Skip to main content

රෝහණ විජේවීරගේ බිරිඳ හමුවීම- තුන්වෙනි කොටස

විජේවීරගේ  අනාගත බිරිඳ

විජේවීර මහතා  විවාහ වුයේ ලංකා ගුරු සංගමයේ  නිර්මාර්තෘ සහ සභාපති වූ H. N. ප්‍රනාන්දුගේ  නැගණිය  සමගය. මේ වන විට  විජේවීර  ඇය සමග  විවාහ  වී තිබුනේ  නැත. H.N.සහ  ඔහුගේ  බිරිඳ , ඔහුගේ  මව , සහ නැගණිය පදිංචිව සිටියේ  මොරටුවේ  විල්ලෝරාවත්තේය. මා එම  නිවසට විවිධ  උවමනාවන් සඳහා   අවස්ථා කීපයකදී ගොස් තිබේ. දිනක් ජනතා  විමුක්ති පෙරමුනෙන් මට  පණිවිඩයක් ලැබිණ. එදින සවස කිසියම් සාකච්චාවක්  පැවැත්වීම  සඳහා  විල්ලෝරාවත්තේ නිවසට විජේවීර  එන බව H.N.ට දන්වන ලෙසය. සංගම් කාර්යාලයට  එච් එන්. එදින  පැමිණ  තිබුනේ  නැති බැවින් ඔහුගේ  නිවසට ගොස්  එම පණිවිඩය දැනුම් දෙන  ලෙස  මට පැවරිණ. ජවිපෙ ප්‍රසිද්ධියේ  දේශපාලනය  කළද අභ්‍යන්තර සාකච්චා  සියල්ල  කෙරුණේ  ඉතා රහසිගතවය. එවැනි පසුබිමක් තුල විජේවීර සම්බන්ධයෙන් වූ කටයුත්තක් ඉටුකිරීම වරප්‍රසාදයක් ලෙස මා සැලකුවෙමි.

විල්ලොරවත්තෙදී  විජේවීරගේ   අනාගත  බිරිඳ  හමුවීම 

විල්ලෝරාවත්තට මා   යන විට සවස එකට  පමණ වන්නට ඇත.අවුරුදු 50ක් 60ක් පැරණි එම  නිවස  සාදා  තිබුනේ  ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට  අනුවය.ඉදිරිපස මිදුලට මුහුණ දුන් සැලකිය  යුතු ඉඩ කඩක් ඇති ඉස්තෝප්පුවක්  තිබුණු එම  නිවසේ කාමර  හතරක් පහක් තිබිණ. වහලය සෙවිලි  කර  තිබුනේ  සිංහල  උළුවලින්  යන්න  මගේ  මතකයයි. මිදුල ඒ තරම් විශාල  නොවින . ඇසට  ප්‍රසන්න වන ලෙස  මල් සහ කුඩා ගස් මිලුලේ  වවා  තිබිණ.

H.N.මා සාදරයෙන්  පිළිගත් අතර මා රැගෙන ආ පණිවිඩය  ඔහුට  දුනිමි. ඉන්පසු ඔහු නිවස  තුලට  ගිය  අතර  මා නිවසේ සාලයේ  තිබු  පොත් රාක්ක අවුස්සන්නට  පටන් ගත්තෙමි. ඔහුගේ  නිවසේ  පොත් දෙදහසකට  ආසන්න  ප්‍රමාණයක් තිබිණ.අති බහුතරය මාර්ක්ස්වාදී සාහිත්‍යයට  අදාළ ඉංග්‍රීසි පොත්ය. H.N. තම ඕනෑම පොතක් ඉල්ලු සැනින් දුන්නේය.  ඔහුගේ  කාමරයේ  තිබෙන පොත් රාක්ක පවා පෙන්වන H.N. අවශ්‍ය නම් එයින්  පොතක් තෝරා ගන්නා ලෙස H.N. මට  කියයි.

මා   එසේ  පොත් තෝරමින් සිටින  අතර තුර H.N.ගේ  නැගණිය වූ චිත්රාන්ගනී කිසියම් රසකැවිල්ලක් සමග තේ රැගෙන  අවුත් මට පිලිගන්නුවාය. මා සමග  මඳක් සිනාසුන  ඇය පුංචි කතා   බහක යෙදී ආපසු නිවාස  තුලට  ගියාය. එකල ඇය  උසස් පෙළ විභාගය ලියා ප්‍රතිපල එනතුරු නිවසට වී සිටියාය. ඇය දේශපාලනය ගැන  කිසිදු උනදුවක් නොදැක්වූ අතර H.N.ගේ  බිරිඳට  අනුව  ඇය  කියෙව්වේ  සතිපතා   පලවන  චිත්‍රකතා  පත්තර සහ එයට සමාන දේවල්ය.

ගේ ඇතුලේ රණ්ඩුව.

ටික වෙලාවක් ගත වනවිට  නිවාස  තුලින් අඬන හඬක් ද පුන්චි පහේ  රණ්ඩුවක්ද ඇසුනි.ටික වෙලාවකින් H. N. සහ ඔහුගේ  බිරිඳ නිවසින් එලියට  ඇවිත් "මන්  සුසිලව පානදුරේ පුංචි අම්මලාගේ ගෙදරට   දාලා එන්නම් " යැයි කියූ ඔහු අය සමග  පිටවී ගියේය.

සුසිලාගේ  දෙමාපියන්  මද්යම පන්තික පවුලකට  අයත් වූ අතර ඇය  වුර්තියෙන්  ගුරුවරියක් වූවය. ඇය  ජනතා විමුක්ති පෙරමුනට ඉතා  තදින් විරුද්ධ වු කාන්තවකි. මාක්ස්වාදය පිළිගත්   ඇය ශන්මුගදාසන්ගේ  චීන කොමියුනිස්ට් පක්ෂයේ  සාමාජිකාවක් වුවාය. ඇය එම  පක්ෂයට  කොපමණ පක්ෂපාතී වුවේද  යත් ඇගේ  කනකර සියල්ල  එම  පක්ෂයේ  නඩත්තුවට  පරිත්‍යාග කර  තිබුන  අතර ඉන්පසු   ඇය  කනකර   පැළඳුවේ  නැත.

රෝහණ විජේවීර චීන  කොමියුනිස්ට් පක්ෂයේ සිටි  කාලයේ එහි බලය ඇල්ල ගැනීමට කල උත්සාහය අසාර්ථක වී පක්ෂයෙන් නෙරපා  හරිනු ලැබීය. මේ  නිසා සුසිලා විජේවීර කෙරෙහි දැක්වුයේ  විශාල අමනාපයකි. හැන්දෑවට විජේවීර එන බව සුසිලා දැන ගත්  විට  ඇයට ඇතිවුයේ දැඩි කෝපයකි. ඔහුගේ  මුහුණ දැකීමට පවා  සුසිලා  අකමැති වුවාය. එබැවින් ඇයව  පානදුරේ  ඇගේ ඥාති නිවසකට  ගොස්  ඇරලවන ලෙස ඇය   H.N.ට  බල කිරීම ඔවුන් දෙපල හදිසියේ නිවසින් පිටව  යාමට  හේතුව විය.

H.N. එනතුරු  චිත්රාන්ගනී සමග 

H.N.  ආපසු එනතුරු  ඔහුගේ  නිවසේ   සිටි මා  පොතක් කියවමින් කාලය  ගත  කරන  අතර චිත්රාන්ගනී  නැවතත් මට තේ  රැගෙන  ආවාය. අපි නැවතත් පුංචි කතා බහක  නිරත වීමු.. සංගමයේ  නව තොරතුරු , මගේ පුද්ගලික තොරතුරු කතා බහට ලක්විය. විජේවීර  හැන්දෑවට එන බව කී නමුත්  අය ඒ ගැන උනන්දුවක් දැක්වුවේ  නැත. ඒ වන විට විජේවීර  සමග විවාහ වීමට ඇයට  යෝජනවක් ගෙනවුත් තිබුනේද  නැත. ඇයට විජේවීර සමග විවාහ වීමට  බල කලේ ඇගේ  අය්යා  කෙනෙකු වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දුය. ඔහු ජවිපෙට සහය දැක්වුවා පමණක් නොව විජේවීරගේ  වියදම් වෙනුවෙන් මසකට වරක් දීමනාවක්ද දුන්නේය.ඔහු පදිංචිව සිටියේ  ගම්පහය.  විවාහ වී සිටියේ  වයිද්යවරියක් සමගය. පසු කලක ඇය ඔහු දමා වෙනත් කෙනෙකු සමග යන්නට ගියේ  චන්ද්‍රා ප්‍රනාන්දු තම පවුලට වඩා දේශපාලනයට උනන්දු වූ නිසා වියයුතුය.H. N.  , විජේවීර -චිත්රන්ගනී විවාහ  යෝජනා වට දැඩි ලෙස  විරුද්ධ විය.එයට  පදනම වුයේ තම සොයුරිය මාක්ස්වාදය හෝ දේශපාලනය  ගැන අබමල් රේණුවක  තරමටවත් අවබෝධයක්  නොතිබූ බැවින් විජේවීරට කිසිසේත් ගැලපෙන්නේ  නැත යන කරුණය. චිත්රන්ගනී වුවද මෙම යෝජනාවට එතරම් කැමැත්තක් නොදැක්වූ බව පසුව දැනගන්නට ලැබිණ.

විජේවීරට විවාහ වන ලෙස පක්ෂය බලපෑම් කලේ ඇයි ?

චිත්රාන්ගනීව විවාහ  කරගන්නා   ලෙස විජේවීරට යෝජනා කරන  ලද්දේ ජවිපෙ නායකත්වය   ගන්නා   ලද  තීරණයක් අනුවය. අවිවාහකව  විජේවීර  සිටීම අනතුරක් ලෙස  පක්ෂය දුටුවේය.CIA සංවිධානය කිසියම් තරුණියක් යොදවා විජේවීර  සමග  ප්‍රේම සම්බන්ධකමක්  ඇටවිය හැකි යැයි එකල ජවිපෙ  සැක කළේය. පක්ෂය එසේ සිතුවේ ඒ වන විට එයට බලපෑ  හේතු තිබීමම නිසා විය යුතුය.. මේ සම්බන්ධයෙන් මගේ  හිටපු ජවිපෙ මිත්‍රයෙකු කී කිසියම් විස්තරයක් ඇතත් මා  එහි මෙහි සඳහන් නොකරන්නේ එය  කොපමණ සත්‍ය දැයි මා නොදන්නා  බැවිනි. 

සුසිලා ඇගේ  පුංචි අම්මගේ නිවසට ඇරලු H.N. ආපසු ආවේ පැය දෙකකට  පමණ පසුවය. එදින රාත්‍රී එහි නතරවන ලෙස ඔහු මට ඇරයුම් කල බැවින් මා  එහි නතර වීමි. ගුරු සංගමය, දේශපාලනය , මාර්ක්ස්වාදය ඔහුගේ  ප්‍රියතම මාර්තෘකා විය. එකල එම  මාතෘකා මටද  අදට  වඩා   රසවත් විය.

අපි විජේවීර  බල පොරොත්තුවෙන් එහි සිටියද  ඔහු පැමිණියේ  නැත. එහි පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්චාව අවලංගු  කල බව පසුව දැනගන්නට ලැබිණ. පසුදා උදේ H. N. සහ මම ආපසු ගුරු සංගම් කාර්යාලයට  බලා ඒමට නිවසෙන් පිටත් වූයෙමු..

විජේවීරහෙන් වෙන්වීම ( මී ළඟ ලිපියෙන්)















Comments

Buru Babe said…
Interesting. Waiting for next episode 😉

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා