. එහෙත් කටුක  සත්‍යය   නම් පාසලෙන් සහ  සරසවියෙන්  පිටවෙන  සාතිශය  බහුතරයකගේ  ඉංග්‍රීසි  දැනුම  ඉතා  දුර්වල  බවය.


මෙය මෙසේ  වී  තිබෙන්නේ  ඇයි? එයට ඇති  විසඳුම්  මොනවාද? 


අධ්‍යාපන  ශේෂ්ත්‍රයේ බොහෝ  කලක් සිටි මා , මේ සම්බන්ධයෙන් නිගමන  කීපයකට එළඹ  සිටිමි. ඒවා මා   මෙහි  ලියන්නේ  ඔබ  සමග ඒවා බෙදා  හදා   ගැනීම  තුලින්  කතිකාවක් ඇති  කර  ගැනීමටය. .


කිසිවෙකු   යමක්   ඉගනගන්නේ එය  ඉගනීමට පෙළඹවීමක් තිබේ නම්  පමණි.  විශේෂයෙන්ම  පාසල්  සිසුන් ඉගන  ගන්නේ  යමක් ඉගනීමට ඔවුන්  තුළ පෙළඹීමක්  කළ  කල්හී  පමණකි .  බොහෝ  ළමුන්  පාසල්  යන්නේ  ඉගනීමට  තිබෙන  ආශාව  නිසා  නොව  දෙමාපියන්ගේ  බලකිරීමටය. එදිනෙදා  අභියෝග  ජය  ගැනීමට  ඉංග්‍රීසි  අවශ්‍ය  නොවන  කල්හි සිසුන්  නොව  වැඩිහිටියෙකු වුවද    ඉංග්‍රීසි  ඉගැනීමට  පෙළඹෙන්නේ  නැත.  කොරියාවේ  රැකියා කිරීමට   කොරියානු  භාෂාව යම්  පමණකින් දෑන  සිටීම  අනිවාර්ය  කර  ඇති  බැවින් ලංකාවවේ  තරුණයෝ කොරියන්  බස  ඉගනීමට  දක්වන පුදුම  සහගත  උනන්දුව  උදාහරණයක්  ලෙස  මෙහි  සඳහන් කිරීමට  කැමැත්තෙමි. සා.පෙළ  විභාගයෙන් ගණිත  විෂයට  සම්මානයක්  නොමැතිව  උසස්  පෙළ  විභාගයට  පෙනී  සිටීමට  අවසර  නොමැති  බව  දන්නා  බැවින් ගණිත  විෂය  ඉගනීමට  සිසුන්  මහත් උනන්දුවක්  දක්වන  බව කවුරුත් වාගේ  දන්නා  කාරණාවකි. එබැවින්  කෙටියෙන්  කියතොත්  මගේ  එක්  යෝජනාවක්  වන්නේ  උසස් පෙළ  විභාගයට  පෙනී සිටීම  සඳහා  සාමාන්‍ය   පෙළ  විභාගයේදී  ඉංග්‍රීසි  විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් තිබීම  අනිවාර්ය  කළ යුතුය  යන්නය.එය  තව දුරටත් ඉදිරියට  ගෙන  යමින්  සරසවි අධ්‍යාපනයට  සුදුසුකම්  ලැබීම  සඳහා  උසස්  පෙළ  විභාගයේදී ඉංග්‍රීසි  විෂයට ( General English) අවම වශයෙන් සාමාන්‍ය  සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය  කළ යුතුය. දුෂ්කර  පාසල්වල  ඉංග්‍රීසි  ගුරු  හිඟයක්  තිබියදී මෙවැනි  කොන්දේසියක්  පැනවීම වැරදි  යැයි  ඇතැමෙකු  කියනු  ඇත. එහෙත් ගුරු  හිඟය  තිබෙන්නේ ඉංග්‍රීසි විෂයට    පමණක් නොවේ. ගණිත  ගුරුවරුද  ඇතැම්  දුෂ්කර  පාසල්වල  නොමැත.


මගේ දෙවෙනි  යෝජනාව පාසල් කාල සටහනේ කළ යුතු වෙනස් කම් සම්බන්ධයෙනි.බොහෝ  පාසල්වල  පන්ති  කාමරවල සිසුන් 20-40   අතර  සංක්‍යාවක්  සිටිති .එක් කාල පරිච්චේදයකට වෙන් කර තිබෙන්නේ විනාඩි 40කි. සිසුන්  40ක්  සිටින්නේ  නම් එක් සිසුවෙකු වෙනුවෙන්  ගුරුවරයාට අවධානය යොමු කළ හැක්කේ  විනාඩි  එකක් පමණි. සිසුන් 20 ක් සිටින  පන්තියක විනාඩි දෙකක් පමණි. උගන්නවා  තබා  සිසුන්ගේ  ලිඛිත අභ්‍යාස  බැලීමටවත් ගුරුවරයාට  මේ  කාලය  ප්‍රමාණවත්  නොවේ. මෙවැනි  පසුබිමක විශ්මය  ජනක  කරුණ  වන්නේ කිසියම් සිසුවෙකු ඉංග්‍රීසි  ඉගන  ගතහොත්ය. අනිකුත්  විෂයන්  මව්  බසින් ඉගැන්වෙන  බැවින් විනාඩි 40ක්  තුලදී  ඉංග්‍රීසි  ගුරුවරයාට වඩා  සාර්ථක  ප්‍රතිඵල  ඔවුන්ට ලබා  දීමට හැකිය. එහෙත් ඉංග්‍රීසි  නැතත්   විශ්ව  විද්‍යාල උපාධියක්  ලබා   ගැනීමට  හැකි  බව දන්නා  සිසුන්ට  විනාඩි 40 ක්  තුළ ඉංග්‍රීසි  ඉගෙනීමට  පෙළඹ වීම එවරට් කන්ද  නැගීමට  කෙනෙකු  පොළඹවා  ගැනීමට   තරම්ම  දුෂ්කර  බව කීම සාධාරණය .


එබැවින්  මගේ  දෙවෙනි  යෝජනාව වන්නේ 9 ශ්‍රේණියේ  සිට  ඉහල  සිසුන්ට දිනකට  පැය  දෙක  බැගින් සතියකට  පැය 6ක් වත්   ඉංග්‍රීසි  බස  ඉගැනීමට හැකි  වන  පරිදි පාසල්  කාල  සටහන් නැවත  සකස්  කළ  යුතුය  යන්නය. එහිදී ප්‍රයෝගික  දුෂ්කරතා  තිබිය  හැක. එහෙත් ඒවා ජය  ගත  හැකිය.


ඉහත  යෝජනා දෙකම   ක්‍රියාත්මක  කළද පාසල්  සිසුන්ට  ඉංග්‍රීසි  කතා  කිරීමේ  කුසලතාවය  ඇති වන්නේ  නැත. එයට  හේතුව  නම්  පාසල්  සිසුන්  පෙනී සිටින  විභාග  වලදී  ඔවුන්ගේ  ඉංග්‍රීසි  කථනය පරීක්ෂා කරන්නේ  නැති  බැවිනි.  සාමාන්‍ය  පෙළ විභාගයේදී   සහ  උසස්  පෙළ විභාගයේදී  අපේක්ෂකයන්ගේ   ඉංග්‍රීසි  කථන  හැකියාව  පරීක්ෂා කොට ඒ  සඳහා ලකුණු  දීමේ  ක්‍රමයක්  හඳුන්වා දීමෙන් මෙම  ගැටලුව  ජය  ගැනීමට  හැක. ඉංග්‍රීසි  කථන හැකියාව විභාග වලදී  පරීක්ෂා  නොකෙරෙන  බැවින්  ගුරුවරුන්ද  සිසුන්  තුළ  ඉංග්‍රීසි  කථන  කුසලතාවය  ඇති  කිරීමට  උනන්දු  වන්නේ  නැත. එබැවින් ඔවුහු  සිසුන්ට  ඉංග්‍රීසි  උගන්වන්නේ  සිංහලෙනි. මෙහි  ප්‍රතිඵලය  වී ඇත්තේ ඉංග්‍රීසි  බසට A  සාමාර්ථයක් ලබන  අතලොස්සක්  සිසුන්ටද ඉංග්‍රීසි බස  හැසිරවීමට  නොහැකි වීමය. 


ලක්ෂ  ගණනක් සිසුන්ගේ  ඉංග්‍රීසි  කථන  හැකියාව  පරීක්ෂා  කිරීම  පහසු  කරුණක්  නොවේ. ඒ  සඳහා   අති  විශාල මුදල්  කන්දරාවක්   වැය  කිරීමට  සිදුවෙන  බැවින්   කිසිදු  ආණ්ඩුවක් මේ  සම්බන්ධයෙන්  උනන්දුවක්  දක්වා  නැත. මුදල් වියදම් වුවද  මෙය අත්‍යවශ්‍ය  දෙයකි. එසේ  නොවුන  හොත් අපේ  රටේ  සිසුන්ට  ඉංග්‍රීසි  කතා  කිරීමේ හැකියාව  ලබා   ගන්නට  පුළුවන්  වන්නේ  නැත. 


පාසල් අධ්‍යාපනය  අවසන්  කරන   සිසුන්  අතරින්  දස  දහස්   ගණනක් සිසුන්  ඊ ලඟට  යන්නේ  පඳුරක්  පඳුරක්  ගානේ  සිටින  'ඉස්පෝකන් ඉංග්ලිෂ් ' සර්ලා   හමුවීමටය. දහස්  ගණන් සිසුන් ශාලාවල්  තුල ගාල්   කොට  ගෙන තුන්  මාසෙන්   හය  මාසෙන් ඉංග්‍රීසි  කතා  කිරීමට උගන්වන  බව  ඔවුන්  කියති. ගුරු  පඬුරුද නොමඳව අය  කරති .එහෙත්  ඉගෙන  ගත්   අයෙකු  ගැන  නම් දැන්  ගන්නට  නැත.

 

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට

                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු                        තවමත්  නවීන  ලෝකයට  ප...